Hot!

‘‘HIV පාලනය කරගෙන ජීවත්විය හැකි බව ගොඩක් කට්ටිය දන්නේ නැහැ‘‘ - පාලිත බණ්ඩාර

ලෝකට ඒඩ්ස් දිනය අදට යෙදී තිබේ. Positive Hopes Alliance හි ව්‍යාපෘති සම්බන්ධීකාරක වන පාලිත බණ්ඩාර HIV සමග ජීවත්වීම ගැන මෙන්ම LGBTQ ප්‍රජාව, HIV සමග දිවිගෙවන පිරිස් වලට අත්දකින්නට සිදුව ඇති කොන්කිරීම් හා නීතිමය ප්‍රතිපාදන වෙනස්වීමේ අවශ්‍යතාවය පිළිබඳ අදහස් දැක්වූයේ මෙලෙසිනි. 



ලංකාවේ ජීවත්වෙන බොහෝ දෙනෙකු දන්නේ නැහැ එච්.අයි.වී තිබෙන කෙනෙකුට අනෙක් හැමෝම වගේ සාමාන්‍ය ජීවිතයක් ගෙවන්න පුළුවන් බව. ‘ඒඩ්ස් සුළඟින් බෝවෙනවා කිව්ව අධ්‍යාපන ඇමතිලා ඉන්න රටක් මේක‘ මුලින්ම මේ ගැන කතා කළොත් ? 


එච්.අයි.වී සමග ජීවත්වෙන පුද්ගලයින්ට වෙනස්කිරීම් හා කොන්කිරීම් වලට ලක්වෙන්න සිද්ධවෙලා තියෙන්නේ පළවෙනි කාරණයම නොදැනුවත්භාවය. පාසල් ළමයෙකුට සිද්ධවුණු අසාධාරණයත් එක්ක අධ්‍යාපන ඇමතිතුමා කිව්ව ‘දරුවව අම්මාගෙන් ඈත් කරන්න ඕන‘ කියන දේට බලපෑවෙත් නොදැනුවත්භාවය.


එච්.අයි.වී කියන්නේ මොකක්ද ?, ඒඩ්ස් කියන්නේ මොකක්ද ?  මෙවැනි දේවල් ප්‍රකාශ කරන්නේ මේ දෙක අතර තියෙන පරතරය සම්බන්ධයෙන් හරි හැටි අවබෝධයක් නැතිකම නිසයි. කොන්කිරීම / වෙනස්කොට සැලකීමට හේතුවී තිබෙන්නේ නොදැනුවත්භාවයයි.


මේ නොදැනුවත්භාවය නිසා තමයි මිනිස්සු බයවෙන්නේ. ඒක නිසා තමයි කුලියාපිටිය සිද්ධියේදී ළමයව ඉස්කෝලෙට ගන්න එපා කියලා ගමේ අය කිව්වේ.


නොදැනුවත්භාවය නිසා භය ඇතිවුණා, ඊට පස්සේ කොන්කිරීමට ලක්කරනවා. ඊට පස්සේ ආයේ ඒ ළමයට ඉස්කෝලෙට යන්න බැරි වෙනවා. වෙනස්කොට සලකනවා. එවැනි ප්‍රකාශ කරන්න හා එච්.අයි.වී සමග ජීවත්වෙන අයට සමාජයේ වෙනස්කොට සැලකුම් ලැබීමට බලපාන්නේ ඔන්න ඕකයි.


ගොඩක් වෙලාවට තමන්ගේ ගෙදර, රැකියාව, දේපළ පවා අහිමි වෙන්න පුළුවන්.


 

එච්.අයි.වී. තියෙන කෙනෙක්ට අනික් හැමදෙනාම වගේ ජීවත්වෙන්න පුළුවන් කියන සත්‍යය නොදැන හිඳීමත් මේකට හේතුවෙනවා නේද ? ඒ ගැන කතා කළොත් ? 


ව්, ඒ කතාව ඇත්ත. මේකටත් හේතුවෙන්නේ අනිවාර්යයෙන්ම නොදැනුවත්භාවයයි. එච්.අයි.වී පාලනය කරගෙන ජීවත්විය හැකි බව ගොඩක් කට්ටිය දන්නේ නැහැ. අපි දැන් ඉන්නේ 2018. හැබැයි අපේ රටේ මිනිස්සුන්ගේ 1980 – 1990 ගණන් වල එච්.අයි.වී එක්ක බැඳුණු දැනුම තාම තියෙන්නේ. කොහොද බෙහෙත් තියෙන්නේ, පාලනය කරන්න පුළුවන්ද, බෙහෙත් නිවැරදිව ගත්තොත් එහෙම තව කෙනෙක්ට පාස් වෙනවද ?. නැද්ද ?. මේ ගැන කිසිම අවබෝධයක් නැහැ. ඒ නිසා තාමත් මිනිස්සු හිතේ තියන් ඉන්නේ ‘ආ එච්.අයි.වී හැදුණොත් මගේ ජීවිතේ ඉවරයි කියලා.කොළඹ ජීවත්වෙන අය ඇරුණම ‘ඒඩ්ස් මාරාන්තිකයි‘ කියන දේ තමා අපේ ඔළුවේ තියෙන්නේ.


මේ මතය රටක් හැටියට ඉස්සරහට ගෙනියන්න, .ශ්‍රී ලංකා ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන, වැඩකරන අපි හා රජයට මේ ගැන ලොකු වගකීමක් තියෙනවා. මාරාන්තිකයි කියන වචනය හරිම ලේසියෙන් යොදන්න පුළුවන්. නමුත්, මේ අදහස නැතිකරන්න කොච්චර අමාරුද ?. මේ වෙනස කළොත් නොදැනුවත්භාවය නිසා එච්.අයි.වී සමග ජීවත්වෙන අයව වෙනස්කොට සැලකීම නැතිවෙනවා. 1980 ගණන් වල හැටියට ඒක මාරාන්තිකයි. හැබැයි දැන් වෙද්දි ඒක වෙනස්වෙලා තියෙනවා.නමුත්, අපි තාම රටක් හැටියට ඒක වෙනස් කරලා නැහැ. ලංකාව 2025 වෙද්දි ඒඩ්ස් මෙරටින් තුරන් කරන්න බලාපොරොත්තු වෙනවා. ලෝකය ඒඩ්ස් තුරන් කරන්න බලාපොරොත්තු වෙන්නේ 2030 දී. හැබැයි ඊට අවුරුදු 5 ක් ඉස්සරහට ඇවිල්ලා. ශ්‍රී ලංකා ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව එකතුවෙලා කටයුතු කරනවා.


ගිය අවුරුද්දේයි මේක යෝජනා වෙන්නේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපි කෙතරම් දුරට ඒ වෙනුවෙන් වැඩකරනවාද යන්නයි. අපිට පුළුවන්ද රටක් හැටියට අනෙකුත් රටවල් හා සාපේක්ෂව බලද්දි තායිලන්තය හා ඉන්දියාව ඒඩ්ස් වැඩිවෙලා තිබුණු රටවල් මේ මට්ටම බොහෝ දුරට අඩුකරමින් තියෙනවා. එතකොට අපිට නැවත හිතන්න වෙනවා අපි කරන වැඩ පිළිබඳව අපිට සතුටුවෙන්න පුළුවන්ද ? කියලා.


ඔබ කිව්ව විදියට ‘ඒඩ්ස් මාරාන්තිකයි‘ කියන වැකිය පවා අපේ හිතේ තවමත් හොල්මන් කරනවා. නොදැනුවත්භාවය මෙන්මමේ කාරණය ඇතුළේ සමාජයේ කොන්වීමට(Stigma) ලක්වීම හාතමන් තමන්වම (Self Stigma)කොන්කර ගැනීම ගැන කතා කළොත් ?


ගොඩක් වෙලාවට නොදැනුවත්භාවය එක්ක කොන්වීම ඇතිවෙනවා. අපි කොච්චර කිව්වත් ‘මේ විදියට තමයි බෝවෙන්නේ‘ කියලා බොහෝ දෙනෙකු බලන්නේ, එච්.අයි.වී සමග ජීවත් වෙන අය හැමතිස්සෙම ප්‍රතික්ෂේප කරන්නයි. කොච්චර දැනුවත්වීම් කළත් මිනිස්සුන්ගේ ආකල්ප වෙනස්වෙන්න කල්යනවා. මම කිව්වා නොදැනුවත්භාවය විතරයි කියලා. හැබැයි තවත් එක දෙයක් මේකට එකතුකරන්න ඕන. සමහර වෙලාවට දැනුම විතරක් දුන්නට මදි. මිනිස්සුන්ට අත්දැකීමක් ඕන.


සමහර පිරිස් එච්.අයි.වී සමග ජීවත්වෙන අය කවදාවත් දැකලා නැහැ. ඒ දවස් වල මාරාන්තිකයි කියන කාලේ කිසිදෙයක් කරගන්න බැරි, කෙට්ටු වුණු මූණු පෙන්නුවා. මිනිස්සුන්ට මනසට ගිහිං තියෙන්නේ මේ චිත්‍රය. එතකොට අපි ඒ චිත්‍රය වෙනස් කරන්න ඕන. කොහොමද දැන් ඇත්තටම ඒ දේ ද සිදුවෙන්නේ, කියන දේ මිනිස්සුන්ට ඇත්ත අත්දැකීම නැහැ. අපි මේ ගැනදැනුවත් කිරීම් කරන්න යද්දි ඒ කට්ටියත් හිතේ තියාගෙන ඉන්නේ අර චිත්‍රේ තමයි. අපි ගිහිං කතා කළාම මිනිස්සු මේක විශ්වාස කරන්න ගන්නවා.


 

තමන් තමන් විසින්ම කොන්කරගැනීම ගැන කතා කළොත් ?


මම එච්.අයි.වී සමග ජීවත්වෙන්න පටන් අරන් දැන් අවුරුදු 13 ක් වෙනවා. ගොඩක් වෙලාවට මට වුණත් මුලදී චකිතයක් ඇතිවුණා. පරීක්ෂණ කරගන්න නැවත වරක් යනවද ?, මට බෙහෙත් තියෙන්නේ කොහෙද ?, ප්‍රතිකාර තියෙනවා කිව්වට ප්‍රතිකාර ගන්න ඕන කොහෙන්ද ?, රෝහලට ගියොත් ඒ ගැන කවුරු හරි දැනගත්තොත්, ඊට පස්සේ ආපහු මගේ ගමට ඇවිල්ලා කියයිද ?,ඒ වගේ මගේ ඇතුළතින් ස්වයං කොන්කරගැනීමක් තිබුණා. හැබැයි මට හොඳ වෛද්‍ය කණ්ඩායමක් හමුවුණා, එච්.අයි.වී සමග ජීවත්වෙන තවත් කට්ටිය දැක්කා. ඒ කට්ටිය ඉතාම ඉක්මනට මුණගැහුණා. කලින් කිව්ව අත්දැකීම කියන දේ ලැබුණා.එතකොට තරුණ පුද්ගලයෙක් හැටියට මටත් ජීවිතේ ගැන ආසාවක් ඇතිවුණා.


එච්.අයි.වී හැදුණු බව දැනගත්ත මුල් දවස් වල මගේ ජීවිතේ මෙතැනින් ඉවරයි කියලා මාත් හිතුවා. නමුත්, තරුණ කෙනෙක් විදියට මම හිතන්න ගත්තා මාත් මේ අය විදියට ජීවත් වෙන්න ඕන කියලා. මම අද ගතකරන ජීවිතය එදා ගතකරපු ජීවිතේ එක්ක සංසන්දනය කරලා බලද්දි  ගොඩක් සාර්ථකයි.


 

හැබැයි, ඒක ලේසි නැහැ. ගොඩක් අමාරුයි. ගොඩක් කම්කටොළු, බාධක මැද්දේ තමයි ඒ ගමන ආවේ. හැබැයි ඒක කරන්න පුළුවන්. මම පොසිටිව් තින්කින් කතා අහනවා. නික් (Nick Vujicic) ගේ දේශන අහනවා. එයාට අත් දෙකයි, කකුල් දෙකයි නැතිව මෙච්චර දෙයක් කරන්න පුළුවන් නම් අපිට අත් දෙකයි, කකුල් දෙකයි තිබිලත්පුංචි වෛරසයක් ඇඟ ඇතුළේ තියාගෙන ඇයි මොකුත් කරන්න බැරි.


මෑතකදී මං සහභාගී වුණු සමුළුවකදී දුටුවා ඇස් නොපෙනෙන දෙන්නෙක් තිරයේ දාලා තිබුණු දේවල් වෙනස් විය යුතු අන්දම ගැන කිව්වා. ගොඩක් අය හිතුවේ මේ දෙන්නට ඇස් පේනවා කියලා. එතනදීත් මට දැවැන්ත පිටුබලයක් ආවා. කවුරුහරි කෙනෙක් කියනවා නම් එච්.අයි.වී තියෙන අයට කිසිදෙයක් කරගන්න බැහැ කියලා, පට්ටපල් බොරුවක් ඒක. නිසි ප්‍රතිකාර අරගෙන, තමන්ගේ වෛරස් ප්‍රමාණය අඩුකරගෙන කටයුතු කළොත් සාමාන්‍ය මනුස්සයෙක් විදියට ජීවත්වෙන්න පුළුවන්. එවැන්නෙකුට ඕනම කාර්යයක් කරන්නත් පුළුවන්. ඒකට හැමපැත්තෙන්ම සහයෝගය ඕන. පළමුව තමන්ගේ සහයෝගය තමන් හදාගන්න ඕන.


 


බොහෝ දෙනෙකු කතාබහ වෙන දෙයක් තමයි එච්.අයි.වී තියෙන කෙනෙක් ඒක වෙනත් අයෙකුට සම්ප්‍රේෂණය කරන්න උත්සහ ගන්නවා කියන එක. මේ කතාවේ ඇත්ත නැත්ත මොකක්ද ? 


හෙම බෝකරනවද  නැද්ද  කියන එක ගැන මට හරියටම කියන්න බැහැ. එහෙම බෝ කරනවට වඩා මනුස්සයෙක් විදියට, මට මුලින්ම ඇතිවුණු හැඟීම වුණේ ‘මම දැන් මොකක්ද කරන්නේ‘ කියන එක. එච්.අයි.වී තිබෙන බව දැනගත්ත ගමන් මනුස්සයෙක් මානසිකව වැටෙනවා. මම මානසිකව වැටුණා. මම මොකක්ද කරන්නේ ?,කාටද කියන්නේ,මං තනිවෙනවා. තමන්ගේ අනාගතේ තමන් මොකක්ද කරන්නේ කියන එක ගැන සැලසුමක් නැහැ. ‘දැන් මේ අනික් අයට බෝකරන්න යනවද ?.‘ වගේ දෙයක් නෙමෙයි. ගොඩක් අයට තිබුණු ප්‍රශ්නය වුණේ ජීවිතේ ගෙනියන්නේ කොහොමද ? කියන එකයි. ඔය අහපු ප්‍රශ්නය සමාජයේ ගොඩක් අය අහන ප්‍රශ්නයක්.


ඇත්තටම, කොහොමද බෝකරන්නේ, බෝකරන්න පුළුවන්ද එහෙම?  ඉස්සර සිනමා ශාලා වල බෝකරනවා කිව්වා. එහෙම එන්නත් අරන් ගිහිල්ලා කොහොමද ? බෝකරන්නේ. මට පුළුවන් වුණත් එහෙම කරන්න බැහැ. හරියට බෙහෙත් ගන්නවා නම් වෛරස් ප්‍රමාණය අන්ඩිඩෙක්ටබල්  (undetectable) වෙනවා. අපි ඉන්නේ 2018 දැන් තියෙන තත්ත්වය එහෙමයි. අන්ඩිඩෙක්ටිබල් වුණාම තමන්ට බෝකරන්න හිතුණත් බෝකරන්න බැහැ. කොන්ඩම් එකක් පාවිච්චි නොකර හිතුවත් 'මං අරයට බෝකරනවා කියලා' එහෙම කරන්න බැහැ තමන් හරියට බෙහෙත් බොනවා නම්.  ඒක තමයි දැන් තියෙන තත්ත්වය.


හැබැයි මෙච්චර බෝවෙන්න එක හේතුවක් තියෙනවා, අපි හඳුනාගත්තේ නැති කොට්ඨාසයක් ඉන්නවා. ඒ පිරිසේ ඇස්තමේන්තුව 4000 ක් විතර වෙනවා. නමුත්, එච්.අයි.වී ටෙස්ට් කරලා තාම හඳුනාගෙන තියෙන්නේ 2900 ගාණක් විතර. එතකොට ඇස්තමේන්තු කළ ගාණ හා මේ අතර 1000 ක් විතර වගේ පරතරයක් තියෙනවා. මේ පරතරයේ ඉන්න පිරිස කවුරුත් දන්නේ නැහැ ‘අපිට එච්.අයි.වී තියෙනවාද ? නැද්ද ? කියන බව.‘මේ පිරිස ප්‍රතිකාර වලට යොමුවෙන්නේ නැහැ. නොදන්න නිසා මේ පිරිසෙන් බෝවෙන්න පුළුවන්.


අනිත් එක එච්.අයි.වී පොසිටිව් කෙනෙක්ගෙන් බෝ වුණා කියලා කාටවත් ඇඟිල්ල දික්කරන්න බැහැ. මම එච්.අයි.වී පොසිටිව් කෙනෙක් නිසා කියනවා නෙමෙයි. තමන්ගේ ආරක්ෂාව හැමවිටම තමන් සතු කරගන්න ඕන. කාටවත් බලෙන් කිසිම දෙයක් අපිට දෙන්න බැහැ. තමන් කාත් එක්ක හරි ලිංගිකව හැසිරෙනවා නම් ආරක්ෂා වෙන්න දැනගන්න ඕන.


මම අද එච්.අයි.වී සමග ජීවත්වෙන්නේ ආරක්ෂා වුණේ නැති නිසා. මං ඒ ආරක්ෂා වෙන ක්‍රමය තරුණ අවදියේදී දැනගෙන හිටියේ නැහැ. එහෙම නම් අපිට වටිනාකමක් තියෙනවා රටක් හැටියට අපි මොනවද ? කරන්නේ.


අපි පාසල් කාලය තුළදී සෙක්ෂුවල් ඇන්ඩ් රිප්‍රොඩක්ටිව් හෙල්ත් ගැන කතා කරනවද ?, එච්.අයි.වී ගැන කතාකරනවද ? කොන්ඩම් ගැන කතාකරනවද ? කොයිතරම් දුරට අපි ඒ ගැන කතාකරලා තියෙනවද ? ‘ලෝක ඒඩ්ස් දිනේට ලොකූ මුදලක් වැයකරලා, ලොකු පාගමනක් ගිහිං තියෙනවා, අපි ප්‍රෝගෑම් කීපයක් කරලා හිතනවා හා දැන් ඔක්කොම හරි‘ කියලා. නැහැ ඒක නෙමේ. කොයිතරම් දුරට තොරතුරු සමාජෙට ගිහිං තියෙනවද ?. තොරතුරු වැදගත්. ඉතිං, ඒවා තවමත් යන්නේ නෑ කියන එක තමයි මගේ මතය වෙන්නේ.


 

එච්.අයි.වී තියෙන අය ඇත්තටම නරක මිනිස්සුද ? මොවුන්ට එච්.අයි.වී තියෙන්නේ ඔවුන්ගේ චර්යා වල වැරැද්දක් නිසාමද ? මේ ගැන ලියැවෙන ජාතික පුවත්පත් පවා ඒත්තු ගන්වන්නට උත්සහ දරලා තියෙන්නේ එහෙමයි. මෑතකදී මා ජාතික පුවත්පතක දුටුවා ‘ගණිකාවෝ නිසා රත්නපුරේ ඒඩ්ස් වැඩිවෙලා‘ කියලා. අඩු තරමේ සෙක්ස් වර්කර්ස්ලා කියන වචනේ වත් නෑ. ඔය කියන තරම්ම ඇත්තටම ඔවුන් නරක මිනිස්සුද ?


නරක මිනිස්සුන්ට මේක හැදෙනවා නම් දැන් වැඩේ තියෙන්නේ ඇයි නරක කෙනෙක්ට මේක හැදිලා නැත්තේ කියන එකයි. උදාහරණයක් විදියට ගෙවල් වල බත් උයාගෙන, කොහේවත් යන්නේ නැතුව එච්.අයි.වී වැළඳුණු කාන්තාවන් රැසක් ඉන්නවා. එතකොට මේ පිරිසට හැදිලා තියෙන්නේ කොහොමද ?. නරක කියන දේ අර්ථය මොකක්ද කියන්න මම දන්නේ නැහැ. මොකක්ද මේ නරක කියන දෙය. සෙක්ස් කරන එකද නරක කියන්නේ. සෙක්ස් කරන දේ ගැන මගේ අදහස වෙන්නේ මේක අතිශය නරක දෙයක් නෙමෙයි. ඒක මිනිස්සුන්ට ඇතිවෙන හැඟීමක්. ඒක එකිනෙකාගෙන් එකිනෙකාට වෙනස් වෙනවා. පුද්ගලයෙකු ඉන්න පරිසරය අනුව, නැත්නම් ඔබ කිව්වා වගේ ‘ගණිකාවේ‘ කියන වචනේ, ලිංගික ශ්‍රමිකයින්ට බොහෝ දුරට බැණවදින්න පුළුවන්. ‘මෙයාලා මේ වැඩිපුර සෙක්ස් කරනවානේ‘ කියලා. හැබැයි මම දන්න විදියට දැන් ලංකාවේ ගොඩක් ලිංගික ශ්‍රමිකයින් මෙවැනි දෑ ගැන බොහොම දැනුවත්. එයාලා කොන්ඩම් එක පාවිච්චි කරන්න දන්නවා, prevention වෙන ක්‍රමවේදය දන්නවා. අපි හිතන්නේ නැති කට්ටිය ඒ ගැන දන්නේ නැහැ. ඒකයි අපි කණ්ඩායම් වශයෙන් කොන්කරලා තියෙනවනේ ‘මේ අයගෙන් බෝ වෙන්න පුළුවන් කියලා. මේවා තමයි නරක දේවල්. ඒ අය නිසා මේවා බෝවුණේ කියලා.‘ මම ඒ කතාවට එකඟ නෑ.


මොකද එච්.අයි.වී සමග ජීවත්වෙන අය අතර ඉන්නවා දිනපතා සෙක්ස් නොකරපු කට්ටිය. ලිංගික ශ්‍රමිකයින් නොවන අය. මම දකින විදියට ඒක වැරදි මතයක්. කවුරු වුණත් අනාරක්ෂිතව ලිංගිකව හැසිරෙනවා නම්, පුද්ගලයා මත නෙමෙයි අනාරක්ෂිත හැසිරීම මතයි එය රැඳිලා තියෙන්නේ.


ඔබ කලින් ඉස්මතු කළා එච්.අයි.වී සමග ජීවත්වෙන පුද්ගලයෙකු තමන් විසින් තමන් කොන්කර ගැනීම වගේම අනෙක් අයගේ කොන්කිරීමටත් ලක්වෙන බව. මේ වගේ තත්ත්වයකදී උපදේශනය හා ඔවුන්ගේ පවුල් වලට යාම කොයිතරම් වැදගත් වෙනවාද ?


ඔව්, උපදේශනය අපිට හැමතිස්සෙම වැදගත් වෙනවා. විශේෂයෙන්ම, පවුල් වලට යද්දි (family visit) එච්.අයි.වී සමග ජීවත්වන පුද්ගලයින්ගේ පවුල් සමග අපි සංවිධානයක් විදියටවැඩකරනවා. එච්.අයි.වී සමග ජීවත්වෙන පුද්ගලයින් තනිවෙන්න පුළුවන්. තනිවෙන පුද්ගලයෙක්. සමහරවිට පවුලේ කෙනෙක් දැනගත්තොත්, කොච්චර සමීප පුද්ගලයෙක් වුණත්, සහෝදරයෙක් වුණත් එයා ළඟ දැනුම තිබ්බේ නැත්නම් එයා ගොඩක් වෙලාවට කොන්කරන්න බලනවා. දේපළ එහෙම තිබුණොත් ඒවා නැතිවෙන්න පුළුවන්.


අපි ගොඩක් වෙලාවට පවුල් විසිට් කරද්දි කරන්නේ සංවිධානයක් විදියට ඒ සහය ලබාදෙන එක. ඔවුන් තනියම නම් ඉන්නේ ඔවුන්ගේ ගෙවල් වල යාළුවෝ විදියට ගිහිල්ලා හිතමිතුරෝ බවට පත්වෙනවා. ඔවුන්ගේ පවුලේ අය සමග මිතුරෝ වෙනවා. එක පාරක් විතරක් නෙමෙයි මේ විදියට යන්නේ. කීප වතාවක්, දහ වතාවක් වුණත් වෙන්න පුළුවන්. ඊට පස්සේ පියවරෙන් පියවර ඔවුන්ට කියලා දෙනවා. ආයතනයක් විදියට ගත්තොත් අපේ ආයතනයට සම්බන්ධ වී ඉන්න පවුල් වල අයගේ නිවෙස් වලට මේ විදියට යනවා.අපිට ලබාදිය හැකි උපරිම සහයෝගය ලබාදෙනවා.


උදාහරණයක් විදියට ඔවුන්ගේ මළගෙදරකදී උදව්වට කෙනෙක් නැත්නම් උපරිමයෙන් සහයෝගය දෙනවා. උයලා දෙනවා, අධ්‍යාපනය දීලාපවුලේ එක් අයෙකු හෝ එච්.අයි.වී ගැන දැනුවත් කරන්න උත්සහ ගන්නවා, මොකද එහෙම දැනගෙන හිටියොත් ඔවුන්ට පවුලෙන් හොඳ සහයෝගයක් ලැබෙනවා. මගේ අම්මා දන්නවා. එතකොට මම දන්නවා මගේ අම්මගෙන් මොන තරම් සහයෝගයක් මට ලැබෙනවාද කියලා.


මෙහිදී පවුලේ ඉන්න ළඟම කෙනාට, සමහරවිට අම්මා නොවෙන්න පුළුවන්, සහෝදරයෙක් වෙන්න පුළුවන්, ළඟම හිතවතා කවුද කියන එක තමන් තීරණය කරන්න ඕන. ඒ දේ කියන්නේ කොහොමද හා ඒ පවුලේ සහයෝගය ගන්නේ කොහොමද ? කියලා තීරණය කරනවා. උදාහරණයක් විදියට අනතුරකදී, බෙහෙත් බොන්න නොහැකි වුණු හදිසි අවස්ථාවකදී, එතකොට පවුලේ කෙනෙක් අපිව සම්බන්ධ කරන්න ඕන. බෙහෙත් ටික නවතින්නේ නැතුව ගන්න පුළුවන් එතකොට.


මෑතකදී පොඩි ප්‍රශ්නයක් වෙලා කෙනෙක් සිරගත වුණා. දවස්දෙකක් එයාට බෙහෙත් ගන්න බැරිවුණා. එයාගේ නංගිට කියලා තිබුණා මට කතාකරන්න කියලා. මං එතකොට ඔහුට අවශ්‍ය බෙහෙත් ටික වෛද්‍යවරයාගෙන් අහලා ඉක්මනින්ම ගිහිං දුන්නා. ඒක තමයි පවුලෙන් ලැබෙන සහයෝගය. එයා සතියක් විතර බෙහෙත් ගන්නේ නැතිව හිටියා නම් වෛරස් ප්‍රමාණය වැඩිවෙලා ප්‍රතිශක්තිකරණය බහිනවා. එහෙම වුණානම් ආපහු මුල ඉඳන් එයාට බෙහෙත් ගන්න වෙනවා.


ඔබේ ආයතනයත් සමග දැනට පවුල් කීයක් විතර සම්බන්ධවෙලා ඉන්නවද ? 


පවුල් 85 ක් විතර ඉන්නවා දැනට. තව සංවිධාන දෙකක් තියෙනවා. ඒවගෙත් ඒ විදියටම පවුල් උපදේශනය සිද්ධ වෙනවා. සමහර කට්ටිය ඉන්නවා පුද්ගලිකව පවුල් වලට යන්න අකමැති අය. අපිට බලෙන් යන්න බැහැනේ. ඔවුන් කැමති වුණොත් තමයි අපි යන්නේ. සමහර අයඅපේ කාර්යාලයට සම්බන්ධ වුණාට පස්සේ ඔවුන්ට උපදේශනය ලබාදීලා ඔවුන්ගේ කැමැත්ත මත තමයි යන්නේ.


සමහරක් කට්ටිය ඉන්නවා අපේ සංවිධාන වලට බැඳෙන්නෙත් නැති කට්ටිය. මොකද ඔවුන්ගේ රහස්‍යභාවය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා. මේ ගැන පැහැදිලි කළොත් මගේ යාළුවෝ ගොඩක් ඉන්නවා තරුණ වයසේ අය. මේ පිරිස එක්ක පුද්ගලික සම්බන්ධතා තියෙනවා. හැබැයි සංවිධානයට සම්බන්ධ වෙන්නේ නැහැ. මොකද ‘තව කෙනෙක් ගිහිං කියයි‘ වගේ ස්වයං කොන්කිරීමට ලක්වීමඑයාලා අතරත් තවම තියෙනවා. මම ගොඩක් විවෘත වෙලා තියෙන නිසා ඒ කට්ටිය එක්ක කතාකරලා ඒක ක්‍රමිකව හදාගෙන යන්න ඕන.


 

මේ අතර මොනවගේ පිරිස් ද ඉන්නේ ?


අපිට කිසිකෙනෙකුගේ අනන්‍යතාව නිශ්චිතව හෙළිකරන්න බැහැ. නමුත්, සමාජයේ ජනප්‍රිය යැයි සැලකෙන චරිත ඉන්නවා. විවිධාකාර රැකියා කරන අය ඉන්නවා.


සංවිධාන වලට අකමැති පිරිස් ඉන්නවා. ගොඩක් හොඳ ආර්ථිකයක් තියෙන, සමාජයේ ඉහළ තැන්වල රැකියා වල නිරත වෙන පිරිස් කිසිලෙසකින්වත් සංවිධාන වලට සම්බන්ධ වෙන්නේ නැහැ. මේ පිරිස අදාළ ප්‍රතිකාරය අරගෙන යනවා. ඔවුන්ට උපදේශනය ලැබෙන්නේ නැහැ. සමහර සල්ලි තියෙන කට්ටිය ඉන්නවා බෙහෙත් ගන්න ලංකාවට එන්නෙත් නැහැ. කෙළින්ම පිටරටින් බෙහෙත් ගන්නවා.


 

ඔබ ඇතුළු පිරිස ලංකාවේ මොන වගේ පිරිස් සමග ද සාකච්ඡා හා හමු පවත්වන්නේ ? 


තරුණ පිරිස් වෙනුවෙන් මෙවැනි සංවාද පවත්වනවා. යොවුන් සේනාංකයේ පිරිසට. කාන්තා සංවිධාන, ශ්‍රී ලංකා පොලීසිය, යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව වගේ පිරිස් වලට කතාකරනවා. එකිනෙකාගේ අත්දැකීම් හා ඒ ගැන දැනුම හුවමාරු කරගැනීම් මෙහිදී සිද්ධවෙනවා. ආකල්පමය වෙනස්කම් ඇතිවෙන්න පටන්ගන්නේ මෙතැනදීයි. මෙතැනදී කොන්කිරීම / වෙනස්කොට සැලකුම් ලැබීම ආදියට අත්දැකීම් නැතිකම බලපානවා. ඇත්තටම මේ පුද්ගලයා මොනවගේද කියන එක මිනිස්සු දන්නේ නැහැ.


 

එච්.අයි.වී ගැන කතාකරද්දි අනිවාර්යයෙන්ම PEP / Prep ගැන වගේම තව කෙනෙකුට සම්ප්‍රේෂණය නොවන බව ගැන(Cant pass it) අපි කතාබහ කරනවා. ඔබේ අත්දැකීම් සමග මේ ගැන පැහැදිලි කිරීමක් කළොත් ?


Cant pass it කියන්නේ එච්.අයි.වී සමග ජීවත්වෙන පුද්ගලයෙක් ART කියන ප්‍රතිකාරය අවුරුද්දක් විතර ගත්තම ඔහුගේ වෛරස් ප්‍රමාණය අන්ඩිඩෙක්ට්ටිබල් මට්ටමට පත්වෙනවා. අන්ඩිඩෙක්ට්ටිබල්ඊක්වල් අන්ට්‍රාන්ස්මිටට් (undundetectable = untransmittable). ඒක තමයි යූ ඊක්වල් යූ  (u=u) කියනකන්සෙප්ට් එක ලෝකය පුරා යන්නේ. නමුත්, ලංකාව තාම ඒක පාවිච්චි කරන්නේ නැහැ. අපේ කට්ටිය කොහොමත් බයයිනේ. අපේ වෛද්‍යවරුන් හරිම බයයි. ඒ ගැන කිව්වම ‘අනේ මේ අපි සෙක්ස් වලට ප්‍රමෝට් කරනවා, කිසි බයක් නැතුව මිනිස්සු සෙක්ස් කරන්න ගනියි Treatment තියෙනවා කිව්වම. Treatment හරියට ගත්තම මිනිස්සු කිසිම බයක් නැතුව සෙක්ස් කරන්න ගන්නවානේ කියනවා තියෙන එක තියෙනවා.


 

එච්.අයි.වී ගැන සමාජයේ තියෙන අනවශ්‍ය බිය නැතිකරන්න ලංකාවේ වෛද්‍යවරු අකමැති ඇයි ?


ඔවුන් කියන්නේ මේ බව කිව්වොත් sex promote වෙයි කියලා. ඒ තත්ත්වය ඇතිවෙයි කියලා. සාමාන්‍යයෙන් අපි දන්නවා මොන බෙහෙත තිබ්බත් අපිට ලෙඩක් හැදෙනවට අපි අකමැතියි. අපි හැමෝම එහෙමයි. ඒක වැරදි මතයක්. අපි ඕක promote කරත්, නොකරත් මිනිස්සු sex කරන එක කරනවා. ඒක අපිට නවත්වන්න බැහැ.


හැබැයි අපිට දැනුවත්කම තියෙනවා මේ prevention වෙන්නේ කොහොමද ?, මෙහි ප්‍රතිකාර තියෙනවා කියලා දීලා මිනිස්සුන්ට කොහොමද පරීක්ෂණ වලට වැඩිපුර යොමුකරගෙන එච්.අයි.වී හැංගුණු ප්‍රමාණයන්ගේ ප්‍රතිකාර ලබාදුන්නොත් ඔය undetectable තත්ත්වයට ඇවිල්ලා තවත් කෙනෙකුට transmit වෙන එක නවත්වන්න පුළුවන්.


PrEP ගැන කතා කළොත්, PrEPකියන්නේ Pre-exposure prophylaxis.  කවුරු හරි කෙනෙක් එච්.අයි.වී සමග ජීවත්වන කෙනෙක්ව දන්නවා නම්, අනිත් කෙනාට එච්.අයි.වී නැත්නම් - මේ දෙන්නා දැනගෙන හෝ නොදැන එය ශරීරගත වෙන්න කලින් ටැබ්ලට් එක අරගෙන එයත් එක්ක ලිංගිකව හැසිරෙනවා.


හැබැයි, Pre-exposure prophylaxis කියන එකත් ජීවිත කාලයටම ගන්න ඕන අර එච්.අයි.වී සමග ජීවත් වෙන පුද්ගලයා ගන්නවා වගේම. මෙහිදී අතුරු ප්‍රතිඵල එහෙම ඇතිවෙන්න පුළුවන්. ලංකාවේ PrEP(Pre-exposure prophylaxis) දෙන්නේ නැහැ.


 

දෙන්නේ නැතිවෙන්න හේතුව ?


මං කලිනුත් කිව්ව විදියට sex promote කරනවා  කියනවා, ලොකු මුදලක් යවා කියනවා, මම හිතන විදියම මේ එකක් වත් පිළිගන්න පුුළුවන් හේතු නෙමෙයි.


 

එතකොට පෞද්ගලික රෝහල් වල පවා මෙය අලෙවි කරන්නේ නැහැ ? 


නැහැ, එහෙම තියෙනවද කියලා අපි තාම දෙන්නේ නැහැ.


PEP ගැන කතා කළොත් ?


PEP (post-exposure prophylaxis) දෙන්නේ හදිසි අවස්ථා වලදී අනතුරකට ලක්වුණොත් වෛද්‍යවරුන්ට, දූෂණයකදී වගේ අවස්ථා වලදීයි. ඒ ඇරෙන්න අනික් අයට දෙන්නේ නැහැ. අනික් කට්ටිය මිනිස්සු නෙමෙයිනේ. ඒක නිසා වෙන්න ඇති. ඇයි දෙන්නේ නැත්තේ කියන ප්‍රශ්නය අපි විමසනවා දැන්. අපි බදු ගෙවනවා නම් රටට, ඒක අපේ අයිතියක්.


2025 දී අරමුණක් තිබෙන බව සඳහන් කළානේ. ඒ අරමුණු වලට ළඟාවෙන්න නම් මෙවැනි ගැටළු මඟහරවා ගන්න ඕන. සෙක්ස් ප්‍රමෝට් කරනවා කියලා හරියන්නේ නැහැ. රජයේ රෝහල් වලින් PEP ඉල්ලපු හතර දෙනෙක් විතර මේ ළඟදී අපිට මුණගැහුණා. අනිත් කාරණේ වෙන්නේ PEP ගන්න ඕන sex intercourse  එකට ගිහිල්ලා පැය 72 ඇතුළතදී. නැත්නම් වැඩක් නැහැ. මොකක් හරි සැකයක් තියෙන නිසානේ මෙවැන්නක් ගන්නේ. සමහරවිට condom එක කැඩිලා ගිය අවස්ථා වලදීත් මේක ඉල්ලනවා. පැය 72 ක් ඇතුළතදී.


රජයේ රෝහල් වල ලබානොදුන්නට වෙළඳපලේදී හොර රහසේ විකිණෙනවා. මේක ටිකක් මිල අධිකයි. රු. 15,700 විතර වෙනවා. අපි මේක ගන්න ගියත් වෛද්‍යවරයෙකුගේ නිර්දේශය අනුව තමයි ගන්න වෙන්නේ. කොහොම හරි අවශ්‍යතාවයක් පැන නැගුණොත් වෛද්‍යවරු එක්ක රණ්ඩු වෙලා හරි අදාළ තැනැත්තට අරන් දෙනවා.


නමුත්, අපි කියන්නේ ‘නැහැ, මේක අවශ්‍ය පුද්ගලයට මුදල් ගෙවා මෙය මිලදීගන්න පුළුවන් ක්‍රමවේදයක් සකස් කරන්න‘ කියලා. රජයට සල්ලි එනවා, ඒ මනුස්සයත් සුරැකෙනවා. අපි යන අරමුණට ළඟාවෙන්නත් පුළුවන්.


එච්.අයි.වී සමග ජීවත් වන අයගේ ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය වගේම අතිශය සාමාන්‍ය පුද්ගලයෙකු විදියට දරුවන් ලබන්න තියෙන හැකියාව ගැන කතා කළොත් ?


ගොඩක් කට්ටිය එච්.අයි.වී හැදුණම කසාද බඳින්න, ළමයෙක් හදන්න බැහැ කියලා ගොඩක් වැරදි මතයක ඉන්නවා. හැබැයි, දැන් ඒ කාලේ වගේ නෙමෙයි. දැන් ඕන තරම් ලංකාවේ කාන්තාව වගේම පුරුෂයාත් එච්.අයි.වී සමග ජීවත්වෙන එච්.අයි.වී නෙගටිව් කට්ටිය ළමයි හදලා තියෙනවා. ඒකටවෛද්‍යවරයෙකු සමග කතාබහ කරලා වෛරස් ලෝඩ් එක undetectable වෙනකල් ඉඳලා තමන්ගේ ප්‍රතිශක්තීකරණය වැඩි අවස්ථා වලදී, මේ දෙන්නම පරීක්ෂණ වලට යොමු කරලා, ඔවුන් ගැබ් ගන්නා අවස්ථාව කොහොමද කියලා කළමනාකරණය කරලා, වෛද්‍යවරයා කටයුතු කරන්න ඕන.


ලංකාවේ එච්.අයි.වී සමග ජීවත් වෙන අය දරුවන් බිහිකරපු අවස්ථාවන් තියෙනවද ?


ඔව්, මං දන්න තරමින් හතරක්, පහක් තියෙනවා. සමහර අවස්ථා වලදී කලින් නොදැන ගැබ් ගත් අවස්ථාවන් තියෙනවා. ඒ අවස්ථා වලදීත් දැනගත්ත ගමන්ම ART වෙනම ප්‍රතිකාරයක් තියෙනවා නෙවරපින් (Nevirapine) කියලා, අදාළ කාන්තාවට ඒක ලබාදෙනවා, ඊට පස්සේ කුසේ ඉන්න දරුවට එච්.අයි.වී වෛරසය යන්නේ නැති වෙන්න බ්ලොක් කරනවා. ශ්‍රී ලකාවේ සියළුම ගැබිනි කාන්තවන් අනිවාර්ය එච්අයිවී පරීක්ෂණයකට ලක් කරනවා.


සිසේරියන් සැත්කමකින් දරුවාව ගන්නවා. ඊට පස්සේ මව්කිරි දරුවට ලබාදෙන්නේ නැහැ. මව්කිරි දරුවා බිව්වා කියලා කිසි විටක එච්.අයි.වී හැදෙන්නේ නැහැ. මව්කිරි දෙන්න එපා කියලා කියන්නේ බබාගේ කට සියුම්. කිරි බොද්දි හෝ පිටි කිරි දෙද්දි, නැත්නම් වතුර බොද්දි දරුවගේ කට තුවාල වෙන්න බලනවා. රුධිර පද්ධතියට දරුවගේ කිරි මිශ්‍ර වුණාම තමයි එච්.අයි.වී බෝවෙන්නේ. නැතුව බබා කිරි බිව්වා කියලා මුකුත් වෙන්නේ නැහැ. මොකද වෛරසය අපේ ඇඟට ඇතුල් වුණාම අම්ල වගේ දේවල් එක්ක ඒක විනාශ වෙලා යනවා. රුධිර පද්ධතියට යන්න ඕන. හැමතිස්සේම සිරුරට, රුධිර පද්ධතියට ඇතුල් වෙන සිදුරක් තියෙන්න ඕන. බබාගේ කට හරිම සියුම් නිසා දෙන්න එපා කියලයි කියන්නේ. නැත්නම් මාස හයක් යනකල් මව්කිරිම පමණක් දෙන්න කියලා කියනවා. නැත්නම් පිටි කිරි පමණක් දෙන්න කියලා කියනවා. නමුත් දැන් තියෙන ප්‍රතිකාර එක්ක වෛරසය වෙනත් කෙනෙකුට බොවෙන්නේ නෑ කියන එක් එතයි විද්‍යාත්මකව ඔප්පු කරල තියෙන්නේ.


එච් අයි වී ගැන කතා කරද්දි අනිවාර්යයෙන්ම LGBTQ ප්‍රජාව ගැනත් කතා කළ යුතුමයි. බොහෝ දුරට සමලිංගික පුරුෂ පාර්ශ්වය හරහා එච්අයිවී සම්ප්‍රේෂණය වන බවට වුණු පිළිගැනීමක් තියෙනවා. මේ කතාවේ ඇත්ත නැත්ත ගැන කතා කළොත් ?


දැනට තියෙන තත්ත්වයත් එක්ක පිරිමි සමග ලිංගිකව සම්බන්ධ වෙන පිරිමි අතර එච්.අයි.වී වැඩිවෙලා කියලා වෛද්‍ය වාර්තා වලින් කියනවා. මේකට හේතුව විදියට මම හිතන්නේ මේ පුද්ගලයින් අධි අවදානම් කණ්ඩායම් විදියට හඳුනාගෙන ඔවුන්ව වැඩිපුර පරීක්ෂණ වලට යොමුකරවන ව්‍යාපෘති ක්‍රියාත්මක වෙනවා. වැඩිපුර ව්‍යාපෘති වලට යොමුවෙනවා කියන්නේ වැඩිපුර හඳුනාගැනීම් සිද්ධ වෙනවා.


හැබැයි තවමත් ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන (National STD/AIDS Control Programme)දත්ත වලට අනුව විරුද්ධ ලිංගිකයින් අතර සංසර්ගයෙන් තමයි එච්.අයි.වී වැඩියෙන් තියෙන්නේ. මේ අවුරුදු කීපය තුළ වර්ධනය වන ප්‍රමාණය ගනිද්දි සමලිංගික පුරුෂයින් අතර වර්ධනයක් දකින්න පුළුවන්. හැබැයි ඔවුන්වම අරමුණු කරලා පරීක්ෂණ වලට යොමුකරනවා. ඒ අතර LGBTQ ප්‍රජාවට මඩ ප්‍රහාරයක් එල්ල වනවා එච්.අයි.වී බෝකරන්නේ ඔවුන් කියලා. අනිත් එක සමකාමී දෙන්නෙක් ඉන්නකොට මිනිස්සු හැමතිස්සෙම බලන්නේ ලිංගික රුචිය කියන ගොඩට දාලා. ඕකයි වෙනස් කරන්න ඕන.


ගැහැණියෙකුයි, පිරිමියෙකුයි ගත්තත් පිරිමි දෙන්නෙක් හිටියත් ඔය දෙන්නා sex කර කර ඉන්නේ නැහැනේ. ඒකම කරන්න  ගියොත් ජීවිතයක් නැහැනේ. සාමාන්‍ය ගැහැණියෙක් හා පිරිමියෙක් වගේ තමයි අර දෙන්නත්. වැරදි මත ගොඩක් වෙලාවට පැතිරෙන්නේ. අනිත් එක තමා පුද්ගලයා මත නෙමෙයි අපි බලන්න ඕන, හැමතිස්සෙම අරමුණු කරන්න ඕන ලිංගික හැසිරීම මත. අපි ගොඩක් වෙලාවට අරමුණු ගත කරන්න හදන්නේ පුද්ගලයා මතයි.


මේ වසරේ ජනවාරියේදී මාධ්‍ය හමුවේ අනාවරණය වුණා 2018 වසරේ පළමු කාර්තු දෙක තුළ එච්.අයි.වී සමග ජීවත් වන පුද්ගලයන් 176ක් හදුනා ගෙන ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්ධන ව්‍යාපෘතියේ කාර්තු දත්ත වාර්තාව පෙන්වා දෙයි. 2018 වසරේ මේ දක්වා සිදුවී ඇති ඒඩ්ස් මරණ සංඛ්‍යාව 15ක් කියලා. මේ අතරින් වැඩි සංඛ්‍යාවක්‌ අවුරුදු 24-36 වයස්‌ කාණ්‌ඩවල අය බවත් හෙළිවුණා. ඇයි මේ වයසේ පිරිසම මෙතැනදී අරමුණු ගත වෙන්නේ ?


මේ වයසේ පිරිස හඳුනාගැනීම තරමක් වැඩිවෙලා තියෙනවා. ලිංගිකමය අතින් වඩාත් ක්‍රියාකාරී වයස වෙන්නේ මේක. මීට කාලෙකට කලින් එච්.අයි.වී තියෙනවා කියලා හඳුනාගත්ත පිරිසත් ඔය වයස් සීමාවේදීම තමා හඳුනාගැනීම වෙන්න ඇත්තේ. හැබැයි ඉස්සර පරීක්ෂණ ගොඩක් වෙලාවට තිබුණේ නැහැ. එතකොට ගොඩක් වෙලාවට අවුරුදු 10ක් විතර පල්ලෙහාට ගිහිල්ලා තමා එයාලා එච්.අයි.වී පරීක්ෂණ වලට යොමුවෙන්නේ. හැබැයි දැන් පරීක්ෂණ කරන ප්‍රමාණය හැමතැනම වැඩි කරලා තියෙනවා.


අනිත් කාරණේ මේ ආර්ථික රටාවත් එක්ක මිනිස්සු ඉන්නේ දැඩි මානසික පීඩනයක. සල්ලි හොයන්න හැමෝම උත්සහ දරන්නේ. එතකොට මිනිස්සු ගොඩක් ඇහැට පේන දේවල් වලට පහසුවෙන්ම යොමු වෙනවා. එතකොට පැහැදිලි අවබෝධයක් නැහැ අපේ ලිංගික හැසිරීම් අවදානමකින් තොරව කරන්නේ කොහොමද කියලා. විනාඩි 10 – 15 වගේ කෙටි කාලයක් ඇතුළතදී කොහේ හරි තැනකට ගිහිල්ලා අවශ්‍යතාව ඉෂ්ඨ කරගන්න යොමුවෙනවා.


මේ කාරණේ වගේම මානසික තත්ත්වයත් බලපානවා. ඒවගේම අද සමාජ මාධ්‍ය හරහා ඉතාම කෙටි කාලයක් ඇතුළත කවුරු හරි කෙනෙක් හොයාගන්නට හැකි තත්ත්වයට පත්වෙලා තියෙනවා. අපි ඉස්කෝලේ යන කාලේ ගැහැණු ළමයෙක් එක්ක සම්බන්ධතාවක් පටන් ගන්න මාස ගාණක් යනවා. ලියුමක් ලීවත් ඒකට උත්තර එන්න මාස ගාණක් යනවා. හැබැයි දැන් එහෙම නෑ. ඉතාම ඉක්මනට විනාඩියයි, දෙකයි. කාවහරි ගෙදරට ගෙන්න ගන්න ඕනනම් ඒකත් පුළුවන්. ඒ අවස්ථා, සම්බන්ධතා ජාල වැඩිවෙලා තියෙනවා. හැබැයි ඒ දේවල් වැඩිවෙන තරමටම ආයෙත් අධ්‍යාපන ක්‍රමය ගැන ප්‍රශ්න කරන්න සිද්ධ වෙලා තියෙනවා.


අපි කොහොමද සමාජ මාධ්‍ය පාවිච්චි කරන්නේ කියන දැනුම පාසල් මට්ටමින් යනවද ?. අධ්‍යාපන ක්‍රමය ඇතුළේ ලිංගිකත්වය ගැන කතා කරන විදිය පවා වෙනස් කරන්න සිද්ධවෙනවා. අපි සෙක්ස් ගැන පාසලේදී කතා කරනවද ?. මගේ පාසල් කාලයේදී කන්‍යාභාවය, මාසික ඔසප් චක්‍රය, ඒ ක්‍රියාවලිය ගැන කතා කරලා නැහැ. එච්.අයි.වී වලට එන්න කලින් අපි මේ ගැන කතාකරන්න ඕන. කොහොමද කාන්තාවක්ගේ ඔසප් චක්‍රය සිද්ධ වෙන්නේ. අඩුම ගාණේ ඌෂ්ණාධික රටක් හැටියට අපි ඇඳුම් තෝරාගන්නේ කොහොමද ?.අපේ සමහර දෙනෙක් වඳයි කියලා කියනවා. හැබැයි ඒවට බලපාන දේවල් අපේ පාසල් කාලේදී කියලා දෙනවද ?. යට ඇඳුමක් ගත්තත් පිටරට වලදී දකින යට ඇඳුම් බලලා තදපාට ඒවා අඳිනවා.


ඇත්තටම, ඒවා අඳින්නේ සීත රටවල කට්ටිය. ඌෂ්ණාධික රටක් වුණාම හැමදාම නාන්න ඕන. ඒ වගේ දේවල් පාසල් කාලයේදී සිද්ධවෙනවාද ?. පුරුෂයෙක්ගේ පුරුෂ ලිංගය වැඩීමේ ඉඳලා ඔය දේවල් පාසලේදී කතාකරන්නේ නැහැ. ප්‍රජනන සෞඛ්‍ය පාඩමේදී අපේ විද්‍යා ගුරුතුමිය කිව්වේ ‘අද කරන්න බෑ, ලබන සතියේ කරමු‘ කියලා. ඒ ලබන සතිය දැන් අවුරුදු 17 ක් ගිහිල්ලත් තාමත් ආවේ නෑ. කවදාවත් ඒ දේවල් උගන්වන්නේ නැහැ. ඒවගේම එකිනෙකාට ගෞරව කිරීම ගැන, සමානාත්මතාව හා එකිනෙකාට ගෞරව කිරීම ගැන උගන්වන්න ඕන. මේ දෙක ඉගැන්වූවා නම් අනෙක් දේවල් ගැන කතාකරන්න ඕනත් නැහැ. මේවා කොයිතරම් දුරට අපේ පාසල් පද්ධතියේ උගන්වනවද ?. අපි අවුරුදු 20 ක් විතර ආපස්සට ඉන්නේ. අපි තාමත් රටක් හැටියට ප්‍රමාදයි. අපි අවුරුදු ගාණක් පස්සට ගිහිං ඉන්නේ.


ඒ නිසාම වෙන්න ඇති අපේ තරුණ පරම්පරාව සමාජ මාධ්‍ය ඇතුළේදී මේවා වැරදි තැනින් අල්ලගන්නේ ?


ඔව්, තරුණ පරම්පරාවට සමාජ මාධ්‍ය හරහා වැරදි තොරතුරු ගිහිල්ලා තියෙන්නේ. ගොඩක් වෙලාවට තරුණ පරම්පරාව අතර නම්‍යශීලී බවක් තියෙනවා. මේ ළඟකදී මම ගියා විශ්වවිද්‍යාලයක වැඩසටහනකට ගියා, අපේ රටේ ප්‍රතිපත්ති හදන ළමයි. කියන්න කණගාටුයි. එච්.අයි.වී වැඩසටහනකට ගියේ. මෙහෙම රටකද අපි ඉන්නේ කියලා හිතෙනවා. ඔවුන්ට ස්වයං වින්දනය ගැන තියෙන දැනුම බිංදුවයි. ඇඟ කෙට්ටු වෙනවද ? කියලා අහනවා. එතකොට අපිට හිතාගන්න පුළුවන් කොයි වගේ තැනකද අපි ඉන්නේ කියලා. මේ දැනුම මුල් කාලේදීම නොදුන්නා නම් මඟදී අපිට වෙනස් කරගන්න අමාරුයි. මුල ඉඳලම එන්න ඕන.


රත්නපුර, කෑගල්ල වගේ කොළඹින් දුර බැහැර ප්‍රදේශ වලත් එච්.අයි.වී පැතිරීම වේගවත් වෙලා තියෙනවා. මේකට හේතුවෙන්නේ මොකක්ද ?


මේ පිරිස ගොඩක් වෙලාවට ආර්ථික දුෂ්කරතාවය නිසා ගම එහේ වුණාට කොළඹ ප්‍රදේශයට රැකියා සොයාගෙන එනවා. ඔවුන් විවෘත වෙන්නේ කොළඹදී. එතකොට ඔවුන්ගේ නිදහස තියෙනවා. කවුරුත් ඔවුන් ගැන බලන්න නැහැ. වගකීම් හා හොයාබලන්න කට්ටිය අඩුයි. ඒ වගේ අවස්ථාවලදී ඉතාම ඉක්මනටම හැමතැනටම යොමුවෙන්න තියෙන අවස්ථා වැඩිවෙනවා. ඒ වගේම කොළඹට සාපේක්ෂව ලැබෙන දැනුම, සම්පත් අඩුවෙනවා. කොළඹට කිරි අපට කැකිරි වගේ අන්තර්ජාල, අත් පත්‍රිකා පවා යන ප්‍රමාණය අඩුයි. කන්සර්වේටිව් අදහස් තියෙන්නේ ගොඩක් වෙලාවට.


 

සමලිංගික පිරිස් ගැන කතාකරද්දි LGBTQ නීතිය සම්බන්ධයෙන් ලංකාවේ පවතින තත්ත්වය ගැනත් අවධානය යොමුකරන්න වෙනවා. මෙරට දණ්ඩ නීති සංග්‍රහයේ 365 – 365 (අ) වගන්ති හා සමාන වුණු ඉන්දියාවේ 377 වගන්තිය වෙනස් වුණා. ලංකාවේ දැනට පවතින නීති ක්‍රමය වෙනස්වීමේ අවශ්‍යතාවය ගැන කිව්වොත් ?


තාමත් අපි රටක් හැටියට නීතිමය පැත්තට ළං වෙලාවත් වෙලා නැහැ. අපි කතා කරන්නේ නැහැ. අපේ දේශපාලනික වෙනසක් ඇතිවෙන්න ඕන වගේම දේශපාලඥයෝ හැමතිස්සෙම හිතන්නේ ඡන්දය ගැන. මේ වගේ යෝජනාවක් ආවොත් විරුද්ධ පක්ෂයේ පිරිස මොනවගේ ප්‍රශ්න දායිද ? යන්න ගැන නිතරම හිතනවා. දැන් තියෙන රජයත් එක්ක වුණත් මේ කතාබහ ගෙනියන්න හැකිවේදැයි අපි හිතුවා. මේ රජයෙත් ගොඩක් කට්ටිය ඉන්න නිසා. හැබැයි එයාලත් බලන්නේ තමන්ගේ ඡන්දය ගැන විතරයි.


තතාමත් 1883 බ්‍රිතාන්‍යය නීතිය යටතේ රැඳිලා තියෙනවා. ඉන්දියාව අරගල කළා. නමුත්, අපි තාම එතැනට ඒකරාශී වෙලා නැහැ. අපේ රටේ ලොබි සිස්ටම් එකක් නැහැ. අපි කොහොමද විනිශ්චයකාරවරු එක්ක ගනුදෙනු කරන්නේ, බිම් මට්ටමේ සංවිධාන සමග කොහොමද සම්බන්ධ වෙන්නේ. මානව හිමිකම් කොමිෂන් සභාවත් එක්ක තාම අපිට මේ සම්බන්ධතාව හැදිලා නැහැ. අපේ කන්සර්වේටිව් අදහස් තියෙන නිසා ගොඩක් වෙලාවට ඒවා ගැන කතාකරනවා හරි අඩුයි. සංවිධාන වල ඉන්න නායකයින්ගෙනුත් කීපදෙනෙක් විතරයි ඉස්සරහට ඇවිල්ලා කතාකරන්නේ. කට්ටිය බලනවා එතකොට බොහොම සුළුතරයක්නේ ඉන්නේ, ඇයි ඉතිං අයිතීන් දෙන්නේ බහුතර පිරිසකට ප්‍රශ්නයක් වෙනවනේ කියලා.


ඒ වගේම අයිතිවාසිකම් ගන්න නම් මිනිස්සු එළියට එන්නත් ඕන. කොහොමත් ඉන්දියාව කියන්නේ අපේ රටට වඩා ගොඩක් අයිතිවාසිකම් ගන්න දක්ෂ කට්ටියක්. අපේ රටේ කොහොමත් මානව හිමිකම් නැහැනේ. LGBTQ ප්‍රජාවට විතරක් නෙමෙයි.කාන්තාවක් ගත්තත් කාන්තාවකට පවා පාරේ, බස් එකේ නිදහසේ යන්න බැරි වාතාවරණයක් උදාවෙලා තියෙන්නේ. කොහොම වුණත් හරි හමන් විදියට නීතිමය අවස්ථාවක් ගන්න බැහැ. එහෙම තමයි අපේ රට හැදිලා තියෙන්නේ. අපේ ප්‍රජාවේ අය දැනගන්නත් ඕන අපේ අයිතීන් වෙනුවෙන් සටන් කරන්නේ කොහොමද කියලා.


කොහොමත් අපේ අයිතීන් වෙනුවෙන් සටන් කරන්නේ නැහැ. ඉන්දියාවේ එහෙම නෙමෙයි, ඉන්දියාව හැමතිස්සේම සටන් කරනවා. අපේ නිදහසත් අපිට නිකං ලබාදුන්නා වගේනේ. හැබැයි ඉන්දියාව හැමවිටම සටන් කරලා ගන්නේ. රටක් විදියට නිකං හම්බෙන දේවල් වලට අපි හැමතිස්සෙම කැමතියි. කීපදෙනෙක් සටන් කරනවා. අනික් කට්ටිය නිකං මල් වට්ටියක් දික්කරොත් ඒ මල් ටික අරන් පූජා කරන්න කැමතියි. හැබැයි මල් කඩන්න, ගහ හිටවන්න, වතුර දාන්න වගේ දේවල් වලට කැමති නැහැ. හැමදේටම එහෙමයි.


මේ යන ක්‍රමයට ගියොත් තව අවුරුදු 100 ක් වත් යයි. ඒකේදී දේශපාලනික වෙනස්කම් සිදුවීම් අත්‍යවශ්‍යයි. අපි සමහර අයව දැනුවත් කරලා තියෙන්නේ. හැබැයි ඒ වෙනස එතැනින් ඇතිවෙන්න ඕන.


මේ වෙද්දි දැනුවත් කරලා තියෙන්නේ මොනවගේ පාර්ශ්වයන්ද ?


තරුණ දේශපාලඥයින්ව දැනුවත් කරලා තියෙනවා. නීතිමය පාර්ශ්වයේ ඉන්න පිරිස දැනුවත් කරලා තියෙනවා. නීතිමය සහය දෙන කොමිෂන් සභාවන්, පොලීසිය දැනුවත් කරලා තියෙනවා. මොකද පොලීසිය බොහෝ වෙලාවට LGBTQ ප්‍රජාව ළඟ කොන්ඩම් එකක් තිබ්බත් අත්අඩංගුවට ගන්නවා තවමත්. ඒ නිසා හැමතිස්සේම දැනුවත් කරනවා.


මෑතකාලීනව ගත්තොත් යෝජිත නව ව්‍යවස්ථාව ගැන කතාබහක් ඇතිවුණා. මේකට ඔබ ඇතුළු පාර්ශ්වය දායක වුණාද ?


අපි තනි තනිවත් දායක වුණා. ඒවගේම සංවිධාන මට්ටමින් ද දායකත්වය ලබාදුන්නා. gender identity හා sexual orientation එකතු කරන්න කියලා තමා යෝජනා කළේ. නමුත්, ඒකේදීත් අන්තිමටම ගෙනාපු එක අපේ ජනාධිපතිතුමා ඉරලා කුණු කූඩේට විසිකරා. එයත් එතැනදී ආපහු ඡන්දය ගැන හිතුවා. මේ අයිතිය දුන්නොත් එහෙම ඔහුට බලපෑමක් ඇතිවේවි යැයි කියලා. ඉතිං, හැමෝම තමන් ගැන විතරයි හිතන්නේ. ආපහු කිව්වා වගේ ‘එකිනෙකාට ගරු කිරීම හා සමානාත්මතාවය‘ ගැන නැවත වරක් හිතන්න වෙනවා.


අපි අපේ රටට බදු ගෙවනවා නම්, අපේ ඡන්දෙන් තේරිලා ඇවිල්ලා අපිටම ගහන්න එනවා නම්, අපි ඡන්දේ දෙන පුද්ගලයෝ නම් ඒ අයිතිය තියෙන්න ඕන. අපි බදු ගෙවනවා නම් රටක් හැටියට ඒ සමානාත්මතාවය අපිට තියෙන්න ඕන.


මේ දේ කරන්න ලොකු කාලයක් යන්නේ නැහැ. කට්ටිය දෙපැත්තට ඇද ඇද ඉන්නවා. හැබැයි පුංචි බලපෑමක් තියෙනවා. ඉන්දියාවේ 377 වෙනස් කරපු නිසා, ඉන්දියාවත් එක්ක එකතු වෙලා බලපෑමක් කරන්න පුළුවන් ‘ඇයි අපිට නැත්තේ‘ කියලා.


මානව හිමිකම් කඩවීම නිසා රටක් හැටියට අපි ගොඩක් වෙලාවට කොන්වෙලා තියෙනවා. ලංකාවේ විතරක් මෙහෙම වෙන්නේ කියන එක නැවත නැවතත් අපිට හිතන්න වෙයි. අනිත් එක තමයි මම පෞද්ගලිකව දකින දෙයක්, අපි කොච්චර නීතිය වෙනස් කළත් අපේ සමාජ ආකල්ප වෙනස් වෙන්න ගොඩක් කාලයක් යනවා.


තායිලන්තය බලන්න. තායිලන්තයේ ලිංගික ශ්‍රමිකයින් ලෙස කටයුතු කිරීම නීතිගත කරලා නැහැ. හැබැයි ඔවුන්ගේ සමාජය දැනුවත්. ඔවුන්ගේ ආකල්පය හරිම නම්‍යශීලීයි. නීතිගත නොවුණත් ලිංගික ශ්‍රමිකයින් ලෙස කටයුතු කිරීම මිනිස්සු පිළිගන්නවා.


 

එච්.අයි.වී සම්බන්ධයෙන් කතාබහ කරද්දි අනිවාර්යයෙන්ම ආගම හා සදාචාරය ආදියෙනුත් බලපෑම් එල්ල වෙනවා. මේ ගැන කතා කළොත් ?


එච්.අයි.වී දිහා මිනිස්සු හැමතිස්සෙම බලන්නේ පිළිකුලෙන් වගේ. මුල් කාලේ මේ ගැන කතාබහ කරපු වෛද්‍යවරු පවා කිව්වේ හරිම නරක විදියට හැසිරෙන නිසා තමයි මේ වගේ ලෙඩ හදාගෙන තියෙන්නේ කියලා. අපේ සංස්කෘතිය හැදිලා තියෙන විදිහත් එක්ක තවත් කෙනෙකු සමග ලිංගිකව හැසිරීම අපේ සංස්කෘතියට කරන මඩ ගැහීමක්, වැරැද්දක් විදියට හිතනවා. හැබැයි අපි සංස්කෘතිය කිය කිය අපේ මිනිස්සු කොයිතරම් දුරට හොරෙන් දේවල් කරනවද ?. දෙයක් එළිවුණොත් කතා කරනවා. නමුත්, මේ කියන කට්ටිය හොරෙන් කොයිතරම් දේවල් කරනවද ?,. උදාහරණ හැටියට ආගමික නායකයින් වගේ පිරිස් පවා. මේ හැමෝම කරන දෙයක් ඕක. හැබැයි, මොකක්හරි ප්‍රශ්නයක් උද්ගත වුණු ගමන් මෙයා අරක කරන්න ගිහිං තමයි මෙහෙම ආවේ කියලා මඩ ප්‍රහාර එල්ල කරන්න සූදානම්.


මේකත් එක්ක සමාජයේ තියෙන ආරක්ෂාව නැතිවෙනවා. උදාහරණයක් විදියට දැනගත්තොත් පන්සලකට යන්න බැහැ, පන්සලට මල් ටිකක් පූජා කරන්න ගියත් ඕපදූප කතාවෙනවා. ඒක මට වුණා. මගේ තාත්තා නැතිවුණා මීට අවුරුදු දෙකකට විතර කලින්. තාත්තගේ අවුරුද්දේ දානේ හදාගෙන අපි පන්සලට අරන් ගියා. එතකොට අවුරුදු 7 කට විතර පස්සේ මට මුණගැහුණු පාසල් කාලේ මිත්‍රයෙක් ඇහුවා ‘දැන් ඔයා මොකද කරන්නේ ?, දැන් පේන්නවත් නැහැනේ, බඳින්නේ නැද්ද ?‘ කියලා. එතකොට හිරු ටී වී එකේ ගියපු වැඩසටහනක් ගැන ඇහුවා. මම එන්.ජී.ඕ එක්ක වැඩකරන බව කිව්වා. ‘ආ එන්.ජී.ඕ කියන්නේ උඹට එච්.අයි.වී ද ?‘ කියලා අහන්න ගත්තා. මේ අවස්ථාවේදී මාව අපහසුතාවට පත්වෙන විදියට දිගින් දිගටම ඔහු මගෙන් ප්‍රශ්න කරන්න ගත්තා.


මගේ අම්මා, වැඩිහිටි සහෝදරියන් පවා ඒ වෙලාවේ ළඟ හිටියා. මට කරගන්න දෙයක් නැතිවුණා. මගේ මුළු පෞද්ගලික ජීවිතයම ඒ විනාඩි 15 ට ඇද්දා. මං එයාට කිව්වේ ‘ඔයා මගේ පෞද්ගලික ජීවිතය ගැන අහන්න කිසිම අවශ්‍යතාවක් නැහැ, මේ විනාඩි 15 ට මගේ පෞද්ගලික ජීවිතයේ හැමදෙයක්ම ඇද්දා. හැබැයි මේ විනාඩි 15 ට මං, ඔයාගේ පෞද්ගලික ජීවිතයේ කිසිම දෙයක් ඇද්දේ නැහැනේ, ඔයාට කිසි අයිතියක් නැහැ මගේ පෞද්ගලික ජීවිතයේ මං කාත් එක්කද නිදාගන්නේ, මං ඇඳ උඩ මොනවද කරන්නේ කියලා අහන්න. කවුද මං ගැන අහන්නේ‘ කියලා ඇහුවම ඔහු කිව්වා ‘නැහැ, ගමේ කොල්ලොත් කතා වෙනවා‘ කියලා. මං කිව්වා ‘කොල්ලොන්ට ඇඳගන්න කියපන් චීත්ත‘ කියලා. ‘උඹත් ගිහිල්ලා ඇඳ ගනිං චීත්තයක්. උඹට කතාකරන්න පුළුවන් නම් කතාකරපන් මාත් එක්ක. නැත්නම් කතාකරන්න එපා. මට ඔයාලා හිටියත් එකයි, නැතත් එකයි‘ කියලා. ඒ මොහොත වෙද්දිත් අම්මා පමණයි මේ ගැන දැනුවත් වෙලා හිටියේ. එදායින් පස්සේ කතාකරන්න ආවේ නැහැ.


එතනදී ඔහු කිව්ව තව දෙයක් තමයි ‘මං අපේ හාමුදුරුවොන්ට කියන්නම්කෝ උඹට හොඳ උපදෙසක් දෙන්න‘ කියලා. හාමුදුරුවෝ මට උපදෙස් දෙන්න අවශ්‍යතාවයක් නැහැ. මම දන්නවා මම කවුද කියන එක. හාමුදුරුවොන්ට මොනාද ආයේ කියන්නේ..‘ එයා හිතනවා මේ සංස්කෘතිය අනුව හාමුදුරුවෝ උපදෙස් දුන්නොත් හොඳයි කියලා. දැනගත්තොත් ඒ වගේ තැනකට වුණත් යන්න බැහැ අපිට. එවැනි පරිසරයක් තමයි තියෙන්නේ. ඊට පස්සේ එතැනින් අපිට ලැබෙන සමාජ ආරක්ෂාවත් නැතිවෙනවා.


 

ඇමරිකාව වගේ රටකදී 1992 දී Ashes Action 92 හරහා එච්.අයි.වී සමග ජීවත්වෙන අය ධවල මන්දිරය ඉදිරිපිටට ගිහිං දැවැන්ත හඬක් නගනවා.  මේ වගේ දැවැන්ත හඬක් නගලා නැත්නම් LGBTQ ප්‍රජාවගේ සහභාගීත්වයෙන් වැඩසටහන් දියත් කරලා මේ ගැන බලධාරීන්ගේ අදහස් වෙනස් කරන්න ලංකාවේ අයට හැකිවේවිද ?


මං හිතන්නේ පුළුවන් වෙයි. ඒකට අපි සැලසුම් සහගත වෙන්න ඕන. දැනට අපි වැඩකරනවා. නමුත්, ලොබි සිස්ටම් එකක් අපිට නැහැ තාම. අපේ මිනිස්සු හරිම බයයි සටන් කරලා ගන්න. ඒ තැනට තාම ඇවිල්ලා නැහැ. එළියට බැහැලා කතාකරන්න තාම ඇවිල්ලා නැහැ. අපි ඒක ඇතිකරගන්න ඕන ගොඩක් වෙලාවට හැංගුණු මිනිස්සු තමයි දැකගන්න හැකිවෙන්නේ.


අපේ පවුලේ අය, දරුවෝ මේ දේවල් දැනගනීවිද කියලා හිතනවා. එතකොට, ගොඩක් මිනිස්සු එළියට එන්න කැමති නැහැ. කොච්චර කසාද බැඳලා පවුල් අසාර්ථක වෙලා ගෙවල් වලට වෙලා ඉන්නවද ?. එතනදී ගැහැණු කෙනාට වගේම පිරිමි කෙනාටත් සතුටක් නැහැ. ගෙවල් වල මිනිස්සුන්ට ඕන විදියට, එක්කෝ තමන්ගේ පවුලට ඕන විදියට කසාද බැඳලා ඉන්නවා. ඒ විදියට බොහෝ දෙනෙකු ජීවත් වුණත් ඔවුන් කියන්නේ, ‘බෑ‘ කියලා. එතකොට ඔවුන් සටන් කරන්න එන්නේ නැහැ. කීපදෙනෙක් විතරයි ඒ දේවල් වලට එන්නේ. එහෙම බැහැ. අපි ප්‍රජාවක් හැටියට ඉදිරියට එන්න ඕන. ඉන්දියාවේ ඔය තත්ත්වය ආවේ ඒ නිසා.


අපිට ළඟම අපේ සංස්කෘතියට සමාන සංස්කෘතියක් තියෙන්නේ ඉන්දියාවේ හා නේපාලයේ. ඔවුන්ගෙන් ගන්න පුළුවන් දේවල් අරගෙන ඉදිරියට යන්න ඕන. ඉදිරියට මේ ගැන කතාබහ ඇතිවෙයි. ඔවුන් භාවිත කරපු ක්‍රමවේදය ගැන අදහසක් අරගෙන අවස්ථාවක් ගන්න පුළුවන් වේවි.



මෑතකදී ඔබට ජාත්‍යන්තර තරඟයක් නියෝජනය කරන්න අවස්ථාව ලැබුණා. අපි ඒ ගැනත් කතා කරමු ?


ජාත්‍යන්තරයට කීප වතාවක්ම ගිහිං තියෙනවා. එච්.අයි.වී එක්ක ජීවත්වෙන්න පටන් ගත්තට පස්සේ. පහුගිය අවුරුදු 13 පුරාවට මගේ තරුණ ජීවිතේම කැප කළේ එච්.අයි.වී ක්ෂේත්‍රය හා LGBTQ ප්‍රජාව  වෙනුවෙනුයි.


වයස අවුරුදු කීයේදීද එච්.අයි.වී තිබෙන බව දැනගත්තේ ?


අවුරුදු 24දී


කොහොමද දැනගත්තේ ?


මම විදේශයක රැකියාව කරන්න ගිය අවස්ථාවකදී. අවුරුදු තුනක් විතර වැඩ කරලා එහේ. කොහේදි ආවද කියන්න දන්නේ නැහැ. ඒ අවුරුදු තුන ඇතුළේදී තමයි මං දැනගත්තේ එච්.අයි.වී තියෙනවා කියලා. ඒ අවස්ථාවේදී මං ගොඩක් මානසිකව වැටිලා හිටියේ.


කිසිම දෙයක් නැතුව ලංකාවට එන්න වුණේ. මගේ පවුලේ අයත් දුප්පත්. අඩු තරමේ චොක්ලට් එකක් වත් නැතිව අවුරුදු තුනක් වැඩ කරලා එන්න වුණා. එයාලා මාව රිපෝට් කරා. ඉතිං, කොහොම හරි අවසානේදී ඇවිල්ලා මං එදා හිතේ තියාගත්තා වෛද්‍යවරුන්ගේ සහයෝගයත් එක්ක ජීවිතේ ගතකරන්නේ කොහොමද කියලා.


මං මේ ගතකරන්නේ මගේ දෙවැනි ජීවිතේ. හැමතිස්සෙම මං හිතේ තියාගෙන ඉන්නේ මගේ පළවෙනි ජීවිතේ ඉවරයි කියලා. මේ මං ගතකරන්නේ මගේ දෙවැනි ජීවිතයයි. දෙවැනි ජීවිතේ ගොඩක් සාර්ථකයි. ඒකට ලොකු බාධක ආවා. ගොඩක් අයගෙන් උදව්, උපදෙස් තිබ්බා. තරුණයෙක් හැටියට කොහොමද වැඩකරන්නේ. ලොකු අවදානමක් ගත්තේ මං. මං හැමතිස්සේම කැමතියි අභියෝග වලට. කතාවක් තියෙනවනේ ‘Love the challengers‘ කියලා. ඒක මං හරියට ඉගෙනගත්ත දෙයක්. හැමතිස්සේම අභියෝග වලට ආදරය කරන්න. මගේ කුඩා අවදියේ ඉඳන්ම ඒක ඉගෙනගත්ත දෙයක්. මට හොඳට දුක, පීඩනය ඒ හැමදෙයක්ම දරාගැනීමේ ශක්තිය තිබ්බා. ඒක නිසාම තමයි මේ ක්ෂේත්‍රයේ මේ තරම් දුර එන්න හැකියාව ලැබුණේ. ඒ එන අතරතුරදී ගොඩක් බාධක හමුවුණා. මිනිස්සු හමුවුණා. ලෝකයේ වගේම ලංකාවේ ජනප්‍රිය පිරිස් මුණගැහුණා. කුමාර් සංගක්කාර එක්ක ගොඩක් වෙලාවට එකට වැඩකළා. ‘Think Wise‘ වැඩසටහනේදී. කාලෝ ෆොන්සේකා වගේ. ඒ වගේ දැවැන්ත පුද්ගලයින්, සමහර රංගන ශිල්පීන්, ෂබානා අෂ්මි, ඕස්ට්‍රේලියාවේ ජස්ටිස් මයිකල් ක්‍රෝබි වැනි පිරිස් සමග වැඩකළා. ඒ ගමන ලේසි පහසු ගමනක් නෙමෙයි. ගොඩක් අමාරුයි.


අවුරුදු 17 කට පස්සේ ආයෙත් ක්‍රීඩා දිවියට ගියා. ඒකට හේතුව ‘World Gay Games‘ තිබුණා පැරිස් වල. පාසල් යන කාලේදී මට තිබුණු එක හීනයක් තමා ක්‍රීඩකයෙක් වෙන එක. ඉතිං මම කවදාවත් ජාත්‍යන්තර ට්‍රැක් එකක දුවලා නැහැ. මගේ තිබුණු එක ගෝල් එකක් තමයි ඉන්ටර්නැෂනල් ට්‍රැක් එක්ක දුවන එක. එච්.අයි.වී එක්ක ජීවත්වෙන්න පටන් ගත්තට පස්සේ මං කවදාවත් හිතුවේ නැහැ ඒ හීනය හැබෑකරගන්න හැකිවේවි කියලා. මං ගිය මාසේ ඒ අරමුණ ළඟාකරගත්තා. මං ජාත්‍යන්තර ට්‍රැක් එක්ක දිව්වා. මට මෙඩ්ල් එකක් ගන්න බැරිවුණා.


මෙඩ්ල් එක ගන්න බැරි වුණේ මම ඇත්තටම පුහුණු වුණේ නැහැ. එකපාරටම හිතලා ඇප්ලයි කරලා ගියේ. අවුරුදු හතරකට පාරක් මේක තියෙන්නේ. තව අවුරුදු හතරකින් අනිවාර්යයෙන්ම ඒ ගේම්ස් වලින් දිනන බලාපොරොත්තුවක් තියෙනවා. නැවත ට්‍රේනින් කරලා මෙඩ්ල් තුන හතරක් ගන්න බලාපොරොත්තු වෙනවා හොංකොං වල තියෙන ඊළඟ තරගයට සහභාගීවෙන්න.


මම ගියාට පස්සේ කෙනෙක් මගෙන් ඇහුවා ‘ඔයාට තව අවුරුදු හතරකින් තවත් වයසට යනවනේ‘ කියලා.


මම කිව්වේ, ‘Happiness is not a destination’ හිතේ සතුට තියෙන්නේ ගමනාන්තය මත නෙමෙයි. සතුට තියෙන්නේ අපේ ජීවිතේ Journey එක මතයි. මං එයාට කිව්වේ ඒකයි. ඒ තැනැත්තා හිනාවුණා ‘ඔයා මාර කෙනෙක්නේ කියලා‘. ඒක තමයි ඇත්ත අපිට ඒක ගෝල්ඩ්, සිල්වර්, බ්‍රොන්ස් මෙඩ්ල් එකක්ද නෙමෙයි. අපිට ගෝල්ඩ් මෙඩ්ල් එකක් ගන්න පුළුවන්. ඊට පස්සේ මොකක්ද ?. ඊට පස්සේ අපේ life එකට යන එක තමයි happiness එක කියන්නේ. ගමනාන්තය මත අපේ සතුට රැඳී තියෙන්නේ නැහැ. ඉතිං මං බලාපොරොත්තු වෙනවා ඊළග පාර මෙඩ්ල් තුන හතරක් ගන්න. මෙවර සහභාගී වීම මට learning process එකක් වුණා.


Positive Hopes Alliance


අපි වැඩිපුරම කරන්නේ එච්.අයි.වී සමග ජීවත්වෙන අයට සහය හා සහන සේවා සැපයීම. ඔවුන්ට අවශ්‍ය උපදේශනය ලබාදීම, මානසිකව වැටිලා ඉන්නවා නම් ඔවුන්ගේ මානසිකත්වය දියුණු කරන්න, එයාලගේ Positive life එක කොහොමද ගතකරන්නේ කියලා අපි උපදෙස් ලබාදෙනවා Positive කට්ටිය හැටියට.


තනිවෙලා ඉන්නවා නම් ඔවුන් සමග සමීප වෙලා පවුල් ප්‍රශ්න විසඳන්න අපට හැකි අයුරින් සහය වෙනවා.


මේ පිරිසට මුහුණදෙන්න වෙන මූලිකම ප්‍රශ්නය වෙන්නේ ආර්ථික ප්‍රශ්නයයි. එච්.අයි.වී පොසිටිව් වුණාට පස්සේ ගොඩක් අයගේ ආර්ථික ශක්තිය නැතිවෙන්න ගන්නවා. ගොඩක් අයගේ ජොබ් නැතිවෙන අවස්ථා තියෙනවා. ඔවුන්ට සුවිශේෂී හැකියාවක් තියෙනවා නම් ඒක කොහොමද දියුණු කරගන්නේ කියලා උදව් කරන්න, ඔවුන්ට ජොබ් එකක් නැත්නම් දන්න කට්ටිය එක්ක කතාකරලා හැකියාව මත ජොබ් එකක් ලබාදෙන්නේ කොහොමද කියලා, එහෙම වුණොත් කොහොමටවත් බැරි නම් ඔවුන්ට ස්වයං රැකියා අවස්ථාවක් සඳහා පුහුණුවක් ලබාදීලා, අපේ ආයතනයෙන් ඊට ණයක් ලබාදීලා ඒ සඳහා උදව් කරනවා. එවැනි ණය අරගෙන ඔවුන්ගේ දියුණුව ඇතිකිරීමට උරදීම අපේ මූලික කාර්යයක්.


ඉස්සර අපි ගොඩක් වෙලාවට කරා හදිසි අවස්ථාවකදී රෝහල්ගත වුණාම අපි ඔවුන්ව බලන්න යනවා. සමහරවිට ඔවුන්ගේ ගෙවල් වල කවුරුත් දන්නේ නැහැනේ ඒ ගැන. අපි කෑමබීම, ඇඳුම් පැළඳුම් අරන් යනවා. දැන් ගොඩක් වෙලාවට බෙහෙත් ගන්න නිසා රෝහල්ගත වෙනවා අඩුයි.


ඒවගේම ඔවුන්ට NSACP එකේ නැතුව පිටින් පරීක්ෂණ කරගන්න වුවමනා වුණාම ඒකටත් අපි අවස්ථාව ලබාදෙනවා. වෛද්‍යවරයෙකුගේ නිර්දේශය අරගෙන ඔවුන්ගේ මුදල් වියදම් කරලා නැවත ඒ මුදල් එයාලට අපි ලබාදෙනවා.


ඊට අමතරව එච්.අයි.වී වැළැක්වීමේ වැඩසටහන් වෙනුවෙන් ප්‍රජා නායකයින්ව පුහුණු කරලා හැමතැනම, යූත් ෆෝරම් වල, විවිධ වැඩමුළු වලට ගිහිං පොසිටිව් කතාකරනවා. එතකොට මං කලින් කීවා වගේ අධ්‍යාපනය හා අත්දැකීම කියන දෙකම ලැබුණට පස්සේ මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් වෙනවා.


ජීවිතයෙන් සමුගන්න කලින් කරන්න හැකි එකම බලාපොරොත්තුව


ඇත්තටම මට හිතෙනවා කරලා ඉවරයි මේ වෙද්දි. I’m a happy. මම හැමතිස්සෙම happy. ඒවගේම මං සතුටුවෙනවා තරුණයෙක් හැටියට මට ලැබිලා තියෙන දේවල් ගැන, මගේ ජීවිතේ නැවත ගොඩනගාගත්තට සහ මිනිස්සුන්ට, මගේ හරහා හැමදවසකම මම දෙන්නේ මිනිස්සුන්ට අලුතින් ජීවිතය ගොඩනගාගන්නේ කියලා.


ඒක මගෙන් දිගටම වෙනවා. මම ලොකු බලාපොරොත්තු නැහැ. හැමතිස්සෙම සතුටින් ඉන්නවා. ඒක එච්චරයි.


 

 

 

(Bakamoono වෙබ් අඩවියෙනි)

 

 

සාකච්ඡාව - වින්ධ්‍යා ගම්ලත් 

 

 

 

 

 

0 comments: