Hot!

ලංකාවේ ළමා සොල්දාදුවෝ හා ඉන්දීය මාවෝවාදීන්ගේ තත්ත්වය වෙනස් - ඇල්පා ෂා






ඇල්පා ෂා London School of Economics and Political Science හි මානවවිද්‍යා අංශයේ මහාචාර්යවරියක ලෙස සේවය කරන්නීය. ඉන්දීය රජය නැක්සල් ව්‍යාපාරයේ ගැටුම් වලට මැදිවූ ප්‍රදේශවල කැරලි මර්දන මෙහෙයුම් දියත් කරන අතරතුරදී ඇය නැක්සල් ගරිල්ලා පාබල හමුදා ඛණ්ඩය සමගින් එක්වී බිහාරය හා ජාකන්ද් හරහා දින හතක් පුරාවට කිලෝමීටර 250 ක් ගෙවාදමමින් පා ගමනින් ඇවිද යෑමට සැලසුම් කළාය.






ආයුධ සන්නද්ධ පුරුෂයින්ගෙන් පමණක් සමන්විත වූ මේ පාබල හමුදා ඛණ්ඩය අතර සිටි සිටි එකම කාන්තාව ඇල්පා වූ අතර ඇය ගරිල්ලා භටයින් මෙන් ඔලිව් කොළ පැහැ නිළ ඇඳුමක් ඇඳගෙන ඔවුන්ට එක්වූවාය. Nightmarch කෘතිය බිහිවන්නේ 2010 වසරේදී ඇල්පා විඳි මේ අත්දැකීම් ඇසුරිනි. මෙහි පළවන්නේ ඇය සමග සිදුකරන ලද සම්මුඛ සාකච්ඡාවයි.









Nightmarch කෘතියේ මාවෝ ගරිල්ලාවාදීන් හා කෝලි හා ගියැන්ජි වගේ හැබෑ ජීවිතයේ ඉන්න පුද්ගලයින්ගේ ඇවතුම්, පැවතුම් ගැන වගේම ඉන්දීය සමාජයේ පවතින විෂමතා ගැනත් සාකච්ඡාවට බඳුන්කර තිබෙනවා. මේ කෘතිය පරිශීලනය කරන පාඨකයෙක්ට කිසිම මෙහොතක මෙය මතක සටහන් පෙළක් හෝ පර්යේෂණයක් බව හැඟෙන්නේ නැහැ. ඔබ පර්යේෂකයෙකු මෙන්ම ලේඛකයෙකු විදියට මේ කාර්යය ඉටුකළේ කොහොමද ?





‘බොහොම ස්තුතියි’ මගේ ලේඛන ශෛලිය අගය කළාට. මට හමුවුණු පුද්ගලයෝ වගේම ඔවුන්ගෙන් මගේ ජීවිතයට ලැබුණු පිටුබලය විශ්වවිද්‍යාලයට පමණක් සීමාවී තිබෙනවා දකින්න වුවමනා වුණේ නැහැ.
පර්යේෂණයේදී කළ විශ්ලේෂණය පාඨකයින්ට එලෙසම ඉදිරිපත් කරනවා වෙනුවට කියවන්න පහසු විදියට ඉදිරිපත් කිරීම වැදගත් බව මට වැටහුණා.





මගේ විෂයානුබද්ධ දැනුම කලාවත් සමග බද්ධ කරලා ඉදිරිපත් කරන්න වගේම එය සෞන්දර්යවාදී ද්‍රෘෂ්ටියකින් යුතුව ඉදිරිපත් කළොත් බොහෝ දෙනෙකුට මෙය කියවන්න හැකිවේ යැයි විශ්වාස කළා. ඉතිං, ගරිල්ලා බලකායත් සමග දින හතක් පුරාවට කිලෝමීටර් 250 ක දුරක්, විදුලි පන්දමක එළියක් වත් නැතිව පාගමනින් ගිහිං මං කළ පර්යේෂණය Nightmarch කෘතිය මගින් ජනගත කළා. මේ ගමන අතරමඟදී හමුවුණු මූලික චරිත කීපයක් ඇසුරින් නැක්සල් ව්‍යාපාරයේ අතීතය හා අනාගතය ගැන විවිධ ද්‍රෘෂ්ටීන් හෙළිදරව් කර තිබෙනවා.
මගේ පර්යේෂණයට ගැඹුරු මානුෂීයත්වයක් මේ ගමන වගේම චරිත හරහා ද ගෙනඑනු ඇතැයි බලාපොරොත්තු වෙනවා. ඒවගේම විවිධ සමාජ පසුබිම් වලින් යුතු පාඨකයින් ද මේ සංවාදය සමග සම්බන්ධ වෙනු ඇති බවත් නොඉවසිල්ලෙන් ඔවුන් කෘතිය කියවාවි යන්නත් විශ්වාස කරනවා.





කාලයක් මං සමග ජීවත් වුණු පිරිස ‘ත්‍රස්තවාදීන් නමින් හැඳින්වූ නිසාම පුළුල් පාඨක අවධානයක් මේ කෘතියට හිමිවිය යුතු බව මගේ විශ්වාසයයි. ඉන්දියාව මුහුණදුන්නු දැවැන්තම අභ්‍යන්තර ආරක්ෂක තර්ජනය හා මේ කලාපය ආශ්‍රිතව සිද්ධ වෙන දේවල් පිටත ලෝකයට වාර්තාවුණේ වැරදි තොරතුරු මුසුකරමිනුයි.





මේ කැරලිකරුවන් වටා තවත් මිනිස්සු එකතුවෙන්න හේතු වුණේ ඔවුන් ඊට බලෙන් සම්බන්ධ කරගත්ත නිසා බවත්, නැත්නම් ඔවුන් මොනයම් හෝ වාසියක් ලැබූ නිසා බවත්, ත්‍රස්තවාදීන් මේ මිනිස්සුන්ගේ දුක්, කම්කටොළු හඳුනාගත් නිසා බවත් පේන්න තිබෙනවා. නමුත්, මගේ අධ්‍යයනයට අනුව ඇත්ත තත්ත්වය ඊට වඩා අතිශය සංකීර්ණයි. මේ වෙනස් කතාබහ වගේම එකිනෙකට පරස්පර අදහස් Nightmarch කෘතියේදී අවධානයට ලක්කරන්න වුවමනා වුණා.










https://www.facebook.com/HarperCollinsIN/videos/964957217040297/








ලංකාවේ ළමා සොල්දාදුවෝ හා ඉන්දීය මාවෝවාදීන්ගේ තත්ත්වය තරමක් වෙනස්









Nightmarch කෘතියේ දක්වා තිබෙන අන්දමට ගමන අතරතුරදී ඔබේ ආරක්ෂකයා විදියට කෝලි කටයුතු කළා. ඔහු ඒ වෙද්දි අවුරුදු 16 ක දරුවෙක්. මේ ගැන දැනගන්න කැමතියි. ලංකාවේ පැවති සිවිල් යුද සමයේදී LTTE ය ළමා සොල්දාදුවන් යොදාගත්තා. බොහෝදුරට සිද්ධ වුණේ මේ අරගලයට ළමයින්ව බලෙන් ඈඳාගැනීමයි. යම් හෙයකින් ළමා සොල්දාදුවන් රජයේ ආරක්ෂක හමුදා අතට පත්වුණොත් බෙල්ලේ එල්ලා තියෙන සයනයිට් කරල් කාලා සියදිවි නසාගන්න සිද්ධවෙනවා. දරුවන් යුද්ධයට දායක කරගැනීම මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයක් ද වෙනවා. ඔබ කෝලි වැනි දරුවෙකු ව දකින්නේ කොහොමද ?





ලංකාවේ ළමා සොල්දාදුවෝ හා ඉන්දීය මාවෝවාදීන්ගේ තත්ත්වය තරමක් වෙනස්. නැක්සලයිට් ව්‍යාපාරයට කිසිම ළමයෙක් බලෙන් සම්බන්ධ කරගත් කිසිදු අවස්ථාවක් මා දුටුවේ නැහැ. ඇත්තටම, කෝලි වගේ තරුණයෙකුගේ කතාව ගත්තොත් ඔහු ගරිල්ලා කණ්ඩායමට කැමැත්තෙන්ම එක්වුණා, නමුත්, පවුලේ අය ගෙනයන තේ කඩේ වැඩකරන්න කවුරුත් නැති වෙන නිසා කෝලිගේ තාත්තා මේ තීරණයට අකමැති වෙන බව දන්න නැක්සල් කණ්ඩායමේ කලාපීය අණදෙන නිළධාරියා ඔහුව බඳවාගන්න කැමති වෙන්නේ නැහැ. ආදිවාසී තරුණයින් බොහෝ දෙනෙකු කරනවා වගේ කෝලිගේ නැක්සලයිට් කණ්ඩායමත් එක්ක අවුරුදු කීපයක් ගතකරන්නේ ආදිවාසීන්ට තවත් නිවහනක් හමුවුණා වැනි හැඟීමකිනුයි. ඔහුගේ මස්සිනා කෙනෙකු මේ වෙනකොටත් ගරිල්ලා කණ්ඩායමට එකතු වෙලා ඉවරයි, ඒවගේම කෝලිගේ සොහොයුරිය වගේම බාලවියේ ඉන්න මස්සිනාත් මේ කණ්ඩායම එක්ක එකතු වෙලා.





තරුණ, තරුණයින්ට ගෙදර මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔවුන් කැරලිකරුවන්ගේ රැකවරණය සොයා යනවා. ගරිල්ලා හමුදාවට සම්බන්ධ වෙලා තරුණ, තරුණියෝ බොහෝ දෙනෙකු ලියන්න - කියවන්න ඉගෙනගන්නවා, ජංගම දුරකථන, ගිනි අවි වගේ දේවල් හැසිරවීමේ තාක්ෂණය ඉගෙනගන්නෙත් මෙතැනදීයි, කෙටියෙන්ම කිව්වොත් ගමෙන් එපිට ලෝකයක් තියෙන බව ඔවුන් දැනගන්නෙත් මෙතැනදීයි. මැර කල්ලි ආදීවාසීන්ගේ ගෙවල් පුච්චලා දැමූවිට විශේෂයෙන්ම, චත්තිගර් වල තියෙන දණ්දාකරණයා වැනි සමහර පළාත් වල ඉන්න පිරිස් හිරගෙවල් වගේ තියෙන පුරුත්ථාපන කඳවුරු හෝ ගරිල්ලා භටයන් වෙත යනවද කියලා කිසිම විකල්පයක් ඉතුරු වෙන්නේ නැහැ. කොහොම වුණත්, මං දන්න තරමින් නම් නැක්සල් භටයින් කිසිම වෙලාවක බලහත්කාරයෙන් මිනිස්සුන්ව බඳවාගන්නේ නැහැ.





ලන්ඩන් වලට ගියාම දැනෙන්න ගත්තා. බයිසිකල් පදිද්දි, උයද්දි පිහද්දි නැත්නම් හීන දකිද්දි පවා කෝලිගේ මතකය පේන්න ගත්තා, නැත්නම් සෝම්වරීට කතාකරන්න ගත්තා, විකාස් ගැන හිතෙන්න ගත්තා





ලාංකිකයින් විදියට අපි මීට කලින් සහභාගීත්ව නිරීක්ෂණ ක්‍රමය අළලා රචිත ජනප්‍රිය කෘතියක් ලෙස දුටුවේ මහාචාර්ය නන්දසේන රත්නපාල මෙරට යාචක ප්‍රජාව ඇසුරින් කළ පර්යේෂණය අළලා රචනා කළ ‘ශ්‍රී ලංකාවේ යාචකයා‘ කෘතියෙන්. ඔහුත් ඔබ වගේම අදාළ ප්‍රජාව සමග කාලයක් ජීවත්වුණා.
ඔබ ආදිවාසී ප්‍රජාව සමග වසර හතර හමාරක කාලයක් ජීවත් වුණා වගේම නැක්සල් ගරිල්ලා කණ්ඩායම සමග ඉන්දියාවේ එක කෙළවරක ඉඳන් තවත් අන්තයකට කිලෝමීටර 250 ක් පාගමනින් ගියා. ඔබේ වෘත්තීය ජීවිතයට වගේම පෞද්ගලික ජීවිතයටත් මේ අත්දැකීම බලපෑවේ කොහොමද ?









මානවවිද්‍යාඥයෙකු බවට පත්වුණාම අනෙක් මිනිස්සුන්ගේ ජීවිත වල කොටසක් බවට පත්වෙනවා, අලුත් පවුලක්, ගෙවල් දොරවල් වගේම කෙටියෙන්ම කිව්වොත් අලුත් ජීවිතයක් හිමිවෙනවා. ආපහු අපේ ඇත්ත ගෙවල් දොරවල් වලට ගියාම එතැනට උචිත අයෙකු බවට පත්වීම අතිශය අසීරු වෙනවා.






මගේ හදවත වගේම මනසත් තාමත් තියෙන්නේ ජාකන්ද් වල බව පර්යේෂණයෙන් පස්සේ ආපහු ලන්ඩන් වලට ගියාම දැනෙන්න ගත්තා. බයිසිකල් පදිද්දි, උයද්දි පිහද්දි නැත්නම් හීන දකිද්දි පවා කෝලිගේ මතකය පේන්න ගත්තා, නැත්නම් සෝම්වරීට කතාකරන්න ගත්තා, විකාස් ගැන හිතෙන්න ගත්තා.






ප්‍රශාන්ති මරාදැමූ බව, ගියැන්ජි අත්අඩංගුවට ගත්තු බවත්, විකාස් වෙනම කල්ලියක් පටන්ගත් බවත් ප්‍රවෘත්ති විදියට පළවෙලා තිබුණා. ඒත් මීට විරුද්ධ කැරලිගැහීම් ආරම්භ වූ නිසා කාටහරි කෙනෙක්ට කතා කරලා කෙලින්ම මේ ගැන දැනගන්න නොහැකි වුණා. මොවුන්ට සිද්ධ වුණේ කුමක්දැයි දැනගත්තාම මට දරාගන්න බැරිවුණා.
පවුලේ අය මාව හොඳින් තේරුම්ගෙන මං ගැන අවධානයෙන් හිටපු නිසා වාසනාවන්ත වුණා. පවුලේ බොහෝ දෙනෙකු ජාකන්ද් වලදී මං ජීවත් වුණු විදිය දැකලා තිබුණු නිසා මගේ තත්ත්වය තේරුම්ගන්න හැකිවුණා. මගේ සැමියා පවා ජාකන්ද් වලට ඇවිත් මගේ අත්දැකීම් අහලා දැකලා තිබුණා. ඔහුගෙන් පවා හොඳ සහයෝගයක් හිමිවුණා.






Nightmarch කෘතිය








මං තවත් අතකින් වාසනාවන්තයි, සහභාගීත්ව නිරීක්ෂණයේ යෙදී තිබෙන විද්වතුන් රාශියක් මැද රැකියාවේ නියැලීමත් මා ලැබූ භාග්‍යයක් වුණා, අනෙක් මිනිස්සුන්ගේ ජීවිත ගැන පුළුල් දැක්මක් තිබෙන අය වගේම ඉන්දියාවේ ඉඳන් ලන්ඩන් වලට ආවට පසසේ මං මුහුණදුන්නු අන්දමේ දුරස්ථභාවී අත්දැකීම් ද ඔවුන් යම් තරමක් දුරට අත්දැක තිබුණා. මා ඉන්දියාවේදී ලැබූ අත්දැකීම් වගේම මාවත් තේරුම් අරගෙන පර්යේෂණයෙන් පස්සේ හිටපු මාව තේරුම්ගන්න පුළුවන් වුණා.
ආපහු ලන්ඩන් ජීවිතේට හුරු පුරුදු වෙන්න මවිසින්ම තෝරාගත්ත විසඳුම වුණේ ශාස්ත්‍රීය ලේඛනයන්ට යොමුවීමයි, එකක් පසුපස එකක් විදියට විශ්ලේෂණ කළා, එක පත්‍රිකාවකට පස්සේ තවත් පත්‍රිකාවක් ලිව්වා, මේ අතරතුර ඉන්දියාවේ මහ කැළෑ ඇතුලේ සිද්ධවෙන්නේ මොකක්ද කියලත් හිතන්න ගත්තා.






මං කවදාවත් නැති විදියට වැඩකට ඇති කටයුතු වල නියැළුණා වගේම තවදුරටත් මේ කටයුතු වල නියැලීමේ උනන්දුවකුත් ඇතිවෙන්න ගත්තා, වෙනදා වගේම ආපහු ජීවත්වෙන්න තිබුණු වුවමනාව නිසා මේ දේවල් ශාස්ත්‍රීය න්‍යායන්ට බද්ධ කරන්න උත්සහ ගත්තා. මේ ඔක්කොම ශාස්ත්‍රීය කටයුතු වලින් පස්සේ Nightmarch කෘතිය රචනා කරන්න පටන්ගත්තා. මානුෂීය බද්ධ මේ කතාව හරහා මගේ හදවතට සමීප වුණු මිනිස්සුන්ගේ කතාව දිගහැරීම තුළින් මේ කෘතිය කියවන මිනිස්සුන්ගේ හදවතට සමීප වෙන්න කටයුතු කළා.





ඔබේ පොත කියවද්දි මොනම මොහොතකවත් මෙය පර්යේෂණයක් බව මට දැනුණේ නැහැ. ඵෙතිහාසික තොරතුරු, ජීවන අත්දැකීම් වගේම ගරිල්ලා පිරිස් වල මානුෂීය ගුණාංග ගැබ්වූ කතා එකිනෙක ගලපාලමින් පොතේ රිද්මය ද නොකඩා කෘතිය මගින් ගෙනහැර දැක්වූවේ කොහොමද ?





ම්ම්, මේ ඇගයීම් වලට ස්තුතියි. බොහෝ පර්යේෂණයන් ලියැවෙන්නේ කිසිම රසවත් බවක් නැති ශාස්ත්‍රීය බසකින් බව මං පිළිගන්නවා, ඒ වගේම මෙවැනි සටහන් වලදී අන් කිසිමදෙයකට වඩා පවතින කරුණු ව්‍යාකූල කර ඉදිරිපත් කිරීම සිද්ධ වෙනවා. මං අත්විඳි ජීවිතය ගැන ශාස්ත්‍රීය කාරණා වලින් ඔබ්බට ගිහිං රචනා කරද්දී දැඩි අධිෂ්ඨානයක් මතු වුණා.






ශාස්ත්‍රීය කරුණු සරළව පොතක් විදියට ඉදිරිපත් කරලා ඒ හරහා හැමදෙනාටම මේ මානවවිද්‍යා කරුණු ගැන උනන්දුවක් ඇතිකරන්න උත්සහ ගත් අවස්ථා ගණනාවක් තිබෙනවා. පිලිප් බෝර්ජස්, සිඩ්නි මින්ට්ස්, රූත් බෙහාර් හා ලුවී ස්ට්‍රවුස් වැන්නන්ගේ කෘතීන් ඒ අතර ප්‍රමුඛයි. ශාස්ත්‍රීය ලේඛනයේදී මා උගත් සියලුම දේවල් නැවත අලුතෙන් සකස් කරන්න ගත්තා. සුවිශේෂී පර්යේෂණ වල නියැලෙමින් නැත්නම් අත්දැකීම් පදනම් කරගනිමින් ලියැවුණු එමිල් සෝලාගේ Germinal නැත්නම් ප්‍රීමෝ ලෙවිගේ Periodic Table වැනි කෘතීන් ගත්විට යථාර්තවාදී නවකතා රචකයින් ද සිය කෘතීන් වලදී දැඩි වෙහෙසක් ගෙන තියෙනවා.






මට දැඩි උනන්දුවක් ඇතිකළේ ජෝර්ජ් ඕවෙල්ගේ කෘතීන්, දේශපාලනික කරුණු අළළා ඔහු රචනා කළ Road to Wigan Pier නැත්නම් Homage to Catalonia වගේ රචනා වලට පවා ගැඹුරු පර්යේෂණාත්මක වාර්තාවන් බලපෑවා. සවන්දීම මේ ලියන කරුණු වල සමාරම්භය බව ඕවෙල් පැවසුවා, බොරුව මෙහිදී අනාවරණය විය යුතුයි, කරුණු අවධානයට ලක්කළ යුතු වෙනවා වගේම මේ ක්‍රියාවලිය සෞන්දර්යාත්මක අත්දැකීමට බඳුන් විය යුතුයි.
මින් ලැබුණු උනන්දුවත් එක්ක මානවවිද්‍යාවේ හරයන් හා සහභාගීත්ව නිරීක්ෂණය මගින් සොයාගන්නට හැකි සුවිශේෂී කරුණු ඉදිරිපත් කරන්න වුවමනා වුණා, එය අමුතු දේවල් සාමාන්‍ය දේවල් විදියට දකින්නත් සුපුරුදු දේවල් අමුතු විදියට දකින්නත් තියෙන ආසාවක්, පර්යේෂණයකින් තොරව ඉදිරියේදී දැනගන්නට නොහැකි අනපේක්ෂිත දේවල් අනාවරණය කිරීමේ හැකියාවක්.






‘Nightmarch’ කෘතියෙන් ගරිල්ලා භටයින්ගේ දෛනික ජීවිතය ගැන කීම වෙනුවට කිලෝමීටර 250 ක් පුරා ගරිල්ලා පාබල හමුදා කණ්ඩාමත් සමග මහ රෑ, ඝන අඳුරේ ගිය ගමන ගැන කීම මගේ මූලික අදහස වුණා, මට මුණගැහුණු විවිධාකාර මිනිස්සු ගැන වෘත්තාන්තයක් රචනා කිරීම වගේම වඩා යහපත් හෙටක් ගැන වූ බලාපොරොත්තුවෙන් ඒ පිරිස අවි අතට ගත්තේ ඇයි කියන කාරණේ වගේම ඔවුන්ගේ හීනය බිඳ වැටුණු අන්දම ගැනත් මෙහි තිබෙනවා.
නැක්සල් ව්‍යාපාරයේ සිටින පුරාකෘතික චරිත ගැන විශේෂ අවධානයක් යොමුකළා. ඒ අතර ඉහළ පැලැන්තියේ බුද්ධිමතුන් නියෝජනය කරන පරමාදර්ශී චරිතයක් වන ගියැන්ජි, ආදිවාසී සෙබළෙකු වන කෝයිල් වගේ කෙනෙකු වගේම විකාස් වැනි දරුණු පුද්ගලයොත් මේ අතර හිටියා. ගරිල්ලා භටයින් සමග අමනාපයෙන් සිටින කාන්තාවක් වන සෝම්වරීත් ඒ අතර ඉන්නවා.
මේ විවිධාකාර පුද්ගලයින් පදනම් කරගෙන ලියැවුණු ප්‍රබන්ධ නොවන කෘතියක් බවට Nightmarch පත්වෙනවා. සමකාලීන ඉන්දියාවේ ජීවත්වෙන මාවෝවාදීන් මුහුණදෙන දුක්මුසු අත්දැකීම් මෙන්ම අතීතයේ හා අනාගතයේ දී පැවති ඔවුන්ගේ බලාපොරොත්තු, විෂමතා හේතුවෙන් පවතින ගැටුම් හා අවිනිශ්චිත තත්වයන් ගැනත් මෙහි සටහන් වී තිබෙනවා.






නැක්සල් ව්‍යාපාරයට සම්බන්ධ වී ඉන්න බොහෝදෙනෙකු කොන්කිරීමට ලක්වූ අයයි. මීට කලින් හීනකුල අය ලෙස හැඳින්වූ දලිත්වරු විශේෂයි

















Nightmarch කෘතියේ ඉන්න අවිගත් කැරලිකරුවන් ගැන බලද්දි ඉන්දියාවේ පවතින කුල ක්‍රමයේ විෂමතාව වගේම සමාජයෙන් පහත් යැයි සලකා සැලකුම් ලබන දලිත් කුලයේ අය පවා නැක්සල් ව්‍යාපාරයට සම්බන්ධ සිටින අයුරු දක්වා තිබෙනවා. විශේෂයෙන්ම මෙහි ඉන්න ප්‍රශාන්ත් වගේ කෙනෙකු ගත්තොත් විවිධ කුල, ප්‍රදේශ, අධ්‍යාපනික පසුබිම් නියෝජනය කරමින් නැක්සල් පිරිස සමග සම්බන්ධවී ඇති බව පේනවා. නැක්සල් ව්‍යාපාරයට ඉන්දියාවේ පවතින කුල ක්‍රමය වගේම බලපා අනෙක් සමාජ සාධක බලපා තිබෙන්නේ කොහොමද ?





ඔබ කියන කතාව හරි, ඵෙතිහාසික කරුණු ගැන සැලකිලිමත් වුණත් නැක්සල් ව්‍යාපාරයට සම්බන්ධ වී ඉන්න බොහෝදෙනෙකු කොන්කිරීමට ලක්වූ අයයි. මීට කලින් හීනකුල අය ලෙස හැඳින්වූ දලිත්වරු විශේෂයි. කඳුකර හා වනගත ප්‍රදේශ වලදී වැඩිපුරම සම්බන්ධ වෙලා ඉන්නේ ආදීවාසීන් නැත්නම් ඉන්දියාවේ ගෝත්‍රික ජනතාවයි. මේ ප්‍රජාව නැක්සල් ව්‍යාපාරය වටා ඒකරාශී වීමට ඔවුන්ගෙනයන කුල පීඩනය හා සූරාකෑමට එරෙහි සටනත් බලපා තිබෙනවා.





දලිත්වරුන්ගේ ස්පර්ශයට ලක්වෙන හැමදේම අපිරිසිදු වෙනවා කියලා බොහෝ ප්‍රදේශ වලදී ඉහළ කුලවල අය වතුර ගන්න ළිඳෙන් දලිත්වරුන්ට වතුර ලබාගන්නවත් දෙන්නේ නැහැ. දලිත්වරු ගමේ ඉහළ කුලවල අය ජීවත්වෙන තැන් පසුකරද්දී පාවහන් ගළවා යන්න වගේම ඉහළ කුලවල අය දිහා කෙළින් බලන්නත් ඔවුන්ට ඉඩක් නැහැ. පරම්පරා ගාණක් තිස්සේ සමහර පිරිස් සැලකුම් ලබන්නේ ගොවිකම් වලට යොදාගන්නා වහල්ලු විදියටයි. ආදිවාසීන් අතිශය ම්ලේච්ඡ හා රෞද්‍ර කොට්ඨාසයක් විදියට ‘ජංග්ලි‘ යන නමින් හඳුන්වනවා. මීට ශතවර්ෂ ගාණකට කලින් අධිරාජ්‍යවාදී පාලන සමයේදී ඔවුන්ට අයිති කැලෑව හා භූමිය පැහැරගත්තා.





නැක්සල් ව්‍යාපාරයට සම්බන්ධවී ඉන්න නායකයින් බොහෝ දෙනෙකු ඉහළ කුල නියෝජනය කරනවා, මධ්‍යම පාංතික පවුල් පසුබිමකින් යුතු මේ පිරිස නැක්සල් ව්‍යාපාරයට සම්බන්ධ වනවිට ඔවුන්ගේ අතීතය අමතක කරදමලා ‘කුලයෙන් තොර‘ හා ‘පංතියෙන් තොර‘ පිරිසක් විදියට ජීවත්වෙන්න බලාපොරොත්තු වෙනවා. මොවුන්ගේ අරමුණ වෙන්නේ කුලභේදයෙන් හා පංතිභේදයෙන් තොර සමාජයක් නිර්මාණය කිරීමයි. ඉතිං ඉන්දියාවේ කොතැනකදීවත් දකින්නට නොලැබෙන දෑ නැක්සල් හමුදාව අතර සිද්ධවෙනවා. උදාහරණයක් විදියට ගත්තොත් ඉහළ හා පහළ කුලවල පිරිස් එකම පිඟානේ බත් බෙදාගෙන කනවා, වෙන තැනක මේ දේ කළොත් ඉහළ කුලවල අය අපිරිසිදු වෙන බව පවසනවා. නැක්සල්වරු කුලය හා පංතියෙන් මිදෙන්න මේ වගේ කටයුතු අනුගමනය කළාට අතීත පැල්ලම් මකාදමන්න බැහැ.









කුලවාදය මුල්කරගත්තු සමාජයට සාපේක්ෂව ආදිවාසී සමාජය සමානතාවෙන් අනූනයි









උසස් යැයි සම්මත කුල වල පිළිගන්නා පිරිමින් හා සමාන සැලකුම් කාන්තාවන්ට ද හිමිකරදීම වැනි යහපත් පුරුදු අතින් ආදිවාසී සමාජය පිරිපුන් බව Nightmarch හි දක්වා තිබෙනවා. මේ ගැන වැඩිදුර පැහැදිලි කිරීමක් කළොත් ?





හ්ම්, මං විඳපු අත්දැකීම් ඇසුරින් කතා කරන්නම්. මට ආදීවාසී අය අතර ජීවත්වෙන්න ලැබුණේ අහම්බයකින් වගේ. නිදහසේ එහේ මෙහේ යන්න වගේම ඉන්දියාවේ අනෙක් ප්‍රදේශ වල කළ නොහැකි පර්යේෂණ කටයුත්තක නියැලෙන්න ලැබුණු නිසා මං කොච්චර වාසනාවන්තයිද කියලා තේරුණේ ටික කාලයක් ගතවුණාට පස්සේ. මගේ බයිසිකලේ පැදගෙන නැත්නම් බයික් එකේ, පොදු ප්‍රවාහන සේවාව වුණු ජීප් එකේ රෑ තිස්සේ පවා ගමින් ගමට ගියා. මං තනියම ජීවත් වුණේ බොහොම කලාතුරකින්. ගැහැණු පිරිමි මේ හැමෝම එක්කම තනියම වගේම කණ්ඩායමක් විදියටත් කතාබහ කළා. මේ හැමතැනදීම මං හිටියේ ආදිවාසීන් එක්ක වුණත් කවදාවත් පිරිමි අය ගැන බියක් හෝ ඔවුන්ගෙන් බලපෑමක් වන බව දැනුණේ නැහැ.






නමුත්, මම කාන්තාවක් කියන බවත් මං කරන කියන දේ ගැන සැලකිලිමත් විය යුතු බවත් ආදීවාසීන් ජීවත් වුණු ප්‍රදේශයෙන් බැහැරට ගියාම තේරුම් ගත්තා. ඉන්දියානු සමාජය අතිශය පීතෘමූලික නිසාම ඉහළම පංතියේ පිරිස් හැර අනෙක් අය අතර කාන්තාවන්ට කරන්න පුළුවන් මොනවද ? බැරි මොනවද ? කියලා ප්‍රතිමාන රැසක් හදාගෙන තියෙනවා.






මම හිටියේ ආදීවාසීන් ජීවත්වෙන කැලෑව සමීපයේ තිබෙන බිහාරයේ, ජාකන්ද් වල හිටපු ගොඩක් කාන්තාවෝ මිනිස්සු ඉදිරියේ වේලයෙන් මුහුණ වැහුවේ නැහැ, රැකියාවක් කරන්න කොතැනකටවත් ගියෙත් නැහැ, ගෙදර දොරට පමණක් සීමාවෙලා කාලය ගතකළා, ගෙදර මනුස්සයා වියපැහැදම් ගැන බලාගත්තු නිසා ආර්ථිකමය වශයෙන් ස්වාධීන වෙලා හිටියෙත් නැහැ.






ආදිවාසී සමාජය මීට හාත්පසින්ම වෙනස්. පුරුෂ මූලිකත්වයට වෙනුවට කාන්තාවන්ටත් සමාන සැලකුම් ලැබුණා. ගමට සාපේක්ෂව ආදිවාසී සමාජය සමහිමිකම්වාදී බව මේකෙන් අදහස් නොවුණත් කුලවාදය මුල්කරගත්තු සමාජයට සාපේක්ෂව ආදිවාසී සමාජය සමානතාවෙන් අනූන වූ බව මින් පේනවා. ආදිවාසී කාන්තාවෝ මිනිස්සුත් එක්ක හරි හරියට වැඩකළා, මුහුණු වසාගෙන හිටියේ නැහැ, පිරිමි වගේම ගෙදර හදපු මත්පැන් බිව්වා, මේක ඉන්දියාවේ වෙන කිසිම පළාතකින් ඇහෙන්නේ නැති කතාවක්.






ඉන්දීය සමාජයේ අනෙක් තැන්වල සිද්ධ වෙන විදියට ආදිවාසී කාන්තාවෝ වගේම පිරිමි අතරත් විවාහ වෙන්න කලින් වගේම විවාහයට පස්සේ තියෙන සම්බන්ධතා නිසා කතා අහගන්න වුණේ නැහැ, තමන්ගේ විවාහය ගැන කාන්තාවක් අසතුටුයි නම් සමාජයේ ගැරහුම් ලබන්නේ නැතිව සැමියාගෙන් වෙන් වෙන්න පුළුවන්. ඉන්දියාවේ අනෙක් ප්‍රදේශ වල වගේ පීතෘමූලික පවුල් ක්‍රමය ඇතුළේ කාන්තාවෝ හිරවෙලා නැහැ, ඔවුන්ට ගෞරවණීය ලෙස සැලකුම් ලැබෙනවා, ඉන්දීය අනෙක් කුලවල කාන්තාවන්ට සාපේක්ෂව ගරුත්වය හා සමාන සැලකුම් ලැබෙනවා.














නැක්සල් හමුදාවට සම්බන්ධ වෙලා ඉද්දි දරුවෝ හදන්න බැහැ














මාවෝවාදී ව්‍යාපාරය වටා කාන්තාවන් පෙළගැහෙන්න පවුලෙන් විඳින්න ලැබුණු විවිධ කරදර, හිරිහැර බලපා තිබෙන බව Nightmarch කෘතියේදී සඳහන් කර තිබෙනවා. ඇත්තටම, මීට වඩා වෙන හේතු කාරණා තිබුණද ? ඔවුන්ට දරුවන් හදා වඩා ගැනීමේ හැකියාව ලැබෙන්නෙත් නැහැ. ඒවගේම මේ කෘතියේ ඉන්න අනුරාධා වගේ චරිතයක් ගත්විට ඇගේ විශ්වාසය වී තිබෙන්නේ ‘‘කාන්තාවන්ට විප්ලවයක් අවශ්‍යයි වගේම විප්ලවයටත් කාන්තාවන් අවශ්‍යයි‘‘ යන්නයි. මේ ප්‍රකාශයේ බලපෑම ඔබේ අත්දැකීම් ද සමග ගළපාගන්නේ කොහොමද ?





කාන්තාවෝ ගරිල්ලා කණ්ඩායමට එකතුවෙන්න විවිධ හේතු බලපානවා. ගෙදර ඇතිවුණු රණ්ඩුවලින් බේරෙන්න, නැත්නම් ගරිල්ලා කණ්ඩායමේ ඉන්න පිරිස් එක්ක ප්‍රේම සම්බන්ධතා ඇතිවීම වගේම වෙනස් ලෝකයක අත්දැකීම් විඳගන්න වුවමනා නිසා එකතුවෙනවා. නැක්සල් ව්‍යාපාරය ඇතුළේ විවාහය හා දරුවන් හදාවඩා ගැනීම ගැන තදබල කොන්දේසි තිබෙන බව ඇත්තක්. කාන්තාවක් හා පිරිමියෙකු අතර අතිසමීප සම්බන්ධයක් තියෙනවා නම් ඔවුන් විවාහ කරදීලා පිටමං කරනවා. නමුත්, නැක්සල් හමුදාවට සම්බන්ධ වෙලා ඉද්දි දරුවෝ හදන්න බැහැ. මෙහිදී ඔවුන්ගේ තර්කය වෙන්නේ යුද සමයේදී දරුවෝ රැකබලා ගැනීමේ හැකියාවක් ගරිල්ලන්ට නැති බවයි.






කාන්තාවන්ට දරුවෝ ලැබෙන්න ඉද්දි බොහෝ දුරට ඔවුන් ගරිල්ලා හමුදාවෙන් ඉවත් වෙලා යනවා, දරුවෝ කොහේ හරි තැනකට හෝ වෙන පවුලකට දීලා නැවත පැමිණෙන්නේ බොහොම අතලොස්සයි.






මාවෝවාදීන් තමන් සමානාත්මතාවාදීන් බව සැලකුවත් පීතෘමූලික ආකල්ප ඔවුන් අතරත් බහුලව තිබෙන බව Nightmarch කෘතියේදී සාකච්ඡාවට බඳුන් කළා. ‘‘කාන්තාවන්ට විප්ලවයක් අවශ්‍යයි වගේම විප්ලවයටත් කාන්තාවන් අවශ්‍යයි‘‘ යන්න මාවෝවාදීන් අතර හිටපු ජ්‍යෙෂ්ඨ නායිකාවක් අනුරාධා ගාන්ධි කිව්වේ ඒ නිසයි. මාවෝවාදී ව්‍යාපාරය ඇතුළේ තියෙන පීතෘමූලිකවාදයට එරෙහිව සටන් කිරීම වැදගත් බව ඇය කිව්වා





අසල්වැසි ආදිවාසී සමාජයට වඩා නැක්සලයිට් හමුදාව අතිශය පීතෘමුලික බව මගේ පර්යේෂණයේදී තේරුම්ගත්තා, නැක්සලයිට් පිරිසට විවෘත මනසකින් ලෝකය ගැන කියාදෙන්න ආදිවාසී කාන්තාවන්ගේ අවශ්‍යතාවය මතුවෙනවද ? කියන කාරණය මාත් ප්‍රශ්න කළා.









පර්යේෂිකාවක් හා මේ ගරිල්ලා පිරිස් සමග කලක් ජීවත්වුණු කෙනෙක් විදියට නැක්සල් ව්‍යාපාරයත් සමග බැඳුණු සංස්කෘතිය ගැන දැනගන්න කැමතියි. විශේෂයෙන්ම, ඔවුන්ගේ ගීත, පරිශීලනය කරන කෘතීන්, ඇඳුම් පැළඳුම්, ධූරාවලිය හා සංකේත වගේ දේවල්. නැක්සල් ව්‍යාපාරයට අළුතෙන් එක්වෙන අය සමග ඔවුන් දැනුම බෙදාහදාගන්නේ කොහොමද ?





මේ දේවල් ගැන හරියටම දැනගන්න නම් Nightmarch කියවන්න වෙනවා. හ්ම්, උනන්දුවෙන් ඉන්න පාඨකයින් පුංචි පෙළඹවීමක් කරන්න එක කෑමක් ගැන විතරක් කියන්නම්.
‘බෝම්බ චට්නි‘. කන්න වෙන කිසිදෙයක් නැතිව බත් විතරක් තියෙද්දී නැක්සල් නායකයෙක් හොයාගත්තු කෑමක් මේක. මේක බොහොම රස කෑමක් නිසා මම නම් හිතන්නේ බොහොම විප්ලවීය හොයාගැනීමක් කියලා.






පොතු අයින් නොකරපු සුදුළූණු ගිනිමැලයකට දාලා පුච්ච ගන්න. ඊට පස්සේ සුදුළූණු වල පොතු ඇරලා ඒවා අමු මිරිස් එක්ක අඹරගන්න. අබතෙල් නැත්නම් මොනාහරි තෙලක දාලා රත් කරන්න. තෙල් නටද්දි ඒකට සූදුරු, මහදුරු වගේ ඒවා දාගෙන අඹරගත්ත මිශ්‍රණය දාන්න. හැමදෙයක්ම රස කරන රසම රස චට්නි එකක් හැදෙනවා.





මානවවිද්‍යාඥයෝ විදියට අධ්‍යයනයට බඳුන් කරන ජනතාව ගැන ගැඹුරින් හැදෑරීමේ පුරුද්දක් අපට තියෙනවා









ඔබ නැක්සල්භටයෙක් විදියට සැරසුණු අන්දම ගැන Nightmarch කෘතියෙන් විස්තර කර තිබෙනවා. ‘‘ඔලිව් පැහැ කමිසය හා කලිසම මගේ සිරුරේ ප්‍රමාණයටත් වඩා ලොකුවූ අතර කලිසම යන්තමින් බඳ පටියකින් දවටා ගත්තෙමි. මා කාන්තාවක් යන්න සම්පූර්ණයෙන්ම යටකර දැමු මේ පෙනුම බිමල්ජී පිළිගනීවිද ?. කෙස් වැටිය ද නමා කොළ පැහැ ගරිල්ලා තොප්පියකින් වසාගෙන පිරිමින්ගෙන් පමණක් සැදුම්ලත් ගරිල්ලා පාබළ හමුදා කණ්ඩායම සමග ගමන් කරන්නට පටන් ගතිමි. ‘. මේ විදියට ඇඳ පැළඳගෙන නැක්සල්භටයෙක් විදියට ගෙවපු දවස් හත දැනුණේ කොහොමද ?





හ්ම්, ඒ වෙලාවේ මං කළයුත්තේ මේ දේ කියන බව දැනුණා. මානවවිද්‍යාඥයෝ විදියට අධ්‍යයනයට බඳුන් කරන ජනතාව ගැන ගැඹුරින් හැදෑරීමේ පුරුද්දක් අපට තියෙනවා. ඔවුන්ගේ භාෂාව, පූජාවිධි, චාරිත්‍ර වාරිත්‍ර වගේම ඔවුන් සමග එක්වී ගායනය, නර්තනයේ පවා යෙදෙනවා. ඉතිං, ඔවුන්ගේ සාමාජිකයෙකු විදියට සැරසීම අමුතු දෙයක් විදියට නම් ඒ වෙලාවේ දැනුණේ නැහැ. ඔවුන්ව අනුගමනය කරමින් ගැවසුණාට කවදාවත් ඔවුන්ගේ කෙනෙකු බවට අපි පත්නොවී ඒ ජීවිතය, අත්දැකීම් විඳින්න උත්සහ කරනවා. මං නැක්සල් සෙබළෙකු විදියට සැරසුණත් ගරිල්ලාවරු අතර මානවිද්‍යාඥයා විදියටම හිටියා.





මුඩුක්කු ජීවිතය තුළ මිනිස්සු විඳින දුක දකින ගියැන්ජි වගේ කෙනෙකු සටන් කරන්නේ මූලික මිනිස් අයිතිවාසිකම් වෙනුවෙන් බව ඔබ Nightmarch කෘතියේ දක්වා තිබෙනවා. පර්යේෂණයේදී සොයාගත් කරුණු මානුෂීය මුහුණුවරකින් කෘතියට ගෙන එනවිට මොනවගේ අභියෝග වලට ද මුහුණපාන්නට වුණේ ?





කඨෝර ශාස්ත්‍රීය භාෂාව වෙනුවට කලාත්මක ආකර්ශණීය බසකින් මගේ පර්යේෂණය ඉදිරිපත් කිරීම දැවැන්තම අභියෝගය වුණා. නිර්මාණාත්මක රචනා වලදී කියනවනේ, ‘පවසන්නේ නැතිව පෙන්වන්න‘ කියලා, මේ උපදේශය නම් මට බොහොම වැදගත් වුණා.
මං මෙහිදී නවකතාවක් රචනා කළේ නැති නිසා නවකතා රචකයෙකු වගේ නිර්මාණාත්මක බවින් අගතැන් පරිකල්පනය වුවමනා වුණේ නැහැ.






මගේ පර්යේෂණයට හා එහි බහුවිධ ස්ථර විශ්ලේෂණයට හැබෑවටම බැඳී ඉඳලා මට හමුවුණු මිනිස්සුන්ගේ සංවේදී කතා වලට බැඳී ඉන්න වුවමනා වුණා.





සෙබළියන්




කොමියුනිට්ස් විප්ලවය හා ඉන්දියාවේ ආගමික, දාර්ශනික සංකල්ප තුළ අවධානයට ලක්වෙන අභිනිෂ්ක්‍රමණය අතර අඛණ්ඩ සම්බන්ධයක් පවතිනවාද ? යන්න ඔබ ගැන Nightmarch හිදී විමසනවා. හින්දු, බෞද්ධ නැත්නම් ජෛන දර්ශනය අනුගමනය කරන ගාන්ධි වගේම නැක්සල් ව්‍යාපාරයට සම්බන්ධ ගියැන්ජි චරිතයත් එහිදී දක්වනවා. මේ ගැන කිව්වොත් ?






එකිනෙකට වෙනස් අන්දමේ නිදහස් ව්‍යාපාරයන් වන මේ සංකල්ප දෙක අතර තිබෙන අඛණ්ඩතාව ගැන මං හිතන්න ගත්තේ ඉහළ පැළැන්තියේ නැක්සල් නායකයෝ මුණගැහුණට පස්සේ. මොවුන් කැළෑ වල ජීවත්වෙන්නේ තාපසයින් හෝ සාන්තුවරයින් වගෙයි. තමන්ගේ පුද්ගලික බඩුබාහිරාදිය වගේම පවුලේ උදවිය මේ හැමදේම අතෑරලා දාලා විමුක්තිය හොයාගෙන යනවා. එක අතකට මොවුන් හින්දු සාධුවරයින් හෝ ජෛන පිරිස් හා සමානයි, ගියැන්ජි වගේ චරිතයක් ගත්තොත් ඔහු සිය තරුණ අවදියේදී ගංගා ගඟ අසබඩ ඉඳගෙන නිර්වාණය දකින අරමුණින් භාවනාවේ යෙදී තියෙනවා. ඔහු කොයිතරම් ආගමට ලැදි කෙනෙකු ද කිව්වොත් හින්දු මන්ත්‍ර කියන්නේ නැතිව කූමියෙක් පාගාන්නේ වත් නැහැ.






අතහැරීම යැයි සිතා තමන් මේ යන්නේ වැරදි පාරක බව ඔහු දැනගන්නේ විශ්වවිද්‍යාලයට ගිහිං විවෘත මනසින් යුතු ආචාර්යවරු හා සිසුන් හමුවුණාට පසුවයි, ‘දෙවියන්ගේ මරණය‘ ලෙස ලියැවුණු අත් පත්‍රිකා බෙදාහරින්න පටන්ගන්න ඔහු කොමියුනිට්ස් විප්ලවයට එකතු වෙනවා.
නිදහස හොයාගෙන ආගම පස්සේ යන පිරිස් හොයන්නේ තමන්ට පමණක් සීමා වුණු නිදහසක්, ඒ හරහා සමානාත්මතාවයෙන් යුතු ලෝකයක් වෙත යන්න ඔවුන් දරන උත්සහය හා කොමියුනිට්ස් විප්ලවය අතර දැඩි වෙනසක් තියෙනවා, සමස්ත සමාජයේම නිදහස සොයායන විප්ලවයෙන් සමානාත්මතාවයෙන් පිරිපුන් සමාජයක් මේ මොහොතේදී ගොඩනගන්න උත්සහ ගන්නවා.
















ඉන්දීය රජය ආදිවාසීන්ව නොසලකා හැරලා









නැක්සල් ව්‍යාපාරයට රජයෙන් එල්ල වන බලපෑම හා මේ ව්‍යාපාරයට කළු සල්ලි ලැබෙන්නේ කොහෙන්ද කියන වගත් ගැන Nightmarch කෘතියේදී අමතක කරලා නැහැ. ? ඉන්දීය රජය ‘ග්‍රීන් හන්ට්‘ මෙහෙයුමේදී පවා වාසි ලැබූ බව ඔබ දක්වා තිබෙනවා. නැක්සල් ව්‍යාපාරයේදී රජය ඉටුකරන කාර්යභාරය ගැනත් දැනගන්න කැමතියි. ?






රජය මේ ගැටුම සම්බන්ධයෙන් අතිශය අනර්ථකර මැදිහත්වීමක් ඉටුකිරීමත් තැතිගන්වන සුළුයි. ඉන්දීය රජය විසින් ආදිවාසීන්ව දශක ගණනාවක් තිස්සේ නොසලකා හැර ඉන්නවා. ඉන්දියාව අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස් වෙලා වසර 70 ක් ගතවී තිබුණත් මං ජීවත්වුණු ගමේ පවා නළ ජලය, විදුලිය, සනීපාරක්ෂක පහසුකම් පවා තිබුණේ නැහැ, නමුත්, ඩොලර් වලින් හම්බකරන බිලියනපතියන් සීඝ්‍රයෙන් දියුණු වෙනවා.






ඊට පස්සේ හදිසියේම වගේ නව සහශ්‍රකයේදී වනාන්තර හා භූමිය ගැන අලුත් පිබිදීමක් ඇතිවෙන්න පටන්ගැනීමත් එක්ක රජය - නැක්සල්වරුන්ට හා ආදිවාසීන්ට සලකන්න ගත්තේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි තර්ජන තියෙන බව දක්වලා ඔවුන් ත්‍රස්තවාදීන් මැද්දේ ජීවත්වෙන බව සලකමිනුයි.






2010 දී අතිදරුණු කැරලි මර්දන කටයුතු ආරම්භ වීමත් සමග ආරක්ෂක අංශ වල දස දහස් ගාණක පිරිසක් ගරිල්ලා මර්මස්ථාන වෙත යැව්වා. ගරිල්ලා කණ්ඩායම් සමග සටන් කරන්න ඔවුන්ටම ආවේණික ක්‍රම ශිල්ප ඔස්සේ පුරුහු පුහුණු වුණු මේ පිරිස වෙඩි නොවදින වාහන හා යුධ ටැංකි අරන් ආව.






‘සුද්ධ කිරීමේ මෙහෙයුම‘ (සල්වා ජුඩුම්) නමින් රජයේ සහය ලැබුණු අතිදක්ෂ කණ්ඩායමක් චත්තිගර් වල හිටියා, මේ පිරිස ගෙවල් ගිනි තිබ්බා. ගොඩක් මිනිස්සු මරලා දැම්මා, කාන්තාවෝ දූෂණය වුණා මිනිස්සු 350,000 කට උන්හිටිතැන් අහිමි වුණා. අදටත් මධ්‍යම හා නැගෙනහිර දිග ඉන්දියාවේ සිරකඳවුරු පිරිලා තියෙන්නේ නැක්සල්වරු විදියට අල්ලාගත්ත ආදිවාසී මිනිස්සුන්ගෙන්, අවුරුදු ගාණක් නිකරුණේ ඔහේ ගතකරන්න ඔවුන්ට සිද්ධ වෙලා තියෙනවා, හිරේදිම වයසට යනවා මිසක් මේ අසාධාරණේ වෙනුවෙන් කවුරුත් සටන් කරන්නේ නැහැ. මේ නඩු අහන්න පටන්ගත්තත් ඒකටත් කාලයක් ගතවෙනවා. මං ජීවත්වුණු ජාකන්ද් වල විතරක් නැක්සල්වරු යැයි චෝදනා ලබා සිරගත කරපු ආදිවාසී මිනිස්සු ගාණ 4000 කටත් වැඩියි.
මානව හිමිකම් ක්‍රියාධරයින් කියන්නේ මේ ප්‍රදේශයේ තියෙන ඛණිජ සම්පත් පහසුවෙන් ලබාගැනීමට අවශ්‍ය මග සකස් කිරීම මේ ආරක්ෂක මෙහෙයුම් පිටුපස තිබුණු අරමුණ බවයි. ආදිවාසීන් ජීවත්වෙන කැලෑ වන ජාකන්ද්, තෙලන්ගානා, ඔරිස්සා, උතුරු ආන්ද්‍ර ප්‍රදේශය ආදියේ වටිනාකමින් අනර්ඝ ඛණිජ සංචිත විසිරී තිබෙන නිසා පතල් කර්මාන්තයේ නිරත සමාගම් වලට මේ ප්‍රදේශ ලබාදෙන්න පොරොන්දු වී තිබෙනවා.






යටත්විජිත යුගයේදී ඉඳන් පැවත එන නීති ක්‍රමය වගේම මීට එරෙහිව ආදිවාසීන් අඛණ්ඩව සටන් කරන නිසා ඒවා ලේසියෙන් අත්පත්කරගැනීමට නොහැකි වීමත් රජයට ප්‍රශ්නයක් වී තිබෙනවා. රජය මැදිහත් වෙලා ආරක්ෂාව තර කරනවා කියලා මෙහෙයුම් දියත් කරන්නේ ඒ නිසයි. ආරක්ෂාව හා කැරලි මර්දනයට සල්ලි වැඩි වැඩියෙන් ගලා ඒමත් බරපතල තත්ත්වයක් උදාකරලා තියෙනවා. නැක්සල්වරු තදබල තර්ජනයක් නොවුණත් මේ කටයුතු වලින් වාසි ලබන අයට ඒ සම්පත් ලබාගැනීමේ වුවමනාව දැඩිව තිබෙනවා. කඳුකරය, මධ්‍යම හා නැගෙනහිර ඉන්දියාවේ ජීවත්වෙන ආදිවාසීන්ගේ ජීවිත වල කම්කටොළු වැඩි වෙලා තියෙනවා. ඔවුන්ගෙන් මේ භූමිය වෙන්කරනවා කියන්නේ මිනිස්සුන්ගෙනුත් එය අයින් කරනවා කියන බවයි. ආදිවාසීන්ගේ ජීවිත හා සංස්කෘතිය විනාශවීම ලොවපුරා දකින්නට හැකි අතිශය ඛේදනීය තත්ත්වයක්.





















සබැඳි පුවත්













නැක්සල් ගරිල්ලා භටයින් සමග දිවිගෙවූ ඇල්පා ෂා ගේ කතාව – Nightmarch









සාකච්ඡාව හා සටහන - වින්ධ්‍යා ගම්ලත්


0 comments: