Hot!

මිනියෝසියස් වෙත ලිපිය


පහතින් පළ වන්නේ එපිකියුරස් ගේ ජනප්‍රිය රචනයක් වන ‘මිනියෝසියස් වෙත ලිපිය‘ සඳහා සිංහල  සිංහල පරිවර්තනයකි. දර්ශනය සහ කලා න්‍යායට සම්බන්ධ වැදගත් කෙටි ලිපි සිංහලට පරිවර්තනය කිරීමේ ‘බව’ ව්‍යාපෘතිය යටතට මෙය අයත් වේ. අප නිරන්තරයෙන් පෙනී සිටින ස්ථාවරයක් වන්නේ දර්ශනය යනු ඇකඩමික් විෂයක් හෝ හුදු බුද්ධිමය ව්‍යායාමයක් නොව මිනිසුන් සංවිධානය කරනා මෙවලමක් සහ පවත්නා ක්‍රමයට එරෙහිව සිට ගත හැකි ආස්ථානයක් වන බවයි. අතිශය බලපෑම්සහගත දාර්ශනික ගුරුකුලයකට නායකත්වය දුන් එපිකියුරස් නම් ග්‍රීක මිනිසා ගේ අදහස් තරම් මේ සඳහා ගැලපෙන දේ ඉතාම සීමිත වේ. 





එපිකියුරස් [ සිංහල පරිවර්තනය – වංගීස සුමනසේකර ]





තරුණ වියේදී දර්ශනය ඉගෙනීම පමා කිරීම හෝ මහළු වියේදී එයින් වෙහෙසට පත්ව ඉවත් වීම කිසිවෙක් අතින් සිදු නොවිය යුතුය. මෙයට හේතුව වන්නේ අධ්‍යාත්මික සෞඛ්‍යය පිළිබඳව සිතීමට කිසිවෙකු තරුණ වැඩි වන්නේ හෝ මහළු වැඩි වන්නේ හෝ නොමැති වීමයි. දර්ශනය පිළිබඳව සිතන්න කාලය තවමත් පැමිණ නොමැති වේ කියා හෝ දර්ශනය පිළිබඳව සිතිය හැකි කාලය අවසන් ව තිබෙනවා කියා හෝ සිතනවා යනු සතුට සඳහා තවමත් කාලය පැමිණ නොමැති වේ කියා හෝ සතුට සඳහා තිබූ කාලය අවසන් ව තිබෙනවා කියා හෝ පැවසීමයි. එම නිසා තරුණයන් මෙන්ම වැඩිහිටියන්ද දර්ශනය ඉගෙන ගත යුතු වේ. වැඩිහිටියන් එසේ කළ යුතු වන්නේ, ඔවුන් මහළු වුවත් සිදු වී ඇති දේ පිළිබඳව ඇති ගරුත්වය නිසාම තරුණයන් ලෙස සිටීමට වන අතර තරුණයන් එලෙස කළ යුත්තේ සිදු වීමට ඉඩ ඇති දේ පිළිබඳව බියක් නොමැති වීම නිසා වැඩිහිටියන් ලෙස සිටීමටයි. එම නිසා සතුට උත්පාද කරනා දේ නිරන්තරයෙන් භාවිතයට ගැනීමට සැවොම ඉගෙන ගත යුතු වේ. මෙයට හේතුව වන්නේ අප ළඟ සතුට තිබේනම් අපට සියල්ල තිබෙනා අතර අපට සතුට නොමැති වේනම් අප එය ලබා ගැනීමට සියල්ල සිදු කිරීමයි.





ඔබට මා කියූ සියල්ල සිදු කරන්න සහ භාවිතයට ගන්න. යහපත් ජීවිතයක් සඳහා අවශ්‍ය මූලාංග ලෙස මේවා සලකන්න. පළමුවෙන්, දෙවියන් පිළිබඳව ඇති සාමාන්‍ය අදහසට අනුවම දෙවියන් යනු විනාශ කළ නොහැකි භාග්‍යවන්ත පැවැත්මක් බව විශ්වාස කරන්න. ඔහුගේ ඇති මෙම විනාශකළ නොහැකි බවට අයත් නොවන සහ භාග්‍යවන්ත බවට නොගැලපෙන කිසිවක් දෙවියන් වෙත ආරූඨ නොකරන්න. ඔහුගේ භාග්‍යවන්ත බව සහ විනාශකළ නොහැකිබව ආරක්ෂා කිරීමට අවශ්‍ය සියලු දේ ඔහු තුළ තිබෙනවා කියා සිතන්න. දෙවියන් පිළිබඳව නිරවුල් දැනුම තිබෙනා හෙයින් දෙවියන් සැබැවින්ම පවතියි. නමුත් දෙවිවරුන් පිළිබඳව බොහෝ දෙනා සිතා සිටිනා දේ නිවැරදි නොවේ. දෙවියන් පිළිබඳව ඔවුන් නිල වශයෙන් කියනා දෙයට ප්‍රතිවිරුද්ධ ලෙස ජීවත්වීමෙන් ඔවුන් අපට පෙන්වා දෙන්නේ මෙයයි. දෙවියන් පිළිබඳව බහුතරයේ මතය ප්‍රතික්ෂේප කරන මිනිසා අධර්මිෂ්ඨ වන්නේ ද නැත. අධර්මිෂ්ඨ වන්නේ දෙවියන් වෙත බහුතරයේ මතය ආරෝපණය කරන මිනිසාය. මෙයට හේතුව වන්නේ දෙවියන් පිළිබඳව බහුතරයේ මතය සත්‍ය අවබෝධයක් නොව ව්‍යාජ උපකල්පන වීමයි. නරක මිනිසුන්ට දෙවියන්ගෙන් වඩාත් හානි වන්නේ සහ හොඳ මිනිසුන්ට වඩාත් යහපතක් වන්නේ මෙම නිසාය. එසේ වන්නේ දෙවියන් විසින් සෑම විටම පිළිගනු ලැබෙන්නේ ඔවුන් හා සම වූ මිනිසුන් වීමයි. තමන්ගේ ගුණධර්මයන්ට ගැලපෙන දේ ලඟින් තබාගෙන එසේ නොවන දේ ඉවත් කරන්නේ එවැනි මිනිසුන්ය.





මරණය යනුවෙන් යමක් නොපවතියි කියා සිතන්න පුරුදු වන්න. හොඳ සහ නරක සියල්ල පවතින්නේ ඉන්ද්‍රීයය අත්දැකීම් මතයි. මරණය යනු ඉන්ද්‍රීය අත්දැකීම් නොමැති වීමයි. එම නිසා මරණය යනුවෙන් අපට කිසිවක් පවතින්නේ නොමැති වේ යන කරුණ නිවැරදිව දැන ගැනීම මගින් ජීවියේ ඇති අවසන් වීමේ ස්වභාවය අපට තෘප්තියක් ගෙන දෙන කරුණක් වනු ඇත. එසේ කරන්නේ ජීවිතයට නොනිමි කාලයක් ලබා දීමෙන් නොව අමරණීයත්වය වෙත ඇති ආශාව ඉවත් කිරීමෙනි. ජීවිතය නොමැති වීම යන්නෙහි බිය වන්නට දෙයක් නොමැති වනවා කියා අවබෝධ කරගත් කෙනෙකුට ජීවිතයේ බිය වන්නට දෙයක් නොමැත. මරණයට මුහුණදෙන විට එය වේදනාත්මක වන නිසා නොව එය වෙත ළඟා වෙමින් තිබෙනා විට එය වේදනාත්මක වන නිසා මරණයට බිය වන බව පවසන්නේ මෝඩයෙක් පමණි. අප ඉදිරියේ තිබෙනා විට කිසිදු අපහසුවක් ඇති නොකරන දෙය පිළිබඳව බලාපොරොත්තු වීමෙන් පමණක් ඇති වන්නේ අනවශ්‍ය වේදනාවක් ඇති වීම පමණි. ඉතින්, මරණය, නරක දේවල් අතරින් වඩාත් බිහිසුණු දෙය, යනු පවත්නා දෙයක් නොවේ. මන්ද, අප පවත්නා විට මරණය අප ඉදිරියට පැමිණෙන්නේ නැත. එය අප ඉදිරියට පැමිණෙන විට අප තවදුරටත් පවතින්නේ නැත. එම නිසා එය ජීවත් වන්නන් හට මෙන්ම මිය ගිය අයටද අදාළ නොවනා දෙයකි. ජීවත්වන්නන් හට එයින් බලපෑමක් නොමැති අතර මිය ගිය මිනිසුන් පවතින්නේ නැත. නමුත් බොහෝ දෙනා මරණය වෙතින් පලා යන්නේ එය නරක දේ අතරින් නරකම දේ ලෙස සලකමිනි. මෙයින් සමහර දෙනෙකු එය ජීවිතයේ නරක දේ වලින් ගැලවීමක් ලෙස සිතා එය තෝරා ගැනීමට ද පෙළඹේ. නමුත් බුද්ධිමත් මිනිසා ජීවිතය ප්‍රතික්ෂේප කරන්නේ හෝ මරණයට බිය වන්නේ හෝ නැත. ජීවත් වීමෙන් ඔහු කෝප වන්නේ නොමැති අතර ජීවත් නොවනවා යන්න නරකක් ලෙස ඔහු සිතන්නේ ද නැත. ඔහු කොන්දේසි විරහිතව ආහාර වැඩි ප්‍රමාණයක් ගන්නවා වෙනුවට වඩාත් රසවත් ආහාර තෝරා ගනියි. එලෙසම ඔහු වඩාත් දිගු කාලයට වඩා ප්‍රිය කරන්නේ වඩාත් රසවත් කාලයයි. තරුණයන්ට හොඳින් ජීවත් වන්නත් මහල්ලන්ට හොඳින් මිය යන්නත් කියා උපදෙස් දෙන්නේ සරල මතික මිනිසුන් වෙයි. එසේ වන්නේ ජීවිතයේ ඇති සතුටුදායක දේ නිසා පමණක් නොව හොඳ ජීවිතයක් මෙන්ම හොඳ මරණයක්ද උත්පාද වන්නේ එකම භාවිතයක් තුළින් වීම නිසාය. උපදින්නේ නොමැතිව සිටීම වඩා හොඳ වුවත් ඉපදුනානම් හැකි ඉක්මනින් මිය යා යුතු බව කියන්නන් මෙයටත් වඩා සරල මතිකයන් වෙයි. ඔහු කියනා දෙය ඔහු සැබැවින්ම විශ්වාස කරනවානම් ඔහු ජීවිතය හැරදා නොයන්නේ ඇයි? ඔහු සැබැවින්ම ඔහු කියනා දෙය තීරණය කර තිබේනම් එය සිදු කිරීම අපහසු නොවිය යුතුය. ඔහු සිදු කරන්නේ විහිළුවක්නම් ඔහු කරන්නේ එවැනි විහිළු ඉල්ලා නොසිටි මිනිසුන් අතර සිය කාලය අපතේ හැරීම පමණි. සිදුවීමට නියමිත දෙය තිබෙන්නේ කොන්දේසි විරහිතව අපේ පාලනයෙන් බාහිරව හෝ කොන්දේසි විරහිතව අපේ පාලනයට යටත්ව හෝ නොවේ කියා අප මතක තබා ගත යුතුය. එම නිසා එය සිදු වනවා යන්න අප කොන්දේසි විරහිතව බලාපොරොත්තු නොවිය යුතු අතර එය සිදු නොවනවා කියා කොන්දේසි විරහිතව විස්සෝප විය යුතුද නැත.





අපගේ ආශාව අතින් ගත්විට සමහර ඒවා ස්වභාවික වන බවත්, සමහර ඒවා පදනම් විරහිත වනබවත් අප මතක තබා ගත යුතුය. ස්වභාවික ආශාවන් අතරිනුත් සමහර ඒවා අනිවාර්ය ආශාවන්ද වන අතර සමහර ඒවා ස්වභාවික පමණක් වේ. මෙම අනිවාර්ය ආශාවන් අතරින්ද සමහර ඒවා සතුට සඳහා අනිවාර්ය වන අතර තවත් ඒවා ශරීරය කරදර වලින් මිදවීමටත්, තවත් සමහර අනිවාර්ය ආශාවන් ජීවිතය යන්නටමත් අවශ්‍ය වේ. මේවා පිළිබඳව තිරශ්චීන ලෙස සිතා බැලීම මගින් සෑම තෝරා ගැනීමක් මෙන්ම මගහැරීමක් ද ශරීරයේ යහපැවැත්මට සහ කරදර වලින් අධ්‍යාත්මය නිදහස් වීමට සම්බන්ධ කළ හැකි වේ. භාග්‍යවත් ජීවිතයක් යනු මෙයයි. අප සියල්ල සිදු කරන්නේ බියෙන් සහ වේදනාවෙන් තොරව පැවතීමටයි. මෙම තත්වයට පත්වූ සැනින් අධ්‍යාත්මයේ සියලු කම්පන ඉවත්ව යයි. මෙයට හේතුව වන්නේ එවිට අප හට ළඟා වීමට තවත් කිසිවක් ඉතිරි නොවීමයි. අපට සතුට අවශ්‍ය වන්නේ සතුට නොමැති වීම නිසා හට ගන්නා දුක නිසා පමණි. අප තවදුරටත් දුකින් නොමැති වන විට අපට තවදුරටත් සතුට අවශ්‍ය නොවේ.





සතුට යනු භාග්‍යවත් ලෙස ජීවත්වීමේ ආරම්භක ලක්ෂ්‍යය මෙන්ම අවසන් ඉලක්කයද වනවා කියන්නේ මෙම නිසාය. අප තුළ තිබෙනා පළමු නිසඟ යහපත වන්නේ මෙය කියා අපි හඳුනාගනිමු. සෑම තෝරා ගැනීමක් සහ මගහැරීමක් සඳහාම ආරම්භය වන්නේ මෙයයි. අප එය වෙත පැමිණෙන්නේ සෑම යහපත් දෙයක්ම හැඟීම්-දැනීම් යන නිර්ණායකයට අනුව කිරා මැන බැලීමෙනි. මෙය පළමු නිසඟ යහපත වන නිසාම අප සෑම සතුටක්ම හඹා යන්නේ නැත. සමහර සතුටවල් නිසා අපට අහිතකර දේ විශාල වශයෙන් ලැබෙන්නේනම් අප එවැනි බොහෝ සතුටවල් මග හැර යයි. එමෙන්ම අප බොහෝ වේදනාවන් සතුටට වඩා යහපත් ලෙස සලකන්නේ එම වේදනාවන් දරා සිටීම මගින් වඩා වැඩි කාලයක් ඉහල සතුටක් ළඟා වනවානම්ය. සෑම සතුටක්ම යහපත් දෙයක් වන්නේ ඒ මගින් අපට හිතකර දෙයක් ලැබෙනා නිසාය. නමුත් සෑම සතුටක්ම තිබෙන්නේ තෝරා ගැනීමට නොවේ. සෑම වේදනාවක්ම, මේ ලෙසම, නරක දෙයක් වෙයි. නමුත් මේ සෑම වේදනාවක්ම තිබෙන්නේ සෑම විටම මග හැරීමට නොවේ. කෙසේ වුවත් සංසන්ධනාත්මක මැන බැලීම් සහ වාසි/අවාසි සොයා බැලීම මගින් මේ සියලු තීරණ ගැනීම යෝග්‍ය වේ. මෙයට හේතුව වන්නේ සමහර විට අප අතින් යහපත් දෙය නරක ලෙසත් නරක දෙය යහපත් ලෙසත් සැලකිය හැකි නිසාය.





අප සිතනා ආකාරයට ස්වයං-පෝෂිත වීම යනු ශ්‍රේෂ්ඨ යහපතකි. මෙයින් අදහස් වන්නේ අප සෑම විටම පුංචි දේවල් ප්‍රමාණයකින් තෘප්තිමත් විය යුතු බව නොවේ. ඒ වෙනුවට මෙමගින් යෝජනා කරන්නේ අපට බොහෝ දේවල් ප්‍රමාණයක් නොතිබෙන්නේනම් අප පුංචි දේවල් වලින් තෘප්තිමත් විය යුතු බවයි. මේ සඳහා අවශ්‍ය වන්නේ අධික ලෙස දේවල් පරිහරණය කිරීමට අඩුවෙන්ම අවශ්‍ය අය වඩාත් විනෝද වනවා යන්න වටහා ගැනීමයි. ස්වභාවික දේ සියල්ල ඉතා පහසුවෙන් ලබා ගත හැකි අතර පදනමක් නොමැති දේ ලබා ගැනීම තරමක් අපහසු වේ. වුවමනාවන් නිසා ඇති වන වේදනාව ඉවත් කළ විට සරල දේ මගින් ඇති වන සතුට අධික ලෙස දේවල් පරිහරණය කරනා ජීවිතයකින් ලැබෙනා සතුට හා සමාන වේ. වුවමනාව තිබෙනා මිනිසෙක් විසින් පරිහරණය කරනා විට බාර්ලි කේක් කැබැල්ලක් සහ ජලය බඳුනක් මගින් අපට ඉහළම සතුට ළඟා කර දෙයි. එම නිසා අධික ලෙස දේවල් පරිහරණය නොකරන සරල ජීවන ක්‍රමයකට පුරුදු වීම මගින් කෙනෙක්ව උපරිම සෞඛ්‍ය සම්පන්න කරනා අතර ජීවිතයේ වගකීම් ඉදිරියේ නොසැලී සිටීමට ඉඩ ලබා දේ. ඒ හරහා ඉඳ හිට ලැබෙන අධික ලෙස සැප විඳිය හැකි අවස්ථාවන් සඳහා වඩා හොඳින් පුහුණු කරවයි. එමෙන්ම අහම්බය ඉදිරියේ අපව නොබියව තබයි. එම නිසා ඉලක්කය විය යුත්තේ සතුට කියා අප පවසනා විට එයින් අදහස් වන්නේ අසීමිත ලෙස වියදම් කිරීම නිසා ඇති වන සතුට හෝ අසීමිත ලෙස පරිභෝජනය කිරීම නිසා ඇති වන සතුට හෝ නොවේ. අප ගැන නොදැනුම සහ මෙයට එකඟ නොවීම නිසා හෝ සිතාමතා වැරදියට ප්‍රකාශ කිරීම නිසා හෝ එසේ සිතුවත් අප කියන්නේ මෙවැනි දෙයක් නොවේ. ඉලක්කය විය යුත්තේ සතුට යන්න වේ කියා අදහස් කරන්නේ ශරීරයේ වේදනාව අඩු කිරීම සහ අධ්‍යාත්මයේ කරදරකාරිත්වයන් අඩු කිරීමයි. රසවත් ජීවිතයක් යනු මධුපානෝත්සව සහ අකණ්ඩ සාදා පැවැත්වීම, ගැහැණුන් සහ පිරිමින් සමග අකණ්ඩ ලිංගික සම්බන්ධතා පැවැත්වීම හෝ මිල අධික ආහාර අසීමිත ලෙස ඇති බොජුන් මේසයකින් දුලභ ආහාර ගැනීම හෝ නොවේ. ඒ වෙනුවට එමගින් පෙන්වන්නේ හොඳින් සිතා බැලූ ගණනය කිරීම් මගින් සෑම තෝරා ගැනීමකටම සහ මග හැරීමකටම හේතුව සොයා ගැනීම සහ මිනිසුන්ගේ අධ්‍යාත්මයට වඩාත් කරදර කිරීමේ මූලය වන අදහස් පළවා හැරීමයි.





මේ සියලු දේ සිදු කරනා මූලධර්මය අපට දූරදර්ශීබව (prudence) යනුවෙන් හැඳින්විය හැකි අතර වඩාත්ම යහපත් වන්නේ ද එයයි. දූරදර්ශීබව දර්ශනයටත් වඩා වටිනා දෙයක් වන්නේ එම නිසාය. දූරදර්ශීබව යනු අනෙක් සියලු ගුණධර්මයන්ගේ මූලය වේ. දූරදර්ශී ලෙස, ගෞරවනීය ලෙස සහ යුක්තිගරුක ලෙස ජීවත් නොවෙමින් සතුටෙන් ජීවත් විය නොහැකි අතර සතුටෙන් ජීවත් නොවෙමින් දූරදර්ශී ලෙස, ගෞරවනීය ලෙස සහ යුක්තිගරුක ලෙස ජීවත්වීම කිසිදා කළ නොහැක. ගුණධර්මයන් යනු සතුටින් තිබෙනා ජීවිතයක ස්වභාවික අනු කොටස් වන අතර සතුටින් තිබෙනා ජීවිතයක් ගුණධර්ම වලින් වෙන් කළ හැකි නොවේ.





දෙවියන් පිළිබඳව අව්‍යාජ අදහස් ඇති, මරණය පිළිබඳව සැමදා නොබියව සිටින, ජීවිතයේ ස්වභාවික අරමුණ වටහාගෙන තිබෙන සහ හොඳ දේවල් වල සීමාව මුළුමනින් අත්පත් කරගැනීම පහසු බවත් එය ලබා දීම පහසු බවත්, නරක දේවල් වල සීමාව වන්නේ ඒවා ඉක්මනින් අවසන් වීම හෝ ඒවායෙන් අඩුම කරදරයක් වන බවත් වටහාගත් මිනිසෙකුට වඩා යහපත් වන කෙනෙක් පිළිබඳව ඔබට කිව හැකිද?





සියලු දේ සමග එක්ව පවතිනවා කියා සමහර ස්වභාවික දාර්ශනිකයන් විසින් සලකනු ලබන දෛවය සම්බන්ධයෙන් අපට කියා සිටින්නේ සමහර දේ අනිවාර්යතාවයක් ලෙස සිදු වන බවත්, සමහර දේ සිදු වන්නේ අහම්බයෙන් බවත්, තවත් දේ අපගේ මැදිහත්වීමෙන් සිදු වන බවත්ය. ඒ අනුව අනිවාර්යතාවය නිසා සිදු වන දේට කිසිවකු වග නොකියවිය යුතු අතර අහම්භය අස්ථාවර වේ. පැසසුම හෝ අවලාදය හෝ අදාළ වන්නේ අපගේ මැදිහත්වීමෙන් සිදු වන දේ වෙත පමණි. නමුත් මෙම ස්වභාවික දාර්ශනිකයන්ගේ දෛවයේ වහලෙක් වනවාට වඩා දෙවියන් පිළිබඳව කියනා කතන්දර විශ්වාස කිරීම යහපත් වේ. අවම වශයෙන් දෙවියන්ට ගෞරව කිරීම මගින් නරක දෙයින් ගැලවිය හැකි බව හෝ එමගින් කියා සිටියි. අනෙක් අතට දෛවය මගින් කියා සිටින්නේ ගැලවිය නොහැකි සහ සමාවිරහිත අනිවාර්යතාවයකි. නමුත් බුද්ධිමත් මිනිසා විසින් හඳුනා ගනු ඇත්තේ අහම්බය යනු, බොහෝ දෙනෙක් වැරදියට වටහාගෙන ඇති ලෙසට, දෙවි කෙනෙක් නොවනා බවයි. මන්ද, දෙවියන් විසින් කිසිවක් අපිළිවෙලකට සිදු කරන්නේ නැත. එමෙන්ම, අහම්බය යනු අප නොදන්නා හේතුවක් ද නොවේ. මිනිසුන් සඳහා භාග්‍යවත් ජීවිතයක් සඳහා අවශ්‍ය හොඳ හෝ නරක හෝ අහම්බය වෙතින් ලබා දෙනවා කියා එවැන්නෙක් සිතන්නේ නැත. අතාර්කික ලෙස වාසනාවන්ත වනවාට වඩා තාර්කික ලෙස අවාසනාවන්ත වන එක යහපත් වනවා කියාද ඔහු විශ්වාස කරනු ඇත. යහපත් තීරණයක් ප්‍රායෝගිකව අසාර්ථක වීම, නරක තීරණයක් අහම්බය නිසා ප්‍රායෝගිකව සාර්ථක වනවාට වඩා යහපත් වේ.





මේවා සහ මේ හා බැඳුනු ප්‍රතිපදාවන් ඔබගේ සහෘද මිතුරෙකුසමග ඔබ විසින් භාවිතයට ගන්න. ඔබ නිදා සිටිනා විට හෝ අවධියෙන් සිටිනා විට හෝ කම්පනයට ලක් නොවනු ඇත. ඔබට මිනිසුන් අතර දෙවියෙක් මෙන් ජීවත් විය හැකිය. සදාකාලික යහපත් දේ සමගින් ජීවත් වන මිනිසෙක් යනු කිසිදු අර්ථයකින් නිකම්ම මිය යාමට නියමිත මිනිසෙක් නොවේ.





උපුටා ගැනීම : බව ( bavaweb.wordpress.com)


0 comments: