Hot!

මැතිවරණයක් වුවමනා කාහටද? කුමකටද?

ආචාර්ය ඉන්දි අකුරුගොඩ

මැතිවරණ වනාහි ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයේ මූලිකාංගයකි. නුතන රාජ්‍යයන්හි ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණය ක්‍රියාවට නැංවෙන්නේ මහජනතාව මැතිවරණවලදී සිය ඡන්දයෙන් තෝරාපත් කරගන්නා නියෝජිතයන් මගින්බැවින් අප එය හඳුන්වන්නේ “නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය” යනුවෙනි. ඒ අනුව මහජන නියෝජිතයන් යනු, මහජන මතයේ ප්‍රකාශනය වන අතර, ඔවුන් විසින්තමා ව්‍යවස්ථාදායකය වෙත තෝරා පත්කර එවන ලද ජනතාව නියෝජනය කළ යුතු ද වේ.

වර්තමාන ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන දේශපාලන අර්බුදය වෙත අවධානය යොමු කිරීමේදී ප්‍රධාන ප්‍රවණතා කීපයක් හඳුනාගත හැකිය. ඉන් පළමුවැන්න නම්, ජනාධිපතිවරයා විසින් හදිසියේ කුමන්ත්‍රණකාරී ලෙස නීත්‍යානුකූල අග්‍රාමාත්‍යවරයා ඉවත්කර, ඔහුම ප්‍රධාන කොටගත් බලවේග විසින් 2015 දී පරාජයට පත්කළ දූෂිත යැයි චෝදනා ලත් අයෙකු අගමැතිවරයා ලෙස පත් කිරීම යන කාරණය සපුරා ප්‍රජාතන්ත්‍රවාදයට පටහැණි සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී  ක්‍රියාවක් ලෙස ගෙන ඊට විරුද්ධව රට පුරා විවිධ පිරිස් විසින් නොනවත්වා ගෙන යන අරගලයයි.

දෙවැන්න නම්, ජනාධිපතිවරයාගේ සියලු අත්තනෝමතික ක්‍රියා සාධාරණීකරණය කරමින් රාජපක්ෂවාදී වහල් ස්ථාවරයේම සිටිමින් අවිචාරවත් ලෙස ඔවුන්ගේ සියලු දූෂිත ක්‍රියා නොදුටුවාසේ නැවත රජ පවුලක් පාලන බලයට ගෙන ඒම සඳහා ප්‍රසිද්ධියේ පෙනී සිටින පිරිසගේඅතාර්කික බලමුළුව යි.

තෙවැන්න නම්, කුමන පාර්ශවයක් නියෝජනය කරන්නේ දැයි පැහැදිලිව සිතාගත නොහැකි නමුත් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින පිරිස පිළිබඳව යම් යම් පෞද්ගලික අමනාපකම් ඇති කරගත්, සැඟවී පහරදීම මගින් ප්‍රජාතන්ත්‍රවාදී අරගලය පරාජය කිරීමට උත්සාහ දරනපිරිසගේඅවස්ථාවාදී බලවේගයයි.මොවුන්ගේ හැසිරීම මගින් පිළිබිඹු වන්නේ දිනන පැත්තට සහාය පළකර වරප්‍රසාද දිනා ගැනීමේ චේතනාව යි. මේ මොහොතේ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වා ගැනීමට වඩාත්ම වුවමනා වී ඇත්තේ ද ඒ වෙනුවෙන් තම කාලය විශාල ලෙස කැප කරන්නේ ද මේ පිරිසයි. අත්තනෝමතික ලෙස පාර්ලිමේන්තුව අක්‍රිය කර, ජනමතය මුදලට ගන්නට උත්සාහ දරනජනාධිපතිවරයා සහ ඔහුගේ පිහිටෙන් “ගොඩ යාමට” තැත් කරමින් සිටින දූෂිත මහජන නියෝජිතයන් විසින් ද එක හඬින් ඉල්ලා සිටින්නේ මැතිවරණයක් පවත්වන ලෙසයි. මෙහිදී මතුවන ප්‍රධාන ගැටලුව නම්, මෙම පිරිස් ප්‍රජාතන්ත්‍රවාදය ලෙස හඳුනාගන්නේ මැතිවරණය පැවැත්වීම පමණක් ද යන්නයි. ශ්‍රී ලංකාවේ මේ මොහොතේමැතිවරණයක් අවශ්‍ය කාටද? පැහැදිලි බහුතරයක් සහිත දැනට තිබෙන පාර්ලිමේන්තුව ඔවුන් ප්‍රතික්ෂේප කරන්නේ ඇයි? මැතිවරණයක් යනු,එක් එක් පුද්ගලයන්ගේ පුද්ගලික බල ආශාවන් මුදුන්පත් කර ගැනීම අරභයා, සිතැගි අවස්ථාවක පැවැත්විය හැකි ක්‍රියාවලියක් නොවේ. මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදී වීමට නම් ඒවා නිසි කලට නිදහස් සහ සාධාරණ ලෙස පැවැත්වීම අත්‍යවශ්‍යය. මැතිවරණ පැවැත්විය යුතු නිසි කාල සීමා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන්හි ඉතා පැහැදිලිව දක්වා ඇත්තේ එබැවිනි. රාජ්‍යයක සමස්ත ආණ්ඩුකරණයාන්ත්‍රණය යම් නිශ්චිත කාල වකවානුවක් තුළ පවත්වාගෙන යාම යන භාරදූර වගකීමපැවරීම අත්තනෝමතික ලෙස කළ නොහැකිය. මැතිවරණ සඳහා වැය කරනුයේ මහජන මුදල් ය; ඒවායේදී විමසන්නේ මහජන මතයය. එසේනම් මැතිවරණ සම්බන්ධයෙන් තීරක බලය තිබෙන්නේ මහජනතාවටය. 2015 අගෝස්තුවේදී මහජන ඡන්දයෙන් තෝරා පත් කර ගත් ජනතා නියෝජිතයන්225 ක ගෙන් යුතු පාර්ලිමේන්තුව, එය විසුරුවා හරින ලෙස මන්ත්‍රීවරුන් තුනෙන් දෙකක් විසින් ඉල්ලා සිටියයොත් හැර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව, 2020 පෙබරවාරි දක්වා වසර හතරහමාරක් යන තෙක් පැවතිය යුතුය. ඒ අනුව එම පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස එහි මන්ත්‍රීවරු තුනෙන් දෙකක් විසින් ඉල්ලා සිටියේ නැත; එහි කටයුතු කරගෙන යාමට නොහැකි ආකාරයෙන් ආණ්ඩු පක්ෂයට බහුතරය අහිමි වී ද නැත. එසේ නම් ශ්‍රී ලංකාවේ ජනතා පරමාධිපත්‍යය ක්‍රියාත්මක කිරීම සඳහා ඇති පාර්ලිමේන්තුව සිතාමතා අක්‍රිය කරමින් මහත් අර්බුදයකට තල්ලු කර දමා තිබෙන්නේ, ජනාධිපතිවරයා සහ ඔහු වටා ගොනු වී සිටින කීප දෙනෙකුගේ පුද්ගලික අභිමතාර්ථ සාධනය කර ගැනීමට විනා, ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම පිණිස නොවන බව ඉතා පැහැදිලිය.

පෙර සඳහන් කළ පිරිස් අතරින් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සෘජුව පෙනී සිටින්නන් හැර සෙසු පිරිස් කීමට උත්සාහ කරන දේ පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත් ය. ඔවුන්ට අනුව, වර්තමාන පාර්ලිමේන්තුව සත්ත්ව උද්‍යානයකි; එහි කාර්යයන් කරගෙන යාමට කථානායකවරයාට පොලිස් ආරක්ෂාව නැතුව බැරිය;කථානායකවරයාපක්ෂග්‍රාහී ලෙස කටයුතු කරන, බටහිර රාජ්‍යයන්ගේ ගැත්තෙකි;කථානායකවරයාට පාර්ලිමේන්තුවට පැමිණීමටවත් නොහැකි ලෙස හැසිරෙන මහජන නියෝජිතයන්ගෙන් යුතු වර්තමාන පාර්ලිමේන්තුවෙන් පලක් නැත; එබැවින් මැතිවරණයක් වහාම පවත්වා, නව මහජන නියෝජිතයන් සහිත පාර්ලිමේන්තුවක් ස්ථාපිත කළ යුතුය.

දැන් මෙම තර්ක දෙස බලා අපටනිගමනය කළ හැක්කේ මොනවාද? පාර්ලිමේන්තුවේ විනය විරෝධී ලෙස හැසිරෙමින් කථානායකවරයාට කටයුතු කිරීමට ඉඩ නොදුන්නේ කවුද? ඔවුන් එසේ කළේ ඇයි? පාර්ලිමේන්තුව සත්‍ත්ව උද්‍යානයක් බවට පත් කළේ කවුරුන් ද? ඒ ආකාරයේ හැසිරීම් සඳහා අණ ලැබුණේ කාගෙන්ද? කතානායකවරයා කළ යුත්තේ මැරවරයන් ලෙස හැසිරුණු මහජන නියෝජිතයන් සුළුතරයකට යටත්වී බහුතරය නොසලකා හැරීම ද? සුළු පිරිසක් විසින් කුමන්ත්‍රණකාරී ලෙස ආණ්ඩු බලය බලෙන් අල්ලා ගැනීමට ගත් වෑයම අසාර්ථක වීම තුළ හදිසි මැතිවරණයක් කැඳවා ඔවුන්ට සහන සැලසිය යුතු ද? උත්තරීතර මහජන පරමාධිපත්‍යය අමු අමුවේ කෙළෙසීම වෙනුවෙන් ලබාදෙන සහනයක් ලෙස මහජන මුදල් කෝටි ගණන් වැය කර, අනවශ්‍ය මොහොතක පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විය යුතු ද? මහජනතාව එවැන්නක් ඉල්ලා නැත; පාර්ලිමේන්තුවේ පැහැදිලි බහුතරය නියෝජනය කරන කිසිදු පක්ෂයක් එසේ ඉල්ලා නැත. සුළුතර කණ්ඩායමක් විසින් සිය දූෂිත ගනුදෙනු වසාගැනීම සඳහා බලය අත්තනෝමතික ලෙස උදුරා ගැනීම සාධාරණීකරණය කිරීම අරමුණු කරගෙන පමණක් මැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලා සිටිනු පෙනේ. ඔවුන්ට ප්‍රජාතන්ත්‍රවාදය ලෙස මේ මොහොතේ පෙනෙන්නේ මැතිවරණයක් පැවැත්වීම පමණි.

මැතිවරණ, ප්‍රජාතන්ත්‍රවාදයේ මූලිකාංගයක් වුවද, එම මැතිවරණ පැවැත්වෙන්නේ අසාධාරණ වටපිටාවක සුළු පිරිසකගේ මනදොළ සැපිරීමට නම්, ඒවා නිසිකලට නොපවත්වන මහජන මුදල් නිකරුණේ වැය කරන මැතිවරණ නම්, ඒවා ප්‍රජාතන්ත්‍රවාදය මර්දනය කරනු මිස ජනතා පරමාධිපත්‍ය සුරැකීම අරමුණු නොකරයි. ඛේදවාචකය නම්, හදිසි මැතිවරණයක් පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදී ලෙස දකින්නන්, තමා සහයෝගය දක්වන පිරිසගේ සෙසු සියලු ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාකාරකම් කෙරෙහි දක්වන නිහඬ පිළිවෙතයි. ඔවුන්ට මැතිවරණයක් පැවැත්විය යුතුයැයි කියන විට එසේ කීමට බල පෑ සෙසු වටපිටාව නොපෙනී යයි. අත්තනෝමතික ලෙස නීත්‍යානුකූල අගමැතිවරයා ඉවත් කර, පාර්ලිමේන්තුවේ බහුතර සහයෝගය නොමැති අයෙකු නව අගමැති ලෙස පත් කිරීම, බහුතරය මිලයට ගනු වස් සහන කාලයක් ලබා ගැනීම පිණිස  පාර්ලිමේන්තුව වාර අවසාන කිරීම, එසේ කිරීම මගින් ද බහුතරය සකසා ගතනොහැකි වූ කල පාර්ලිමේන්තුව විසුරුවා හැරීම, අධිකරණ නියෝගය හෑල්ලුවට ලක් කරමින් ඊට බලපෑම් කිරීමට උත්සාහ කිරීම, යුක්ති ගරුක නිලධාරීන් සිතාමතා නිලතලවලින් ඉවත්කරමින් අපරාධ විමර්ශන කටයුතුවලට බාධා කිරීම ආදී වශයෙන් ඔක්තෝබර් 26 වැනි දා සිට මේ දක්වා ජනතාව රවටමින්, රට අරාජික කරමින් ජනාධිපතිවරයා සහ ඔහුගේ අන්තේවාසිකයන් විසින් ගෙනයන අත්තනෝමතික ක්‍රියාවන් කිසිවක් ප්‍රජාතන්ත්‍ර විරෝධී යැයි කීමට මොවුන්ට වුවමනා නැත.

නිර්ලජ්ජී ලෙස බොහොමයක් විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය සියලු ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවන් සාධාරණීකරණය කරමින් සිටී. ඔවුන් සියල්ලන්ටම අවශ්‍ය වී ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදය රැකීම සඳහාමැතිවරණයක් අවශ්‍ය බව කියමින් රටේ සියලු  ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් කෙළෙසීමට බලපත්‍රයක් ලබා ගැනීමටයි.කෘතහස්තයැයි කියාගන්නා මාධ්‍යවේදීන්ද, ශාස්ත්‍රඥයන්ද, නීතිවේදීන් ද තම ආත්ම පාවාදෙමින් මැතිවරණයක් වෙනුවෙන් පෙළ ගැසී සිටින්නේ, දූෂිත මැතිවරණයක් මගින් බිහි කර ගන්නා රෙජීමයක වරප්‍රසාද භුක්ති විඳීමට මිස පොදු ජන යහපත පිණිස නොවන බව ඉතා පැහැදිලිය.

කණගාටුව නම්, ප්‍රජාතන්ත්‍රවාදය යන්න අකලට පවත්වන මැතිවරණයක් දක්වා ඌනනය කරමින් සෙසු සියලු ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් නොතකා හැරීම මගින් තහවුරු වන ලාංකීය සමාජ දේශපාලන විඥානයේ දුගීභාවය යි. මෙය විසින් ලාංකීය සමාජය පතුල නොපෙනෙන අගාධයකට ගෙන යනවා පමණක් නොව ලෝකයේ කොන් වූනොදියුණු අරාජික රාජ්‍යයක් බවට ද පත් කරමින් තිබේ. වගකිවයුතු පුරවැසියන් ලෙස අප කළ යුත්තේ මැතිවරණ ඉල්ලා පුහු තර්ක  ගෙනැවිත් අවස්ථාවාදී දේශපාලකයන්ට තම පුද්ගලික න්‍යාය පත්‍ර ක්‍රියාවට නැංවීම සඳහා සහාය දීම නොව, ඊට එරෙහිව ජනතා පරමාධිපත්‍යය සුරැකීම පිණිස ව්‍යවස්ථාදායකයේ ක්‍රියාකාරීත්වයට තිබෙන අනර්ථකාරී බාධා ඉවත් කිරීමට අරගල කිරීමයි.එනම්, මේ මොහොතේ දැවෙන අවශ්‍යතාව වන්නේ ජනාධිපතිවරයාගේ අත්තනෝමතික  බල ක්‍රියාකාරිත්වයට තිරිංග යෙදීමයි.

 

ආචාර්ය ඉන්දි අකුරුගොඩ

රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයනාංශය  

රුහුණු විශ්වවිද්‍යාලය 

0 comments: