Hot!

‛ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට’ දේශපාලන අනාගතයක් තියෙනවාද ?






 - දීප්ති කුමාර ගුණරත්න -






ශ්‍රීලනිප අනාගතය ෆෙඩ්රික් ජෙම්සන්ගේ ද්‍රෘෂ්ටිකෝණයෙන් 









මහින්ද රාජපක්ෂගෙන් පසු ‛ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට’ දේශපාලන අනාගතයක් තිබේද? ෆෙඩ්රික් ජෙම්සන් නම් ඇමරිකානු මාක්ස්වාදී විචාරකයාගේ දෘෂ්ටිකෝණයෙන් මෙම ප්‍රශ්නය නැවත වර නැගුවොත් එය මෙලෙස නැවත සකස් කළ හැක. මහින්ද රාජපක්ෂට පසු බිහිවන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් ගැන නෙවී, මහින්ද රාජපක්ෂට පසු බිහිවෙන ‛ශ්‍රී ලංකාව’ ගැන හිතන එක ලෝක විනාශය හෝ ඇස්ටරොයිඩයක් පෘථිවියට වැටීම නිසා මුළු මහත් මිනිස් වර්ගයාගේම විනාශය සිදුවීම ගැන හිතන එකට වඩා අපහසුයි. කෙටියෙන් කිව්වොත් ලෝක විනාශය,මිනිස් වර්ගයාගේ වඳවීම ගැන හිතන එකට වඩා අපහසුයි මහින්ද රාජපක්ෂගෙන් පසු ලංකාව ගැන හිතන එක.






මහින්ද රාජපක්ෂගෙන් පසු ‛ශ්‍රී ලංකාවක්’ ගැන සිතීම දුෂ්කර වන්නේ මන්ද ? මෙම සිතීම කොතරම් දුෂ්කරද යත් අතුරලියේ රතන සාදුට අනුව රාජපක්ෂ පරම්පරාව තව අවුරුදු 50ක් මේ රට පාලනය කරනු ඇතැයි උන්වහන්සේ අනුමාන කරයි. මහින්ද රාජපක්ෂ බලයට එනවිට ඔහුගේ ආගමනය න්‍යායගත කරන්නට ලංකාවේ සමාජ-විද්‍යාවක් සහ දේශපාලන විද්‍යාවක් පැවතුණේ නැත. මහින්ද රාජපක්ෂගේ ආගමනය ගැන ලංකාවේ ඇත්තේ එක්කෝ ප්‍රවෘත්ති වාර්තාය, නැතහොත් රූපවාහිනී වාර්තා වැඩසටහන්ය. මහින්ද රාජපක්ෂ ගැන හිතන බොහෝ දෙනා තමන්ව පාලනය කර ගැනීමට, එක්තරා තහංචියක් ස්වයං-බාධාවක් ලෙස ස්වරූපරාගීව තමා වෙතටම ස්වයංව ආරෝපණය කර ගනී. ‛ඕනෑම දෙයක් ගැන හිතන්න! ඕනෑම දෙයක් ගැන විවාද කරන්න! හැබැයි අවසානයේ කීකරු වන්න! රාජපක්ෂ හැර වෙනත් විකල්පයක් නැත.’ ලෝක විනාශය හෝ කලාව වාණිජකරණය වීම ගැන සිතීම වඩා පහසුය.






රටක දේශපාලන අනාගතය ගැන සිතීම අද තරම් තහනම් නැති දිනෙක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ වන බණ්ඩාරනායකගේ අලුත් ‛වෙස් මුහුණ’ (UNPයෙන් ඉවත් වී අලුත් පක්ෂයක් තැනීම) ගැන 1988 වර්ෂයේ අගෝස්තු මසදී නිව්ටන් ගුණසිංහ සටහන් තැබුවේ මෙලෙසය,
‛ජනප්‍රිය සිංහල-බෞද්ධ ජාතිකත්වය පිළිබඳ ඔහුගේ මතවාදය එක් අතකින් බලය අත් කර ගැනීම සඳහා සමාජ පදනමක් නිර්මාණය කළ අතර අනික් අතට උතුරු-නැගෙනහිර මධ්‍යම පළාත්වල දෙමළ ජනතාව දුරස්ථ කළේය. මෙහිලා ශ්‍රී ලාංකික සමාජ සැකැස්මේ විවිධ අංශවලට අයත් නානාප්‍රකාර සමාජ කොටස් ගොනුකර ගැනීමට බණ්ඩාරනායක සමත් වුවත්, එම ගොනු කිරීම සිදු වූයේ දෙමළ ජනතාව බැහැර කිරීමේ පදනම මතය. පුද්ගලයෙකු අර්ථකථනය කළ යුත්තේ අනෙකාගේ ආශාවට ඇති සම්බන්ධයේ සන්දර්භය තුළ යැයි ලැකාන් කළ අවධාරණය අපිට මෙහිලා අදාළ වෙයි. එමගින් අද අපි අත්දකිමින් සිටින බිහිසුණු වාර්ගික අරගලයකටත්, අස්ථාවරත්වයටත්, ප්‍රචණ්ඩතාවයටත්, මිලේච්ඡත්වයටත් දේශපාලනමය පදනමද දැමීය.’






නිව්ටන් ගුණසිංහගේ බණ්ඩාරනායකවාදය ගැන න්‍යායික විග්‍රහය අසම්පූර්ණයි






නිව්ටන් ගුණසිංහගේ බණ්ඩාරනායකවාදය ගැන ඉහත න්‍යායික විග්‍රහය අසම්පූර්ණය. 1988 දී ඔහු මිය ගිය පසු බණ්ඩාරනායකවාදය තවත් සැතපුමක් ඉදිරියට ගමන් කළේය. උපමා කතාවක් ලෙස එය මෙලෙස සකස් කළ හැක. අපි මෙහෙම හිතමු, ඔබට ඇල්ෆ්‍රඩ් හිච්කොක්ගේ ‛සයිකෝ’ චිත්‍රපටය භාගයක් නරඹා හදිසි කටයුත්තක් නිසා බැහැර වන්නට සිදු වූවා යයි සිතමු. එවිට ඔබ දකින්නේ මෙවන් සැකිල්ලකි.මේරියන් ක්‍රේන් නම් සුන්දර තරුණියක් ලෝකයේ වාණිජ පාරාදීසය යයි සැලකෙන කැලිෆෝනියාවේ එක්තරා නගරයක තම කාර්යාල දිවා ආහාර විවේකයේදී හෝටල් කාමරයක තම පෙම්වතා සමඟ නිදහසේ රමණයේ යෙදෙයි. ඉන්පසු තමන්ට බැංකුවේ දමන්නට යැයි ආයතනය විසින් ලබා දුන් මුදලක් පාවිච්චි කරන්නට සිතී ඈත දුර ගමක අධ්‍යාත්මික සුවය ලබා දෙන ‛බේට්ස් අවන්හල’ වෙත ගමන් කරයි. ඉන්පසු ඇය අතීතාවර්ජනයක යෙදෙයි.තමන් කළේ සාවද්‍ය දෙයක් යැයි සිතී ඉන් මිදෙන්නට කල්පනා කරයි. ඉන් පසුව හොඳින් ස්නානය කළ යුතු බව ඇය සිතයි. ඊළඟ දර්ශනයේදී ඇය විසින් තමාව ඉතා හොඳින් පිරිසිඳු කර ගනියි. හදිසි කටයුත්ත නිසා ඔබට සිනමා ශාලාවෙන් පිටතට යන්නට සිදු වෙන්නේ මේ මොහොතේයි. එවිට ඔබ ‛සයිකෝ’ චිත්‍රපටයේ කතාව ගැන කියන්නේ මෙලෙසය, ‛තරුණ ගැහැනු ළමයෙක් සුළු වැරැද්දක් කරලා පස්සේ ඒක නිවැරදි කර ගන්න තීරණය කරා.’ ඒක ආගමික කටයුත්තක්. චිත්‍රපටයේ භාගයක් නැරඹූ නිව්ටන් ගුණසිංහ තමා නැරඹූ ‛බණ්ඩාරනායකවාදය’ නම් සිනමා කෘතියේ මුල් අර්ධය ගැන මෙලෙස අර්ථකථනයක් දුන්නේය.






එජාපය තුළ තම අභිලාෂය ඉටුකරගත නොහැකි බව බණ්ඩාරනායක දුටුවා






‛එක්සත් ජාතික පක්ෂය තුළ තම අභිලාෂය වූ අගමැතිකම ලබා ගත නොහැකි බව බුද්ධිමත් පුද්ගලයෙකු වූ බණ්ඩාරනායක දැක්කේය. එම නිසා පක්ෂයෙන් ඉවත් වූ ඔහු සිංහල බෞද්ධ සංස්කෘතික සටන් පාඨ උපයෝගී කර ගනිමින් අලුතින් නැගී එමින් පවතින ධනේශ්වර සහ සුළු- ධනේශ්වර කොටස් සමඟ සමීප සමාජ සම්බන්ධතා තහවුරු කර ගැනීමට සමත් නව පක්ෂයක් පිහිටුවීය. මෙහි අරුමය නම්, බණ්ඩාරනායක රෙපරමාදු ඇන්ග්ලිකානු පවුලකට අයත් බවත් සේනානායකලා සහ කොතලාවලලා පාරම්පරික බෞද්ධ පවුල්වලට අයත් බවත් හැමෝම දැන සිටීමයි. ආගම කෙනෙකුගේ පුද්ගලික විශ්වාසයට නොව තම පවුලේ උරුමයට සම්බන්ධය යන අදහස උත්පාදනය කරන ව්‍යූහයක් තුළ ‛තමා’ බෞද්ධයෙකු බවට පත්වීමෙන් සහ සිංහල බෞද්ධ අවශ්‍යතා වෙනුවෙන් උද්ඝෝෂණය කිරීමෙන් සනාථ කරන්නේ බණ්ඩාරනායකගේ උපායශීලීත්වයයි.’






පීටර් වයර්ගේ ‛TRUMAN SHOW’ (1998) සිනමා කෘතියේ ප්‍රධාන චරිතය වන ජිම් කේරී එකවරම යථාර්ථයට ඇහැරෙයි. එයට පෙර ඔහු සිතා සිටියේ තමා ජීවත් වන්නේ සැබෑ ලෝකයේ යැයි කියාය. නමුත් යථාර්ථයට ඇහැරුණු පසු ඔහුට අනුව ඒ දක්වා ඔහු අවට පැවති සමාජ ජීවිතය යනු පැය 24 පුරාම ධාවනය වන මෙගා-ටෙලිනාටකයකි. ඒ දක්වා තමන් ඇසුරු කළ පුද්ගලයන් යනු සැබෑ චරිත නොව ටෙලි නාට්‍යයේ රඟපෑම සඳහා තෝරා ගත් විවිධ නළු-නිළියන්ය. වොචොව්ස්කි සහෝදරයන් විසින් නිර්මාණය කළ ඉතා ජනප්‍රිය වූ MATRIX හි තේමාවද මෙයමය.





මේ සිනමාපටවල මූලික ලක්ෂණය වන්නේ ඒවායේ ප්‍රධාන චරිතවලට ඕපපාතිකව මෙන් හමුවන ව්‍යාජ-අවතාරමය-කෘතීම බාහිර සමාජ-යථාර්ථයයි. ඔවුන් එයින් තැති ගනියි. භීතියට පත් වෙයි. ඉන් පළා යාමට මගක් සොයයි. මෙතරම් කලක් තමා වෙනුවෙන් පැවතියා යැයි සිතූ බාහිර ‛සමාජ-යථාර්ථය’ යනු මුලාවක් බව හදිසියේම වැටහෙන්නේ ඇයි? ඒ අනුව සමාජ යථාර්ථය යනු ද බාහිර අනතුරකින් ගැලවෙන්නට අප විසින්ම තනා ගත් ෆැන්ටාස්මැතික ප්‍රබන්ධයක් බව වැටහෙන්නේ, එම ප්‍රබන්ධය යම් මොහොතකට පසු කැඩී විසිරී යන්නට පටන් ගත් පසුවය. කෙහොමටත් ධනවාදී සමාජය තුළ සිදුවන්නේ මේ සමාජ-ක්‍රමය නිපදවන සැබෑවට අදාළ ද්‍රව්‍යමය-MATERIAL- සාධක වඩ වඩා ඉවත් කිරීමත් එහි පරාවර්තනයක් ලෙස වඩ වඩා අධ්‍යාත්මිකහරණය වූ සමාජ-ජීවිතයක් අපට ලැබීමත්ය.






‛බණ්ඩාරනායකවාදය’ නම් චිත්‍රපටියේ ඉතුරු අඩ නිව්ටන් ගුණසිංහට වෙනස්ව අප දුටුවෙමු. අපට එය හරියට මීට ඉහත දී ‛සයිකෝ’ චිත්‍රපටිය භාගයක් නරඹා ඉවතට ගිය ප්‍රේක්ෂිකාවට ගැලැප්පිය හැක. ‛සයිකෝ’ චිත්‍රපටියේ ප්‍රථම අර්ධය යනු මාරියන් ක්‍රේන්ගේ නියුරෝසික ආත්ම මූලිකත්වය නම්, එහි දෙවන අර්ධය වන්නේ නෝමන් බේට්ස්ගේ සයිකොසික (සිතා නොබලා ප්‍රතික්‍රියා කිරීම) ප්‍රතික්‍රියාවයි. චිත්‍රපටියේ දෙවන අර්ධය මාරියන්ව ඝාතනය කිරීමත්, එහි පැල්ලම් ඉතා විධිමත්ව තම මවගේ ඇඳුම් (විකට ඇඳුම්?) හැඳගෙන ඉවත් කරන නෝමන් බේට්ස්ගෙනුත් අවසන් වෙයි. ‛බණ්ඩාරනායකවාදය’ නම් චිත්‍රපටියේ සමාජ-විද්‍යා ප්‍රේක්ෂකයෙකු වන නිව්ටන් ගුණසිංහ දුටුවේ අර්ධයක් පමණි. එම කොටසේදී සිදු වන්නේ බණ්ඩාරනායකගේ ආත්ම මූලික බාධාව බාහිරට තල්ලු වී ඇතුළතින් ඔහු තමාව ජය ගැනීමයි. අවශ්‍ය නම් අපට මෙය තමන්ගේ ස්වයං-බාධාව බහිෂ්කරණය කිරීම ලෙසින් හැඳින්විය හැක. කෙනෙකු තමන්ගේ ‛සාරය’ තමා විසින්ම සොයා යෑම මනෝ විශ්ලේෂණයේදී හඳුන්වන්නේ ෆැන්ටසිය කියාය. කෙනෙකු ඉපදී හැදී වැඩී චින්තනයක් හදා ගන්නා ‛මහා-අනෙකා’ එක්තරා මොහොතකට පසු තමන්ගේ වුවමනා, ආශාවන් වෙනුවෙන් තවදුරටත් පෙනී නොසිටින්නේ නම් එවැන්නෙකු අලුතින් ‛මහා-අනෙකෙකු’ (BIG OTHER) නිර්මාණය කරයි.






‛බණ්ඩාරනායක’ ෆැන්ටසියක් නම් රාජපක්ෂ කියන්නේ ෆැන්ටසියේම දිගුවක් වන මතිභ්‍රමවාදයකි






බණ්ඩාරනායක පසමිතුරුතා සහිත UNPය නම් මහා-අනෙකාගෙන් ඉවත් වන්නේ එය තමන් වෙනුවෙන් තවදුරටත් පෙනී නොසිටින මහා-අනෙකෙක් නිසාය. කෙනෙකු තමා ඉපදී හැදී වැඩෙන මහා-අනෙකාගේ විවිධ අඩුපාඩුකම් පුරවා දමන්නට දරණ උත්සාහයන්ට අපි කියන්නේ ෆැන්ටසිය කියාය. නමුත් කෙනෙකු තම ෆැන්ටසි හරහා මහා-අනෙකාගේ අඩුවවල් පිරවීමට දරණ වෑයම් සියල්ල අසාර්ථක වුවහොත්, එවැනි කෙනෙක් ඊළඟට අඩුවක් රහිත මහා-අනෙකෙක් හදන්න පියවර ගනියි. අපි පළමු වෑයමට කිව්වේ ෆැන්ටසිය (FANTASY) කියාය. දෙවන වෑයමට අපි කියන්නේ ‛මතිභ්‍රමය’ (PARANOIA) කියාය. ෆැන්ටසිය උත්සාහ කරන්නේ මහා-අනෙකාගේ අඩුව පිරවීමටය.





මතිභ්‍රමය උත්සාහ කරන්නේ ‛මහා-අනෙකාගේ’ අඩුවවල් හදන අය කවුද කියා සොයා ඒ අයව විනාශ කර අනතුරුව සර්වබලධාරී, පරිපූර්ණ මහා-අනෙකෙක් හැදීමටය. ‛බණ්ඩාරනායක’ ෆැන්ටසියක් නම් රාජපක්ෂ කියන්නේ ෆැන්ටසියේම දිගුවක් වන (එහි අඩුපාඩු නැති කරන) මතිභ්‍රමවාදයකි. නිව්ටන් ගුණසිංහට වෙනස්ව අපි චිත්‍රපටිය දිගටම බැලුවෙමු. එහි අවසානය කෙතරම් බිහිසුණුද කිවහොත් දැන් කිසිවෙකුටත් අලුත් චිත්‍රපටි හදන්නට නොහැක. හැම තැනම අලුත් එකකට විරුද්ධ සතුරෝය. මේ සතුරා කියන්නේ තමන්ගේම ෆැන්ටසියක් කියා වටහා ගත් දවසක ‛රාජපක්ෂ සැණකෙළිය’ අවසන් වේවි










0 comments: