Hot!

විධායක ජනපති ක්‍රමය අහෝසි කරන්න - නැත්නම් බලය අඩුකරන්න







- අමීන් ඉසදින් -





ආණ්ඩුවේ ආකෘති ගැන මෝඩයෝ වාද කරගත්තාවේ - ඇලෙක්සැන්ඩර් පෝප්





ආණ්ඩුවේ ආකෘති ගැන මෝඩයෝ වාද කර ගත්තාවේ, හොඳින් කළමනාකරණය කර ගත්තොත් කෝකත් හොඳ යැයි ඇලෙක්සැන්ඩර් පෝප් කීය. 18 වැනි සියවසේ කවියාගේ ඒ තනි පේළිය, නොනවතින ව්‍යවස්ථා අර්බුද සහ ප‍්‍රජාතන්ත‍්‍රීය ප‍්‍රතිසංස්කරණ ගැන ලෝකය පුරා කෙරෙන අනවරත වාද විවාද දෙස බලන විට දැනටත් සත්‍යයකැයි පෙනේ. ඒ සත්‍යය සෑම රටකටම පොදු ධර්මතාවකි. වඩාත් දැඩි රාජත්වයක් සහිත රට යැයි ගිනිය හැකි සෞදි අරාබියේ පවා, විසම්මුතික අදහස් දරන්නන්ගේ ප‍්‍රධාන ඉල්ලීමක් බවට මේ කියන ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරණ පත්ව ඇත. මෑතකදී ඝාතනය කරන ලද මාධ්‍යවේදියෙකු සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රියාධරයෙකු වූ ජමාල් කෂෝගි සම්බන්ධයෙන් ඇති වූ විශාල හාහෝව තුළ ඒ බව මොනවට සනිටුහන් විය.









දේශපාලන ප‍්‍රතිසංස්කරණ සඳහා කෙරෙන ඉල්ලීම් ඇමරිකා එක්සත් ජනපදයේත් අඩුවක් නැත. එරටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන ලෙස ඉල්ලා කෙරෙන යෝජනා සම්මතයන් සෑම පාර්ලිමේන්තු වාරයකදීම සිය ගණනින් ඉදිරිපත් වෙනු දක්නට ලැබේ. 1789 සිට 2017 ජනවාරි 3 වැනි දා දක්වා, ඇමරිකානු ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතු බවට ඉදිරිපත්ව ඇති යෝජනා ප‍්‍රමාණය 11689 ක් බව වාර්තා වේ.









එංගලන්තයේත් දේශපාලන ප‍්‍රතිසංස්කරණ පිළිබඳ නිරතුරු ක‍්‍රියාවලියක් දියත් වෙයි. 1998 දී ඇති කර ගත් උතුරු අයර්ලන්ත ‘මහ සිකුරාදා ගිවිසුමෙන්’ පසු ඒ තත්වය තවත් තීව‍්‍ර වී තිබේ. එරටේ එක්සත් රාජ්‍ය ක‍්‍රමය බරපතල වෙනස්කම්වලට මේ කාලය තුළ ලක්ව ඇත. එය උතුරු අයර්ලන්තය සම්බන්ධයෙන් පමණක් නොව, ස්කොට්ලන්තය සහ වේල්සය සම්බන්ධයෙන් ද දක්නට ලැබෙන තත්වයකි. එක්සත් රාජධානිය තුළ පාර්ශ්වකාර ඒකක වශයෙන් ගැනෙන ඒ පර්යන්ත තුනටම තමන්ගේම වූ වෙනම පාර්ලිමේන්තු හෝ ව්‍යවස්ථා සභා පවා මේ වන විට ලැබී තිබේ.





අගමැති ටෝනි බ්ලෙයාර් හා ටොයිසී බර්ටි ගිවිසුමට අත්සන් තබමින්








ජනපති ඇතිකළ අර්බුදය තවම අවසන් වී නැත









රටක ව්‍යවස්ථාව නොකෙලෙසිය යුතු ලියවිල්ලක් වෙතත් එය වෙනස් කළ නොහැකි අයුරින් දෘඪතර විය යුතු නැත. විශේෂිත තත්වයන් යටතේ අවශ්‍ය කරන වෙනස්කම් ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් ඇති කර ගත යුතුය. සෑම රටකම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් යම් විටෙක අවශ්‍ය වෙතොත් වෙනස් කර ගත හැකි හෝ ප‍්‍රතිස්ථාපනය කර ගත හැකි ක‍්‍රියා මාර්ගයක් ඒ ඒ ව්‍යවස්ථාවලම දක්වා ඇත්තේ එබැවිනි.









යළි යළිත් පෙනෙන්නේ විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීමේ අවශ්‍යතාවයි









ගත වූ දින 55 ක කාලය තුළ ලංකාවේ ඇති වු දේශපාලනික හැලහැප්පිලි දෙස බලන විට, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන විසින් ඔක්තෝබර් 26 වැනි දා ඇති කරන ලද අර්බුදය තවම අවසන්ව ඇති බවක් නොපෙනේ. එහෙත් ඒ මගින්, විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කළ යුතු බවට නැගෙන ඉල්ලීම පිළිබඳ විවාදය යළිත් වරක් තිරිහන් කොට තිබේ. ජනාධිපතිවරයාගේ අත්තනෝමතික ක‍්‍රියා දමනය කිරීම සඳහා වන තවත් ව්‍යවස්ථා ප‍්‍රතිපාදන වහා ඇති කර ගත යුතුව ඇති බව හදිසියේම පෙනී ගොස් ඇත. මේ කාරණයේ ඇති සරදම වන්නේ, 1978 දී මේ ව්‍යවස්ථාව ගෙන ආ එක්සත් ජාතික පක්ෂය එය වෙනස් කිරීම සඳහා දැන් පෙනී සිටින අතරේ, නිදහසේ පටන් ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යුහය මේ ජනාධිපති ක‍්‍රමය මගින් උඩු යටිකරු කර ඇති බවට එදා පටන් විවේචන ඉදිරිපත් කළ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අද ඒ ව්‍යවස්ථාව ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටීමයි.









විධායක ජනාධිපතිවරයා රටේ ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් නීති විරෝධීව කටයුතු කළ බවට පසුගිය දෙසැම්බර් 13 වැනි ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව පසුබිමේ තියාගෙන, මේ සතියේ රැස් වූ පාර්ලිමේන්තුව විධායක ජනාධිපති ක‍්‍රමයට පක්ෂව සහ විපක්ෂව වාද විවාද කෙළේය. ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී සහ ව්‍යවස්ථා විරෝධී ක‍්‍රියාකාරකම් ජනාධිපතිවරයාගෙන් ප‍්‍රකාශයට පත්වෙමින් ඇති තත්වය තුළ එම විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කළ යුතු බවට ආණ්ඩුවේ මන්ත‍්‍රීවරුත්, ජනතා විමුක්ති පෙරමුණේ මන්ත‍්‍රීවරුත් එහිදී උදක්ම ඉල්ලා සිටියහ. එහෙත් එක්සත් ජනතා නිදහස් සන්ධානය කියා සිටියේ, රටේ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කර ගැනීම සඳහා, ඇතැම් වෙනස්කම් ඇති කරගෙන හෝ මේ ක‍්‍රමය තවදුරටත් පවත්වා ගෙන යා යුතුව ඇති බවයි.









මේ මොහොතේ ව්‍යවස්ථාදායක ඒකාධිපතිත්වයක් ඇති වීම වැළැක්විය යුතුයි









කෙසේ වෙතත්, මේ මොහොතේ වැදගත් වන්නේ, ව්‍යවස්ථාදායක ඒකාධිපතිත්වයක් ඇති වීම වළක්වනු වස්, පවතින හිඩැස් හැකි සෑම ආකාරයකින්ම වසා දැමීමයි. පසුගිය දින 52 ක කාලය තුළ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන විසින් ද, ඊට කලින් මහින්ද රාජපක්ෂ විසින් ද එවැනි හිඩැස් පාවිච්චි කොට ව්‍යවස්ථාමය සෙල්ලම් දමා තිබේ. මහින්ද රාජපක්ෂ, 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන එමින් උත්සාහ කෙළේ අපේ ව්‍යවස්ථාවේ තිබෙන ප‍්‍රජාතන්ත‍්‍රීය ජීව ගුණය විනාශ කර දැමීමටයි.









විශේෂයෙන් 1988-89 භීෂණ සමයේ මානව හිමිකම් පිළිබඳ වීරයෙකු වශයෙන් පෙනී සිටිමින් ස්වකීය දේශපාලනික පන්නරය ලබා ගත්තා වූ ද, අනතුරුව යුද්ධය ජයග‍්‍රහණය කිරීමෙන් විශාල කීර්තියක් අත්කර ගත්තා වූ ද මහින්ද රාජපක්ෂ, මේ වන විට ලෝකයා විසින් ‘දෘඨ පාලකයෙකු’ වශයෙන් හඳුනාගෙන තිබීම ඇත්තෙන්ම කණගාටුවට කරුණකි. එය මොන ලෙසකින්වත් ඔහු පිළිබඳ ලෝකයාගෙන් සැපයෙන යහපත් තක්සේරුවක් නොවේ. සාමාන්‍යයෙන් එවැනි යෙදුමක් දේශපාලන විචාරකයන් විසින් රාජ්‍ය පාලකයන් සම්බන්ධයෙන් පාවිච්චි කරනු ලබන්නේ, රටක ව්‍යවස්ථාවෙන් අනුමත වපසරියට උඩින් ගොස් රාෂ්ට‍්‍ර පාලනයේ යෙදෙන හමුදා පාලකයන් හෝ වෙනත් එවැනි අත්තනෝමතික දේශපාලනික නායකයන් අරභයා ය. එබැවින් ලෝක ඉතිහාසය සිරිසේනට සහ රාජපක්ෂට දයාවක් පෙන්වන එකක් නැත. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අගය දැකීම ඔවුන් එක දිගටම ප‍්‍රතික්ෂේප කරන්නේ නම්, ඔවුන්ගේ නාමයන් ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මුරදේවතාවුන් වශයෙන් ලියැවෙන එකක් නැත.









1978 ව්‍යවස්ථාව ඇති කර ගන්නා අවස්ථාවේදී, ඒ මගින් රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ඇති විය හැකි අවදානම ගැන බොහෝ අදහස් උදහස් පළවුණි. සිහි මද පුද්ගලයෙකු එකී තනතුරට පත්ව ඊට අයත් අසීමිත සහ අපාලිත බලතල පාවිච්චි කිරීමට ගත්තොත් මොන වගේ තත්වයක් උද්ගත වේදැ යි එක් පළපුරුදු දේශපාලඥයෙක් එදා ප‍්‍රශ්න කෙළේය.









විධායක ජනාධිපතිවරයෙකු අභ්‍යාස කරන බලතල වනාහී, සමාජ ගිවිසුමක් හරහා ජනතාව විසින් ඔහු කෙරෙහි තබන විශ්වාසයක් මත උත්පාදනය වන්නකි. එහෙත්, සමහර විට ඞී. බී. විජේතුංග හැරුණු කොට, ජේ. ආර්. ජයවර්ධනගේ පටන් සිරිසේන දක්වා ලංකාවේ මෙතෙක් බලයට පත් සෑම ජනාධිපතිවරයෙකු සහ ජනාධිපතිවරියක්ම එම බලය අවභාවිත කොට ඇත. ඒ කෙතෙක්ද යත්, සෑම අනුප‍්‍රාප්තිකයෙකුම තමාට කලින් සිටි පුද්ගලයාට වඩා එම බල අවභාවිතයට යොමු වී ඇති බව පෙනේ. ප‍්‍රශ්නය වන්නේ, ව්‍යවස්ථාව හොඳ ද නරක ද යන්නට වඩා, බලය අභ්‍යාස කරන පුද්ගලයා හොඳ ද නරක ද යන්නයි. මේ කොලමේ මීට පෙරත් පෙන්වා දී ඇති පරිදි, ව්‍යවස්ථාවක් මොන තරම් හොඳ එකක් වෙතත්, නරක පුද්ගලයෙකුගේ අතට පත්වූ විට එය නරක ව්‍යවස්ථාවක් විය හැකිය. එසේම මොන තරම් නරක ව්‍යවස්ථාවක් වුවත්, යහපත් පුද්ගලයෙකුගේ අතට පත්වූ විට එය හොඳ ව්‍යවස්ථාවක් බවට පත්විය හැකිය.









මේ සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාවේ අවුරුදු 40 ක ඉතිහාසය, විශේෂයෙන් පසුගිය සති කිහිපයේ කරුණු පෙළ ගැසුණු ආකාරය, ප‍්‍රසන්න අත්දැකීමක් නොවේ. එක්කෝ එම විධායක ජනාධිපති ක‍්‍රමය දැන්වත් මුළුමණින් අහෝසි කර දැමිය යුතුය. නැත්නම්, එය මීට වඩා පාලනය කළ හැකි වන ආකාරයෙන් තව තවත් ශක්තිමත් තුලන සහ සංවරණ මාදිලියක් සකසා ගත යුතුව තිබේ. එවිට, සභාග ආණ්ඩුවක් පවතින කාලයක වුවත් රටේ ස්ථාවරත්වයක් ඇති කර ගත හැකි වනු ඇත. එසේ ගත් විට, ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කොට ඇති 20 වැනි ව්‍යවස්ථා සංශෝධන යෝජනාව ඇත්තෙන්ම ව්‍යවස්ථාමය වශයෙන් නිවැරදි මාවතක යාමට ඇති අනගි අවස්ථාවකි.









සන්ධාන ආණ්ඩු අසාර්ථක වීමෙන් පෙනී යන්නේ අපේ නායකයන් තුළ ඇති බල තණ්හාවයි









සන්ධාන ආණ්ඩු සම්බන්ධයෙන් ලංකාවට ඇති ඉතිහාසය අඳුරු එකකි. එවැනි සන්ධාන ආණ්ඩු අසාර්ථක වී තිබීමෙන් පෙනී යන්නේ අපේ නායකයන් තුළ ඇති බල තණ්හාවේ ස්වභාවයයි. ජනතාවක් සහ රටක් වෙනුවෙන් සභාග ආණ්ඩු ඇති කර ගන්නවා වෙනුවට අපේ දේශපාලඥයන් නැමියාවක් දක්වා ඇත්තේ තම තමන්ගේ දේශපාලන බලය ඒ මගින් සවිමත් කර ගැනීමටයි. ඒ සඳහා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීම ඔවුන්ට මහ කජ්ජක් නොවේ. එහිදී ඔවුන් බලන්නේ ව්‍යවස්ථාවේ විකෘති අර්ථකථන අස්සේ සැඟවීමටයි.









ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මුළුමණින් විධායක ජනාධිපති ක‍්‍රමයක්වත්, මුළුමණින් වෙස්ට්මින්ස්ටර් ක‍්‍රමයේ පාර්ලිමේන්තු ක‍්‍රමයක්වත් නොවේ. එය දෙමුහුන් ක‍්‍රමයකි. විටෙක, ඒ ආශ‍්‍රයෙන් සභාග ආණ්ඩු පිහිටුවා ගැනේ. එවිට, විධායක ජනාධිපතිවරයා සහ ඔහුට ප‍්‍රතිවිරුද්ධ පාර්ශ්වයක අගමැතිවරයෙකු අතර සභාගයක් ගොඩනගා ගැනීමට සිදුවෙයි.






සටන තවම අවසන්ව නැත





ඒ කාරණය සම්බන්ධයෙන් පැහැදිළි ව්‍යවස්ථාමය ප‍්‍රතිපාදන නොමැති තත්ත්වයක් තුළ, එසේ ගොඩනැගෙන සභාග ආණ්ඩු තුළ පිටුපසින් සිට පිහියෙන් අනින තත්වයන් උද්ගත විය හැකිය. මුලින්ම මේ තත්වය 2001 දී දැක ගත හැකි විය. පාර්ලිමේන්තුවේ වසර 6 ක කාලය ගතවීමට මත්තෙන් එදා පැවති රනිල් වික‍්‍රමසිංහගේ ආණ්ඩුව ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක විසින් විසුරුවා හරින ලදි. එසේ කෙළේ, එක්සත් ජාතික පක්ෂයට පාර්ලිමේන්තුවේ බහුතරයක් ඇති තාක් කල් තමා එම ආණ්ඩුව විසුරුවා නොහරින බවට ප‍්‍රතිඥාවක් දී තිබුණු තත්වයක් තුළයි. එය පසුගිය ඔක්තෝබර් 26 වැනි දාත් සිදු විය. ඉන් පසු රට පත්වූ අරාජිකත්වය අපි දුටුවෙමු. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ස්තුතිවන්ත වන්නට ජනාධිපතිවරයාගේ ඒ නොමනා කල්ක‍්‍රියාවට එරෙහිව නැගී සිට ඒ ව්‍යවස්ථා කුමන්ත‍්‍රණය පරාජය කරන්නට රනිල් වික‍්‍රමසිංහට හැකි විය. එහෙත් සටන තවම අවසන්ව ඇති පාටක් නොපෙනේ.









ගත වූ දශක කිහිපය තුළ එකක් පිට එකක් වශයෙන් මේ රට ව්‍යසන ගණනාවකට මුහුණදී තිබේ. සමහර ඒවා ස්වභාවික ව්‍යසනයන් ය. තවත් ඒවා, පුද්ගලයන් විසින් ඇති කරන ලද, ආර්ථික සහ දේශපාලනික ව්‍යසනයන් ය. ජනාධිපතිවරයා විසින් දැන් ඇති කරන ලද විනාශය, රටේ ආර්ථිකයට මරු පහරක් වී ඇත.









අපට තවත් එවැනි ආපදා අවශ්‍ය නැත. අපේ හදිසි අවශ්‍යතාව වන්නේ, දරිද්‍රතාවයේ දඩුඅඬුවෙන් නිදහස් විය හැකි සහ තරුණයන්ට රැකියා සපයා දිය හැකි සංවර්ධනයකි. ඒ සඳහා රටේ දේශපාලනික ස්ථාවරත්වයක් අවශ්‍ය කෙරේ. වර්තමාන ව්‍යවස්ථාව යටතේ ඇති කරගන්නා සභාග ආණ්ඩුවලට එවැනි ස්ථාවරත්වයක් ඇති කිරීමට පුළුවන් කමක් නැත. 1978 ව්‍යවස්ථාව ඇති කර ගත්තේම දේශපාලනික ස්ථාවරත්වය ඇති කර ගැනීමට වුවත්, එය සාර්ථක වී නැත. ඒ නිසා අලූත් ව්‍යවස්ථාවක් ඇති කර ගත යුතුව තිබේ. එය, ආණ්ඩුවේ ප‍්‍රධානියා අගමැතිවරයා වන, රාජ්‍යයේ ප‍්‍රධානියා ජනාධිපතිවරයා වන, ඒ ජනාධිපතිවරයාව පාර්ලිමේන්තුවෙන් හෝ වෙනත් මැතිවරණ කොලීජියකින් පත්කර ගන්නා ක‍්‍රමයක් විය යුතුය. ඉන්දියාවේ සහ පාකිස්තානයේ තිබෙන්නේ එවැනි ක‍්‍රමයකි. එය, සංවර්ධනය ප‍්‍රවර්ධනය කරන ක‍්‍රමයක් විය යුතුය. අර්ථවත් බලතල බෙදාහදා ගැනීමේ ක‍්‍රමයක් තුළින් රටේ පවතින වාර්ගික ප‍්‍රශ්නයට විසඳුමක් විය හැකි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් විය යුතුය.

































(2018 දෙසැම්බර් 21 වැනි දා ‘ඩේලි මිරර්’ පුවත්පතේ පළවූ “Abolish the Executive Presidency Or Reduce its Powers" නමැති ලිපියේ සිංහල පරිවර්තනය, ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි)


0 comments: