Hot!

ශීලාචාර මිනිස් සමාජයක් වෙත යන මාවත කෙසේවිය යුතුද ?






- කුසල් පෙරේරා -









මේ අර්බුදය කුමක්ද ?





ශ්‍රී ලාංකිකයින් ලෙස අපි මේ වනවිට බරපතල අර්බුදයක හසුව සිටිමු. එනමුත් එහි සියලු සාධක හා කාරණා පිළිබඳව අපි අවධානය යොමු නොකරන්නෙමු. මෙය “රාජ්‍ය” නැවත ගොඩ නැගීම වෙනුවෙන් විකල්ප ඉල්ලා සිටින අර්බූදයකි. ඒ හා සමගම, සමාජ ආර්ථික සංවර්ධනය වෙනුවෙන්ද විකල්ප විසඳුම් ඉල්ලා සිටින්නකි. සමාජය ප්‍රජාතන්ත්‍රීය කිරීම වෙනුවෙන්ද එය විසඳුම් ඉල්ලයි. කෙටියෙන් කියන්නේ නම්, පවතින සමස්ථය එක ගොනුවට ගෙන ඉවත දා අලුතෙන් සියල්ල හැදීමේ අභියෝගය හමුවේ අපි නතරව සිටිමු.





මෙයද අප පිළිගත යුතුව ඇත. රාජපක්ෂ ජනාධිපති පරාජය කෙරුණු 2015 ජනවාරි 08 ජනාධිපතිවරණයෙන් මේ අර්බූදයට කිසිදු විසඳුමක් ලබා දුන්නේ නැත. ඉන් “වෙනසක්” සිදුවිනැයි කීම මහා ප්‍රලාපයකි. එහි කිසිදු වෙනසක් නොතිබුණි. ඉන් ලබා ගනු ලැබූයේ රාජපක්ෂ පාලනයෙන් පසු ඉතිරිවූ අතිශය දූෂිත, අකාර්යක්ෂම හා දේශපාලනීකරණය වූ රාජ්‍ය පාලනය වෙනුවෙන් වෙනත් මුහුණු පත්කර ගැනීම පමණි. දැන් ඇත්තේ මේ “යහපාලන” ජාතික ආණ්ඩුවේ ආරම්භක පාර්ශ්වයන් අතර බරපතල ප්‍රතිවිරෝධ රැගත් අර්බුදයේ දිග පළල තේරුම් ගැනීමට හැකියාවක් නොමැති, සමාජ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් සැලසුම් සකසා ඉදිරිපත් කළ නොහැකි අංගවිකල ආණ්ඩුවකි.





විවිධ පැතිකඩ සහිත අර්බූදය දැන් වඩ වඩාත් උග්‍රවෙමින් පවතියි. අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ සිට දෙපාර්තමේන්තු ප්‍රධානීන් හරහා ග්‍රාම සේවා නිළධාරීන් දක්වාම සමස්ථ රාජ්‍ය යාන්ත්‍රණයම දේශපාලනීකරණයට නතුව ජරපත්ව ඇත. එය දූෂණයට හා අකාර්යක්ෂමතාවට ප්‍රබල හේතුවකි. නීතිය ක්‍රියාවට නැගීමත් සාමය පවත්වා ගැනීමත් එවැනිමය. සමාජ විශ්වාසය හා පිළිගැනුමක් ලැබිය හැකි සේ පොලිසිය සිවිල් දෙපාර්තමේන්තුවක් ලෙස නැවත ස්ථාපිත කිරීමට දුර දිග යන ප්‍රතිංස්කරණ අවශ්‍ය වන්නේය. අධිකරණයේ “ස්වාධීනත්වය” යනු දේශපාලන පත්වීමක් ලද අගවිනිසුරුවරයෙකු එවැනිම සාවද්‍ය පිළිවෙතකින් ඉවත්කර වෙනකකු එළෙසින්ම පත් කිරීම නොවේ. අධිකරණය දූෂණයෙන් තොර කාර්යක්ෂම ආයතනයක් බවට පත් කිරීම හා කිසිදු සම්බන්ධයක් එවැන්නෙහි නැත. සමාජ ආර්ථික සංවර්ධනය විවෘත වෙළඳපල ආර්ථිකයට බාර දීමෙන් අතිශය යෝධ දූෂණ හා වංචා වලටද නාගරික හා ග්‍රාමීය සමාජ අතර විශාල වශයෙන් වර්ධනය වන විෂම පරතරයකටද හේතු වී ඇත. එමගින් අති බහුතරයකගේ ජීවන තත්ත්වය බිඳ වැටීමටද හේතුවී ඇත. අවශ්‍ය සියලු වැදගත් සේවා ඇත්තේ ඛේදනීය ලෙස ගරා වැටෙන තත්ත්වයකය.





පත් කරනු ලැබූ ස්වාධීන කොමිසම් වලට රාජ්‍යයේ මේ පිරිහීම නතර කළ නොහැක. ඔවුන්ට රාජ්‍ය සේවා ගොඩ දැමිය හැකි ප්‍රතිසංස්කරණ සඳහා අවසරයක් නැත. එනිසා ඔවුන්ට සිදුව ඇත්තේ මේ දූෂිත, අකාර්යක්ෂම, අළස ගොහොරුව මත වාඩි වී සිටින්නට පමණි. වැඩි කල් නොගොසින් මේ කොමිසම් සතු යම් පිළිගැනුමත් තිබේ නම්, එයද දියවී යනු ඇත.





ඉතිරිව ඇති “ප්‍රජාතන්ත්‍රවාදය” ජීවයක් නොමැති හුදු පටිපාටික (Procedural) ක්‍රියාවලියක් පමණි. දේශපාලන පක්ෂ දන්නා ප්‍රජාතන්ත්‍රවාදයක්ද නැත. ඔවුන් පවතින්නේ ජාවාරම්කාර හඩු සල්ලිකාරයින්ගේ ග්‍රහණයෙහිය. විනයක්ද නැති මේ පක්ෂවල අන්ත දූෂිතයෝ කිසිදු බාධාවකින් තොරව නිල දරති. එවැනි දේශපාලන පක්ෂ අතිශය වැදගත් කාරණා සම්බන්ධයෙන් වූවත් ප්‍රතිපත්තිමය තීන්දු ගැනීමට කාලය වැය නොකරති. මැතිවරණ ජයග්‍රහණ පමණක් ගණන් හදන ඔවුන්ගේ තීන්දු හැම විට ජනප්‍රිය තේරීම්ය. දෙමළ ජාතික ගැටළුව මෙතෙක් විසඳා ගැනීමට නොහැකිව ඇත්තේද දේශපාලන විනයක් හා වගකීම් බාර ගැනීමට සූදානම් නොවන නායකයින් නිසාවෙනි. එබැවින් ජනතා පරමාධිපත්‍යයට හා සෘජු ප්‍රජාතන්ත්‍රවාදයට මැතිවරණ සතු කිසිදු සක්‍රීය සම්බන්ධයක් නැත. මේ රෝගාතුර සමාජයෙහි බිඳ වැටීම් සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ දේශපාලන පක්ෂ විසින් ඉදිරිපත් කරනු ඇතැයි බලාපොරොත්තුවීමත් එබැවින් මහා මුලාවකි.





මේ අර්බුදයට සමස්තය ආවරණය කෙරෙන පුළුල් මැදිහත්වීමක් අවශ්‍යය





අප මුහුණ දෙන අර්බූදය එතරම්ම ගැඹුරුය. එතරම්ම සංකීර්ණය. කැපූ රෙදි කෑලි වලට අණ්ඩ දමනවා මෙන් නොව, සමස්තය ආවරණය කෙරෙන ඉතා දියුණු, පුළුල් මැදිහත්වීමක් මේ අර්බූදය ඉල්ලා සිටින්නේ එබැවින්ය. ඒ අනුව මේ අර්බූදය සමාජයෙන් ඉතා දැඩිව ඉල්ලා සිටින්නේ,





  1. ඉදිරි දශක කිහිපයකට අදාලව හා අවශ්‍ය ආකාරයෙන් “සමාජ ආර්ථික සංවර්ධනය” අලුතින් නිර්වචනය කිරීමටත්
  2. පළාත්වාසී ජනතාවගේද ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය ශක්තිමත්වන අයුරින් රාජ්‍ය ප්‍රතිව්‍යුහගත කිරීමටත්ය.




සමාජ ආර්ථික සංවර්ධනය යනු





අපි 1978 සිට අවුරුදු 40 ක් විවෘත වෙළඳපල ආර්ථිකයක ජීවත් වන්නෙමු. විවෘත වෙළඳපල ආර්ථිකයෙහි පදනම වන්නෙ රාජ්‍ය පාලනයකින් තොරව වෙළඳපල පවත්වා ගැනීමය. ඒ අනුව රජයේ කාර්ය භාරය වෙනස්වී ඇත. දැන් රජයේ වගකීම වනුයේ වෙළඳපල නිදහස පුළුල් කිරීමෙන් ආනයන හා අපනයන වෙළඳාම සීමා තහංචි වලින් තොරව පවත්වා ගෙන යාමට සහායකු වීමය. මේ විවෘත වෙළඳපළ තුල රැකියා සහ ආදායම් සොයා යෑමේ නිදහසත් තමන්ගේ බඩු මල්ල තීන්දු කිරීමට ඇති නිදහසත් “ප්‍රජාතන්ත්‍රවාදය” ලෙස ඒ වෙනුවෙන් අර්ථ ගන්වනු ලැබේ. රටේ “සංවර්ධනය” ඒ විවෘත වෙළඳපළ සතු පාරිභෝගික නිදහස සමගින් සිදුවන “ආර්ථික වර්ධනය” මත ගණන් හැදුනකි.





ආර්ථික වර්ධනය “ආයෝජක වුවමනාවන්” අනුව තීන්දු වන්නකි. වඩා පැහැදිලිව කියන්නේ නම්, මෙරටට පැමිණ නිෂ්පාදනය කරන්නේ කුමක්දැයි තීන්දු කරනු ලබන්නේ ආයෝජකයා විසින්ය. ඔහුට හෝ ඇයට ලැබිය හැකි ලාභය අනුව එය තීන්දු වන්නේය. රටක් වශයෙන් එය කෙතරම් අපට අපගේ අනාගතයට වාසිදායකද නැතිද යන්න තීන්දු කිරීමේ අයිතියක් අපට නැත. ආණ්ඩු ඒ වගකීම බාර ගන්නේද නැත. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයත් නිදහස් වෙළඳ කලාපත් පිහිටුවනු ලැබූයේ එවැනි සෘජු විදේශ ආයෝජන සඳහාය. ඒ වෙනුවෙන් කම්කරු හා කාර්මික නීති අකර්මන්‍යකර තැබීමත් ගම්පහ දිස්ත්‍රික්කයේ නිදහස් වෙළඳ කලාප 02 අවට පොලිස් බල ප්‍රදේශයන්හි නීතිය හා සාමය රැකීමත් රජයේ ආයතනවල ක්‍රියාකාරිත්වයත් බොහෝ සෙයින් ආයෝජකයින්ගේ අවශ්‍යතා මත තීන්දු වෙති. දූෂණයේ එක් ආරම්භයක් ඇත්තේ එතැනය.





එවන් පසුබිමක වුව, පොදු පිළිගැනුම බවට පත්ව ඇත්තේ අපනයන නිෂ්පාදනය සඳහා වන සෘජු විදෙස් ආයෝජන රටේ ආර්ථික වර්ධනයට හේතු වූ බවය. එහෙත් අවුරුදු 40 ක කාලයක් පුරා එවැනි විදෙස් ආයෝජන වෙනුවෙන් රටේ ජනතාවට අත හරින්නට සිදුවූ බදු අය කිරීම් හා ආයෝජකයින් සඳහා ඉදි කෙරුණු යටිතල පහසුකම් සඳහා වූ රුපියල් ප්‍රකෝටි ගණන් වන මුලු වියදම සහ ඒ වෙනුවෙන් රටක් හැටියට ලද වාසි සම්බන්ධව මෙතෙක් කිසිදු විගණනයක් සිදුව නැත. එවගේම එවන් යෝධ වියදමකට සරිලන වාසි ජනතාවට ලැබුණි යැයි දැනෙන්නටද නැත.









අවුරුදු 40 ක් ආයෝජකයින් මත රැඳුනු මේ “සංවර්ධනය” කිසිදු මූලික සමාජ අවශ්‍යතාවක් සඳහා විසඳුම් ලබා දී නැත. යතාර්ථය නම්, විවෘත වෙළඳපල ආර්ථිකය ඉතිරි කර ඇත්තේ රෝගාතුරව හතිලන සමාජයකි. එවන් සමාජයේ පාරිභෝගිකයින් ලෙස ජීවත් වන්නට පොර බදන සංඛ්‍යාත්මකව වර්ධනය වන මැද පංතිය “සංවර්ධනයේ” සාධකයක් ලෙස ඉස්මතුකර පෙන්වනු ලැබේ. එහි දිළිඳුකම ගණන් හැදීම අසික්කිත ගණන් හැදීමකි. දරිද්‍රතා රේඛාව 2016 සැප්තැම්බරයේදී අඳිනු ලැබූයේ මාසික ඒක පුද්ගල ආදායම රුපියල් 4,038 ක් ලෙසිනි.





ඒ අනුව ශ්‍රී ලංකාවේ දිළිඳු ප්‍රතිශතය සියයට 6.7 ක් යැයි ගණන් හැදුණි. මාසික ඒක පුද්ගල ආදායම රුපියල් 4,038 ට ඉහළින්වූ කිසිවකු දුප්පතෙකු නොවුණි. දුප්පත්කම එලෙස තීන්දු කිරීම කෙතරම් ප්‍රෝඩාවක්දැයි දරිද්‍රතා රේඛාව රුපියල් 4,038 ක් යැයි තීන්දු කළ ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවම ඔප්පු කරන්නේය. ඔවුන්ගේම 2012/13 ගෘහස්ථ ආදායම් හා වියදම් පිළිබඳ සමීක්ෂණයට අනුව, සිව් දෙනෙකුගෙන් යුත් නාගරික පවුලකට මූලික අවශ්‍යතා පමණක් සපුරමින් මාසයක් ජීවත් වන්නට රුපියල් 58,830 ක් අවශ්‍ය විය. ග්‍රාමීය සමාජයේ ඒ සඳහා රුපියල් 38,274 ක් අවශ්‍ය විය. 2018 අවසන් වන තෙක්ම ඒ යෝධ පරතරය හා ඒ සංඛ්‍යා ලේඛන ප්‍රෝඩාව එලෙසින්ම පැවතුණකි.





පසුගිය දශක කිහිපයේ සංවර්ධනය යැයි නම් කෙරුණු විවෘත වෙළඳපල ආර්ථික ක්‍රියාකාරකම් විසින් වත්කම් හා ආදායම් බෙදී යාමේ බරපතල විෂමතාවක් වර්ධනය කරනු ලැබිණ. කොළඹ දිස්ත්‍රික්කයේ සාමාන්‍ය ගෘහස්ථ ආදායම 2013 දී රුපියල් 77,723 ක් විය. යුද්ධයෙන් අවුරුදු 04 ට පසුවද මුලතිවූ දිස්ත්‍රික්කයේ එය ඉන් අඩකටත් වඩා අඩු රුපියල් 23,697 ක් විය. කිලිනොච්චියේ එය රුපියල් 30,643 කි. මොණරාගල රුපියල් 34,804 ක් වන විට, මාතලේ රුපියල් 35,004 ක් වූ අතර, අනුරාධපුරයේ එය රුපියල් 35,460 ක් විය. අනෙක් දිස්ත්‍රික්ක ඊට වඩා යහපත් නොවූ අතර, එම පරතරය හා විෂමතාව 2018 දක්වාම වර්ධනය වෙමින් පවතින්නකි.





අධ්‍යාපනය, සෞඛ්‍ය, පොදු මගී ප්‍රවාහනය, පාරිභෝගික පැවැත්ම සහ සංස්කෘතික හා බුද්ධිමය ජීවිතයකට ඇති අවස්ථා හා නිදහස යන සියල්ල තීන්දු වන්නේ මේ බරපතල විෂමතාව ඇතුළත ය. එහි “සංවර්ධනය” යන්නෙහි “දියුණුව” යනු වඩ වඩා සල්ලිකාර පාරිභෝගිකයෙකුවීමට නගරයේ ඇති ආර්ථික අවකාශය පමණි. වර්තමාන “සංවර්ධනය” යනු නගරයට සීමා වූ රටේ ජනගහනයෙන් සියයට 20 ක් ජාතික ආදායමෙන් සියයට 52 6 ක් බුක්ති විඳීමය. අති බහුතරයකට සාමාන්‍ය අත්‍යාවශ්‍ය පහසුකම් සඳහා ස්ථාවර අවකාශයක් නැත. එබැවින් “සංවර්ධනය” යන්න අප අලුතෙන් අර්ථගන්වා ගත යුත්තකි. ඒ අලුත් අර්ථගැන්වීමෙහි දියුණුව යනු රටේ ආර්ථික වර්ධනය විසින් ජන ජීවිතයට එකතු කරන්නාවූ නවීන කාර්යක්ෂම සේවා පහසුකම් වලට අමතරව, විවේකය හා දියුණු සංස්කෘතික පැවැත්මකට සැමට ඇති අවකාශයද එකතු විය යුතුය. සරළව කිවහොත් “සංවර්ධනය” යැයි ක්‍රියාත්මක විය යුත්තේ තෘප්තිමත්, නිරෝගී, දියුණු සංස්කෘතික මිනිසකු නවීන ලෝකයට ලබාදීමේ සැමට පොදු සමාජ ආර්ථික ක්‍රියාවලියකි.





සංවර්ධනය සම්බන්ධ එවැනි නිර්වචනයකට සැබෑ ජීවයක් ලබා දීමට නම්, අප සමාජ, ආර්ථික හා දේශපාලන එකතුවෙහි සමස්ථය මූලික වෙනසකට යොමු කළ යුතුව ඇත. එයට කෙටි කාලීන පියවරද ඇතුළත් දසක දෙකක දිගු කාලීන “ජාතික සංවර්ධන වැඩපිළිවෙලක්” අවශ්‍ය වන්නේය. එයට (අ) අධ්‍යාපනය (ආ) සෞඛ්‍ය (ඇ) පොදු මගී ප්‍රවාහනය (ඈ) ග්‍රාමීය හා ජාතික ආර්ථිකය (ඉ) කෘෂිකර්මාන්තය (ඊ) සංස්කෘතික ජීවිතය සහ (ඔ) ජනමාධ්‍ය ඇතුලු විය යුතුය.





(අ) අධ්‍යාපනය සැළසුම් විය යුත්තේ “නිදහස් අධ්‍යාපනය” පිළිබඳ පැහැදිලි ප්‍රතිපත්තිමය තීන්දුවක පිහිටා ය. එය දිළිඳු සහ ආර්ථික අපහසුතා මත පූර්ණ අධ්‍යාපනයක් ලැබිය නොහැකි දරුවන්ට වැඩි අවධාරණයක් හා අවකාශයක් ඇතිව සියලු දරුවන්ට එක හා සමාන අවස්ථා ලබාදීම වෙනුවෙන් ක්‍රියාත්මක විය යුත්තකි. ඒ අනුව ජාතික අධ්‍යාපන සැළසුමෙහි පෙර පාසලේ සිට විශ්ව විද්‍යාල, තෘතියික අධ්‍යාපනය හා වැඩිහිටි අධ්‍යාපනය දක්වා ආවරණය විය යුතුය. එහි “ආගම” ඉගැන්වීම විධිමත් අධ්‍යාපනයට ඇතුලු නොවන, එක් එක් ආගමික ආයතන විසින් බාර ගත යුතු අධ්‍යාපනයක් ලෙස තීන්දු විය යුතුය. ගුරු පුහුණු අධ්‍යාපනය වරින්වර දැනුම දියුණු කර ගැනීමට නිත්‍ය අවකාශයක් සහිත ආයතනගත පුහුණුවක් විය යුතුය. එය ඉහළ සමාජ ඇගයුමක් ඇති වැදගත් ඉහළ වැටුප් සහිත වෘත්තියක් ලෙස ව්‍යුහගත කළ යුතුය.





(ආ) සෞඛ්‍යයද මුළුමනින් ප්‍රතිසංවිධානය කළ යුත්තකි. රෝහල් කේන්ද්‍රීය ඇඳන්, රෝගීන් හා වෛද්‍යවරුන් මත ජාතික සෞඛ්‍ය සැළසුම් කිරීමේ අතිශය දෝස සහිත පුරුද්ද අත හැරිය යුතුය. එම පුරුද්ද විසින් විශේෂඥ වෛද්‍යවරුන් ප්‍රමුඛ අතිශය ලාභදායි පෞද්ගලික සෞඛ්‍ය කර්මාන්තයකට ඉඩ ලබාදී ඇත්තේ සෞඛ්‍ය පිළිබඳ රජයේ වගකීම බාල්දු කරමින්ය. ඒ වෙනුවට ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව වාර්ෂිකව අඩු කෙරෙන නිරෝගී සමාජයක් වර්ධනය කිරීම වෙනුවෙන් ප්‍රජා සෞඛ්‍යයට ලබා දෙන වැදගත් අවධාරණය සමග ජාතික සෞඛ්‍ය සැළැස්මක් සකසා ගත යුතුව ඇත. වෛද්‍ය අධ්‍යාපනය වෛද්‍යවරුන් හැදීමට පමණක් නොව, දියුණු ප්‍රජා සෞඛ්‍ය සේවක සේවිකාවන් හැදීම අවධාරණය කරන්නක් ලෙස අලුතින් සංවිධානය විය යුතුය. ප්‍රජා සෞඛ්‍ය සේවාව පෙර පාසලේ සිට ප්‍රාථමික අධ්‍යාපනය අවසන් වන තෙක් සියලු පාසල් ආවරණය කෙරෙන ලෙස සැළසුම් කළ යුතුය. ඒ අනුව දරුවකු පිළිසිඳ ගැනීමේ සිට වයස අවුරුදු 10 ක් වන තෙක් ඔහුගේ හෝ ඇයගේ සෞඛ්‍ය පිළිබඳ වගකීම රජය සතු වන්නකි.





(ඇ) පොදු මගී ප්‍රවාහනයේ වගකීම ආණ්ඩුව බාර ගත යුත්තකි. ආණ්ඩුව ඒ වගකීම වැදගත් අයුරින් බාර නොගන්නා හෙයින් අද මගී ප්‍රවාහනය පෞද්ගලික වාහන මත තනි තනිව විසඳ ගන්නා තැනට සමාජය තල්ලුවී ඇත. එය නොඉසිළිය හැකි මාර්ග තද බදයකටද ඉතාම අප්‍රසන්න මාර්ග භාවිතයකටද හේතු වූවකි. දෛනිකව මහ මග අපතේ පුළුස්සා දමන ඉන්ධන ප්‍රමාණය ධාවනයේදී දැවෙන ඉන්ධන ප්‍රමාණයෙන් සැළකිය යුතු විශාල ප්‍රතිශතයකි. සමාජයක් ලෙස මහ මග නාස්ති කෙරෙන කාලයටද වටිනාකමක් ඇතැයි කිසිවකු කල්පනා කරන්නේද නැත. එනිසා ඉතා කාර්යක්ෂම, සුව පහසු පොදු මගී සේවාවක් සැළසුම්කර පවත්වා ගැනීමේ වගකීම ආණ්ඩුව බාරගත යුතුව ඇත. ඒ සමග ප්‍රධාන නගර වලට ඇතුලුවන පෞද්ගලික වාහන සඳහා ගාස්තු අය කිරීමද සළකා බැලිය යුතුය.





(ඈ) ජාතික ආර්ථිකය කේන්ද්‍රගත විය යුත්තේ අද මෙන් විදේශ ආයෝජකයින්ගේ අභිමතය හා කේරීම අනුව නොව, ජනතා අවශ්‍යතා සහ සමාජීය අභිවෘද්ධිය අනුවය. එය අද මෙන් වෙළඳාම සඳහා අසීමිත නිදහසක් ඇතිව වාණිජ ලාභ ඉලක්ක කර විවෘත කෙරෙන ආර්ථිකයක් නොව, ජාතික අවශ්‍යතා සඳහා නියාමනය කෙරෙන වෙළඳපල ආර්ථිකයක් විය යුතුය. එහි ග්‍රාමීය ආර්ථිකයත් කෘෂි නිෂ්පාදනයත් නවීකරණය විය යුතු වැදගත් ක්ෂේත්‍ර ය. මේ ජාතික ආර්ථිකයේ පරිසරය ප්‍රධාන සාධකයක් විය යුතුය. අපගේ සංවර්ධනය පිළිබඳ ඉදිරි දැක්මෙහි ගෝලීය වෙළඳපලට වඩා දකුණු ආසියානු වෙළඳපල නැඹුරුවක් තිබිය යුතුය. විශේෂයෙන් ඉන්දියාව වෙත බර තැබීම වාසි සහගත බැව් අප තේරුම් ගත යුතුය. ගෝලීය ආර්ථිකයේ ආසියානු යෝධයින් දෙදෙනාගෙන් අපට වඩාත් ලාභදායි වෙළඳපල ඇත්තේ ඉන්දියාවෙහිය.





(ඔ) කෘෂිකර්මය අලුතින් සැලසුම් විය යුතු ඉතා වැදගත් ක්ෂේත්‍රයකි. එය පසුගිය දසක කිහිපයේ අයාලේ යැවුණු සුපුරුදු සාම්ප්‍රදායික කෘෂිකර්මය නොවිය යුතුය. කෘෂි සහනාධාර දේශපාලන වාසි වෙනුවෙන් යොදා ගන්නා බාල පුරුද්දෙන්ද අප ඉවත් විය යුතුය. වියළි කලාපයේ සහනාධාර මත නඩත්තු කෙරෙන වී ගොවි තැන ආර්ථික වශයෙන් කෙතරම් පලදායි දැයි සිතිය යුත්තකි. වී ගොවි තැනෙහි ශ්‍රමය අවුරුද්දකින් අඩක් අර්ධ කාලීන කුලී ශ්‍රමිකයින් ලෙස ජීවත් වන්නේ දිළින්දන් ලෙසය. එවගේම එම භූමියද අවුරුද්ද පුරා පූර්ණ වශයෙන් නිෂ්පාදනයට නොගැනේ. පසු අස්වනු තාක්ෂණය දියුණු නොකිරීමේ හේතුවෙන් වෙනත් ආර්ථික භෝග ප්‍රවර්ධනයෙහි අනිසි සීමා වෙළඳපල විසින් ඇති කෙරෙන්නේය. ග්‍රාමීය ආර්ථිකයෙහි මේ සියල්ලට විසඳුම් සෙවිය යුතු වන්නේය.





(ඕ) අවසාන වශයෙන් ආර්ථික වර්ධනයක් සහිත “සංවර්ධනය” යනු දියුණු සංස්කෘතික මිනිසකු අනාගතය වෙනුවෙන් හැදීම පිළිබඳ අභියෝගය වන්නේය. එම අභියෝගය ජය ගැනීමේදී ආර්ථික වර්ධනය සමග දෛනික වැටුප හා ආදායම සේවකයින්ගේ සංස්කෘතික ක්‍රියාකාරකම් සඳහාද ප්‍රමාණවත් විය යුතු අතර, ඒ වෙනුවෙන් විවේක කාලයක් ඉතිරි කෙරෙන සංවර්ධනයක්ද විය යුතුය. වැටුප් ශ්‍රමිකයින්ගේ වැඩ සතිය දින 05 ට සහ වැඩ දිනය පැය 07 ට සීමා විය යුත්තේද එබැවිනි. එනිසා දියුණු නවීන පුස්තකාල, විවිධ විෂයන් සම්බන්ධ නවීන කෞතුකාගාර, සියලු පහසුකම් සහිත කලාගාර හා නෘත්‍යාගාර, සම්මක්ත්‍රණ ශාලා, ළමුන්ට හා වැඩිහිටියන්ට නිදහස බුක්ති විඳිය හැකි අයුරු උද්‍යාන හා ක්‍රීඩා පිටි සෑම පළාත්බද සැළසුමකමද ඇතුලු විය යුතුය.





(ඉ) අධ්‍යාපනයෙහි සහ සංස්කෘතික ජීවිතයේදීත් දැනුවත් සමාජයක් ලෙස පැවතීමේදීත් ජනමාධ්‍ය නිදහස් ස්වාධීන මාධ්‍යයක් ලෙස පමණක් නොව, සමාජීය වගකීමක් ඇති වෘත්තිකයින්ගේ මාධ්‍යයක් ලෙසින්ද පැවතිය යුතුය. ඒ වෙනුවෙන් රජයේ මාධ්‍ය ආයතන අමාත්‍යවරයෙකුගේ හා ආණ්ඩුවේ පාලනයෙන් මුදවා ස්වාධීන පාලන අධිකාරයක් යටතේ තැබිය යුතු වන්නේය. එවගේම විශේෂයෙන් විද්‍යුත් මාධ්‍ය සඳහා රාජ්‍ය හා පෞද්ගලික අයිතිය පිළිබඳ වෙනසක් නොමැති නෛතික බලයක් සහිත අධීක්ෂණ යාන්ත්‍රණයක් ස්ථාපිත කළ යුතුව ඇත. ඩිජිටල් සංඛ්‍යාත මහජන දේපළක් ලෙස ලොව පිළිගන්නා හෙයින් පෞද්ගලික මුද්‍රිත මාධ්‍යයට වඩා විද්‍යුත් මාධ්‍ය සතු සමාජ වගකීම සම්මුති ගැසිය නොහැකි වගකීමකි. ප්‍රධාන වශයෙන් ඩිජිටල් සංඛ්‍යාත කෙටි කාලීනව කුලියට දෙන ස්වභාවික සම්පතක් විය යුතු සේම, ඒ හා පැනවෙන කොන්දේසි කවරේදැයි සමාජය හමුවේ ප්‍රකාශයට පත් කිරීම අදාල බලධාරි ආයතනයේ වගකීම විය යුතුය.





දුම්රිය සේවය




රාජ්‍ය බලය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරීත්වයක් වෙනුවෙන් ප්‍රතිව්‍යුහගත කිරීම





බරපතලම අභියෝගය වනුයේ මේ කතා කරන ඉතා සංකීර්ණ හා පුළුල් “සංවර්ධනය” සියලුම “රටවැසියනට” (මේ විවෘත වෙළඳපල ආර්ථිකය විසින් “පුරවැසියා” යන්න පැරණි අරුතෙන් තේරුම් ගැනීම සමච්චලයට පත් කෙරුවකි. එවැනි අගයක් අද කොළොම් පුර මැද පංතික වැසියනට මිස ග්‍රාමීය සමාජයේ අති බහුතර වැසියනට නැත) ආගමික හා වාර්ගික බෙදුම් නොමැතිව සමානයින් ලෙස පරස්පර හා විෂමතා වලින් තොරව බුක්ති විඳිය හැකිවන අයුරු වගකීම් බාරගත හැකි ස්වාධීන නව රාජ්‍ය ව්‍යුහයක් නිර්මාණය කර ගන්නේ කෙසේද යන්නය.





මෙතෙක් අත්දැකීම වන්නේ 1947 සෝල්බරි හා 1972 සහ 1978 ජනරජ ව්‍යවස්ථා විසින් ස්ථාපිත කර ඇති ඉතා පැහැදිලිව කොළඹට “මධ්‍යගත” කෙරුණු “ඒකීය රාජ්‍ය” මගින් පසුගිය අවුරුදු 70 පුරා අපට වාර්ගික හා ආගමික බෙදුම් නොමැති බහු වාර්ගික හා බහු ආමික සංස්කෘතික අනන්‍යතා සමගින් වන දියුණු නවීන රාජ්‍යක් තහවුරු කර ගැනීමට නෙහැකිවීම පිළිබඳව වැදගත් සංවාදයක් නොවීමය.





වාර්ගික හා ආගමික බෙදීම් මත තරග වදින දේශපාලනය හේතුවෙන් සිංහල බෞද්ධ ඒකීය රාජ්‍යක් තහවුරු කෙරුණද ඉන් අත හරිනු ලැබූයේ දෙමළ ජනතාව පමණක් නොවේ. ඉන් අත හැරුණු කිසිදු දියුණුවක් නොලබන බහුතර සිංහල බෞද්ධ ග්‍රාමීය ප්‍රජාවක්ද ඇත. ඔවුන්ද සමාජීය ආර්ථික ක්‍රියාවලියෙන් අත හැර දැමුණු ප්‍රජාවකි. යුද්ධයෙන් බරපතල ලෙස සුණු විසුණු වූ උතුරු හා නැගෙනහිර ප්‍රදේශ වාගේම මෘග ලෙස නොවුනත්, මුළුමනින්ම සිංහල බෞද්ධ දිස්ත්‍රික්කයක් වන මොණරාගල හැමදා ඉතා දිළිඳු දිස්ත්‍රික්කයකි. හම්බන්තොට, අනුරාධපුර, පොළොන්නරුව, රත්නපුර, කෑගල්ල වැනි දිස්ත්‍රික්කද මේ අවුරුදු 70 ක නිදහස් ලංකාවේ ලැබූ වැදගත් දියුණුවක් නැත. ග්‍රාමීය සමාජයේ මුස්ලිම් ජනතාවගේ ඉරණමද ඊට වෙනස් නැත. අසීමිතව විවෘත කෙරුණු මේ වෙළඳපල ආර්ථිකයෙහි ග්‍රාමීය සමාජය අත හැර දැමීමේදී වාර්ගික හෝ ආගමික තේරීමක් නැත. එවගේම කොළඹ ඇතුලු ප්‍රධාන නගරයන්හි ආදායම් හා වත්කම් ඒකරාශිවීමේදී මේ විවෘත වෙළඳපල ආර්ථිකයට වාර්ගික හා ආගම් භේද ඇත්තේ නැත. විවෘත වෙළඳපල ආර්ථිකයෙහි අවුරුදු 40 ක කාලයේ හැදුනු හඩු ජාවාරම්කාරයින් අතරද එවැනි බෙදීම් නැත. එහි භේද ඇත්තේ කුඩා නගර ආශ්‍රිත පහළ තලයේ වෙළඳුන් අතරය. වෙළඳාමේ වැඩි පංගුව ඔවුන් ඉල්ලා සිටින්නේ තරගයක් තුල නොව, වාර්ගික අයිතිය මතය.





එබැවින් සිංහල බෞද්ධ ආණ්ඩු හැදීම වෙනුවෙන් සිංහල බෞද්ධ ජනතාවගේ ඡන්දය අවුරුදු 70 ක් පුරා ලබා ගන්නා දේශපාලනයෙන් හදා ගත් සිංහල බෞද්ධ ඒකීය රාජ්‍ය විසින් බහුතර සිංහල බෞද්ධ ජනතාවටද දෙමළ හා මුස්ලිම් ජනතාවට සැළකෙන ආකාරයට වඩා වෙනස් ආකාරයකින් සළකා නැත.










“ඒකීය” රාජ්‍යයේ සිංහල බෞද්ධ පරිණාමය









දීර්ඝ පැරණි ලාංකීය ඉතිහාසයේ “ඒකීය” රාජ්‍ය නම් සංකල්පයක් නොවුනි. එහි වූයේ සිංහල රජෙකු යටතේ රට එක්සේසත් කිරීමේ අවස්ථා කිහිපයකි. ඉතිහාසයේ වැඩි කාලයක් ලංකාව පැවතියේ රජවරුන් කිහිප දෙනෙකු යටතේ පාලනය වූ කැබලි රාජ්‍යයන් ලෙසිනි. පෘතුගීසින් 1505 දී අහම්බයෙන් ලංකාවට ගොඩ බසින විට, බස්නාහිර පළාතේ රජවරුන් තිදෙදෙනකු යටතේ කෝට්ටේ, සීතාවක හා රයිගම්පුර යැයි පාලන 03 ක් වූ අතර, කන්ද උඩරට හා යාපනය වෙනම රාජ්‍ය විය.





බ්‍රිතාන්‍ය යටත් විජිත පාලකයින් විසින් සමස්ථ රටම ඔවුන්ගේ පාලනයට නතුකර ගත් පසුව 1815 කන්ද උඩරට ගිවිසුම අත්සන් කර වර්තමාන “ඒකීය රාජ්‍ය” සංවිධානය කර තහවුරු කෙරුවකි. එය අවුරුදු 130 ක පමණ කාලයක් පුරා ඔවුන්ගේ අත්දැකීම් මත කෝල්බෲක් හා ඩොනොමෝර් කොමිසම්ද සමගින් නීති රෙගුලාසි ඇතිව වර්ධනය කර ස්ථාපිත කෙරුවකි. සුහද ගනුදෙනු වලින් පසු ලංකාවට 1948 නිදහස ලබා දෙන විට, කොළඹ මධ්‍යගත කෙරුණු ඔවුන්ගේ ඒකීය රාජ්‍ය රට පුරා ආණ්ඩුවේ ඒජන්තයින් හා කච්චේරි සමග මනාව ස්ථාපිතව තිබුණකි. කිසිදු විවාදයකින් තොරව කොළඹ සිංහල ප්‍රභූ පැලැන්තිය ප්‍රමුඛව සිංහල වෙළඳ ප්‍රජාව ඒ නිදහස අප වෙනුවෙන් බාර ගනු ලැබූයේ “නිදහස් ඒකීය රාජ්‍යක්” සඳහා ලියූ සොල්බරි ව්‍යවස්ථාවද සමගින්ය. 1947 පළමු පාර්ලිමේන්තු මැතිවරණයෙන් දේශපාලන බලය ලබාගත් ඉඩම් හිමි සිංහල ප්‍රභූ පැලැන්තිය සමග සිංහල වෙළඳ ප්‍රජාව, අනතුරුව මේ කොළඹ කේන්ද්‍රීය මධ්‍යගත ඒකීය රාජ්‍ය ඔවුන්ගේ සිංහල බෞද්ධ රාජ්‍ය ලෙස තහවුරු කර ගැනීමට වහා පියවර ගත්හ. සොල්බරි ආණඩුක්‍රම ව්‍යවස්ථාවෙහි සුළුතර ප්‍රජාවගේ ආරක්ෂාව සඳහා වූ 29 වන වගන්තියද නොතකා වැවිලිකරයේ දෙමළ ජනතාවගේ පුරවැසි අයිතිය හා ඡන්ද බලය අහෝසි කිරීමට පළමු පාර්ලිමේන්තුවේ බලය යොදා ගැනීම එහි ආරම්භ විය.





නාගරික සිංහල ප්‍රභූවරුන් සමග සිංහල වෙළඳ පැලැන්තිය දේශපාලන බලය තමන් අත තහවුරු කර ගැනීමේ මැදිහත්වීම් නතර නොකළහ. නිල නොවුනත් සිංහල ප්‍රභූ හා වෙළඳ පැලැන්තියේ අනුමැතිය හා අනුග්‍රහය ඇතිව සිංහල හා බෞද්ධ සංවිධාන එකතුවකින් 1954 අප්‍රේල් 02 වන දින “බුද්ධ ශාසන කොමිසම” පිහිට වූහ. එහි බලපෑම්ද ඇතිව 1956 බණ්ඩාරනායක ආණ්ඩුව බලයට පත්වීමත් ඒ ආණ්ඩුව විසින් බුද්ධ ශාසන කොමිසමේ වාර්තාව ක්‍රියාත්මක කිරීමට බාර ගැනීමත් සිංහල භාෂාව පමණක් රාජ්‍ය භාෂාව කිරීමත් නිදහසින් අවුරුදු 08 ක් ඇතුළත සුද්දන් හදා දුන් ඒකීය රාජ්‍ය සිංහල බෞද්ධ ඒකීය රාජ්‍යක් කිරීමට හේතු වුණි.





විශ්ව විද්‍යාලය දක්වා උසස් අධ්‍යාපනය මව් බසින් ලබා ගැනීමේ වාසිය සිංහල ප්‍රජාවට විශේෂ වූයේ රාජ්‍ය භාෂාව සිංහල පමණක් වූයෙනි. එබැවින් රාජ්‍ය සේවාවන් සියල්ල සිංහලෙන් අධ්‍යාපනය ලැබූ ඔවුන්ට සීමා වූනි. බණ්ඩාරනායක මැතිනියගේ හවුල් ආණ්ඩුවේ සිටි ප්‍රධාන වාමාංශිකයින්ද සමග කෙටුම්පත් කර 1972 දී සම්මත කරගත් පළමු ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ඒකීය රාජ්‍ය තවදුරටත් මධ්‍යගත කෙරුවා පමණක් නොව, බුද්ධ ශාසනයටද ඉන් විශේෂ තැනක් දෙනු ලැබිණ. එහි දෙවන පරිච්ඡේදයේ 09 වන ව්‍යවස්ථාවට අනුව, “….10 වැනි ව්‍යවස්ථාවෙන් සහ 14 වැනි ව්‍යවස්ථාවේ (1) වැනි අනු ව්‍යවස්ථාවේ (ඉ) ඡේදයෙන් සියලුම ආගම්වලට පිරිනැමෙන අයිතිවාසිකම් ආරක්ෂා කර දෙන අතර ‘බුද්ධ ශාසනය’ සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීම විය යුත්තේ ය.” ඉන් මේ රටේ “බුද්ධ ධර්මය” ප්‍රගුණ කිරීමක් ගැන නොකියවුනි. ඉන් සහතික වූයේ “සංඝ ශාසනය” සුරක්ෂිත කොට පෝෂණය කිරීමටය. භික්ෂුන් සමග සෘජු සම්බන්ධකම් පැවැත්වීමට කොළඹ දේශපාලන නායකයින්ට හා ආණ්ඩුවට එමගින් නිල අවසරයක් ලබාදුන් අතර, බෞද්ධ භික්ෂුව, සිංහල බෞද්ධ සමාජයේ විවෘත දේශපාලන සාධකයක් බවටද පත් කෙරුණි.









ඒකීය රාජ්‍යයෙහි ග්‍රාමීය සිංහල බෞද්ධයා









සිංහල බෞද්ධ දේශපාලන ආධිපත්‍ය සහතික වූ නිදහසින් පසු අවුරුදු 70 ක කාලයේ කොළඹට මධ්‍යගත කෙරුණු ඒකීය රාජ්‍ය “සිංහල-බෞද්ධකරණය” කෙරුණද, සංවර්ධන කාර්යන් වෙනුවෙන් ගනු ලැබූ කිසිදු පියවරකින් සිංහල බෞද්ධ ග්‍රාමීය බහුතරයට ලැබුණු වැදගත් වාසියක් ප්‍රගතියක් නැත. දෙමළ හා මුස්ලිම් ජනතාව ඉලක්ක කෙරුණු හා දෙමළ ප්‍රදේශ ඉලක්ක කෙරුණු විශේෂ සංවර්ධන උත්සාහ නොතිබුණද, බහුතර සිංහල ප්‍රදේශ වෙනුවෙන් ක්‍රියාත්මක කළ කිසිදු සංවර්ධන ව්‍යාපෘතියකින් ග්‍රාමීය සිංහල සමාජයෙහි විශේෂ ප්‍රගතියක් ඇති නොවුනි. එයට නිදසුන් වන්නේ රාජ්‍ය අරමුදල් සමගින් නිදහසින් පසු පත්වූ ආණ්ඩු විසින් ගනු ලැබූ මෙවැනි උත්සාහයන් ය.






■ 1952 - මහනුවර ගැමි පුනරුත්ථාපන කොමිසම. එය 2005 දී උඩරට සංවර්ධන අධිකාරිය ලෙස ප්‍රතිසංවිධානය කර, සමස්ථ මධ්‍යම පළාතත් කෑගල්ල දිස්ත්‍රික්කයත් ඌව හා උතුරු මැද පළාත්හි කොටසුත් අදාල ප්‍රදේශ ලෙස නම් කෙරුණි.
■ 1990 - දිළිඳුකම පිටු දැකීම සඳහා “ජනසවිය” අරමුදල පනතකින් පිහිටුවනු ලැබිණ. එය පූර්ණ ලෙස ක්‍රියාත්මක කිරීම අදියර කිහිපයකින් සිදුවිය යුතුව තිබිණ. ඊට පෙර වූ ආණ්ඩු මාරුව සමග 1995 දී එය “සමෘද්ධි” අධිකාරිය බවට පත් කෙරුණු අතර, 2013 දී “දිවි නැගුම” ලෙස නැවත ප්‍රතිසංස්කරණය කර ව්‍යාප්ත කෙරුණි.
■ 1995 - ගාල්ල, මාතර, හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්ක විශේෂකොට සළකා “දක්ෂිණ සංවර්ධන අධිකාරිය” පිහිටුවනු ලැබිණ.





ඩී.එස්. සේනානායක ගල්ඔය සංචාරයක




ග්‍රාමීය සංවර්ධනය වෙනුවෙන් ගල්ඔය, උඩවලව, රාජාංගනය වැනි යෝධ ගොවි ජනාවාස පිහිටුවනු ලැබූයේ සොල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් සහතික කළ ඒකීය රාජ්‍ය යටතේය. ඒවායේ පදිංචි කෙරුණු පිරිසෙහි දෙවන හා තෙවන පරම්පරා සඳහා එම යෝධ ව්‍යාපෘති ඉතිරි කළ කිසිත් නැත. පළමු හා දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මගින් ඒකීය රාජ්‍ය වඩාත් ශක්තිමත් කළ අතර, ඒ යටතේ යෝධ ආධාර හා ණය මත දියත් කළ “සංවර්ධන” ව්‍යාපෘති ගණනාවක් විය.
■ 1972 - ඉඩම් ප්‍රතිසංස්කරණය
■ 1973 - වැවිලිකරය ජනසතු කිරීම
■ 1978 සිට උතුරු මැද පළාත ආවරණය කළ කඩිනම් මහවැලි සංවර්ධන වැඩසටහන. එය පසුව උඩවලවටද වලංගු කෙරිණ
■ 1978 සිට නිදහස් වෙළඳ කලාප පිහිටුවීම (කටුනායක, බියගම සහ කොග්ගලට අමතරව දැන් එවැනි කලාප 14 ක් ඇත). මේ වනවිට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල පනත මුලු රටම ආවරණය කරන්නේය.
■ 1986 - උඩවලවට උතුරින් ආරම්භ කළ සමණළ ඔය සංවර්ධන ව්‍යාපෘතිය
■ 1992 - ඇඟළුම් කර්මාන්ත 200 ව්‍යාපෘතිය (එය 138 කින් අවසන් විය).









මේ අතර, 1978 සිට විදේශ ආධාර සමග ග්‍රාමීය ප්‍රදේශ ඉලක්ක කෙරුණු “ඒකාබද්ධ ග්‍රාමීය සංවර්ධන වැඩසටහන්” අවුරුදු 20 ට වැඩි කාලයක් දිස්ත්‍රික්ක 10 ක පමණ ක්‍රියාත්මක කෙරිණ. ඇතැම්වා අදියර 02 කින් ක්‍රියාත්මක කෙරුණි. ඒවා කිසිවක් සාර්ථක නොවුනු හෙයින් පසුව 1997 දී යම් වෙනස්කම් ඇතිව “ග්‍රාමීය ආර්ථික ක්‍රියාකාරී වැඩසටහන්” ලෙස දියත් කෙරිණ. ඒවාද වසර කිහිපයකට පසු අතහැර දැමුණි. මේ සියලු ව්‍යාපෘති සැළසුම් කෙරුණේත් ක්‍රියාත්මක කෙරුණේත් කොළඹ කේන්ද්‍රීය සැළසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශය යටතේය. ප්‍රාදේශීයව ඒවා දිස්ත්‍රික් ලේකම් (ආරම්භක කාලයේ ආණ්ඩුවේ ඒජන්ත) යටතේ තිබිණ. මේවා සමග “ජයිකා, ජී.ටී.ඉසෙඞ්, නොරාඞ්, යූ.එස්.ඒඞ්” වැනි වෙනත් විදේශ රාජ්‍ය ආයතන මගින් ග්‍රාමීයව ක්‍රියාත්මක කළ ප්‍රජා කේන්ද්‍රීය සංවර්ධන ව්‍යාපෘති විශාල සංඛ්‍යාවක් තිබිණ.





ඒකීය සිංහල බෞද්ධ රාජ්‍ය යටතේ ඒ සියල්ලට අමතරව, විමධ්‍යගත අයවැය ලෙසින් මන්ත්‍රීවරුන් 225 ට වාර්ෂිකව රුපියල් මිලියන 35 බැගින් ඔවුන්ගේ දිස්ත්‍රික්කයේ සංවර්ධනය සඳහා යැයි මුදල් වෙන් කරනු ලැබිණ. එය 2002 සිට රුපියල් මිලියන 50 දක්වා වැඩි කෙරිණ. ඉතා දූෂිත වැය කිරීම් සමග එම මුදල් මන්ත්‍රීවරුන් විසින් ඔවුන්ගේ ඡන්ද වෙනුවෙන් පාසල් ගොඩනැගිලි ඉදිකිරීම, අතුරු මාර්ග සංවර්ධනය, තෝරාගත් ගම් සඳහා විදුලිය සැපයීම, පානීය ජලය සැපයීම වැනි කටයුතු සඳහා යොදවනු ලැබිණ. අවශ්‍යතා සහ ප්‍රමිතියකින් තොරව කෙරුණු එවැනි කටයුතු විසින් ගමට පෙනෙන්නට යමක් එක් වූ නමුදු ඒවායින් ග්‍රාමීය ජීවිතයට අවශ්‍ය සංවර්ධනය නොලැබුණි. විමධ්‍යගත අයවැය මගින් කෙරුණු එවැනි කටයුතු පිළිබඳව මා පෞද්ගලිකව අත්දුටු බොහෝ නාස්තිකාර වියදම් ඇත. පන්සලේ නායක හාමුදුරුවන්ට විදුලිය අවශ්‍ය වූ හෙයින් යාබද ගමටද විදුලිය ලැබිණ. නමුත් ගමේ මිනිසුන්ට අත්‍යාවශ්‍ය වූයේ පානීය ජල ව්‍යාපෘතියකි. තවත් ගමකට විදුලිය අවශ්‍ය වූවත් ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීට ඔහුගේ පැජරෝ ගමනට අවශ්‍ය වූයේ තාර දමනු ලැබූ පාරකි. තවත් පාසලක සිසු සිසුවියන්ට ජලය හා වැසිකිළි අවශ්‍ය වූවත් ලැබුණේ ක්‍රීඩා පිට්ටනියකි. විමධ්‍යගත අයවැය එවැනිය. එබැවින් ග්‍රාමීය සමාජයට මේ සිංහල බෞද්ධ ඒකීය රාජ්‍ය යටතේ මෙතෙක් ලැබුණු සංවර්ධනයක් නැත.





සංවර්ධනයට හා ප්‍රජාතන්ත්‍රවාදයට ඇවැසි පෙරළිය





සමස්තයක් ලෙස ගත් විට, සිංහල බෞද්ධ ඒකීය රාජ්‍ය යටතේ නිදහසින් පසු පළමු අවුරුදු 30 ගත වූයේ කොළඹින් ලබා දුන් අසාර්ථක ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති සමගින්ය. එවැනි ග්‍රාමීය ව්‍යාපෘති එදා තිබූ සංවෘත ආර්ථිකයෙහි පැල කරන්නට තිබූ අසීරුව වඩාත් බරපතල වූයේ ඒවා ග්‍රාමීය ජීවන සංස්කෘතිය හා සංවර්ධන අවශ්‍යතා වෙනුවෙන් සැළසුම් කිරීමේ වුවමනාව කොළඹ කේන්ද්‍රීය මධ්‍යගත රාජ්‍ය නිලධරයට තේරුම්ගත නොහැකි වීමය. නිදහසින් පසු ඊළග අවුරුදු 40 ගෙවනු ලැබූයේ කොළඹ කේන්ද්‍රීය මධ්‍යගත රාජ්‍ය විවෘත වෙළඳපල ආර්ථිකයෙහි ආයෝජකයින්ගේ පහසුව සඳහා වගකීම් බාර ගැනීමත් සමගය. ඉන් සිදුව ඇත්තේ සියලු වත්කම් හා ආදායම් කොළඹට ගලා ඒමේ ආර්ථික ක්‍රියාවලියක සුව පහසු ජීවිත ගත කරන්නාවූ නාගරික මැද පංතියක් සහ ජාවාරම්කාර ව්‍යාපාරිකයින් සමග දේශපාලන පක්ෂ හැම අතකින්ම අන්ත දූෂිත ඒකාධිකාරි කල්ලි බවට පත්වීමය.





මෙය සම්පිණ්ඩනය කෙරෙන්නේ නම්, සුද්දා විසින් හදා වඩා සුහදව බාරදී ගිය ඒකීය රාජ්‍ය සිංහල-බෞද්ධකරණය කෙරුණත් එමගින් අති බහුතරයක් සිංහල බෞද්ධ ජනයාට හා දෙමළ මුස්ලිම් ජනතාවට නිදහසින් පසු අවුරුදු 70 ක කාලයේ වැදගත් ශිෂ්ට ජිවිතයකට අවශ්‍ය ස්ථාවර සංවර්ධනයක් හා සක්‍රීය ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයක් නොලැබුණි.





අවුරුදු 70 ක ඒකීය රාජ්‍ය යටතේ අකාර්යක්ෂමතාව, දූෂණ වංචා සමග වන අවපාලනයෙන් උගෙන ගත යුතු වැදගත්ම පාඩම වනුයේ ජනතා සහභාගිත්වය සමගින් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් නොකළහොත් “සංවර්ධනයේ නාමයෙන්” ආර්ථික වාසි ලබනු ඇත්තේ කොළඹ මැද පංතික හා ජාවාරම්කාර ව්‍යාපාරිකයින් පමණක් බවය. එබැවින් ව්‍යවස්ථා සම්පාදනයේදී පිළිගත යුතු අනිවාර්ය සත්‍යයක් වන්නේ “තෘප්තිමත් ගෞරවනීය ජීවිතයක් සඳහා” රාජ්‍ය හා සමාජ ව්‍යුහයන් ප්‍රජාතන්ත්‍රීයකරණය කිරීම අනිවාර්ය බවය.





එවන් නිගමන විසින් ඉල්ලා සිටින නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනය සමාජ සහභාගිත්වයකින් සිදු කළ යුතු සමාජ වගකීමක් මිස දේශපාලනඥයින්ගේ පොරොන්දු ඉටු කිරීමකට ලඝු නොකළ යුත්තකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කඩිමුඩියේ නොකළ යුතු නමුත් ඒ සඳහා වසරක පමණ කාල සීමාවක හෝ එකඟතාවක් තිබිය යුතුය. මේ එවැනි කෙටුම්පත් කිරීමකට පාදක විය යුතු යැයි කෙරෙන යෝජනා කිහිපයකි.





අයිතිවාසිකම් පිළිබඳව





  1. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රඥප්තියෙහි සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ මූලික සම්මුතීන් ඒවායේ පූර්ණ අන්තර්ගතය සමගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුලු කළ යුතය.
  2. බුද්ධිමය සංස්කෘතික වින්දනයට සහ සංස්කෘතික භාවිතාව සඳහා ඇති අයිතිය මූලික අයිතියක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුලු කළ යුතුය. ඒ අනුව ආගමක් තෝරා ගැනීම, ඇදහීම හෝ නොඇදහීම සෑම රටවැසියකුගේම පෞද්ගලික අයිතියක් වන අතර, ආගමික කටයුතුවල නිරතවීම පෞද්ගලික හා සාමුහික අයිතියක් ලෙස ව්‍යවස්ථාවට ඇතුලු කළ යුතුය. ඒ අනුවම, රජයේ සහ පෞද්ගලික පාසල්වල විෂයමාලාවෙන් ආගම විෂයක් ලෙස බැහැර කළ යුතු බවටද සඳහන් කළ යුතුය.
  3. යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුමයන් ලෙස නම්කර ඇති සහ නම් කරනු ලබන සියලු ස්ථාන හා ප්‍රදේශ පොදු ජාතික සම්පත් ලෙස කවර ආකාරයකින් හෝ තාවකාලිකව හෝ අන් සතු කළ නොහැකි ලෙසත් ඒවායේ ආරක්ෂාව සෑම කල්හිම රජය සතු බවත් ව්‍යවස්ථාව මගින් සහතික කළ යුතුය.
  4. පරිසර සුරක්ෂාව සමග රටේ හරිත ආවරණය (වනාන්තර) 1990 පැවති වර්ග ප්‍රමාණයෙන් වර්ධනයකර ආරක්ෂා කිරීම ජාතික හිමිකමක් ලෙස ව්‍යවස්ථාගත කළ යුතුය.




සංවර්ධනය හා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව සර්වපාක්ෂික නියෝජිත කමිටුවේ අවසාන වාර්තාව සම්පාදනය වෙනුවෙන් පාදක කර ගැනීම සඳහා වහා ප්‍රසිද්ධියට පත් කළ යුතු අතර,





  1. පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල සංවර්ධන සැළසුම් සහ අයවැය ඔවුන්ට අදාල බල ප්‍රදේශයෙහි ජනතා ඡන්දයකින් සම්මත කළ යුතු බැව් ව්‍යවස්ථාගත කළ යුතුය.
  2. සියලු දේශපාලන පක්ෂ සහ අපේක්ෂකයින් සෑම මැතිවරණයකදීම තම මැතිවරණ අරමුදල පිළිබඳ සියලු තොරතුරු නොපමාව ප්‍රකාශයට පත් කළ යුතු බැව් ව්‍යවස්ථාගත කළ යුතුය.
  3. සියලු මැතිවරණ අපේක්ෂකයින් තමන්ගේ සහ තම පවුලේ වත්කම් හා බැරකම් නාම යෝජනා සමගින් බාරදීම අනිවාර්ය බවත් ඒවා වහා ප්‍රසිද්ධියට පත් කිරීම මැතිවරණ කොමිසම සතු වගකීමක් බවත් ව්‍යවස්ථාගත කළ යුතුය.
  4. ජාතික දරිද්‍රතා රේඛාව හා ජාතික අවම වැටුප තීන්දු කිරීමේ ජාතික වැටුප් කොමිසම පිහිටුවීම ව්‍යවස්ථාමය ප්‍රතිපාදනයක් ලෙස ඇතුලු විය යුතු අතර, දරිද්‍රතා රේඛාව ජාතික අවම වැටුපෙන් තුනෙන් දෙපංගුවකට (සියයට 65 ට) වඩා අඩු නොවිය යුතු බවද ව්‍යවස්ථාමය නියමයක් විය යුතුය.














0 comments: