Hot!

සිරිසේන බිල්ලක් මෙන්ම ප්‍රාණඇපකරුවෙක්






- රංග ජයසූරිය - 









‘පිස්සෙකු ජනාධිපති තනතුරට පත්වුවහොත්’ මොනාවේවිද ? – 1978 ඇන්. ඇම් විමසූ පැනය





1978 දී සර්ව බලධාරී විධායක ජනාධිපති ක‍්‍රමය හඳුන්වා දුන් අවස්ථාවේ ලංකා සමසමාජ පක්ෂ නායක ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා ප‍්‍රශ්නයක් ඇසුවේය. එනම්, ‘පිස්සෙකු ජනාධිපති තනතුරට පත්වුවහොත්’ කුමක් සිදුවේද යන්නයි. නිසි ක‍්‍රියාවලියක් පිළිබඳ සීමාවක් නොමැති කමත්, වර්තමාන ජනාධිපතිවරයාගේ ක‍්‍රියාකලාපයට එරෙහිව ගත හැකි වරණ සහ තුලන ක‍්‍රියාවලියක් නොමැති කමත් නිසා එම ප‍්‍රශ්නය නැවතත් අලූතින් මතු වී තිබේ. ව්‍යවස්ථාව තුළ පවතින මේ හිඩැස පිළිසකර කර ගැනීම සඳහා කිසි විටෙක පූර්ණ උත්සාහයක් ගෙන නැත. විටින් විට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමෙන් ඒ ප‍්‍රශ්නයට පිළියමක් ලැබී ඇත්තේ ද නැත.





ප‍්‍රථම විධායක ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන පිස්සෙකු නොවීය. එහෙත් ඔහු විනාශකාරී ලෙස අවස්ථාවාදී විය. ඔහු 1978 ව්‍යවස්ථාව ලියුවේ ඔහුගේ පුද්ගල සහ දේශපාලනික අභිලාෂයන් මුදුන්පත් කර ගැනීමට ය. අනතුරුව, 13 වතාවක්ම ඔහු එම ව්‍යවස්ථාව සංශෝධනය කෙළේය. එසේම ඔහු, මමංකාරයෙන් පිරි, උද්ධච්ච මහල්ලෙකු විය. තවත් ඊනියා ජාතික නායකයන් කිහිප දෙනෙකු අතරේ ඔහු ව්‍යාජ දෙවියෙකු විය. (ඔහුගේ තරමට සරිලන පරිද්දෙන් අවසානයේදී ඔහුව හීලෑ කෙළේ තරුණ රජිව් ගාන්ධි ය.)





තුන්වැනි ලෝකයේ රටවල් මුහුණදී සිටි ආර්ථික සංවර්ධනය පිළිබඳ හදිසි සහ දැවෙන ප‍්‍රශ්නයට ආමන්ත‍්‍රණය කිරීමේ එක් මෙවලමක් වශයෙන් මේ ව්‍යවස්ථාව ලංකාවට හඳුන්වා දෙන ලදී. එහෙත් ඒ මගින් එවැනි ආර්ථික සංවර්ධනයක් ඇති කිරීමේ වාර්තාවත්, ඒ මගින් ජේ. ආර්, ජයවර්ධනගේ ඉදිමුණු මාන්නය පුම්බා ගැනීමේ වාර්තාවත් අප සලකා බැලිය යුත්තේ, ඔහු වැනිම වූ ඔහුගේ සමකාලීන වෙනත් රටවල නායකයන් සමග එය එකට ගෙන සසඳා බැලීමෙනි. ලී ක්වාන් යූ, මහතීර් මොහොමඩ්, සුහර්තෝ සහ පිනෝචේ වැනි නායකයෝ එහිදි කැපී පෙනේ. ඉන් සමහරෙකු ජේ. ආර්. ට වඩා දුර්දාන්ත ය. එහෙත් ඒ සියල්ලෝම එකී දක්ෂිණාංශික දුර්දාන්ත පාලන තන්ත‍්‍ර හරහා ඔවුන්ගේ රටවල් සංවර්ධනය කළහ. ඒ අනුව ගත් විට, ජේ. ආර්. ජයවර්ධන යනු තනිකර අසාර්ථකත්වයකි.





එසේම ඔහු ව්‍යසනකාරී විය. ඔහු රාජ්‍ය කටයුතු පාලනය කළ උද්ධච්ච ආකාරය දීර්ඝ කාලීන දේශපාලනික අස්ථාවරත්වයකට තුඩුදුන්නේය. උතුරේ සහ දකුණේ කැරලි දෙකකට ඔහු පාර කැපුවේය. ඔහු හා සමානව ඒ කාලයේ කටයුතු කළ වෙනත් රටක කිසි නායකයෙකුට වඩා ඔහුගේ අවපාලනය තුළ ඝාතනයට ලක්වූ ඒක පුද්ගල මිනිස් ප‍්‍රතිශතය විශාල ය. ඒ අතින්, චිලියේ පාලකයා වු පිනෝචේ පවා ළදරුවෙකු බඳු විය. 










https://www.facebook.com/badumathamaweb/videos/256947291640209/




ප්‍රේමදාසට ගින්නක් පැවරූ ජේ. ආර්





තමන් නිර්මාණය කළ අවුල ජේ. ආර්. ජයවර්ධන එකලසක් කෙළේ නැත. ඒ වෙනුවට ඔහු සිය අනුප‍්‍රාප්තික ආර්. ප්‍රේමදාසට පැවරුවේ ගිනි ගන්නා දේශයකි. රටේ ආර්ථික සමෘද්ධියක් ඔහු ඇති කෙළේත් නැත. ආර්ථික වර්ධන වේගය පැවතියේ සියයට 4 ක තරම් පහත මට්ටමක ය.





මේ විධායක ජනාධිපති ක‍්‍රමය සමහර රටවල පැවති දේශපාලනික, මැතිවරණමය සහ සමාජ තත්වයන්ට ගැළපුණි. ඊට අගනා නිදර්ශනයක් වශයෙන් බොහෝ විට ඉදිරිපත් කෙරෙන්නේ ප‍්‍රංශයයි. එහෙත් එම විධායක ජනාධිපති ක‍්‍රමය ලංකාවේ සාර්ථක වුණේ නැත. ලංකාවේ මෙන්ම තුන්වැනි ලෝකයේ වෙනත් බොහෝ තැන්වලත් එම ක‍්‍රමය අසාර්ථක වූ අතර, ඒ තුළින් සර්වබලධාරී, ඥාති සංග‍්‍රහවාදී, ප‍්‍රජාපීඩකයන් බිහි කෙරුණි.





ඊට හේතු වු ප‍්‍රධාන කාරණා දෙකක් තිබේ. එකක් වන්නේ ආයතනික ක‍්‍රමයයි. උදාහරණයක් වශයෙන් ශ‍්‍රී ලංකාව ගත් විට එය ප‍්‍රංශය හෝ ඇමරිකාවට වෙනස් ය. ඒ රටවල මෙන් ලංකාවේ, සර්ව බලධාරී ජනාධිපතිවරයෙකුගේ කල්ක‍්‍රියාව පාලනය කළ හැකි ස්වාධීන ආයතන පද්ධතියක් නැත. ඇත්තෙන්ම ලංකාව වැනි රටවල්වල සිදුව ඇත්තේ, එම සර්ව බලධාරී විධායකය විසින් එකී ආයතන පද්ධතිය දුර්වල කිරීමයි.





ව්‍යවස්ථානුකූලවාදය කෙරෙහි වන පොදු අවඥාවක්





දෙවැන්න වන්නේ ආසියාතික ඌරුවයි. (මෙසේ කීම ‘දේශපාලනික කන්‍යා භාවය’ වනසා ගැනීමක් විය හැකිය). ලෝකයේ මේ කලාපයේ නායකයන්ගේ සහ ජනතාවගේ ප‍්‍රතිපත්ති ගරුක භාවය, ව්‍යවස්ථාමය රාජ්‍යකරණය සම්බන්ධයෙන් ගත් විට, අවම ය. මෙය ඔවුන්ගේ ශිෂ්ටාචාරමය ඌරුවේ ලක්ෂණයකි. මෙවැනි රටවල්වල මැතිවරණමය ප‍්‍රජාතන්ත‍්‍රවාදය තුළ තාර්කික තේරීමක් කෙරෙන බවට අනිවාර්ය සහතිකයක් නැත. ඒ වෙනුවට ඒ මගින් වර්ධනය කෙරෙන්නේ බිම් මට්ටමේ අශෝභනත්වයත්, ඒ අශෝභනත්වය දේශපාලනික ස්ථරයේ ඉහළින්ම නියෝජනය වීමත් ය. උදාහරණයක් වශයෙන් ඉන්දියාව ගත්තොත්, පාර්ලිමේන්තුවේ පහළ මන්ත‍්‍රණ සභාවේ මන්ත‍්‍රීවරුන්ගෙන් සියයට 34 ක් අපරාධයකට වැරදිකරුවන් වී ඇති හෝ අපරාධ නඩුවක විත්තිකරුවන් හෝ වන්නේය. එහි වැදගත්ම ලක්ෂණය වන්නේ, බරපතල චෝදනාවන්ට ලක්ව ඇති දේශපාලඥයන්, ඊට වඩා අඩු වැරදිවලට ලක්ව ඇති දේශපාලඥයන්ට වඩා ජයග‍්‍රහණය කිරීමේ හැකියාවෙන් යුක්ත වීමයි.





එවැනි බිම් මට්ටමේ තත්වයක් විසින් උත්පාදනය කරනු ලබන්නේ ව්‍යවස්ථානුකූලවාදය කෙරෙහි වන පොදු අවඥාවකි. දේශපාලඥයන් රටේ ආණ්ඩුක‍්‍රමය උල්ලංඝණය කරන විට එසේ කරන්නේ බිම් මට්ටමේ ජනතාවගේ මුග්ධ භාවය කෙරෙහි විශාල විශ්වාසයක් තබාගෙන ය. තමන්ගේ අවකල් ක‍්‍රියා කලාපයන් ගැන ජනතා ප‍්‍රසාදයක් ඇති බව ඔවුහූ වටහා ගනිති.





කෙසේ වෙතත්, ලංකාවේ වර්තමාන දේශපාලනික තත්වය අතීතයේ පැවති තත්වයට වඩා වෙනස් ය. දැන් විධායක ජනාධිපති ක‍්‍රමයේ අත්තනෝමතිකත්වය අවම කර ගැනීම සඳහා නව නීතිරීති සම්පාදනය කොට තිබේ. බොහෝ දුරට එය සාර්ථක කර ගත්තේ, මුලින්ම 17 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙනි. (එයින් බොහොමයක් 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් අවලංගු කරන ලදී). ඊළඟට, ඒ කාර්යය ඉටු කර ගත්තේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙනි. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට තිබූ බලතල සීමා කෙරුණේ ඒ මගිනි. ඒ අනුව, පාර්ලිමේන්තුවේ කාලය වසර හතර හමාරක් ගත වන තෙක් එය විසුරුවා හැරීමේ බලයක් ජනාධිපතිවරයාට නැත. ඒ සමගම, මේ 19 වැනි සංශෝධනය මගින් ස්වාධීන කොමිෂන් සභා පත්කෙරුණි. ඒ, ආණ්ඩුවේ ප‍්‍රධාන ආයතන නිර්-දේශපාලනීකරණය කිරීම සඳහා ය.





මේ නිසා වර්තමානයේ ජනාධිපතිවරයාගේ ක‍්‍රියාකලාපය අද ව්‍යවස්ථාවෙන් අනුමත කෙරෙන්නේ නැත. ඇත්ත වශයෙන්ම, ඒ හැසිරීම ව්‍යවස්ථා විරෝධී ය. තුන් වරක්ම පාර්ලිමේන්තුවේ සම්මත කර ගන්නා ලද විශ්වාසභංග යෝජනා තුනක් ඔහු ප‍්‍රතික්ෂේප කිරීමෙන් ව්‍යවස්ථාව උල්ලංඝණය කොට තිබේ. පාර්ලිමේන්තුවේ 225 දෙනාගේම අත්සනින් දුන්නත් තමා රනිල් වික‍්‍රමසිංහ අගමැති ධුරයට පත්කරන්නේ නැතැයි ඔහු පුරසාරම් දෙඞීම ව්‍යවස්ථාව කෙරෙහි ඔහුගේ අවඥාව ප‍්‍රකාශයට පත්කිරීමකි. ඒ මදිවාට, ප‍්‍රමාණවත් තරම් මුදල් තිබුණේ නම් මහින්ද රාජපක්ෂ මහතාට 113 ක් පෙන්විය හැකිව තිබිණැයි ප‍්‍රකාශ කිරීම, අල්ලස ගැන ඔහුගේ අපරාධ සහායකත්වයත් හෙළි කිරීමකි.






සිරිසේන ප්‍රාණ ඇපකරුවෙක්









ජේ. ආර්. ජයවර්ධනගේ බල අපයෝජනය ව්‍යවස්ථාමය මාර්ගවලින්ම යුක්ති සහගත කර ගැනුණි. එහෙත් ඊට වෙනස්ව, සිරිසේන මහතාගේ බල අපයෝජනය ව්‍යවස්ථාව හරහා යුක්ති සහගත කර ගැනීමේ ඉඩක් වර්තමාන ව්‍යවස්ථාවේ ඉතිරි කොට නැත. ඒ අර්ථයෙන් ඔහුගේ හැසිරීම, දෝෂාභියෝගයක් සඳහා නිමිති විය හැක්කේය.





ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 38 වැනි වගන්තිය අනුව, ‘‘පාර්ලිමේන්තුවේ කවර වූ හෝ මන්ත‍්‍රීවරයෙකු විසින් කතානායකවරයා වෙත යවන ලිපියක් මගින්,





  1. චේතනාන්විතව ව්‍යවස්ථාව උල්ලංඝණය කළ බවට,
  2. රාජද්‍රෝහී වීමේ වරදට,
  3. අල්ලස සම්බන්ධ වරදට,
  4. යම් නීතියක් යටතේ චරිත දූෂණය හා සම්බන්ධ වරදක් කර ඇති අවස්ථාවක හෝ
  5. ස්වකීය ධුරයේ බලය අයුතු අන්දමින් පාවිච්චි කිරීම හා සම්බන්ධ විෂමාචාරය හෝ දූෂණය හා සම්බන්ධ වරදක්




ජනාධිපතිවරයා කර ඇති බව දන්වා සිටියයොත් සහ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඒ පිළිබඳව පරීක්ෂා කර බලා වාර්තා කරන ලෙස ඉල්ලා සිටින්නා වූ යෝජනාවක් ඉදිරිපත් කළහොත් ජනාධිපතිවරයාට එරෙහි දෝෂාභියෝගයක් ආරම්භ කළ හැක්කේය. එවැනි යෝජනාවක් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අත්සනින් යුතුව ඉදිරිපත් කළ විට කතානායකවරයා ඒ ගැන සෑහීමකට පත්වන්නේ නම්, ඔහු එම යෝජනාව භාර ගත යුත්තේය. අනතුරුව එම යෝජනාව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත විය යුත්තේය. අනතුරුව එම යෝජනාවේ අඩංගු චෝදනා කතානායකවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ යුත්තේය. ඉන් පසු ඒවා පිළිබඳ නිසි පරීක්ෂණයකින් පසු ශ්‍රේෂ්ඨාධිකරණය ස්වකීය තීන්දුව කතානායකවරයාට දැනුම් දෙනු ඇත. එහිදී ජනාධිපතිවරයා තමාගේ රාජකාරිය ඉටු කිරීමට අසමත් වී ඇති බව හෝ යෝජනාවේ සඳහන් චෝදනා සම්බන්ධයෙන් වැරදිකරු බවට තීන්දු කළහොත්, පාර්ලිමේන්තුවේ නැවත වරක් තුනෙන් දෙකක වැඩි ඡුන්දයෙන් එම යෝජනාව සම්මත කර ගත හැක්කේය.





කෙසේ වෙතත්, මේ දුෂ්කර ක‍්‍රියාවලියට අමතරව, දෝෂාභියෝගයක් සඳහා අවශ්‍ය කරන තුනෙන් දෙකේ බලයක් එක්සත් ජාතික පක්ෂයට නැත. එසේ හෙයින් ඔහුගේ වරදක් ධුරය අවසන් වීමෙන් පසුව නීතිය ඉදිරියට ගෙන ඒමේ අවකාශයක් තිබේ. එහිදී මුක්තිය ඇත්තේ ඔහුට මිස ඔහු කරන ක‍්‍රියාවන්ට නොවේ යැයි කියන පිරිසක් ද සිටිති.





ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 35 වැනි වගන්තියේ මෙසේ සඳහන් වෙයි:





‘‘යම් තැනැත්තෙකු ශ‍්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිවරයා ලෙස ධුරය දරන අවස්ථාවකදී, ඔහු විසින් පෞද්ගලික තත්වයෙහි ලා හෝ නිල තත්වයෙහි ලා කරන ලද හෝ නොකර හරින ලද කිසිවක් සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව කිසිම සිවිල් හෝ අපරාධ නඩු කටයුත්තක් පැවරීම හෝ පවත්වාගෙන යාම හෝ නොකළ යුත්තේය. එසේ වුව ද, ජනාධිපතිවරයා විසින් ඔහුගේ නිල තත්වයෙහිලා කරන ලද හෝ නොකර හරින ලද කිසිවක් සම්බන්ධයෙන් නීතිපතිවරයාට විරුද්ධව 126 වැනි ව්‍යවස්ථාව යටතේ ඉල්ලීමක් කිරීමට යම් තැනැත්තෙකුට ඇති අයිතිය සීමා කරන ලෙස මේ අනුව්‍යවස්ථාවේ කිසිවක් කියවා තේරුම් නොගත යුත්තේය.’’





එසේම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 126 වැනි වගන්තියේ සඳහන් පරිදි, ‘‘තුන්වැනි පරිච්ඡේදයෙන් හෝ හතරවැනි පරිච්ඡේදයෙන් හෝ ප‍්‍රකාශ කොට පිළිගන්නා ලද යම් මූලික අයිතිවාසිකමක් නැතහොත් භාෂා අයිතිවාසිකම, යම් විධායක හෝ පරිපාලන ක‍්‍රියාවක් මගින් කඩ කිරීම හෝ කඩ කිරීමට අත්‍යාසන්නව පැවතීම හා සම්බන්ධ කවර වූ හෝ ප‍්‍රශ්නයක් විභාග කොට තීරණය කිරීමේ තනි සහ අනන්‍ය අධිකරණ බලය ශ්‍රේෂ්ඨාධිකරණයට ඇත්තේය.’’





සිරිසේන අද වන විට, රනිල් වික‍්‍රමසිංහට එරෙහිව ඔහු තුළ පවතින අගතීන්හි බිල්ලක් බවට පත්ව ඇත්තේය. ඒ අතරේ, තමා තුළම වන දේශපාලනික ස්වාර්ථයේ සහ නීති විශාරදයන්ගේ දුර්මතවල ප‍්‍රාණඇපකරුවෙකු වී සිටින්නේය.





































(2018 දෙසැම්බර් 12 වැනි දා ‘ඩේලි මිරර්’ පුවත්පතේ පළවූ “From JR to Ms: Executive Presidency & Abuse of Power: They Ought to be held Accountable even after retirement" ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි)










0 comments: