Hot!

සුරංගනා කතා වලට නොරැවටී විධායක ජනපති ක්‍රමය අහෝසි කරන්න පෙළගැසෙන්න


- ගාමිණී වියන්ගොඩ -









සිරිසේන සහ රාජපක්ෂලා එක්සත්ව සහ එක්සිත්ව නිර්මාණය කළ උමතු අර්බුදය කවදා අවසන් වේද ?





සිරිසේන සහ රාජපක්ෂලා එක්සත්ව සහ එක්සිත්ව නිර්මාණය කළ උමතු අර්බුදය මේ සතියෙන් පසු අවසන් වෙතැයි මොහොතකටවත් නොසිතන්න. එසේම, ප‍්‍රජාතන්ත‍්‍රවාදයට එරෙහිව සිරිසේන-රාජපක්ෂ කඳවුර දියත් කළ යුද්ධයක් අප විසින් පරාජය කරන ලදැයි මොහොතකටවත් නොසිතන්න. ඔවුන් පරාජයට පත්ව ඇත්තේ සටනකින් හෙවත් සංග‍්‍රාමයකින් පමණි. යුද්ධය ඉදිරියට ඉතිරිව තිබේ. යුද්ධයකට සංග‍්‍රාම ගණනාවක් තිබේ. යුද්ධයක ජය පරාජය තීන්දු වන්නේ ඒ සංග‍්‍රාම මාලාවේ ජය පරාජයන්ගේ ඓක්‍යයේ ස්වභාවය අනුවයි.









යහපාලන පාර්ශ්වය ජය ගත් මේ සංග‍්‍රාමය තුළම ඒ යහපාලනයේ අවසාන පරාජය වෙන දාට වඩා තදින් දැන් කෙටී තිබිය හැකි බව විශ්වාස කිරීමට හේතු තිබේ. එය අපේ සහෘද ප‍්‍රාර්ථනයට සහමුලින් පටහැනි වෙතත්, කෙටි කාලීන සංතෘප්තියක් සඳහා අන්ධ විශ්වාසයන් මත අප එල්බ සිටිය යුතු නැත. අන්ධ විශ්වාසය හරහා නඩත්තු කර ගන්නා තාවකාලික සහනයම, අවසානයේදී දීර්ඝ කාලීන අසහනයක්ම ජනිත කරවන බව අත්දැකීමෙන් අපි දන්නා බැවිනි. ඒ නිසා, මේ කෙටි ඉදිරි කාලය තුළ, ආණ්ඩුවට කළ හැකි දේවල් සහ කළ නොහැකි දේවල් පරිස්සමෙන් තෝරා බේරාගෙන කටයුතු කිරීම අනිවාර්ය වන්නේය. එහිදී පහත සඳහන් කාරණය ගැන සැලකිලිමත් වීම අතිශය වැදගත් වෙතැයි අපි සිතමු.









දැන් අපට ඉන්නේ තමාව බලයට පත් කළ මුළු මහත් ජනතාවක් පාවා දුන් ජනාධිපතිවරයෙකි









මෙතෙක් කල් යහපාලන වැඩ පිළිවෙල සඳහා ජනාධිපතිවරයෙකු සහ අගමැතිවරයෙකු ඇතුළු කැබිනට් මණ්ඩලයක සාමූහික ප‍්‍රයත්නයක් තිබුණි. ඒ සම්බන්ධතාවයේ මොන අඩුපාඩු තිබුණත්, එතැන ප‍්‍රධාන පාලන අංශ දෙකක් වන, විධායකය සහ ව්‍යවස්ථාදායකයේ බහුතරය අතර අන්‍යොන්‍ය හැඳිනීමක් තිබුණි. එය තවදුරටත් පේන තෙක් මානයක ඉතිරිව නැත.









දැන් අපට සිටින්නේ, තමාව බලයට පත් කළ මුළු මහත් ජනතාවක් පාවා දුන් ජනාධිපතිවරයෙකි. තමාව බලයට පත් කළ ප‍්‍රමුඛ නායකයාට එරෙහිව, සතුරු කඳවුර සමග එක්ව විශ්වාස භංගයක් ගෙනැවිත් පරාජයට පත්වීමේ කෝපයෙන් උදේ හවා පැසවන ජනාධිපතිවරයෙකි. තමාව බලයට පත් කළ ප‍්‍රමුඛ නායකයාව අගමැති තනතුරෙන් ඉවත් කිරීම සඳහා රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කළ ජනාධිපතිවරයෙකි. තමාව අඩි හයක් පොළොව යටට යැවීමේ අභිලාෂයෙන් සිටියේ යැයි කියූ ප‍්‍රතිවාදී නායකයාව අගමැති වශයෙන් යළි බලයට පත්කිරීමට රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව දෙවැනි වතාවටත් උල්ලංඝණය කළ ජනාධිපතිවරයෙකි.









පාර්ලිමේන්තුවේ අති බහුතරයකගේ විශ්වාසය (විශ්වාසභංග) පිළිගැනීම එක දිගටම ප‍්‍රතික්ෂේප කරමින් රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තෙවැනි වරටත් උල්ලංඝණය කළ ජනාධිපතිවරයෙකි. තම විධායක අණසක යටතට ඒ පාර්ලිමේන්තුව යටත් කර ගත නොහැකි වූ කල්හි මුළු පාර්ලිමේන්තුවම විසුරුවා හැරීමට සිව්වැනි වරටත් රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කළ ජනාධිපතිවරයෙකි. අවසානයේදී, 1978 න් පසු විධායක බලය අපයෝජනය කිරීම තුළින් රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කළ බවට උත්තරීතර ශ්‍රේෂ්ඨාධිකරණය මගින් වැරදිකරු කළ ප‍්‍රථම ජනාධිපතිවරයා වීමේ වස ලජ්ජාවෙන් තැවෙන ජනාධිපතිවරයෙකි. පසුගිය 20 වෙනිදා පටන් ඇරඹුණු අලූත් ආණ්ඩුවේ ප‍්‍රධානියා ඔහු ය. අලූත් ඇමති මණ්ඩලයේ ප‍්‍රධානියා ඔහු ය.









දැන් අපට ඇත්තේ, ආණ්ඩුවේ නායකයා ආණ්ඩුවේ නොවන ආණ්ඩුවකි









විධායක ජනාධිපති ක‍්‍රමයක් ලංකාව වැනි රටක ක‍්‍රම දෙකකට ක‍්‍රියාත්මක විය හැකිය. එකක් වන්නේ, මේ මොහොතේ ලංකාවේ පවතින පරිදි, විධායක ජනාධිපතිවරයා එක දේශපාලනික කඳවුරකිනුත්, අගමැතිවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය ඊට ඉඳුරා ප‍්‍රතිවිරුද්ධ වෙනත් කඳවුරකිනුත් රාජ්‍ය පාලනයට මැදිහත් වීමයි.









මීට පෙරත්, චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිවරිය යටතේ එවැනි තත්වයක් අප අත්දැක ඇත. කෙසේ වෙතත්, අද තත්වය ඊට සපුරා වෙනස් ය. සිරිසේන ජනාධිපතිවරයා තමාගේ අගමැතිවරයා කෙරෙහි පැසවන වෛරයකින් සහ කෝපයකින් වැඩ කරන බව, පසුගිය දා එම අගමැතිවරයා දිවුරුම් දීමේදී ජනාධිපතිවරයා පැවැත්වූ දීර්ඝ කතාවෙන් මොනවට ඔප්පු විය. ඉතිං, දැන් අපට ඇත්තේ, ආණ්ඩුවේ නායකයා ආණ්ඩුවේ නොවන ආණ්ඩුවකි. එහිදී බලාපොරොත්තු විය හැක්කේ එක් ප‍්‍රතිවිපාකයක් පමණි. රනිල් වික‍්‍රමසිංහ ඇතුළු ආණ්ඩුවට ඉදිරි කාලය තුළ කිසි දෙයක් කිරීමට ඉඩ නොදෙන බවට මේ ජනාධිපතිවරයා වගබලා ගනු ඇත. මේ වන විට ජනාධිපති සිරිසේන විසින් ඒ සහතිකය රාජපක්ෂ කඳවුරට ලෙයින් අත්සන් කොට සපයා ඇති බවට අප තුළ අබමල් රේණුවක හෝ සැකයක් නැත.









විධායක ජනාධිපති ක‍්‍රමයක් ලංකාව වැනි රටක ක‍්‍රියාත්මක විය හැකි අනෙක් ආකාරය වන්නේ, ජනාධිපතිවරයාත් ආණ්ඩු පක්ෂයත් එක කඳවුරක් නියෝජනය කිරීමයි. 1978 මේ ව්‍යවස්ථාව සම්මත කර ගත් දා පටන්, ඉතා කෙටි කාලයකදී හැරුණු කොට, අපේ රටේ පැවතී ඇත්තේ එම තත්වයයි. එම ක‍්‍රමය තුළ ඇති වන්නේ ඉතා දැඩි අධිකාරීවාදී ප‍්‍රවණතාවකි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී මගකට වඩා ඒකාධිපති මගක යාමට එහිදී ඇති ඉඩකඩ හොඳටම වැඩි ය. එසේ විධායකය සහ ව්‍යවස්ථාදායකය එක කඳවුරක් සතුව පැවති අවස්ථාවල ඒ තත්වය අඩු වැඩි වශයෙන් අප අත්දැක තිබේ. විශේෂයෙන් ජේ. ආර්. ජයවර්ධනගේ පාලන කාලය තුළත්, අවසානයේදී මහින්ද රාජපක්ෂගේ පාලන කාලය තුළත් ඒ බව මනාව පෙන්නුම් කෙරුණි.









මේ විධායක ජනාධිපති ක‍්‍රමය එක දිගටම පවත්වාගෙන ගියොත්, 2020 න් පසු ඒකාධිපතියන් බිහිවේවි









මේ අනුව බලන විට, විධායක ජනාධිපති ක‍්‍රමයක් යටතේ, මේ ආකාර දෙකෙන් කොයි ආකාරයට රට පාලනය කළත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදයට සිදුවන්නේ අවැඩක්ම බවට සැකයක් නැත. එක්කෝ, අපට අකර්මණ්‍ය ආණ්ඩු පවත්වාගෙන යා හැකිය. අද පටන් බොහෝ විට අපට දකින්ට ලැබෙනු ඇත්තේ එවැනි තත්වයක් බව අපගේ විශ්වාසයයි.









අනිත් ආකාරයට ගතහොත්, ඒකාධිපතියන් රජ කැරැවිය හැකිය. මේ විධායක ජනාධිපති ක‍්‍රමය එක දිගටම පවත්වාගෙන ගියහොත්, 2020 න් පසු නිසැකවම එවැනි තත්වයක් ඇති විය හැකි බවත් අපගේ විශ්වාසයයි. එය, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති පදවියට පත්වුවත්, රනිල් වික‍්‍රමසිංහ ජනාධිපති පදවියට පත්වුවත් වෙනස් නොවන තත්වයකි. අදටත් වඩා ඉහළින් ඒ දෙන්නාම මේ සත්‍යය එදාට අපට පෙන්වා දෙනු ඇත.









තත්වය එසේ තිබියදී, පසුගිය 19 වැනිදා ගෝල්ෆේස් පිටියේදී එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ කී එක් අදහසක් අපේ විශේෂ අවධානයට ගත යුතුව තිබේ. මේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කර දැමීම සඳහා තමන්ට ඉදිරි මහ මැතිවරණයේදී තුනෙන් දෙකක ජයග‍්‍රහණයක් ලබා දෙන මෙන් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටි බව මාධ්‍ය වාර්තා කෙළේය. කෙසේ වෙතත්, පසුගිය 19 වැනිදා පාර්ලිමේන්තුවේදී මලික් සමරවික‍්‍රම කරන ලද කතාවෙන් කියා ඇත්තේ ඊට වෙනස් අදහසකි. එනම්, විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය නොපමාව මේ මොහොතේ ඉදිරිපත් වන බවයි. ඒ නිසා, රනිල් වික‍්‍රමසිංහ ගෝල්ෆේස් පිටියේදී කළා යැයි කියන කතාව, මාධ්‍ය විසින් විකෘති කරන ලද ප‍්‍රවෘත්තියකැ යි දැනට මම විශ්වාස කරමි.









රනිල් වික‍්‍රමසිංහ ඉදිරිපත් කළා යැයි කියන සූත‍්‍රය, නොකෙරෙන වෙදකමකට ඉල්ලන කෝඳුරු තෙල් හත් පට්ටයට වෙනස් නැත









ඇත්තෙන්ම රනිල් වික‍්‍රමසිංහ එවැනි කතාවක් කියා ඇත්නම්, ඒ සූත‍්‍රයට අනුව බලාපොරොත්තු තියාගෙන සිටියොත්, මෛත්‍රී බුදුන් පහළ වන තෙක් මේ විධායක ජනාධිපති ක‍්‍රමය ලංකාවේ චිරාත් කාලයක් පවතිනු ඇත. 1978 විධායක ජනාධිපති ව්‍යවස්ථාවෙන් පසු සමානුපාතික ඡන්ද ක‍්‍රමය ඇති කර ගත් දා පටන් මේ දක්වා කිසි මහ මැතිවරණයකින් තුනෙන් දෙකක බලයක් කිසි තනි පක්ෂයක් හෝ තනි සන්ධානයක් විසින් ලබාගෙන නැති බව මෙහිදී පෙන්වා දිය යුතුය. මින් මතුවටත් එවැනි තුනෙන් දෙකක බලයක් ලබා ගැනීමට කිසි තනි පාර්ශ්වයකට හැකි නොවනු ඇත. ඒ අනුව ගත් විට, රනිල් වික‍්‍රමසිංහ ඉදිරිපත් කළා යැයි කියන සූත‍්‍රය, නොකෙරෙන වෙදකමකට ඉල්ලන කෝඳුරු තෙල් හත් පට්ටයට වෙනස් නැත.









2018 ඔක්තෝබර් 26 වැනි දා දක්වා, මේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන බවට බොරු පොරොන්දු දුන් ඕනෑම දේශපාලන නායකයෙකුට සමාව දිය හැකිය. එහෙත්, එම දිනයෙන් පසුවත් යමෙකු මේ පොරොන්දුවත් සමග සෙල්ලම් කිරීමට ලැහැස්ති වන්නේ නම් ඔහුට හෝ ඇයට කිසි සමාවක් දිය යුතු නැත. මන්ද යත්, ඕනෑම අඳ ගොළු බිහිරි පුද්ගලයෙකුට පවා, මේ ක‍්‍රමයේ විනාශය කෙතෙක් ද යන්න මේ කෙටි කාලය තුළ සිරිසේන නැමැති ජනාධිපතිවරයා විසින්ම ඇහැට ඇඟිල්ලෙන් ඇන දැන් පෙන්වා දී ඇති බැවිනි.









පළමු වරට ඒකාධිපති අවශ්‍යතාවක් වෙනුවෙන් පවතින ව්‍යවස්ථාව මහ දවල් උල්ලංඝණය කළේ සිරිසේනයි









මේ දක්වා රට පාලනය කළ හැම නායකයෙකුම අර්ධ ඒකාධිපතියන් සේ කටයුතු කොට ඇත්තේ, පවතින ව්‍යවස්ථාවට අනුගත වෙමිනි. මහින්ද රාජපක්ෂ පවා, එසේ ඒකාධිපතියෙකු වීමට අවශ්‍ය කරන 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගත්තේ (මිල මුදලට වුව පුද්ගලයන් බා ගනිමින්) පවතින ව්‍යවස්ථාවට අනුගත විය යුතුව තිබුණු බැවිනි. පළමු වරට, එවැනි ඒකාධිපති අවශ්‍යතාවක් වෙනුවෙන් පවතින ව්‍යවස්ථාව මහ දවල් උල්ලංඝණය කළේ සිරිසේනයි. ඒ නිසා, මේ විධායක ක‍්‍රමය යටතේ, රාජ තේජසින් උදම් වූ විට, ව්‍යවස්ථාවට අනුගතව පමණක් නොව, ඊට ඉඳුරා පටහැනිවත් කටයුතු කිරීමට තරම් ජනාධිපතිවරයෙකු කටයුතු කළ හැකි බව දැන් අපි දනිමු.









ඊළඟට, 1978-1994 කාලය හැරුණු කොට, මීට පෙර රටට වැඩදායක සේම අවැඩදායක සෑම ආණ්ඩුක‍්‍රම සංශෝධනයක්ම සම්මත කරගෙන ඇත්තේ, පාර්ලිමේන්තු මැතිවරණයකින් දිනා ගත් තුනෙන් දෙකක ජයග‍්‍රහණයක් ඇතිව නොවේ. ඉහත කී 1978-1994 කාලයේ එක්සත් ජාතික පක්ෂයට තිබුණු මැතිවරණමය තුනෙන් දෙක පවා ලබාගෙන තිබුණේ ඊට පෙර පැවති කොට්ඨාශ මැතිවරණ ක‍්‍රමය හරහා දිනා ගත් තත්වයක් වශයෙනි. එය රනිල් වික‍්‍රමසිංහ නොදන්නවා නොවේ.














විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කළ යුතුයි









මෑත කාලයේ ලංකාව ඇති කර ගත් ඉතා ප‍්‍රගතිශීලී ප‍්‍රතිසංස්කරණයක් වන 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගත්තේ සරළ බහුතරයක් පවා නොතිබුණු පාර්ලිමේන්තුවක් තුළිනි. මෑත කාලයේ ඉතා අධිකාරීවාදී වෙනසක් වශයෙන් සැලකිය හැකි 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගත්තේත්, පාර්ලිමේන්තුවේ සිටි යම් මන්ත‍්‍රීවරුන් සංඛ්‍යාවක් තමන්ගේ පැත්තට බා ගැනීමෙන් මිස, පාර්ලිමේන්තු මැතිවරණයකින් ලබා ගත් තුනෙන් දෙකේ බලයක් මත නොවේ. ඊළඟට, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගත්තේත් සුළුතර ආණ්ඩුවක් යටතේ ඇති කර ගත් සාමූහික පොදු එකඟත්වයක් මත ය. අවසාන වශයෙන් ගත් විට, විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම සඳහා පාර්ලිමේන්තුවේ අභිමතයට අමතරව මහජන අනුමැතියකුත් අවශ්‍ය බව කිසිවෙකු ප‍්‍රතික්ෂේප කරන්නේ නැති බවත් කිව යුතුය. ජනමත විචාරණයක් සඳහා එම කාරණය අවසානයේදී ඉදිරිපත් කරන්නේ එබැවිනි. අවසානයේදී ජනමත විචාරණයකට ඉදිරිපත් කරන කාරණයක්, ඊට කලින් මහ මැතිවරණයක තුනෙන් දෙකකුත් ලබා ගත යුතුව ඇතැයි කීම සාහසික කතාවකි.









ඒ නිසා මොහොතේ කළ යුතුව සහ කළ හැකිව ඇති මුඛ්‍ය කාරණය වන්නේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමයි. ඒ සඳහා පොදු එකඟත්වයක් ඇති කර ගැනීමට මේ මොහොතේ අවශ්‍ය කරන්නේ අදාළ කාරණය වෙනුවෙන් පෙනී සිටින කැපවුණු දේශපාලන නායකත්වයකි. මේ වන විට ජනතා විමුක්ති පෙරමුණ, එම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සටන පටන් ගෙන තිබේ. අද පටන් බලයට පත්වන වික‍්‍රමසිංහ ආණ්ඩුව මෙතැන් පටන් ඊට සත්භාවයෙන් උරදිය යුතුය. එහි වැදගත්කම වටහා ගැනීම සඳහා, මුලින්ම, විධායක ජනාධිපති ක‍්‍රමයක් තුළ තමන් ද යම් දවසක රජ විය යුතු බවට කෙනෙකු තුළ ඇති ආශාව මුලින්ම අත්හැර ගත යුතුය. ජනාධිපති සිරිසේන සහ ජනාධිපති ක‍්‍රමය එක විට පරාජයට පත්කිරීම, වෙන කවර දාටත් වඩා අද සාක්ෂාත් කර ගත හැකි දෙයක් බවට පත්ව ඇති බව ඊළඟට වටහා ගත යුතුය. ඉදිරි කෙටි කාලය තුළ, කෙරෙන මගුලක් මිස නොකෙරෙන හාස්කම් ගැන සුරංගනා කතා කීම රටවැසියාව මෙන්ම තමන්වත් විනාශකාරී ලෙස අන්දවා ගැනීමකට වැඩි දෙයක් නොවන බව, ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ යම් හෝ හැඟීමක් ඇති ඕනෑම දේශපාලඥයෙකු දැන්වත් අවබෝධ කර ගත යුතුය.

















සබැඳි පුවත්









රනිල් එද්දි සිරිසේන යයිද ?





සිරිසේන සන්නිය සහ රටක වින්නැහිය


0 comments: