Hot!

ඉතිහාසයේ ආපතික ආක්‍රමණය සහ නව සමාජ ප්‍රජාතන්ත්‍රවාදය






- මහේෂ් හපුගොඩ -





රාජපක්ෂ රෙජීමයේ ආණ්ඩු පෙරළිය සහ යහපාලන බලවේගයේ නැගීම





2015 වසරේ සිදුවූ රාජපක්ෂ රෙජීමයේ ආණ්ඩු පෙරළිය සහ යහපාලන බලවේගයේ නැගීම එක් සිද්ධියක් (බදියුයානු අයුරින්) ලෙස ගතහොත් සහ 2018 නොවැම්බරයේ සිදුවූ 'ඔක්තෝබර් විප්ලවය' යනුවෙන් හැඳින්වෙන විපරීත තත්වය තවත් සිද්ධියක් ලෙස ගතහොත් දෙවන සිද්ධියෙන් පළමු සිද්ධිය සදහටම නිශේධනය වන අකාරය අපට දකින්නට පුළුවන්.





2015 ජනතා බලාපොරොත්තු ලෙස හඳුනාගන්න පුළුවන් ලාංකික දේශපාලන දේහය ප්‍රජාතන්ත්‍රීය කරණය නම් ක්‍රියාව (democratizing the Sri Lankan political body) කෙරෙහි අප සමකාලීන දේශපාලනය කොතරම් භක්තිමත් නොවුනාද යන කාරණාව ඒ ආණ්ඩුව බලයට පත්වෙච්චි දවසේ ඉඳලම දකින්නට තිබුණා. ඒ කියන්නේ අපට ජේ. ආර්. ගේ ලෝකයෙන් ගැලවෙන්න උවමනාවක් තිබුණේම නැහැ වගේ තමා අපි හැසිරුණේ. බැඳුම්කර ප්‍රශ්නයේ ඉඳල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරීම වගේ ව්‍යාපෘති වලින් අර මුල් සිද්ධියේ ප්‍රභාව (සංකේතනය කියමුකෝ) දිගින් දිගටම මැකෙමින් තමයි තිබුණේ. මේ නොවැම්බරේ සිදුවුණේ 2015 ප්‍රවේශය සම්පුර්ණයෙන් අමතක කරලා (එහි ආතතිය සහ අපේක්ෂා භංගත්වය මතින්) නැවත පැරණි අත්තනෝමතික ව්‍යුහය වෙත භක්තිමත් වීම (මේකට නොයෙක් කරුණු ගේන්න පුළුවන් කරපු වැඩේ සාධාරණී කරණය කරලා). රනිල් ල මෛත්‍රී ල වෙන වෙන ව්‍යාපෘති වලට මාරු වෙද්දී සහ අනෙක් අය මේ සමස්ත ක්‍රියාව සැක කරද්දී (යහපාලන ජන රැල්ල යනු මාක්ස්වාදී විප්ලවයක් නොවෙයි කියන තැන ඉඳල) එක් දේශපාලන පක්ෂයක් විතරක් ඉහත 2015 ජනතා බලාපොරොත්තු වෙනුවෙන් හැමදාම කතා කළා වගේම පෙනී සිටියා.





ජවිපෙ තවදුරටත් ජනතා බලාපොරොත්තු වෙනුවෙන් කැපවේ





ඒ තමයි ජනතා විමුක්ති පෙරමුණ. ඔවුන්ගේ ජාතිකවාදී ඉතිහාසය පිළිබද නොවිසඳුනු ගැටළු බොහොමයක් තිබුණත් ඉහත ප්‍රස්තුතයේදී ඔවුන්ගේ මහන්සිය අපි අගය කරන්න ඕනි. කේ. ඩී. ලාල් කාන්ත සහෝදරයා මෑතකදී පෙනී සිටිය දෙරණ වැඩ සටහනකදී පවා අවධාරණය කළේ ඔවුන් තව දුරටත් 2015 ජනතා බලාපොරොත්තු වෙනුවෙන් පෙනී සිටින බවයි. මට අනුව එය විශ්වීය තත්වයක් කියල කියන්නයි මේ හදන්නේ. ඒ කියන්නේ ඔවුන් බලයට පැමිණි දේශපාලන සිද්ධිය ට ඔවුන් තවමත් භක්තිමත්ය කියන බදියු (2015) සඳහන් කරන කරුණ අපේ පැත්තෙන් ඒ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා සිටින මිනිස්සු පැත්තෙන් ගත්තම ඉතාම වැදගත්. බදියු සඳහන් කරන පරිදි බිඳ වැටුණු විප්ලවීය ව්‍යාපෘතිය නැවත පුනර්ජීවනය කර ගත යුතු නම් අප මුලින් කරන්න ඕනි ඉවසීම ප්‍රගුණ කරන එක. ව්‍යවස්ථාවට වෙට්ටු දාල බොරු නොවැම්බර් විප්ලව කරන එක නෙවෙයි. එතැනදී දර්ශනය විශාල කාර්යක් කරනවා ඉවසීමෙන් අපට කරුණු තේරුම් කර ගන්න (දර්ශනය කියන්නේ විශිෂ්ට මාලිමාවක් කියන එක මම හැමදාම අවධාරණය කළේ ඒකයි. අපි ඒක වැරදි විදියට භාවිතා කළොත් එහි වන්දිය අපේ පරම්පරාවට ගෙවල ඉවර කරන්න බැරි වෙයි). බදියු ට අනුව මේ සිදුවී තිබෙන්නේ සැමදාම සිදුවන ආකාරයේ දර්ශනයේ සහ ඉතිහාසයේ ආක්‍රමණයක් (ආර්ථික සිරගත වීමෙන් එලියට එන්න ජර්මනියේ සිදු වුණා වගේ). එතකොට අපි කරන්න ඕනි එකම දෙය තමයි දර්ශනය වෙතට ම පසු බහින එක. එවිට දර්ශනය විසින් ම සිතීම ආරම්භ කරනු ඇත කියන එක තමා බදියු ගේ මතය. එවිට අපට ඇතැම් විට සත්‍ය ය හමුවෙන්න පුළුවන්.






https://www.youtube.com/watch?v=df_MNxLG7kE
දෙරණ 360 වැඩසටහන - 2018 දෙසැම්බර් 10








ලාල් කාන්ත නියෝජනය කරන්නෙත් ඉතිහාසයේ ආක්‍රමණික පක්ෂයක්





කෙසේ වුනත් ඉහත සන්දර්භය යටතේ මෙම ලිපිය ලියන්නේ කේ. ඩී. ලාල් කාන්ත සහෝදරයා කරපු 'හිඟන' වාක්‍යය ගැන වුනාට ඇත්තටම ලියවෙන්නේ එම වාක්‍යය ම ගැන නොවේ කීවොත් එය සත්‍යයක්. ලාල් නියෝජනය කරන්නෙත් ඉතිහාසයේ ආක්‍රමණික පක්ෂයක් (දිල්කා තේරුම් ගන්න විදියට නොවේ). ඒ නිසාම ඔවුන් ඒ ආක්‍රමණය වෙනුවෙන් ගෙවිය යුතු මිළ ගැනත් හොඳින් දන්නවා හාන්සිපුටු විචාරකයින්ට වඩා. කොහොම වුනත් කරුණු දෙකක් නිසා මේ දවස් වල කේ. ඩී. ලාල් කාන්ත වැදගත්. එකක් ඔහු පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කරන සටන්කාමී නුතන අදහස් දැක්වීම. අනෙක තමන්ගේ දුවගේ අධ්‍යාපනය සම්බන්ධව කරන විවේචන වලට දෙන පසු නුතන පිළිතුර. බැලු බැල්මට ඔහුගේ දේශපාලන ජීවිතය සහ පුද්ගලික ජීවිතය අතර පරස්පරාත්මක දයලෙක්තිකයක් ලෙස පෙනෙන මෙම නොගැලපීම අප තේරුම් ගත යුත්තේ කෙසේද කියන ප්‍රශ්නයට පිළිතුරු දීමට තමයි එක අතකට මෙම ලිපිය ලියන්නේ.





විශේෂයෙන් පුද්ගලික දේ දේශපාලනික වන බවට වන ස්ත්‍රීවාදී මතය ජයදේව උයන්ගොඩ විසින් මෑතදී නැවත ඉස්මතු කිරිමත් සමග ඉහත තත්වයට නව අර්ථකතනයක් පවා ලැබීමට ඇති මේ මොහොතේ එය සලකා බැලීම වැදගත් කියල හිතුණා. විශේෂයෙන් දුවක් කියන්නේ ස්ත්‍රියක් කියන තත්වය තුළ (පුද්ගලික දේ දේශපාලන වන තැන) සහ ලාල් කාන්ත සහෝදරයා කියන 'අපි දේපළ තියෙන මිනිස්සු. හිඟන්නෝ නෙවෙයි' (පුද්ගලික දේපළ සහ පවුල කියන එංගල්ස් ගේ මතය අරබයා ඔහුගේ අහමේ උත්තරය) කියන සුළු ධනේශ්වර තත්වය (හෝ මැද පාන්තික ආස්ථානය) වගේම අනුර සහෝදරයා පවා දැන් ඉන්න කිසියම් වූ සමාජ තත්වය යන සියලු සාධක ගත්තම ජ. වි. පෙ. සෑහෙන පමණින් පවත්නා තත්වය තුල වෙනස් ගමනක් යන්න හදන බව පැහැදිලියි. හිඟන්නන් ට මිනිස්සු ආශා නැති නිසා ඇත්තටම මිනිස්සු ආශා කරන දේශපාලඥයෝ බවට පත්වෙන්න ඔවුන් උත්සාහ ගන්නවා. ඒ නිසාම ඔවුන්ගේ චින්තනයත් වෙනස් වී තිබෙනවා. ටයි කෝට් අඳිනවා, කාර් වල යනවා, ඉංග්‍රීසි කතා කරනවා (පෙරටුගාමී එකේ වගේ හපුටු විදියට ඉන්නේ නැහැ), ළමයි විදේශ ගත කරනවා, තමනුත් විදේශ සංචාර යනවා, වෙන දියුණු රටවල මිනිස්සු වැඩ කරන හැටි දකිනවා. ටිකක් දියුණු විශ්ව විද්‍යාල වලට යන ඒ ළමයි උනත් තාත්තල ට කියනවා ඇති ලෝකය යන අලුත් පිළිවෙල. ඒ නිසාම ඉස්සරට වඩා හොඳින් ඔවුන් දිල්කා වගේ බොරු පොෂ් ප්‍රශ්න අහන අයට කවුන්ටර් ඇටෑක් එකක් දෙනවා. සියල්ල අස්සේ බුර්ෂුවා පවුල ඉදිරියට යනවා. බුර්ෂුවා දේශපාලනයත් ඉදිරියට යනවා. සියල්ල පසු නුතන වෙද්දී විය යුතු පරිදිම රොහාන් පෙරේරා ගේ ප්‍රාරම්භක මතවාදය කෙමෙන් කෙමෙන් කාටත් අමතක වෙනවා කියල කියන්නත් කෙනෙකුට පුළුවන්. නමුත් මට පෙනෙන හැටියට නව පශ්චාත් නුතන ජ. වි. පෙ. බුර්ෂුවා දේශපාලනයට වෛර කරනවා වෙනුවට එහි හොඳ ලක්ෂණ උකහා ගන්න හදනවා තමන්ගේ දේශපාලන ජීවිතයට (සමහර විට රනිල් ට වඩා රනිල් වීම කියන ප්‍රවාදය අනුව යාම කියන්න පුළුවන් - කියවන්න රනිල් රැකගත යුතුද? සහ රනිල්ටත් වඩා රනිල් විය හැකිද? ලිපි දෙක). ඒක නිසයි අනුර කියන්නේ 'රනිල් ප්‍රජාතන්ත්‍රවාදයේ හොර මුරකරුවා' කියල (සත්‍ය මුරකරුවා තමන් විය හැකි බැවින්). මේ නව තත්වය නිසා අනිවාර්ය වශයෙන් සම්ප්‍රදායික මාක්ස්වාදයෙන් ඔවුන්ට වියෝ වීමට සිදු වනවා විතරක් නොවෙයි (විමුක්ති දේශපාලනයෙන් ප්‍රජාත්‍රන්ත්‍ර වාදයේ මුරකරුවන් බවට පොළා පැනීම) බර්නි සැන්ඩර්ස් පන්නයේ නව සමාජ ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් වෙතත් ඔවුන් පියමන් කරනවා (ලිබරල් ආකෘතිය ඇතුලෙ ම විකසිත වෙමින්).





ඉතින් මේක ගොඩක් ම අලුත් තත්වයක් හෝ නරක තත්වයක් නොවුනත් අපේ පැත්තෙන් සලකා බැලිය යුතු දෙයක් (මොකද ජිජැක් පැහැදිලිව කියනවා සැන්ඩර්ස් සහ ට්‍රම්ප් හිතවාදීන් දෙපිරිස එකතු වීම යනු ම නව පන්ති අරගලයක ඇරඹුමක් විදියට - කියවන්න The Independent හි පළවූ Alt-right Trump supporters and left-wing Bernie Sanders fans should join together to defeat capitalism). මෛත්‍රී, රනිල් සහ මහින්ද යන ධනේශ්වර බලවේග තුනම නිර්-නෛතික වී ඇති මේ මොහොතේ ජ. වි. පෙ. ප්‍රමුඛ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයක් ඉස්මතු වන්නේ නම් එයට නව ගෝලීය නෛතික භාවයක් ඉබේම ඇතිවෙමින් යනවා. නමුත් එය පරණ විප්ලව ආකෘතියත් නොවිය හැකි බව නම් ඇත්තයි. මේ නව තත්වය සිහියේ තබාගෙන සහ ලංකාවේ භුමිය කියන්නේ ඇමෙරිකාව නොවන බවත් සිහියේ තබාගෙන මුලින් බලමු ලාල් සහෝදරයා විසින් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කරන අදහස් දැක්වීම.





ගොඩක් වෙලාවට දෙරණ වගේ පට්ට පසු නුතන නාලිකා හදන්නේ කේ. ඩී. සහෝදරයව අන්නන්න නිකම් බොරු විමුක්ති ප්‍රශ්න දාලා





එක එක විදියට මුලික නීතියට වෙට්ටු දමපු වාහෙලා ට සහ පිස්සන්ට නියම පිළිතුරු දෙනවා ඔහු දෙරණේ දිල්කා සමන්මලී අහන ප්‍රශ්න අරභයා. ගොඩක් වෙලාවට දෙරණ වගේ පට්ට පසු නුතන නාලිකා හදන්නේ කේ. ඩී. සහෝදරයව අන්නන්න නිකම් බොරු විමුක්ති ප්‍රශ්න දාල (pseudo revolutionary issues).





නමුත් ඒ සහෝදරයා නියමෙට ප්‍රතිචාර දක්වනවා දිල්කගේ වහල් මනස හිරි වැටෙන්න (එහෙම කියන්නේ කිසිදු ස්ත්‍රී විරෝධයක් නිසා නොවේ. මේ අය ස්ත්‍රීන් නොවන නිසා. යහපත ගැන විශ්වීය අදහසක් නැති වහල්ලු නිසා). හරිම තාර්කික විදියට ඔහු උත්තර දෙනවා. ලාල් සහෝදරයා දෙරණේ පසු නුතනත්වයට මුහුණ දෙන හැටි දැක්කම ඇත්තටම ඔහු ගැන ආඩම්බරයි. දේශපාලනය කියන්නේ මිනිස්සු දිනා ගන්න එකට. ඔහු එය නියමෙට කරමින් ඉන්නවා. අනිත් නියම වැඩේ තමයි දිල්ක අහනවා විප්ලවය ප්‍රජාතන්ත්‍රවාදයට එකඟද කියල. හරියට මේ අය විප්ලවයක් කළා වගේ. ලෙනින් ල කරපු වැඩේ සහ දිල්ක කරන වැඩේ හරියට එකක් වගේ තමයි සමාන්තර ගත කරන්නේ. රජ්ජුරුවන්ට කඩේ යන ගමන් නිකම් ගහල දානවා විප්ලවය වගේ යෙදුම් වලින් අමාරු දේශපාලනයක් කරන මිනිස්සු වෙතට. නමුත් මාර ඉවසීමෙන් ලාල් කාන්ත සහෝදරයා ඒවාට උත්තර දෙනවා. ඒක හොඳ සම්ප්‍රදායක්. විනය කියන එක ඔහු පෙන්නනවා පිරිමි දේශපාලන සංකේතනය ඇතුලේ ඉන්න ගමන් ම. ගොඩක් දේවල් අපට ඉගෙන ගන්න ඔහු ඉතුරු කරනවා. රනිල් ල පවා ඔහුගෙන් ඉගෙන ගන්න ඕනි පාර්ලිමේන්තු සම්ප්‍රදාය ඇතුලේ ඉන්නේ කොහොමද, වැඩ කරන්නේ කොහොමද කියන එක ගැන. සදාචාරය සහ දේශපාලන කියන්නේ දෙකක් නොවේ. සදාචාරය ම තමයි දේශපාලනය. එම විශ්වීය යහපත ඔවුන් නියෝජනය කරන නිසා තමයි මේක ලියන්නේ (මගේ දේශපාලනය වෙනස් වුනත්). මිනිස් නිදහස යන සමස්ත සන්දර්භය තුල සමස්ත අරගලය ඇතුලේ මම ජ. වි. පෙ. සහ අනෙක් ප්‍රජාතන්ත්‍රවාදී බලවේග මේ වෙලාවේ ඉන්න තැන හිට ගන්නවා. ලාල් සහෝදරයට වගේ අයට හුඟක් වාසි දායක දේවල් කරන්න පුළුවන් උනාට ආත්මය පාවල දීලා ඔවුන් එහෙම කලේ නැහැ. ඒක තමයි සදාචාරය. ඒක තමයි විශ්වීය බව. අමරණීය වෙන්නේ එහෙම අය. මම හිතන්නේ 'ශිෂ්ට' කියන්න පුළුවන් ඒ වගේ සහෝදරවරුන්ට. ඒත් කෝ ඔය මනෝ විශේෂණය උඩ දාන මහා පොරවල් තමන්ගේ වදන් කේන්ද්‍රීය බව (ශිෂ්ට බව) ඔස්සේ මේ ශිෂ්ටත්වය අත්පත් කර ගන්නවා? කෝ ඔය කියන මාලිමාව? හැබයි හොඳට හිතට ගන්න ඕනි දෙයක් තමයි මේ සමස්ත වැඩේ ඇතුලේ බැසිල් වැඩිය සද්ද කලේ නැත්තේ ඇයි කියන එක (කතා කරන වචන අඩුයි). ළමයි ඇමෙරිකාවේ ඉන්න, ලංකාව ගැන හොඳ රීඩින් එකක් තියෙන ඔහු දැනගෙන හිටියා වැඩේ අවුල් වෙනවා කියල (නලින් ට ඔහු පාවා දෙන්නෙක් හැටියට පෙනුනට ඔහු කළේ නලින් ල කරනවා වගේ සිංහල බෞද්ධ තකතීරු කමක් නෙවේ). මුලින් කරන්න කලින් හිතන්න ඕනි තමන් කරන වැඩේ මේ භුමියේ පැල වෙයිද කියන එක. අවසාන වසර හාර සීය ඇතුලේ මේ භුමිය සකස් කලේ සුද්දා. උගේ 'නුතන අවතාරය' මේ භුමියේ තියෙනවා. ඒ කියන්නේ අපේ පුර්ව නුතන ආසියාතික ලෝකය නැවත යම් විදියකින් ප්‍රාදුර්භුත වුනොත් නුතන විශ්වීය වටිනාකම් වලින් එය කප්පාදු වෙනවා කියල අපි දැනගන්න ඕනි (ඒකනේ අපිට නිතර කියවෙන්නේ 'අනේ සුද්දවත් ආවනම් හොඳයි' කියල. මේ ගැන ඕනිනම් ඇතිවෙන්න සංවාද කරමු). ඒ කියන්නේ රජ්ජුරුවෝ පරදිනවා රෝම ලන්දේසි නීතිය ඉදිරියේ (ඒ නිසා මෛත්‍රී පිස්සු කෙළිනකොට රනිල් දිගටම උසාවිය විශ්වාස කලා. මහින්ද සරම කඩා ගන්න කල් බැසිල් සද්ද නැතුව හිටියා). සරලයි.





මහා බුද්ධිමතෙක් නොවුණට ලාල් සහෝදරයා වගේ අය තමන් දන්න සීමාව ඇතුලේ විශ්වීය ලෙස වැඩ කරනවා





මම පුරෝකථනය කරපු දේ ම ලාල් සහෝදරයත් අනුමාන කරනවා. ඒ තමයි විනාශ වූ සංකේතනය ඇතුලේ හමුදා ආණ්ඩුවක් එන්න පුළුවන් කියන එක. එක අතකට ඒක තමයි වෙන්න ඕනි කියල හිතෙනවා මේ වෙලාවේ (මධ්‍යස්ථ විදියට වෙනවා නම්). තියෙන හිරවීමෙන් එලියට එන්න වෙන විදියක් නැහැ වගේ. මොකද මෛත්‍රිපාල විසින් අපිව ඉවරෙටම ඉවර කළා. මොන මාලිමාවක් වත් ආයේ ඔහු ඉතුරු කළේ නැහැ අපිට ගමන් කරන්න මඟ පෙන්වන්න. මහා බුද්ධිමතෙක් නොවුනට ලාල් සහෝදරයා වගේ අය තමන් දන්න සීමාව ඇතුලේ විශ්වීය ලෙස වැඩ කරනවා. එයාගේ දුව යන්නේ පුද්ගලික විශ්ව විද්‍යාලයකට වෙන්න පුළුවන්. ලෝකේ මේ වෙනකොට වැඩියෙන් ම තියෙන්නේ පුද්ගලීක විශ්ව විද්‍යාල (හුගක් ඒවා ගොඩක් ජනප්‍රියයි ලංකාවේ සුළු ධනේශ්වර කියල කලාපය ඇතුලේ). අනික එතන තියෙන්නේ සාංදෘෂ්ටික ප්‍රශ්නයක්. ඒ කියන්නේ ඔහුගේ දුව ට බැහැ ලාල් කාන්ත වගේ වෙන්න. ඒ වගේ දේශපාලනික වෙන්න (එහෙම වෙන්න ඕනිත් නැහැ). දුවගේ ජීවිතය ගොඩක් වෙනස් ඇති මේ නව ජිවන ලෝකය (life-world) ඇතුලේ. ලාල් ජිවත් වුනේ රෝහණ සහෝදරයාගේ සංකේත ලෝකයේ වුණාට එයාගේ දුව බටහිරට ගියොත් ඇයගේ ජීවන ලෝකයේ වීරයා වෙනු ඇත්තේ එන්රිකේ වෙන්න පුළුවන්. හුඩ් එක තියෙන කළු ජැකට් එක දාල හෙඩ් ෆෝන් කණේ ගහගෙන බිම බලාගෙන යන අලුත් පරම්පරාවක් තමා එහෙ ඉන්නේ මෙහෙ මේ පට්ට ගොඩයෝ හිටියට. එයාලට වැඩක් නැහැ මේ අපි හැමදාම කතා කරන දේශපාලන බම්බු කතා. කණේ ඇබ ගහගෙන එදිනෙදා ලෝකයෙන් ඛණ්ඩනය වෙලා තත්‍ය සමාන ලෝකයක ඉන්න උන්ට වෙන 'වැඩ' තියෙනවා කරන්න. උන්ට සිංදුවක් ඇහුවත් ඇති මේ පිස්සු දේශපාලන කතා අහනවා වෙනුවට. (අලුත් පරම්පරාව කියන පරණ Chicago ලා ගේ You are my inspiration කියන ගීතය අහන්න). උන්ගේ හීන වෙනස්.





ඒකයි මම කියන්නේ ඔය රාජපක්‍ෂ සහ මෛත්‍රිපාල කරන කියන දේවල් වලට වඩා හුඟක් වෙනස් විදියට බලන කොටසක් අද ඉන්නේ. රනිල්, මෛත්‍රී, ලාල්, අනුර, අපි හැමෝම දැන් එක අතකට පරණයි. නව ප්‍රවේශයක් ඕනි ලාල් ගේ දුව නියෝජනය කරන පෝස්ට් මොඩන් පරම්පරාවට කතා කරන්න. ඒක වෙන්න ඇති හර්ෂ ද සිල්වා, හරින් ප්‍රනාන්දු වගේ අය ඉස්මතු කරන්න එ. ජා. පෙ. හදන්නේ (සාර්ථක අසාර්ථක බව තව මනින්න බැහැ).





ෆෝන් එකෙන් ඇස් දෙක ගන්නේ නැති මෙම පරම්පරාව ට නිශ්චිත භූමියක් නැහැ අපි මෙහෙ පණ දාගෙන භූ දේශපාලනය කළාට. සයිබර්-ඩිජිටල් භූමිය තමා ඔවුන්ගේ දේශපාලන අඩවිය. නිර්නාමික අවධියක් ලෙස හැඳින්වෙන මෙම නව යුගය එක් අතකට හෛඩගර් හදුන්වන්නේ ආත්ම මුලිකත්වය සහ වාස්තවික බව ඉක්මවූ අවධියක් හැටියට. ඒ කියන්නේ අපිට තිබුන බාහිර ලෝකය සහ මම අතර ගැටුම ඔවුන්ට නැහැ (මේ තත්වය හරියටම සුත්‍ර ගත කරන්නේ විසි වන සියවසේ අද්විතීය චින්තකයෙක් වුන හෛඩගර්). ඔවුන් ඔවුන්ගේ සයිබර් ලෝකය එක්ක පුර්ණ වශයෙන් අනන්‍ය යි (දුරක් නැහැ). ඒ නිසා රෝහණ විජේවීර සහෝදරයා වෙනස් කරන්න ගිය බාහිර ලෝකය තවදුරටත් ලාල් ගේ දියණියට (හෝ වෙන ඕනෑම දියණියකට) ප්‍රපංචයීය නැහැ කියන එක අප පිළිගත යුතු සත්‍යයක්. ෆෝන් එක දිහා බලාගෙන හිටියට ඔවුන්ට හරි වැරැද්ද තේරෙන්නේ නැතුවත් නෙවෙයි (අපි පිස්සු කෙළිනකොට ඔවුන් ෆේස් බුක් විප්ලව කරනවා). ඉතින් ලාල් කාන්ත සහෝදරයා ගේ දියණිය ඇයගේ තාත්තා ගැන පොතක් ලිව්වොත් එය කෙසේ වනු ඇත්ද ?





කණේ ෆෝන් ඇබ දෙක ගහගෙන අඟල් හතරක ඩිජිටල් තිරයක් එක්ක ගණුදෙනු කරන පරම්පරාවක් එක අරමුණකට එකතු කරන්න බැරි වුනත් ඔවුන් වෙතට අපේ පණිවුඩය ගෙනියන්න ඕනි









කණේ ෆෝන් ඇබ දෙක ගහගෙන අඟල් හතරක ඩිජිටල් තිරයක් එක්ක ගණුදෙනු කරන පරම්පරාවක් එක අරමුණකට එකතු කරන්න බැරි වුනත් (පරණ අර්ථයෙන්) ඔවුන් වෙතට අපේ පණිවුඩය ගෙනියන්න ඕනි. එතැනදී වැදගත් දෙය තමා මෙම ඩිජිටල් පරම්පරාව අපි මෑතක දැක්ක 'ඔක්තෝබර් විප්ලවය' කියන විපරීත තත්වය එක්ක හිටගත්තේ නැති එක. ඔවුන් රනිල් ගැන එතරම් හිතුවෙත් නැහැ, මහින්ද රජෙක් කියල ගත්තෙත් නැහැ, මෛත්‍රී කරන්නේ විප්ලවයක් කියල පිළිගත්තෙත් නැහැ. ඊජිප්තු අරගලයෙදී තරුණ තරුණියන් එකතු වුණේ ඒකාධිපති වැඩ පිළිවෙලක් පරද්දන්න (පසුව සිදුවූ දෙය ගැන නොවේ මම කියන්නේ). ඒ වගේම රැල්ලක් මේ වතාවෙත් ලංකාවේ ඉස්මතු වුණා (යහපාලන වැඩේට එකතු වුණා වගේ) අවම වශයෙන් සමාජ ජාලා අතරේ. ඒ නිසා මම අනුමාන කරන දෙය තමා උසස් ප්‍රජාතන්ත්‍රවාදී බල වේගයකට හැර නැවත රටේ බලය ගන්න බැරි තත්වයක් (නිර්නාමික ගාමක බලයක්) රටේ තවම තියෙනවා කියන එක (මෛත්‍රී ගේ වැඩේ නිසා වුණේ ඒක නැවත ඔප්පු වෙච්ච එක). මේ බලවේගයේ විශාල ප්‍රමාණයක් තරුණ තරුණියන් (ඒ කියන්නේ සමනලී ෆොන්සේකා පරම්පරාව).





තරමක් නාගරික උගත් වගේම විවේචනාත්මක කොටසක් ලෙස ගන්න පුළුවන් මේ තරුණ බලවේගය විසින් සෑහෙන පමණ පීඩනයක් දෙනවා අධිපති ව්‍යුහය වෙතට. ඔවුන් කරන කියන දේ විසින් මොඩ් වෙන්න හදන ග්‍රාමීය කොටස් වලින් නගරයට එන සංක්‍රමණික කොටසේ චින්තනය සකස් වෙනවා. දිදුළන හදවත, නව පරපුර, අලුත් පරපුර වගේ නම් වලින් කලඑළි බැහැපු මේ පරම්පරාව විසින් පරණ අය පිස්සු නටන බව ඔවුන්ට බාල පරම්පරාවට සම්ප්‍රේෂණය කළා (ඇත්තටම වුණේ පරණ අය පිස්සු නටපු එක තමයි). මම හිතන්නේ ඒ වැඩේ සෑහෙන්න සාර්ථක වුණා ඊජිප්තු අරගලයට වඩා (සටනේ ප්‍රථිපලය රනිල් ගේ ආගමනය වුනත්). ඇත්තටම දිනුවේ රනිල් නෙවෙයි අර පරම්පරාවේ සටන (ඒක රනිල් නිහතමානීව පිළිඅරන් තියෙනවා. මම හිතන්නේ රනිල් පවා ගැඹුරු ලෙස සෙලවීමකට ලක් වුවා මෙම සිදුවීම මතින්). ඒ කියන්නේ නැවත වරක් දිනුවේ මිනිස් නිදහස ඉල්ලන ප්‍රජාතන්ත්‍රවාදී බලවේගය (රජ පවුලේ රැස් වළල්ලට එරෙහි බලවේගය). වැඩවසම් ව්‍යුහයට එරෙහි බලවේගය (ඇත්තටම මෛත්‍රී මේ බලවේගය පාවලා දුන්නේ කොහොමද කියන එක අපි දන්නා මනෝ විශ්ලේෂණය ඇතුලේ පැහැදිළි කර ගන්න බැහැ ඇත්තටම ඔහුට මානසික අබාධයක් නැත්නම්).





අයිවන් මහතා ඒකයි කියන්නේ පරණ පරම්පරාව ඉවරයි කියල. ඒකෙන් අදහස් කරන්නේ පරණ පරම්පරාව මේ නව ධනවාදයේ ආතතිය තුළ මානසික ලෙඩ්ඩු කියන එක. ඒ නිසා කොහොමත් අපේ පරම්පරාවේ ඊළඟ ඡන්ද අපේක්ෂකයින් ජෝන් හොප්කින්ස්, මැසචුසෙට් හෝ බල්ටිමෝර් වගේ සායනයකට යවල සායනික වාර්තාවක් ගන්නම වෙනවා හැර වෙන කරන්න දෙයක් නැහැ). ඒ සඳහා කරන ආයෝජනය රට පැත්තෙන් ඉතාම වැදගත්. මගේ පරම්පරාව මෙවන් මානසික සෞඛ්‍ය සායනයකට යන්න ලජ්ජා නම් ඒ සඳහා ස්වේච්චා වෙන් මම ඉදිරිපත් වෙනවා පළමු වැන්නා හැටියට. ටෙස්ට් එක ෆේල් වුනොත් මෙහෙම හරි කරන ලිවීමත් නතර කරලා දමනවා. ස්ථිරයි.





19 වන සංශෝධනය හරහා මේ වනවිට අපි යම් සමාජ වෙනසක් කරලා තිබුණේ. මෛත්‍රීට තිබ්බේ ඒක අවසානය දක්වා ගෙනයන්න විතරයි. ඒක කරනවා වෙනුවට ඔහු කළේ වෙන දේවල්. අන්තිමට විධායක ජනාධිපති ධුරය සම්පුර්ණයෙන් වෙනස් කරමු කියලා යෝජනාවක් වත් ගෙනාවේ ජේ. වී. පී. එක විතරයි





කොහොම වුනත් අපිට බැරිවුණා 'විප්ලවීය ක්‍රියාව කියන්නේ කොන්දේසි විරහිතව සියලු නෛතික සීමා නොතකමින් විමුක්ති අවසානයක් දක්වා යන එක' කියන ජිජැකියානු වැකිය (කියවන්න ඇලන් ජොන්සන් ගේ Slavoj Žižek’s Theory of Revolution: A Critique) හරියට අර්ථකතනය කර ගන්න අපේ සන්දර්භය ඇතුළේ. 19 වන සංශෝධනය හරහා මේ වනවිට අපි යම් සමාජ වෙනසක් කරලා තිබුණේ. මෛත්‍රීට තිබ්බේ ඒක අවසානය දක්වා ගෙනයන්න විතරයි. ඒක කරනවා වෙනුවට ඔහු කළේ වෙන දේවල්. අන්තිමට විධායක ජනාධිපති ධුරය සම්පුර්ණ යෙන් වෙනස් කරමු කියලා යෝජනාවක් වත් ගෙනාවේ ජේ. වී. පී. එක විතරයි. ශ්‍රේෂ්ට ඔක්තෝබර් විප්ලවයේ සිදු වුණා පරිදි පවත්නා නීතිය උල්ලංඝනය කරන්න ගිහිල්ලා පවත්නා යථාර්තය ත්‍රස්තකරණය කරන්න තමයි මෙම දේශපාලන කුමන්ත්‍රණයේ මොළ කාරයින් තැත් කළේ. එවිට ඇතිවන නව තත්ත්වය විසින් සිදුකරන ලද උල්ලංඝනය සාධාරණීකරණය කරනු ඇත කියන එක තමා ඔවුන්ගේ සුත්‍රය වුණේ. නමුත් සිදුවුණේ වෙනත් දෙයක්. ඒ කියන්නේ සිදුවුනේ පැවති නීතිය දිනපු එක. මේ අනුව අපේ පරම්පරාව ඉතිහාස ගත වෙන්න නියමිත පසු ධනවාදය ඉදිරියේ සම්පුර්ණයෙන් අවුල් වෙච්ච පිස්සන් පිරිසක් හැටියට නම් අපේ දෛවය ඉතාම සරදම්කාරීයි. නමුත් යම් ආකාරයකට ලාල් අනුර වගේ අය කිහිප දෙනෙක් නිසා ඉදිරි පරම්පරාවට අපි කියන්න පුළුවන් 'අපිට මාක්ස් වාදයේ විමුක්ති අරගලය සාක්ෂාත් කරලා දෙන්න බැරිවුණා තමයි. එත් අපි පිස්සන් පිරිසකට එරෙහිව වත් අඩුගානේ සටන් කළා' කියන එක.





ඉතින් පශ්චාත් නුතන මේ නව පරම්පරාව ඉදිරියේ අප මීට වඩා වගකීමෙන් හැසිරෙන්න ඕනි. ඔවුන්ගේ ෆැෂන් විතරක් නොවෙයි චින්තනය පවා වේගයෙන් වෙනස් වෙනවා. වේගයෙන් වෙනස් වෙන තාක්ෂණික ලෝකය එක්ක අපේ චින්තනය වෙනස් වෙන්නේ බොහොම හෙමින්. චින්තනය කෙසේ වෙතත් චර්යාව (behavior) හැටියට ගත්තොත් ජ. වි. පෙ. මේ නව පරම්පරාවේ සිතුම් පැතුම් එක්ක හිටිය මේ මොහොතේ. ඔවුන් හැම බලවේගයක් එක්කම වැඩ කළා පොදු සතුරාට එරෙහිව (නමුත් පෙරටුගාමී එක නිකම් එහාට මෙහාට ගේම් එක ගැහුවා ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදය අපට වැඩක් නැහැ වගේ තියරි එකක ඉඳගෙන). එහෙම වැඩ කරන කොට තමයි ලාල් කාන්ත සහෝදරයට මඩක් එන්නේ. ඒ පශ්චාත් නුතන මඩට තමයි ඔහු ඉහත පරිදි පශ්චාත් නුතන විදියට උත්තර බඳින්නේ (සම්භාව්‍ය මාක්ස්වාදී විදියට නොවේ). එකම දේ තමයි ඔවුන් මුල් 2015 සිද්ධියට භක්තිමත්. ඒ මත ඉඳගෙන තමයි සියල්ල කතා කරන්නේ. ඒ වගේම ලාල් සහෝදරයා පෙනී සිටිනවා ජනතා පරමාධිපත්‍ය යේ තියෙන සංවරණය සහ තුලනය වෙනුවෙන්. ඒ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ඔස්සේ තෘප්තිය බලා පොරොත්තු වීම හැටියට තමයි ඉහත ඇලන් ජොන්සන් එය අර්ථකතනය කරන්නේ. තවත් තෘප්ත ආකෘතියක් දේශපාලන ය ඇතුලේ ජොන්සන් හඳුනා ගන්නවා. ඒ තමයි සමස්තතා ආකෘතිය. ඉතින් මේ දෙකෙන් කුමක් තෝරා ගන්නවාද කියන එක ඇතුලේ තමයි වමේ අරගලයේ අනාගතය තීරණය වන්නේ. ශ්‍රේෂ්ට ගත් කතුවර ඇල්බයා කමු උපුටා දක්වමින් තම ශාස්ත්‍රීය ලිපිය අවසන් කරන ජොන්සන් පවසන්නේ 'විප්ලවීය ව්‍යාපාරය විසින් විසි වන සියවසේ කරන ලද ලොකුම අතපසු කිරීම වනාහී මිනිස් නිදහස පිළිබද වටිනාකම් අව තක්සේරු කිරීම' බවයි. මෛත්‍රිපාල විසින් අමතක කර දැමුවේද මෙම උත්කෘෂ්ට මිනිස් වටිනාකමයි. කුමන ප්‍රශ්න ඔහු ඉදිරියේ තිබුණා උනත් මිනිස් නිදහස වෙනුවෙන් ඔහුට ඡන්දය දුන් ලක්ෂ සංඛ්‍යාත මිනිසුන්ගේ උතුම් අභිලාෂය නැවත මහින්ද රාජපක්ෂ නම් මිනිස් නිදහස නොව කිසිදු විශ්වීය වටිනාකමක් ගරු නොකරන මිනිසෙක්ගේ දේශපාලනය ඉදිරියේ පාවා දීම සුළු පටු වරදක් නොවෙයි. මොකද අප ඔහුට ඡන්දය දුන්නේ පාරවල් කාපට් කිරීමට නෙවෙයි. ඊට වඩා උතුම් දෙයකට. ඉතිහාසයේ අපට නොතිබිච්ච දෙයක් අත්පත් කර දෙන්න කියන හැඟීමෙන්.





නව මාක්ස්වාදයක් අවශ්‍ය වී තිබෙනවා නව ලෝක තත්වය හමුවේ අප කැමති වුවත් අකමැති වුවත්. ඒක නව ප්‍රජාතාන්ත්‍රික අවකාශයක්. සමානතා අවකාශයක්





ඉතින් ඉහත දේශපාලන තෘප්ත ආකෘති දෙක තුළින් මෛත්‍රීපාල විසින් තෝරා ගෙන ඇති තෘප්ත ආකෘතිය මොකක්ද ? ගාමිණී වියන්ගොඩ වගේ කෙනෙක් නම් යෝජනා කරන්නේ මේ රෝග ලක්ෂණය පර පීඩා තෘප්තිය වගේ එකක් විය හැකියි කියල. ජොන්සන් ගේ මතය තමයි බදියු කොතරම් සිද්ධියට (විප්ලවයට) භක්තිමත් වෙන්න කියල කිව්වත් එම විප්ලවය ප්‍රජාතන්ත්‍රවාදී නිදහස අහිමි කරන ලද විප්ලවයක් (සිද්ධියක්) නම් එයට භක්තිමත් වී වැඩක් නැති බවයි. ඒ අරුතින් ඔහු බදියු සහ ජිජැක් යන දෙදෙනා ගේම විමුක්ති අරගල මොඩලයන් (ප්‍රචණ්ඩ බව) ප්‍රතික්ෂේප කරනවා. මේ කරුණ නිසා පමණක් ගත්තත් තරුණ පරම්පරාව (විශේෂයෙන් ඩිජිටල් නිදහස අත්විඳින පරම්පරාව) මේ පරපීඩා සමස්තතා ආකෘතියට කැමති වෙන්නේ නැහැ.





ඒ නිසා තමයි සැන්ඩර්ස් වගේ අය ඉහළ නිදහසක් ගැන කතා කරන්නේ. විශේෂයෙන් ඔහුට ස්ත්‍රීවාදී සංක්‍රාන්ති ලිංගික කව වලින් ගොඩක් ආරාධනා ලැබෙනවා ඔවුන්ගේ උත්සව වල කතා කරන්න. ඒ වගේම සැන්ඩර්ස් පිළිගන්නවා එම නව අනන්‍යතාවයන් ගේ සාංද්‍රෘෂ්ටික පැවැත්ම. ඒ කියන්නේ නව මාක්ස්වාදයක් අවශ්‍ය වී තිබෙනවා නව ලෝක තත්ත්වය හමුවේ අප කැමති වුවත් අකමැති වුවත්. ඒක නව ප්‍රජාතාන්ත්‍රික අවකාශයක්. සමානතා අවකාශයක්. ඉතින් මේ ගෝලීය තත්වය මඟ හැරලා වැඩ කිරීමේ හැකියාවක් අපට නැහැ මේ වෙනකොට. මොකද පන්ති දේශපාලනය තුළ මනස සකස් කළ අතීත දේශපාලන ස්ථර වෙනුවට වඩාත්ම දේශපාලනික පිරිස් මේ වෙනකොට සිටින්නේ ඉහත අධිපති ව්‍යුහයන්ට විරුද්ධ අනන්‍යතා කණ්ඩායම් ඇතුළේ. වෘත්තීය සමිති කියන්නේ ප්‍රධාන පක්ෂ වල අතකොළු වෙනකොට අධිපති ව්‍යුහයට විරුද්ධව සටන් කරන්න පාරට බහින්නේ ඉහත ආන්තික සමාජ කණ්ඩායම්. එක වෘත්තීය සමිතියක් (වගේම ශිෂ්‍ය දේශපාලනය) ඉහත ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද සටනට එලියට බැස්සේ නැහැ. ඒ කියන්නේ ඔවුන් විශ්වීය සටන් වලින් එළියට ගිහිල්ලා ඉවරයි (සටන් කරනවා නම් කරන්නේ තමන්ගේ වැටුප්, පොහොර, පුද්ගලික විශ්ව විද්‍යාල හෝ ශිෂ්‍යාධාර වගේ බඩ ගෝස්තර දෙයකට පමණයි. නිදහස් අධ්‍යාපනය වගේ බාහිර ආටෝපයක් දවටා ගත්තත් අවසානයේ සටන තමාගේ ම ආත්මාර්ථය, ස්වාර්ථය පිණිසයි. මේ දෙගොල්ලන්ට ම අමතරව තවත් කොටසක් ඉන්නවා ළඟ ෆෝම් වෙන. ඒ අය තමා අර කෝච්චි නැතිවුනාම ලෝකේ පෙරළන්න හදන අය). නමුත් සමහර ස්ත්‍රී වාදී කොටස්, සමාන ලිංගිකත්ව අයිතීන් වෙනුවෙන් පෙනී සිටින කොටස්, සංක්‍රාන්ති ලිංගිකයින්, විකල්ප කලා කරුවන්, විචාරකයින් වගේ කොටස් මෙවර ඉස්මතු වෙමින් ආව සමස්තතා ඒකාධිකාරී ආක්‍රමණයට විරුද්ධ වුණා.











'සමනල' කොටස් තමයි වඩාත්ම දේශපාලනික විදියට මෛත්‍රීපාල සහ රාජපක්ෂ නියෝජනය කළ නව කොන්සර්වටිව් වාදය ට එරෙහි වුණේ. ඔවුන්ගෙන් බොහොමයක් පීඩිත පන්ති කොටස්





ඒ කියන්නේ 'සමනල' කොටස් තමයි වඩාත්ම දේශපාලනික විදියට මෛත්‍රීපාල සහ රාජපක්ෂ නියෝජනය කළ නව කොන්සර්වටිව් වාදය ට එරෙහි වුණේ. ඔවුන්ගෙන් බොහොමයක් පීඩිත පන්ති කොටස්. නමුත් යම් පමණකින් රනිල් ඇතුළු මධ්‍යම පන්ති කොටස් විසින් නියෝජනය කල පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද හැඟවුම සමඟ සහ ජ. වි. පෙ. විසින් නියෝජනය කරන ලද දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදය පිලිබඳ හැඟවුම සමඟ මෙම කොටස් සමගාමී වුණා. ඒක යහපත් දෙයක් සමාජ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබද ඉදිරි සටනේදී. 1941 ඉපදිච්ච බර්නි සැන්ඩර්ස් අද පරම්පරාවේ සමාජ, දේශපාලන, සංස්කෘතික සහ ලිංගිකකත්වය පිළිබද ප්‍රශ්න වලට පෙනී සිටින හැටි දැක්කම පුදුම හිතෙනවා 1951 ඉපදිච්ච මෛත්‍රීපාල කුහක විදියට සමනල්ලුන්ට නිග්‍රහ කරන කොට. සමනල්ලුන්ගේ ප්‍රශ්න කොතරම් තිබුණත් මෛත්‍රීපාල බලයට ගෙනාවේ ඒ පරම්පරාව. ඒ නව පරම්පරාව කියන්නේ රනිල් නෙවෙයි කියන එක මෛත්‍රීපාල තේරුම් ගන්න ඕනි. ඒකයි රනිල් කට ඇරලා කිව්වේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් දිනුවේ එක්සත් ජාතික පක්ෂය නෙවෙයි කියල. දිනුවේ සමාජ සංස්කෘතික නිදහස පිළිබද නව විශ්වීය හැඟවුමක්. ඒකට අයිතිවාසිකම් කියන්න තරම් කවදාවත් රාජපක්ෂට රූපාන්තරණය වෙන්න බැහැ. ඒ නිසා පට්ට නිවැරදි විදියට රනිල් නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් හදනවා කීවා (දිනුවේ එක්සත් ජාතික පක්ෂය නොවන නිසා).





කොතරම් ආර්ථික ප්‍රශ්න තිබුනත් අපේ පරම්පරාවේ කිහිප දෙනෙකුත් මේ සංස්කෘතික - දේශපාලන - ප්‍රජාතන්ත්‍රවාදී අරගලය ඇතුළේ ඉන්නවා





මම දකින විදියට කොතරම් ආර්ථික ප්‍රශ්න තිබුනත් අපේ පරම්පරාවේ කිහිප දෙනෙකුත් මේ සංස්කෘතික - දේශපාලන - ප්‍රජාතන්ත්‍රවාදී අරගලය ඇතුළේ ඉන්නවා. එයින් මම දකින ප්‍රමුඛයෙක් තමයි කේ. කේ. සමන් කුමාර. එදා ඉඳල අද දක්වා ඔහු වික්ටෝරියානු කුහක බවට එරෙහිව සටන් වදිනවා. ස්ත්‍රී වාදී සටනේ ඔහු ඉන්නවා. වෙනත් ලිංගිකත්ව අරගල වල ඔහු ඉන්නවා. ඔහුගේ සටන්කාමිත්වය මිය ගිහිල්ලත් නැහැ. හදවතෙන් තමන්ට දැනෙන දෙය කතා කරන්න ඔහු බියත් නැහැ. මෙවරත් ඔහුට පුළුවන් හැටියට ප්‍රජාතන්ත්‍රවාදී අරගලය වෙනුවෙන් ඉදිරිපත් වුණා. තව හුඟක් අය ඉන්නවා ඇති නමුත් දීර්ඝ ලේඛන ඉතිහාසයක් සහිතව මේ සටනේ ඉන්න අපේ පරම්පරාවේ කෙනෙක් තමයි සමන්. විශේෂයෙන් අපේ සමාජය වෙළාගෙන සිටින වික්ටෝරියානු කුහක බව තවත් වරක් පැහැදිලි වුණා සමාජ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් බලයට ආපු මෛත්‍රීපාල විසින් ම එම අරගලයට එරෙහිව හිටපු රාජපක්ෂ ඉස්සරහ සමනල්ලුන්ට නිග්‍රහ කරන කොට. සම්ප්‍රදාය, පශ්චාත් යටත් විජිත කුහක බව, නුතන බව සහ පසු නුතන බව අතර අවස්ථාවාදී බෙදුම් රේඛාවන් දැන් අතිශයින් පැහැදිලියි (අවම වශයෙන් මුලික දේවල් එක්ක සලකන කොට). තවදුරටත් අපි රැවටෙන්න ඕනි නැහැ. ගඟේ යන්න වුවමනා නැහැ. සද්ගුරු කියනවා නම් ඇමෙරිකන් කාරයා ඩෙනිම ඉරනකොට මුළු ලෝකයෙන් බාගයක් වත් තමන්ගේ ඩෙනිම ඉරල අඳිනවා කියල එහෙනම් අපි සැන්ඩර්ස් ගෙන් ඉගෙන ගත්තට කිසි වරදක් නැහැ (මම කියන්නේ ඊටත් වඩා විශ්වීය විදියට කරමු කියල). සැන්ඩර්ස් සහ වරුෆාකිස් ල වගේ ප්‍රගතිශීලි කොටස් විසින් විවේචනය කරන ගෝලීය කරණයේ නව ගැටළුකාරී තත්වයන් වන ඒකාධිකාරය සහ ධනය බෙදී යාමේ ගැටළුව පවා අපි සැලකිල්ලට ගන්න ඕනි. විශේෂයෙන් අයුතු ධනය හරහා චීනය වගේ රටවල් ලෝකය පුරා තමන්ගේ හෙංචයියන් ඒකාධිකාරී ලෙස ඉස්මතු කරමින් සිටිනවා නව දේශපාලන විජිත කරණයක් ඇතුලේ. ලංකාවෙත් එහෙම වුණා. ඉතින් අපිට ලෝක ප්‍රජාතන්ත්‍රවාදී කොටස් එක්ක අත්වැල් බැඳ ගන්න තියෙනවා (ලාල් කාන්ත සහෝදරයා පවා චීනය ගැන ප්‍රසාදයකින් කතා කරන්නේ නැහැ) එවන් තත්වයන්ට එරෙහිව.





ආපහු අපි මුලට ආවොත් ඇමෙරිකාවේ සැන්ඩර්ස් දේශපාලන කරන්නේ ලාල් කාන්ත ගේ දුව නියෝජනය කරන පරම්පරාවට (නැවතත් කියන්නේ මෙහිදී දුව කියන්නේ රූපකයක් විතරයි කියන එක). එහෙම දේශපාලනය කරන සැන්ඩර්ස් කියන්නේ හිඟන්නෙක් නෙවෙයි. හොඳට ඇඳලා ඉන්න රැඩිකල් උගත් කෙනෙක්. ඒ නිසා ජ. වි. පෙ. කිසිම කෙනෙක් දිල්කා අහන විප්ලවය ගැන ප්‍රශ්න වලින් ගඟේ යන්න උවමනා නැහැ. එයාලගේ ඔලුවේ තියෙන රබර් සෙරෙප්පු දාන, පොඩිවෙච්ච ඇඳුම් අඳින, රතු කමිස කතා වලින් අවුල් වෙන්න ඕනි නැහැ (ඒ කියන්නේ දිල්කා ගේ ගේස් එකට වගේම ගේම් එකට අහුවෙන්න ඕනි නැහැ). ඉංග්‍රීසි කතා කරන්න බය වෙන්න ඕනිත් නැහැ. කොටින්ම රනිල් පහු කරගෙන යන්න බය වෙන්න ඕනි නැහැ. ඉතින් ජිජැක් ඉහත ලිපිය අවසන් කරන්නේ මෙහෙම. 'කෙටියෙන් ම කියන්නේ නම් අධිපති සංස්ථාපිත යට එරෙහි බලවේග සමග පුළුල් ලෙස සන්ධාන ගත නොවන්නේ නම් ඉදිරි වමට අනාගතයක් නැත. අපගේ සැබෑ සතුරා ධනවාදය මිස ජනප්‍රියවාදී දක්ෂිණාංශික බලවේග නොවේ. ඉහත බලවේග වනාහි ධනවාදයට ම එරෙහි ප්‍රතිචාරාත්මක අවුල් ජාලා පමණි'





(To cut a long story short, there is no victory of the left without the broad alliance of all anti-establishment forces. One should never forget that our true enemy is the global capitalist establishment and not the new populist right which is merely a reaction to its impasses).













References:






Badiou, A. (2015). Being and Event. (trans. Oliver Feltham). London. Continuum.





Zizek, S. (2017). Alt-right Trump supporters and left-wing Bernie Sanders fans should join together to defeat capitalism (in The Independent). Online.





Johnson, A. (2013). Slavoj Žižek’s Theory of Revolution: A Critique. https://www.tandfonline.com/doi/pdf/10.1080/23269995.2011.10707889.


0 comments: