Hot!

බර්නාඩෝ බර්ටොලුචී සිය සිනමාපට වල සුවිශේෂී දර්ශන ගැන කියන කතා

ඉතාලි ජාතික සුප්‍රකට සිනමා අධ්‍යක්ෂ බර්නාඩෝ බර්ටොලුචී පසුගියදා (නොවැම්බර් 26) සිය දිවියේ 77 වන කඩඉමේදී දිවියෙන් නික්ම ගියේය. ඔහු ලොව විශිෂ්ටතම සිනමා අධ්‍යක්ෂවරුන් අතර ඉහළින්ම සිටි අයෙකි. ප්‍රංශ නවරැල්ලේ සිනමාව ගැන අත්හදාබැලීම් සිදුකරමින් සම්භාව්‍ය ගණයේ ඉතාලි සිනමාවට නව අංග දායාද කිරීමට බර්නාඩෝ සමත්වූවේය.

 

The Conformist බර්ටෝලුචී නිර්මාණය කළ සිනමාපට අතරින් සුවිශේෂී ස්ථානයක් හිමිකරගන්නා අතර විචාරක මතය වන්නේ ලෝක සිනමා ඉතිහාසයේ Citizen Kane තරම්ම මෙය වැදගත් වන බවයි. සුප්‍රකට Last Tango in Paris සිනමාපටය, මාක්ස්වාදී පෙළඹීම පෙරටුකොටගත් 1900 සිනමාපටය, ඔස්කාර් සම්මාන දිනූ The Last Emperor සුවිශේෂී විචාරක අවධානයට පාත්‍ර වූ  The Sheltering Sky බර්ටෝලුචීගේ සිනමාපට අතර විශේෂය. මෙම ලිපියේදී අවධානයට ලක්වී තිබෙන්නේ ඔහු නිර්මාණය කළ සිනමාපට කීපයක අන්තර්ගත සුවිශේෂී දර්ශන හා එ්වා නිර්මාණය වු අන්දම ගැන කරන පැහැදිලි කිරීමයි.

 

The Spider's Stratagem (1970): එතෝස් සිය පියාගේ අභිමානය ඉදිරියට ගෙනයාමට තීරණය කිරීම



 

දර්ශනය -  එතෝස්ගේ පියා හා ෆැසිස්ට් විරෝධී අයෙකු බව දැනහඳුනාගත්තට පස්සේ එතෝස් තාත්තගේ සිය පියාගේ අභිමානය හා වීරත්වය රැකගෙන යාමට පියවර ගනී.

 

බර්ටෝලුචී -  “‘ඔයාගේ සිනමාපට වල මාව බොහෝ වරක් මරාදාලා තියෙනවා‘ යැයි මගේ තාත්තා එක දවසක් කිව්වා. එතෝස් තමන්ගේ තාත්තගේ වීරත්වය හා නිර්භීත බව ඉදිරියට අඛණ්ඩව පවත්වාගෙන යන්න අදිටන් කරගත්තත්, මම - පියා කියන චරිතය නිදහස්ව දැකීමේ සමාරම්භය වෙන්නේ මේකයි.

මේ සිනමාපටය රූපගත කළේ 1969 දී සීත සමයේදීයි, අධික සීතලෙන් මං ඇකිලිලා ගියා. ද්‍රෝහියෙකු හා වීරයෙකු ප්‍රධාන චරිත නිරූපණය කරන, ජෝර්ජ් ලුවී බෝර්ජියස් මෙනමින්ම රචනා කළ කෙටිකතාව සිනමාවට නගන්න තෝරාගත්තා. පියා හා පුතා ගැන රචනා වී තිබෙන මේ කෙටිකතාව විශ්ලේෂණයේදී හොඳ ආරම්භයක් ද වෙනවා.

මා මගේ තාත්තව දුටුවෙත් එතෝස් ඔහුගේ පියාව දුටුව විදියටමයි. වීරවරයෙකු හා ද්‍රෝහියෙකු විදියටයි. නමුත්, මේ සිනමාපටයේ අවසානය සිද්ධවෙන්නේ බෝර්ජියස්ගේ කෙටිකතාව අවසන් වන ආකාරයට නොවෙයි. එතෝස්ගේ පියාගේ මරණය ගැන මිත්‍යාව හා අද්භූතත්වය මවන්න උත්සහ ගත්තා. මගේ දැක්ම වගේම තීරණය වුණෙත් එයයි. නගරයෙන් පිටතට ඇදෙන දුම්රිය මග තණකොළ වලින් පිරී තිබෙන නිසා ඔහු සිරගෙයක ඉන්න බව සිනමාපටයේ අවසානයේදී අවබෝධ කරගන්නවා. බොහෝ කාලයකින් මේ නගරයට දුම්රියක් ඇවිත් නැති බව මින් අරුත ගැන්වෙනවා. ඉතිං මින් අදහස් වෙන්නේ ඔහු කාලයේ හා මේ කතාවේ සිරකරුවෙකු වගේම පියාගෙත් සිරකරුවෙකු බවයි.‘‘

 

 

 The Conformist  (1970): කොඩ්රික්ගේ මරණය

 

දර්ශනය -  සිනමාපටයේ කූටප්‍රාප්තියේ මාර්සෙලෝ සිය උපදේශක මහාචාර්යවරයා වන ලූකා කොඩ්රි හා ඔහුගේ බිරිඳ වන ඇනා කොඩ්රිගේ ඝාතනයට සැලසුම් සකස් කරයි.

 



 

බර්ටෝලුචී - ‘‘The Conformist  සිනමාපටයේ රූපගත කිරීම් පටන්ගත්තේ Spider’s Stratagem සිනමාපටය සංස්කරණය කරන අතරවාරයේදියි. මේ නිසා සිනමාපට දෙකෙන් එකිනෙක පිළිබිඹු කරනවා. අනිත් කාරණේ වෙන්නේ The Spider’s Stratagem සිනමාපටයේ තාත්තගේ කතාව සිද්ධ වුණු 1937 – 1938 වකවානුවේ The Conformist  සිනමාපටයේ මූලික සිද්ධිත් වීමයි. තමන්ගේ ජීවිතයට දැඩි බලපෑමක් කළ මහාචාර්යවරයා අවසන් කිරීමේ අරමුණින් තරුණයෙක් පැරීසියට යන අන්දම මේ සිනමාපටයේ නිරූපණය වෙනවා. ජීන් ලුක් ගොඩාර්ට්ගේ ලිපිනය හා දුරකතන අංකය හා සිනමාපටයේදී ඉන්න මහාචාර්යවරයාගේ දුරකතන හා ලිපින එක හා සමානයි. මං ඉතාලියේ ඉඳන් ඔහුගේ සිනමාපට හරහා පැරීසියට ආව තරුණයෙක් නිසා ඒක හරියට මං ජීන් ලුක්ට දුන් පණිවිඩයක් වගෙයි. තවත් අතකින් ගත්තොත් මාර්සෙල් තමන්ගේ මහාචාර්යවරයට ද්‍රෝහී වෙනවා වගේ මාත් අවම පර්යේෂණයක මට්ටමේ සිනමාපටයක් නිර්මාණය කරලා ජීන් ලුක්ට ද්‍රෝහී වුණා. ඒ සිනමාපටය ‘සිනමාව යනු කුමක්දැයි‘ කියන ප්‍රශ්නෙට පටහැනි නොවන්නක් වුණත් ඒ හරහා චරිත යෙදාගනිමින් කතාවක් ඉදිරිපත් කිරීම හරිම රසවත් අත්දැකීමක් වුණා. ‘අයියෝ, ආයෙමත් පාරක් තවත් තාත්තා කෙනෙක්ව මරලා දාලා කියලා‘ මේ සිනමාපටය බලපු මගේ තාත්තා ආයෙමත් වතාවක් කිව්වා.‘‘

 

 The Conformist (1970) : මාර්සෙලෝ කැමරාව දෙස බලන අවසන් දර්ශනය

 



දර්ශනය -  මුසොලිනීගේ බිඳවැටීමත් සමග සම්පූර්ණයෙන්ම මානසික බිඳවැටීමට මුහුණදුන් මාර්සෙලෝ සිය ෆැසිස්ට් මිතුරන් හෙලා දකින අතර නිවහනක් නැති තරුණ වියේ පසුවන වංචාකාරියක සමග තනිවේ. කැමරාව ඔහු වෙතට යොමුවෙන විට මාර්සෙලා අප දෙස මෙන්ම තරුණිය දෙස ද බලා සිටින අන්දම පෙන්වයි.

බර්ටෝලුචී - ‘‘මාර්සෙලෝ කියන්නේ කවුද කියන වග මෙහිදී දැනහඳුනාගන්න හැකිවෙනවා වගේම අවසානයේදී ඔහු, ඔහු ගැන තේරුම් ගන්නවා. මේ සමීප බව ඒ තරම්ම දැඩියි. ‘මේ දර්ශනය රූපගත කරද්දි මොනවද හිත හිත හිටියේ‘ කියලා රූපගත කිරීමෙන් පස්සේ මං ජීන් ලුවිස්ගෙන් ඇහුවා. ‘මගේ මර්සිඩීස් එකේ රෝද ගැනයි‘ යැයි ඔහු කිව්වා. රංගන ශිල්පීන් ගැන කවදාවත් තේරුම්ගන්න බැහැ.‘‘

 

 

 Last Tango in Paris (1972) :  සුප්‍රකට බටර් දර්ශනය


දර්ශනය -  පෝල් (මාලන් බ්‍රැන්ඩෝ) හා ජෙනී (මාරියා ෂින්ඩර්) ලිංගිකව එක්වන අතරතුරදී, මෛථූනය පහසු කරවීමට ජෙනීගේ ගුද මාර්ගයට බටර් ඇතුළු කරන අන්දම

 

බර්ටෝලුචී -  “මේක තිරපිටපතේ තිබුණේ නැහැ. නමුත්, පැරීසියේ තිබුණු මේ නිවහනේ හැමදාම උදේට මාලන් ඇතුළු පිරිසත් එක්ක අපි පොඩි කතාබහක යෙදෙනවා. මේ ගෘංගාරාත්මක දර්ශන වලින් ඔබ්බට යා යුතු බව අපි දෙන්නගේම අදහස වුණා.

මාලන් හා මම එකිනෙකාගේ මූණු දිහා බැලුවා. මේ අදහස ක්‍රියාවට නැංවුණේ එහෙමයි. ඉතිං, මේ ගැන මාරියා ට කියන එක අතිශය අසීරු වුණා. ඉතිං අපි ගොඩක් නරක වැඩක් කළා. සිද්ධවෙන්න යන්නේ මොකක්ද කියලා මාරියාට කිව්වේ නැහැ. මේ දර්ශනය රූපගත කරන්න පටන්ගත්තා, ඒවගේම මාලන් ඇය ඇඳ සිටි ජීන්ස් එක පහළට අදින්න ගත්තා, කොහොම වුණත්, මේ විදියට සිනමාපටයකදී තරුණියකගේ ජීන්ස් එක ගලවාදමන්න පුළුවන්ද, මොකද මේ ඇඳුම් බොහොම තදයි, සිද්ධවෙන්නේ මොකක්ද කියලා මාරියාට තේරුම්ගන්න නොහැකි වුණා. ඉතිං, ‘නැහැ, නැහැ‘ කියලා ඇය ප්‍රතිචාර දක්වන්න පටන්ගත්තා. ඔහු බටර් ටිකක් අතට ගත්තා. සිද්ධවෙන්නේ මොකක්ද කියන දේ හරියටම නොදන්න කෙනෙක් බොහොම දරුණු විදියට හැසිරෙන්න ගන්නවා. ඇය කෑ මොර දුන්නා. මෙතැනදී මාලන් වගේම ඇගේ පියා වැනි වුණු කෙනෙකු හා නිතරම ඇයව ආරක්ෂා කරන මං ගැනත් කෝපයෙන් යුතුව ඇය කෑගහන්න පටන් ගත්තා. අප දෙදෙනාම ඇයව පාවාදුන්නා වැනි හැඟීමක් ඇයට දැනුණු බව මගේ අදහසයි. මේ දර්ශනය මීට වඩා වෙනස් විදියට රූපගත කරන්න හැකිවේවි යැයි මං හිතන්නේ නැහැ.

මං මේ බව රූපගත කිරීමට පෙර ඇයට කියා තිබුණා නම් ඇය මේ දර්ශනයට කැමතිවෙන්න විදියක් තිබුණේ නැහැ. හැම උදේකම ඇතිවෙන කතාබහ අතරතුරදී ගෘංගාරාත්මක අරමුණකින් යුතු දෙයක් එළියට ඇවිත් එය ක්‍රියාවට නංවන්න හැකිවීම ගැන සතුටට පත්වෙනවා‘‘

 

1900 (1976) : පා ගමන



දර්ශනය -   පැය පහකට අධික කාලයක් පුරා දිවෙන මෙම සිනමාපටයේ ෆැසිස්ට් පාලනයෙන් ඉතාලිය නිදහස් වීමේ අභිමානය ගැන පෙන්වයි, වාමාංශික ගොවීන් පෙළපාලි වලට එක්වී ඉඩම් හිමි ඇල්ෆ්‍රඩෝ (රොබට් ඩි නීරෝ) අධිකරණය හමුවට පමුණුවයි.

බර්ටෝලුචී - “මේ දර්ශනය රූපගත කරද්දි මාවෝවාදීන් චීනය අත්පත් කරගත් අවස්ථාවේදී 1949 දී ලබාගත්තු ඡායාරූප තුනක් විතර දැක තිබුණා. චීන ඉඩම් හිමියන්ට එරෙහිව ගොවීන් බොහෝදෙනෙකු අධිකරණයට ගිහිං තිබුණා.

ගොවියෝ රවුමක් විදියට අසුන්ගෙන ඉන්න අතරතුරදී ඉඩම් හිමිකරුවා මේ පිරිස මැද ඉඳගෙන ඉන්න ඡායාරූපයකුයි මා දැක තිබුණේ. ඉතිං මම මේ දර්ශනය රූපගත කරද්දී එය චීන විප්ලවයට සම්බන්ධ කළා. 1900 සිනමාපටය නිර්මාණය කරද්දී එක්තරා විදියකට චීනය ගැන හීන මැව්වා කිව්වොත් නිවැරදියි. අවුරුදු 11 කට පස්සේ ඒ හීනය හැබෑවක් බවට පත්වුණා.‘‘  ‍

 

The Last Emperor (1987) : සංස්කෘතික විප්ලවය  



දර්ශනය - උග්‍ර සංස්කෘතික විප්ලවවාදී පෙළපාලියක කොඩිය ඔසවන දර්ශනයකින් මෙය අවසන් වේ.

 

බර්ටෝලුචී -  “පෙළපාලියේ දර්ශනය රූපගත කරන්න කලින් දන්න හඳුනන අධ්‍යක්ෂවරු හතර, පස් දෙනෙකු හමුවෙලා කතාබහේ යෙදුණා, මේ සිනමාපටයේ චරිතයකට පණදුන්නු චෙන් කේග් මෙහි ඉන්න ආරක්ෂකයින්ගේ ප්‍රධානියා වුණා, ඒවගේම සෑන් යිමොව් ද හිටියා.

අපි සංස්කෘතික විප්ලවය ගැන කතාබහේ යෙදුණා, හදිසියේම මේ කතාබහ මනෝමය නාටකයක් බවට පත්වුණා, ඔවුන් රඟපාන්න පටන් ගත්තා වගේම කෑගහන්නත් පටන්ගත්තා. මේක හරිම අසාමාන්‍යයි. The Last Emperor හා in 1900 සිනමාපටයේ තියෙන මේ දර්ශන අතර සමාන බවක් තියෙන බව මගේ විශ්වාසයයි. හැබැයි මේ සිනමාපට දෙක නිර්මාණය වුණු කාලපරිච්ඡේදය අතර මගේ වගේම ලෝකයෙත් බොහෝ දේවල් වෙනස් වුණා.

 

The Sheltering Sky  (1990) : බෙල්ක්වාසිම් - කිට්ව පොළඹවා ගන්නා අන්දම 



දර්ශනය - සිය සැමියාගේ මරණයෙන් පසුව කාන්තාරයේ එහේ මෙහේ සැරිසරන කිට් ව ටුවාරෙග් සංචාරකයින්ගේ ගමනට එක්වේ. ඇය බෙල්ක්වාසිම් (එරික් වු අන් මේ චරිතයට පණ පොවයි) නම් ටුවාරෙග් සංචාරකයින්ගේ නායකයෙකු සමග සම්බන්ධතාවක් පටන්ගනී.

 

බර්ටෝලුචී -  “මේ නවකතාවේ මේ කොටස කියවද්දී පෝල් බොව්ලස්ගේ සමරිසි බව මට ඇත්තටම දැනුණා. මේ දර්ශනයේ මුල් කොටසේදී ඩෙබ්රා වින්ගර් සැරසිලා ඉන්නේ තරුණයෙකු විදියටයි. ඉතිං, ඇය බෙල්ක්වාසිම් දිහා බලන්නේ තරුණයෙකු තවත් පිරිමියෙකු දිහා බලන විදියටයි. බෙල්ක්වාසිම් නිතරම ඔහුගේ මුහුණ සඟවාගෙන ඉන්න අතිශය පුදුමාකාර චරිතයක්. ඔහු - කිට් දිහා බලාගෙන ඉන්න මොහොතක් තියෙනවා. කිට් එක්තරා අන්දමකින් දරුවෙකු බවට පත්වෙනවා. ඩෙබ්රා වින්ගර් නිරන්තරයෙන්ම ඔහුව හොයනවා. ජේන් බොව්ලස් සමග එක්වී බොහෝ දේවල් දැනහඳුනාගන්න ඇයට වුවමනාවක් තිබෙනවා. ‘‘මේක මං කරන අවසාන සිනමාපටය වුණත් මට හැකි උපරිමය මේ සිනමාපටයට දායක කරන්න ඒක කොහොමටවත් හේතුවක් වෙන්නේ නැහැ‘ යන්න ඇය එක දවසක් කිව්වා මට මතකයි.

 

Little Buddha  (1993) : සිද්ධාර්ථ මරණය සොයාගැනීම



 

දර්ශනය - පියාගේ මන්දිරයට කොටුවූ ජීවිතයක් ගතකළ සිද්ධාර්ථ කුමාරයා (කේනු රීව්ස්) සිය පියා විසින් විශේෂයෙන්ම සිද්ධාර්ථ වෙනුවෙන් සංවිධානය කළ යුධ පෙළපාලියක් නැරඹීමට ගොස් විවේක සුවයෙන් පසුවේ. මේ පෙළපාලිය අතරතුර හොර රහසේම පිටතට යන ඔහු මියගිය පුද්ගලයෙකු ආදාහනය කරන අයුරු මෙන්ම මරණය කෙතරම් වේදනාකාරීද යන්න දැනගනී.

බර්ටෝලුචී -  “ජේම්ස් ඇක්සන් Last Emperor හා Little Buddha සිනමාපටවල ඇඳුම්, පැළඳුම් නිර්මාණය කළා. ඒ වගේම මේ සිනමාපටයේ කලා අධ්‍යක්ෂණයත් කළා. ඔහු ඇදහිය නොහැකි තරම් අපූරුවට ව්‍යාජ දැවුණු සිරුරක් නිර්මාණය කළා. එළියේ වගේම පිටත දර්ශන වලදීත් මෙය සර්ව සම්පූර්ණයෙන්ම දැවුණු සිරුරකට සමානව පෙනුණා. මේක ගින්නට පිච්චෙද්දී හදවත, අක්මාව හා ඉළ ඇට වගේ සිරුරේ අවයව පැහැදිලිව පේන්න ගත්තා. ඇත්ත මළමිනියක් ගත්තා නම් එය මේ තරම් අපූරුවට කැමරාවට නොපෙනෙන්න තිබ්බා වගේම මේ විදියට පිච්චෙන්නෙත් නෑ. සිද්ධාර්ථගේ චරිතයට පණ පොවපු කේනුට මේ දැවෙන සිරුරෙන් ඔහුගේ ඇස් ඉවතට ගන්න පුළුවන් වුණේ නෑ වගේම අපිටත් එහෙම කරන්න නොහැකි වුණා. ඉතිං, ඇත්ත සිරුරක් දිහා බලන අනුකම්පාසහගත බවින් යුතුව අපි මේ දර්ශනය රූපගත කළා.‘‘

 

The Dreamers (2003) : මැතිව්, ඉසබෙලා හා තියෝ එක්ව ස්නානය කරන දර්ශනය


දර්ශනය - ඇමරිකානු ජාතිකයෙකු වන මැතිව් ලිංගික වශයෙන් නිදහස් ජීවිතයක් ගෙවූ ඉසබෙලා  හා තියෝ සමග ස්නානය කරන අතර මේ අතරතුර එකිනෙකා ආදරයෙන් බැඳේ.

බර්ටෝලුචී -  “මේ වයසේදී ගතකරන ලිංගික ජීවිතය කොහොමටවත් හීලෑ නැති, වැටකොටු නැති දෙයක්. මෙවැනි වයසකදී ලිංගිකත්වය ගැන නිවැරදි අවබෝධයක්වත් නැහැ. ඉතිං, මේ සිනමාපටය නිර්මාණය කරද්දී පවා මේ චරිත හා නළු නිළියන් අතර පවා නිදහස් බවක් දැනෙනවා. අනික් දෙන්නා වෙන භාෂාවකින් කතාබහ කරද්දී සමහර වෙලාවට මයිකල්ට ඊරිසියාවක් දැනෙනවා. ඊට පස්සේ මයිකල් හා ඊවා ගැන ලුවිස්ට ඊරිසියාවක් දැනෙනවා. නමුත්, මේ හැමදෙනාම අතර සුවිශේෂී ලස්සනක් තියෙනවා. ‘අර දෙන්නා බොහොම සමීපයි‘, කියලා කවදාවත් කිසිම කෙනෙක් ඇවිත් මට පැමිණිලි කරලා නැහැ. නමුත්, මේ ගෙදර ඇතුළේ විශ්වාස කරන්න බැරි තරමේ ඇඟෑලුම්කමක් තිබුණා‘‘

 

 The Dreamers  (2003) : සියදිවි නසාගැනීමට කළ උත්සහය හා අවසානයේ දර්ශනය වන උද්ඝෝෂණය


දර්ශනය -  ගඩොලයක් ජනේලය තුළින් ඇතුළට එනවාත් සමග සියදිවි නසාගැනීමට කළ උත්සහය හදිසියේ නිමාවට පත්වේ. සිනමාපටයේ නිරූපණය වන ප්‍රධාන චරිත ත්‍රිත්වය වන තරුණයන් දෙදෙනා හා තරුණිය පහත මාලයට දිව එන්නේ 1968 දී පැරිසියේ පැවති කැරැල්ල දැකබලාගැනීමේ වුවමනාවෙනි.

 

බර්ටෝලුචී - “කිසිකෙනෙක්ට මේක නවත්වන්න බැහැ. ගඩොලක් ජනේයේ වැදුණු නිසා මේ තුන්දෙනා පහළට දුවගෙන එනවා, ඒවගේම මෙමගින් වීදියේ සිද්ධවෙන නොසන්සුන්කාරී තත්ත්වය ඔවුන් සිටි කුටිය වෙත ගෙනඒමේ වුවමනාවක් මට තිබුණා. සමස්ත සිනමාපටය පුරාම ඔවුන් ආවෘතභීතියෙන් පෙළෙමින් හිටියා වගේම මේ මොහොතේදී ඔවුන්ට කාමරයෙන් පිටතට එන්න සිද්ධ වුණා. ඔවුන් පිටතට යෑමෙන් අදහස් වෙන්නේ එකිනෙකාගෙන් වෙන්වුණා කියන බවයි. මං එක එක විදියේ විකාර දේවල් 1968 දී කියවමින් හිටියා, මේ සිනමාපටය නිර්මාණය කරන්න එය දැඩි බලපෑමක් කළා. නමුත්, මේ චිත්‍රපටය මගින් පිළිබිඹු කළේ ඒ සමයේදී ජීවත් වුණු තරුණ පිරිස ගැන නෙමෙයි, වයස්ගතවූ පුද්ගලයෙකු අතීතය දිහා නැවත හැරී බලන ද්‍රෘෂ්ටිකෝණයයි. ඒ මොහොතේදී හිටිය තරුණයා වගේම විශ්වාස කළ නොහැකි ඔවුන්ගේ අනාගතය ගැනත් කියන්න වුවමනා වුණා, ඔවුන් යන්නේ කොයිබටද ? ඔවුන් හොයාගන්නේ මොනවගේ දේවල්ද ? යන්න. අද වෙද්දි ඒ වයසේ ජීවත්වුණු දරුවෝ හෙට ගැන හිතනවා, ඊට පස්සේ තවත් හෙට දිනක්, තවත් හෙට දිනක්. එදා ඉඳන් බැලුවම ඊයේ දිනයක් තිබිලා නැහැ, තිබිලා තියෙන්නේ හෙටක් විතරයි

 

 

 

සබැඳි පුවත් 

 

''La Luna සිනමාපටයට මුල්වුණේ මගේ අම්මාගේ මතකයයි‘‘ - බර්නාඩෝ බර්ටෝලුචී 

 

 

 

0 comments: