Hot!

ජනපති ඔක්තෝබර් 26 වැනි දාට කලින් තිබුණු තත්වයට ආපසු යා යුතුයි

-  ආචාර්ය ඩබ්. ඒ. විජේවර්ධන - 

 

 

 

2015 ජනප‍්‍රිය යහපාලන රැල්ල තුළින් බලයට පැමිණීම

 

ජනාධිපතිවරයාත්, ඔක්තෝබර් 26 වැනි දා ඔහු විසින් බලයෙන් පහ කරන ලද ආණ්ඩුවත් බලයට පැමිණියේ 2015 යහපාලනික ජනප‍්‍රිය රැල්ල හරහා ය. එය එදා මුළු සමාජයම එක හඬින් ඉල්ලා සිටි දෙයකි. ජනතාවගෙන් බලය ඉල්ලා සිටින  ඕනෑම කෙනෙකුට අනුගමනය කිරීමට ඇති සහතික මාවත එයයි.

 

එසේ බලයට පත් ඔවුන් පළමු අවුරුදු දෙක තුළ ගත් ඇතැම් පියවර ඇත්තෙන්ම, ජනතාවට දී තිබූ පොරොන්දුවලට අනුගත වූ බව කිව යුතුය. ස්වාධීන කොමිෂන් සභා පත් කිරීම, තොරතුරු දැන ගැනීමේ අයිතිය සම්මත කර ගැනීම සහ විධායක ජනාධිපතිවරයාට හිමිව තිබූ ඇතැම් අත්තනෝමතික බලතල ඉවත් කිරීම ඉන් සමහරකි. එසේ වෙතත්, ඒ නායකයන් පාර්ලිමේන්තුව තුළදී මෙන්ම ඉන් පිටතදීත් කටයුතු කළ ආකාරයත්, විශේෂයෙන් මහ බැංකු බැඳුම්කර වංචා සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරයත් යහපාලන ආණ්ඩුකරණයකට තරම් නොවීය. අගමැති රනිල් වික‍්‍රමසිංහ ඉවත් කිරීම සඳහා හේතු වූ එක් කාරණයක් වශයෙන් ජනාධිපතිවරයා ගෙනහැර දක්වන්නේ ද එකී බැඳුම්කර වංචාවයි. එසේ වෙතත්, එය යහපාලන පරමාදර්ශ ඉවතලීම සඳහා ජනාධිපතිවරයාට පාවිච්චියට ගත හැකි අවසරයක් වන්නේ නැත.

 

 

ආණ්ඩුකරණය යනු සදාචාරමය සහ ආචාර ධර්මීය සංහිතාවකි

 

පුද්ගලයෙකු සමාජයේ ආචාර ධර්මීය සහ සදාචාරමය සම්මතයන් තුළ ප‍්‍රතිචාර දක්වන්නේ කෙසේද යන්න, ආණ්ඩුකරණයට කෙලින්ම අදාළ ය. පුද්ගලයන් වූ කලී, ස්වභාවයෙන්ම ගත් කල, ආත්මාර්ථකාමී ය. එබැවින්, තමන්ගේ පුද්ගල ආශාවන් සමග සමාජයේ සදාචාරමය සහ ආචාර ධර්මීය සම්මතයන් ගැටෙන විට, එම සම්මතයන්ට අනුගතව කටයුතු කිරීමක් ආත්මාර්ථකාමී පුද්ගලයාගෙන් අපේක්ෂා කිරීම දුෂ්කර ය.

 

පුද්ගලයාගේ ජානමය රටාව, එක්තරා ආකාරයකින්, තම ආරක්ෂාව සහ නොනැසී පැවත්ම උදෙසා සකස්ව ඇති බව, ‘ආත්මාර්ථකාමී ජානය’ නැමැති තම කෘතියේදී, ඔක්ස්ෆෝර්ඞ් විශ්ව විද්‍යාලයේ හිටපු පරිණාම ජීව විද්‍යාඥ රිචඞ් ඩෝකින්ස් තර්ක කරයි. එබැවින්, පුද්ගලයාගේ ප‍්‍රධාන අභිලාෂය වන්නේ ස්වාර්ථය සඳහා කටයුතු කිරීමත්, තමාගේ අභිවෘද්ධිය, පෝෂණය සහ නොනැසී පැවැත්ම සහතික කර ගැනීමත් ය. ආණ්ඩුකරණය පිළිබඳ ආයතනවලින් ඔවුන් යම් ප‍්‍රතිලාභ ලැබුවත්, ඔවුන්ගේ හුදු පුද්ගල ආවේශයන් ඉදිරියේ ඒ කාරණය ද්විතීයික වන්නේය.

 

 

සදාචාරමය සහ ආචාර ධාර්මික සම්මතයන් පුද්ගල ආශාවන් සමග අනුගත නොවන විට ප‍්‍රශ්න පැනනගී

 

පුද්ගල ස්වාර්ථය සොයා යාමේදී, සමාජයක පවතින සදාචාරමය සහ ආචාර ධාර්මික සම්මතය ඊට පටහැනිව සිටින විට ගැටුමක් මතු වෙයි. ආණ්ඩුකරණය පිළිබඳ නීති සංහිතාවක් රටකට අවශ්‍ය කරන්නේ එහිදී ය. නිතර අපට ඇසෙන ‘යහපාලනය’ හෝ ‘අවපාලනය’ යන යෙදුම් භාවිත වන්නේ, ආණ්ඩුකරණයේ නීති සංහිතාව සහ පුද්ගල චර්යාව අතර පවතින පෑහීමේ හෝ නොපෑහීමේ ස්වභාවය මත ය. එහි අදහස වන්නේ, ඉහත කී යෙදුම්වලට අර්ථයක් ලැබෙන්නේ, පුද්ගලයාගේ අපාලිත ස්වාර්ථයත්, නීති සංහිතාවත් අතරේ පවතින වෙනස නිසාම වන බවයි.

 

 

මංපහරන්නන් සහ වංචනිකයන්ගේ සමාජයක - යහපාලනය යනු ‘මංපැහැරීම සහ වංචාව’ ය.

 

මෙය කල්පිතයක් ආශ‍්‍රයෙන් පැහැදිළි කර ගත හැක. යම් සමාජයක් තමන්ගේ සදාචාරමය සහ ආචාර ධර්මීය පදනම වශයෙන් සලකන්නේ මංපැහැරීම යැයි මොහොතකට සිතන්න. එවැනි සමාජයක මංපහරන්නන්ට ආචාර කෙරෙන අතර, මංපැහැරීම ප‍්‍රතික්ෂේප කරන්නන් හිරේ විලංගුවේ දැමේ. මෙවැනි සමාජයක ආණ්ඩුකරණයේ උත්තුංග ධර්මතාව කුමක් ද? සෑම මිනිස් සබඳතාවක් තුළම සොරකම සහ වංචාවට මුල් තැන දීමයි. ඒ අනුව, සියල්ලන්ටම සොරකම් කිරීමට සහ වංචා කිරීමට උගන්වනු ලැබේ. ලොකුම සොරකම හෝ ලොකුම වංචාව කරන තැනැත්තා වැඩියෙන් ප‍්‍රශංසාවට ලක්වෙයි. සියල්ලන්ගේ වීරයා බවට පත්වෙයි.

 

මංපැහැරීම නොකරන, සොරකම් නොකරන පුද්ගලයාට මේ සමාජයේ තැනක් නැති නිසා, සියල්ලෝම මංපහරන්නෙකු හෝ සොරෙකු වීමට බලති. ඒ අනුව, සොරුන් සහ මංපහරන්නන් විසින් සමාජයේ සියලූ යහපත් මිනිසුන් තමන්ගේ කඳවුරට නම්මවා ගෙන එම සමාජය මුළුමණින්ම සොරුන්ගේ සහ මංපහරන්නන්ගේ සමාජයක් බවට පත්කෙරේ. එවැනි සමාජයක, අනෙකාගෙන් සොරකම් කිරීම හෝ කොල්ලකෑම යහපාලනික ක‍්‍රියාවක් වශයෙන් සැලකේ. එවැනි සමාජයක එසේ නොකිරීම අවපාලනයක් වශයෙන් සැලකේ.

 

 

යහපාලනයේ ආචාර් ධර්ම සහ සදාචාර සංහිතාවක  තිබිය යුතු අත්‍යාවශ්‍ය ලක්ෂණ

 

ඒවා වන්නේ, අනෙකාගේ අයිතීන් පිළිගැනීම, ගනුදෙනුවල සාධාරණත්වය, සිතීමේ සහ ප‍්‍රකාශනයේ නිදහස, වෙනස් අදහස් ඉවසීම, ගැටුම් සහ මතභේද සාමකාමීව නිරාකරණය කර ගැනීම, නොවිසඳුණු ප‍්‍රශ්නවලට දීර්ඝ කාලීන සහ සමගි සම්පන්න විසඳුමක් අපේක්ෂාවෙන් විවෘත සහ නිදහස් සංවාද පැවැත්වීම ආදියයි.

 

ඒ ආකාරයෙන් බලන විට, ආණ්ඩුකරණය යනු, සමාජයේ විශාල කොටසකගේ ජීවන මාදිලියකි. එය, මිනිසුන් විසින් තමන් තුළම වගා කොටගෙන ඇති ස්වයං-විනයකි. ආචාර ධාර්මික සහ සදාචාර සංහිතාවකි. ඒ සමගම එය, පුද්ගල ස්වාර්ථය සහ සමාජයේ පොදු අවශ්‍යතා අතර ඇති වන නොපෑහීමකදී, පුද්ගලයන්ගේ මනසට සහ බුද්ධිමය සැකැස්මට හානි නොකරමින්, සාමකාමීව සහ සුහද ආකාරයකින් ගැටුම් නිරාකරණය කරගන්නා ක‍්‍රමයකි. ඒ ආකාරයට, කට වචනයෙන් නොව, සැබවින්ම ඒ ධර්මතා අගයන මිනිසුන්ගෙන් සැදුම්ලත් සමාජයක් සියල්ලන්ගේ අන්‍යොන්‍ය යහපත පිණිස වන බව දත යුතුය.

 

 

යම් ක‍්‍රියාවකට කලින් එහි යෝග්‍යතාව පරීක්ෂාවට ලක්කිරීමේ ක‍්‍රම හයක්

 

යහපාලනයට පදනම් වන සදාචාර සහ ආචාර ධාර්මික පදනම තුළ, ජනාධිපතිවරයා සහ වෙනත් දේශපාලන නායකයන් ජනතාව වෙනුවෙන් යම් කර්තව්‍යයක් භාර ගැනීමට මත්තෙන් තමන්ගෙන් අසා ගත යුතු ප‍්‍රශ්න හයක් තිබේ.

 

පළමුව, අදාළ ක‍්‍රියාව මූල්‍යමය වශයෙන් ප‍්‍රඥාගෝචර වන්නේ ද සහ සෙස්සන්ට හානිකර නොවන්නේ ද යන්න.

දෙවැනුව, නීතිරීතිවලට සහ රෙගුලාසිවලට, එම ක‍්‍රියාව වචනාර්ථයෙන් මෙන්ම සාරාර්ථයෙනුත්, අනුගත ද යන්න.

තෙවැනුව, තමන් මැතිවරණයකදී ජනතා වරම ලබා ගැනීමේදී ජනතාවට දුන් පොරොන්දු සමග එම ක‍්‍රියාව සමපාත ද යන්න.

සිව්වැනුව, එම ක‍්‍රියාව සදාචාරමය වශයෙන් සහ ආචාර ධාර්මික වශයෙන් නිවැරදි ද සහ එය කිරීමෙන් පසු සැහැල්ලූ හෘද සාක්ෂියකින් සිටිය හැකි ද යන්න.

පස්වැනුව, එය සෙස්සන් විසින් අනුකරණය කරනු ලැබීමට තරම් ආදර්ශමත් ද, ගෞරවාන්විත ද යන්න.

හයවැනුව, එය ජනාධිපතිවරයාගේ සහ වෙනත් නායකයන්ගේ කීර්තිය සහ මහජන ප‍්‍රසාදය පළුදු කරන්නේ ද යන්නයි.

 

 

ජනාධිපතිවරයා සහ වෙනත් සියලූ දේශපාලන නායකයන් කටයුතු කළ යුත්තේ, මේ පරීක්ෂණ හයෙන්ම, යාන්තමට නොව සියයට සීයකින්ම සමත් වන්නේ නම් පමණි. එබැවින්, පසුගිය මාසයකට වැඩි කාලයක් තිස්සේ තමන් කරන කියන ලද දෑ මේ පරීක්ෂාව ඉදිරියේ කුමන තත්වයකින් පවතී ද යන්න ජනාධිපතිවරයා දැන්වත් සිහි කල්පනාවෙන් සිතා බැලිය යුතුය.

 

 

ගොඩ ඒමට ඇති මාර්ගය වන්නේ  සරළ අංක ගණිතය අනුගමනය කිරීමයි

 

හිතුවක්කාරී අභිමතානුසාරී බලයක් ජනාධිපතිවරයාට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් සලසා දී නැත. ‘ජනාධිපතිවරයාගේ මතය අනුව’ යන වගන්ති කෑල්ල පටලැවිලිකාරී සූත‍්‍රයක් නොවේ. එය, බහුතරය නැමැති සරළ අංක ගණිතමය කාරණයකි. ප‍්‍රාථමික පංතියක සිටින සිසුවෙකුට වුව එය වැටහෙනු ඇත. එබැවින් දැන් ජනාධිපතිවරයා කළ යුත්තේ, විවිධ විවාදාපන්න අවසර පාමින් කල් මරනවා වෙනුවට, ඔක්තෝබර් 26 වැනි දාට කලින් තිබුණු තත්වයට ආපසු යාමයි. පාර්ලිමේන්තුවේ සරළ බහුතරයක කැමැත්ත මත අගමැතිවරයෙකු තෝරා පත්කර ගැනීමට ඉඩ සැලසීමයි.

 

ජනාධිපතිවරයා මෙය ‘මූණේ දැළි ගා ගැනීමක්’ වශයෙන් භාර ගත යුතු නැත. මන්ද යත්, ඔහු වනාහී, මේ රටේ යහපාලනය ස්ථාපිත කිරීමට ප‍්‍රතිඥා දී ඇති නායකයෙකු වන බැවිනි.

 

 

 

 

 

(‘‘ජනාධිපතිවරයාගේ මතය අනුව’’ යනු, ජනාධිපතිවරයාට හිතුවක්කාරීව තේරීමක් කළ හැකි බව නොව,

සරළ අංකගණිතය අනුව කටයුතු කළ බවයි- “"In the Opinion of the President" Does Not Mean Arbitrary Choice, but Going by Simple Arithmetic", ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි

 

 

 

 

0 comments: