Hot!

ආවේගවාදී හෙළා දැකීම් මගින් විසඳුම් නොලැබෙන හෙයින්


හුදෙක් පාර්ලිමේන්තුවට පත් කරන්නාවූ පුද්ගලයින්ගේ උගත්කම හා ඔවුන්ගේ වෘත්තිය හෝ බාල හැදියාව පිළිබඳ ප්‍රශ්නයක් නොවේ. මේ පිරිහීම තුල ආචාර්ය මහාචාර්යවරුන්ද, වෛද්‍යවරුන්ද, නීතිඥයින්ද, ගණකාධිකාරීන්ද, මූල්‍ය කලමනාකරුවන්ද, කඩල වෙළෙන්දන්ද, පදික වෙළෙන්දන්ද යැයි කිසිදු වෙනසක් නැත.






කුසල් පෙරේරා


මේ වල් වැදුනු කුණු වුනු දේශපාලනයේ සැබෑ ප්‍රකාශනය අපි ඊයේ සහ අද පාර්ලිමේන්තුවේදී දුටුවෙමු. එයට එරෙහි ඉතා ආවේගවාදී විරෝධ, හෙළා දැකීම් සමග ඒ සියල්ලෙන් විනෝදයක් ලබනවුන් එමටය. එහෙත් ඒ කිසිවකින් මේ කාලකණ්නි තත්ත්වයට විසඳුම් නැත.


ඒ අතිශය කාලකණ්නි සිදුවීම්වල වැරදිකරුවන් සෙවීමේද කිසිදු අරුතක් නැත. කවුරු වරදකරුවන් කෙරුවද, මේ ගරා වැටුණු ආණ්ඩු පාලන ක්‍රමය ඉන් පිරිසිදු කළ නොහැක. මෙය මේ පාර්ලිමේන්තුවේ, මේ සිදුවීම් වලට සීමා වන්නක් නොවේ. මෙය විවෘත වෙළඳපල ආර්ථිකය පවත්වා ගෙන යාම සඳහාම තහවුරු කළ දිස්ත්‍රික්ක මට්ටමින් අනුපාත ඡන්ද ක්‍රමයද එකතු කෙරුණු පසු, අවුරුදු 40 ක් පුරා ක්‍රමානුකූලව සිදුවූ හා වැළකිය නොහැකි ගරා වැටීමකි. 1989 පෙබරවාරි, 1994 අගෝස්තු, 2000 ඔක්තෝම්බර, 2001 දෙසැම්බර, 2004 අප්‍රේල්, 2010 අප්‍රේල් සහ 2015 අගෝස්තු වල මනාපද ඇතිව අනුපාත ක්‍රමයට පැවැත්වූ මැතිවරණ වලින් පත් කෙරුණු හැම පාර්ලිමේන්තුවක්ම හැම විටම කලින් පාර්ලිමේන්තුවට වඩා පිරිහුණු පාර්ලිමේන්තුවක් විය. ඒවායේ සොයා ගත හැකි කිසිදු වැදගත් විවාදයක් කතාවක් නැත. ඒවායේ වැඩි වැඩියෙන් දකින්නට ලැබුණේ තක්කඩින් තොගයක් විසින් තමන්ගේ අප්‍රමාණ, අප්‍රකාශිත වාසි සඳහා පක්ෂ මාරු කිරීමත් ඒවා වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ගාල ගෝට්ටි කිරීමත් පමණි. ඒ ගාල ගෝට්ටි අතර වරක් මන්ත්‍රී හාමුදුරු නමක් ශරීරයේ නොකියූ තැනකට ප්‍රතිකාර ගැනීමට රෝහල්ගත කරනුද ලැබිණ. මෙවර අප දුටුවේ එහි මහපරිමාන ක්‍රියාන්විතයක් දෙදිනකදී මුදා හැරීමක් පමණි.


මෙය හුදෙක් පාර්ලිමේන්තුවට පත් කරන්නාවූ පුද්ගලයින්ගේ උගත්කම හා ඔවුන්ගේ වෘත්තිය හෝ බාල හැදියාව පිළිබඳ ප්‍රශ්නයක් නොවේ. මේ පිරිහීම තුල ආචාර්ය මහාචාර්යවරුන්ද, වෛද්‍යවරුන්ද, නීතිඥයින්ද, ගණකාධිකාරීන්ද, මූල්‍ය කලමනාකරුවන්ද, කඩල වෙළෙන්දන්ද, පදික වෙළෙන්දන්ද යැයි කිසිදු වෙනසක් නැත.


මේ අතිශය දූෂිත විවෘත වෙළඳපල ආර්ථිකය විසින් සියලු දේශපාලන පක්ෂ ජාවාරම්කාරයින්ගේ කලු සල්ලි හා කොමිස් මුදල් වලින් නඩත්තු කෙරෙන පක්ෂය. මේ පක්ෂවලට ඔවුන්ගේ පක්ෂ මධ්‍යස්ථාන හා පූර්ණකාලීන සේවක පිරිස් සමග දිනපතා පැවැත්මට අවශ්‍ය මුදල් මාසිකව ලබා ගැනීමට හැකි සාමාජිකත්වයක් නැත. එවගේම මේ දේශපාලන පක්ෂවල හැම මැතිවරණ ව්‍යාපාරයක්ම නඩත්තු කරන්නේ ජාවාරම්කාර ව්‍යාපාරිකයින්ය. දේශපාලනඥයින් ඔවුන්ගේ මැතිවරණ කරන්නේද එවැනි තැරැව්කාරයින්ගේ පිහිට ඇතිවය.


එවන් පසුබිමක මේ දේශපාලන පක්ෂ වලින් ඉදිරිපත් කරන අපේක්ෂකයින්ට පමණක් ඡන්දය දීමට සිදුවන ඡන්දදායකයාට කවරෙකු තෝරා පත් කළද, එහි වෙනසක් නැත. එය කියන්නේ මා පමණක් නොවේ. එය ඉහළ පෙළ වෘත්තිකයෙකුද වන එ.ජා.පයේ රාජ්‍ය ඇමතිවරයෙකුද වූ එරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයාද මීට ටික දිනකට ඉහතින් අවධාරණය කරමින් කියූවකි. එය මෙතැනින් පිවිස අසන්න - https://www.facebook.com/1398478163/posts/10213631340963346/


මෙය තව දුරටත් වාද කිරීමට ඉතිරි වූවක් නොවේ. මෙය විවෘත ආර්ථිකයට අවශ්‍ය පරිදි පවත්වා ගෙන යන මැතිවරණ ක්‍රමයක්ද සමග පොලිසිය, අධිකරණය, පරිපාලනය ඇතුලු සමස්ථ රාජ්‍ය ක්‍රියාකාරිත්වයම අඩාල කෙරුණු දූෂිත පැවැත්මකි. මෙහි සියල්ල සිදුවන්නේ නගරයෙහිය. තීන්දු ගනු ලබන්නේත් ඒවා ක්‍රියාවට නගන්නේත් ඒ සඳහා දේශපාලන බලය කේන්ද්‍රගතව තිබෙන්නේත් නගරයේ ය. එනිසාම වත්කම් හා මුදල් ඇත්තේද නගරයේය. විශාල වශයෙන් මුදල් ගැවසෙන ඒ නගරයේ සියලුම වෘත්තීන් මුදලට අලෙවි වන වෘත්තීන්ය. එනිසා අද කොළඹ මැද පංතික වෘත්තිකයින් ආත්මාර්ථකාමී, කෑදර ජීවිත ගත කරනවුන්ය. ඔවුන්ට එළෙසින් හම්බ කරන්නාවූ අප්‍රකාශිත ආදායම් සමග ඉතා සුඛෝපබෝගී ජීවිත ගත කළ හැකිය. එනිසා ඔවුන්ට මේ අතිශය දූෂිත විවෘත වෙළඳපල ආර්ථිකය අත හැරීමට අවශ්‍යය නැත.


හැමවිට විධායක ජනාධිපති ධූරය සතු බලය සියලු දූෂණයන්ට, ප්‍රජාතන්ත්‍රවාදයේ විකෘතීන්ට ප්‍රධානම හේතුව ලෙස ඉදිරිපත් කරන්නේ එබැවින්ය. ඡන්ද ක්‍රමය වෙනස් කරන්නට කතා කරන්නේ එබැවින්ය. එහෙත් මෙවැනි විධායක ජනාධිපති ධූරයක්ද මෙවැනි අනුපාත-මනාප ඡන්ද ක්‍රමයක්ද නැති ඉන්දියාවේ හිමාලයානු දූෂණ වලට විරුද්ධව අන්න හසාරේලා පාරට පැමිණියේ ඇයිදැයි ඔවුන් අසන්නේත් නැත. කියන්නේත් නැත. ඉන්දියාවේ ලොක් සභා මන්ත්‍රීවරුන් 543 න් 228 ට එරෙහි තවමත් අවසන් නොවුනු අපරාධ නඩු ඇත. ප්‍රාන්ත මන්ත්‍රීවරුන් 1,537 ටද එවැනිම අපරාධ නඩු ඇත (විස්තර සඳහා පිවිසෙන්න - https://timesofindia.indiatimes.com/india/36-of-mps-mlas-facing-trial-in-3045-criminal-cases/articleshow/63261553.cms). එවැනි අපරාධ අතර මිනීමැරීම්, මිනී මැරීමට තැත් කිරීම්, ස්ත්‍රී දූෂණ, කප්පම් ගැනීම්, ආගමික හා වාර්ගික ප්‍රචණ්ඩ ක්‍රියා වැනි අපරාධ චෝදනා සමග පත්ව ඇති ඉන්දියානු පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 534 කින් 442 ක් ක්‍රෝරෝපතීන් ය. 2009 පත් වූ පාර්ලිමේන්තුවේ සිටියේ එවැනි ධනකුවේරයින් 300 කි. එවැනි මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත වර්තමාන පාර්ලිමේන්තුවේ සියයට 75 ක් උපාධි හෝ ඊට වැඩි අධ්‍යාපන සුදුසුකම් ලැබූවන්ය (වැඩි විස්තර සඳහා https://indianexpress.com/article/india/politics/442-crorepatis-richest-worth-rs-683-cr/)


එබැවින් මේ අතිශය දූෂිත බිඳ වැටීම් නාගරික මැද පංතිකයින් සීමා කරගැනීමට හදන විධායක ජනාධිපති ධූරයේ බලය හා මැතිවරණ ක්‍රමයේ වරදක් නොව, මේ විවෘත වෙළඳපල ආර්ථිකයේ උපන් ගෙයි දෝසයකි. එයට පිළියම් හෙවීමෙන් මෙපිට, මේ කිසිවකට විසඳුම් නැත.


ඉන් ගොඩ එන්නට, ආසන්න සිදුවීම් වල වැරදිකරුවන් සොයමින් හා අධිකරණ තීන්දු දෙස බලා සිටීමෙන් නොහැකිය. පාර්ලිමේන්තු මැතිවරණයකින් යම් තාවකාලික අස්වැසිල්ලක් ලැබීමට හැකි වනු ඇත. එහෙත් එයද වැඩි කල් නොගොසින් මෙවැනි පිලිකාමය අර්බූදයන්ට අපව ඇද ගෙන යනු ඇත. එය මේ විවෘත වෙළඳපල ආර්ථිකයෙහි වැළකිය නොහැක්කකි.


එනිසා මින් ගොඩ එන්නට අපි දීර්ග කාලීන විසඳුම් සෙවිය යුතුය. ඒ සඳහා මගේ යෝජනා වන්නේ


1. අසීමිත නිදහසක් සහිතව වෛශ්‍යා වෘත්තියෙහි යොදා ඇති විවෘත වෙළඳපල යම් හික්මීමක් විනයක් සහිත වෙළඳපලක් ලෙස විකල්ප ජාතික සංවර්ධන ප්‍රතිපත්ති රාමුවක් සමගින් ක්‍රියාවට නැගීම සහ ඒ වෙනුවෙන්


2. ජනතාව සක්‍රීයව හවුල්කර ගන්නාවූ පටිපාටික ප්‍රජාතන්ත්‍රවාදයක හිර නොකරන සක්‍රීය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරිත්වකට ඉඩ ලබා දෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කර ස්ථාපිත කිරීමට 2006 දී ආරම්භ කෙරුණු සර්ව පාක්ෂික නියෝජිත කමිටුවේ අවසාන වාර්තාව සමාජය හමුවේ තැබීම ය.

0 comments: