Hot!

මෛත්‍රී කළ යුතුව තිබුණේ කිසිවක් නොකර සිටීමයි


මෙම හිස් බවට අප බිය විය යුතු නැත. ඇත්ත වශයෙන් මෛත්‍රී විසින් කළ යුතුව තිබුණේ කිසිවක් නොකර සිටීමයි. නැත්නම් ජනාධිපති ලෙස තමා අත්විඳි ශුන්‍යතාවය සමස්ත තමන්ට චන්දය දුන් සෑම අයෙකුට ම පෙනෙන්නට සැලැස්වීමයි.







මහේෂ් හපුගොඩ

නිමකිරීම සඳහා තමන් විසින් ම මුල පිරූ සහ සාදා අවසන් කරන බවට තමන් විසින් සපථ කළ ගෘහය සහ එහි ගෘහ නිර්මාණය මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති වරයා විසින් ම මුලිනුපුටා දමා ඇත. කොජින් කරතානි ගේ වචනයෙන් කිවහොත් 'යහපාලන ගෘහ නිර්මාණය' විසංයෝජනය වී ඒ වෙනුවට මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රිපාල සිරිසේන සුසංයෝජනයෙන් නව නොසිතු විරූ සන්ධානයක් ඇතිවී ඇත. මේ හේතුව මත එකවර ම එක රැයකින් සුන්දර ගැමි මෛත්‍රිපාල සිරිසේන චරිතය රාක්ෂයෙක් බවට පත්ව ඇත (monster) යනුවෙන් හැදින්වුව හොත් එය නිවැරදිය. එය අප කිසිදා කිසිවිට නොසිතු දෙයක් ද නැත්නම් අපට පරිකල්පනය කරගැනීමට නොහැකි වූ රාක්ෂ ආගමනයක්ද නැත්නම් අපගේ ම විචිත්‍ර කල්පනාව (ෆැන්ටසිය) අසුන්දර ප්‍රකම්පන සිහිනයක් (ෆැන්ටස්මතිකය) බවට පත්වීමක් ද? යථාවේ ආපතික ඉස්මතු වීම පිළිබද සම්භාව්‍ය උදාහරණය මනෝ විශ්ලේෂණය පදනම් කර ගනිමින් මෑත කාලයේ දේශපාලන කතිකාව වෙත ගෙන ආවේ ස්ලාවෝයි ජිජැක් විසින් ය. ඒ සඳහා ඔහු භාවිතා කල උදාහරණය වුවේ 1975 වසරේ තිරගත වූ ජනප්‍රිය ඇමෙරිකානු චිත්‍රපටයක් වූ Jaws ය. එය අධ්‍යක්ෂණය කලේ අතිශයින් ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂක වරයෙක් වන ස්ටීවන් ස්පීල්බර්ග් ය. එම චිත්‍රපටයේ සිදුවන්නේ සතුටින් ඔබ මොබ මුහුදු වෙරළේ දුවමින් සිටින මිනිසුන් පිරිසක් වෙතට ලස්සන නිල් ජලය දෙබෑ කරගෙන මිණී මස් කන මොරෙකු ඉස්මතු වීමයි. අපට සතුට ගෙනෙන මුහුද විසින් ම අපගේ මරණය ද රැගෙන ඒමයි. සතුට නිසා අපට අමතක වූ දෙය අපට මුණ ගැස්වීමයි. ජිජැක් සදහන් කරන්නේ සත්‍ය සමාජ පසමිතුරුතා අමතක කර ජීවත් වන අප වෙත ස්වභාව ධර්මය විසින් ම යථාවක් ලෙස විනෝදයේ සීමාව රැගෙන එන බවයි. මෙයට තවත් උදාහරණයක් වන්නේ අතිශයින් ජනප්‍රිය 'ටයිටැනික්' චිත්‍රපටය යි. එහිදී ද කිසිදා විනාශ නොවෙන බවට බටහිර විසින් සපථ කළ මුග්ධ උදාන වාක්‍ය විසින් තම අහම උදුම්මවා ගත් කප්පිත්තා විසින් විශ්වයේ අනන්තයට තම නැව රැගෙන යාමට උත්සාහ කරන ලදී. ජැක් සහ රෝස් නැවේ අවරය මත ගත කරන ප්‍රමෝදයේ දර්ශනයෙන් අපට පෙන්වන්නේ එම අනන්තයට යන විශ්වීය ප්‍රමෝදය යි (කොස්මික ප්‍රීතිය). නිර්ධන පංතියේ ජැක් ගේ අනුරාගික ශරීරය හරහා (ගැමි මෛත්‍රී) සම්පුර්ණයෙන් මේ වනවිට හැඟීම් මියගොස් තිබූ බුර්ෂුවා මධ්‍යම පංතියේ රෝස් (නාගරික රනිල්) නැවත ජීවිතය ලබා ගන්නා අතර ඉන් පසුව ඔවුන්ට හමුවන්නේ ක්ෂිතියේ මොහොතයි. සිද්ධියට පසු දින නම් බදිව් හඳුන්වන දෙය යි. පරිකල්පනයේ මොනවා තිබුණ ද ඇත්ත ලෝකයේ හමුවිය නොහැකි බවයි (අද අප නරඹන ලාංකික චිත්‍රපටයේ දඹර අමිල හාමුදුරුවෝ තේරුම් ගැනීමට උත්සාහ නොකරන මෙම මනෝ විශ්ලේෂී මානය ඉතා වැදගත් ය). සියල්ල වෙනස් වන බව, විසංයෝජනය වන බව සහ විනාශ වන බවට වන පෙරදිග සත්‍ය ය විසින් කරනු ලබන්නේ අපරදිග ආත්මයට සීතල වතුර තුළින් මතුවූ අයිස් පර්වතයක් විසින් සත්‍ය ය මුණ ගැස්ස වීමයි. ලාංකික අපට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වරයා සත්‍ය ලෙස මුණ ගැසෙන්නේ මෙම ආපතික යක්ෂ නිමේෂයේ දී බව මාගේ වැටහීමයි. එනම් අප අමතක කර දමා සිටි යම් යම් පරස්පරතා එකවරම යථාවක් ලෙස ඉස්මතු වීම අප අමතක කරන්නේ ඇයි? මෛත්‍රිපාල මහතා විසින් ම සදහන් කරන සංස්කෘතික, දේශපාලන සහ ආකල්පමය අප සුළුවෙන් තකන්නේ ඇයි? ඉහත යථාවේ ආගමනයට බල පෑ රනිල් සහ මෛත්‍රී අතර පැවති සහ අප අමතක කර දමා තිබු ජාතිකත්ව දේශපාලනය, ජාතික සම්පත් විකිණීම, මුල්‍ය ප්‍රතිපත්ති, භාෂා වෙනස් කම් යන අති මුලික පරස්පරතා අප අමතක කරන්නේ ඇයි?

[caption id="attachment_21676" align="aligncenter" width="640"] විසංයෝජන ගෘහ නිර්මාණය (deconstructing architecture) වෙනුවෙන් ගූගල් ලබාදෙන එක් චායාරූපයකි. අප ඉදිරියේ දිග හැරෙන්නේ අප දන්නා ගෘහ නිර්මාණය වෙනුවට ගෘහය පිළිබද අපගේ මනස් චිත්‍රය විසංයෝජනය කරන භෞතික වටපිටාවකි. මේ වනාහී බුද්ධාගමේ රූපක නුතනත්වයට ගමන් කර ඇති එක් ආකාරයකි.[/caption]

මෛත්‍රි නම් ගැමි රෙද්ද බැනියම අඳින රූපය නොතිබුණා නම් අද යහපාලනය යනුවෙන් යමක් අපට අත්විඳීමට සිදු නොවන්නට ඉඩ තිබුණි. අද අප මොනවා කිව්වත් අප මහින්ද නම් අධිපති හෙජමොනික අවකාශය අව-හෙජමොනික කිරීම සඳහා තරඟකාරී ලෙස භාවිතා කලේ මෛත්‍රී ගේ ශරීරයයි. රනිල් ගේ ශරීරය මාකට් කිරීමට බැරිවීම නම් තත්වය සඳහා අප භාවිතා කලේ මෛත්‍රී ගේ ගැමි සඥාව යි. අපගේ එවක කතිකාව තුල පරිකල්පනීය ලෙස ඉස්මතු කලේ දේශීය මහින්ද වෙනුවට තවත් දේශීය අනුප්‍රාප්තිකයෙක් වූ මෛත්‍රී ය. එසේ අනුප්‍රාප්තික සඥාවක් නොමැතිව එවක කතිකාව හැසිරවිය හැකිව තිබුණේ නැත. එනයින් මෛත්‍රී ශරීරය දෙනු ලැබුවේ අමාරු ඓතිහාසික කාර්යයකට ය. අඩි හයේ කතාව එන්නේ මෙතැනදී විය හැකිය. මහින්ද වෙනුවට පැමිණි එම දේශීය බව තුළ ඔහු යම් යම් විශ්වීය කරුණු ප්‍රමාණයක් ද ඉස්මතු කළේය. ඒවා නම් ප්‍රජාතන්ත්‍රවාදය, මානව නිදහස, විධායක බලතල අඩු කිරීම, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම, ලෝකය තුල අපගේ ප්‍රතිරූපය පිරියම් කිරීම (mend) ඒවායින් සමහරකි. ඒ අර්ථයෙන් බටහිර ඇස (European gaze) පවා ඔහු වෙත ධනාත්මකව යොමු විය. දුන් පොරොන්දු වලින් සමහරක් ඔහු විසින් ඉෂ්ට කිරීමට උත්සාහ කලද බොහෝ දේ ඔහුට කළ නොහැකි විය. ඒ කුමන හේතු නිසාද යන්න මා දන්නේ නැත. කොළඹ දේශපාලනයෙන් ඈත ජිවත් වන මා සියල්ල දැන ගන්නේ වෙබ් මාධ්‍ය වෙතින් පමණක් වීම නිසා මාගේ ඥානවිභාගය සිමා සහිතය. මාධ්‍ය සහ ප්‍රවෘත්ති යනු මේ වනවිට කාගේ හෝ පදයට නටන නාට්‍යයක් පමණක් නිසා කිසිවක් විශ්වාස කල නොහැක. මෑතක මතුවූ ජනාධිපති ඝාතන නාටකය එවැන්නකි. මා එනයින් කිසිවක් හෝ කිසිවෙක් විශ්වාස නොකරන තත්වයට පත්ව ඇත. තොරතුරු යනු සමස්තතා අවකාශයක් ලෙස හඳුන්වන ජිජැක් පවසන්නේ මේ යුගයේ ප්‍රමුඛ පශ්චාත් නුතන තත්වය යනු තොරතුරු වල ආධිපත්‍ය පාලනය කිරීම යනුවෙනි (කියවන්න Did Somebody Say Totalitarianism? හි 250 පිටුව). කෙසේ වුවද යම් සාර්වත්‍රික කරුණු කිහිපයක් ඔස්සේ ලාංකික භුමිය තුළ ඉස්මතු වූ මෛත්‍රී ජනාධිපතිවරයා විසින් මේ වනවිට හාස්‍ය ජනක ලෙස ඔප්පු කරමින් පවතින්නේ යම් ඩෙරිඩියානු බෞද්ධ සත්‍යයකි. එනම් තමන් සතුව එක් නිශ්චිත, කේන්ද්‍රීය, ආත්මීය ස්ථාවරයක් නැති බවයි. මිනිස් මනස යනු සංකුල යකුන් නටන පිටියක් බඳුය (pandemonic playground) යන බෞද්ධ සද්භාවය වෙත විවේචනාත්මක වන ජිජැක් මෙම විශ්වීය විකේන්ද්‍රිය භාවය තුළ හමුවන හිස් බව ම (void) මිනිස් විෂය මුලිකත්වය ලෙස ලැකාන් නම් කරන බව පෙන්වා දෙයි (පිටුව 205). මෙම හිස් බවට අප බිය විය යුතු නැත. ඇත්ත වශයෙන් මෛත්‍රී විසින් කළ යුතුව තිබුණේ කිසිවක් නොකර සිටීමයි. නැත්නම් ජනාධිපති ලෙස තමා අත්විඳි ශුන්‍යතාවය සමස්ත තමන්ට චන්දය දුන් සෑම අයෙකුට ම පෙනෙන්නට සැලැස්වීමයි. පෙරදිග සද්භාවයට පරස්පරව බටහිර අර්ථයෙන් ස්වාත්මය (self) යන්න සම්බන්ද වන්නේ ස්වචන්ද තාවය (free will) වෙත බව ජිජැක් මෙහිදී පෙන්වා දෙයි. ඉදින් යකුන් නැටූ පිටියක ස්වභාවයෙන් මිදී තම ස්වචන්දතාවය ඔහුට භාවිතා කල හැකිව තිබුණේ තමා නිෂ්පාදනය කල දෙය තුළ ඇති අපරිපුර්ණ බව, නොහැකියාව සහ ශුන්‍යතාවය හෙළිදරව් කිරීම වෙනුවෙනි. නමුත් ඒ වෙනුවට ඔහු ප්‍රදර්ශන කළේ සමස්තතා රෝග ලක්ෂණයක්ය. ඔහු කළේ මහා අනෙකා (A Other) වෙනුවට කුඩා අනෙකෙක් (a other) තෝරා ගැනීමයි (පහත රූප සටහන බලන්න). බරපතල ම ගැටළුව නම් දෙවියන් නම් 'ශුන්‍යතාවය' වෙනුවට මහින්ද නම් 'අර්ථය' සොයා යාමයි (රනිල් ට වඩා අර්ථයක් මහින්ද තුළ ඇති බව ෆැන්ටසි ගත කිරීම). මිනිස් විෂයට විසඳා ගත නොහැකි ගැටළුව නම් අහම විසින් මෙහෙයවනු ලබන පරිකල්පනය යි. එම ෆැන්ටසි සම්බන්දය විසින් අපට කුඩා අනෙකුන් රාශියක් මුණ ගස්වනු ලබයි (රනිල්, මහින්ද, එස්. බි.). අප සාමාන්‍යයෙන් සිතන්නේ 'එයාට වඩා මෙයා හොඳ ඇති'. 'නැහැ, මෙයාට වඩා අනිත් කෙනා හොඳ ඇති' යනුවෙන් ය. නමුත් ඒ සෑම සම්බන්දයක්ම පරිකල්පනීය දෙයක් මිස සත්‍යය නොවේය. එකිනෙකා අතර සැමවිට ම ඇත්තේ ඩෙරීඩියානු වෙනසක් පමණ ය.

[caption id="attachment_21677" align="aligncenter" width="640"] කතිකාව ඔස්සේ විෂය විසින් අනෙකා සමඟ ගොඩ නගන පරිකල්පනීය සම්බන්දය පෙරළා විෂයේ අහම සමඟ සම්බන්ද වේ. කතිකාව අවසන් වී යථා ව මුණගැසෙන විට මිනිසා ට දෙවියන් අවශ්‍ය වේ (මහා අනෙකා A). දෙවියන් ඉදිරියේ එවිට අහම දියවී යයි. නමුත් දෙවියන් මියගිය ලෝකයක අපට හමුවන්නේ කුමක් ද? පෙරදිග අරුතකින් ගත්විට ඒ දෙය නම් ශුන්‍යතාවය යි. වෙනත් විදියකින් කිවහොත් ජැක් සහ රෝස් ගේ අනුරාගික සම්බන්ධයේ සත්‍ය අවසාන යයි. ෆැන්ටසියේ අවසානය යි. එවරස්ට් කන්ද තරණය කළාට පසු ශේෂ වන දෙය යි.[/caption]

සිදුවෙමින් පවතින දේවල් දෙස බලනවිට ජාක් ඩෙරිඩා යනු අපගේ ලෝකය තුල අතිශයින් වැදගත් දාර්ශනිකයෙක් යැයි වරෙක සිතේ. ලාංකික අප ඩෙරීඩා හඳුනා ගන්නේ 'ප්‍රවාද' සඟරාව හරහා ය. වඩාත්ම 'රැඩිකල්' දෙය බවට පත්වන්නේ කෙමර් රූජ් පන්නයේ ඝාතන නොව කිසිවක් නොකර සිටීම බව ලොවට මුල් වතාවට පැහැදිලි කර දුන්නේ ඩෙරීඩා ය (ඉහත පිටුව 154). ඩෙරීඩා ට අනුව ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ලබා දෙන ක්‍රිස්තු පොරොන්දුව (messianic promise) වනාහී හුදු සදාකාලික පොරොන්දුවක් පමණි. එය යථාර්තයක් බවට පත් කිරීමට නම් අප සිරගතව ඇති සදාචාර බන්ධනයෙන් නිදහස් විය යුතු බව ඩෙරීඩා පෙන්වා දෙයි. මාක්ස් පෙන්වා දුන් දෙය යථාර්තයක් කිරීමට නම් එය 'කිසිදු' ආර්ථික-දේශපාලන නියතිවාදයක් තුළ සිරගත නොකල යුතු බව ඩෙරීඩා උපුටා දක්වමින් ජිජැක් පෙන්වා දෙයි. එම මාක්සියානු අවසානය වෙත යනු පිණිස අප ඕනෑම දෙයක් අත්හදා බැලීමට සුදානම් විය යුතුය. නැතිනම් සිදුවන්නේ සදාකාලික පොරොන්දුවක් තුල අපට සුසුම් හෙලමින් ජිවත් වීමට පමණි. කිසිවකට එක් නිශ්චිත ක්‍රමවේදයක් නැත. රුසියාව තුළ සිදුවූ දෙය ම චීනය තුළ සිදු විය යුතු නොවේ. එසේ සිදු වන්නේ ද නැත. ඒ දෙකම ලංකාවේ සිදු කළ නොහැකි විය හැකිය. අප අපගේ ක්‍රම වේදයක් සොයා ගත යුතුය. ඒ සඳහා සංකේත පිළිවෙල උල්ලංඝනය කිරීමට සිදු විය හැක. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍ර වාදයෙන් එළියට බැසීමට සිදු විය හැක. ඒ අර්ථයෙන් මෛත්‍රී විසින් කළ දෙය නිවැරදි විය හැකි යැයි කෙනෙකුට තර්ක කළ හැකි වුවත් එසේ සිදු කිරීම සඳහා මෙතන උත්කර්ෂයට නංවන ප්‍රබන්ධය ගැටළු සහගත ය. නෛතික භාවයක් නැත්තේ එම ප්‍රබන්ධයට ය (fiction). මෛත්‍රී විසින් මෙම යහපාලන ආණ්ඩුව අවසන් කිරීම සඳහා කළ කතාව තුළ ඔහු ප්‍රකාශ කළේ තමා මරා දැමීමට එක්සත් ජාතික පක්ෂය කුමන්ත්‍රණය කළ නිසා මෙම ප්‍රකම්පන වෙනස සිදු කල බවයි. නමුත් මට ඇතිවන ප්‍රශ්නය නම් මෛත්‍රී යනු මෙතරම් මරණයට බිය කෙනෙක් ද යන්නය. මද්දුම බණ්ඩාර ඉපදුන රටක (අපේ අය තර්ක කරන්නේ මද්දුම බණ්ඩාර කුඩා නිසා මරණය යනු කුමක්දැයි නොදැන එම ප්‍රකාශය කළ බවයි. නමුත් ප්‍රශ්නය නම් අප අතීතයෙන් උගෙන ගන්නා පාඩම කුමක්ද යන්නය) තමා රැගෙන ආ පරම ආයුෂ වලින් තුනෙන් දෙකක් ගෙවා දරු මුණුබුරන් දැක ඇති මෛත්‍රී මෙතරම් තුවක්කු කරුවෙකුට බිය වන්නේ ඇයි? පරිකල්පනය තුළ ගතහොත් මෛත්‍රී සිටින තනතුරේ මා සිටියා නම් ෆොන්සේකා ගේ හෝ වෙනත් අයකුගේ ඝාතන කුමන්ත්‍රණය කණ වැකුණ සැනින් කරන්නේ කරන්නේ මහින්ද තුරුළට යාම නොව ජනාධිපති මන්දිරයේ ගේට්ටුව පසුකර පානදුර කොටුව බස් පාරට අවුත් බස් එකක නැඟී කොටුවට අවුත් බැස්ටියන් පාර දෙසට ගොස් මැනින් මාර්කට් එකේ අන්නාසි රුවන් ගෙන් අන්නාසි ගෙඩි දෙකක් ද රැගෙන බස් එකේ ගෙදර ඒමයි. එතුමා පොළොන්නරුවේ නිසා අවශ්‍ය නම් පරාක්‍රම සමුද්‍රය අසබඩ ඇති ගසක් යටට වී ඉහත තුවක්කු කරුගේ ඉලක්කයට වඩාත් නිරාවරණය වීමයි. යථාව ට මුහුණ දීමයි (encountering the Real). ශුන්‍යතාවය ට මුහුණ දීමයි. "මට චන්දය දුන් මිනිසුණි, ඔබගේ සිහිනය සැබෑ කර දීමට උත්සාහ කරන මා මරා දැමීමට රනිල් උත්සාහ කරමින් ඇත. මට දැන් ඇත්තේ ඔබ පමණය. යාමට වෙන තැනක් මට නැත. ඉදින් මම පොළොන්නරුවේ වැව් තාවුල්ලට පැමිණ ඇත. මා සමග එකතු වන්න. මරණයට මා බිය නැත. මා බියගුල්ලෙකු නොවේ". ඉහත තත්වය තුළ ඔය කියන තුවක්කු කරු මෛත්‍රී මරා දැමුවා වුවද ඔහු අමරණීය වනු ඇති බව මගේ විශ්වාස යයි. හැට දෙලක්ෂයක් මිනිසුන්ගේ සිහිනය පාවා දුන් මෛත්‍රී දැන් අමරණිය වන්නේ ඉතිහාසයේ කුණු බක්කියේ ය. ඉහත ප්‍රබන්ධය ඔස්සේ හැඟවෙන පරිදි ඔහු ලාංකික භුමිය තේරුම් ගෙන ඇත්තේ "පිටිසර ගැමි පෞද්ගලිකයි. රට අභ්‍යන්තරයි"* යන න්‍යාය ඔස්සේය. වරද ඇත්තේ එතැනය.

[caption id="attachment_21675" align="aligncenter" width="629"] මනමේ කුමරිය සතු අර්ථ කථනය නොහැකි ගුප්ත ආත්මය ඉහත කාටුනයෙන් මනාව පැහැදිලි වේ. මේ ලාංකික භුමියේ සත්‍ය යථාර්තයයි. 'සත්හඬ' පුවත්පත ඔස්සේ අප සමාජ ගත කිරීමට උත්සාහ කල මෙම ආසියාතික ගුප්ත බව පිළිබද ප්‍රවාදය අප ගේ මුහුණ ඉදිරියේම සත්‍යයක් වී ඇත. බටහිර ආශා කරන්නේ අපගේ මෙම තේරුම් ගත නොහැකි මනමේ කුමරිය විසින් ආරම්භ කරන ලද ලාංකික භුමියේ ස්ත්‍රී යථාර්තයට යි. අවසන් මොහොතේ කඩුව කා හට දේ දැයි දන්නේ දෙවියන් පමණි. අවම වශයෙන් මනමේ කුමරිය වත් එය දන්නේ නැත. ඉහත 'නොගැළපෙන කසාදයෙන් වෙන්වීම' යනු ගුප්ත ආත්මය සහ අත්තනෝමතික බව විසින් මෙහෙයවනු ලැබූ සයිකෝසික (බිය පදනම් කරගත්) ක්‍රියාවක ප්‍රතිඵලයකි. හේගල් මෙයට පාවිච්චි කරන වචනය නම් විඛ්‍යාත ෆැන්ටසි සම්බන්දය යනුයි (notorious fantasy dialectic - Dolar 1998: xxiv). ඒ අනුව මනමේ කුමරිය වැදි රජු සමග පවත්වන්නේ කණපිට ගැසූ ෆැන්ටසි සම්බන්දයකි. කඩුව වැදි රජ අතට දෙන මොහොත යනු ස්වයං-සවිඥානික මොහොතක් නොවේ. තමා යනුවෙන් සවිඥානික කෙනෙක් නැත (no self). ස්වඡන්දතාවයක් නැත. මනස තුළ ඇත්තේ ඇත්තේ යකුන් නැටූ පිටියක සංකුල පරාවර්තනයකි (pandemonic anxiety reflection). මේ බුද්ධාගම ගමන් කළ හැකි තවත් විපරීත දිශාවකි.[/caption]

ඉඳින් 'මේ සිංහල අපගේ රටයි' ලිපියේ සිට 'පශ්චාත් නුතනත්වය යනු කුමක්ද' (II) යන ලිපිය දක්වා මෙතෙක් මා විසින් පලකළ බ්ලොග් ළිපි මාලාව තුල මාගේ අරමුණ වුවේ ලාංකික දේශය යනු සුවිශේෂ භූමියක් (ground) බව පැහැදිළි කර දීමය. එම සුවිශේෂ බව තුල අප එය තේරුම් ගත යුත්තේ 'වෙනස්' (difference) සහ විසංයෝජනීය (deconstructive) තත්වයක් හරහා බවත්, ෂෙලිනියානු අර්ථයෙන් ලාංකික භුමිය තුල දේශපාලන කල යුත්තේ එම සුවිශේෂී ස්ත්‍රී අනියත බව (feminine uncertain ground) බව ඉතා හොදින් අවබෝධ කරගත් ඓතිහාසික දැනුම්වත් භාවයකින් යුතුව බවත් අප විසින් පැහැදිළි කෙරෙමින් පැවතියේය. ෂෙලින් ට අනුව භුමිය යනු යථාවකි. ඔහුට අනුව මිනිස් විෂයේ නිදහස සහ භුමියේ නිෂ්ක්‍රීය බව අතර පරතරයක් ඇත (gap). දර්ශනයේ කාර්යය යනු මේ දෙක සමහන් කිරීමයි. ඉහත ළිපි පෙළ ඔස්සේ ලාංකික භුමිය සකස් වී ඇති මානසික ස්ථර ගණනාවක් අපට හඳුනා ගත හැකි විය. පුර්ව ඓතිහාසික යක්ෂ ස්ථරය, ඒ මත අතිපිහිත වූ බුද්ධාගම, පශ්චාත් බෞද්ධ ථේරවාද අවධිය (අභයගිරිය මුලිනුපුටා දැමීම = මහායාන මර්ධිතය) සහ දුටුගැමුණු මහාවංශ පරිණාමය, ද්‍රවිඩ මිශ්‍ර වීම්, යටත් විජිත කරණය සහ පශ්චාත් යටත් විජිත අවධිය යනුවෙන් මනෝ විශ්ලේෂණය තුළ අර්ථ කතනය කළ හැකි අවිඥානික පරාවර්තනයන් ගණනාවක් අප පසුකර ඇත. එයින් වඩා බලවත් වුවේ යටත් විජිත මර්ධිතය යි. වෙනත් වචනයකින් කිවහොත් අපගේ අවිඥානය (මර්ධිතය) යටත් විජිත තත්වය විසින් සකස් කර ඇත යන්න මෙහි අර්ථයයි. අද වනවිට මේ තත්වය තේරුම් ගැනීම ඉතාම වැදගත් වෙමින් පවතින හේතුව නම් ලාංකික භුමියේ අරගල තුනක් පරාජය වීමේ භූමි හේතුව (වේදනාව) අප විසින් දේශපාලනිකව ගවේෂණ කළ යුතු තරම් දුරට යම් යම් තත්වයන් වර්ධනය වෙමින් පවතින නිසාය. අප අරගල කරන්නේ අපගේම අවිඥාණයට (සුදු ස්වාමියා) එරෙහි ව නම් එම අරගලය කරන්නේ කෙසේද යන්න ගැන අප දැනුම්වත් විය යුතුය. අප සෑම විටම අරගල කර ඇත්තේ සුදු ස්වාමියා අප වෙනුවන් සාදා නිමකර දුන් ව්‍යුහයකට එරෙහිවය. එම ව්‍යුහයේ ප්‍රධාන කුළුණක් නම් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය යි. අනෙක යටත් විජිත අධ්‍යාපනයයි. අනෙක පරිපාලන ව්‍යුහයයි. 71 අරගලය, 88-89 අරගලය සහ උතුරේ සන්නද්ධ අරගල යන තුනම බුර්ෂුවා පාර්ලිමේන්තු ප්‍රජාත්‍රන්ත්‍රවාදය (බදියු විවේචනය කරන) හමුවේ පරාජය වී ගියේය. ප්‍රජාත්‍රන්ත්‍රවාදය තුළ ම 56 ජාතිකත්ව අරගලය පවා ඉදිරියට ගලා ගියේ මහත් දුෂ්කරතා හමුවේය. 70 සිරිමා බණ්ඩාරනායක වැඩ පිළිවෙල පවා ප්‍රජාතන්ත්‍රවාදය තුල පරාජය විය. එවන් තත්වයක් තුල සුදු ස්වාමියා විසින් හදුන්වා දුන් ජන සම්මතවාදය (අප දන්නා ප්‍රජාත්‍රන්ත්‍රවාදය නම් මර උගුල - deadlock) පමණක් අවිඥානිකව ඉදිරියට යමින් පවතී. එය වෙනස් කිරීම හෝ එයට අභියෝග කිරීම පාපයක් යැයි අපේ සිතට කිඳා බැසීමට සලස්වා ඇත. ඉදින් පෙරේදා සිදුවූ 'ඔක්තෝබර් විප්ලවය' යැයි හදුන්වන ප්‍රෙහේලිකාමය ප්‍රපංචය අපට තේරුම් ගැනීම සඳහා ඉහත ළිපි මාලාව නැවත කියවීම ප්‍රයෝජන වෙතැයි සිතමු. වෙනත් වචනයකින් කිවහොත් අප සත්‍ය නිදහස සොයන්නේ නම් එසේ නම් අප 'ප්‍රජාතන්ත්‍රවාදය' යන ෆැන්ටසියෙන් ඔබ්බට යා යුතුය.

එසේ නම් මේ අප ඉදිරියේ 'ඔක්තෝබර් විප්ලවය' නමින් විපරීත ලෙස මේ ඉස්මතු වෙමින් පවතින්නේ භූමියේ යථාව ද යන ගැටළුව අප සැවොම ඉදිරියේ පෙනී නොපෙනී යයි. අප එතැනදී සංකේතීය පිළිවෙල නම් දෙන ලද බුර්ෂුවා මතුපිට (ප්‍රජාත්‍රන්ත්‍රවාදය) උල්ලංඝනය කර ඇත. ෂෙලින් කියන්නේ දුක් විදීමේ සදාකාලික විෂම චක්‍රය පුර්ව නුතන (පුර්වජ) පියාගේ මැදිහත් වීම විසින් ඛණ්ඩනය කරනු ලබන බවයි. එවිට එසේනම් මෛත්‍රී යනු පුර්වජ පියා ද? එසේ වුවද මෙතැනදී කිව හැක්කේ අපට සුදු ස්වාමියා ගේ ප්‍රජාත්‍රන්ත්‍රවාදී බන්ධනයෙන් තවමත් ගැළවිය නොහැක යන්නයි (නමුත් මාවෝ මෙහිදී සාර්ථක විය. ඔහු ප්‍රජාතන්ත්‍රවාදයෙන් ඔබ්බට ගියේය). අපගේ අවිඥාණයේ මාලිමාව තවමත් සුදු ස්වාමියා සතුය. ඔවුන්ගේ ආශාවේ ෆැන්ටසි සීමාව අප වනවිට අපගේ ආශා සීමාව ඔවුන්ය (ඔවුන් කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය නැවත පිහිටුවන ලෙසයි. නමුත් ඒ 'ප්‍රජාතන්ත්‍රවාදය' නිසා කිසිම විදියකින් අපගේ ජීවිත බිංදු මාත්‍රයකින් වත් වෙනස් නොවීම ගැන ඔවුන් කිසිවක් කියන්නේ නැත). ඔවුන්ට අපව වෙනස් කිරීමේ ඇත්ත ආශාවක් නැත. අනෙක් අතට ඔවුන්ගේ ආශා වස්තුව ට වඩා යමක් වීමට අපට ද වුවමනා නැත. වෙනත් විදියකින් කිවහොත් ඔවුන්ට වඩා අපට ආශා කළ නොහැක. මෙම ආශාවේ සීමාව ප්‍රකට කරන වර්තමාන රෝග ලක්ෂණය හෙළිදරව් වන තැනක් නම් සියළු වමේ ලේඛකයින් 'ප්‍රජාතන්ත්‍ර වාදය' ඉල්ලා මරාගෙන මැරීමට ඉදිරිපත් වීමයි. නමුත් මාවෝ හෙළිදරව් කළ සත්‍යය නම් නිදහස ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදයට ඔබ්බෙන් ය යන්නය. එනම් තරණය කළ යුතු වන්නේ අපගේ ම ෆැන්ටසියේ සීමාවයි. වෙනත් විදියකින් කිවහොත් අප කළ යුතු වන්නේ මාවෝ කළ දෙය ඊටත් වඩා හොඳින් කිරීමට කිරීමට උත්සාහ කිරීමයි. නමුත් මේ සිදුවෙමින් පවතින දෙය විසින් අප වඩා නිදහසක් වෙතට ගෙන යාවිදැයි සැක සහිතය. මන්ද නිර්මාල් රංජිත් පවසන ආකාරයට මෛත්‍රී විසින් මහින්ද තෝරා ගන්නා විට ඔහු එය කරනු ලබන්නේ තමා ලැබූ ජනවරමට පිටින් ය. මහින්ද යනු හැට දෙලක්ෂයේ පරමාර්ථ වලට තවදුරටත් එරෙහිව සිටින දේශපාලන චරිතයකි. ඔහු තම ස්ථාවරය තවමත් වෙනස් කරගෙන නැති තත්වයක් තුළ මෛත්‍රී විසින් කර ඇත්තේ අසික්ෂිත වැඩකි. එය පිළිකුල් සහගතය. නිර්මාල් නිවැරදිව සඳහන් කරන පරිදි රනිල් සමඟ ගමන් කළ නොහැකි බව සත්‍යයක් වීය හැකි නමුදු තමා ලැබූ ජනවරමට පිටින් මෛත්‍රී මහින්ද වෙතට ගමන් කිරීම සදාචාරවත් කටයුත්තක් නොවේ (ජනවරම ගැන එතරම් සවිඥාණික ඔහු එම ජනවරමට ම සතුරු ගෝඨා වෙනුවෙන් කඩේ ගියේ ඇයි දැයි නොකියයි. කෙසේ වුවද ගෝඨා යනු තවමත් ජනතා බලවේගයක් විසින් යම් ව්‍යාපෘතියක් වෙනුවෙන් බලයට පත් කළ අයෙක් නොවේ). නමුත් කිසිවක් කරකියා ගත නොහැකිව තමා වෙත පැමිණෙන මරණය වැළඳ ගැනීම යනු එවන් සදාචාර විරෝධී දෙයක් නොවේ. ඉහත තත්වය වෙනස් ම විදියකට වරනැගුවහොත් කිව හැක්කේ 'ස්වාමියා මරණය තෝරා ගන්නා බව හේගල් පැවසුවත් මෛත්‍රී තෝරා ගෙන ඇත්තේ ප්‍රෙහේලිකාවේ පාර්ශවය යි' යන්න ය (මනමේ කුමරිය කළ දෙය - despotic dilemma). නමුත් ප්‍රෙහේලිකාව වෙනුවට චේ තෝරා ගත්තේ මරණයයි. ආදරය ඇතුලත මනමේ කුමරිය පවා තෝරා ගත යුතුව තිබුණේ මරණය මිස අන් කිසිවක් නොවේය. මෙයින් මා කියන්නට අදහස් කරන්නේ මෙවන් දෙයකි. එනම් අපගේ භුමිය ගුප්ත භුගෝලයක් වී බටහිර අමරණීය භූමියක් වන්නේ ඉහත වරණය (choice) ඔස්සේ ය යන්න ය. එසේනම් මා මේ දක්වා ඉදිරිපත් කළේ මෙම නව තත්වය හමුවේ චින්තක රණසිංහ විසින් උච්චාරණය කිරීමට උත්සාහ කරන දෙයට ඩෙරීඩියානු ව්‍යතිරේකයකි (Derridian supplement).

'ඔක්තෝබර් විප්ලවය' යනුවෙන් හදුන්වන ඉහත ගැටළුකාරී තත්වය හමුවේ ලාංකික දේශපාලන ව්‍යාපාර නායකයින්, විචාරකයින් සහ ක්‍රියාකාරීන් බොහෝ දෙනෙක් ප්‍රජාත්‍රන්ත්‍රවාදය වෙනුවෙන් සටන් වැද ඇති අතර විශ්වීය අර්ථයකින් මිනිස් නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින්නෙක් සහ විශ්වාස කරන්නෙක් ලෙස එම සටන වෙනුවෙන් පෙනී සිටීමේ අවශ්‍යතාවයක් මේ වනවිට මතුව ඇත. මාගේ පරම්පරාව දේශපාලනය වෙනුවෙන් ජීවිතය කැප කළේ උතුම් අරමුණු වෙනුවෙන් වන අතර ඔවුන්ගේ සිහිනය වුවේද යහපත් ලෝකයක් ය. එම සිහිනයේ නාමයෙන් අප දේශපාලනයේ සදාචාරය වෙනුවෙන් පැහැදිළිව පෙනී සිටිය යුතු බව විශ්වාස කරමි. මහින්ද රාජපක්ෂ ගේ අත්තනෝමතික බවට සහ ප්‍රාදේශීය වාදයට එරෙහිව සහ යහපාලන පරමාර්ථ වෙනුවෙන් චන්දය දුන් කෙනෙක් ලෙස මට එම අයිතිය ඇත. 'ප්‍රජාතන්ත්‍රවාදය' යන්න සත්‍ය මිනිස් නිදහස යන ප්‍රපංචයේදී ගැටළු සහගත බව සත්‍ය වුවත් යුක්තිය සහ සාධාරණය පිළිබද විශ්වීය අදහස එම ප්‍රේහේලිකාව ට වඩා වැදගත් යැයි විශ්වාස කරමි.

October 30th, 2018

*'පිටිසර ගැමි පෞද්ගලිකයි. රට අභ්‍යන්තරයි' යන කතාව මා හට මුලින්ම ප්‍රකාශ කලේ මා මිත්‍ර අමරසිරි වික්‍රමරත්න මහතා විසින් ය. එක්තරා තරුණයෙක් විදෙස් ශිෂ්‍යත්වයක් ලබා විදෙස් ගතවීමට පෙර තම පණ්ඩිත මානී සීයා හමුවී ආශීර්වාද ලබා ගැනීමට ගියේය. පිට රට යන තම මුණුපුරා හට නිකම්ම නිකම් ආශීර්වාද කරනු වෙනුවට හරබර ගැඹුරු යමක් කීම මැනවයි සිතු සියා ඉහත වැකිය කිවේය. සාමාන්‍යයෙන් ගැඹුරු යමක් සැමවිටම එක්වරම නොතේරෙන ලෙස සහ පරස්පර ලෙස ඇති නිසා තරමක් මෝඩ සහ උද්දච්ච සීයා සිතුවේ වචන ටිකක් නොතේරෙන ලෙස එහෙට මෙහෙට දමා කිවහොත් එය දාර්ශනික ලෙස පෙනෙනු ඇතැයි කියාය. කෙසේ වුවද අද අප ඉන්නා ගුප්ත ආසියාතික සන්දර්භය තුළ ඉහත වැකිය අර්ථවත් වීමට පවා පුළුවන.

ආශ්‍රිත ග්‍රන්ථ:

Dolar, M. (1998). The Sultan's Court: European Fantasies of the East (Alain Grosrichard). London & New York. Verso.

Karatani, K, (1995). Architecture as Metaphor: Language, Number, Money. Cambridge. MIT Press.

Zizek, S. (2011). Did Somebody Say Totalitarianism? Five Interventions in the (Mis)use of a Notion. London & New York. Verso.

0 comments: