Hot!

ආඥාදායකයා වහා පලවා හැරිය යුතුය

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙන ආ 19 වැනි සංශෝධනයේ සද්භාවීය අරමුණ වන ජනාධිපතිවරයාගේ අත්තනෝමතික හැසිරීම වැළැක්වීම යන්න, වර්තමාන ජනාධිපතිවරයා සිය ක්‍රියා කලාපය හරහා උල්ලංඝනය කරමින් සිටීමයි. ඔහු මේ අපයෝජනය කරමින් සිටින්නේ, ඔහු ජනපති ධුරයට පත් කිරීම සඳහා සිය ඡන්දය භාවිත කළ ජනතාවගේ ජනමතයයි. ජනමතයට සපුරා පටහැනිව අද ඔහු කටයුතු කරමින් සිටින්නේ කුරිරු ගුණමකු ආඥාදායකයකු ලෙසිනි.

සතියේ සිකුරාදාව ළඟා වෙන විට වෙනදා නම් යම් සහනදායී බවක් සිතට දැනුණත් පසුගිය ඔක්තෝම්බර් 26 වෙනිදායින් පසුව එළඹුණු සෑම සිකුරාදාවක් ම මෙරට ප්‍රජාතන්ත්‍රවාදී නිදහස අගයන ජනතාව මහත් අසහනයට සහ කම්පනයට පත් කළේය. තවත් සිකුරාදාවක් එළඹෙමින් තිබේ. පසුගිය අඟහරුවාදා ලබාදුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය සහ බදාදා රැස්වූ පාර්ලිමේන්තුවේ විශ්වාසභංග යෝජනාව මගින් පරාජයට පත්කරන ලද ප්‍රජාතන්ත්‍ර විරෝධී බලවේග පිළිබඳව ඇති කරගත් යම් සහනශීලී සිතුවිල්ලකින් නින්දට යාමට සැරසුණු සැනින් නැවතත් ජනාධිපතිවරයා තම මුග්ධ ආඥාදායකත්වය විදහාපාමින් කතානායක වරයාට ලිපියක් යැවීය.


රජයේ උත්තරීතර නෛතික ලියවිල්ල වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ ආකාරයෙන් හෑල්ලුවට ලක් කළ වෙනත් කිසිදු ලාංකීය නායකයෙකු මගේ මතකයේ නැත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යනු එහි වචනාර්ථයන්හි එල්බ ගත් අවස්ථාවාදී දේශපාලකයන්ගේ ස්වාභිමතය ඉටු කිරීමට යොදා ගන්නා අත්තනෝමතික ලියවිල්ලක් නොවේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අර්ථ නිරූපණය කිරීමට නූගත් ජනාධිපතිවරයෙකුට හැකි නම්, ඒ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය කුමකට ද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීමේ බලය ශ්‍රේෂ්ඨාධිකරණයට පැවරීම තුලින් බලාපොරොත්තු වන ප්‍රධානම කාරණය වන්නේ නීතියේ රන් රෙගුලාසි (Golden rules) වලට යටත්ව රාජ්‍යයක උත්තරීතර නීතිය විවරණය කිරීමයි. එනම්, කිසියම් නීතියක් පැනවීමේ පරම අරමුණ කුමක්ද යන්න සහ එම නීතිය හරහා සද්භාවයෙන් අපේක්ෂා කරන්නේ කුමක්ද යන්න පිළිබඳව දැක්විය යුතු අනිවාර්ය අවධානයයි.
අද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇතැම් වචනවල තිබෙන අඩුපාඩු සොයමින් ඒවායේ එල්ලී තම අවස්ථාවාදී පටු දේශපාලන අරමුණු මුදුන්පත් කරගැනීමට උත්සාහ කරන ජනාධිපතිවරයාත්, ඔහු වටා සිටින බලලෝභීන් සහ නීති උපදේශකයනුත් හිතාමතාම මග අරින්නේ පරමාදර්ශී ලෙස සැලකෙන මෙම රන් රෙගුලාසි පිළිබඳ මූලධර්මය යි.


මෙහිදී අවධානයට ලක් කළ යුතු කාරණා දෙකක් තිබේ. පළමුවැන්න නම්, ජනාධිපතිවරයා පුනරුච්චාරණය කරන ආකාරයට පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇතැයි තමා කල්පනා කරන අයෙකු අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කළ හැකි බැවින් 2015 ජනවාරි 8 වෙනිදා කළ පරිදිම ඔහු කැමැති පුද්ගලයා අග්‍රාමාත්‍ය ධුරයට පත් කළ බවත්, ඒ සඳහා ආණ්ඩුවේ බහුතරයක් පෙන්වීම අවශ්‍ය නොවන බවත්ය. මෙය නම් යහපාලනය ගෙන ඒමට ශපථ කළ ජනතා නියෝජිතයකු විසින් සිහිනයකින්වත් කළ යුතු ප්‍රකාශයක් නොවේ. ඔහු මේ උත්සාහ කරන්නේ, යහපාලනය ගෙන ඒමට මුල් වූ සද්භාවී දේශපාලන වටපිටාව, දැන් ඔහු විසින් ම ඇති කර තිබෙන දූෂිත අවස්ථාවාදී දේශපාලන ව්‍යාකූලත්වය සමග සමාන කිරීමට උත්සාහ දැරීමයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙන ආ 19 වැනි සංශෝධනයෙන් අපේක්ෂා කරන ලද්දේ විධායක ජනාධිපතිවරයාගේ අසහාය බලතල අඩු කිරීමට මිස වැඩි කිරීමට නොවේ. එබැවින් ජනතා ඡන්දයෙන් පත්වූ පාර්ලිමේන්තුවේ උපරිම විශ්වාසය දිනාගත් අගමැතිවරයෙකු සිටියදී, තමා කැමති වෙනත් අයෙකු හිටි අඩියේ අගමැති ධුරයට පත් කිරීම දරුණු අඥාදායකත්වයක් මිස, ප්‍රජාතන්ත්‍රවාදයේ කිසිදු මූලධර්මයකට අදාළ කළ නොහැකිය.


දෙවැනි කාරණය වන්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙන ආ 19 වැනි සංශෝධනයේ සද්භාවීය අරමුණ වන ජනාධිපතිවරයාගේ අත්තනෝමතික හැසිරීම වැළැක්වීම යන්න, වර්තමාන ජනාධිපතිවරයා සිය ක්‍රියා කලාපය හරහා උල්ලංඝනය කරමින් සිටීමයි. ඔහු මේ අපයෝජනය කරමින් සිටින්නේ, ඔහු ජනපති ධුරයට පත් කිරීම සඳහා සිය ඡන්දය භාවිත කළ ජනතාවගේ ජනමතයයි. ජනමතයට සපුරා පටහැනිව අද ඔහු කටයුතු කරමින් සිටින්නේ කුරිරු ගුණමකු ආඥාදායකයකු ලෙසිනි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෙන්ම ජනතා පරමාධිපත්‍යය දිගින් දිගටම නොසලකා හැරීම තුළ ජනාධිපතිවරයා පෙන්වන මෙම ආඥාදායකත්වයට පිළිතුරු දිය යුත්තේ ද ජනමතයෙන් ම ය.


එබැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ජනමතය අවස්ථාවාදී දේශපාලකයන්ට අවශ්‍ය ආකාරයෙන් අර්ථකථනය කරගත හැකි මෙවලම් බවට පත් කර ගැනීමට එරෙහිව, වගකිවයුතු ලාංකීය පුරවැසියන් ලෙස ආඥාදායක ජනාධිපතිවරයා පලවා හැරීමට වහා පෙළගැසිය යුතු ව තිබේ.


ආචාර්ය ඉන්දි අකුරුගොඩ
රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයනාංශය
රුහුණ විශ්වවිද්‍යාලය

0 comments: