Hot!

71 කැරැල්ලේ සරත් විජේසිංහ භූමිකාව

වෛද්‍ය රුවන් එම් ජයතුංග


71 කැරැල්ලේ තිස් පස් වැනි විත්තිකරු වූ සරත් විජේසිංහ කෑගල්ලේ දිස්ත්‍රික් නායකයාය. ඔහු කැරැල්ල පවතින අවස්ථාවේදී අත් වැරැද්දකින් පත්තු වූ වෙඩිල්ලක් නිසා මරුමුවට පත් වූ බව වාර්තා වී තිබේ. සරත් විෙජ්සිංහ පිළිබඳව හා ඔහුගේ මරණය ගැන පිළිවෙලින් ඔහුගෙ සොහොයුරිය වු ජුලියට් හාසොහොයුරා වූ ඥාණතිලක ගේ විස්තර ප්‍රකාශ වල අඩංගු වේ.


සරත් විජේසිංහගේ බාල නැගණිය. ඇය තම සොයුරා පිළිබඳ මතකය මෙසේ අවදිකරන්නීය.


මම විප්ලවවාදී ව්‍යාපාරෙට ඇදිලා ගියේ 1969 විතර ගෙදර පරිසරය තුළින්. මම එතකොට පාසල් ශිෂ්‍යාවක් අපේ ගෙදර විප්ලවවාදී පාසලක් වෙලයි තිබුණේ. හැමදාම සරත් විෙජ්සිංහ අයියාගේ කාමරයේ ඔහු වටකරගෙන මිනිසුන් ඔහුට ඇහුම්කන් දුන්නා. මට අපේ අයියා සරත්විෙජ්සිංහගේ බලපෑම තියෙන්න ඇති. ඒ වගේම අපේ ගෙදර නිතරම දේශපාලනය ගැන කථා වෙනවා සාහිත්‍ය කළාව ගැන කථා කරනවා. ඉබේටම අපි විප්ලවාදි චින්තනයකට හුරු වුනා. එයා එතකොට පේරාදේණිය විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශයේ විශේෂ උපාධිය සඳහාඉගෙනුම ලැබුවා.


බොහෝ විෂයයන්ට ඔහු ඉතා දක‍ෂයි. වැඩිම ලකුණු ලබා විශේෂ උපාධිය සඳහා (අවුරුදු හතරක්ම) ඔහු තේරිලා හිටියේ. අයියා විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් අතර ජනප්‍රිය නායකයෙක්. ලංකාවේ ගොඩාක් විශ්ව විද්‍යාල හා පාසල් සිසුන් එක්ක සබඳතා තිබුනා. විප්ලවීය ව්‍යාපාරයක් සඳහා ඒකරාශී කරමින් සිටියා. ඔහුට දක්ෂ කථා විලාශයක් තිබුණා. පුදුමාකාර විධියට ජනතාව ආකර්ශණය කර ගැනීමට ඔහුට හැකිවුණා. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සමාජවාදි ශිෂ්‍ය සංගමයට ඔහු පණ දුන්නා.


1967 විතර පනතක් ගේන්න හැදුවා විශ්ව විද්‍යාල ප්‍රවේශයට ඉංග්‍රීසි අනිවාර්ය කරලා. මේක ගම් වල ඉංග්‍රීසි අධ්‍යාපනය නොලැඛෙන ළමයින්ට කරන අසාධාරණයක් නිසා අයියා ඒකට විරුදධව උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කරා. සෑම පාසැලකටම පනතට එරෙහිවෙන්න කියලා ලීෆ්ලට් ඛෙදුවා. අයියාට විෙජ්වීර මුණ ගැසුනාට පසු මේ ව්‍යාපාරෙ එකක් බවට පත් වුනා.


1970 කෑගල්ලේ රැස්වීමකට විෙජ්වීර ආවා. ඒ ඇවිත් පැයක් විතර අපේ ගෙදර ගත කලා. එදා තමයි මම විෙජ්වීර දැක්ක මුල්ම දවස. ඔහුගේ පින්තූරය මංගල රැලියේදී විකුණූ එක ගැන මට අප්‍රසාදයක් තිබුණා. පුද්ගලාභිවාදනය වැරදියි කියලා මම සරත් අයියාට කිව්වා. අපි විෙජ්වීර එනකන් බලාගෙන හිටියා. අපේ ව්‍යාපාරයේ ලොකු මහත්තයා ආවා කියලා කට්ටිය උනන්දුවෙන් හිටියා. විෙජ්වීර දැක්කම මට විශේෂ භක්තියක් ඇති වුනේ නැහැ. විෙජ්වීරගේ සමහර දේවල් මට ඇල්ලූවේ නැහැ. ඒත් විෙජ්වීරගේ කථා තුළින් අනිත් අයට වගේ ආකර්ශනයක් මටත්තිබුණා.


1966 ඉඳන්ම විශ්ව විද්‍යාල ජාලයේ විප්ලවීය මහා ව්‍යාපාරයක් ගොඩ නඟන්න ශක්තිමත් කරන්න බොහෝමත්ම ඉවහල් වූ නායකයා සරත් විෙජ්සිංහ අයියා.


විෙජ්වීරට විශ්ව විද්‍යාලවල ජාලය ශක්තිමත් කරන්න උදව් කළේ සරත් අයියා. අයියා ව්‍යාපාරයට කැප වෙලා හැල්මේ දුවමින් වැඩ කළා. ඒ කාලයේ ව්‍යාපාරය හැඳින්වූයේ චේගුවේරා කල්ලිය, කිරි කජු කොල්ලන්ගේ කල්ලිය වැනි නම් වලින්. එය සාමුහික නායකත්වයේ එකතුවක්. එයපසුව විෙජ්වීරගේ නායකත්වය යටතේ දේශපාලනය ව්‍යාපාරයක් බවට පත් වුණා.


1971 මුලදි එයට JVP යන නම ආවා. කොළඹ හයිඩ්පාක් එකේ පැවති අපේ විශාල රැස්වීමට අපි කෑගල්ලෙන් බස් අරගෙන ගියේ. ඒ රැස්වීමේදී අයියාට එච්චර තැනක් දීලා තිබුනේ නැහැ. එහිදි මම දැක්කා විෙජ්වීරගේ පින්තූර විකුණනවා. මට හිතුනා මේක විප්ලවවාදියෙකුට නුසුදුසුලාමක දෙයක් කියලා. පුද්ගල වන්දනාව ගැන මට ප්‍රසාදයක් තිබුනේ නැහැ. මම රැස්වීම ඉවර වෙලා අයියාට මේ ගැන කියලා මගේ අප්‍රසාදය පළ කරා. අයියා මගෙ කට අතින් වහලා නිශ්ශබ්ද වෙන්න කිව්වා.


මට හිතෙනවා විෙජ්වීරට අයියා කෙරෙහි ඊර්ෂ්‍යාවක් තිබුනා කියලා. එයා අයියාව දැක්කේ තර්ජනයක් විදිහට. දවසක් කෑගල්ලේ පන්තියකදි විෙජ්වීර අයියාගේ වටේ අනිත් සහෝදරවරු ලෙංගතුව වටවෙලා ඉන්නවා බලාගෙන හිටියේ ඊර්ශ්‍යාව පිරුණු දෑසකින් මේක මට නිරීක‍ෂණයවුණා. අපි මතභේද පැත්තකට දාලා වැඩ කරා පන්ති පැවැත්තුවා.


අපි ආයුධ එකතු කරා. ඇසලමුල්ලෙ ගුණරත්නගේ මඩුව ඇතුලේ බෝම්බයක් අත්වැරැද්දකින් පුපුරලා අපේ සහෝදරවරු පස් දෙනෙක් මළා. ගුණරත්නගේ කකුලක් තිබ්බේ ගහක් උඩ. මම එතකොට හිටියේ බලපන්නාවේ. අපිට සද්ද ඇහුණා. ඉක්මනින් අපි කට්ටිය ගිහිල්ලා පොලිසියඑන්න පෙර හඟවලා තිබ්බ බෝම්බ වෙන ආරක්ෂිත තැන් වලට ගෙනිච්චා. පිපිරුමෙන් තුවාල වෙච්ච කාගම උපතිස්ස බස් එකක එල්ලිලා නෙළුම්දෙනියේ ගුණසේකරගේ ගෙදරට ගියා. සරත් අයියා කාගමට ප්‍රතිකාර සඳහා කුරුණෑගලට පිටත් කෙරෙව්වා.


මට බුලත්කොහුපිටිය වරකාපොල පොලිස් කොට්ඨාශ බාර දීලා තිබුනේ. මගෙ මිතුරිය සුජාතා හඳගමට රඹුක්කන කොට්ඨාශය. අපි එකට වැඩ කළා. 1971 ඔක්තෝම්බර් මාසය විතර දිස්ත්‍රික් කාන්තා නායිකාවන්ගේ රැස්වීමක් මහරදී පැවැත්වුවා. 71 විප්ලවයට සූදානම් කරන 2 වනරැස්වීම වනාතමුල්ල ඔස්මන් අයියලාගේ ගෙදර තිබ්බා. මමයි සුජාතා හඳගමයි ඒකට ගියේ පොඩ්ඩක් ප්‍රමාද වෙලා. ගෑණු ළමයි 70 විතර හිටියා. විෙජ්වීර තමයි දේශනය පැවැත්තුවේ.


අපි දෙන්නව දැකලා විෙජ්වීර කිව්වා අනෙක් කාන්තා සාමාජිකයන්ට වඩා මට වඩාත්ම විශ්වාස කෑගල්ලෙන් ආ සහෝදරියන් දෙන්නා කියලා. මට හිතුනා ඒක බොරු වර්ණනාවක්. ඒ වගේම නායකයෙකුට උචිත නොවන දෙයක් ඇයි එහෙම දෙයක් අනෙකුත් කාන්තා සාමාජිකයන්ඉදිරිපිට කිව්වම ඒ අය මන්දොත්සාහි වෙනවනේ.


ඒ රැස්වීමේදි අපිට විෙජ්වීර කිව්වා අරගලයට සූදානම් වන්න කාන්තා පක්ෂයට විශේෂ වැඩ කොටසක් තියනවා තුවාලකරුවන්ට ප්‍රතිකාර කරන්න, ෆ්ලේවින් පැඩ්ස් හදන්න, පිටගැස්මට එන්නත් ලබාගන්න. ටෙට්‍රසයික්ලින් වගේ ඛෙහෙත් සුදානම් කරන්න කියලා. තව කිව්වා අද හෙටමපහර දෙනවා සැම අයෙකුම තමන් වගකීම දරන දිස්ත්‍රික්කවල ඉන්න ඕනේ. පොලිසියට අත්අඩංගුවට පත් වෙන්න දෙන්න එපා යම් ලෙසකින් කවුරුහරි විප්ලවයට පෙර අත්අඩංගුවට පත් උනොත් අප සලකන්නේ හිතාමතා අහු උනා කියලා. මෙහෙම කථා කර කර ඉන්න කොටසී.අයි.ඩී. එකෙන් එනවා කියලා පණිවිඩයක් ආවා අපි විසීරී ගියා.


මේ රැස්වීමෙන් දවස් කිහිපයකට පස්සේ විෙජ්වීර අම්පාරේදි පොලිස් අත්අඩංගුවට පත් උනා. මට මතක් උනා. විෙජ්වීර දින කිහිපයකට කලින් කියූ ප්‍රකාශය. මම ඒක සරත් අයියාට කිව්වා.


මේ වෙන කොට මර්ධනය උග්‍රයි. නෙළුම්දෙණියේ ගුණවර්ධන ඇතැළු පස්දෙනා මිය ගියාට පසු, අපේ ගෙදර පූර්ණ කාලිනයෝ 4 ක් හිටියා.
මට ගෙදර අතහැර යාමට සිදු වී තිබුණා. අප්‍රේල් 5 දා මම බලපත්තාවේ සෙනවිරත්නලාගේ ගෙදර හිටියේ. අපි ප්‍රහාරය දියත් කළා කෑගල්ල පොලිසිය හා දිස්ත්‍රික්කයේ අනෙකුත් පොලිසි බොහොමයකටම අපි ප්‍රහාර එල්ල කළා. කෑගල්ල පොලිසියට පහර දෙන්න යන කොටපොලිිසියේ කට්ටිය පොලිස් ගොඩනැගිල්ල අත්හැරලා වත්තේ ගස් උඩ ඉඳලා තියෙන්නේ. අපෙ සාමාජිකයෝ පොලිස් ගොඩනැගිල්ලට යන කොට උඩ ඉඳගෙන වෙඩි තියලා. කෑගල්ල පොලීසිය වටකල අය කිහිපදෙනෙක් මිය ගිය බව අසන්නට ලැබුණා. බොහෝ දෙනෙක් සී සී කඩගොස් තිබුණා. සරත් අයියාත් මගේ මල්ලිත් පසුදින බලපතAතාවට පණ බේරාගෙන ඇවිත් තිබුණා.


ප්‍රහාරයේදි සටන් නායකයා ලෙස පත් කරලා තිබුනේ කාගම උපතිස්ස. කාගමගේ ඒ වෙන කොට ( නෙළුම්දෙණියේ ) බෝම්බ පිපිරීමෙන් ලත් තුවාල සුව වෙමින් තියනවා. එයාගේ අතේ නියපොතු පවා ඇඹරිලා තිබුනේ. මට ප්‍රහාරයට සම්බන්ධ වෙන්න අවශ්‍ය කරා. කාගම කිව්වාකාන්තාවන්ට පාර දෙපස ආරක්ෂාව බලා ගන්න ප්‍රහාරවලට සම්බන්ධ වෙන්න කට්ටිය වැඩියි කියලා. කියුබාවෙ චේලාට අපිට වගේ ඇති තරම් කොල්ලෝ හිටියෙ නැහැ. ඒකයි සහෝදරියෝ ගත්තෙ කියලා විහිළු කළා.


මම සරත් අය්යාට මගේ කැමැත්ත කිව්වාම එයා කිව්වා කාගම සටන් නායකයා එයාගෙ නියෝගයට අවනත වෙන්න කියලා. කාගම උස මහත සද්දන්ත කෙනෙක් ඒ වගේම ප්‍රසන්න පුද්ගලයෙක්. මම කාගමගේ අණ පිරිදි ක්‍රියා කළා. බලපත්තාවේ විල්සන් අයියලගේ මිදුලේ රතුහමුදාව නමින් තෝරාගත් කණ්ඩායමක් තුන්දෙනා බැගින් පෙල ගැසුවා. එයට කිසිම ගැහැණු ළමයෙකු ඇතුළත් කරගත්තේ නැහැ. රතු හමුදාව බුලත් කොහුපිටිය රුවන්වැල්ල යටියන්තොට ආදී ප්‍රදේශ හරහා ගොස් ලොකු බලකායක් කෑගල්ල පොලීසියට පහර දෙන්න ගියා.


මම අන්තිමට සරත් අයියා දැක්කේ අප්‍රේල් 7 දා ඔවුන් මඟදී ආයුධ ගන්න බෝගල පතලට ගියා. ගිහින් ඩයිනමයිට් එකතු කළා. අයියා පතලේ කම්කරුවන්ට කථාවක් පවත්තලා තියනවා. කම්කරුවොා් පඩි ඉල්ලල තියනවා. සරත් අයියා කම්කරුවන්ගේ පඩි ගෙවන්න කියලා පතලේ පාලකයන්ට නියෝග කළා.


සරත් අයියා මැරිලා තියෙන්නේ අප්‍රේල් 9. අත්වැරදීමකින් වෙඩි වැදිලා කියලා තමයි කීවේ. බලත්කොහුපිටිය ගැටියමුල්ලේදි නිමල් ග්ලැඩියස් පෙරේරා කියන ස්ටැෆඩ් එකේ ඉගෙන ගත්ත ශිෂ්‍යයෙකුගේ අතින් තමයි තුවක්කුව පත්තු වෙලා තියෙන්නේ. මට අයියාගේ මරණේ කියන්නඑපා කියලා ලොකු අතුල කණ්ඩායමට කියලා තියනවා. අයියාගේ මරණෙA මම දැනගත්තේ අපි පසු බසිනකොට, අප්‍රේල් 29 විතර දවසකි. සමරේ අයියා කෑගල්ලට ආවාට පස්සේ.


අප්‍රේල් 9 සුජාතාටයි මටයි කොළඹ ගිහිල්ලා තොරතුරු බලාගෙන එන්න කියලා ලොකු අතුල කිව්වා. අපි බස් එකේ කොළඹ ගියා. අපි හිතුවේ කොළඹත් කෑගල්ල වගේ සටන් තියනවා කියලා. කොළඹ ඉස්සර වගේමයි වෙනසක් නෑ. මට අසුභ හැගීම් ආවා සටන අසාර්ථකවේවිද කියලා. අපි තනිවම විප්ලවය කර ඇති බවක් හැඟුනා. අපි TDගේ ගෙදරයි නිමල් කියලා අයෙක්ගේ (මහර) ගෙදරයි දැනගෙන හිටියෙ.


අපි ටී. ඩී. සිල්වාගේ ගෙදර හොයාගෙන ගියා ඒ ගෙදරට යන පාර අමතක වෙලා ඒ අසල තිබ්බ වෙනත් ගෙදරකට ගිහිල්ලා ටී.ඩී. සිල්වාගේ ගෙදරට යන පාර ඇසුවා. ඒ ගෙදර අය බයවෙලා කිව්වා ටී. ඩී. සිල්වාගේ ගෙදර මුර දාලා. යන අයව අල්ලා ගන්නවා. ඉක්මනට අපිට යන්න කියලා. මමයි සුජාතයි නිමල් කියලා සාමාජිකයෙකුගේ ගෙදර ගියා. නිමල්ගේ අම්මලා අපිව පිලි අරගෙන කන්න බොන්න දීලා නිමල් එනතුරු ඉන්න කියලා. ඒත් එයා ගෙදර ආවෙ නැහැ. අපි රේඩියෝ එකේ නිවුස් ඇහුවා. එතකොට නිවේදනය කළා නිමල් බාර වෙලා කියලා. එයාගෙ අම්මලාකලබල උනා.


එතන ඉන්න එක සුදුසු නැති නිසා අපි උදේ ආපසු කෑගල්ලට එන්න බස් එකක නැග්ගා. දංඕවිට හරියේදි බස් එක නැවැත්තුවා. හමුදාවෙන්. පාරේ බොම්බ හයි කරලා කියලා වාහන ධාවනය නවත්තලා. මහපාරේ පරාල ඇණයක් ගහලා තිබ්බා ඒක බොරුවට හදපු බෝම්බයක්. රාජ්‍යහමුදාව නොමඟ යවන්න කියලා මට නම් තේරුණා. ඒත් සියලූම වාහන එතනින් එහාට යාමට බයවුණා. මම පයින්ම මගේ ප්‍රදේශයක් වූ අත්තනගල්ලට ගියා. එහෙ හිටියා ව්‍යාපාරයට සම්බන්ධ ගෑණු ළමයෙක්. ඒ ගෙදරට මම ගියා. ඒ ළමයාගේ තාත්තා මාව ඒ ළමයා එක්ක වේයන්ගොඩ ගෙදරකට පිටත් කළා. එතකොට අපිට ආරංචි උනා නිට්ටඹුවේ අපේසාමාජිකයන් 5 මරලා පුච්චනවා කියලා. ඉන් එක් අයෙක් ශිෂ්‍යාවක්. එයා අපේ සාමාජිකාවක්. අපි රෑ වේයන්ගොඩ ගෙදර හිටියා. එයාලා ව්‍යාපාරයට හරියට දොස් කියන කට්ටියක්. උදේ කෑගල්ලට ආවා. මෙහෙම අප්‍රේල් 29 දා දක්වා මම හිටියේ බලපත්තාවේ.


අපි කෑගල්ලේ ලොකු ප්‍රදේශයක් අල්ලාගෙන හිටියේ කෑගල්ල නගරය හැර මුළු දිස්ත්‍රික්කයම අප යටතේ පවත්වාගෙන යමිනුයි අපි හිටියෙ. අපේ සාමාජිකයො සිය ගානක් නිදහසේ සන්නද්ධව එහා මෙහා ගියා. පස්සේ අපිට ප්‍රහාරය දැඩි උනා. හමුදාවෙන් පහර දෙන්න පටන් ගත්තා. හෙලිකොප්ටර් වලින් බෝම්බ දැම්මා.


අප්‍රේල් 25 විතර වෙන කොට නායක කමිටුව සාකච්ඡාවක් තිබ්බා. බෝල සමරේ කිව්වා අපි විල්පත්තුවට පසු බහිමු කියලා. පසු බහිනකොට ප්‍රසිද්ධියේ දේශපාලනය කර තිබූ කට්ටිය තේරුවා. මම, සුජාතා හඳගම, පුෂ්පා, ලීලා තේරුනා. අනෙක් අය තම තමන්ගේ ප්‍රදේශවලට ගියා. අපේ කණ්ඩායමේ ගෑණු ළමයි 4 දෙනයි. සමරේ. වසන්ත පැටි්‍රක් ලොකු අතුල ෙජ්මිස් සිරා ගුණපාල විෙජ් එහෙම හිටියා. මුලදි 200 විතර හිටියා. ක්‍රම ක්‍රමයෙන් කට්ටිය විසිරිලා ගියා. කෑම හිඟයි. අපි ගෙන ගියේ අවි ආයුධ පමණයි. අමාරුවෙන් විල්පත්තු බලා පසුබහින්න ගත්තා. රෑ 12 වනතුරු මගේ පොඩි අයියාගේ නායකත්වයෙන් යුතු ප්‍රදේශය වූ බුලත්කොහු පිටිය රුවන්වැල්ල, කරනවැල්ල, යටියන්තොට, උඳුගොඩ යනාදි ප්‍රදේශවල සොයුරු කණ්ඩායම එනතෙක් රැඳුනා.


මගේ පොඩි අයියා ජස්ටින් හිටියේ බුලත්කොහුපිටියේ කටයුතු බාරව. එයා පසු බහින කොට මැයි මාසයේදි නාරම්මලදි හමුදා වෙඩි පාරකින් මැරිලා තියනවා.


රාත්‍රියේ අපි මාඩවිට පන්සල් භූමිය තෙක් ආවා. නාරම්මල දී සුජාතා හඳගමට වෙඩි වැදුනා. ඒක උනෙ මෙහෙමයි. තේක්ක කැලේක රෑ හත හමාරට විතර. එයා සුනිෆෝම් එක මාරු කරලා සායක් ඇඳගෙන ටොයිලට් යන්න කැලේ ඉස්සරහට ගිහිල්ලා තියනවා. එතකොට හමුදාවෙන්බඩගාගෙන ඇවිල්ලා වෙඩි තිබ්බා. සුජාතාගේ බඩට වෙඩි වැදිලා තිබ්බා.


අපි පහත් වෙලා හිටියේ. හමුදාවෙන් වට කරලා වෙඩි තියනවා. මම ලඟම හිටියා මා නාඳුනන සාමාජිකයෙක් එයා නැගිටලා තොපිට යටත් වෙන්නේ නෑ මැරුනත් කියලා කෑ ගහලා කිව්වා. එතකොට එයාගෙ පපුවට වෙඩි වැදුනා. වෙඩි පාර කාගෙන විප්ලවයට ජය වේවා කියලා එයාඇදගෙන වැටුනා. වෙඩි වරුසාවට මා හිටිය කුඩා ගල්කුල පතුරු ගැලවී විසිවුනා. ඒ පතුරු වැදී මගේ අතේ තැනින් තැන සිදුරු වී තිබුණා.


රෑ වෙන කොට හමුදාව උපක්‍රමිකව යන්න ගියා. අපිව තේක්ක කැලේ තනි කරලා. මම සුජාතාව හෙව්වා. එයා වෙඩි වැදිලා වැටිලා හිටියේ ජුලි ඔයා අඬන්න එපා ධෛර්යයෙන් ඉන්න ඕනෑ කිව්වා. අපි තුවාලෙට ෆෙලේවින් පැක් තිබ්බා. ඒත් තේරුණා එයාගේ තත්වේ බරපතල බව. තවඅපේ සහෝදරවරු කිහිප දෙනෙක් මැරිලා තැන් තැන් වල වැටිලා හිටියා. පණ අදින අය ළඟට ගිහින් එයාලගේ හිස මගේ ඔඩොක්කුවට අරං සැනසිලි වදන් කිව්වා. බෙහෙත් පෑඩ් තුවාලවලට තියලා අල්ලගන හිටියා. මගේ අත්වල වියලි ලේ පතුරු වශයෙන් පහුවදා ගැලවුනා.


සුජාතා පහුවදා වෙනකං පණ අල්ලාගෙන හිටියා. මට කිව්වා ප්‍රථමාධාර කට්ටල දැන් මගේ භාරයට ගන්න කියලා. ප්‍රථමාධාර ගැන සමහර උපදෙස් මට දුන්නා. පාන්දර 4.30 ට පමණ එකවරම සුදුමැලි වුනා. එයා අපි වට වෙලා ඉද්දිම වසන්ත දිසාගේ අත උඩ පණ ගියා. අපි මිනියවලලන්න උදැල්ලක් ගේන්න අසල ගමට සාමාජිකයෙක් පිටත් කරා. එයාව හමුදාවට අහුවෙලා හමුදාව ඔහු කැටුව අපිට ගහන්න ආවා. අපි සුජාතාගේ මිනිය රෙද්දක ඔතලා අකුලක් යට තියලා ඉක්මනට සමු ගත්තා. යලිත් අපිට වෙඩි තියනවා. අපි වෙඩි වරුසාවෙන් බේරෙන්න අකුල්අස්සේ පැටලි පැටලි දිව්වා.


පස්සේ මට ආරංචි උනා හමුදාවෙන් සුජාතාගේ මිනිය ගෙනිහිල්ලා එයාගේ තාත්තාට පෙන්නලා බොඩිය හඳුනාගෙන වල දැම්මා කියලා. කොණ්ඩෙ දිග ගැහැණු ළමයෙක් මැරිලා කියලා රාවයක් පැතිර ගිහින් තිබුණා. අපි මඩහපල කන්දෙන් පසු බසිද්දී අපේ පිරිස දෙසීයකට ආසන්නවුනා. කෑගල්ල, කුරුණෑගල කණ්ඩායම් පල්ලෙකැලේට පසුබසිනවිට කෑම නැති නිසා අපේ කට්ටියක් මැල්සිරිපුරට ගිහිල්ලා සමූපකාර හා කඩ කඩලා ලොරියක බඩු ගෙනාවා. හමුදාව ඒ ලොරියේ ටයර් පාරවල් ඔස්සේ අපිව හොයාගෙන ඇවිත් වටකරලා ප්‍රහාර එල්ල කළා. අපිට කෑම හරියට කා ගන්නවත් විදිහක් තිබුනේ නැහැ යළිත් පසුබසින්න ගත්තා. පල්ලෙකැලෙන් අපි ගල්ගිරියා කන්දට පසුබැස්සා.


මඩහපොලට යන කොට ඒක නිදහස් ප්‍රදේශයක් පොලිසිය හමුදාව නැහැ. අපි ඇලක් දිගේ එන කොට ගම්මු අපිට අඹ, පේර වගේ පළතුරු උඩ ඉඳලා ඇලට විසිකරනවා කන්න. ඒ වගේම ගම්මු අපට කෑම උයලා දුන්නා. අපි සතියක් විතර එහේ හිටියා. අපි ගමේ ගෙවල්වලට ගියා. අපේඅරමුණු පැහැදිලි කලා. ඔවුන්ගේ දැඩි ආදරයට මාව බඳුන් වුණා. අළුත් ගවුම් මට අඳින්න දුන්නා. අපි පල්ලේකැලේ පැත්තට ගියා. බඹරගලදි සොල්දාදුවෝ ආපසු අපිව වට කරා. හමුදාවෙන් වෙඩි තියනකොට පැට්ටි්‍රක් ප්‍රනාන්දුට වෙඩි වැදුනා. බඹරගල මුදුනේ වසන්ත දිසානායකසෙබලූන්ට දේශනයක් කරා. අපේ සටනේ අරමුණ කිව්වා. ඒක පස්සේ හැඳින්නුවේ කන්ඩඋඩ දේශනාව කියලා. නැවැත යළිත් අපි සුරක්ෂිත ප්‍රදේශ කරා පළා ගියා.


අපි හිටියේ කැලේ කෑම හිඟයි. සැක්වල තිබ්බ කෑම ටික ටික කෑවා. ගල්ගිරියාගම දි ලීලාට මැලේරියා උණ හැදුනා. ඒ නිසා මාව තව 15 ක පිරිසක් එක්ක එහේ නැවත්තුවා. ලීලාගේ සාත්තුව කලේ මම මං ඇගේ රෙදි සෝදල පිරිසිදුවට තියලා ඛෙහෙත් පොවලා සනීප කරගන්න එහේ අපිසති 3 විතර හැංගිලා හිටියා. ලීලාට සනීප උනාට පස්සේ අපිට විල්පත්තුවට යන්න ඕනකම තිබුනා.


විල්බට් සහ සමරේ දිනක් (1971 අගෝස්තු පමණ) ඇවිල්ලා තිබුනා අපිව විල්පත්තුවට ගෙනියන්න අපි විල්පත්තුවට ගියේ වෑලියාව කියන ගම හරහා ඒකේ ඉන්නේ රොඩී කුලය ලෙස කොන් කෙරුණු මිනිස්සු. අපි ඔවුන්ගෙ කෑම බීම රස කර කර කෑවා. මේ පුංචි ළමයි ගෙනියන්න එපා. අපි බලාගන්නම් කියලා ඔවුන් සහෝදරයන්ගෙන් ඉල්ලා සිටියා. ඒ අය අපට හොඳින් සැලකුවා. කුරක්කන්, පිට්ටු කරිවිල හොඳි එක්ක කන්න දුන්නා. කාලෙකට පස්සේ ලැබිච්ච හොඳම කැම එක. ඒ ගමේදි මට එක මිනිහෙක් සාස්තරයක් කිව්වා. මේ ප්‍රහාර වලදි ඉදිරි කාලයේ මගේජීවිතයට මාරකයක් තියනවා. මම මැරෙන්නත් පුළුවන්. ඒ නිසා මාව මේ ගමේ තියල යන්න කිව්වා.


අපි විල්පත්තුවට ගියා. විල්පත්තුවේ අපේ සාමාජිකයන් හිටියා. පක්ෂය නැවත ගොඩනැගීම ගැන පුලූල් ප්‍රථම සාකච්ඡාව පැවැත්වුණා. මේ වෙන කොට අප්‍රේල් කැරැල්ල ඉඳන් මාස 6 විතර ඇති. අපිට ආහාර සපයා ගැනීම දුෂ්කර උනා. ඒ නිසා 10 කණ්ඩායම් හදලා සංචාරක ගරිල්ලාකණ්ඩායම් ලෙස කැලේ සැරිසැරුවා හේන් වලින් කෑවා. අපේ සැක්වල මාඕ සේතුං ලෙනින්ගේ පතපොත තිබුණා. වරින් වර විප්ලවය අසාර්ථක වීමට හේතු සන්සන්දනය කරමින් සිතුවා. අපි දවසකට එක වේලක් පමණයි ආහාර ගත්තේ. ටින් එකක තේ උණුකලා.


1971 දෙසැම්බර් 5 දා පුත්තලම කැලේ දී මගේ කකුල් දෙකටයි උකුලටයි වෙඩි වැදුනා. ජූලි නැගිටලා දුවන්න කියලා කෑගහන හඬින් මම නැගිටලා අමාරුවෙන් දිව්වා. මම පහරියේ හේන් යායකට බඩගාගෙන හමුදාව මඟ ඇරලා ගියා තනිවම. මාත් එක්ක හිටපු සාමාජිකයා කොහේදකියලා හොයන්න බැරිවුණා. (මෙම පුද්ගලයා බදුල්ල ඉස්පිරිතාලේ රසායනාගාරයේ සේවය කළ ආනන්ද ගමගේ ය. වෙඩි පහරින් ආනන්ද ගමගේ මිය ගියේය. - කතෘ)


මට සරත් අතුකෝරාළ මුණගැහුනා. ඔහු මාව වත්තන් කරගෙන ගෙනිච්චා. මම මග දමලා එයාට යන්න කියලා කොච්චර කිව්වත් එයා මාව දමලා ගියේ නැහැ. අපි පන්සලක් ලඟට අවා. මාව ගහක් යට තියලා එයා පන්සලට ගියා. පන්සලේ හිටියෙ තරුණ හාමුදුරුවෝ නමක්. හාමුදුරුවෝබය වෙලා පන්සල අත්හැරලා ගියා. මම තුවාල පිටින් දවස් දෙක තුනක් කැලේ ගහක් යට වැටිලා හිටියා. මගෙ කකුලේ මස් කුණුවෙනවා. තරුණ හාමුදුරුවන්ගෙන් මගේ විස්තර අහපු පුලියන්කුලම රජ මහ විහාරයේ ප්‍රේමරත්න නායක හාමුදුරුවෝ ආවා. තරුණ හාමුදුරුවෝ උදැල්ලකුත් අරගෙනයි ආවේ මේ වන කොට මම මැරිලා මාව වලලන්න හිතාගෙන.


ප්‍රේමරත්න හාමුදුරුවො විමලරත්න හාමුදුරුවන්ට කීවා මාව ඔසවාගෙන පන්සලට ගෙනෙන්න කියලා. ප්‍රේමරත්න හාමුදුරුවෝ මාව පන්සලේ තියාගෙන ඛෙහෙත් කරා. මට සනීප උනා. පස්සේ කාලෙක මම හාමුදුරුවෝ බැහැ දකින්න ගියා. ඒත් එදා හාමුදුරුවෝ පිටට වැඩලා. දැන්වසර කිහිපයකට ඉහතදි හාමුදුරුවෝ අපවත් උන බව දැනගන්නට ලැබුණා.


අපි සංචාරක ගරිල්ලා කණ්ඩායමක් හැටියට 1975 දක්වා හිටියා. ලංකාවේ විවිධ කැළෑ වල පක‍ෂය නැවත ගොඩගැනීමේ උත්සාහය සමඟ හිටියා. වරින්වර කොළඹත් ආවා. මම බාර උනේ නැහැ. අනිත් අය ගැන සොයා බැලූවා. 71 කැරැල්ලේ දී අහුවුනෙත් නැති නායකත්වයේ සිටි එකමකෙනා මමයි. 1975 මගෙන් කට උත්තරයක් ගන්න එන්න කියලා මගේ මල්ලි අතේ ඉයන් වික්‍රමනායක පණිවිඩයක් එවලා තිබුනා. ඒත් මම ගියේ නැහැ. මට හිතුනේ මං කලේ මට අයිති දෙයක් මිස වැරදි දෙයක් නොවේ කියලයි. ඒ නිසා මගේ තීරණේම හිටියා.


1977 ජේ.ආර්. බලයට ආවාම දේශපාලන සිරකරුවන් නිදහස් කරාම යළිත් මම නිදහස් ලෝකෙට ආවා. යළිත් වරක් දේශපාලන වැඩ වලට සම්බන්ධ වෙන්න මට කැමැත්තක් තිබුනේ නැහැ. කොහොමටත් අපිව නෙරපලයි තිබුනේ. මේ වන විට විෙජ්වීර අරගල කල කණ්ඩායමද්‍රෝහීන් බව කියා ව්‍යාපාරයෙන් නෙරපූ බව දන්වා තිබුණා. අයියාගේ මරණය ගැන මට තිබුනේ සැකයක් විජේවීර ගැනත් මුල සිටම මට තිබුණේ අප්‍රසාදයක්. ඒ නිසා අයියාගේ මරණය ගැන මම ඔහුව සැක කලා. ඔහු සරත් අයියාට කළ නොපනත්කම් මගේ හිත වාවාගන්න බැරුවගියා. ඔහු ගැන මරණය සම්බන්ධ කරමින් හිතුවා. ඒ නිසා මම ව්‍යාපාරයෙන් අයින් උනා.


ඒකාලේ අපි කැපවෙලා වැඩ කරා අසීරු අවස්ථා එද්දි ඒවා මඟ ඇරියේ නැහැ. මට මතකයි කැරැල්ලට පෙර මම නෙළුම්දෙනියේ පිපිරීමෙන් ඉතිරි වූ බෝම්බ කූඩයක දාගෙන ඊට උඩින් එළවළු දාගෙන ප්‍රවාහනය කළා. පොලිසිය ඇවිල්ලා මගින්ගේ බඩු බාහිරාදිය චෙක් කෙරුවා. මම බයනැතුව හිටියා. මාව පුංචි ළමයෙක් සේ ඔවුන්ට පෙනුනා නිසා වෙන්න ඇති ඔවුන් මාව චෙක් කලේ නෑ. අපේ කැප කිරීම් ගැන දැන් මටම හිතාගන්න බැහැ. අපි හරියට කෑමක් බීමක් නැතුව පංති කරමින් දිස්ත්‍රික්කය පුරා ඇවිද්දා. මුළු දිස්ත්‍රික්කයම අපට ආදරය කළා. සරත් විෙජ්සිංහ ගැනඅද අළුත් පරපුර දන්නේ නැහ. ඔවුන් කට්ටිවාදින් අරවාදීන් මේ වාදින් කියලා පොත් ලියවිලා තියනවා. මම පුදුමයි ඔහු ගැන ඔවුන් නොදන්නා තරම. මිනිසුන්ට ආදරය කළ නියම විප්ලවවාදියෙක් හැටියට අයියා මගේ හදවතේ තාම ජීවත් වෙනවා. ලංකාවේ විවිධ තැන්වලින් එයාට ආදරයකරන අය නිතරම තාමත් අසන්නට ලැබෙනවා. මම ඔහු හා මගේ පුංචි අයියා ජස්ටින් ගැන අදත් ආඩම්බර වෙනවා. 1971 කැරැල්ලේ වීරයින් ලෙස ඔවුන් නම් කරන නිසාදෝ එංගලන්තයේ විශ්ව විද්‍යාල ආචාර්යවරයකු වන David Rampton ඔහුගේ බිරිඳට ලංකාවේදී 1998 දී පමණඋපන් දෙවෙනි පුතාට සරත් රැම්ටන් නම යෙදූ බව මට දන්වා එවා තිබුණා. බොහෝ රටවල සමාජ විද්‍යාඥයින් සරත් ගැන දන්නා බව දැනගත් විට මට දැනෙන්නෙ සැනසිලිදායක හැඟීමක්.


සමාජවාදී විප්ලවයේ අරමුණ "අවි බලය ලෝකයෙන් තුරන් කිරීම" වුණත් ලෝකයේ අත් දැකීම් දෙස බලන කළ අවිගත් විනාශකාරී ලෝකය වෙනස් කිරීමට අවි ම ගැනීම නිසා මව්වරුන් විසින් බිහි කොට දුක්විඳ ගොඩනඟා ගත් ජීවිත දෙපාර්ශවය විසින්ම විනාශ කරන අයුරුපෙනෙන්ට තිබෙනවා. අවිය රජ කරන ලෝකය කෙසේ වෙනස් කළ හැකිදැයි ප්‍රශ්නයක් පවතිනවා. කෙසේ හෝ මේ අවිගත් ලෝකය වෙනස් කළ යුතු යයි මම එදාමෙන්ම අදත් විශ්වාස කරන නමුදු එය මෛත්‍රියෙන් කළ හැකි වෙතැයි මා අද සිතනවා.


*******


සරත් විෙජ්සිංහගේ මරණය කැරළිකරවන් අතර ඇති කරන ලද්දේ විශ්මය මුසු ව්‍යාකූලතාවකි. ඔහුගේ මරණය කුමන්ත්‍රණ න්‍යායන් කිහිපයකට උපත දුන්නේය. සරත් විෙජ්සිංහගේ මරණය පිළිබඳ සත්‍ය සොයා ගිය ගමනේදි එය සිදුවූ අවස්ථාවේදි එහි සිටි ඔහුගෙ කනිටු සොහොයුරා ඥානතිලක විෙජ්සිංහ හෙවත් ඥානේ මල්ලී සම්බන්ධ කර ගැනීමට මට ඉඩ ප්‍රස්තාව ලැබුනි. වසර 37 ඉහතදි කෑගල්ලේ සරත් විෙජ්සිංහගේ මරණය සිදුවූ ආකාරය ඥානතිලක විෙජ්සිංහ මහතා මට කියූ අයුරින්ම පාඨකයාට ඉදිරිපත් කරමි.


සරත් විෙජ්සිංහ මගෙ අයියායි. එයා මට වැඩිය අවුරුදු 6 විතර වැඩිමල්. කෑගල්ලේ දිස්ත්‍රික් ලේකම් විදිහට. සරත් අයියා කටයුතු කලේ. එයාට යම් යම් රිදවීම් නායකත්වය විසින් කළ බව සමහර විටක එයා කරපු කථාවලදි මට තේරුම් ගියා. ඒත් සරත් අයියා ඒ ගැන සැලූනේ නැහැ. තමන්ට පැවරුණු වැඩ හොඳින් කරගෙන ගියා. එයාට විට්ලිං ඔෘ කියල පෙම්වතියක් හිටියා මතකයි. විට්ලිං වාද්දුව පැත්තෙ කෙනෙක්. මේ මෑතකදී එයත් මිය ගිය බවට මට ආරංචි උනා.


සරත් අයියාගේ මරණය සිද්ද උනේ 1971 අප්‍රේල් 7 දින ගැටියමුල්ල පාසලේදි. මේ අවස්ථාවේදි මමත් ලඟ හිටියා. E.C.P සෙනෙවිරත්න අළුත් සාමාජිකයන් පිරිසකට තුවක්කුවෙන් වෙඩි තියන හැටි කියා දෙමින් ඉන්න කොට සරත් අයියා ඒ අසලින් ගියා. ඒ යන කොට නිමල්ග්ලැඩියස් කියන කෙනාගේ අතේ ති්බුණු තුවක්කුව වැරදීමකින් පත්තු උනා. ඒ වෙඩිල්ල සරත් අයියාගේ කම්මුල ප්‍රදේශයට වැදිලා එයා වැටුනා. මම දුවලා ගිහිල්ලා සරත් අයියාව මගේ උකුලට ගත්තා. මට තේරුණා ඒ වෙන කොට සරත් අයියා මිය ගිහින් බව.


මේ සිද්ධිය වුනේ දවල් වරුවේ. හමුදාව අපිට ප්‍රහාර එල්ල කරන්න ඉදිරියෙන්ම එන බවට ආරංචි ලැබුනා. අපි ගස් කපලා පාරවල් හරස් කරලා තිබුනේ. හමුදා වාහන ඒ බාධක ඉවත් කරගෙන ලඟ ලඟම එනවා. ඒ නිසා අපිට හරි හැටි අවමංගල උත්සවයක් පවත්වන්න බැරි උනා. ඉක්මනටම ගැටියමුල්ල පාසලේ ඩෙස්ක් පුටු කිපයක් ගලවලා පෙට්ටියක් හැදුවා. ඒ පෙට්ටියේ සරත් අයියාව දාලා ඉස්කෝල පිට්ටනියේ වැලලූවා. ඒ කරලා අපි පසු බසින්න ගත්තා.


සරත්ගේ මරණය තමන්ගේ තුවක්කුවෙන් පත්තු වෙච්ච උන්ඩයකින් සිදුවීම ගැන නිමල් ග්ලැඩ්යස් හිටියෙ හරිම සිත් වේදනාවෙන්. එයා බිම පෙරලි පෙරලි අඬන්න ගත්තා. එයාටත් වෙඩි තියන්න කියලා මොර දුන්නා. අයියාගෙ මරණය නිසා මම දුකට හා කම්පනයට පත්වෙලා හිටියේ. ඒත් කරන්න දෙයක් නැහැ. ඉතිරි සාමාජිකයන් එක්ක පසු බසින්න පටන් ගත්තා. මාව අත්අඩංගුවට පත් උනේ 1971 මැයි මාසේ රුවන්ගිරි කන්දේ දි. ඊට දින 2 විතර කලින් මගේ අනෙක් සහෝදරයා වන ජස්ටින් හමුදා වෙඩි පහරින් තුවාල ලබා මලා. ජස්ටින් අපි එක්ක පසු බැස්සා. එතකොට එයාට වෙඩි වැදිලා තියනවා. මම එයාගේ මිනිය දැක්කේ නැහැ. ඒත් එයාට තුවාල වුනු වෙලාවේ ගලපු ලේ පාර දැක්කා. එතකොට මට තේරුණා ජස්ටින්ට ජීවත් වෙන්න ලැබෙන එකක් නැහැ කියලා.


මාව අත්අඩංගුවට අරගෙන මාසයකට විතර පස්සේ සරත් අයියා වලලපු තැන පෙන්නන්න කියලා පොලිසිය මට නියෝග කලා. සරත් විෙජ්ංසිහගේ මරණය ස්ථීර කර ගැනීමට පොලිසියට අවශ්‍ය වෙලා තිබුනා. මාව සොල්දාදුවෝ දෙදෙනෙක් ගැටිය මුල්ල ඉස්කෝලෙට උස්සගෙන ගියා. මොකද මට පහර දිලා යටි පතුල් තුවාල වෙලා ඇවිදින්නවත් බැරි නිසා.


මම සරත් අයියා වලලපු තැන ඒ අයට පෙන්නුවා. කෙනෙක් යකඩ කූරක් ගහලා බැලූවා. එතකොට එ අයට තේරුනා මෙතන තමයි වලලලා තියෙන්නේ කියලා. පස්සෙ මාව රැගෙන ගියා. මිනිය ගොඩ ගන්නකොට මාව ලඟ තියා ගත්තේ නැහැ. මෙහේ සති 4 විතර ගියා. යළිත් මාවකෑගල්ලෙ පොලීසියට ගෙනාව. සරත් අයියාගෙ කියලා මිනී ඔළුව පෙන්නුවා. මට ඒක හරියට අඳුරගන්න බැරි උනා. එතන සාජන් වෙළුසාමි හිටියා මතකයි.


නඩුවේදි සරත් විෙජ්සිංහගේ මරණය කුමන්ත්‍රණය කළා කියලා විෙජ්වීර ලොකු අතුලට චෝදනා කළා. මම සරත් අයියාගේ මරණය සිදුවූ තැන හිටපු නිසා සත්‍ය දන්නවා. ඒක අත්වැරදීමකින් සිදු වූ දෙයක්. ඒ සිද්ධිය හරි හැටි දැකපු කෙනෙක් හැටියට මම ඒක කියනවා. එදා එතන හිටපු සෙනෙවිරත්න, කාගම උපසේන අද ජීවතුන් අතර නැහැ. නිමල් ග්ලැඩ්යස් තාම යටියන්තොට ප්‍රදේශයේ ඉන්නවා කියලා මට දැනගන්න ලැබුනා.


මාව සිරගෙදර රඳවලා ඉන්නකොට අපේ අය බොහෝ දෙනෙකු මාව සොයාගෙන ආවා. ඇවිත් සරත් අයියාගෙ මරණය ගැන අහන්න ගත්තා. මේක මට මානසිකවත් වධයක් උනා. මෙහෙම අවුරුදු 4 විතර මාව රඳවාගෙන ඉඳලා නිදහස් කලා. ඒ වෙන කොට අපෙ මහ ගෙවල් පවා බෝම්බගහලා තිබුණත් කළු ගලෙන් කළ නිවසක් නිසා තාමත් ඒ විදිහට තියනවා. දැන් ඒක අපේ නොවේ.


71 කැරැල්ල නිසා අපේ පවුල සීසීකඩ ගියා. සරත් අයියා. ජස්ටින් අයියා මැරුණා. සහෝදරිය ජුලියට් ජීවතුන් අතර ඉන්න බව දැන ගත්තේ අවුරුදු ගානකට පස්සේ. මම යළිත් ජීවිතය ගොඩ නගා ගත්තේ අසීරුවෙන්. මම පොත් පත් කියෙව්වා. එමගින් මට හැකි උනා මේ වියෝග දුක් වලටමුහුණ දීලා යළිත් ජීවිතයට මුහුණ දෙන්න. දැන් මම මගේම සුළු ව්‍යාපරයක් කරගෙන ජීවත් වෙනවා.

0 comments: