Hot!

ඇති-නැති පරතරයේ අනාගතය කෙලෙස විසඳේද ?

ඇති නැති පරතරය ගැන


අද සමස්ත ලෝක ජනතාවගෙන් ඉහළම ධනවත් තීරුවේ සිටින සියයට 1 ක් විසින් සමස්ත ලෝක ධනයෙන් හරි අඩක් අයිති කරගෙන සිටින බව කියැවේ. ඊටත් වඩා භයානක කාරණයක් තිබේ. එනම්, ලෝකයේ ධනවත්ම පුද්ගලයන් 100 දෙනා සතු ධනය, ලෝකයේ පහළම ස්ථරයේ සිටින බිලියන 4 ක ජනතාවක් සතු ධනයට වඩා වැඩි ය. වර්තමාන ලෝක ජනගහනය බිලියන 7.6 කි.


මේ ලියවිල්ල, ධනපති ක‍්‍රමය පෙරලා දමා සමාජවාදී ලෝක ක‍්‍රමයක් ඇති කිරීමට මීටත් වඩා සාක්ෂියක් තවත් අවශ්‍යදැ යි ප‍්‍රශ්න කරන, ප‍්‍රදර්ශනකාමී ලෝලයෙන් පෙළෙන මෝස්තර වාමවාදීන්ට නොවේ. සැබෑ ප‍්‍රශ්නයේ ස්වභාවයේ පැතිකඩක් අගතියෙන් තොරව තේරුම් ගැනීම සඳහා අවංක ප‍්‍රයත්නයක් දැරිය යුතුව ඇතැයි විශ්වාස කරන පුහුදුන් පාඨකයන්ට ය.


ඇති-නැති පරතරය, ධනපති ක‍්‍රමයට පමණක් ආවේණික ලක්ෂණයක් නොවේ. එහෙත් එය පැහැදිළිව අධි-නිශ්චය වන්නේ සහ උග‍්‍ර කෙරෙන්නේ එම ආර්ථික ක‍්‍රමය තුළ ය. බොල්ෂෙවික් විප්ලවයෙන් පසු සමාජවාදී රුසියාවේ පවා පැවති ඇති-නැති පරතරය පිළිබඳ යම් අවබෝධයක්, අපක්ෂපාතී ඉතිහාසඥයන් ලියා ඇති, 1917 සිට එරට බලයේ සිටි බලධාරී ඉහළ ස්ථරයේ පක්ෂ සාමාජිකයන්ගේ චර්තාපදාන කියැවීමෙන් දත හැකිය. එහිදී සිදුවුණේ, පාලක පැලැන්තිය ඇති-හැකි කුලකයක් බවට පත්වී, ඉතිරි සමස්ත සමාජය නැති-බැරි ජනතාවක් බවට පත්වීමයි.


 

ගල් යුගයේ ජීවිතය


මීට අවුරුදු 30,000 කට පෙර ගල් යුගය පැවතුණි. ඒ කාලයේ මිනිසා ජීවිතය ගෙන ගියේ, දඩයමෙන් සහ සහ ඵලවැල එක් රැස් කර ගැනීමෙනි. ඔවුන්ගේ ඇතැම් මිනී වළවල් තුළින්, මිනිය සමග තැන්පත් කොට තිබූ පබළු මාල, වළළු, මිණි කැට සහ තව නොයෙක් කලා ආම්පන්න හමු වී තිබේ. එහෙත් බොහෝ මිනී වළවල්, ඒ කිසිවක් නැති හිස් කුහර පමණි. ඒ කාලයේ පවා ඇති-නැති පරතරය තිබී ඇති බව එයින් පෙනී යන්නේ යැයි මානව විද්‍යාඥයෝ කියති. එසේ වෙතත්, ‘හෝමෝ සේපියානු’ ඉතිහාසය තුළ, (එනම් වර්තමාන මනුෂ්‍ය වර්ගයාගේ ඉතිහාසය තුළ) ඇති-නැති පරතරය අඩුවෙන්ම පැවතියේ මේ ගල් යුගයේදී බව විශ්වාස කෙරේ. එදා සිට මිනිස් ශිෂ්ටාචාරය තුළ ඇති-නැති පරතරය කෙමෙන් වර්ධනය වෙමින් පැමිණ තිබේ.


 



 

ඊට හේතු වූ කරුණු අතරින් ප‍්‍රධාන වන්නේ දේපළ ය. දඩයම සහ ඵලවැල එක් රැස් කර ගැනීමෙන් ජීවිතය ගැටගසා ගත් ගල් යුගයේ සිට කෘෂිකාර්මික අවධියට මිනිසා එන විට සමාජයට වැඩි වැඩියෙන් දේපළ අවශ්‍ය කෙළේය. ඒ සමගම එම දේපළවල අයිතිය පිළිබඳ ප‍්‍රශ්නය ආවේය. සමාජ ධූරාවලිය (එනම්, රජු, ඇමතිවරුන්, ප‍්‍රභූන්, ප‍්‍රාදේශීය පාලකයන්, ගම් ප‍්‍රධානීන් සහ සාමාන්‍ය ජනතාව ආදී වශයෙන්) සකස් වුණේ එම අයිතිය මතයි. අතලොස්සක් විසින් විශාල ධනයක් ඒකරාශී කර ගනු ලැබීමත්, අති බහුතරයක් මත එම අතලොස්ස විසින් බලය අභ්‍යාස කරනු ලැබීමත් ජව සම්පන්නව ආරම්භ වන්නේ එතැන් පටන් ය.


 

මෙය සාමාන්‍ය ස්වභාවය වශයෙන් සාමාන්‍ය ජනතාව පිළිගත්හ. එපමණක් නොව, එය දෙවියන්ගේ ක‍්‍රමය වශයෙනුත් භාර ගත්හ. සමාජයක ධූරාවලියක් පැවතීම, එනම් උස්-පහත් භේදයක් පැවතීම, නැතිව බැරි දෙයක් බව, සාමාන්‍ය පිළිගැනීම විය. බුද්ධාගම වැනි ආගමකින් එය කර්මවාදයට බැර කෙරුණි. ක‍්‍රිස්තියානි ආගමේදී එය දෙවියන් වහන්සේගේ කැමැත්තට බැර කෙරුණි. කොටින්ම කිවහොත්, එක් ලේඛකයෙකු පෙන්වා දෙන පරිදි, ‘‘රදළයන් සහ සාමාන්‍ය ජනතාව අතර වෙනසක් පවත්වා ගන්නේ නැතිව, පිරිමින් සහ ගැහැනුන් අතර වෙනසක් පවත්වා ගන්නේ නැතිව, දරුවන් සහ දෙමාපියන් අතර වෙනසක් පවත්වා ගන්නේ නැතිව, කෙසේ නම් සමාජයක් පවත්වාගෙන යන්නේ ද’’ යන ප‍්‍රශ්නයට එදා වලංගු භාවයක් ලැබුණි. පූජකයන්, දාර්ශනිකයන් සහ කවියන් මේ අසමාන ධූරාවලිය සමාන කෙළේ, මිනිස් සිරුරටයි. එම සිරුරේ ඇස, කණ, නාසය, අතපය ආදිය සමාන නැත. ඒ අනුව සමාජ ජීවිතයටත් ඒ අසමානත්වය නැතිව බැරි දෙයක් බව විශ්වාස කෙරුණි.


 

එහෙත්, නූතන යුගයට එන විට මේ අදහස වෙනස් විය. සමානාත්මතාව සමාජයක ආදර්ශමත් ඉලක්කය බවට පත්වුණි. ඊට තුඩුදුන්නේ කොමියුනිස්ට්වාදයත්, ලිබරල්වාදයත් ය. විශේෂයෙන්, කොමියුනිස්ට්වාදය තුළ පරමාදර්ශය වුණේ සමානාත්මතාවයි. කාර්මික විප්ලවය නිසා බටහිර ලෝකයේ ඉතා සීග‍්‍රයෙන් ඇති වූ කාර්මීකරණය තුළ අලූතෙන් බිහි වුණු කම්කරු පංතිය එම සමාජයේ ගාමක බලවේගය වශයෙන් ඉස්මතු වුණි. ඉන් පසු, සමානාත්මතාවයේ ධජය අතට ගත්තේ ඔවුන් ය. එසේ වීමට හේතුවක් තිබුණි. එනම්, එම කම්කරුවන්ගේ ශ‍්‍රමයෙන් තොරව නිෂ්පාදන කර්මාන්ත ගෙන යාමක් ගැන සිතා ගැනීමේ ඉඩක්වත් නොතිබුණු බැවිනි. කොටින්ම, ධනයේ නිෂ්පාදකයා ශ‍්‍රමිකයා විය.


 


මේ ලිපියේ ප‍්‍රස්තුත කාරණයේ ප‍්‍රවේශය සැපයෙන්නේ මෙතැනිනි.


 

ධනය සහ ශ‍්‍රමය අතර අදාළත්වය


18, 19 සහ 20 වැනි සියවස්වල භාණ්ඩ හා සේවා නිෂ්පාදනය හෙවත් ධනය සහ ශ‍්‍රමය අතර පැවති සහසම්බන්ධය 21 වැනි සියවස වන විට සීග‍්‍ර වෙනසකට භාජනය වෙමින් තිබේ. එදා ධනය නිෂ්පාදනය කර ගැනීමට ශ‍්‍රමය සෘජුවම අදාළ විය. අදත් එසේ ද ? යම් හෙයකින් ශ‍්‍රමය සහ ධනය අතර අද පවතින සම්බන්ධයත් බිඳී ගියොත් ශ‍්‍රමයට අත්වන ඉරණම කුමක් වේවි ද ?


 

ධනය සහ ශ‍්‍රමය අතර අදාළත්වය තේරුම් ගැනීමට උදාහරණයක් ගනිමු. දැනට මගේ මාසික ආදායමෙන් කොටසක් සමන්විත වන්නේ, වෘත්තීය පරිවර්තන කාර්යයක නියැලීමෙනි. මේ අතර, පරිගණක පරිවර්තන දැන් දියුණු වෙමින් තිබේ. එහෙත් එය හුදෙක් යාන්ති‍්‍රක පරිවර්තනයක් වීම නිසා පරිපූර්ණ නැත. අඩුලූහුඩුකම් බොහෝ ය. ඇතැම් විටක, පරිගණක පරිවර්තනය එකම අපබ‍්‍රංශයක් වෙයි. එහෙත් යම් දවසක මේ යාන්ත‍්‍රික පරිවර්තනයේ අද පවතින ඒ අඩුපාඩු ජයගෙන, නූතන තාක්ෂණය හරහා විනාඩි කිහිපයකින්  ඕනෑම භාෂාවකින් තවත් භාෂාවකට පරිවර්තනය කර ගැනීමේ හැකියාව ලැබුණොත් මගේ ශ‍්‍රමයට කුමක් සිදු වේද? සිදුවිය හැක්කේ එකම දෙයකි. එනම්, පරිවර්තනය නැමැති නිෂ්පාදන සේවාවට මා අදාළ ශ‍්‍රමිකයෙකු නොවන තත්වයට පත්වීමයි.


 

මීට වඩා තරමක් සංකීර්ණ තවත් උදාහරණයක් ගමු. ලංකාවේ කිසි ගුරු සංගමයකට දවසක වැඩ වර්ජනයක් සඳහා පවා ගුරුවරුන් සංවිධානය කර ගැනීමේ හැකියාවක් අද නැත. එහෙත්, විදුලිය ක්ෂේත‍්‍රයේ, ඉන්ධන ක්ෂේත‍්‍රයේ, වරාය ක්ෂේත‍්‍රයේ දහස් ගණනක් සේවකයන්ව  ඕනෑම අවස්ථාවක වැඩ වර්ජනයකට සංවිධානය කර ගැනීම තවමත් අපහසු නැත. මේ වෙනස කුමක් ද? වර්තමාන සමාජ භාවිතය තුළ, (රජයේ) ගුරුවරයාට නැති අදාළත්වයක් ඉහත කී සෑම ක්ෂේත‍්‍රයකම ශ‍්‍රමිකයාට ඒ නිෂ්පාදන අංශවල තිබීම ය.


 

මේ කියන ‘අදාළත්වය’ බිහිවන්නේ කොතැනින් ද ? නැවතත්, වැඩ වර්ජනයක උදාහරණයට යමු. වැඩ වර්ජනයක සාර්ථක-අසාර්ථක භාවය තීරණය වීමට, ප‍්‍රධාන සාධක දෙකක අන්‍යොන්‍ය ක‍්‍රියාකාරීත්වය බලපායි. එනම්, වැඩ වර්ජනය කිරීම හේතුවෙන් නිෂ්පාදනය ඇනහිටින භාණ්ඩය හෝ සේවාවේ වටිනාකම (හෙවත් අලාභය) සහ වැඩ වර්ජනයේදී වර්ජකයාගේ වැටුප ඇනහිටීමේ වටිනාකම (හෙවත් අලාභය) අතර වන තරගයයි. වැඩියෙන් අල්ලාගෙන සිටීමට හැකි වන්නේ පළමු අලාභය දරන්නාට ද (අයිතිකරුවා), දෙවැනි අලාභය දරන්නාට ද (ශ‍්‍රමිකය) යන්න මත අවසාන ජයග‍්‍රහණය සෘජුව හෝ වක‍්‍රව තීන්දු වෙයි. (ලංකාවේ වෛද්‍යවරුන්ගේ වර්ජන මේ තර්කයට ගැලපෙන්නේ නැත. මන්ද යත්, ඔවුන් වැඩ වර්ජන කරන විටත් වැටුප් ලබන බැවිනි. එනිසා අනිත් අංශවලට වඩා පහසුවෙන් සහ ‘කාර්යක්ෂමව’ වැඩ වර්ජනය කිරීමේ වරප‍්‍රසාදයක් ලංකාවේ වෛද්‍යවරුන්ට ලැබී තිබේ.)


 

නූතන සමාජ විශ්ලේෂකයන්ගේ මතය වන්නේ, ඉහත කී නිෂ්පාදන අංශවල ශ‍්‍රමිකයාගේ අදාළත්වය අනාගතයේදී නැති වන බව ය. ඒ, ‘කෘත්‍රිම බුද්ධිය’ වශයෙන් ගැනෙන ඩිජිටල් තාක්ෂණය සහ ජෛව තාක්ෂණය හේතුවෙනි. මෙය තේරුම් ගැනීමට සරළ උදාහරණයක් ගමු. අද වාහනයක් පැදවීමට රියැදුරෙකු අවශ්‍ය කෙරේ. තව අවුරුදු කිහිපයකින් ස්වයංක්‍රීය වාහන විශේෂයක් වෙළඳපොළට එයි. එවිට රියැදුරාගේ අවශ්‍යතාව නැතිව යයි. ශරීරය කපා කොටා කළ සමහර ශල්‍යකර්ම දැන් මතුපිට කිසි කැපිල්ලක් නැතිව සිදු කෙරේ. (එවිට, දොස්තර ඇන්තනීස්ලා අවශ්‍ය නොකෙරේ). එක පැත්තකින්, වරායක බඩු බෑම සහ පැටවීම ආදියේ සිට නැව් ගමනාගමනය මෙහෙයවීම දක්වා රොබෝවරු පාවිච්චි කිරීම වර්ධනය වෙමින් තිබේ. වරාය සේවකයන්ගේ වැඩ වර්ජන හයිය එතැනින් නිමාවට පත්වෙයි. අනිත් පැත්තෙන්, ආයු කාලය කෘත‍්‍රීමව වැඩි කර ගැනීමේ සිට මිනිස් බුද්ධිය, රූපය, උස මහත ආදිය පමණක් නොව, මිනිස් අවශ්‍යතා සහ ආශාවන් පවා ජෛව තාක්ෂණික දියුණුව තුළ අලූතින් ‘නිෂ්පාදනය’ කර ගැනීමට 2100 වන විට මිනිසාට හැකි වනු ඇතැයි උපකල්පනය කෙරේ. මෙහිදී ‘මිනිසාට’ යන්නෙන් අදහස් වන්නේ, ඉහත කී තාක්ෂණයේ හිමිකරුවන්ට යන්නයි.


 



 

සාම්ප්‍රදායික ශ්‍රමය අවශ්‍ය නොවන කාලය වැඩි ඈතක නොවේ


මේ තත්වය තුළ, දෛනික මට්ටමේ සම්ප‍්‍රදායික ශ‍්‍රමයක් කිසි නිෂ්පාදනයක් සඳහා අවශ්‍ය නොකරන කාලය වැඩි ඈතක නැති බව පෙනෙන්ට තිබේ. එවිට ඇති-නැති පරතරය ඇති වන්නේ මොන ආකාරයෙන් ද ? පූර්ව-ධනවාදී සමාජය තුළ ගොවියා රජෙකු වුණේ රටට කෑම සැපයූ එකම ඒජන්තයා ඔහු වූ බැවිනි. ඒ සමාජ ක‍්‍රමය තුළ ඔහුගේ ‘අදාළත්වය’ තිබුණේ එතැන ය. ධනවාදී සමාජය තුළ ‘කම්කරුවා’ ගාමක බලවේගය වුණේ, යන්ත‍්‍රසූත‍්‍ර නිෂ්පාදනය කෙළේ සහ භාවිත කෙළේ ඔහුගේ ශ‍්‍රමයෙන් වූ බැවිනි. ඒ සමාජ ක‍්‍රමය තුළ ඔහුගේ ‘අදාළත්වය’ තිබුණේ එතැන ය. දැන්, ඉහතින් කී අනාගත සමාජය තුළ, ගොවියාගේ හෝ කම්කරුවාගේ අවශ්‍යතාවක්, අර කී ඩිජිටල් තොරතුරු තාක්ෂණය සහ ජෛව තාක්ෂණයේ අයිතිකරුවන්ට නැති වුවහොත්, ගොවි-කම්කරු ජනතාවකගේ ‘අදාළත්වයට’ සිදු වන්නේ කුමක් ද? ඔවුන්ට වර්ජනය කිරීමට හැකි වන්නේ කුමක් (ප‍්‍රාණ) ඇපයට ගනිමින් ද ?


 

වැදගත් කාරණය වන්නේ මෙයයි. එවැනි සමාජ ක‍්‍රමයක් හසුරුවන තොරතුරු තාක්ෂණය සහ ජෛව තාක්ෂණය ඒකාබද්ධ වීමෙන් ගොඩනැගෙන ‘කෘත‍්‍රීම බුද්ධිය’ නැමැති එකම නිෂ්පාදන මාර්ගයේ හිමිකාර පැලැන්තිය සමන්විත වන්නේ, අදටත් වඩා සීමිත ධනපතියන් අතලොස්සකගෙනි. ඊටත් වඩා, 17-21 වැනි සියවස් දක්වා සිටි ධනපතියන්ව ගෙල ග‍්‍රහණයෙන් ගැනීමට පරිවාර සමාජ කොටස්වලට තිබූ අයෝමය ශක්තිය, මේ කියන ලෝකය තුළ බිංදුවට වැටෙයි. තවත් විදිහකින් කිවහොත්, එතැන් පටන්, ඇති-නැති පරතරය අවම කර ගැනීමේ අරගලය ගෙන යාමේ වෙනත් මාවතක් ගැන සොයා බැලීමට සිදු විය හැකි බවයි.


 

 

 

ගාමිණී වියන්ගොඩ



 

 

සබැඳි පුවත් 

 

පළමුව ජාතිය, දෙවැනිව මෝක්ෂය - කාදිනල් මැල්කම් රංජිත් 

ආයෙත් ප්‍රජා පීඩක පාලකයින්ගෙන් බැටකමුද ? 

යහපාලනය ආවඩන්නේ කාටද ?

ගැටලු ‘විසඳීම’ ජනපතිගේ කජු කෑම වගේ  

 

0 comments: