Hot!

අපට සංක්‍රාන්තික යුක්තිය වුවමනා ඇයි ?

සංක්‍රාන්තික යුක්තිය අපට අවශ්‍ය ඇයි ?


වසර තිහක් වූ කුරිරු යුද්ධය නිසා බියෙන් ඇළලී ගිය සමයෙන් පසුව, අප සැමගේ උද්ගත වූ වේදනාවන් සුවපත් කිරීම උදෙසා අප විසින් ස්වේච්ඡාවෙන්ම තෝරාගත් සුවපත් කිරීමේ ක්‍රියාවලිය වන්නේ සංක්‍රාන්තික යුක්තියයි.  කෘරතර යුද්ධයේ බලපෑම් කිසිදු එක් ජන වර්ගයකට, ආගමකට, සමයකට හෝ ප්‍රදේශයකට සීමා කල නොහැක.  සෑම ආගමික හා වාර්ගික කණ්ඩායමක් විසින්ම යුද්ධයේ වේදනාව අත්විඳි බවත්, ඔවුන්ගේ හදවත් හි නොමැකෙන කැළැල් ඉතිරි කළ බවත් අවිවාදයෙන් තොරව පිළිගත යුතු සත්‍යයකි. මෙකී තත්ත්වයක් හමුවේ, සංක්‍රාන්තික යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය, එක් ප්‍රජාවකට පමණක් සීමා නොවන, එතෙක් වුවද මුළු මහත් ශ්‍රී ලාංකේය පුරවැසියන්ටම පොදු වූ සුවපත් වීමේ ක්‍රියාවලියකින් සමන්විත වේ.


 

සංක්‍රාන්තික යුක්තිය යනු දුක්ඛිත අතීතය සහ නින්දිත උරුමය තුලින් මිදීමට පහසුකම් සලසන ක්‍රියාවලියකි. එක්සත් ජාතීන්ගේ, සංක්‍රාන්තික යුක්තිය සඳහා විශේෂ වාර්තාකරු පැබ්ලෝ ඩි ග්‍රේෆ් දක්වා ඇති ආකාරයට, සංක්‍රාන්තික යුක්තිය යනු, “ජාතික හා දේශීය මට්ටම් වලින් සමාජ සංහිඳයාව, ජාතිය - ගොඩනැංවීම, හිමිකාරීත්වය සහ අන්තර්ගතභාවය සහතික කිරීම පිණිස, අර්බුද යලි යලිත් ඇතිවීම සහ අනාගතයේ මානව හිමිකම් උල්ලංඝනය වීම් වලක්වමින් සංහිඳියාව ප්‍රවර්ධනය කිරීමයි”.


සංක්‍රාන්තික යුක්තිය යනු කුමක්ද ?


සත්‍යය, යුක්තිය, හානිපුර්ණය,  සහ එවැනි තත්ත්වයන් නැවත ඇති නොවීම සඳහා වගකීම් දැරීම ලෙස සංක්‍රාන්තික යුක්තිය කොටස් හතරකින් සන්නද්ධ වේ. එනමුත් මෙකී සිව් ස්ථම්භයන් පැහැදිලි රේඛාවකින් එකිනෙක වෙන්කළ නොහැක. තවද, එම සිව් ස්ථම්භයන්හි ස්වභාවය, ලක්ෂණ, වාසි හා අවාසි වෙන් වෙන් වශයෙන් දැක්විය නොහැකි වන අතර ඒවා එකිනෙකට ඈඳී පවතී. එක් ක්‍රියාවලියක ක්‍රියාත්මකභාවය සහ සාර්ථකත්වය අනෙක් යාන්ත්‍රණය මත රැඳී පවතී. නිදසුනක් ලෙස, යම් පුද්ගලයකුට යුක්තිය ලැබුණු පසුව, ඔහුට අනාගතයේදී ද එවැනිම අයුක්තියකට ලක් වීමට සිදු වෙතැයි බිය වන්නට සිදු වන්නේ නම්, යුක්තියෙහි අර්ථයක් නොමැති වනවා මෙන්ම, යුක්තිය පිළිබඳ යාන්ත්‍රණයද අසාර්ථක වේ. යුක්තිය අර්ථවත් වන්නේ යම් පුද්ගලයකුට යුක්තිය ලැබීමෙන් අනතුරුව යලිත් එබඳු අකටයුත්තක් ඇති නොවේය යන සහතිකය ලැබෙන්නේ නම් පමණි. පෙර සදහන් කල ආකාරයෙන්, සංක්‍රාන්තික යුක්තියෙහි ප්‍රධානතම කාරණාවන් දෙකක් වන, සත්‍යය සහ හානිපුර්ණය යන සාධක අතර පවත්නා සබඳතා මෙම ලිපිය මගින් ගවේෂණය කෙරේ.


 

මෙතෙක් කාලයක් අතුරුදන්වූවන් ගේ ඥාතීන්ගේ හඬට සංවේදී වෙමින් ඔවුන්ගේ අඳෝනාවන්ට සවන් යොමු කිරීමෙන් පසක් කරගෙන ඇති සත්‍යය වන්නේ - මිනිසුන්ට සිය ආදරණීයයන් මියයාම අපහසුවෙන් හෝ පිළිගත හැකි වන නමුදු සිය ආදරණීයයන්ට කුමක් වූවා ද? - කොතැනක සිටින්නේ ද? යන ප්‍රශ්න වලට පිළිතුරු නොමැති වීම දරාගත නොහැකි බවයි. යුද්ධයෙන් සිය ආදරණීයයන් මියගිය සෑම පුද්ගලයකුටම සත්‍යය දැන ගැනීමට හිමිකමක් පවතී. සත්‍යයට පවත්නා හිමිකම, අන්තර්ජාතික වශයෙන් පිළිගත් මූලික මිනිස් අයිතිවාසිකමකි. බලහත්කාරයෙන් අතුරුදන් කරවීමට එරෙහිව සියලුම පුද්ගලයන් රැක ගැනීම සඳහා වන අන්තර්ජාතික සම්මුතියෙහි (ICPPED) 24 වන කොටසට අනුව මෙසේ පැවසේ:


 

“පුද්ගලයන් බලහත්කාරයෙන් අතුරුදන් කරවීම පිළිබඳ තත්ත්වයන්හි සත්‍යය පිළිබඳව දැනගැනීමටත්, විමර්ශනයන් හි ප්‍රගතිය සහ ප්‍රතිඵල පිළිබඳව දැන ගැනීමටත්, එමෙන්ම අතුරුදන් වූවන් ගේ ඉරණම කුමක්ද යන්න දැන ගැනීමටත් එම බලහත්කාරයෙන් අතුරුදන් වූ පුද්ගලයන් හට ඍජු සම්බන්ධයක් පවත්නා සෑම පුද්ගලයකුටම හිමිකම් පවතී. මේ සඳහා සෑම රාජ්‍ය පාර්ශ්වයක්ම  සුදුසු පියවර ගත යුතුය.”


 

ශ්‍රී ලංකාව විසින් ICPPED සම්මුතිය 2015 දෙසැම්බර් මස 10 වන දින අත්සන් තබන ලද අතර 2016 මැයි මස 25 වන දින එය සනාථ කරන ලද්දේ ICPPED සම්මුතිය ක්‍රියාත්මක කරමින් නේවාසික නීති සම්පාදනයක් සිදු කිරීමේ පොරොන්දුව පෙරදැරි කරගෙනයි. ඊට අනුගාමීව, පොරොන්දු වූ පරිදි ශ්‍රී ලංකාව විසින් නීති පද්ධතියක් ද සම්පාදනය කරන ලදී. මේවා සැලකිල්ලට ගත් විට, ශ්‍රී ලංකා රජය විසින් (GoSL) එහි පුරවැසියන් වන වින්දිතයින් හට අතුරුදන් වූවන් පිළිබඳ සත්‍යය දැන ගැනීමට ඇති අයිතියට ගරු කිරීමට කැමැත්ත දක්වන බව පැහැදිලි වේ.


 

සංක්‍රාන්තික යුක්තිය යටතේ සිදුකෙරෙන්නේ මොනවද ? 


සංක්‍රාන්තික යුක්තිය යටතේ ඇති සත්‍යය නම් සාධකය විසින් ව්‍යසනයට පත් වූවන්ට පිළිතුරක් ලබා දෙන අතර, තවද එය, පෙර පැවති අඳුරු අතීතයෙහි තත්ත්වයන් පිළිබඳ සමාජය දැනුවත් කරයි. සත්‍යය පැවසීම තුලින් සංහිඳියා ක්‍රියාවලියට පහසුකම් සැලසිය හැකි වේ. මෙකී සත්‍යයේ ස්වභාවය හේතු කොට ගෙන, යථාවත් කිරීමට වඩාත් සමීප සබඳතා ඇති කරන අතර, එය වින්දිතයින් වෙත හානිපුර්ණය ලබා දීමට ද පහසුකම් සලසයි. හානිපුර්ණය යනු මූල්‍යමය වන්දි ගෙවීම් පමණක් ම වන බවට ජනතාව අතර වැරදි වැටහීමක් ස්ථාපිතව ඇත. එහෙත් හානිපුරණය එයට වඩා පුළුල් ස්වභාවයක් ගනී. සත්‍ය වශයෙන්ම හානිපූර්ණය තුළ වන්දි ලබා දීම, පුනරුත්තාපනය, ප්‍රතිස්ථාපනය, සංතෘප්තිය සහ නැවත මෙවැනි තත්ත්වයන් ඇති නොවන බවට ලබාදෙන වගකීම යන ප්‍රධාන සාධක පහක් අන්තර්ගත වේ.


සත්‍යය පැවසීමේ ක්‍රියාවලිය හරහා අවම වශයෙන් සිය ආදරණීයයන්ට කුමක් සිදුවූවාද යන්න පිළිබඳව දැනගැනීමට හැකිවීමෙන් වින්දිතයින්ට සත්‍ය දැනගනීමත් එතුළින් පවත්නා තත්ත්වය පිළිබඳ තෘප්තිමත්භාවයට පැමිණීමට හැකියාවත් ලැබේ. තවද, සත්‍ය දැන ගැනීම හරහා, අතුරුදන් වීම් හේතුවෙන් අගතියට පත් වූවන්ට වන්දි ගෙවීම සඳහා ඉඩ සැලසේ. සත්‍ය පැවසීමේ ක්‍රියාවලිය හරහා අනාවරණය කෙරෙන අතීත අපචාරයන් හි සාක්ෂි හේතුවෙන්, අනාගත ප්‍රචණ්ඩත්වය වැළැක්වීම සඳහා පවතින පද්ධතියෙහි ව්‍යුහය ප්‍රතිසංස්කරණය කිරීමට සහායක් ලබා දෙනු ඇත. එබැවින්, සත්‍ය මගින් හානිපුර්ණයෙහි සාධක වලට ශක්‍යතාව ඇති කරයි. සත්‍ය සහ හානිපුර්ණය යනු සංහිඳියාවෙහි අති වැදගත්කමකින් යුත් සාධකයන්ය. මන්ද යත් එක් අතෙකින් එමඟින් වින්දිතයන් සඳහා පිළිතුරු ලබා දෙමින් ඔවුන්ට සිය ජීවිත යථාවත් කර ගැනීමට සහාය ලබා දෙන අතර අනෙක් අතට මෙම සාධක දෙක මගින් පද්ධතිමය දූෂිතයන් සඳහා මං සලසන මූලික ව්‍යුහය වෙනස් කිරීමට මග හෙළිකරයි. සංහිඳියාවේ ඉලක්ක සපුරාලනු වස් සත්‍ය සහ හානිපුර්ණය අත්‍යන්ත වැදගත්කමකින් යුක්ත වන්නා වූ මෙවලම් ද්විත්වයක් බැව් ඉහත කරුණු මත ඉතාමත් පැහැදිලිය.


සුලෝචනා රාජපක්ෂ


 

 

0 comments: