Hot!

නිරංජනීගේ ප්‍රකාශයෙන් පස්සේ රැඩිකල් යැයි සිතා සිටින අයගේ අවිඥානය දුටුවා - අශෝක හඳගම

තරුණ රංගන ශිල්පීනී නිරංජනී ශන්මුගරාජා පසුගිය (13) පැවති ‘ගිරිවැසිපුර‘ චිත්‍රපටයේ මාධ්‍ය එළිදැක්වීමේදී  දමිළ කලාකරුවන් ගැන සිදුකළ ප්‍රකාශයක් සමාජ මාධ්‍යයේ සුවිශේෂී අවධානයක් දිනාගැනීමට සමත් විය. මෙහිදී ඇය අවධාරණය කර සිටියේ දමිළ කලාකරුවන් කටුකත්වය ඉස්මතු කිරීමට පාවිච්චි කරගන්නා බවත්, ‘සංහිඳියාව‘ ඉස්මතු කිරීමට කලා නිර්මාණ වල යළි යළිත් යොදාගන්නේ යුද්ධය බවත්ය. කටුකත්වය තිරය මත මවාපෙන්වීමට පමණක් මෙරට අධ්‍යක්ෂවරු දමිළ රංගන ශිල්පීන් යොදාගන්නා බව ඇය මෙහිදී අවධාරණය කළාය.


මේ ගැන අද (28) සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තැබූ ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ අශෝක හඳගම පවසන්නේ, නිරංජනීගේ ප්‍රකාශය තුළින් පෙන්වූවේ රැඩිකල් යැයි සිතාගෙන සිටින බොහෝ දෙනෙකුගේ අවිඥානය බවයි.


‘‘එක්තරා මාධ්‍ය හමුවකදී නිරංජනී ශන්මුගරාජා රංග ශිල්පිනිය කල ප්‍රකාශයක් මේ දිනවල මුහුණු පොතේ උණුසුම් ප්‍රතිචාර මැද සරි සරමින් තිබෙයි. මෙය මුහුණු පොතේ බෙදා ගන්නන් අතර විවිධාකාරයෙන් සිනමාවට සහ ප්‍රසාංගික කලාවට සම්බන්ධ අය වෙති. නිරංජනී මේ අයගේ අවිඥානය කිතිකවා තිබෙයි. නිරංජනී තම ප්‍රකාශය කල සන්දර්භයෙන් එය උගුළුවා තමන්ට ඕනා ලෙසට සංස්කරණය කරගත් කොටසක් මහත් උද්යෝගයෙන් මේ අය අතින් බෙදා හැරෙයි.


නිරංජනී සිනමාවට ආවේ මා පිටපත ලියා අධ්‍යක්ෂණය කල 'ඉනියවන්' චිත්‍රපටයෙනි. එහි රංගනය සඳහා ඇයව තෝරාගත්තේ සිය ගණනක ගෙනි. ඒ සඳහා ඇයව තේරී පත්වුණු ප්‍රධාන නිර්ණායකය වූයේ ඇගේ ඇස්, කෙසඟ - දුඹුරු සිරුර සහ සිනහවයි. යුද්ධය නිසා නිරන්තර අවතැන්වීම් වලට ලක්වෙමින් අතිශය පීඩාකාරී තත්වයන් යටතේ ජීවිතය පවත්වාගන්නට තරම් ධෛර්ය වන්ත වූ තරුණ මවක ගේ චරිතයට ඇගේ පෙනුම මනාව ගැලපුණි. ඇය කල රංගනය දර්ශන තලයේදී ඇය තුලින් උකහා ගත් එකකි. ඉනියවන් සංහිඳියාව තේමා කරගත් චිත්‍රපටයක් නෙවෙයි. යුද්ධයෙන් පසු උතුරේ පැවතිය හැකි සමාජ යතාර්ථය පිළිඹඳ පුරෝකථනය කි. ඉනියවන් පුරෝකථනය කල සමාජයටත් වඩා ඛේදජනක තත්වයක් දැන් උතුරේ නිර්මාණය වී තිබෙයි. විද්‍යා දැරිය දුෂණය කර මරා දැමෙන්නේ ඉනියවන් චිත්‍රපටයේ නිරංජනී දුෂණය කර විසිකර දමා යන පරිසරයේම ය. එය කාලය විසින් ගෙනහැර පෑ භයංකර උත්ප්‍රාසයකි. ඉන්පසු නිරංජනී හමුවන්නේ ප්‍රියන්ත කළුආරච්චි ගේ 'රතු සමනල හීනයක්' චිත්‍රපටයෙනි. එයත් සංහිඳියාව තේමා කරගත් චිත්‍රපටයක් නෙවෙයි. ඉන් පසු අප ඇය දකින්නේ කිංග් රත්නම් ගේ 'කෝමාලි කිංග්' චිත්‍රපටය තුලිනි. එයත් සංහිඳියාව පිළිඹඳ චිත්‍රපටයක් නෙවෙයි.



මම 'මේ මගේ සඳයි' චිත්‍රපටයේ දෙමල තරුණිය ගේ චරිතය සඳහා තෝරාගත්තේ දිල්හානි අශෝකමාලා ය. නිරංජනී ගේ රූපය ඉනියවන් චිත්‍රපටයේ චරිතයට ගැලපුනා සේම දිල්හානි ගේ රූපය මේ මගේ සඳයි චිත්‍රපටයේ චරිතයට ගැලපුණි. ප්‍රසන්න ‘ඔබ නැතුව ඔබ එක්ක’ චිත්‍රපටයේ දෙමල චරිතයට තෝරා ගත්තේ ඉන්දියානු නිළියක වන අංජලි පටෙල් ය. ඒ ඇගේ රූපය ඒ සඳහා ගැලපෙන්නේ යැයි ප්‍රසන්න ට සිතුනු නිසාය. ගාමිණී ෆොන්සේකා සරුංගලේ චිත්‍රපටයේ නඩරාජා ගේ චරිතයට තෝරා ගත්තේ ඔහු එයට ගැලපෙන නිසාය. ඇගේ ඇස අග චිත්‍රපටයට මහාචාර්ය වරයා ගේ චරිතයට අසිංහල ද්රිතිමන් චැටර්ජි තෝරා ගත්තේ ඔහු එයට ගැලපෙන නිසාය. ප්‍රබන්ධයක් වන සිනමාවක චරිත නිරූපණය සඳහා කෙනෙකු තෝරා ගැනෙනුයේ චරිතයට ගැලපීම - නොගැලපීම අනුව මිස ජාතිය අනුව නොවෙයි.


සංහිඳියාව යනු දේශපාලනික ක්‍රියාවලියකින් ලඟා කරගත යුතු තත්වයකි. කලා නිර්මාණයකට කල හැක්කක් ඒ ක්‍රියාවලිය සඳහා භාවමය සහ ඥානමය සම්පත් සම්පාදනය කිරීමයි. ඒ නිසා අප කලේ යුධමය සහ පශ්චාත් යුධමය තත්වයන් තුල සමාජ ජීවිතය චලනය වන ආකාරය අපේ සිනමාවට විෂය කර ගැනීමයි. ඒවාට සම්මාන ලැබීම අපේ වරදක් නෙවෙයි. ඒවා ජාත්‍යන්තරව ඇගයීමට ලක්වුණේ සිනමාත්මක නිර්ණායක මත මිස ඇතැමුන් කියන පරිදි ඒවා කටුක බව පෙන්වන නිසා නෙවෙයි.


නිරංජනී සංහිඳියා චිත්‍රපටයක රඟපානවා මා තාම දැක නැත. සංහිඳියාව ඉලක්ක කරගන ලංකාවේ හැදුණු එකම සිනමාපටය ‘තුන්දෙනෙක්‘ ය. එයද සංහිඳියා ක්‍රියාවලිය ඇන හිටින තැන සහ විසඳා ගතයුතු අභියෝග ගැන කියනවා මිස සංහිඳියාව ඇති තත්වයක් පෙන්වන්නේ නැත. එහි වුවද නිරංජනී නැත. නිරංජනී ව්‍යාජ සංහිඳියා චරිත රඟපෑවේ බොළඳ ටෙලිනාට්‍ය වලය. ඒ නිසා නිරංජනී ලංකාවේ සිනමාවේ සංහිඳියා තේමාව වෙනුවෙන් අපහරණය වූයේ යැයි කීම සත්‍යක් නොවෙයි.



දකුණේ නිරංජනී ට අනුව යුද්ධය යනු කිසිවක් සිදුනොවුවා සේ 'අමතක කර දැමිය යුතු' සංසිද්ධියකි. එහෙත් උතුරේ දෙමළ ගැහැනුන්ට තම ජීවිතයත් සමඟ මිස අමතක කර දැමිය නොහැකි මතකයන් තිබෙයි. විසඳාගත යුතු ගැටළු තිබෙයි. අතුරුදහන්වුවන් පිලිබඳ තොරතුරු දෙන්නැයි තවමත් කිලිනොච්චියේ ගැහැනුන් උපවාසයේය. මේ සටහන ලියන මේ මොහොතේත් දේශපාලන සිරකරුවන් නිදහස් කරන්නැයි ගෝල්ෆේස් වටරවුමේ උද්ඝෝෂණයකි. ඒ නිසා යුද්ධය තවමත් කවියට, නවකතාවට, කෙටි කතාවට මෙන්ම සිනමාවට ද සම්පුර්ණයෙන් ආවරණය කරගත නොහැකි තේමාවකි. දෙවන ලෝක යුද්ධය නිමවී දශක හතක් ගෙවී ගියත් එය තවමත් සිනමාවට වස්තුවිෂයන් සපයයි.


නිරංජනී ට සිය වෘත්තීය සුරක්ෂිතභාවය පිලිබඳ ගැටලුවක් ඇත. ඇගේ වේදනාව ඇත්තේ එතැනය. ඇය මේ ප්‍රකාශ කරන්නේ ඒ වේදනාවයි. සිංහල චිත්‍රපටයක රජ බිසව ගේ චරිතය ඇයව අපේ සිනමාවේ සුරක්ෂිත කොදෙව්වක් වෙතට ගෙනයනු ඇතැයි ඇය සිහින දකිනවා විය හැකිය. එහෙත් සිංහල දෙමළ භේදයකින් තොරව අපේ සිනමාව වෘත්තීය වශයෙන් අනාරක්ෂිතය. විශේෂයෙන් ම දෙමළ සිනමාව ට නැගී සිටීමට ඇත්තේ ඉතා සීමිත අවකාශයකි.


නිරංජනී ඇතුළු ශිල්පී ශිල්පිනීන්ට පැවතීමට සිනමාවක් ගොඩනගා ගත යුතුව ඇත. අපි එදත් ඒ වෙනුවෙන් පෙනී සිටියෙමු. අදත් හෙටත් ඒ වෙනුවෙන් පෙනී සිටිමු. නිරංජනී ගේ ප්‍රකාශය උත්කර්ෂයෙන් උඩ දමන අයගේ අවංක බව අපට සැක සහිතය. නිරංජනී ව මෙසේ උපුටා දක්වන මාධ්‍ය හමුවේ තව බොහෝ දෑ ඇය කියයි. ඇගේ කතාවේ සන්දර්භයෙන් ඇයව උගුල්ලා අපට අසන්නට සලස්වන්න කොටස තුල ඇත්තේ සිංහලයා සතුටුවන ලෙස දෙමළා සිටිය යුතු ආකාරය පිලිබඳ පණිවිඩයයි. සිංහලයා බලාපොරොත්තු වන සංහිඳියාව එයයි. අපේ අය චූන් වන්නේ එයටයි. නිරංජනී ඒ චූන් එකට නැටිය යුතු නැත.


නිරංජනී ගේ කිති කැවීමෙන් පොලා පනින්නේ අප රැඩිකල් යැයි සිතා සිටින බොහෝ දෙනෙකු ගේ අවිඥානය යි.


ඒ මෙහෙයට ඔබට ස්තුතියි නිරංජනී. !‘‘ 


 

(වීඩියෝව අන්තර්ජාලයෙනි)

0 comments: