Hot!

කන්දක් විලි ලා කෙන්දක් වදලා

ගේමක් දෙන්න ගිය අපේ ජනපති


මේ සැප්තැම්බරය ගෙවී යන්නේ කන්දක් විලි ලා කෙන්දක් වැදූ කතාව සිහිපත් කරමිනි. ඒ මානව හිමිකම් සන්දර්භයේ ය.


ජනාධිපති සිරිසේන මෙවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සැසි වාරයට ගොස් ගේමක් දෙන බව රටටම කිවේ දෙසතියකට පෙර ය. එසේ කී බව කීවේ අප නොවේ. ජනාධිපතිගේ මාධ්‍ය ඒකකය ප්‍රකාශයට කළ ලිපියක ය. ඒ මෙසේ ය.


‘එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ වාර්ෂික සැසිවාරය හමුවේ මෙම මස 25 වන දින තමන් ශ‍්‍රී ලංකාවට අදාළ නව යෝජනාවලියක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ප්‍රකාශ කරයි.


එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාව ශ‍්‍රී ලංකාවට ඉදිරිපත් කර ඇති යෝජනා ක්‍රියාත්මක කිරීමේ දී සහන ලබා ගැනීම මෙන්ම රටේ ස්වාධීනත්වයට, ජාතික ආරක්ෂාවට සහ ත්‍රිවිධ හමුදාවේ ගෞරවයට හානියක් නොවන අයුරින් කටයුතු කිරීම පිළිබඳව එම යෝජනාවලියේ කරුණු ඇතුළත් වනු ඇති බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.‍’


‘අපේ ප්‍රශ්න විසඳා ගන්න අපට ඉඩ දෙන්න’ - ජනපති


එසේ කොළඹ දී කී ජනාධිපති සිරිසේන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය හමුවේ කීවේ මෙසේය.


‘ප්‍රබල යුද්ධයක් තිබී එය අවසන් කරන ලද සාමකාමී රටක, ජාතික සංහිඳියාව ශක්තිමත් කරන රටක, ජාතික සමගිය ශක්තිමත් වූ රටක නැවත යුද්ධයක් ඇතිවීම වැළැක්වීමට සියලු කටයුතු කර ඇති රටක මානව හිමිකම් පුළුල් ලෙස ආරක්ෂා කරන රටක, ආර්ථික දියුණුව සමෘද්ධිය ළඟා කරගැනීමට ඔබ සියලුදෙනාම අලුත් අදහස් ඇතිව නව සිතුවිලි සමඟ අපට සහයෝග ලබාදෙන්න කියා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ඒ නිසා අපි සෑම  සියලුදෙනාගෙන් ඉල්ලා සිටින්නේ අපට තිබෙන්න වූ ප්‍රශ්න විසඳා ගැනීමට අපට ඉඩ දෙන්න. ස්වාධීන රටක් විදියට අපේ රටේ අයිතිය තහවුරු කරගෙන ඉදිරියට යන්න ඉඩ දෙන්න.’ මේ බවත් කියන්නේ අර ජනාධිපති මාධ්‍ය ඒකකයම ය‍.


ජනාධිපති විසින් එක්සත් ජාතීන්ට බාරදුන් හෝ ඉදිරිපත් කළ යෝජනාවලියක් ගැන කොහේවත් නැත. එමෙන්ම ජිනීවා මානව හිමිකම් කොමිසම විසින් සම්මත කළ සම්බන්ධ යෝජනා ගැන ද කිසිවක් නැත.  එහි ඇති එකම දේ නම් ‘අපේ ප්‍රශ්න විසඳා ගන්න අපට ඉඩ දෙන්න’ යන ඉල්ලීම පමණය.


රටට එක කතාවක් - ලෝකෙට වෙනත් කතාවක්


රටේ මිනිසුන්ට එකක් කියා අන්තර් ජාතික ප්‍රජාවට වෙන එකක් කීම රාජපක්ෂ කාලයේ සිය පැවැත එන දේශපාලන දුරාචාරයකි.


‘අපේ ප්‍රශ්න විසඳා ගැනිමට අපට ඉඩ දෙන්න’ යන කතාව මෙරට දී ක්‍රියාවට නැංවෙන්නේ කෙසේදැයි මෙරට මෙන්ම අන්තර් ජාතික ප්‍රජාවද දනී. එවැනි එක් විසඳුමක් නම් පාසල් දරුවන් 11 දෙනෙකු පැහැරගෙන කප්පම් ලබා ගෙන මරාදැමිම පරීක්ෂා කරනවාට වඩා ඊට චෝදනා ලද ආරක්ෂක හමුදා නිලධාරියකු ආරක්ෂා කිරීම ජනාධිපතිගේ ක්‍රමය වීමයි.


මේ කතාවෙහි දී ම සිරිසේන පලස්තීන ජනයාගේ අයිතින් ගැන කතා කරමින් ලෝක ප්‍රජාව ඒ වෙනුවෙන් පෙනී සිටිය යුතු යැයිද කියා සිටියේ ය. නමුත් අප දන්නා පරිදි පලස්තීන ජනයාගේ අයිතීන් පාගා ගෙන සිටින ඊශ්‍රායලය කියන්නේ ද සිරිසේන කියන කතාවම ය. එනම්, බාහිර රටවල් ඔවුන්ගේ ප්‍රශ්නයට අත නොගැසිය යුතු බවයි. ඇත්ත වශයෙන්ම නම් ඒ අතින් සිරිසේන සිටිය යුතු වූයේ පලස්තීන ජනයාගේ අයිතීන් යකඩ සපත්තුවට පාගාගෙන සිටින ඊශ්‍රායලය සමඟ ය.


‘අපේ මානව හිමිකම්  අපට බලා ගන්න දීපල්ලා’ යනු ලෝකයේ ආක්‍රමණකාරී සහ ඒකාධිපති රජයන්හි තේමා වාදනය යි.



කෝ එකඟ වුණු කොන්දේසි


නමුත් ලෝකය කැරකෙන්නේ ඒ විදිහට නොවේ. සිරිසේන යටතේ ම ආණ්ඩුව ජීඑස්පී සහනය ලබා ගත්තේ යුරෝපා සංගමයේ මානව හිමිකම් කොන්දේසිවලට එකඟ වෙමිනි. එක්සත් ජාතීන්ගේ සංවිධාන බොහොමයකින් ආධාර ලබා ගන්නා විට ද ඒ සමඟ මානව හිමිකම් කොන්දේසි බැඳී එයි. අපේ වැඩ අපට කර ගන්න යැයි කියන සිරිසේනට ලංකාව නැමැති දූපත තුලට වී අපට කාගෙන්වත් මුකුත් එපා යැයි කියා රට පාලනය කළ හැකිද ?


ළඟ ඇති මියන්මාරයේ උදාහරණය ගන්න. එහි ජීවත් වූ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ඔවුන්ගේ ගේ දොර ගිනි තබා, ස්ත්‍රීන් ලිංගිකව කෙළෙසා රටින් පලවා හැරි විට මියන්මාරයේ පාලකයින් කියන්නේත් එයම ය‍. ‘වැඩ අපට බලා ගන්න දියල්ලා’ කියා ය. නමුත් ලෝකය එලෙස ඇස් වසා ගෙන සිටියේ නැත.


අද ලෝකය සමඟ ගමන් කරනු විනා ඉන් හුදකලාව සාමාජ. ආර්ථික, දේශපාලන ප්‍රශ්න වලට විසඳුම් සොයනු නොහැකි ය. සිරිසේනගේ කතාවෙහි ඇති ලොකුම හිඩැස නම් මෙරට දෙමළ ජනතාවගේ ප්‍රධාන ඉල්ලීම වන දේශපාලන විසඳුමක් සැපයීම ගැන කිසිවක් නොකියා සිටීම යි. දේශපාලන විසඳුමක් ගැන කතා නොකොට ජනවාර්ගික සංහිදියාව ගැන කතා කිරිම  හරියට මනාලිය නැතිව මඟුලක් ගැනීම වැන්න


දෙසතියකට පෙර ජනපති සිරිසේන කතුවරුන් හමුවෙහි දී මෙසේ ද කීවේ ය.


"එමෙන්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂන් සභාව ඉදිරියේ අපගේ ආරක්ෂක හමුදාවන්ට එල්ල වී ඇති චෝදනා මෙන්ම පසුගිය යුද සමයේදී දෙපාර්ශ්වය අතර සිදුවූවා යැයි පැවසෙන ඇතැම් සිදුවීම් පිළිබඳ තවමත් ඉතිරිවී ඇති ගැටලු රැසක් සුහදශීලීව විසඳාගැනීමට ඒ මගින් හැකියාව ලැබෙනු ඇත. මෙම යෝජනාවලිය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමසාරිස්වරිය වෙත මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා වෙත ද ලිඛිතව භාරදීමට අපේක්ෂා කරනවා.‍’’


දැන් ජිනීවා හි මුළුදුන් මානව හිමිකම් කවුන්සිලයේ 39 වන සැසිවාරය අවසන් ය. එහෙත් ජනාධිපතිවරයා කී ආකාරයේ කිසිවක් නම් මෙම සටහන ලියන 26දා රැය වන තුරු සිදුවී නැත.


වගවීම, මානව හිමිකම් සහ සංහිදියාව යන තේමාව යටතේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමෙහි සම්මත වූ 30/1 සහ 34/1 දරන යෝජනා ද්වය ක්‍රියාත්මක වී ඇත්දැයි යන්න විමසා බැලෙන මහ කොමසාරිස්වරියගේ වාර්තාව 2019 මාර්තු එනම් 40 වන සැසිවාරයාට ඉදිරිපත් වනු ඇත. එම වාර්තාව එතරම් සාධනීය  එකක් විමට ඉඩ නැත්තේ එම යෝජනා දෙකෙහි අඩංගු කාරණා ඉටු කිරිම අතින් ශ්‍රී ලංකාව තවමත් පසුපසින් සිටින නිසා ය.


දැන් මතුව තිබෙන ප්‍රශ්ණය නම් ලබන මාර්තු මාසයෙන් පසු ශ්‍රී ලංකාවේ වගවීම, මානව හිමිකම් සහ සංහිදියාව සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලයේ විමසිල්ල අවසන්වනු ඇත්ද නැද්ද යන්න යි. වාද විවාද පැන නැගෙනු ඇත්තේ ඒ වටා ය‍. ශ්‍රී ලංකාව පිළිබඳ උනන්දුවක් දක්වන මානව හිමිකම් සංවිධාන සහ තානාපති ප්‍රජාව කල්පනා කරන්නේ යම් ආකාරයක විමසුමක් පවත්වා ගැනීම සුදුසු බවයි. එය නව යෝජනාවක් වනු ඇතැයි දැනට නොපෙනේ.


එසේ වෙතත් ශ්‍රී ලංකා ආණ්ඩුව ‘අපේ වැඩ අපට බලා ගන්න ඉඩ දෙන්න’ යැයි කියැවෙන ඒක පාක්ෂික යෝජනාවක් ඉදිරිපත් කළ හොත් එය ලෙහෙසියෙන්ම පරාජය කළ හැකි යැයි මෙකී පිරිස් කල්පනා කරති.


‘මේ බියගුළු ආණ්ඩුවත් එක්ක කතා කරන්න එපා‘ - සරත් වීරසේකර


පසුගිය සැසි වාර කිහිපයක් පුරා ගෝඨාභය රාජපක්ෂගේ දේශපාලන සගයකු වන සරත් වීරසේකර ප්‍රමුඛ පිරිස් මානව හිමිකම් කවුන්සිලයේ දී කියා සිටිමින් තිබෙන්නේ ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්ණයක් නැති බවත්, කවුන්සිලය ශ්‍රී ලංකාවට හතුරු එකක් බවත් ය. යුද සමයෙහි මානව හිමිකම් කඩවීම් සිදුවුයේ නැති බවද ඔවුහු ප්‍රකාශ කරති.


අවසන් වූ 39 වන සැසිවාරය අමතා කතා කළ සරත් වීරසේකර මෙසේ කියා සිටියේ ය: ‘ලංකාණ්ඩුවට සවන් දෙන බව මහ කොමසාරිස්වරිය කිව්වා. මේ ආණ්ඩුව ඇමෙරිකාවේ සහ කොටි හිතවාදී දෙමළ ඩයස්පෝරාවේ පිහිටෙන් බලයට ආ එකක්. ලංකාවේ මානව හිමිකම් කොමිසමේ සභාපතිනියත් අගතිගාමීයි. ඇයගේ ක්‍රියා නිසා  කොටි ඩයස්පෝරාව දිරිමත් වෙනවා. ඒ නිසා මේ බියසුළු ආණ්ඩුව එක්ක කතා කරන්න යන්න එපා. එන්න අපත් එක්ක කතා කරන්න.’


මෙම පිරිසෙන් දෙදෙනෙකු ම කතා කළේ අප්‍රිකානු සංවිධාන නියෝජනය කරමිනි. ඉන් එකක් සියයට 85ක් මුස්ලිම් ජනයා ජීවත්වන ගිනී රටෙනි. අනෙක නම් මුස්ලිම් සහ ක්‍රිස්තියානි ආගමිකයින් හරි හරියට ජිවත් වන නයිජීරියාවෙනි. වීරසේකර නියෝජනය කළේ එංගලන්තයේ පිහිටි ලෝක බෞද්ධ සුභසාධන ආයතනය යි.


මීට ප්‍රති විරුද්ධව එවැනි ම අප්‍රිකානු සංවිධාන ගණනාවක් නියෝජනය කරමින් එල්ටීටීඊ මතවාදී සහ හිතවාදී දෙමළ පිරිස් ද සැසිවාරය ඇමතූහ. ශ්‍රී ලංකාවේ ආණ්ඩුව වැඩක් නැතැයි කී ඔවුහු සහමුලින්ම අන්තර් ජාතික යුද අපරාධ පරික්ෂනයක්, එක්සත් ජාතීන්ගේ නිරීක්ෂණය යටතේ උතුරු නැගෙනහිරට වෙන්වීම සඳහා ජනමත විචාරණයක් යනාදිය ඉල්ලා සිටියහ.


සිවිල් සමාජ සංවිධානයන්හි අදහස්වලට  පිළිතුරු දීමට යම් යම් රටවල් ඉදිරිපත් වන නමුත් වත්මන් ශ්‍රී ලංකාණ්ඩුව රාජපක්ෂ සමයෙහිදී මෙන් එවැනි අනවශ්‍ය ප්‍රශ්ණ දැන් කරට ගන්නේ නැත. පෙනෙන විදිහට නම් ශ්‍රී ලංකා සම්බන්ධයෙන් උන්නදුවක් දක්වන රටවල් සහ මානව හිමිකම් සංවිධාන පවා මේ දෙපාර්ශවයේ ම ආන්තික අදහස් ප්‍රතික්ෂේප කරති.


තිරණාත්මක 2019 මාර්තු සැසිවාරය කරා අප ගමන් කරන්නේ ධ්‍රැවීකරණය වූ සිවිල් සමාජ මැදිහත්විම්, ජනපති සිරිසේනගේ නව යෝජනා සහ මැතිවරණ වට පිටාවක් මැද ය. කුණාටු සයුරක් හරහා අවිධිමත් නෞකාවක් එතෙර කිරීම හා සමාන අභියෝගයක් ආණ්ඩුව අභිමුව වෙයි.


සිරිසේන හා එජාපයට එහිදී එකම ස්ථාවරයක් ගත හැකි වෙයි ද ? මධ්‍යස්ථ සිංහල, දෙමළ සිවිල් සමාජ කණ්ඩායම්වලට යළි අන්තර් ජාතික මානව හිමිකම් වේදිකාවෙහි සිය ස්ථානය අල්ලා ගත හැකිවෙයි ද? ශ්‍රී ලංකාවෙහි වගවීම, මානව හිමිකම් සහ සංහිදියාව සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලයේ නිල විමසිල්ල අවසන් වෙයි ද ? නැත්නම් නව විමර්ශනයකට මඟ පෑදෙනු ඇත්ද ? යනු ඉදිරි මාස කිහිපය තුළ නිරාකරණය වීමට ඉඩ ඇති අප හැමට වැදගත් කරුණු කාරණා ය.


සටහන -  සුනන්ද දේශප්‍රිය 

0 comments: