Hot!

ස්වයං අධ්‍යයනයේ නියැලුණු කලාකරුවන් සිව්දෙනෙකුගේ කතාව

ඕනෑම විෂයක් සම්බන්ධව නිසි අධ්‍යයනයක නියැලීම ඒ කටයුත්ත පහසු කරලනු ඇත. නමුත්, මේ සඳහන ස්වයං අධ්‍යයනයේ  නියැලී පසුකලෙක අතිවිශිෂ්ඨයන් බවට පත්වුණු කලාකරුවන් ගැනයි. මේ ඔවුන් ගැන වූ ලිපි පෙළේ පළමු කොටසයි

හෙන්රි රොසෙයු


  ප්‍රංශ උපස්ථිතිවාදී හා පශ්චාත් උපස්ථිතිවාදී චිත්‍ර කලා සමයේදී දිවිගෙවූවකි. කලාකරුවෙකු ලෙස නිසි අධ්‍යාපනයක් ලබාගැනීමේ අවස්ථාව ඔහුට අහිමි විය. සිය 40 හැවිරිදි වියේදී එනම් 1884 දී සිට දැඩි උනන්දුවෙන් කලාවට පිවිසුණු හෙන්රි ලිපිකරුවකු ලෙස සේවයේ යෙදුණෙකි. ඔහු ගැන විචාරයේ යෙදුණු පිරිස් හෙන්රි කිසිදු හැදෑරීමක් නැති අවිදග්ධ නිර්මාණ ශිල්පියෙකු බව පෙන්වා ඔහුව පහත හෙලීමට ‘Le Douanier‘ (රේගු නිළධාරියා) යන අන්වර්ථ නමින් හඳුන්වනු ලැබුණි.


 

හෙන්රිට කිසිදිනක රේගු නිළධාරියෙකු බවට පත්වීමට නොහැකි වූ නිසා ඔහුව අවතක්සේරුවට ලක්කිරීමට මෙවැනි වදනක් යෙදූ බව ද පැවසේ. නමුත්, ඔහු සිය රැකියාවේ නියැලෙන අතරතුරදී චිත්‍ර ශිල්පයට යොමුවී ඇත. ලිපිකරුවෙකු ලෙස රාජකාරි වල නොයෙදුණු අවස්ථා වලදී ලූවර් හි තිබූ කලා එකතුව අධ්‍යනය කළ ඔහු ඒවායේ දළ සටහන් ඇඳ ඇත.


චිත්‍ර ශිල්පීන් අතර කැපී පෙනෙන චරිතයක් වී සිටි හෙන්රිගේ නිර්මාණ තුළ සෘජුභාවය හා චිත්‍රයෙන් පිළිබිඹු කළ අර්ථ වල අඩුවක් පැවති  බව විචාරක අදහසයි. නමුත්, ශාස්ත්‍රීය මට්ටමින් පිළිගත් සම්මතයන් අභිබවා යාමට ඔහු කළ නිර්මාණ සමත් විය. ප්‍රාණවත්, අපූර්ව භූමි දර්ශන හරහා හෙන්රි ඉතා පිරිසිදුවට සිහිනයන් මෙන් වූ දර්ශන නිර්මාණය කළ අතර අධියතාර්ථවාදී නිර්මාණකරුවෝ ඒවාට දැඩිව ඇළුම් කරන්නට විය. හෙන්රිගේ දිවියේ අවසාන සමයේදී ඔහු කළ නිර්මාණ වැන්ගෝර්ගේ චිත්‍ර සමගින් ප්‍රදර්ශනය කිරීමේ භාග්‍යය හිමිවුණි.

 

වින්සන්ට් වැන්ගෝර්


වින්සන්ට් වැන්ගෝර් අද්‍යතන යුගයේ සුවිශේෂී කලාකරුවෙකු වේ. ඔහු ස්වයං අධ්‍යනයේ නියැළුණෙකි. අඩුවෙන් කතාබහ කළ තරමක වෙනස් අන්දමේ තැනැත්තෙකු වූ වැන්ගෝර් පන්ති කාමරයක අධ්‍යයන කටයුතු සිදුකිරීමට කිසිසේත්ම ඇල්මක් දැක්වූවේ නැත.



මවගෙන් හා පවුලේ ගුරුවරියගේ අනුදැනුම මත කුඩා වියේදී අධ්‍යාපනය ලත් වැන්ගෝර් නිවසින් පිටතට ගොස් අධ්‍යාපනය ලැබීමට දැරූ උත්සහයන් ව්‍යර්ථ විය. බෝඩිම් පාසලක ගෙවූ අසාර්ථක කාලයකින් පසුව වසර දෙකක් පාඨශාලාවේ අධ්‍යාපනය හැදෑරුවේය. වයස අවුරුදු 16 දී කලා නිර්මාණ අලෙවි කරන වෙළෙන්ඳෙකුගේ සහයකයා ලෙස රැකියාවට පිවිසෙන්නේ ඉන් පසුවය.



මේ රැකියාවෙන් කලකිරුණු වැන්ගෝර් ඉන්පසුව පාදිලිවරයකු වීමේ අභිලාෂයෙන් සෙමනේරියට ඇතුළු වූවේය. නමුත්, මෙහි ආරම්භක පරීක්ෂණය අසමත් වන ඔහු මිෂනාරි පාසලේ එක් සෙමෙස්ටරයක් අධ්‍යාපන කටයුතු සිදුකළ ද එය ද අසමත් විය. කෙසේ හෝ අවසානයේදී මිෂනාරි ව්‍යාපාරයේ රැකියාවක් හිමිකරගැනීමට 1879 වසරේදී හැකියාව ලැබුණි.



වැන්ගෝර්ගේ තෙළිතුඩින් පිටිසරබද වැසියන් නිරූපණය වී තිබෙන අන්දම ගැන තෙඕ ඇසගසාගෙන සිටියේය. වැන්ගෝර් චිත්‍ර කලාව ප්‍රගුණ කළයුතු බව ඔහු අයැද ඉල්ලා සිටියේය. ඒ අනුව බ්‍රසල්ස් හි Académie Royale des Beaux-Arts හිදී ඉතා කෙටි කලක් චිත්‍ර ශිල්පය ප්‍රගුණ කිරීමේ අවස්ථාව 1880 දී උදාවිය.

ඉන්පසුව උදාවූ ඔහුගේ දුක්ඛදායක දිවියේ ඉතිරි කෙටි කාලය පුරාම චිත්‍ර ශිල්පයේ නියැලෙන අන්දම වැන්ගෝර් තනිවම උගත්තේය. ලී මත කැටයම් කෙරුණු ජපානයේ මුද්‍රණ කලාව හා සිය සගයින්ගේ නවෝත්පාදන ඔස්සේ ඔහු ආභාසය ලැබුවේය. කෙසේවුවත්, තමන්ට අනන්‍ය ශෛලියක් නිර්මාණය කරගැනීමට වැන්ගෝර් සමත්වූවේය. ඔහුගේ නිර්මාණ වල ගැබ්වී තිබූ භාවාත්මක ගතිය රසිකයින් ඔහු වෙත ආකර්ශණය වීමට හේතුවිය. සුළි ආකාර රටාවන්, සජීවී නිරූපණයන් කෙරුණු පින්සල් රටා නිදහසේ නිර්මාණකරණයේ නිරත වූ වැන්ගෝර්ගේ සුවිශේෂී කුසලතා විය.

 

ෆ්‍රීඩා කාර්ලෝ




ඡායාරූප ශිල්පියෙකු වූ ෆ්‍රීඩාගේ පියා සිය දියණියගේ කලා හැකියාවන් හඳුනාගන්නේ ඇගේ කුඩා අවදියේදීමය. ඇයට ඡායාරූප ශිල්පය උගන්වන ඔහු සිය මිතුරෙකු ලවා මුද්‍රණකරණය ගැන ඉගැන්වීමට උත්සුක වූවේ ග්‍රැෆික් කලාවන් ගැන ඈ තුළ උනන්දුවක් ඇතිකරවීමේ අභිලාෂයෙනි. වෛද්‍යවරියක වීමේ සිහිනයෙන් සිටි කාර්ලෝට 18 හැවිරිදි වියේදී හදිසියේ මුහුණදෙන්නට සිදුවූ රිය අනතුරක් නිසා ඇඳටම සීමා වූ දිවියක් ගෙවන්නට සිදුවිය.

යළි සුවපත් වීමේ කාලසීමාව අතරතුරදී වෛද්‍ය සන්නිදර්ශක ඇඳීමේ නිරත වූ ඇය මේ විනෝදාංශය දියුණු කරගැනීමට උත්සහ කළාය. පියා ඇය වෙනුවෙන්ම නිර්මාණය කරදුන් චිත්‍ර ආධාරකයක් හා කණ්ණාඩියක් උපයෝගී කරගෙන ස්ව-ආලේඛ්‍ය චිත්‍ර නිර්මාණය කිරීමට ෆ්‍රීඩා පෙළඹුණාය. තවත් කල්ගතවන විට සිය හැකියාව වැඩිදියුණු කරගත් ඇය රූප සටහන් වෙනුවට තමන් විඳි භාවයන් චිත්‍ර හරහා ප්‍රකාශ කළාය. අද්‍යතන ලෝකයේ අංගයන් හා මෙක්සිකානු සාම්ප්‍රදායික සමාජයේ අංගයන් නුපුහුණු නැති ගමේ ගොඩේ කලාකරුවන් ඇඳි කතෝලික සංකේතයන් සමග බද්ධ කළ වෙනස් අන්දමේ කලාවක් නිර්මාණය කරන්නට ඈ සමත්වූවාය. මෙක්සිකානු අනන්‍යාව ප්‍රශ්න කිරීමට ෆ්‍රීඩා දැරූ උත්සහය තුළ ආකර්ශණීය විලාසිතාවන් බිහිවිය. ඇය ඇඳි චිත්‍ර අතරින් වැඩි ප්‍රමාණයක් ස්ව ආලේඛ්‍ය චිත්‍ර වේ.



 



 

බිල් ට්‍රේලර්


බිල් පිළිබඳ ‘නිව්යෝර්ක් ටයිම්ස්‘ පුවත්පත වෙනුවෙන් 2013 වසරේදී සටහනක් තබන රොබර්ටා ස්මිත් පවසන්නේ, ‘බිල් ටේලර්ගේ හැකියාව හදිසියේම මෙන් ඉස්මතු වූයේ ඔහුට වසර 85 ක් ගතවී තිබූ, ජීවත්වන්නට තවත් වසර 10 ක් ඉතිරිව තිබූ 1939 වසරේදීය.‘ බිල් මෙලොව එළිය දකින්නේ වහල්මෙහෙය උදෙසාය. ඒ 1854 දී ය. කිසිලෙසකින්වත් නිසි අධ්‍යාපනයක් හිමිකරගන්නට වරම් නොලැබෙන බිල් සතුව නිතැතින්ම සහජ කුසලතා පැවතුණි.



සිවිල් යුද්ධයේ අගභාගයේදී වහල් සේවයෙන් නිදහස ලැබූවද ඔහුට අස්වනු නෙලන ගොවියෙකු ලෙස අඛණ්ඩ සේවයේ නිරතවන්නට සිදුවුණි. ඔහු සිය මුල් ගම්බිම් අත්හැර ගියේ ජීවිතයේ අගභාගය ගෙවී ගිය 1935 වසරේදීය. ‘මගේ නෑදෑයෝ ජීවිතයෙන් සමුගත්තා, දරුවන් තැන තැන විසිරී ගියා‘ යනුවෙන් ඒ සමය සිහිපත් කරන බිල් පවසයි.

සන්ධි ඉදිමීමේ රෝගයෙන් පීඩා විඳි බිල් ජීවත්වන්නට නිවහනක් නොමැතිව අවමංගල උත්සව පවත්වන ශාලාවක පිටුපස කාමරයක වැතිරී ගෙන මරණය එනතුරු බලා සිටින අතරතුරදී කලා නිර්මාණ වලට යොමුවූවේය. සිය අවට පරිසරයෙන් සොයාගන්නට හැකිවූ දේවල් වලින් කුඩා ප්‍රමාණයේ චිත්‍ර අඳින්නට පටන්ගත්තේය.



 

බිල් කළ මේ නිර්මාණ එවක තරුණ නිර්මාණකරුවෙකු වූ චාල්ස් ෂැනොන්ගේ නෙත ගැටෙන්නේ අහම්බෙන් මෙනි. ඒ 1939 වසරේදීය. චිත්‍ර අඳින්නට අවශ්‍ය කලමනා ලබාදෙමින් බිල් ව තව තවත් උනන්දු කළ චාල්ස් ඔහුගේ නිර්මාණ වලට අවශ්‍ය මෙවලම් මෙන්ම චිත්ත ධෛර්යය ද නොඅඩුව  ලබාදුන්නේය.

 

බිල් සිය හැකියාවන් අතිවිශිෂ්ට ලෙස විදහා දැක්වූවේය. ඔහුගේ පුද්ගලික ජීවිතය හා සම්බන්ධ වී තිබෙන පුද්ගල රූප, ස්ථාන මෙන්ම වෙනත් සංකේත හා අත්දැකීම් මේ නිර්මාණ තුළින් විදහා දැක්වුණි.

කිසිදු ගුරුවරයෙකු යටතේ පුරුදු පුහුණු නොවූ හැකියාව නවෝත්පාදන අපූරු සෞන්දර්යත්වයක් කැටිකරගනිමින් එළිදුටුවේය.



 

 

Artsy ඇසුරිනි 

සටහන - වින්ධ්‍යා ගම්ලත් 

මීළඟ කොටසින් ස්වයං අධ්‍යයනයේ නියැලුණු තවත් කලාකරුවන් සිව් දෙනෙකු ගැන තොරතුරු  බලාපොරොත්තු වන්න 

සබැඳි පුවත් 

මා චිත්‍රයට නැගුවේ ජීවිතයේ යථාර්තයයි  – ෆ්‍රීඩා කාර්ලෝ

උමතුව මගේ ජීවිතයයි – ෆ්‍රීඩා කාර්ලෝ 

0 comments: