Hot!

එළියකන්ද වධ කඳවුරින් පේන්නේ අපේ සමාජයේ විකෘතියයි - රෝහිත මුණසිංහ



''රෝහිත මුණසිංහ යනු එළියකන්ද වධ කඳවුර පිළිබඳව මුල් වරට තතු හෙළි කල පුද්ගලයාය. ඔහු එළියකන්ද වධ කඳවුරේ සිටි වින්දිතයෙකි. පසුකාලීනව ඔහු  එළියකන්ද වධ කඳවුර නමින් පොතක් ලිවීය.  

2003 වසරේදී මනෝ ප්‍රතිකාරයන් සඳහා මනෝවෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා මට හමුදා සෙබලෙකු යොමු කරන අතර ඔහු එළියකන්ද වධ කඳවුරේ සිටි  රැකවලෙකි. ඒ වන විට මෙම සෙබලා පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවයෙන් (PTSD) පෙලෙමින් සිටියේය. මේ නිසා එළියකන්ද වධ කඳවුර පිලිබඳව සහ එහි මනෝ ගතිකයන් පිලිබඳව මම අධ්‍යනය කලෙමි. 

එළියකන්ද වධ කඳවුරේ සිටි තවත්  රැඳවියෙකු වූ  අජිත් පැරකුම් ජයසිංහ සමගද මා මීට ඉහතදී  සාකච්ඡාවක් කොට තිබේ.  අජිත් පැරකුම් ජයසිංහද එළියකන්ද වධ කඳවුර පිලිබඳව පොතක් ලියා ඇත. මා දකින පරිදි රෝහිත මුණසිංහ සහ අජිත් පැරකුම් ජයසිංහ යනු ඉතා ක්‍ෂිතිමය අත්දැකීම් වලට මුහුණදී පසුකාලීනව සාර්ථක ලෙසින් සමාජගතවූ පුද්ගලයන් වෙති.  

මෑතකදී මට පැරීසියේදී රෝහිත මුණසිංහව හමුවූ අතර ඔහු විසින් මට එළියකන්ද වධ කඳවුර පිලිබඳව සාකච්ඡාවක්  ලබා දුන්නේය. පහත දැක්වෙන්නේ රෝහිත මුණසිංහගේ අත්දැකීම්ය.''



ඔබව අත්අඩංගුවට ගන්නා හේතුව ගැන කිව්වොත් ?  


දුරස්තර හේතුව, මම 1982 වැලිගම, ජවිපෙ ආසන සංවිධායකව සිටිමින් ප්‍රසිද්ධ දේශපාලනයේ නියැලීම. ආසන්නම හේතුව, ආසනයේ යු.එන් පි. මන්ත්‍රී හමුදාවට ඔත්තුව දීම.  1982 රෝහණ විජේවීර තරග කරපු ජනාධිපති ජන්දෙදි මම ආසන සංවිධායකව සිටිමින් ප්‍රසිද්ධ රැස්වීම් ඇමතු කථිකයෙක්. ගමේ මිනිස්සු අතර හොඳ නමක් තිබුණ නිසා ඉදිරි මහා මැතිවරණයකදී අපේක්ෂකයා වෙන්න හිටියෙත් මම. ඒක නිසා ආසනයේ අංක එකේ ජේවීපී කාරය විදියට ගමේ මිනිස්සු දැනගෙන හිටියේ මගේ නම. 81, අධ්‍යාපන ධවල පත්‍රිකාව, 82 ජනාධිපති ජන්දය සහ තවත් සිද්ධියකට මම තුන්වතාවක් රිමාන්ඩ් බන්ධනාගාර ගතවෙලා මාස අටක් ඉඳල තියෙනවා. එනිසා වැලිගම පොලිසිය මම කවුද කියල හොඳට දැනගෙන හිටිය.


83 ජවිපෙ තහනම් වුණා. මම භූගත (UNDER GROUND )නොවී සාමාන්‍ය විදියට එළිපිටම ජීවත් වුණා. ඒ අතර වූ සිද්ධියක් තමයි මේ මන්ත්‍රී නගරාධිපතිව ඉන්න කාලේ 88 මුල විතර නාදුනන තුවක්කු කරුවෙකුගේ ඉලක්කයට ලක්වෙලා තුවක්කුව පත්තු නොවීම නිසා ජීවිතය ගැලවීම. (එය මෙයාගෙම අධ්‍යක්‍ෂණයෙන් යුතු ජවනිකාවක් කියලත් ගමේ මිනිස්සු කිව්වා) ඒ සිද්ධිය වුණේ මගේ නිවසට පේන නොපෙනෙන දුරින්. මමත් බයිසිකලයකින් වෙනත් දිසාවකට යමින් සිටින අතර. එහෙත් එයාගේ ඥාතින් හෝ යුඑන්පී පාක්ෂිකයෝ කිසිවෙක්  මට වචනයකින් වත් තර්ජනය කරන්න ආවෙවත් පොලිසිය මම හොයාගෙන ආවෙවත් නෑ. ඇත්තටම මම ඒ වගේ ඝාතන අනුමත කළෙත් නෑ.


මහලු මොන්ටේගු ජයවික්‍රමගෙන් පසුව මෙයා මන්ත්‍රී වුණා. 1989 නොව:13 විජේවීර සහෝදරයා මරල දාපු දවසට පසුවදාම හමුදාවෙන් කඩා පැනල මම අත්අඩංගුවට ගන්නවා. ඒ කියන්නේ විජේවීර අල්ලලා මරපු ගමන් මෙයාලගේ භය ගියා. ජවිපෙ සමූල ඝාතනය කරලා මුලින්ම උපුටා දමන්න පටන් ගත්තා. බිත්තියට හේත්තු කරලා හිටපු මිනිස්සු ආපිට හැරිලා විකන්න පටන් ගත්ත වගේ.


හරි නම් මම අත්අඩංගුවට ගන්න ඕන හමුදාව නෙවි මම ගැන දැනගෙන හිටපු පොලිසිය. අනික මමත් සමගම මගේ මස්සිනාත් අත්අඩංගුවට ගත්ත.(බිරිඳ ගේ සොයුරා) මෙයාට ඕන වුණා අපි දෙන්නම ඉවර කරන්න. ඒ සියල්ලෙන්ම ඔප්පු වෙන්නේ වැඩේ කළේ මිනිහ. වැලිගම නිව් රෙස්ට් හවුස් හමුදා කඳවුරයි මන්ත්‍රීගේ  ගෙදරයි අතරේ හූවක දුරක් නෑ. මන්ත්‍රී හමුදාවට ඔත්තු දෙන බව රෑට අපි මුර කරන සෙබළු කතා කරනවත් මට ඇහිලා තිබුණා. 2004 මම ලංකාවට ගියාම මේ හිටපු මන්ත්‍රී එයාගේ ගෙවල් කිට්ටුව කඩයක් ඉස්සරහ ඉන්නවා දැකල මම වාහනයෙන් බැහැල මිනිහ ලඟට ගිහිල්ල ඇහුව, "හලෝ කොහොමද? කියල. මිනිහ ගල් ගිල්ල වගේ මගේ දිහා බලන් හිටිය.



ඔබව අත්අඩංගුවට ගත් අයුරු කියනවා නම් ?


නොවැ:14 හවස 5,30 ට පමණ කාලවර්ණ ඇදුම් ඇඳ ගත්ත 15 දෙනෙකු ගෙන් පමණ යුතු සන්නද්ධ කණ්ඩායමක් ගෙය වට කරලා මම අල්ල ගෙන දෑස බැඳලා සුදු වෑන් එකක දාගෙන ගියා.


ඔබව එළියකන්දට යවන්නේ ඇයි ?


වැලිගම කඳවුරේදී දින 18 ක් වද දීලත් මම කිසිවෙකු පාවා දුන්නේ නෑ. කේ.පොයින්ට් එකේදී තෝ මස් කරන කොට කට ඇරේවි. නැත්නම් මැරේවි. ‘පලයන් එළියකන්දට කියල තමයි යැව්වේ‘.  



එළියකන්ද වධ කඳවුර ගැන සුළු විස්තරයක් කරනවා නම් ?


එහි කොටස් දෙකක් තිබුණා. යට කොටස පැරණි ගුරු අභ්‍යාස විද්‍යාලයේ ගොඩනැගිලිවල තිබුණ වධකාගාරය. දැන් ඒවා රුහුණු විශ්ව විද්‍යාල සිසුන්ගේ නේවාසිකාගාර. මාතර, වෙරළාසන්න පාර, තංගල්ල පාර, බ්‍රවුන් හිල් පාර යන කොයි විදියෙන් ගියත් මෙතන හමුවෙනවා. ඊළඟට තංගල්ල පාරේ ඉදිරියට යනකොට එළියකන්ද මුදුනට දිවෙන පාර හමුවෙනවා. කන්ද මුදුනේ පැරණි වලව්වක් වගේ ගෙයක කාමරවල, මිදුලේ අටවපු ලොකු කැන්වස් කූඩාරමක, පොල් අතු මඩු කිහිපයක පිරිස් රඳවා හිටිය. දිනපතා අතිශය කෘර වද බන්ධන වලට ලක් කළා. 2004,06 වසර වල ලංකාවට ගිහිල්ල මම එළියකන්ද හොයා ගෙන ගිහින් විස්තර හොයල, ජායාරුප අරගෙන ඒවා එළියකන්ද පොතේ ඊළඟ මුද්‍රණවලට ඇතුලත් කළා.


එහි සිටි නිලධාරින් සහ සෙබළුන් කවුද ?


සිංහ රෙජිමේන්තුවට අයත් මේ වධක සෙබළුන් "Bombodiyar " කියල දෙතුන් දෙනෙකුටත්, "සර් "කියල එක් අයෙකුටත් කතා කරනවා ඇහුණා. නම් වශයෙන්, ගම්පහ දයාරත්න ,උදයරත්න, සිරිල්, වික්‍රමසිංහ හෙවත් විකී, හර්ෂ යන අයවලුන් හිටියා.


කුමන ක්‍රමයේ වද ක්‍රම එහි භාවිතා කළාද ?


ඉවක් බවක් නැතිව පොලු මුගුරු වලින් සේම අතින් පයින්, එකට තබා ඇඹරූ වයර් කස, වැලි පිරවූ හෝ නැති එස්ලෝන් බට වලින් පහර දීම, දෙපයින් සේම මහපට ඇඟිලි දෙකින් උඩ එල්ලීම, වධක මේසයක් මත දිගාකර විලංගු ලා දැලිපිහි වලින් මස් කිරීම, නියපොතු ගැලවීම,ගුද මාර්ගයේ කටු කම්බි යැවීම, පිළිස්සීම හෝ හණ ගැසීම, හිසට ෂොපින් බෑග් දමා ගැට ගසා හුස්ම හිර කිරීම, වතුර බාල්දියක මුහුණ ගිල්වීම, ගෝනියක දමා ඔසවා පොළොවේ ගැසීම, රත් වූ බොරළු පොළොවේ බඩ ගෑවීම, උස අඹ ගස් වලට නංවා බිමට පැන්නවීම, ලිංගයට මිරිස් කුඩු දැමීම, ලාබාල තරුණයන් ඔවුන්ගේ ලිංගික ගොදුරු වශයෙන් පාවිච්චි කිරීම ආදී හිතෙන හිතෙන වද දුන්නා.  



ඔබ පත්වෙන්නේ කුමන වධයටද ?


උඩ එල්ලා පහර දීම, නියපොතු ගැලවීම, පොලු වයර් හා එස්ලෝන් බට වලින් පහර දීම, ෂොපින් බෑග් දමා හුස්ම හිර කිරීම, සුසුම්නාව කියන පොල්ලෙන් ගෙල පිටුපසට  පහරදීම, පහට ගැන අවසන් වනවිට කෑම සහ වැසිකිළි යාම, උදේ දහවල් සවසට හැර මුත්‍රා කිරීමට ඉඩ නොදීම, තුන් වේලට හැර බීමට ජලය නොදීම ආදියත් වධ වලට ඇතුළත්.


එහි සිටි වධකයන් ගැන තොරතුරු කියනවා නම් ?


හර්ෂ ළඟ මනුස්සකම් තිබුණා. විකී හැම තිස්සෙම ගැහුවේ නැති උනත් නිතරම ඔළුවෙන් සිටවීම දරා ගන්න අමාරුයි. ගංජා බීල වැඩි උනාම ගහගෙන ගහගෙන යනවා. අලුත්ගම පැත්තේ සිරිල් සිල්වා එයාගේ රා ව්‍යාපාරය ගැන පම්පෝරි කිව්වා. කරවල,උම්බලකඩ ගෙන්නවා ගන්න පුළුවන් අයගෙන් ඒවා ගෙන්නවා ගත්ත. දයාරත්නයි උදයරත්නයි ආපු දවසට අපි නොමරා මැරුවා.


ඔබගේ පොතේ ඔබ ‘දළයෝ‘ කියා කොටසක් ගැන කතා කරනවා. එලියකන්දේ සිටි දළයෝ කියන්නේ කවුද ? මොනවාද ඔවුන්ගේ රාජකාරි ?


අල්ල ගෙන ආපු අය අතරින් පාවා දීම් කරලා හීලෑ වෙන අය දළයෝ කරලා වදකයන්ගේ සහයට තියා ගන්නවා. ඔවුන්ට ගහන්නේ, දෑස් බදින්නේ නෑ. නිදහසේ කන්න බොන්න නාන්න වැසිකිළි යන්න, සුවසේ නිදාගන්න අවස්ථාව ලැබෙනවා. උදයට දවල්ට රෑට කෑම දෙන වෙලාවට අපේ අත පයේ බැමි ලිහීම, මාංචු ගැලවීම, නැවත බැඳීම, නාවන දවසට වතුර බාල්දි දෙකක් ඔළුවට දැමීම, සෙබළුන් ගේ පුද්ගලික ඇඳුම් සෝදා මැද දීම තමයි ප්‍රධාන රාජකාරි. ඒ වගේම රැඳවියන් අතර සිටිමින් ඔවුන් පරීක්ෂා කිරීමත් කළයුතුයි. එහෙම කළේ අපේ ශරීර වලින් නැගෙන අධික දුර්ගන්ධය නිසා වදකයන්ට ටිකක් ඈතින් සිටීමට ඕනෑවීම. සමහර දළයෝ ගෝනි බිල්ලන් විදියට පිටතට අරගෙන ගියබව ප්‍රසිද්ධ රහසක් !


ඔබ සිටි කාලය ඇතුළත එළියකන්දේ මිනිසුන් කී දෙනෙකු ඝාතනය කරන්න ඇතිද ?


මම හිටියේ මාස 2 යි. ඒ මුළු කාලයේ ඇස් බන්දලයි හිටියේ. කනට ඇසුන විදියට අඩුම තරමින් 30 ක් විතර මරන්න ඇති ! දිනක් රෑ කෑම දුන්නට පස්සේ මුත්‍ර වල ළඟට යනකොට මට මිනිහෙක් පෑගුණා. මිනී 5 ක් බිම බාවල තිබුණ බව ඒ නිමේශයට දැක්ක.





[caption id="attachment_21161" align="alignright" width="300"] රෝහිත මුණසිංහ තම ගෙවත්තේ විවේකීව සිටින අවස්ථාවක්[/caption]


වර්තමානයේ ඒ ඝාතකයන් ඉන්නේ කොහෙද ?


මම දන්නේ නෑ. නමුත් ඔවුන්ට ස්වාභාවික මිනිසුන් විදියට ඉන්න පුළුවන් වෙයි කියල හිතන්නේ නෑ. ගම්පහ දයාරත්න කියන වදකයා රවී කරුණානායක ගේ ආරක්ෂකයෙක් වෙලා ඉඳල ඒ අතරේ මංකොල්ලයකට අහුවෙලා වැලිකඩ හිටිය බවත්, රවී සහ එස්.බී. ඔහු බලන්න බන්ධනාගාරයට ගිය බවත් 2004 දී ලංකාවට ගියවිට මට දැන ගන්න ලැබුණා.


එළියකන්දෙන් පසු ඔබේ ජීවිතය ගලා ගියේ කොහොමද ?


බූස්ස රැඳවුම් කඳවුරේ මාස 6 ක් සහ කොග්ගල පුනරුත්ථාපන කඳවුරේ මාස 2 ක් ඉඳල එළියට ගිහිල්ල මාසයක් යන්න කලින් ප්‍රංශයට ආවා.


එළියකන්ද කඳවුරේ අත්දැකීමෙන් පසු ඔබ මානසිකව නොවැටී සාර්ථකව සමාජ ගතවෙනවා. මේ හැකියාව ඇතිවුයේ කොහොමද ?


මම කොහොමටත් මානසික වශයෙන් ශක්තිමත්, අභියෝග හමුවේ නොසැලෙන, ප්‍රතිපත්ති ගරුක කෙනෙක්. සාර්ථකව සමාජ ගතවීමේදී මට බලපෑ ප්‍රධාන සාධකය මගේ බිරිඳ ගේ නොවෙනස් සහ ගැඹුරු ආදරය. ඇය විශාල ආත්ම ශක්තියකින් මම නිදහස්ව එනතුරු ජීවිතයට මුහුණ දුන්න. දෙවැන්න මගේ පවුලේ සහ බිරිඳ ගේ පවුලේ අය මට දැක්වූ ආදරය, දුන් රැකවරණය, සහ ශක්තිය. මම ප්‍රංශයට එව්වේ මගේ පුංචි මල්ලි "දයා කීර්ති". මම වීසා එක ගන්න වත් පිටතට ගියේ නෑ. මම ගෙදර තියාගෙන ඉඳලා ප්‍රංශයට එන දවසේ ගුවන් තොටුපලට ගෙනත් ඇරලුවෙත් මගේ බාප්පා ‘ජී. එච්. බුද්ධදාස‘. ඊට පස්සේ මගේ බිරිඳයි පුතයි ප්‍රංශයට ගෙන්න ගන්න තුරුම බලාගත්තෙත් බාප්පයි කුඩම්මයි. අවසානයේදී පිහිටට හිටියේ පවුලේ අයයි, එක මිත්‍රයෙකුයි පමණයි.




එළියකන්ද වධ කඳවුර ගැන අද දිනයේ ඔබ සිතන්නේ කුමක්ද ?


අපි, අපේ ජනාධිපතිට උතුමාණන් වහන්සේ කියපු රටක මිනිස්සු නේ ? ඔබ දන්නවා ඔබ ඉන්න රටේ අගමැතිටත් මම ඉන්න රටේ ජනාධිපතිටත් අපිට ඔවුන් මුණ ගැසුනොත් නිකම්ම නම කියල කතා කරන්න පුළුවන්. ලංකාවේ ඉන්න බොහොම දෙනෙක් තමන්ට ගරු නම්බු ලැබෙනවටත්  අනික් අය තමන්ට වඩා පහළින් ඉන්නවටත් කැමතියි. 


ලංකාවේ යුධ හමුදාවේ ඇතුළෙම තියන විකෘතියේ  තවත් විකෘතියක් තමයි එළියකන්ද වද කඳවුර. හමුදා රෙජිමේන්තුවල උසස් නිලධාරින් අතරේ තරගයක් තිබුණ ජවිපෙ මර්දනය කරලා ආණ්ඩුවේ මහතැන් වලින් ලකුණු දාගන්න. සිංහ රෙජිමේන්තුව දකුණට එන්නේ එහි එලයක්වි දියට. එළියකන්දේ වධකයෝ ගජබා එකට කිව්වේ "ගජබා බබාල" කියලා. ගැමුණු එකට "තොත්ත බබාලා" කියල. එයාලට රෙජිමේන්තු විරෝධය, දකුණ විරෝධය ඉහළින්ම තිබුණා. උතුරු නැගෙනහිරදී නිල ඇඳුම් ඇඳගෙන කාලතුවක්කු, මෝටාර්, මිසයිල් එක්ක හමුදාව සමග මුහුණට මුහුණ දීල සටන් කරලත් තිස්දාහක් විතර පුහුණු සාමාජිකයෝ හිටපු කොටි සංවිධානේ පනස්දාහක් මැරුවේ නැහැ. නිල ඇඳුම්, බර ආයුධ, පුහුණු සාමාජිකයෝ පන්දහසක්වත් නැති, මුහුණට මුහුණ දීල සටන් නොකරපු දකුණේ තරුණයෝ හැට දහසක් අවුරුදු දෙකක් ඇතුළත මරන්නේ ඇයි ?  එක තමයි අපේ රටේ සමස්ත විකෘතිය !





සාකච්ඡා කළේ වෛද්‍ය රුවන් එම් ජයතුංග

0 comments: