Hot!

නන්දිතා දාස් - මන්තෝ ගැන කියයි

 මන්තෝ කියන්නේ කවුද ? 


පංජාබයේ ඉපදුණු සාදත් හසන් මන්තෝ සුවිශේෂී ලේඛකයෙකු විය. සමාජය තුළ තැලී පොඩිවුණු මිනිසුන් විඳි ජීවිතය ගැන ඔහු ලියූ කම්පිත කෙටිකතා ඉන්දියාවේ සැබෑ චිත්‍රය ලෝකය හමුවට ගෙන ආවේය.  මන්තෝගේ බොහෝ කෘතීන් වලට මුල්වූයේ 1936 සිට 1948 දක්වා කාලයේදී මුම්බායේ ගෙවූ ජීවිතයයි. සිය දිවියේ සතුටින් ගෙවූ කාලය ලෙස නම්කරන්නේ මේ සමයයි. ඉන්දියාවේ ගෙවුණු සමයේදී ඔහු අත්විඳි සුන්දර මෙන්ම අසුන්දර අත්දැකීම්ද ලේඛන ලෙස එළිදක්වා ඇත. හඬක් නැති මිනිසුන්ට හඬක් වූ මන්තෝට සිය කෙටිකතා අශෝභන බවට එල්ල වූ අසත්‍ය චෝදනා හයක් හමුවේ නීතියේ ඉදිරියේ පෙනී සිටින්නට සිදුවූවේය.


නන්දිතා දාස් සිනමාව තුළ මැවූ මන්තෝ


නන්දිතා දාස් විසින් තිර පිටපත ලියා අධ්‍යක්ෂණය කළ මන්තෝ (Manto) සිනමාපටය තුළ දිගහැරෙන්නේ ඔහුගේ ජීවන කතාවයි. විශේෂයෙන්ම, මේ සිනමාපටයේ අවධානයට ලක්කර තිබෙන්නේ මන්තෝ පාකිස්ථානයට යාමට පෙර බොම්බේ හි ගතකළ අවසන් අවුරුදු කිහිපයයි.  නන්දිතා දාස්  අධ්‍යක්ෂණය කරනු ලබන දෙවන වෘත්තාන්ත සිනමාපටය මෙය වන අතර එය එළඹෙන ඔක්තෝබර් 11 වැනිදා ලන්ඩන් සිනමා උළෙලේදී ප්‍රදර්ශනය වීමට නියමිතය. පසුගිය මැයි 13 වැනිදා කෑන්ස් උළෙලේදී මේ සිනමාපටය මුල් වරට ප්‍රදර්ශනය විය. නව්සුදීන් සිද්ධික් මෙහි මන්තෝගේ චරිතයට පණදෙයි. තාහිර් රාජ් බාසින්, රසිකා දූගල් ද මෙහි රංගනයෙන් දායක වේ.



‘‘මන්තෝ තමන් වටා සිද්ධ වෙන දේවල් වලට අපූරු ප්‍රතිචාර ලබාදුන්නු කෙනෙක්. ඔහු කරපු කියපු දේවල් අදට පවා වලංගුයි. කාන්තාවන් හා ලිංගික ශ්‍රමිකයින්  සම්බන්ධයෙන් බොහොම සංවේදීව කටයුතු කරපු කෙනෙක්. ඉන්දියාවේ කිසිම ලේඛකයෙකු ඒ සමයේදී මෙවැනි තේමාවන් තෝරාගත්තේ නැහැ ‘‘ මන්තෝ ගැන පවසන නන්දිතා දාස් අදහස් දක්වන්නීය.



සමස්ත සිනමාපටය පුරාවටම මන්තෝ විසින් රචිත කෘතීන් පහක් ගැන මතකය නන්දිතා දාස් විදහා දක්වන අතර මන්තෝගේ නිර්මාණ මෙන්ම  ප්‍රබන්ධ හා කරුණු අතර ඇති රේඛාව  මේ සිනමාපටය තුළ බොඳකර හරින බව විචාරක මතය වී ඇත.


ඉන්දියාව හා පකිස්ථානය අතර ඇති මිත්‍රත්වය විදහා දැක්වූ "Toba Tek Singh" නමින් ඔහු ලියූ කෙටිකතා පෙළ අතිශයින් ජනප්‍රියත්වය පත්වුණි. පාකිස්ථානය ස්වාධීනත්වය ලැබූ සමයේදී ලාහෝරයේ දිවි ගෙවූ තැනැත්තෙකු පදනම් කරගෙන මේ කෘතිය ලියැවී ඇති අතර ඊට යටින් ලාහෝර් නගරයේ සිටි පිම්පියන්, මැරයින්, රූපලාවන්‍යගාර පවත්වාගෙන යන ස්ත්‍රීන් සහ මුඩුක්කු පෙදෙස් වල ජීවත් වූ ලිංගික ශ්‍රමිකයින් ගැන ද සදහන් කර ඇත.



මන්තෝ (Manto) සිනමා නිර්මාණය හා නන්දිතා දාස් 


මන්තෝ ගැන අදහස් දක්වන සුප්‍රකට ලේඛක සල්මන් රුෂ්ඩි පවසන්නේ, ‘‘මන්තෝ ඔහුගේ යුගයේ දිවි ගෙවු අසමසම ලේඛකයා යි. ඉන්දියාව හා පාකිස්ථානය ගැන දෙගිඩියාවෙන් සිටි මෙන්ම දෙරට අතර පැවති දරුණුතම ගැටළු වලට මැදිහත් වුණු තැනැත්තා ඔහුයි. බොම්බේ නගරය මන්තෝගේ නිර්මාණයන් පුබුදුවා ලු තැනයි‘‘ යන්නයි.


මේ සත්‍යය මන්තෝ ගැන නිර්මාණය වු සිනමාපටයෙන් ද දිගහැරේ. 1940 දශකයේදී මන්තෝ නගරය නියෝජනය කළ හඬ බවට පත්ව සිටියේය. සත දෙකකින් මෙන්ම රුපියල් 10,000 ක් අතේ තබාගෙන නගරයේ ජීවත් විය හැකි අන්දම ගැන සංචාරක මඟපෙන්වන්නෙකුගේ විලාසයෙන් මන්තෝ කියාදුන්නේය. 40 දශකයට පෙර හා පසු  බොම්බාය තුළ පැවති සංකීර්ණත්වය සම්බන්ධයෙන්  මන්තෝ මෙන්ම නන්දිතා දාස් ද බියට පත්නොවන බව සිනමා විචාරක අදහසයි.


‘‘බොම්බායේ සුවිශේෂී සංධිස්ථාන වන ඉන්දියාවේ පිවිසුම් දොරටුව, චිත්‍රාපති ශිවාජි දුම්රියපොළ වැනි ස්ථාන ගැන කියලා සුලභ කතා කියන්න මට වුවමනා වුණේ නැහැ. සාමාන්‍ය මිනිස්සු ඉන්දියාව දකින්නේ කොහොමද යන්න අවධානයට බඳුන් කරන්න මට වුවමනා වුණා.‘‘ 


මන්තෝ ඔහුගේ ජීවිත කාලය පුරාම සිය අනන්‍යතාවය සම්බන්ධයෙන් දැවැන්ත අරගලයක නිරත වූ බවත් මේ සිනමාපටය නිර්මාණය කිරීමට පෙළඹවු මූලික සංසිද්ධිය වුයේ එය බව ඇගේ අදහසයි. සික්, ක්‍රිස්තියානි හා යුදෙව් පිරිස් වෙසෙන ජනාකීර්ණ නගරයක ජීවත් වූ මන්තෝ මුස්ලිම් ජාතිකයෙකු වූවේය.




[caption id="attachment_20917" align="alignright" width="300"] නව්සුදීන් - මන්තෝ ලෙස[/caption]

මන්තෝ දුටු ඉන්දියාව 


එක ගොඩේ ජීවත් වූ රෙදිපිළි කර්මාන්ත ශාලා වල රැකියාවේ නියැලුණු කම්කරුවෝ ද තවත් පසෙකින් සුඛෝපභෝගී ජීවිත ගෙවු සිනමා ශිල්පීන් ද මන්තෝගේ ඇසට හසුවූවේය. මේ ප්‍රතිවිරෝධතා හා අසමානතා මැද හුස්ම ගත් මන්තෝ තුළ බුම්බායි හි නුතන වෘත්තාන්තය පිළිබිඹු වේ. මේ පරිසරය මන්තෝගේ අනන්‍යතාව මූර්තිමත් කිරීමට හැකිවිය. නමුත්, සිය ආගමික අනන්‍යතාවය හමුවේ අභියෝග වලට ද මුහුණදෙන්නට සිදුවූවේය.


‘‘අනන්‍යතාව, ජාතිකවාදය හා ආගම ගැන වූ ගැටළුව සමග අදටත් අප පොරබදිනවා. මේ ප්‍රශ්න  ඉන්දියාවේ පමණක් නොව සමස්ත ලෝකය පුරාම විසිරී තිබෙනවා. අනන්‍යතා දේශපාලනයේදී එදා මෙන්ම අදත් මන්තෝගේ වචන රැව් පිළිරැව් දෙනවා‘‘ යැයි නන්දිතා දාස් පවසන්නීය. 


‘‘මන්තෝගේ නිර්මාණ බිහිවූවේ ඔහුගේ අත්දැකීම් තුළිනුයි. තමන් දුටු සත්‍යය කොයිතරම් තිත්ත වුණත් ඒ ගැන ඇත්ත කියන්න මන්තෝ කිසිදාක බිය වුණේ නැහැ. සදාචාරය, මනුෂ්‍යත්වය හා සත්‍යය ගැන ඔහු තුළ තිබූ හැඟීම අද ලෝකයටත් වැදගත්. ‘පසු සත්‍යය හා අසත්‍ය පුවත්‘ වැනි සංකල්ප ගැන නූතන ලෝකය තුළත් කතාබහ සිද්ධවෙනවා. සත්‍යය පැවසීමේ අවකාශය හැකිලෙමින් තිබෙන බව අප පවසනවා‘ ඔහු එදා මේ ගැන කතා කළා




[caption id="attachment_20920" align="alignleft" width="300"] සැබෑ මන්තෝ[/caption]

‘‘මේ සිනමාපටයේදී සිද්ධවෙන්නේ හුදෙක් ඉන්දීය ලේඛකයෙකුගේ ජීවිත කතාව පැවසීම නොවේ. ඉන්දීය සමාජය මෙන්ම සමස්ත ලෝකය තුළම තිබෙන සීමා මායිම් ගැන කතාබහට ලක්කෙරෙනවා. අප හා ඔවුන්, එක් මනුෂ්‍ය කොට්ඨාසයක් හා තවත් මිනිස් කොට්ඨාසයක් අතර පවතින බෙදීම් ගැන මෙහිදී කතාබහට ලක්කරනවා. සත්‍යය ගැන වෙන වැදගත්කම අපෙන් ගිලිහෙමින් යනවා, අපි  අවංක වීම නතරකර දමා තිබෙනවාද ?‘‘  


නන්දිතා දාස් සිය නිර්මාණය හරහා ඉදිරිපත් කරන මන්තෝ නිදහස් සිතුවිලි වලින් පිරි තැනැත්තෙකුය. පාකිස්ථානය මෙන්ම ඉන්දියාව යන දෙරටටම මුහුණදෙන්නට සිදුවන අභියෝග ගැන දැන සිටි මන්තෝ අනාගත වක්තෘවරයෙකුද ?  යන්න ඇය ප්‍රශ්න කරයි.


‘‘සිනමා නිර්මාණයක් හරහා මේ තමයි හැබෑ ඉන්දියාව යැයි කියන්න කිසිවෙකුට බැහැ. ජිග්සෝ ප්‍රහේලිකාවක් වගේ එකිනෙක කෑලි එකතු කරලා අවසානේදී සම්පූර්ණ රූපය එකතු වුණාම ඉන්දියාව මොනවගේද කියලා දැකගන්න හැකිවෙනවා. මොකද එකිනෙකා ඉන්දියාව ගැන තේරුම් ගන්නේ විවිධාකාරයටයි. ඔහු එදා සමාජයේ හෘද සාක්ෂිය බවට පත්වුණා. එකල ඔහු රචනා කළ දේවල් මේ සමයේදී ලිව්වා නම් බොහෝ දුරට ඔහුගේ නිර්මාණ තහනම් වෙන්න තිබුණා‘‘ මන්තෝ අද ජීවත් වුවහොත් ඔහුට අත්වන ඉරණම ගැන නන්දිතා පවසන්නේ එලෙසිනි. 



The Guardian ඇසුරිනි


සටහන - වින්ධ්‍යා ගම්ලත් 


 

 

 

0 comments: