Hot!

ෆ්‍රීඩා කාර්ලෝ ගැන ඔබ දැනගත යුතුම දේවල්

20 වන සියවසේ විශිෂ්ටතම කලා ශිල්පිනියක වූ ෆ්‍රීඩා කාර්ලෝ ගේ කලා නිර්මාණයන් තරමින්ම සුප්‍රසිද්ධ වූ ජීවන වෘත්තාන්තයක් තිබේ. ඇගේ දිවිය පදනම් කරගත් කෘතීන් මෙන්ම ඔස්කාර් සම්මාන ලැබූ සිනමා නිර්මාණ පවා ඇත. ඇය අනුගමනය කළ සුවිශේෂී විලාසිතා මෙන්ම ඇයට වඩා වසර 21 කින් වැඩිමහල් දියෝගු රිවේරා සමග ගතකළ දිවිය ගැන අදටත් කතාබහට ලක්වේ. ෆ්‍රීඩාගේ චිත්‍ර නිර්මාණ තුළින් විදහා දැක්වෙන්නේ ඇගේම ජීවිතයයි. මේ ෆ්‍රීඩා ගැන එතරම් ජනප්‍රිය නොවුණු කරුණු කීපයකි.



 

ෆ්‍රීඩා ස්ව ආලේඛ්‍ය චිත්‍ර වලට දැඩි ඇල්මක් දැක්වූවාය

ෆ්‍රීඩා ඇඳ තිබෙන චිත්‍ර 143 න් 55 ක්ම ස්ව ආලේඛ්‍ය ඒවාය. සිය ජීවිතය තුළ මුහුණදුන් හදිසි අනතුර හා ඒ හේතුවෙන් සදාකල් විඳින්නට වූ වේදනාව සමනය කරගන්නට ඇය, ඇයවම චිත්‍රයට නැගූ බව පැවසේ. ඇය විඳි ශාරීරික මෙන්ම මානසික වේදනාව ද මේ හරහා මුදාහැර ඇත.



තම සැබෑ වයස රහසක් ලෙස තබාගැනීම

ෆ්‍රීඩා ට වයස අවුරුදු 6 දී ඇයට පෝළියෝ වැළඳුණු අතර මේ නිසා ඇගේ දකුණු කකුල වම් කකුලට වඩා කුඩා හා සිහින්වට දිස්විය. මේ නිසා නිතරම පාහේ දිගු සායවල් වලින් සැරසුණු ෆ්‍රීඩා ‍මේ පෙනුම ලෝකයෙන් වසන් කරගැනීමට උත්සහ දැරුවාය. නමුත්, ඇය පාසලේදී මේ බව අනාවරණය නොකර සිටියා. 1922 දී National Preparatory  පාසලට සම්බන්ධ වූ ඇය මෙක්සිකානු සංස්කෘතිය සම්බන්ධයෙන් එකල ඇතිවූ නව ප්‍රබෝධයත් (indigenismo) සමග  ගමන් ගත්තාය.

[caption id="attachment_20743" align="alignnone" width="210"] ෆ්‍රීඩා 1926 දී[/caption]

මෙක්සිකන් සංස්කෘතියට ඇති නැඹුරුතාව පෙන්වීමට ඇය සිය සැබෑ වයසින් වසර තුනක් අඩුකර එය තම උපන් වර්ෂය බව පැවසුවාය. මෙක්සිකානු විප්ලවය පටන්ගත් 1910 වසරේ ජූලි 7 වැනිදා තමන් උපත ලැබූ බව ඇය පැවසුවාය. නමුත්, හැබෑවටම ඇය ඉපදුණේ 1907 ජූලි 6 වැනිදාය.

 

ෆ්‍රීඩාගේ සිහිනය වී තිබුණේ වෛද්‍යවරියක වීමයි

කුඩා වියේදී සිටම ෆ්‍රීඩාගේ දැඩි අභිලාෂය වී තිබුණේ වෛද්‍යවරියක වීමයි. කලාව ඇගේ විනෝදාංශයක් වී තිබූ අතර එය ඡායාරූප ශිල්පියෙකු වූ ඇගේ පියාගෙන් උරුමවූවකි. මේ සිහිනය බිඳවැටෙන්නේ වයස අවුරුදු 18 දී ඇය හා ඇගේ පෙම්වතා මුහුණදුන් මාරාන්තික අනතුරෙන් පසුවය. ඔවුන් ගමන් කරමින් තිබූ බස් රථය අනතුරකට ලක්වූ අවස්ථාවේදී බස් රථයේ තිබූ යකඩ අත්වැල ඇගේ සිරුර හරහා ගොස් උකුල ප්‍රදේශයෙන් පිටතට මතුවිය. මාස ගාණක් පුරා රෝහල් ඇඳට සීමා වූ ජීවිතයක් ගතකරන්නට ඇයට සිදුවිණි. ඉන්පසු ඇගේ පියා ඇඳේ සිටම චිත්‍ර ඇඳිය හැකි චිත්‍ර තබන විශේෂ ආධාරකයක් නිර්මාණය කරදුන් අතර මේ සමයේදී ෆ්‍රීඩා සිය කුසලතා එළිදක්වන්නට වූවාය. අනතුරින් පසුවද වරින්වර සිරුරේ ඇතිවූ නිදන්ගත වේදනාව මතුවූ අතර කශේරුකාව ආශ්‍රිත ශල්‍යකර්ම කීපයකට ඉන්පසුවද මුහුණදීමට සිදුවුණි.

 



ෆ්‍රීඩා VOGUE සඟරාවේ කවරයට පෙනී සිටියාය

Vogue පැරිස් සඟරාවට ඇය 1939 දී පෙනී සිටි බවට කටකතා පැතිරී ඇත. නමුත්, සැබෑවටම ෆ්‍රීඩා පළමුවරට මේ සඟරාවට පෙනී සිටියේ 1937 Vogue ඇමරිකානු සඟරාවේ ඔක්තෝබර් කලාපයටය. Senoras of Mexico නමින් ඇගේ රුවමෙහි පළවිය.



එවක ඇගේ රුව සේයාරුවට නැගුවේ ටෝනි ෆ්‍රිසල් වන අතර මේ ඡායාරූප කවරයේ පළනොවුණි. 1939 දී ඇගේ රුව නිකොලොස් මුරෛ විසින් සේයාරුවට නැගූ අතර එය ආලේඛ්‍ය ඡායාරූපයක් ලෙස පළවිය. නිකොලොස් හා ෆ්‍රීඩා අතර සුවිශේෂී මිතුදමක් පැවතුණි. ෆ්‍රීඩාගේ මරණයෙන් පසුව වුවද ඇගේ රුව මේ සඟරාවේ පළනොවූ අතර 2012 වසරේදී Vogue මෙක්සිකානු සඟරාව නිකොලොස් විසින් ගත් ඇගේ ඡායාරූපය කවරයේ ඡායාරූපය ලෙස පළකෙරුණි. ඒ ඇගේ මරණයෙන් අවුරුදු 60 ක් ඉක්මවා ගිය පසුවය.



 

ලියොන් ට්‍රොට්ස්කිගේ මරණයට සැකපිට ෆ්‍රීඩා ට සිරගෙයි පසුවන්නට සිදුවිය

ෆ්‍රීඩා හා ඇගේ සැමියා වූ දියෝගු රිවේරා මෙක්සිකානු කොමියුනිස්ට් පක්ෂයේ දිගු කාලීන සාමාජිකයින් ය. සෝවියට් නායකයෙකු වූ ලියොන් ට්‍රොට්ස්කිට රැකවරණය ලබාදෙන මෙන් ඔවුහු 1937 දී මෙක්සිකානු රජයෙන් ඉල්ලා සිටියහ. ට්‍රොට්ස්කි හා ඔහුගේ බිරිඳ මේ දෙපළගේ නිවස වූ La Casa Azul හි වසර කීපයක් ලැගුම් ගත්හ.

[caption id="attachment_20737" align="alignnone" width="300"] ට්‍රොට්ස්කි හා ෆ්‍රීඩා[/caption]

 

එමෙන්ම, ෆ්‍රීඩා හා ට්‍රොට්ස්කි අතර සමීප ඇසුරක් ද තිබුණු බව පැවසේ. රිවේරා, ෆ්‍රීඩාගේ සොහොයුරිය සමග ඇතිකරගත් ඇසුරක් නිසා ඇය මෙවැන්නකට පෙළඹුණු බව පැවසේ.

[caption id="attachment_20739" align="alignnone" width="300"] ට්‍රොට්ස්කි හා ෆ්‍රීඩා ඇතුළු පිරිස[/caption]

 

රිවේරාගේ දේශපාලන බලාධිකාරය බිඳවැටීමත් සමග ට්‍රොට්ස්කි මෙම නිවහනින් නික්මී ගිය අතර 1940 දී ඔහු ඝාතනයට ලක්විය. මේ සිදුවීම නිසා ෆ්‍රීඩා මෙන්ම ඇගේ සොහොයුරියට ද සිරගතවීමට සිදුවූ අතර දින දෙකකට පසු ඔවුන් නිදහස් කෙරුණි.

 



ෆ්‍රීඩා සිය ඒකපුද්ගල ප්‍රසංගයට සහභාගීවීමට යන්නේ ගිලන් රථයකිනි

වරින්වර ඇගේ අසනීප තත්ත්වය උග්‍ර වීමත් සමග ජීවිතයේ අවසාන සමයේදී නිතර නිතර රෝහලට ඇතුළත් වීමට ෆ්‍රීඩාට සිදුවිය. සිය නිවහන වූ La Casa Azul වෙත සීමාවූ දිවියක් ගත කළ ෆ්‍රීඩා රෝද පුටුවක් හා කිහිලිකරුවක් ද ආධාරක ලෙස පාවිච්චි කළාය. නමුත්, කිසිවිටක නිර්මාණකරණයෙන් බැහැර නොවූවාය.



ඇගේ පළමු ඒකපුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය මෙක්සිකෝවේ Galería Arte Contemporaneo හි 1953 අප්‍රේල් මස දී පැවැත්විණි. මේ සමයේදී ඇඳෙහි හිඳ විවේක සුව විඳිමින් සිටි ෆ්‍රීඩාට ඇඳෙන් නොබසින ලෙස වෛද්‍යවරුන් නිර්දේශ කර තිබුණි. ඒ නියමය ද කඩනොකරමින් සිය නිදන ඇඳ ගිලන් රථයකට ඇතුළත් කළ ඇය එලෙසින්ම චිත්‍ර ප්‍රදර්ශනය පැවැත්වුණු ස්ථානයට පැමිණියාය. ගිලන් මැස්සක සිටි ෆ්‍රීඩා තමාගේ පළමු ඒකපුද්ගල චිත්‍ර ප්‍රදර්ශනය ආරම්භ කෙරුණු අයුරු සියැසින් දුටුවාය. මේ සිදුවීමෙන් මාස කීපයකට පසු ඇගේ දකුණු පාදයේ මස් කුණුවීමට පටන්ගත් නිසා එම පාදය දණහිසින් වෙන්කෙරුණි. චිත්‍ර ප්‍රදර්ශනයෙන් වසරක් ගතවූ තැන ඇයට වයස අවුරුදු 47 දී ජීවිතයෙන් සමුගත්තාය.

[caption id="attachment_20745" align="alignnone" width="210"] ෆ්‍රීඩා සිය සගයින් සමග[/caption]

ඇගේ කලා නිර්මාණ වාර්තාපිට වාර්තා තබන්නට සමත් විය The Frame නම් ඇගේ චිත්‍රය 1939 දී සිට ලූවර් හි  ප්‍රදර්ශනය කිරීමත් සමග 20 වන සියවසේ ජීවත් වූ මෙක්සිකානු චිත්‍ර ශිල්පීන් අතරින් පළමුවරට ජාත්‍යන්තරයට ගිය කලාකාරිනිය බවට ඇය පත්වූවාය.

ෆ්‍රීඩා 1938 දී චිත්‍රණය කළ ස්ව ආලේඛ්‍ය චිත්‍රය Musée National d’Art Moderne කොටසක් ලෙස ප්‍රංශයේ Pompidou Center හි ප්‍රදර්ශනයට තබා ඇත. ෆ්‍රීඩා බෙඳහෙළු එකම වාර්තාව එය නොවේ. ඇගේ චිත්‍ර ප්‍රසිද්ධ වෙන්දේසි වලදී ද වාර්තා තබන්නට සමත් විය.

[caption id="attachment_20746" align="alignnone" width="219"] The Tree of Hope Stands Firm[/caption]

 

The Tree of Hope Stands Firm (1944) නම් ඇය ඇඳි සිතුවම 1977 දී  Sotheby හි වෙන්දේසියේදී ඩොලර් 19,000 ක මිලකට අලෙවි විය. ඇගේ චිත්‍ර වලට හිමිව තිබූ වටිනාකම ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වන්නට වූවේය. ෆ්‍රීඩාගේ චිත්‍ර මෙක්සිකෝවේ සංස්කෘතික උරුමයක් ලෙස 1984 දී ප්‍රකාශයට පත්කෙරුණු අතර ජාත්‍යන්තර චිත්‍ර වෙන්දේසි වලදී පවා ඇගේ චිත්‍ර සොයාගැනීම අතිදුර්ලභ විය. 1990 වන විටත් ඩොලර් මිලියනයකට වැඩි මිලකට වෙන්දේසි වටිනාකමක් හිමිවූ එකම ලතින් ඇමරිකානු චිත්‍ර ශිල්පිනිය ඇය වූවාය. මෙකලදී දියෝගුගේ චිත්‍ර ඩොලර් මිලියන 1.4 කට වැඩි මිලකට අලෙවි කෙරුණු අතර ෆ්‍රීඩාගේ චිත්‍ර වලට සුවිශේෂී වටිනාකමක් ක්‍රමයෙන් හිමිවන්නට විය. Two Lovers in a Forest නම් චිත්‍රය 2016 දී අලෙවි කෙරුණේ ඩොලර් මිලියන 8 කට ය.

 

ඇය ස්ත්‍රීවාදිනියක්, මෙක්සිකානු අනන්‍යතාව වෙනුවෙන් හඬ නැගූ තැනැත්තියක හා LGBT අයිතීන් වෙනුවෙන් වූ ව්‍යාපාරයේ සුවිශේෂී චරිතයකි

ෆ්‍රීඩා ජනප්‍රිය සංස්කෘතියේ සුවිශේෂී චරිතයක් බවට පත්වන්නේ 1970 දී සිට පමණය. ස්ත්‍රීවාදී ව්‍යාපාරයේ ඉතිහාසයෙන් බටහිර නොවන කලාකාරිනියන් ඉවත් කර තිබීම ගැන ප්‍රශ්න කරන විද්වතුන් ෆ්‍රීඩා ගැන විශේෂ අවධානයක් යොමුකරයි.

[caption id="attachment_20740" align="alignnone" width="300"] ෆ්‍රීඩා හා ගායන ශිල්පිනී චව්ලා වර්ගාස්[/caption]

 

ලිංගික අනන්‍යතාව ගැන ඇය තුළ තිබූ විවෘතභාවය මෙහිදී විශේෂය. ෆ්‍රීඩා ද්විලිංගික තැනැත්තියකි. ඇය සැරසී සිටි සුවිශේෂී ඇඳුම්, පැළඳුම් LGBT සමාජයේ සංකේතයක් විය. මෙක්සිකානු අනන්‍යතාව හා මෙක්සිකානු සංස්කෘතියට කොලනිකරණයෙන් ලැබුණු දෑ ගැන නොසලකා හැරීම තුළ ෆ්‍රීඩා සිය මෙක්සිකානු අනන්‍යතාව විදහා දැක්වූවාය. ‘ෆ්‍රීඩාමේනියා‘ (Fridamania) නම් වදන ඇය හරහා බිහිවූවකි.

කලාව සම්බන්ධයෙන් හැදෑරීම් කරන ඉතිහාසඥවරියක වන ඔරියානා බෑඩ්ලේ පවසන්නේ, ’ෆ්‍රීඩා 21 වන සියවසේ දී පවා තරුවක් ලෙස හඳුනාගන්නට හැකියි. රසික සමාජ හා වෙළඳ භාණ්ඩ තුළ ඇය වාණිජ සම්පතක් ලෙස හැඳින්විය හැකි බවයි‘

 



 

 

සටහන - වින්ධ්‍යා ගම්ලත් 

 

සබැඳි පුවත් 

මා චිත්‍රයට නැගුවේ ජීවිතයේ යථාර්තයයි  - ෆ්‍රීඩා කාර්ලෝ

උමතුව මගේ ජීවිතයයි - ෆ්‍රීඩා කාර්ලෝ 

0 comments: