Hot!

ප්‍රභාකරන්ගේ මිනියට අඹුඩය ගැසූ චගි ගාල්ලගේ හත්පොලේ ගාගත්තේද?

මළ සිරුරක් විකෘතිකිරීම ජාතික සහ ජාත්‍යන්තර නීතිය උල්ලඝනය කිරීමක් වන අතර එය යුධඅපරාධ යටතේ ගැණිය හැකිය






ආරක්ෂක කටයුතු පිළිබඳ වාර්තාකරු

හිතවත් මාධ්‍යවේදියෙකු විසින් පසුගිය ඉරිදා පුවත් පතකට විශ්‍රාම යෑමට නියමිත යුදහමුදා නිලධාරියෙකු කළ කෙරුවාවක් ගැන බරපතළ හෙළිදරව්වක් සිදු කොට ඇත. ජනමාධ්‍යවේදියාගේ රචනාවට අනුව මේජර් ජෙනරාල් චගි ගාල්ලගේ මහතා කොටි සවිධානයට එරෙහි යුද්ධයේ ප්‍රධාන එන්ජිම වේ. එසේම යුදහමුදාව් පමණක් නොව ඇතැම් අවස්ථා වලදී නාවික හමුදාව සමගද එකතු වී මෙහෙයුම් සිදු කොට ඇත. ඔහුට අනුව ඇතැම් මෙහෙයුම් සඳහා ඔහු මුහුදේ කාලය ගත කොට තිබේ.

ඔහු විසින් සිදු කළ සේවාවේ පුරසාරම තව දුරටත් දීර්ඝ කරමින්, හෙතම ප්‍රථම වරට කියා ඇත්තේ, කොටි ත්‍රස්තවාදීන්ගේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ මළ සිරුරට අඹුඩය ගසා, කරුණා අම්මාන් සහ දයා මාස්ටර් ගුවනින් පැමිණ අදාළ මළසිරුර ප්‍රභාකරන්ගේ බව හඳුනා ගැනීමට අවශ්‍යය පසුබිම සකස් කරනු ලැබුවේ තමන් බවය. අදාළ රචනාවට අනුව මළ සිරුර හමු වූ පසු එය සැතපුම් ගණනාවක් ඈතින් පිහිටි ප්‍රදේශයකට ගාල්ලගේ මහතා තනිවම රැගෙන ගොස් අදාළ අඹුඩය එම මළ සිරුරට ගැසූ බව ඔහු හෙළිදරව් කොට ඇත.

මෙම සිදුවීම බරපතල සිද්ධියකි. එම ලිපිය පුරා සඳහන් කර ඇති කාරනා රාශියක් මූලික කරගෙන ගල්ලේගේ මහතා හමුදා අධිකරණයක් වෙතට පැමිණවිය හැකිය. එබැවින් මෙම සිදුවීම සම්බන්ධයෙන් පැහැදිලි අවබෝධයක් ලබා ගැනීම වැදගත් වේ. මන්ද තනි පුද්ගලයින් වීරයින් වීමට උත්සහ කිරීම හරහා හෙළිදරව් කරන ඇතැම් බරපතල කාරනා හමුවේ සමස්ථ රටට සිදුවන අපකීර්තිය සුළුපටු නොවේ. එසේම මෙම නිලධාරීන්ගේ මෙම පුරසාරම් දෙඩුවාව දැන්වත් නවතා දැමීමට හැකි වටපිටාවක් සකස් කළ යුතු වේ. එය ඉතාම හදිසි අවශ්‍යතාවකි.

මේජර් ජෙනේරාල් ගාල්ලගේ මහතා විසින් සිදු කරන හෙළිදරව්ව ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වර්ගීකරණය කළ හැකිය. පළමුවැන්න, ශ්‍රී ලංකා යුදහමුදාව රාජ්‍යය ආයතනයක් ලෙස එහි සිටින ඉහළ පෙලේ නිළධාරීන් විසින් අනුගමනය කළ යුතු මූලික මූලධර්ම උල්ලඝනය කරමින් රාජකාරිමය සාරධර්ම අපකීර්තියට ලක් කිරීමය. දෙවැන්න මෙවැනි තොරතුරු සමස්ථ සමාජය ඉදිරියේ තැබීම ඔස්සේ දේශපාලනික වශයෙන් අත්පත් කරගැනීමට බලාපොරොත්තු වන පටු වාසින්ය.

ගාල්ලගේ මහතා ඉහල පෙලේ හමුදා නිලධාරියෙකු හෙවත් තවමත් සේවයේ යෙදී සිටින නිලධාරියෙකු ලෙස තම ආයතනයට සිදුකොට ඇත්තේ බරපතල වරදකි. පළමුව, යුදමෙහෙයුම් වල රැකගත යුතු රහස්‍යය බව හෙතම ප්‍රසිද්ධ වේදිකාවේ කියමින්, තමන්ගේ නියෝජනය ගැන කියන්නේය. දෙවනුව මැරුණු සිරුරකට, නීතිමය වශයෙන් සිදුකල හැකි විශාලතම වරද හෙතම විසින් සිදුකොට ඇත. ඒ සඳහා ඔහුට හමුදාපතිවරයාගේ අණ ලැබුණු බව සඳහන් කිරීමෙන්, හිටපු හමුදාපතිවරයාද මෙම කාරණයට පටලවා තිබේ.

නමුත්, මූලික වශයෙන්, ගාල්ලගේ මහතා එහිදී සිදුකොට ඇත්තේ, රටක පවතින මූලික නීති රාමුවට අදාලව පශ්චාත් මරණ පරීක්ෂණයකට අවශ්‍යය පසුබිම හිතාමතාම ව්‍යාකූල කිරීම සහ එය තම පෞද්ගලික වීරත්වය ප්‍රදර්ශනය කිරීම සඳහා භාවිත කිරීමය. මෙය තම රාජකාරී බලය අවභාවිතය කිරීමකි.

[caption id="attachment_20731" align="aligncenter" width="1230"] මේජර් ජෙනරාල් චගි ගාල්ලගේ[/caption]

මියගිය සිරුරකට අවශ්‍යය නෛතික කටයුතු ක්‍රමානුකූලව සිදුකරන තෙක් අත තැබීමට කිසිවෙකුට හෝ අවසරයක් නොමැත. යුද බිමකදී මෙය වෙනස් වන අවස්තාවලදී එම සිදුවීම ක්ලැසිෆයිඩ් ( වර්ගීකෘත) ගණයට යටත් තොරතුරුවලට ඇතුළත් කොට රාජ්‍යය රහස් ලෙස ගොනු කරනු ලබයි. මේ ගැන සරලව හෝ දැන ගැනීමට අවශ්‍යය වන්නේ නම්, ක්ලැසිෆයිඩ් ඉන්ෆොමේෂන් යටතේ එන, විකිපීඩියා පිටුව පමණක් හෝ කියවන්නේ නම් ප්‍රමාණවත් වේ. එනයින් බලන කල මින් පෙනී යන්නේ මෙවැනි අතිශය සංවේදී කාරනා සම්බන්ධයෙන්, ගාල්ලගේ මහතා වැනි ඉහළ පෙලේ නිලධාරීන්ට ප්‍රථමික පන්තියේ දැනුම හෝ ප්‍රයෝගික භාවිතයේදී නොමැති බවයි.

යුද්ධයෙන් පසු ධූරයට පත් වූ හමුදාපතිවරුන් සියල්ලටම පාහේ ජාත්‍යන්තර වශයෙන් මුහුණදීමට සිදු වූ බරපතල අභියෝගයක් තිබුණි. එනම්, එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ සාම සාධක හමුදාවේ බලඇණි ලෙස මෙරට හමුදා සාමාජිකයින් ලබා ඇති ප්‍රගතිය සහ ප්‍රමිතියය උසස් කිරීමය. ආරක්ෂක අංශවල ප්‍රතිරූපයට ඉතා විශාල වශයෙන් හානී වූයේ හයිටි රාජ්‍යයෙදී මෙරට හමුදා සාමාජිකයින් ලිංගික අපචාර චෝදනා වලට වග උත්තර කරුවන් වීමෙන් පසුය. එය තවමත්, මෙරට ආරක්ෂක අංශවලට සර්ව සම්පූර්ණයෙන් විසඳීමට හැකි වූ කාරණයක් නොවේ.

එසේම, යුද්ධයෙන් පසු බොහෝ දෙනෙකු නැගු චෝදනාව වූයේ මෙරට ආරක්ෂක අංශවල සාමාජිකයින් යුධ අපරාධ සිදුකළ බවය. එය ඉතාම ප්‍රවෙශමෙන් පිළිතුරු දිය යුතු කාරණයකි. නමුත් ඇතැම් හමුදා නිලධාරීන් සිදු කරනු ලැබුවේ, තම පෞද්ගලික ජීවිත වලට "එළියක්" ලබා ගැනීම සඳහා ඔවුහුගේ පෞද්ගලික අත්දැකීම් ඉදිරියට දමමින් සමස්ථ සිදුවීම බාල්දු කිරීම සහ සතුරාට පහසු වන අයුරුන් තම වීරත්වය ප්‍රදර්ශනය කිරීමට ගොස් ලෝකය ඉදිරියේ නිරුවත් වීමය.

රණමග ඔස්සේ නන්දිකඩාල්, නමැති හිසින් යුතුව ප්‍රසිද්ධ කළ කෘතිය ආරක්ෂක අංශවල සේවය කරන නිලධාරීන් විසින්ම හාස්‍යයට ලක් කරමින්, ඊට වඩාත් සුදුසු මාතෘකාව ලෙස යෝජනා කරනු ලැබුවේ, "ර" යන්න වෙනුව "රෙ" යන්න දැමුවේ නම් වඩාත් වටිනා බවය.

සාමූහික ව්‍යායාමයක් තම තමන්ගේ පෞද්ගලික චරිත ඉහල දමාගෙන ලකුණු දමා ගැනීමට යෑමෙන් එම ජීවිත වලට තාවකාලිකව හෝ ප්‍රමෝදයක් ලැබේ. නමුත්  එම කටයුතු වලින් ඔවුහු එම තත්වයට පත් කිරීමට සමත් වූ ආයතන වලට විශාල හානියක් සිදු වේ. ජෙනෙරාල් ගාල්ලගේ, මැරුණු ශරීරයක් වූ ප්‍රභාකරන්ගේ මළකඳට අඹුඩයක් ගැසූ බව පිළිගැනීමෙන් ජාතික සහ ජාත්‍යන්තර ප්‍රජාවට ලබා දෙන මූලික පණිවිඩය වන්නේ, ආයතන වල සේවය කරන නිලධාරින්ගේ ගෝත්‍රික ස්වාභාවය සහ ආයතන වල ඇති ප්‍රමිතිය කෙතරම්ද යන්නය.

මෙවැනි කතා කිරීමෙන් සිංහල සාමජය හමුවේ වීරත්වයට පත් වී, "දේශප්‍රේමය" නමැති වස්ත්‍රයෙන්   හෙලුව වසාගෙන තම පැවැත්ම තහවුරු කරගත හැකිය. නමුත්, රටට මෙන්ම ඔවුහු පෝෂණය කරනු ලැබූ රාජ්‍යය ආයතන වලට මෙවැනි කටයුතු වලින් සිදු කරන හානිය සුළුපටු නොවේ.

එසේම එහිදී සඳහන් කරන කාරණා වලින් තවත් වැදගත් එකක් වන්නේ, ගාල්ලගේ මහතා නාවික හමුදාව සමග එකතු වී කළ මෙහෙයුම් ගැනය. එය ඉතාම සැලකිල්ලෙන් විමසා බැලිය යුතු කාරණයකි. ඔහු මුහුදට ගියේ කුමන නාවික හමුදා නිලධාරියා සමගද? එහි ගොස් පැය හෝ දින කීයක් ගත කළේද? එම ගත කල කාලය තුළ, නීතිමය වශයෙන් ඔහු බැඳී සිටින තම හමුදා කොට්ඨාශයේ කටයුතු වලට වගකිව යුතු නිලධාරියා වූයේ කවුරුන්ද? ආදී මූලික කාරණා කිහිපයක් මතුවේ. මෙම සිදුවීමද හමුදා අධිකරණයක් හමුවේ අදාළ නිලධාරියා පිළිතුරු බැඳිමට වටපිටාවක් සකස්කරගත් කාරණයකි.

මෙවැනි කාරණාවල ඇති සත්‍යය සහ බරපතල තත්වය ගැන මනා අවබෝධයක් ඇති නිලධාරීන් එනම්, මේජර් ජෙනේරාල් නන්දන උඩවත්ත වැනි ඉතාම ගුණගරුක සහ නීතිගරුක නිලධාරීන් තම වගකීම් ඉටු කළ පසු සද්දේ දමමින් තනි තනි වීරයින් වීමට උත්සහ නොකළේ මේ නිසාය. මන්ද ඔවුහුට තම ජීවිත වලට වඩා තමන්ගේ ආයතන සහ ඒවායේ ඉදිරි අනාගතය වටින්නේය. නමුත් ගාල්ලගේ මහතා වැනි නිලධරීන් ලෝකය හමුවේ ඔප්පු කරමින් සිටින්නේ, තමන් සේවය කල ආයතන වලට හෙණ වැදුනද, තමන්ගේ කෙරුවාව පිළිගෙන තමන්ගේ පෞද්ගලික ජීවිත වලට සලකාගෙන ඇති සැලකිල්ලය. මෙය වෙන කිසිවක් නොව වෘත්තිමය කුසලතාවයන් අපහරණ කිරීමකි.

අවසාන විග්‍රහයේදී, භූමියේ සත්‍යය දන්නා අයවලුන් සියල්ලම පාහේ මෙසේ කියනු ඇත. එනම් ගජබා රෙජිමේන්තුවේ නොනිල ආදර්ශ පාඨය යනුවෙන් බොහෝ දෙනෙකු අතර ප්‍රසිද්ධ කාරණය මෙවැනි නිලධාරීන් විසින් යළිත් ඔප්පු කළ බවය. එනම්, " ගජබා නම් යුද්දේ, සද්දේ සහ සුද්දෙ", බවයි. යුධ සමයේදී සුද්දයක් දුන් එක්තරා නිලධාරියෙකු උතුරෙන් හොරකම් කොට කොළඹට රැගෙනවිත් භාවිතා කළ, මොන්ටෙරියෝ රථ දෙකක් ධාවනය නතර කරන ලෙස එක්තරා හමුදාපතිවරයෙක් අණ කරනු ලැබුවේ තම ආයතනයට සිදුවන ලැජ්ජාව වසා ගැනීමට යැයි පවතින රාවය ඇතුළු බොහෝ දෑ මෙම ගණයට අයත් වේ.

මෙවැනි වටපිටාවක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා, සිදු වූ ගැටුම ගැන නිල ඉතිහාසයක් ලිවීමට දරන උත්සාහය වැදගත් ජාතික අවශ්‍යතාවයක් වේ. නමුත් එය වඩාත් ඵලදායක වන්නේ එම රචකයින්ගේ සැබෑ වුමණාවන් රටේ අවශ්‍යතාවයක් සමග ගැලපෙන්නේද යන්න මතය.

 

0 comments: