Hot!

බුදුන්ගේ රස්තියාදුව, මං කෙළින් මිනිහෙක් හා රේඩියෝ කථා

‘බුදුන්ගේ රස්තියාදුව, මං කෙළින් මිනිහෙක් හා රේඩියෝ කථා‘

කලා නිර්මාණ වලට මෑතකාලීනව පැනවුණු සීමාවන් ගැන සටහන් තබන විට සිහියට නැගෙන ප්‍රධාන නිර්මාණ කීපයකි. ඉන් පළමුවැන්න කේ.කේ. ශ්‍රීනාත් චතුරංග විසින් රචනා කෙරුණු ‘බුදුන්ගේ රස්තියාදුව‘, අසංක සායක්කාරගේ නිර්මාණයක් වන ‘මං කෙළින් මිනිහෙක්‘ ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශයේ (ONUR) අනුග්‍රහයෙන්  මාලක දේවප්‍රිය විසින් නිර්මාණය කර ITN FM ඔස්සේ විකාශය කෙරෙන “රේඩියෝ කථා” ගුවන්විදුලි නාට්‍යයයි.

භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස මෙරට ව්‍යවස්ථාව මගින් සනාථ කොට ඇති පසුබිමක මේ නිර්මාණ කීපය කෙරෙහි බලපෑම් එල්ලවීම සිදුවී ඇත. ඉහත සිදුවීම් කීපයත් සමග වාරණය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය පුරා රැල්ලක් ලෙස විවිධ ප්‍රකාශන ද පැතිරී යන්නට වූවේය.

‘බුදුන්ගේ රස්තියාදුව‘ ට වුණේ මොකක්ද ?

කේ. කේ. ශ්‍රීනාත් චතුරංගගේ ‘බුදුන්ගේ රස්තියාදුව‘ කෘතිය සම්බන්ධයෙන් මිරිහාන පොලීසියට පළමුවරට පැමිණිල්ලක් ඉදිරිපත් වන්නේ එය එළිදැක්වුණු දිනයේදීම ය. මෙහි ප්‍රකාශක වන උපුල් ශාන්ත සන්නස්ගල මහතා සිය පෞද්ගලික ෆේස්බුක් ගිණුමේ මහතා එදින  පණිවිඩයක් සටහන් කරමින් පවසන්නේ

‘‘සවස 1.35 ට පමණ මිරිහාන පොලිසියේ CI ප්‍රියන්ත ඇතුළු නිලධාරීන් තුන් දෙනෙක් රෝයල් තැප්‍රොබේනියන් වෙත පැමිණියා. බත්තරමුල්ල තලාහේන බෞද්ධ තොරතුරු කේන්ද්‍රය නැමති ස්ථානයක ලිපි ශීර්ෂයකින් බුද්ධ ශාසන අමාත්‍යවරයාට "බුදුන්ගේ රස්තියාදුව" නමින් බුද්ධ චරිතයට නිගා දෙන කෘතියක් එළි දැක්වීමට සූදානම් වන බවත්, එය තහනම් කරන ලෙසත් ඉල්ලා ඇති ලිපියක ෆැක්ස් පිටපතක් ඉදිරිපත් කරමින් කෘතියේ කර්තෘ කවුදැයි විමසා සිටියා. කර්තෘව මේ අවස්ථාවේ අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කළ යුතු බවත් මුද්‍රිත සියලුම කෘති පොලිස් භාරයට ගන්නා බවත් දන්වා සිටියා.අප සියලු දෙනා ඉතා ශිෂ්ට සම්පන්න ලෙස ඔවුන්ට කරුණු පැහැදිලි කර සිටියා.

CI ප්‍රියන්ත කෘතියේ අන්තර්ගතය කුමක්දැයි විමසා සිටිය විට එය කෘතිය කියවා තේරුම් ගත යුතු බව ශ්‍රී කියා සිටියා.

"ඕවා කියවන්න වෙලාව නෑ" යනුවෙන් උස් හඬින් පැවසූ CI ප්‍රියන්ත කෘතියේ නමට කීප වතාවක් ඇඟිල්ලෙන් අනිමින් "මේ තියෙන්නෙ අපහාස කරල... මේ තියෙන්නෙ අපහාස කරල...." යනුවෙන් සාහිත්‍ය කෘතිය ගැන ඔහුගේ අදහස පවසා සිටියා.

ශ්‍රී වත් මාවත් අත්අඩංගුවට ගැනීමට යම්කිසි නීතිමය ලියවිල්ලක් ඇත්දැයි මා විමසා සිටි විට ඔහු අතේ වූ ෆැක්ස් පත පෙන්වමින් මේක ප්‍රමාණවත් බවත් අපරාධයකට සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට ලේඛන අවශ්‍ය නොවන බවත් පවසා සිටියා. අවසානයේ පොලිස් තර්ජනයටත් ඔවුන්ගේ ආක්‍රමණශීලී භාවයටත් යටත් වීමට අප හට සිදු වුණා.

විජයාරාමයේ සිට මිරිහාන පොලිසිය වෙත අප රැගෙන යන කෙටි කාලය තුළ අප මේ සිදුවීම පිළිබඳව හැකි උපරිමයෙන් මිතුරන් දැනුවත් කළා. මිරිහාන පොලිසිය අභ්‍යන්තරයේ පැයක පමණ කාලයක් මිනිස් අයිතිවාසිකම් පිළිබඳ අරගලයේ අවසන් ප්‍රතිඵලය ලෙස ඔවුන් මාවත් ශ්‍රී වත් නිදහස් කළා. යළිත් අප විජයාරාමයට පැමිණෙන විට ඔවුන් විසින් රැගෙන ගිය පොත් සියල්ල නැවත රෝයල් තැප්‍රොබේනියන් ගෙනැවිත් බාර දී තිබුණා. "බුදුන්ගේ රස්තියාදුව" අපි ලෝන්ච් කළා.‘‘ යනුවෙනි.



පොත එළිදැක්වීමෙන් පසුවද කෘතියේ නාමය සම්බන්ධයෙන් විවිධ තර්ක විතර්ක මැවුණු අතර ශ්‍රීනාත් චතුරංග  ලේඛකයාගේ පෞද්ගලික ෆේස්බුක් ගිණුමේ තිබූ ඡායාරූප යොදාගනිමින් බුද්ධාගම සුරැකීමට එක්රොක් වන පිරිස් ලෙස පෙනී සිටි තැනැත්තන් අභූත චෝදනා නගමින් පවසන්නේ මෙහි කතුවරයා  කිතුණුවෙක් වන බවත් ඔහු බුදුදහම විනාශ කිරීමට තැත්දරන  බවත්ය. මෙය කෙතරම් සදාචාරවාදී දැයි තීරණය කිරීම ඔබට භාරය. කෙසේවුවත්, කෘතිය ප්‍රකාශයට පත්වී දින කීපයක් ගතවීමෙන් අනතුරුව අදාළ මුද්‍රිත කෘතියේ පිදුම වෙනුවට ව්‍යාජ පිදුමක් යොදාගනිමින් මෙහි PDF සමාජ ජාලා හරහා හුවමාරු වන්නට වූවේය.

‘බුදුන්ගේ රස්තියාදුව‘ රාජපක්ෂ ඇමතිතුමාගේ ඇසින්

කෙසේවුවත්, මේ කෘතිය සම්බන්ධයෙන් ප්‍රබලව රාජ්‍ය මැදිහත්වීම සිදුවන බව දැක්වෙන්නේ ඊයේ (20) දිනයේදී අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව පොලිස්පතිතුමා වෙත ලිපියක් යොමුකරමින් පවසන්නේ, බුදුන් වහන්සේට හා බුදුදහමට නිගා කරමින් ‘බුදුන්ගේ රස්තියාදුව‘ නමින් කෘතියක් මුද්‍රණය කර බෙදාහැර ඇති බවත් මෙහි අන්තර්ගතය මගින් ඉතා පහත් ලෙස බුදුන්වහන්සේට නිග්‍රහ කර ඇති බවත්ය. මේ පිළිබඳ වැඩිදුරටත් පවසන අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ,

අදාළ කෘතියේ කරුණු මගින් ‘එකී කතෘ, ප්‍රකාශකයන්, බෙදාහරින්නන් හා අලෙවිකරන්නන් දණ්ඩ නීති සංග්‍රහයේ 290, 290 A, 291 A, 291 B වගන්ති යටතේ සාපරාධී වරදක් සිදුකොට ඇති බවත්, ඒ පිළිබඳ පරීක්ෂණයක් පවත්වා එකී කර්තෘට, මුද්‍රණකරුවන්ට, බෙදාහරින්නන්ට සහ අලෙවිකරන්නන්ට එරෙහිව නඩු පවරා දඬුවම් දීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටිමි‘  යන්නයි.

[caption id="attachment_20661" align="alignleft" width="225"] අමාත්‍යවරයා විසින් පොලිස්පතිතුමාට යොමුකර ඇති ලිපිය[/caption]

 

‘මං කෙළින් මිනිහෙක්‘ ගියේ කොහෙටද ?

අසංක සායක්කාර මහතාගේ ‘මං කෙළින් මිනිහෙක්‘ නාට්‍යය පසුගිය අගෝස්තු 18 වෙනිදා බොරැල්ල නාමෙල් මාලනී පුංචි තියටර් හි දී හා 19 වැනිදා දෙහිවල එස්. ද එස් ජයසිංහ ශාලාවේදී රංගගත වීමට නියමිතව තිබුණි.



ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය විසින් මෙම නාට්‍යයට ලබාදුන් රැඟුම් පාලක මණ්ඩල සහතිකය ආපසු කැඳවා ඇති බවත් ඒ අනුව රඟදැක්වීමට තිබූ දර්ශන වාර ද්විත්වය අවලංගු කිරීමට සිදුවූ බවත් අසංක සායක්කාර මහතා පසුගිය අගෝස්තු 17 වැනිදා සිය ෆේස්බුක් ගිණුමේ දක්වා තිබුණි. ‘මං කෙළින් මිනිහෙක් නාට්‍යයට එරෙහිව ගෙන ගිය කුමන්ත්‍රණ වල ප්‍රතිඵලයක් ලෙස ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩල සහතික ආපසු කැඳවා ඇති බව‘ ය.

[caption id="attachment_20662" align="alignright" width="300"] අසංක සායක්කාර මහතා ෆේස්බුක් ගිණුමේ පළකල සටහන[/caption]

 

සායක්කාර මහතා අදාළ කුමන්ත්‍රණ ගැන කිසිදු හෙළිදරව්වක් කර නොතිබීමද ප්‍රේක්ෂක කුතුහලය වඩවන කරුණකි. කෙසේවුවත්, මේ අවස්ථාවේදී ද බලපෑමට ලක්වී තිබෙන්නේ කලා කෘතියකි. මේ සිදුවීමත් සමග රැඟුම් පාලක මණ්ඩලයේ සභාපතිවරයාට මෙන්ම අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාට ද චෝදනා එල්ල වුණු නමුත් මේ සටහන ලියැවෙන මොහොත වනවිට මොවුන් දෙදෙනාම කිසිදු පැහැදිලි කිරීමක් සිදුකොට නැතිවීම ද කණගාටුවට කරුණකි.

 

රේඩියෝ කථා - සෝභිත හිමිගේ කතා හා සංහිඳියාව

මෙහිදී අවධානයට ලක්කෙරෙන අනෙක් නිර්මාණය මාලක දේවප්‍රිය මහතා විසින් නිර්මාණය කෙරුණු ගුවන්විදුලි නාට්‍ය මාලාවයි. හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මැතිනියගේ සභාපතිත්වයෙන් යුතු ජාතික සමගිය හා සංහිඳියා කාර්යංශයේ අනුග්‍රහයෙන් ITN FM ඔස්සේ විකාශය කෙරෙන මෙම නාට්‍ය මාලාව බුදුදහමට අපහාසයක් බව ඕමල්පේ සෝභිත හිමියන් චෝදනා නගයි.

ඒ ගැන අදහස් පළකරන සෝභිත හිමි පවසන්නේ, ‘‘බුදුදහමට විරුද්ධව, බෞද්ධ සම්ප්‍රදායට විරුද්ධව  විවිධ ආකාරයෙන් එලඹෙන ප්‍රතිවිරෝධතා මැඩලන්න ප්‍රයත්නයක් අපට තවම නැහැ නේද ? කියලා හිතෙනකොට ගරු ජනාධිපතිතුමනි, ගරු අගමැතිතුමනි අපි අසරණ වෙලා වගේ දැනෙනවා. ශ්‍රී ලංකාවේ තියෙනවා ජාතික සමගිය හා සංසිඳියාව ඇතිකිරීමේ කාර්යාංශය. මේ කාර්යංශය මගින් අලුතින් නාට්‍ය නිර්මාණ 10 ක්, කුමටද මේ ජාතික සංහිඳියාව ජාතික සමගිය ඇතිකරන්න. මේ නාට්‍ය වල නම් එකක් තමයි ‘තරුවන් සරණයි, නිහොන් සුව ලැබේවා, නිර්වස්ත්‍රං පරමං සුඛං‘. මේ කුමක්ද අරමුණ රජයේ මාධ්‍ය උපයෝගී කොටගෙන බෞද්ධයන්ට පහරදීමේ ව්‍යායාමය, ව්‍යාපාරය‘‘ යන්නයි. ‘කණේ පහර‘ නමින් අදාළ ගුවන්විදුලි නාට්‍ය මාලාව නම්කර ඇති බවත් මෙමගින් බුදුදහම අපහාසයට ලක්වන බවත් සෝභිත හිමි නගන චෝදනාව වී ඇත.



ආන්දෝලනයට තුඩු දී ඇති මෙම කලා කෘති සම්බන්ධයෙන් මෑතකාලීනව දැඩි මැදිහත්වීමක් සිදුකරන පිරිසක් ලෙස බෞද්ධ තොරතුරු කේන්ද්‍රය (Buddhist Information Centre) හඳුනාගත හැකිය. මීට පෙර ‘බුදුන්ගේ රස්තියාදුව‘ කෘතිය එළිදුටු දිනයේදී ද බෞද්ධ තොරතුරු කේන්ද්‍රය මේ සම්බන්ධයෙන් මිරිහාන පොලීසියට මෙහි නම මගින් බුදුදහමට අපහාස කරන බවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

ඉන්පසු, නැවතත් පසුගිය අගෝස්තු 9 වැනිදා මිරිහාන පොලීසිය ඔවුන් විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කෙරුණි. මොවුන්ගේ තර්කය වී තිබෙන්නේ මෙම නම යොදාගැනීම දණ්ඩ නීති සංග්‍රහයේ 291 (ආ) වගන්තිය යටතේ වරදක් බවයි.

මේ සමගම බෞද්ධ තොරතුරු කේන්ද්‍රය (Buddhist Information Centre) ඊයේ දිනයේදී පොලිස්පතිතුමාට පැමිණිලි කරමින් පවසන්නේ මෙරට සංහිඳියාවට බාධා පමුණුවන සාමය සහ සංහිඳියාව පිළිබඳ කාර්යාංශය විසුරුවා හිටපු ජනපතිනිය නීතිය හමුවට පැමිණවිය යුතු බවයි. බෞද්ධ සංකල්ප ගර්හාවට ලක් කරන නාට්‍ය මාලාව තහනම් කළයුතු බවට ද ඔවුන් පොලිස්පතිතුමාට පවසා ඇත.

[caption id="attachment_20666" align="alignright" width="225"] බෞද්ධ තොරතුරු කේන්ද්‍රය (Buddhist Information Centre) ඊයේ දිනයේදී පොලිස්පතිතුමාට කළ පැමිණිල්ල සම්බන්ධ ලිපිය[/caption]

 

කෙසේවුවත්, සංහිඳියා කාර්යාංශය ඊයේ (20) දිනයේදී මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, මාලක දේවප්‍රිය විසින් රචනා කර අධ්‍යක්ෂණය කර ඇති ‘රේඩියෝ කථා‘ නම් මෙම නාට්‍ය මාලාව ITN FM ඔස්සේ අගෝස්තු 03 දා සිට සෑම සෙනසුරාදා දිනකම රාත්‍රී 9 සිට 10 තෙක් විකාශය වන බවත්, කිසිලෙසකින්වත් මෙමගින් බුදු දහමේ හරයන් සහ වටිනාකම් විකෘති වන ආකාරයේ කිසිදු ක්‍රියාවක් සිදුනොවන බවයි. කෙසේවුවත්, ‘‘මෙම ගුවන් විදුලි නාට්‍ය මාලාවේ කථාංගවල නාමයන් පමණක් රූපිකව ගෙන බැලූ විට ඊට ශබ්දාර්ථයෙන් සමාන වෙනත් යෙදුම් සමග සමපාත බවක් කිසිවෙකුට හෝ හැඟෙන්නේ නම් ඒ පිළිබද අපගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරන අතර, විවාදාත්මක කථාංග නාමයන් කිහිපය වෙනස් කිරීමට තීරණය කළෙමු‘‘ යන්න ද අදාළ නිවේදනයේ දක්වා ඇත.

ප්‍රකාශනයේ නිදහස හා කලාකරුවන්ගේ මැදිහත්වීම

මේ සම්බන්ධයෙන් හඬ නැගීමට එක්වූ පිරිස් ඊයේ (20) දිනයේදී සිය අදහස් ප්‍රකාශ කරන්නට එක්වූවෝය. ප්‍රියන්ත කොඩිප්පිලි සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසන්නේ, සියලුදෙනා ප්‍රකාශනයේ නිදහස වෙනුවෙන් පෙනී සිටිය යුතු බවයි.

එමෙන්ම, අශෝක හඳගම මහතාද සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පෙන්වාදෙන්නේ, ‘‘කලාවේ ප්‍රකාශන නිදහස වෙනුවෙන් පෙනී සිටින අප, ප්‍රකාශනයකට එරෙහිව එන ආගමික, දේශපාලනික, සංස්කෘතික ආදී සකලවිධ වාරණයන්ට එරෙහිවන බලවේග සමඟ කොන්දේසි විරහිතව පෙලගැසෙමු. කලාකෘතියක ගුණ නුගුණ විචාර ක්‍රමවේදයක් තුල විමසනු ඇරෙන්න, වාරණය කිරීම එක් අතකින් කලාකරුවාගේ ප්‍රකාශන අයිතියද තව අතකින් එම කලාකෘතිය විඳිනු රිසි අයගේ අයිතියද උල්ලංඝනය කිරීමකි. එහෙයින්, කලාවට තහනම් නියෝග පැනවීම ම අසංස්කෘතික ය. අපි එයට එරෙහි වෙමු. එමෙන්ම පොතක්, නාට්‍යයක්, චිත්‍රපටයක් වාරණය කරන්නැයි කෙරුණු මෑතකාලීන ඉල්ලීම් පිටුපස බොහෝ දුරට සිටියේ 'රජය' නොව ආගමික සංස්ථා බව ද සිහිපත් කරගැනීම වැදගත් වෙයි. රාජ්‍යය ආගමික වගකීම් වලින් නිදහස් කරගැනීම සටන් පාඨයක් ලෙස ඉදිරියට ගෙන ඒමට සායක්කාර ගේත්, මාලක ගේත් කෘතීන් ට පැනවෙන තහංචි වෙනුවෙනුවෙන් පෙළගැසෙන අය සුදානම් ද යන්න ද විමසා බැලීම වටී‘‘ යන්නයි. 

මෙහිදී ඔහු අවධාරණය කර සිටින්නේ මෑතකාලීනව කලා කෘති වාරණය කිරීම පිටුපස සිටියේ රජය නොව ආගමික සංස්ථා බවයි.

මෙරට තුළ භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස තහවුරු කර ඇති අන්දම හා ජාත්‍යන්තරය තුළ ඊට ලබාදී තිබෙන වැදගත්කම ද හඳුනාගත හැකිය.

භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස තහවුරු කර තිබෙන ලියවිලි

භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1)(a) වගන්තිය තුළ සඳහන් කර තිබෙන්නේ මෙලෙසිනි.

‘‘සෑම පුරවැසියෙක්ම භාෂණයේ යෙදීමේ නිදහස හා මුද්‍රණය කිරීම ඇතුළු ප්‍රකාශන සඳහා නිදහසට අයිතිවාසිකම් ලබයි‘‘

මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ  19 වන වගන්තියේ භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස පිළිබඳව සඳහන් වන්නේ, ‘‘සෑම පුද්ගලයෙක්ම අදහස් දැක්වීමේ නිදහසට හා ප්‍රකාශනයට අයිතිවාසිකම් ලබයි. මෙම අයිතිවාසිකම් තුළ මැදිහත්වීම් සහ නිරීක්ෂණයන්ට ලක්වීමෙන් තොරව අදහස් දැරීමටත්, තොරතුරු සහ අදහස් ඕනෑම මාධ්‍යයක් හරහා සීමා මායිම්වලින් තොරව ලබා ගැනීම හා බෙදාහැරීමත් අන්තර්ගත වේ.‘‘ යනුවෙනි.

සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර ගිවිසුමේ  19 වන වගන්තිය තුළ භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස පිළිබඳව දක්වා තිබෙන්නේ, ‘‘සෑම පුද්ගලයෙකුටම මැදිහත්වීම්වලින් තොරව අදහස් දැරීමට අයිතියක් තිබිය යුතුය. සෑම පුද්ගලයෙක්ටම ප්‍රකාශනයේ නිදහස භුක්ති විඳීමට අයිතියක් තිබිය යුතුය; මෙම අයිතිවාසිකම් තුළ නිරීක්ෂණයේ නිදහසත්, සියලුම ආකාරයේ අදහස් හා තොරතුරු ලබා ගැනීමේ හා බෙදා හැරීමේ නිදහසත් අඩංගු විය යුතු අතර කට වචනයෙන්, ලිවීමක් හෝ මුද්‍රණයක් ආකාරයෙන්, සිතුවම් මාධ්‍යයෙන් හෝ අදාළ පුද්ගලයාගේ තේරීම අනුව වෙනත් ඕනෑම මාධ්‍යකින් සීමා මායිම් වලින් තොරව ප්‍රකාශනයක් කිරීමට අයිතිය ලැබිය යුතුය.‘‘ යන්නයි.

එහෙම වෙන්නේ ඇයි

කේ.කේ. ශ්‍රීනාත් මහතාගේ කෘතියේදී මෙන්ම සංහිඳියා කාර්යාංශයේ අනුග්‍රහයෙන් ඉදිරිපත් කළ ගුවන්විදුලි නාට්‍ය සම්බන්ධයෙන් ද චෝදනා එල්ල කළ පාර්ශ්වයේ මූලික චෝදනාව වී තිබෙන්නේ මෙමගින් බුදුදහමට නිගා කරන බවයි. පෙර අශෝක හඳගම මහතා විසින් සඳහන් කරන ලද අන්දමට මෙම ක්‍රියා දෙක තුළින්ම  ආගමේ නාමයෙන් කලාකෘති වලට සීමා පැනවීමට කටයුතු කර ඇති බව පැහැදිලිව පෙනේ. එහිලා  බෞද්ධ තොරතුරු කේන්ද්‍රය (Buddhist Information Centre) මෙන්ම ඕමල්පේ සෝභිත වැනි භික්ෂූන් වහන්සේලාගේ මැදිහත්වීම ද ප්‍රබලය. 

සුප්‍රකට සිනමා අධ්‍යක්ෂවරයෙකු වූ ෆෙඩ්රිකෝ ෆෙලනි වරෙක පැවසුවේ ‘‘වාරණය යනු රජයේ අනුග්‍රහයෙන් ලබාදෙන ප්‍රචාරණයයි.‘‘  බවයි.  කෙසේවුවත්, යහපාලනයක් රට තුළ ස්ථාපිත කරන බවට පොරොන්දු වී බලයට පත්වූ පිරිසක් ආණ්ඩු කරන සමයක ආගම හෝ දේශපාලන බලාධිකාරයේ මැදිහත්වීමෙන්  කලා නිර්මාණ වලට කුමන අයුරින් හෝ සීමා පැනවීම යුක්ති යුක්ත නොවේ.

 

සටහන - වින්ධ්‍යා ගම්ලත් 




සබැඳි පුවත් 

සෝභිත සාදුගේ සහ ‘ආචාර්යය‘ මර්වින්ගේ කුප්ප විවේචනයට විනයානුකූල පිළිතුරක් 

ඕමල්පේ හිමි සම බෞද්ධත්වය 

නිහොන් සැප ලැබීමේ ඇත්ත කතාව 

 

0 comments: