Hot!

‘දැවෙන විහඟුන්‘ නැරඹිය යුතු වන්නේ ඇයි ?

දැවෙන විහඟුන්' මෙරට ප්‍රේක්ෂකයා වැළඳගත්තේ කෙසේද

සංජීව පුෂ්පකුමාර අධ්‍යක්ෂණය කළ ‘දැවෙන විහඟුන්’ චිත්‍රපටය මෑත කාලයේ ලොකුම ආන්දෝලනයක් ඇති කළ චිත්‍රපටයකි. එයට හේතු වූයේ විදෙස් සම්මාන උළෙල කිහිපයක දී අගැයීමට ලක් වූ මෙම චිත්‍රපටය ලංකාවේ තිරගත කිරීමේ දී එහි සමහර ලිංගික දර්ශණ ඉවත් කර ප්‍රදර්ශණය කිරීමයි. නමුත් කොටස් ඉවත් කර ඇති බවක් අධ්‍යක්ෂවරයා හෙලි නොකිරීම නිසා ප්‍රේක්ෂකයින් එය නැරඹීමට ගියේ සම්මානයට පාත්‍ර වූ මුල් චිත්‍රපටයමය යන විශ්වාසයෙන් යුතුව සහ හොඳ චිත්‍රපටයක් නැරඹීමේ ආශාවෙන් යුතුව ය. තමුන්ට පෙන්වා ඇත්තේ දර්ශණ කප්පාදු කළ අංග විකල පිටපතක් බවත්, තමුන් රැවටීමකට ලක් කර ඇති බවත් දැන ගැනීමත් සමග මෙම මගඩියට එරෙහිව විශාල විරෝධයක්, විශේෂයෙන් සමාජ මාධ්‍ය තුළ පැන නැගිණි. වැඩි ආදායම් උපදවන ‘පවු‍ලේ චිත්‍රපටයක්’ බවට පත් කිරීමට අර දර්ශණ ඉවත් කරන්නට ඇතැයි යන අදහසක් ද සමහරු ඉදිරිපත් කළහ. මෙම විරෝධය ගිනියම් වෙමින් තිබියදී අධ්‍යක්ෂවරයා පැවසුවේ මුල් පිටපතෙහි වූ ඉතා ප්‍රබල ලිංගික දර්ශණ නිසා එය ‘වැඩිහිටියන්ට පමණයි’ ‍ලේබලය යටතේ තිරගත කිරීමට නිර්දේශ වූ බවත්, නමුත් සිය සිනමාශාලා වල ‘වැඩිහිටියන්ට පමණයි’ චිත්‍රපට තිරගත කිරීමට සිනමා ශාලා හිමියන් බොහෝ දෙනෙකු අකැමැති වූ බවත් ය. ලිංගික දර්ශණ ඉවත් කර තිරගත කිරීමට සිදු වූයේ ඒ නිසා බව ඔහු සඳහන් කළේය. නමුත් මුලින් ඔහු මේ බව නොපැවසීම නිසා ප්‍රේක්ෂකයින් කිසියම් රැවටීමකට ලක් කර ඇති බවක් පෙනිණි. බොහෝ දෙනා එල්ල කළ චෝදනාව වූයේ සම්මාන ලැබූ චිත්‍රපටය බව පෙන්වා වෙනත් බාල ව්‍යාජ පිටපතක් තමුන්ට පෙන් වූ බවයි. මෙය සාධාරණ චෝදනාවක් බව අමුතුවෙන් කිව යුතු නැත.



 

දැවෙන විහඟුන්' ගැන අධ්‍යක්ෂවරයා කියන්නේ මොනවද

කෙසේ නමුත් අධ්‍යක්ෂවරයා පවසන කතාව ඇත්තක් නම් ඔහු මෙම තත්ත්වයට පත් වීමට තුඩු දුන් තත්ත්වය ගැනද අප කතා නොකර සිටිය යුතු නොවේ. එනම් ජාත්‍යන්තර වශයෙන් යම් අගැයීමකට ලක් වූ සිනමා නිර්මාණයක් ඒ හැටියෙන්ම ලංකාව තුළ ප්‍රදර්ශණය කර ගැනීමට නිර්මාණකරුවාට නොහැකි වීම පිලිබඳ කණගාටුදායක තත්ත්වයයි. එයට බලපාන මෙරට සිනමා සංස්කෘතියේ ගැටළු මෙන්ම සදාචාරාත්මක සීමාවන් ද පිලිබඳ තත්ත්වයයි. සිය චිත්‍රපටයක් මෙවැනි ගැටළුවකට මුහුණ දුන් විට සිනමාකරුවෙකු මහත් අසරණ තත්ත්වයකට පත් වීම පුදුමයක් නොවේ. මේවාට එරෙහිව සටන් කරන ශක්තිමත් සමාජ සංස්කෘතික ව්‍යාපාර ද දක්නට නොමැති පසුබිමක ඔහු හෝ ඇය කිසියම් හුදෙකලා බවකට ද මුහුණ දෙයි. එහිදී එක්කෝ ඔහුට සිනමාපටය ප්‍රදර්ශණය නොකර ගෙදර තියාගෙන සිටින්නට සිදුවේ. නැතිනම් පෙන්විය හැකි මට්ටමට කප්පාදු කරන්නට සිදු වේ. සිය පළමු චිත්‍රපටය වූ ‘ඉගිලෙන මාළුවෝ’ ලංකාවේ ප්‍රදර්ශණය කිරීම තහනම් කිරීම නිසා ද යම් යම් ගැටළුවලට මුහුණ දී සිටි සංජීව මෙහිදී තෝරාගත්තේ දෙවැනි විකල්පය බව පෙනේ. තමාගේ චිත්‍රපට දිගින් දිගටම ලංකාවේ ප්‍රදර්ශණය කර ගැනීමට බැරි වීම සිනමාකරුවෙකු ලෙස සිය පැවැත්මට ප්‍රබල ලෙස බලපාන කාරණයක් ලෙස ඔහු සැලකූ බව පෙනිණි. ඔහු ඒ අනුව දර්ශණ ඉවත් කර චිත්‍රපටය තිරගත කළ නමුත් ඒ පිලිබඳව ප්‍රේක්ෂකයාට නොකීවේ එවිට චිත්‍රපටය නැරඹීමට වැඩි දෙනෙකු නොපැමිණෙනු ඇතැයි බිය වූ නිසා විය හැකිය. සිදු වූයේ මෙය නම් එය ප්‍රේක්ෂකයාට කළ අසාධාරණයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. නමුත් අනෙක් අතට මෙම සිදුවීම ලංකාවේ සිනමාකරුවෙකු පත් වන ඛේදජනක තත්ත්වයක් පිලිබිඹු කරන්නක් ලෙස ද සැලකිය හැක්කකි. මේ පිලිබඳව ඇති වූ සංවාදයේ දී බොහෝ දෙනෙකු අධ්‍යක්ෂවරයා කළ වංචාව පිලිබඳව ප්‍රහාර එල්ල කළමුත් වඩා පුළුල් ගැටළුව ගැන ප්‍රමාණවත් අවධානයක් යොමු වූයේ නැත.



දැවෙන විහඟුන්‘ සංස්කරණය නොකළ පිටපත දින 50 ඉක්මවයි 

කෙසේ නමුත් මේ වනවිට ‘දැවෙන විහඟුන්‘ මුල් පිටපත සීමිත දින ගණනකට තිරගත වෙයි. මේ ගැන මා අධ්‍යක්ෂවරයාගෙන් විමසූ විට පැවසුවේ ඉතා වෙහෙසකර උත්සාහයකින් පසු මේ ආකාරයෙන් සිනමාශාලා තුනක දිනකට එක් දර්ශණය බැගින් පමණක් ප්‍රදර්ශණය කිරීමට එකඟකර ගැනීමට හැකි වූ බවයි. මෙහි ඇත්ත නැත්ත කෙසේ වෙතත් ‘දැවෙන විහඟුන්’ සිනමාපටය සම්බන්ධයෙන් යම් අගැයීමක් කිරීමට ඉහත කී අර්බුදය බාධාවක් නොකර ගත යුතු ය යන්න මාගේ අදහසයි. එය මෙරට සිනමාවට දායාද කෙරුණු ඉතා හොඳ මට්ටමේ සිනමා නිර්මාණයක් වන බැවිනි. මා සිතන්නේ එය සිනමාවට ආදරය කරන සියළු දෙනා අනිවාර්යයෙන් නැරඹිය යුතු සිනමාපටයක් බවයි.

දැවෙන විහඟුන්‘ සිනමාපටයේ කතාව

චිත්‍රපටයට පසුබිම් වන්නේ භීෂණ සමයක සිය සැමියා හමුදාව විසින් ඝාතනය කරනු ලැබීමෙන් පසු ඔහුගෙන් යැපුණු බිරිඳ, දරුවන්, මහළු මව ඇතුළු පවුල මුහුණ දෙන ඛේදවාචකයයි. මෙහි ප්‍රධාන චරිත තුනම කාන්තා චරිත වීම ද විශේෂත්වයකි. එය එක්තරා දුරකට පිරිමියා මත කාන්තාවගේ යැපීමෙහි පරිමාණය කියා පාන්නක් ලෙස සැලකිය හැක්කකි. කෙසේ හෝ වේවා, ගෘහ මූලිකයා මිය ගිය විට පවුලක් අනාථ වීම පිලිබඳ කතාව අප බොහෝ දෙනෙකු නිතර දෙවේ‍ලේ අසා පුරුදු විදියේ කතාවක් වුවත් අධ්‍යක්ෂවරයා මෙම සාමාන්‍ය, සුළභ කතාවෙන් ඇතුල් වී ඊට ඔබ්බෙහි වූ ඉසව් රැසක් වෙත ප්‍රේක්ෂකයා රැගෙන යන්නට සමත් වෙයි. චිත්‍රපටය අප තුළ කම්පනයක් ඇති කරන්නේ එබැවිනි. සැමියා මරා දැමීම හරහා අධිපති දේශපාලනය විසින් එක් වරක් පීඩාවට පත් කරනු ලබන කුසුම් අනතුරුව ආර්ථික විෂමතාවන් විසින් ද, ඇය වටාම පවතින අධිපති ලිංගික, සංස්කෘතික, සදාචාරමය බලවේග විසින් ද දෙවෙනි, තුන්වෙනි වශයෙන් ද පීඩාවට ලක් කරනු ලබන ආකාරය ‘දැවෙන විහඟුන්’ ඉතා ව්‍යක්ත ලෙසත්, ප්‍රේක්ෂකයාගේ සිත සසළ කරවන අයුරිනුත් ඉදිරිපත් කරයි.



දැවෙන විහඟුන්‘ සිනමා බසකින් 

සමාජයේ පහළම ස්ථරයේ ජීවත්වන බිරිඳක සැමියා අහිමි වීම වැනි ඉරණමකට මුහුණ දුන් විට සමාජය කෙමෙන් ඇය ගිලගන්නා සිත්පිත් නැති උගුලක් බවට පරිවර්තනය වන අන්දම අපූරු ලෙස අපට දනවන්නට අධ්‍යක්ෂවරයා මෙහි දී සමත්ව ඇතැයි යන්න මගේ හැඟීමයි. චිත්‍රපටයේ අප දකින තවත් විශේෂත්වයක් ලෙස සඳහන් කළ හැක්කේ එය විවිධ ‘ආකෘතික හරඹ’ වලින් තොර ඉතාම සරළ ශෛලියක් ඔස්සේ විකාශනය වීමයි. මේ කාලයේ බොහෝ රටවල සිනමාවන් තුළ තහවුරු වෙමින් ඇති ප්‍රවණතාවක් වන්නේ ද සාමාන්‍ය මට්ටමේ ප්‍රේක්ෂකයින්ට ද ගෝචර වන සරළ කතන්දර හරහා සියුම්, ගැඹුරු අරුත් මතු කිරීමයි. මෙය එක්තරා ආකාරයකින් සිනමාව කර්මාන්තයක් ලෙස මුහුණ දෙන අභියෝග ජයගන්නා අතරම එහි ගුණාත්මක බව ද පවත්වා ගැනීම උදෙසා කෙරෙන අත්හදාබැලීමක් ලෙස ද සැලකිය හැකිය. ඉන්දියානු සිනමාව තුළ මෑත කාලයේ බිහි වෙමින් ඇති නිර්මාණ බොහොමයක් මේ සඳහා අපට ආසන්නම නිදසුන් ලෙස දැක්විය හැකි වේ. සංජීව ද ‘දැවෙන විහඟුන්’ තුළ මෙයට සමාන ශෛලියක් අනුගමනය කර ඇති අතර එය බොහෝ දුරට සාර්ථක වී තිබේ. සංවේදී ප්‍රේක්ෂකයා කම්පනයට පත් කරන්නේ චිත්‍රපටයේ මතුපිට ඇති සරළ කතන්දරය යටින් ඇති මෙම බරපතල බව විසිනි.

චිත්‍රපටය ආරම්භයේදී ම කුසුම්ගේ සැමියා හමුදාවට පාවා දෙනු ලබන්නේ ගෝනි බිල්ලෙකු ලෙස එන පාස‍ලේ විදුහල්පතිවරයා විසින්ම වීම ද අපූරු නිරූපනයකි. පරමාදර්ශී වශයෙන් නම් ගුරුවරයෙකු යනු බුද්ධියේ, ප්‍රඥාවේ, මානව දයාවේ ප්‍රතිමූර්තියක් විය යුත්තෙකි. සමාජයට මග පෙන්වන්නෙකු විය යුත්තෙකි. නමුත් මේ චිත්‍රපටයේ එන ව්‍යසනය ආරම්භ වන්නේම ගුරුවරයා විසින් කරනු ලබන පාවා දීම නිසා ය. අධ්‍යාපනය සිය ‘සේවය’ ඉටු කරන්නේ ඒ අන්දමිනි. මෙය, මෙම ක්‍රමයෙහි ඇති අවුල පිලිබඳ ව්‍යක්තව කියන සංකේතයක් යයි මට හැඟුණි. විදුහල්පතිවරයා ගේ මෙම ‘සේවයෙහි’ බලපෑම මුළු චිත්‍රපටය පුරාම පිලිකාවක් සේ පැතිරෙයි.



අනතුරුව කුසුම් ගේ ජීවිතය පත්වන තත්ත්වය පිලිබඳ ප්‍රබල ලෙස අඟවන රූපාවලියක් මස් පිණිස ගවයින් මරණ මස්මඩුවේ ඇය වැඩට යන පළමු දිනයේ ම අපට දැකිය හැකි වෙයි. එහි දී අප දකින්නේ ඉතා අමානුෂික ලෙස මරා දමා හම ගසා ඇති ගවයින්ගේ අනුවේදනීය ඉරණම පිලිබඳ දර්ශණ පෙලකි. පළමු දිනයේ දවස පුරා අමු මස් කුට්ටි අතර වැඩ කරන කුසුම් ද මේ ‍ලේ වැකි මළ සිරුරු අතරම තවත් එක් සිරුරක් බවට පත් වෙයි. දවසේ වැඩ අවසන් කර නික්ම යාමට සැරසෙද්දී මුදලාලි ඇයට මස් පාර්සලයක් දෙන්නේ ගෙදර ගොස් උයා, දරුවන්ට කන්න දෙන්න යයි කියමිනි. ඒ සැනෙකින් අප දකින්නේ ඇතිලියක පැසෙන ඒ මස් කැබලි ටිකය. සැබැවින්ම එය අපට දැනෙන්නේ දවස පුරා කුසුම් හා මුසුව සිටි ගවයින්ගේ මස් උයා දීමක් හැටියටම නොව ඇයගේම මාංශය උයා දරුවන්ගේ කුසගිනි නිවීමක් හැටියට ය. ඇයට ඇගේ ජීවිතයත්, ශරීරයත් අහිමි වීමට යාමේ ඛිෙදවාචකය පිලිබඳ පෙරනිමිති මෙලෙස ඉතා අපූරු සිනමා බසකින් අධ්‍යක්ෂවරයා අප හමුවේ දිග හරියි. ‘දැවෙන විහඟුන්’ තුළ අපට හමුවන ව්‍යක්ත සිනමාරූපී අවස්ථා අතරින් මේ එකක් පමණි. හමුදා නිලධාරියා, ගණිකාවක බවට පත් කුසුම් සමග මහත් ආවේගයෙන් රමණයෙහි යෙදෙන අවස්ථාවෙහි පසුබිමින් ඇසෙන්නේ ඇය හේත්තු කරගෙන සිටින මේසය බිත්තියෙහි හැපීමෙන් නැගෙන කඨෝර, දඩ බඩ දඩ බඩ හඬ ය. එය කුසුම් මුහුණ දෙන වේදනාවේ සහ කෲරත්වයේ තරම ඉතා අපූරුවට සිනමාවට නැංවූ තවත් අවස්ථාවකි. ඇයගේ සැමියා මරා දැමීම නිසා ජීවිතයේ අසරණ වූ ඇයට සැමියා මරා දැමූ පුද්ගලයා සමගම ලිංගිකව හැසිරෙන්නට සිදු වීමේ බිහිසුණු, ඛේදනීය අත්දැකීම ගැන කියන්නට මෙය මොන තරම් කදිම ආකාරයක් ද ? ඇය මේ අසරණ, වේදනාකාරී ඉරණමට ඇද දැමූ බලවේගවලට ම, එම අසරණ බව හේතුවෙන්ම, තවත් වටයකින් බිලිවීමට ඇයට සිදුවීම ඉතා ප්‍රබල කම්පනයක් මෙන්ම උත්ප්‍රාසයක් ද මවන්නකි.

කුසුම් ගණිකාවක බවට පත් ව ‍පොලිසියට හසුවීමෙන් පසුව ඇය වෙත පමණක් නොව ඇගේ පවුල වෙත ද ගමෙන් එල්ල වන පිලිකුල සහ විරෝධය හමුවේ ඇගේ කුඩා දරුවාට පාසලෙන් ඉවත්වීමට සිදුවන අවස්ථාව තවත් එවැනි අවස්ථාවකි. කුසුම්ගේ සැමියා හමුදාවට හසු කර දුන් විදුහල්පතිම, පාසැලට වන අපකීර්තිය නිසා දරුවා පාසලෙන් ඉවත් කරගන්නා ලෙස මිත්තණියට පවසන දර්ශණය සරදම් සිනාවකුත්, උණුසුම් කඳුළකුත් දෙකම අප තුළ මතු කරන්නකි. දේශපාලන, ආර්ථික, ලිංගික, සදාචාරමය තලයන් කිහිපයක් ඔස්සේ ඇතුළට විහිදුණු උගුලක ඇයත්, දරුවනුත් කෙමෙන් ගිලී යන අන්දම මේ හරහා ඉතා ශූර ලෙස අපට දැනවීමට අධ්‍යක්ෂවරයා සමත් වෙයි. මෙය සුළු සුළු වෙනස්කම් ඇතිව ලංකාවේ උතුර, දකුණ ඇතුළු ඕනෑම තැනක සිදුවිය හැකි අන්දමේ ‘කතන්දරයකි’.



දැවෙන විහඟුන්‘ බලන්න යන්න

මෙහි ඇති ලිංගික ජවනිකා අතිශයින් ප්‍රබල සංඥාවන් ජනිත කරන්නට සමත් වන අවස්ථාවන් ය. එම ජවනිකාවලින් තොර අංගවිකල පිටපත නැරඹූ ප්‍රේක්ෂකයින් ට චිත්‍රපටයේ කිසියම් හිස්කමක් දැනුණා නම් එය එතරම් පුදුමයක් නොවේ. කුසුම් ට තමාගේම ශරීරයට ඇති අයිතිය පවා අහිමිව යාමේ ඛේදවාචකය අපට දැනෙන්නේ එම ජවනිකා ඉදිරිපත් කර ඇති ඉතා ප්‍රබල ආකාරය නිසා ය. එමෙන්ම චිත්‍රපටයේ රූප රාමුවල සැකැස්ම (composition) සහ සංස්කරණ රිද්මය ද, එකම විටෙක අපව මෙම සිදුවීම් කෙරෙහි සමීප කර බැඳ ගන්නා අතරම අනෙක් අතට ඈත සිට ඒවා තේරුම් ගත හැකි දුරස්ථ බවක් ද නිර්මාණය කරන බවක් හැඟේ. මේ ආකාරයෙන් 'දැවෙන විහඟුන්' ගැන ලියන්නට තව බොහෝ දේ ඇතිමුත් ඉඩකඩ එයට හරස් වෙයි. අවසන් වශයෙන් කෙටියෙන් සඳහන් කරන්නේ මෙය සිනමාවට ආදරය කරන, මිනිසුන්ට ආදරය කරන කව්රුත් අනිවාර්යයෙන්ම නැරඹිය යුතු මාහැඟි නිර්මාණයක් බවයි.

 

 

සටහන -  නිහාල් පීරිස්

(2018 අගෝස්තු 5 ලක්බිම ඉරිදා සංග‍්‍රහයෙහි පළවූවකි)

0 comments: