Hot!

හදිසි අවස්ථාව: ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව සඳහා අලූත් ව්‍යවහාරයක් වහා අවශ්‍යයි

දුම්රිය රියැදුරන් සහ ඔවුන්ගේ සහායකයන් විසින් හිටිහැටියේ පටන් ගත් දුම්රිය වැඩ වර්ජනය ආණ්ඩුවේ නායකයන් මෙන්ම ජනතාවගෙන් බොහොමයක් දෙනා ද ‘වෘත්තීය සමිති ත‍්‍රස්තවාදයක්’ වශයෙන් හඳුන්වන අවස්ථාවක, ඊට වඩා වැදගත් සේවා ක්ෂේත‍්‍රයක් කෙරෙහි අවධානය යොමු කිරීමට අපි කැමැත්තෙමු. එනම්, මෙවැනිම ‘වෘත්තීය සමිති ත‍්‍රස්තවාදයක’ ග‍්‍රහණයට ලක්ව ඇති වෛද්‍ය ක්ෂේත‍්‍රයයි.


වෛද්‍ය ක්ෂේත‍්‍රයේ උත්තරීතර පාලන ආයතනය වශයෙන් සැලකෙන්නේ ‘ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවයි’. එහි සභාපතිවරයා වන, කීර්තිමත් වෛද්‍ය විශේෂඥ මහාචාර්ය කොල්වින් ගුණරත්න පසුගිය සතියේ එම තනතුරින් ඉල්ලා අස්විය. එම ඉල්ලා අස්වීමට හේතු වූ විවිධ කාරණා අතරින් ‘වෘත්තීය සමිති ත‍්‍රස්තවාදයත්’ එකකි. මහාචාර්යවරයාගේ විනීත කමට, එනමින් එය හැඳින්වීමෙන් ඔහු වැලකී සිටීම වෙනම කාරණයකි.


වෛද්‍ය ක්ෂේත‍්‍රයේ වසර 50 කට වැඩි කාලයක අත්දැකීම් ඇති මහාචාර්ය කොල්වින් ගුණරත්න, ‘ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව’ සඳහා වන අලූත් නීති පද්ධතියක් සකස් කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය. ආණ්ඩුව එය කඩිනමින් කරනු ඇතැයි අපි අපේක්ෂා කරමු. මන්ද යත්, දුප්පත්, අසරණ මිනිසුන් දසලක්ෂ ගණනකගේ ජීවිත මේ වන විට ඒ අංශයෙන් පරදුවට වැටී ඇති බැවිනි.


ගිය සතියේ ජාතික රූපවාහිනියේ සම්මුඛ සාකච්ඡුාවකට සහභාගී වෙමින් මහාචාර්යවරයා එක් අපූරු කතාවක් කීවේය. එනම්, වෛද්‍යවරුන් විසින් කරන වැඩ වර්ජන සංඛ්‍යාව සම්බන්ධයෙන් ලෝක ශූරතාවක් පැවැත්වුවහොත් ’ශ‍්‍රී ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය’ එහි ප‍්‍රථම ස්ථානය දිනා ගනු ඇති බවයි. වෛද්‍යවරුන් සහ හෙදියන් තමන්ගේ වෘත්තීය ප‍්‍රශ්න සාකච්ඡුා මාර්ගයෙන් විසඳා ගත යුතු බව කී මහාචාර්යවරයා, ඔවුන් විසින් වැඩ වර්ජන කිරීම ආචාරධර්ම-විරෝධී සහ සදාචාර-විරෝධී ක‍්‍රියාවක් වන බව පෙන්වා දුන්නේ, විශේෂයෙන්ම පෞද්ගලික අංශයේ ප‍්‍රතිකාර ලබා ගත නොහැකි දසලක්ෂ ගණන් දුප්පත් අහිංසක රෝගීන්ට එවැනි වැඩවර්ජන නිසා අනතුරක්ම සිදුවන බව අවධාරණය කරමිනි.


පැය දෙකක කාලයක් තිස්සේ පැවති එම සම්මුඛ සාකච්ඡුාවේදී මහා බි‍්‍රතාන්‍ය උදාහරණයට ගනිමින්, එම රටේ ජාතික වෛද්‍ය සභාවේ නීති පද්ධතියේ පළමු වගන්තිය වන්නේ පොදු ජනතාවගේ, විශේෂයෙන් රෝගී ජනතාවගේ සුවසෙතට ප‍්‍රමුඛ ස්ථානය දීම වන බව මහාචාර්ය කොල්වින් ගුණරත්න පෙන්වා දුන්නේය. එහෙත් යල්පැනගිය වෛද්‍ය ආඥාපනතක් පදනම් කර ගනිමින් සකසාගෙන ඇති ලංකාවේ වෛද්‍ය සභාව, තමන්ගේ ප‍්‍රමුඛ ඉලක්කය වන්නේ මේ රටේ ජනතාවගේ සුවසෙත වන බවක් සඳහන් කරන්නේ නැත. මහාචාර්යවරයාගේ උපදෙස් මත ආණ්ඩුව ක‍්‍රියා කළහොත් තමන් තවත් වැඩ වර්ජනයක් කරන බවට ‘ශ‍්‍රී ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය’ තර්ජනය කළත්, ලංකාවේ වෛද්‍ය සභාව සඳහා අලූත් නීති පද්ධතියක් ඇති කර ගත යුතුව ඇති බව මහාචාර්යවරයා උදක්ම අවධාරණය කරන්නේ එබැවිනි.


ඔහු පෙන්වා දුන් පරිදි, තමා සභාපතිත්වය දැරූ මාස කිහිපයක කාලය තුළ මේ රටේ ජනතාවගේ සුවසෙතට ප‍්‍රමුඛත්වය දීමට ඔහුට හැකි වී නැත. හේතුව, සාමාජිකයන් 25 දෙනෙකුගෙන් සමන්විත ‘ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ’ බලය, බලගතු වෘත්තීය සමිති දෙකක් විසින් හොබවනු ලැබීමයි. මේ වෘත්තීය සමිති දෙකේ නියෝජිතයන් 16 දෙනෙක් ‘ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවට’ තේරී පත්වී සිටිති. එම වෘත්තිය සමිති දෙක වන්නේ ‘ශ‍්‍රී ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය’ සහ ‘වෛද්‍ය පීඨ ආචාර්යවරුන්ගේ සංගමයයි’.
‘ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ’ ඉහළ මාලය අධිකරණ ශාලාවකට සමාන ය. එම ක්ෂේත‍්‍රයට අදාළ විවිධ පැමිණිලි, විත්තිකාර සහ පැමිණිලිකාර පක්ෂවල සහභාගීත්වයෙන්, සාක්ෂිකරුවන් ද සහභාගී කරගෙන, විභාග කළ හැකිය. එහෙත් මේ දක්වා, වෛද්‍ය වෘත්තිකයන්ට එරෙහිව පෙත්සම් ලැබී ඇත්තේ 120 ක් වැනි ප‍්‍රමාණයකි. ඒ අතරින් පරීක්ෂාවට ලක්ව ඇත්තේ සිදුවීම් 4 ක් පමණි. එයින් එකක් ‘රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ’ එක් විවාදාපන්න නායකයෙකු සම්බන්ධයෙනි.


‘රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය’ විසින් ‘වෛද්‍ය සභාවට’ තෝරා පත්කර යැවිය යුතු සාමාජිකයන් 8 දෙනාගේ ඡුන්දය සඳහා මෙම සංගමය විශේෂ බස් යොදා ගනිමින් යාපනය වැනි දුරබැහැර පළාත්වල සිට පවා තම සාමාජිකයන් කොළඹට ගෙන්වා ගැනීමට විශේෂ උනන්දුවක් ගත් බව මහාචාර්යවරයා පෙන්වා දුන්නේය. ‘රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය’ සහ ‘වෛද්‍ය පීඨ ආචාර්යවරුන්ගේ සංගමය’ වෛද්‍ය සභාව තුළ තුනෙන් දෙකක බලයක් දරණ තත්වයක් තුළ රෝගීන්ගේ සුවසෙත සඳහා ප‍්‍රමුඛත්වය ලබා දීම දෙවැනි තැනට වැටෙන්නේය. තමා ලංකාවේ ජනාධිපති වන්නේ නම්, ‘ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවට’ අදාළ නීති මාලාව, රෝගීන්ගේ යහපතට ප‍්‍රමුඛ ස්ථානය ලැබෙන පරිදි, වහා වෙනස් කිරීමට නියෝග කරන බව මහාචාර්යවරයා කීවේය. බටහිර බොහෝ රටවල් තමන්ගේ ජාතික වෛද්‍ය සභාවන් තුළ රෝගීන්ගේ සුභසිද්ධියට ප‍්‍රමුඛත්වය ලබා දීමට වගබලාගෙන ඇති බව ඔහු එහිදී පෙන්වා දුන්නේය. ඉන්දියාව පවා, තමන්ගේ පරණ වෛද්‍ය සභාව අහෝසි කොට අලූත් වෛද්‍ය සභාවක් ස්ථාපනය කර ගැනීම සඳහා නව නීති පද්ධතියක් සම්පාදනය කර ගත්තේය. එහිදී ප‍්‍රමුඛත්වය ලැබුණේ වෛද්‍යවරුන්ගේ ප‍්‍රතිලාභ සඳහා නොව, රෝගීන්ගේ සුභසිද්ධිය සඳහා ය.


ලංකාවේ වෛද්‍යවරු 33,000 ක් සිටිති. එයින් 20,000 ක් ‘රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ’ සාමාජිකයන් ය. යම් ප‍්‍රශ්නයක් ඇති වූ විට, රෝගීන්ගෙන් වාඩුව පිරිමසා ගැනීමට බලන්නේ නැතුව, බලධාරීන් සමග සංවාදයකට යන ලෙස මහාචාර්යවරයා මේ වෘත්තීය සංගමයෙන් උදක්ම ඉල්ලා සිටියේය. අනිත් අතට, හෙදියන් සඳහා උපාධියක් පවා දැන් ආණ්ඩුව විසින් සකස් කොට ඇති නිසා පෙරදී මෙන් වර්තමාන හෙද සේවාව වැඩ වර්ජන කිරීමේ රෝගයට ගොදුරු නොවීම ගැන මහාචාර්යවරයා සිය ප‍්‍රසාදය පළකෙළේය. වෛද්‍යවරුන්ටත් වඩා, හෙදියන්ගේ වැඩ වර්ජනයක් රෝගීන්ට ඉතා අහිතකර ලෙස බලපෑ හැකිය. මන්ද යත්, රෝගීන් සමග දිවා ? පැය 24 පුරා ළඟින් සිටින්නේ ඔවුන් වන බැවිනි. එබැවින් තමන්ගේ රාජකාරිය සේවා වෘත්තියක් වශයෙන් සලකන ලෙසත්, රෝගීන්ගේ සුභසිද්ධියට ප‍්‍රමුඛත්වය ලබා දීමෙන් සෞඛ්‍ය සම්පන්න රටක් ගොඩනගාගෙන පොහොසත් ශ‍්‍රී ලංකාවක් සඳහා උරදෙන ලෙසත් මහාචාර්යවරයා වෛද්‍යවරුන්ගෙන් සහ හෙදියන්ගෙන් ඉල්ලා සිටියේය.


2018 අගෝස්තු 11 වැනි දා ‘ඩේලි මිරර්’ පුවත්පතේ පළවූ, මේ සමග අමුණා ඇති, ‘‘හදිසි අවස්ථාව: ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව සද’හා අලුත් ව්‍යවහාරයක් අවශ්‍යයි’’ නැමැති ලිපිය සිංහලට පරිවර්තනය කෙළේ, ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි. 

0 comments: