Hot!

එක මිනිසෙකු හෝ එල්ලා මැරිය යුත්තේ ඇයි?-එල්ලූම් ගහේ දේශපාලනය (4)

ගාමිණී වියන්ගොඩ

රට කරවන්නන්ට (තමන් වෙනුවෙන් නොව) රට වෙනුවෙන් දුර දැකීමේ නුවණක් තිබීමත්, සමාජ ප‍්‍රශ්න නිවැරදිව වටහා ගැනීමේ හැකියාවක් තිබීමත් අවශ්‍ය කෙරේ. එපමණක් නොව, තමන් නිවැරදි යැයි විශ්වාස කරන ප‍්‍රතිපත්ති ක‍්‍රියාවේ යෙදැවීමට අවශ්‍ය දේශපාලනික ධෛර්යක් තිබීමත් අවශ්‍ය කෙරේ. ඉහත කී මුල් ගුණාංග දෙක නැති, එහෙත් දෙවැනුව කී ගුණාංගය පමණක් ඇති වර්තමානයේ රටක් කරවන පාලකයෙකු වන්නේ, පිලිපීන ජනාධිපති දුතර්තේ ය.


පිලිපීනයත් ලංකාව මෙන්ම මත්ද්‍රව්‍ය උවදුරට මුහුණදී සිටින රටකි. මීට පෙර මේ කොලමේ පෙන්වා දී ඇති පරිදි, මේ රාජ්‍ය නායකයා එරටේ මත්ද්‍රව්‍ය උවදුරට එරෙහිව දියත් කළ මහා සංග‍්‍රාමය තුළ, එක වසරක් තුළ නීතියට පිටින් 7000 ක් ඝාතනය කෙරුණි. තමා අතින්මත් මෙවැනි අපරාධකරුවන් ඝාතනය කරන ලද බව මොහු වරක් ප‍්‍රකාශ කෙළේය. ‘කුඩුකාරයන්’ සහ අපරාධකාරයන් යැයි සැක කරන පුද්ගලයන් ඝාතනය කර දැමීම සමාජයක වගකීමක් වන බව ඔහු රටට කීය. අවසානයේදී, තමාගේ ඝාතන විසඳුම තුළින් ‘කුඩුකාරයන්’ මර්දනය වී නැති බව මෑතකදී පිළිගත් ඔහු, ප‍්‍රශ්නය ඉවරයක් කිරීමට නම් ලෝකයේ වෙනත් රටවල සහයෝගයත් අවශ්‍ය කරන බව කියා සිටියේය. දැන් එසේ කියන්නේ, බටහිර ලෝකයේ මොන මානව හිමිකම් ප‍්‍රඥප්ති සහ සම්මුති පැවතියත්, ‘කුඩුකාරයන්’ මරා ප‍්‍රශ්නය ඉවරයක් කරනවා යැයි මීට වසර දෙකකට කලින් පාරම්බෑ නායකයෙකි.

මේ නායකයාම පසුගිය කාලයේ තවත් ‘රම්බෝ’ වැඩක් කෙළේය. එනම්, එරටේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ වෙනත් අපරාධකරුවන් සතුව තිබූ ලෝකයේ වඩාත් මිල අධික ලැම්බෝගිනි සහ පෝෂ් වැනි ඩොලර් මිලියන 5.5 ක (රුපියල් කෝටි 88) වටිනාකමින් යුත් වාහන ගණනාවක් ප‍්‍රසිද්ධියේ කුඩුපට්ටම් කොට විනාශ කර දැමීමයි. ඒවා කුඩුපට්ටම් කිරීමේ උත්කර්ෂවත් උත්සවයට ඔහුත් සහභාගී විය.


පොලිසිය විසින් මත්ද්‍රව්‍ය වැනි සමාජයට විනාශකාරී භයානක ද්‍රව්‍ය අත්අඩංගුවට ගත් විට ඒවා විනාශ කර දැමීම සිරිතයි. එසේ කරන්නේ, ඒවා නැවත වරක් සමාජ පරිභෝජනයට පත්වීම වැළැක්වීම අරමුණු කරගෙනයි. එහෙත්, මිල අධික අගනා රථවාහන ප‍්‍රමාණයක් එසේ විනාශ කර දමන්නේ මොන තර්කයක් මත ද? අපම කියන පරිදි, මේ කියන ජාවාරම්කරුවන් සහ අපරාධකරුවන් එම වාහන මිල දී ගෙන ඇත්තේ රටේ ජනතාවගෙන් අයථා අන්දමින් උපයා ගත් ධනයෙන්ම නම්, ඒවා විනාශ කිරීම ජනතාවගේ ධනයක් විනාශ කිරීමක් මිස අන් කවරක් ද? ඒ වෙනුවට එම වාහන විකුණා එම ධනය ‘ජනසතු කිරීමට’ නොතිබුණේ ද? ‘තර්කය’ පැහැදිළි ය. මෙවැනි නායකයන්ට අවශ්‍ය කරන්නේ යථාර්ථවාදීව ප‍්‍රශ්නයක් විසඳීම නොව, ඇස් නිලංකාර කරවන සැණකෙලි මායාවක් විසඳුම් වශයෙන් ඉදිරිපත් කොට, ජනප‍්‍රිය දේශපාලනයේ ‘රම්බෝවරුන්’ වීමයි.


අපේ ජනාධිපතිවරයාත් පසුගිය දවස්වල කතා කෙළේ එක්තරා දුරකට පිලිපීන නායකයා වගේ ය. වෙනසකට තිබුණේ, පිලීපින නායකයා නීතියට පිටින් කුඩුකාරයන්ව ඝාතනය කරන විට අපේ නායකයා එය නීත්‍යානුකූලව කළ යුතු බව කීම පමණි. ඒ අනුව, ජී.ඇස්.පී ප්ලස් සහනය අපට නැති වුවත් මේ ජාවාරම්කරුවන්ව එල්ලා මරණ බව අපේ ජනාධිපතිවරයා කියා සිටියේය.

මීට කලකට පෙර මොහු ඇස්බැස්ටොස් ආනයනය තහනම් කෙළේය. ඇස්බැස්ටොස් වැනි ද්‍රව්‍ය මිනිස් සෞඛ්‍යයට අහිතකර බවට සැකයක් නැත. එහෙත්, කාලයක් තිස්සේ පාවිච්චියට ගැනුණු සහ සමාජ දේහයේ අන්තර් ක‍්‍රියාවලිය තුළ තීරණාත්මක අංගයක් වන ඇස්බැස්ටොස් පාවිච්චිය නතර කළ යුත්තේ, එක රැුයකින් පනවන නීතියකින් නොව, ඒ වෙනුවට දැරිය හැකි ආදේශ විසඳුම් පිළිබඳ ප‍්‍රායෝගික වැඩපිළිවෙලක් සහිතව ය. උදාහරණයක් වශයෙන්, ඉන්දියාව ඇස්බැස්ටොස් පාවිච්චිය නතර කිරීමට පටන් ගත්තේ අදියර පිළිවෙලකට ය. මුලින්ම, කාෂ්ටක දකුණු ප‍්‍රාන්තයෙන් පටන් ගත් ඉන්දියාව, එම ප‍්‍රාන්තයේ රෝහල්වලින් ඇස්බැස්ටොස් ඉවත් කෙළේය. ඊළඟට, පාසල්වලින් එය ඉවත් කෙළේය. ඊළඟට, රජයේ ආයනවලින් ආදී වශයෙන් ඇස්බැස්ටොස් පාවිච්චිය ඉවත් කිරීමට පියවර ගැනුණේ අදියරෙන් අදියරට ය. කෙසේ වෙතත්, ලංකාව ඇස්බැස්ටොස් ආනයනය තහනම් කළ විට රුසියාව තර්ජනයක් දැම්මේය. එවිට අපේ ජනාධිපතිවරයා ඇස්බැස්ටොස් තහනම හකුලා ගත්තේය.

ග්ලයිෆොසේට් වල්නාශක භාවිතය සහ රජරට වකුගඩු රෝගය අතර සම්බන්ධයක් ඇති බවක් මෙතෙක් විද්‍යාත්මකව තහවුරු කොට නැත. ඉන්දියාව, ඊජිප්තුව සහ දකුණු ඇමරිකානු රටවල් කිහිපයකත් වකුගඩු රෝගය පිළිබඳ බරපතල ප‍්‍රශ්නයක් තිබේ. ඒ සෑම රටකම ග්ලයිෆොසේට් වල් නාශකයත් භාවිත කෙරේ. එහෙත් ඒ කිසි රටක්, ග්ලයිෆොසේට් සහ වකුගඩු රෝගය අතර සම්බන්ධයක් ඇති බවක් මෙතෙක් සොයාගෙන නැත. එසේ තිබියදී, කැළණිය විශ්ව විද්‍යාලයේ ආචාර්යවරියකට නාථ දෙවියන් වැහුණි. මේ දෙක අතර සම්බන්ධයක් ඇතැයි නාථ දෙවියන් තමන්ට කී බව එම ගැහැනිය කීවාය. එදා සිට ලංකාවේ වකුගඩු රෝගය සහ ග්ලයිෆොසේට් අතර සම්බන්ධයක් ඇති බව අපි ‘විද්‍යාත්මකව’ සොයා ගත්තෙමු. ඉන් පසු අපේ රටේ සිටින ඒ පිළිබඳ ප‍්‍රාමාණික විද්වතුන්ගේ සහ විද්‍යාඥයන්ගේ අදහස් විමසීමකින් තොරව, ‘වසවිස නැති රටක්’ පිළිබඳ එක භික්ෂුවකගේ මෝඩ සටන් පාඨයකට යට වූ ජනාධිපතිවරයා, ‘එක රැුයකින්’ ග්ලයිෆොසේට් තහනම් කෙළේය. අවසානයේදී, තේ කර්මාන්තයෙන් පමණක් වසරකට බිලියන 6 ක පාඩුවක් සිදු කරගෙන, අපේ තේවලට ජපානයේ තිබූ වෙළඳපොලත් අහිමි කර ගැනීමෙන් පසුව, දැන් ග්ලයිෆොසේට් තහනම හකුලාගෙන තිබේ.


මත්ද්‍රව්‍ය උවදුර මැඩලීම සඳහා සැබෑම උවමනාවක් අපේ ජනාධිපතිවරයාට තිබේ නම් අගනා ඔත්තු දෙකක් සැපයිය හැකිය.


එහිදී මුලින්ම මතක තබා ගත යුතු දෙයක් තිබේ. එනම්, අප මේ කතා කරන්නේ පාරතොටේ යනෙ’න ලක්ෂ සංඛ්‍යාත ජනකායක් අතරේ සිටින නාඳුනන කෙනෙකුගේ සාක්කුවක තිබිය හැකි හෙරොයින් ග‍්‍රෑම් දෙකක් සොයා ගැනීමේ අසීරු සහ අහම්බ කාරණයක් ගැන නොවේ. එවැනි මෙහෙයුමක් සාර්ථක කර ගැනීම ඉතා අසීරු ය. එහෙත් හිර ගෙදරක දැඩි ආරක්ෂක රැුකවල් යටතේ හතර වටෙන් සිර කොට සිටින නම ගිය පුද්ගලයන් කිහිප දෙනෙකු ගැන වගබලා ගැනීම එතරම් අසීරු නැත. හැබැයි ඒ එක කොන්දේසියක් යටතේ ය. එනම්, රටේ බලපුලූවන්කාරයන්ගේ ආශීර්වාදය සහ අනුග‍්‍රහය ඔවුන්ට නොලැබෙන්නේ නම් ය. ඉතිං, ඔවුන්ගේ ක‍්‍රියාකාරකම් පාලනය කර ගැනීමට නොහැකි වීම යනු, පාලකයන්ගේ අසමත් භාවයක් පිළිබඳ ප‍්‍රශ්නයක් මිස කුඩුකාරයන්ගේ ප‍්‍රශ්නයක් නොවේ.


එසේම, කැළණිය, කොලොන්නාව සහ මීගමුව වැනි මත්ද්‍රව්‍ය තිප්පොලවල් ගැන කවුරුත් දනිති. මේ සෑම වැයික්කියකම රජ කළ හෝ තවමත් රජ කරන දේශපාලනික ‘ගෝඞ් ෆාදර්ලා’ ගැනත්, ඔවුන්ගේ අනුග‍්‍රහය හෝ රැුකවරණය නැතිව ලංකාවේ මත්ද්‍රව්‍ය ජාවාරම කරගෙන යාමට වෙලේ සුදාටවත් පුළුවන් කමක් නැති බවත් රට්ටු දනිති. රාජපක්ෂ පාලන කාලයේ කුඩු නාමය ගෑවුණු එක් පළාත් සභා දේශපාලඥයෙකුගේ නිවස පොලිස් විශේෂ කාර්ය සාධක බලකායේ හදිසි සෝදිසියකට ලක්විය. එදා ජනාධිපති මහින්ද රාජපක්ෂ හෙලිකොප්ටරයකින් තකහනියක් එම දේශපාලඥයාගේ නිවසට ගොස් ඔහුව අස්වැසුවේය. එය මාධ්‍ය තුළ ඉමහත් විවේචනයට ලක් වූ සිද්ධියක් විය.

යහපාලනය ඊට වෙනස් විය යුතුව තිබුණි. එහෙත් මේ ආණ්ඩුව බලයට පත්වූ සැණින් අර දේශපාලඥයාට, අද කුඩුකාරයන්ව එල්ලා මැරිය යුතු යැයි කියන අපේ ජනාධිපතිවරයා ආසන සංවිධායක කමක් දුන්නේය. එතැනින් නොනැවතී, එම දේශපාලඥයාට යහපාලන ජනාධිපතිවරයා විසින්ම නියෝජ්‍ය ඇමතිකමක් ද පිරිනැමුවේය.


මෑතකදී මාධ්‍ය වාර්තා කොට තිබුණු පරිදි, පඩියක් නැතිව පවා අලූගෝසුවාගේ රැුකියාව කිරීමට කැමැත්ත ප‍්‍රකාශ කරන පිරිස් මෙරටේ සිටින බව දැන ගන්ට ලැබුණි. ඒ සමගම, ‘එල්ලූම් ගස් හතක ගියත් තෝව මරනවා’ යැයි කියන අයත් අනන්තවත් සිටිති. දෙපැත්තෙන්ම මෙය කම්පාවට කාරණයක් වන්නේ, පිරිසුදු බුද්ධාගම තිබෙන එකම රටත් ලංකාව යැයි කියන නිසා ය. අනිත් පැත්තෙන්, ‘‘අපරාධය කුමක් වෙතත්, එය මොන තරම් බරපතල අපරාධයක් වෙතත්, මරණ දඬුවම අනුමත කළ හැකි දෙයක් නොවන’’ බව මීට මාස කිහිපයකට පෙර පාප් වහන්සේ ප‍්‍රකාශ කළෝය. බුදුන්ගේ දේශනාවේ ප‍්‍රථම ශික්ෂා පදයත්, ‘ප‍්‍රාණ ඝාතනයෙන් වැළකීමයි.’


මත්ද්‍රව්‍ය උවදුර රටෙන් අතුගා දැමීමට අවශ්‍ය කරන්නේ අධිකරණමය විසඳුම් නොව, සමාජ විසඳුම් ය. එහිදී, එය අපරාධයක් වශයෙන් නම් කර ගැනීමට කලින්, සමාජ ප‍්‍රශ්නයක් වශයෙන් අවබෝධ කර ගත යුතුව තිබේ. ඒ ගැන මේ ලිපි පෙළේ කිසිවක් සාකච්ඡුා නොකෙරුණි. හේතුව, ඊට කලින්, මේ ප‍්‍රශ්නය සමග ගැට ගැසී ඇති දේශපාලනික කෝණයක් ගැන හදිසි අවධානය යොමු කළ යුතුව තිබූ බැවිනි. ඒ දේශපාලනික වංචාව සහ පුස්ස නිරාවරණය කර නොගෙන, වෙනත් විසඳුම් ගැන කතා කිරීම නිරර්ථක ය. එහිදී, රටේ නැති බැරි එකාව මත්ද්‍රව්‍ය උවදුරෙන් ගලවා ගැනීමට කලින් රටේ දේශපාලනය මත්ද්‍රව්‍ය අනුග‍්‍රහයෙන් ගලවා ගත යුතුය. කැළණියේ, කොලොන්නාවේ සහ මීගමුවේ මත්ද්‍රව්‍ය මුදලාලිලා විටින් විට මේ රට කරවන්නන්ගේ අනුග‍්‍රාහකයන් වී තිබේ. තවත් විදිහකින් කිවහොත්, දේශපාලනික අනුග‍්‍රහයෙන් තොරව, මහ පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක් මොන විදිහකින්වත් මෙරටේ තිබිය නොහැකි බවයි. එහෙත්, දැන් යන ක‍්‍රමයේ හැටියට, රටේ මහජන දේපොළ කොල්ලකෑ කිසි දේශපාලඥයෙකු අද හිරේක නැත්තේ යම් සේ ද, රටේ මත්ද්‍රව්‍ය ජාවාරම පසුපස සිටින කිසි දේශපාලනික අනුග‍්‍රාහකයෙකු කවදාවත් එල්ලූම් ගස් නොයන බවත් කැට තියා කිව හැකිය.


එවැනි පසුබිමක් තුළ, තමා එල්ලූම් ගස ගෙන එමි යි ජනාධිපතිවරයා කියන විට, එය මීට කලින් ඇස්බැස්ටොස් සහ ග්ලයිෆොසේට් තහනම සම්බන්ධයෙන් එතුමා අනුගමනය කළ ජනප‍්‍රිය දේශපාලනයට වෙනස් දේශපාලනයක් නොවන බව, සමහර විට, දෙතුන් සීයක් එල්ලා මැරීමෙන් පසුව රටම අවබෝධ කර ගනු ඇත. එහෙත් ලෝකයේ සෑම තැනකින්ම විද්‍යාත්මකව තහවුරු කොට ඇති සරළ සත්‍යයක් අපේ ඔළුවට ගැනීමට එක මිනිසෙකු හෝ එල්ලා මැරිය යුත්තේ ඇයි?


0 comments: