Hot!

එල්ලුම් ගහේ දේශපාලනය (2)

තමන් කරන අපරාධයකින් ඇති විය හැකි නියත ඵල විපාක ගැන කෙනෙකු අපරාධය කරන අවස්ථාවේ සිතන්නේ නම්, ඔහු සිතනු ඇත්තේ අවසානයේදී අත්විය හැකි ප‍්‍රතිවිපාකයක් (එල්ලූම් ගසක්) ගැන නොව, තමන් කරන අපරාධය නීතියට හසු නොවී කිරීමේ උපායක් ගැන ය. අවසාන ප‍්‍රතිවිපාකය ගැන දැනුවත්ව සිටියත්, කරන අපරාධය නීතියට හසු නොවී කළ හැකි බවට සහතිකයක් තිබේ නම් බොහෝ විට කෙනෙකු ඒ අපරාධය කරනු ඇත. මේ සහතිකය අපරාධකරුවාට සැපයෙන්නේ, එල්ලූම් ගසක් තිබීමෙන් නොව, ඊට මෙහා තිබෙන නීතිය හා බැඳුණු යාන්ත‍්‍රණය තුළ පවතින දුර්වල තත්වය හේතුවෙනි.

හොඳම උදාහරණය වසීම් තාජුඞීන් ඝාතනයයි. එදා එම රගර් ක‍්‍රීඩකයාව ඝාතනය කිරීමේ තීරණය ගැනෙන්නේ, නීතිය ආරක්ෂා කරන ආයතන පද්ධතියෙන් තමන්ට පූර්ණ ආරක්ෂාව ඇතැයි යන සහතික විශ්වාසය මත පිහිටමිනි. ඒ අනුව, පොලීසිය පමණක් නොව, ප‍්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියාව පවා ඒ සඳහා පාවිච්චි කිරීමට අපරාධකරුවන්ට හැකි වන්නේය. එබැවින්, රටක පොලීසිය පිළිබඳ විශ්වාසය බිඳ වැටී ඇති අවස්ථාවක, එතැනිනුත් එහාට රටක අධිකරණ පද්ධතිය දූෂිත වී ඇතැයි හැගෙන අවස්ථාවක, සැලසුම් සහගත අපරාධ ස්වභාවයෙන්ම වැඩි වන්නේය. කරන අපරාධයක් සඳහා අවසානයේ විඳීමට සිදු විය හැකි දඬුවමක් ගැන කල්තියා අඩුවෙන් සිතන සහ එම අපරාධය නීතියට හසු නොවී කිරීම ගැන වැඩියෙන් සිතන පිරිස වෘත්තීය අපරාධකරුවෝ ය.

අපරාධකරුවකු නොවන, ලක්ෂ සංඛ්‍යාත තවත් විභව්‍ය අපරාධකරුවන් සිටිය හැකිය. ඔබ සහ මා ඇතුලූ මෙතෙක් අපරාධයක් සිදු කොට නැති කවුරුත් ඒ විභව්‍ය අපරාධකරුවන්ගේ ගණයට වැටිය හැකිය. අපරාධයක් සිදු කිරීමේ උවමනාව යම් අවස්ථාවක දැනී ඇතත්, නීතියට ඇති බය නිසා එම අපරාධය කිරීමෙන් වැළකී සිටින පිරිස මීට අයත් වෙති. නීතියට ඇති බය යනුවෙන් අදහස් කරන්නේ, එල්ලූම් ගස් යාමම නොවේ. අත්අඩංගුවට පත්වීම, හිරේ විලංගුවේ වැටීම, පවුල කඩාකප්පල් වීම, දරුවන්ගේ අනාගතය අඳුරු වීම, ලජ්ජාව සහ නින්දාව ආදී නොයෙක් සමාජ හේතු ඊට බලපායි. අපරාධ අඩු වීම කෙරෙහි, පොදුවේ දඬුවම පිළිබඳ ඇති එකී භීතිය බලපාන බව කවුරුත් පිළිගනිති. අපේ ප‍්‍රශ්නය ඇත්තේ, වරදකට යම් දඬුවමක් පැනවීම සම්බන්ධයෙන් නොවේ. සෑම වරදකටම දඬුවමක් තිබිය යුතුය. එහෙත්, අඩුම දඬුවමේ සිට ඉහළම දඬුවම දක්වා වන ආරෝහණයේදී, අවසාන දඬුවම වශයෙන් ගැනෙන මරණීය දඬුවම, ඊට කලින් ඇති දඬුවම්වල සාර්ථකත්වය අභිබවා යන සාර්ථකත්වයක් සනාථ කොට තිබේද යන්න අපේ ප‍්‍රශ්නයයි.

1976 දී කැනඩාවේ මරණීය දණ්ඩනය අහෝසි කෙරුණි. එල්ලූම් ගස ඉල්ලා සිටින අයගේ තර්කය අනුව, එතැන් පටන් කැනඩාවේ මිනිමැරුම් ඉහළ යා යුතුය. එහෙත් ඒ වෙනුවට සිදු වුණේ, 1976 එරටේ තිබූ මිනීමැරුම් අනුපාතිකය, 2008 වන විට අඩකින් අඩු වීමයි. හැබැයි, දැන් මෙයින් ගම්‍ය වන්නේ, මරණීය දණ්ඩනය අහෝසි කළ විට අපරාධ අඩු වන බවක් යැයි අනිත් පැත්තට ගත යුතු නැත. එහි සරළ අදහස වශයෙන් අප සිහියට ගත යුත්තේ, එල්ලූම් ගසක් තිබුණත් නැතත්, අපරාධ අඩුවීම කෙරෙහි වෙනත් හේතු සෘජුවම සහ තීරණාත්මකව බලපාන බවයි. හෙවත්, මරණීය දණ්ඩනය සහ අපරාධ අඩු වීම අතර සෘජු සහසම්බන්ධයක් නැති බවයි.

ලෝකයේ රටවල් 195 අතුරින් මරණීය දණ්ඩනය ක‍්‍රියාත්මක කරන්නේ රටවල් 54 ක් පමණි. ඒ අතරින් දියුණු ලෝකයේ රටවල් ඇත්තේ 4 ක් පමණි. ඒ, ඇමරිකාව, ජපානය, සිංගප්පූරුව සහ තායිවානයයි. බටහිර ලෝකයේ මෙය ක‍්‍රියාත්මක කරන එකම රට ඇමරිකාවයි. එහෙත් ඇමරිකාවේ ඒ ඒ ප‍්‍රාන්තයෙන් ප‍්‍රාන්තයට එය වෙනස් වෙයි. එම රටේ ප‍්‍රාන්ත 31 ක මරණ දඬුවම ක‍්‍රියාත්මක වන අතර ඉතිරි ප‍්‍රාන්ත 19 තුළ එය අහෝසි කොට තිබේ.

ඇමරිකාවේ ‘පිව්’ පර්යේෂණ කේන්ද්‍රය විසින් කරන ලද අධ්‍යයනයක් හරහා මේ වන විට එක් කාරණයක් සනාථ කොට තිබේ. එනම්, ඇමරිකාවේ පවා, මරණ දඬුවම පිළිබඳ කැමැත්ත කෙමෙන් අඩු වෙමින් පවතින බවයි. මේ සඳහා වන මහජන කැමැත්ත 1980 දී සියයට 80 ක් ද, 1996 දී සියයට 78 ක් ද, 2014 දී සියයට 55 ක් ද, 2016 දී සියයට 49 ක් ද දක්වා අඩු වී ඇති බව ඔවුන්ගේ සමීක්ෂණ වාර්තා පෙන්වා දෙයි. මේ මහජන කැමැත්ත පිළිබඳව ඉතා සිත්ගන්නා සුළු තවත් කාරණයක් තිබේ. එනම්, ‘මරණීය දණ්ඩනයට කැමතිද?’ යන කේවල ප‍්‍රශ්නය කෙනෙකුගෙන් ඇසූ විට බොහෝ විට ලැබෙන පිළිතුර ‘ඔව්’ යන්න වෙතත්, ‘මරණීය දණ්ඩනය වෙනුවට, මොනම තත්වයක් යටතේවත් කිසි සමාවක් නොදෙන බරපතල වැඩ සහිත ජීවිතාන්තය දක්වා වන සිර දඬුවමක් දීමට කැමති නැත්දැ’ ඇසූ විට, ඇමරිකාවේ සියයට 61 ක් ඊට කැමැත්ත ප‍්‍රකාශ කොට තිබේ. සමහර විට, ජීවිතාන්තය දක්වා වන සිර දඬුවම ඇතුළු වෙනත් දඬුවම්වල ඇති සාර්ථකත්වයත්, මරණ දඬුවමේ ඇති අසාර්ථකත්වයත් පිළිබඳ පුළුල් අවබෝධයක් ජනතාවට ලැබෙතොත්, එල්ලූම් ගස සම්බන්ධයෙන් ලංකාවේ දැනට පවතින ජනප‍්‍රිය මතයත් වෙනස් වීමට ඉඩ තිබේ.

ඇමරිකාවේ සෑම ප‍්‍රාන්තයකම මිනිමැරුම් වශයෙන් ගැනෙන අපරාධ ප‍්‍රවණතාව ගැන සලකා බැලීම මෙහිදී ප‍්‍රයෝජනවත් ය. එහිදී, මරණ දඬුවම ඇති සහ මරණ දඬුවම නැති ප‍්‍රාන්තවල මිනිමැරුම් අනුපාතිකයන් අපට සන්සන්දනය කර බැලිය හැකිය. මරණ දඬුවම තිබෙන ප‍්‍රාන්තවල මිනීමැරුම් අනුපාතිකය 1990 දී 9.5 කි. (එනම්, සාමාන්‍යයක් වශයෙන් ගත් විට, වසරක කාලයක් තුළ ලක්ෂයක ජනගහනයකට සාපේක්ෂව සිදු වී ඇති මිනිමැරුම් සංඛ්‍යාව 9.5 ක් වන බවයි). මේ සංඛ්‍යාව වසරින් වසර අඩු-වැඩි වී ඇතත්, 2016 වන විට 5.6 ක් දක්වා එය අඩු වී තිබේ. එසේ අඩු වී ඇත්තේ මරණ දඬුවම තිබුණු නිසා යැයි කෙනෙකුට දැන් තර්ක කළ හැකිය.

එහෙත්, මරණ දඬුවම නැති ප‍්‍රාන්තවල මිනිමැරුම් අනුපාතිකය 1990 දී 9.2 ක්ව තිබී, 2016 වන විට එය 4.5 ක් දක්වා අඩු වී ඇති බවත් එම අධ්‍යයනයෙන්ම පෙන්වා දෙයි. එපමණක් නොවේ. 1990-2016 අතර කාලය තුළ සෑම වසරකම මරණ දඬුවම ඇති ප‍්‍රාන්තවල මිනිමැරුම් අනුපාතිකය, මරණ දඬුවම නැති ප‍්‍රාන්තවල මිනිමැරුම් අනුපාතිකයට වඩා එක දිගටම ඉහළ අගයක් ගෙන තිබේ. දැන්, එල්ලූම් ගහට පක්ෂ කෙනෙකුට අවශ්‍ය නම් තවත් තර්කයක් මතු කළ හැකිය. එනම්, මරණ දඬුවම ඇති ප‍්‍රාන්තවල මිනිමැරුම් අනුපාතිකය ඉහළ අගයක් ගන්නා නිසාම එම ප‍්‍රාන්තවලට මරණ දඬුවම අවශ්‍ය කළා විය හැකි බවයි. මොහොතකට අපි ඒ තර්කය පිළිගත්තොත්, සාධාරණ පුද්ගලයෙකුට මතු කළ හැකි ප‍්‍රතිතර්කය වන්නේ, ඉහත කී අවුරුදු 26 ක් වැනි දීර්ඝ කාලයක් තිස්සේ පවා, මරණ දඬුවම නැති ප‍්‍රාන්තවල මට්ටමට මිනිමැරුම් අනුපාතිකය අඩු කර ගැනීමට මරණ දඬුවම ඇති ප‍්‍රාන්ත කිසිවකට ඒ ගත වූ කිසි වසරක මෙතෙක් නොහැකි වී ඇත්තේ මන්ද යන්නයි. පිළිතුර ඉතා පැහැදිළි ය. මරණ දඬුවම, අපරාධ මැඩලීමට සාර්ථක විසඳුමක් නොවන බවයි.

තවත් වැදගත් කාරණයක් ගැන අපේ අවධානය යොමු කළ යුතුව ඇත. විනිශ්චයේ වරදකින් වැරදිකරුවන් 10 දෙනෙකු නිදහස් වී යාමට වඩා එක අහිංසකයෙකු වැරදිකරුවෙකු වීම බරපතල අපරාධයක් බව පොදුවේ පිළිගැනේ. ජීවිතාන්තය දක්වා වන සිර දඬුවම ඇතුළු ඊට පහළ ඕනෑම දඬුවමකට භාජනය වන අහිංසකයෙකුගේ නිරවද්‍ය භාවය (ඔහු/ඇය හිරේ සිටින අතරේ) කල් ගත වී හෝ ඔප්පු කර ගැනීම මගින් නිදොස් වීමේ ඉඩක් හැම විටකම තිබේ. එහෙත් මරණ දඬුවමට පත්කළ තැනැත්තෙකු සම්බන්ධයෙන් එසේ කළ නොහැක. මන්ද යත්, මරණයෙන් පසු ඔහු මොන තරම් නිර්දෝෂි යැයි (ඞී. ඇන්. ඒ. පරීක්ෂණ වැනි නවතම සාක්ෂි මගින්) ඔප්පු කළත් නැවත ඔහුට ජීවිතය දිය නොහැකි බැවිනි.

ලෝකයේ වැඩියෙන්ම මරණ දඬුවම ක‍්‍රියාත්මක කරන රට චීනයයි. ගැහැනියක් දූෂණය කොට මරා දැමූ බවට වරදකරු වූ චීන ජාතිකයෙකු 1989 ජනවාරි 28 වැනි දා එල්ලා මරණ ලදී. මරා දැමුවා යැයි කී මේ ගැහැනිය 1993 දී යළි ගමට ආවාය. අර අහිංසකයාට යළි ජීවිතය ලැබුණේ නැත. ගැහැනියක් දූෂණය කොට මරා දැමූ වරද ‘ඔප්පු’ වීමෙන් තවත් චීන ජාතිකයෙකු 1995 අපේ‍්‍රල් 27 වැනි දා එල්ලා මරණ ලදි. එහෙත්, 2005 දී වෙනත් පුද්ගලයෙකු විසින් එම ගැහැනිය මරා දමන ලද බව හැබෑවටම ඔප්පු විය. අර පුද්ගලයාට ඔහුගේ ජීවිතය යළි ලැබුණේ නැත.

වැරදි විනිශ්චයන් මත මිනිසුන් එල්ලා මැරීමේ සිද්ධි වැඩියෙන්ම වාර්තා වන්නේ චීනයෙනි. ඊට අමතරව, මේ ආකාරයෙන්, සාවද්‍ය සාක්ෂි හෝ වෙනත් කරුණු මත පදනම්ව හෝ විනිශ්චයේ දෝෂයක් නිසා මරණයට පත්කළ පුද්ගලයන් පිළිබඳ වාර්තා, ඇමරිකාව, තායිවානය, අයර්ලන්තය වැනි වෙනත් බොහෝ රටවල මේ වන විට ප‍්‍රසිද්ධියට පත්ව තිබේ. ඇත්ත වශයෙන්ම, 1965 දී බි‍්‍රතාන්‍යයේ මරණ දඬුවම අහෝසි කිරීමට, වෙනත් කරුණුවලට අමතරව, එවැනි එක් වැරදි විනිශ්චයක් නිසා එල්ලූම් ගසට යැවූ පුද්ගලයෙකුගේ නිර්දෝෂී භාවය පසුව ඔප්පු වීම එක් හේතුවක් විය. තිමොති එවන්ස් නැමැත්තා, ඔහුගේ බිරිඳ සහ අතදරු දියණිය ඝාතනය කිරීමේ වරදට 1950 මාර්තු 9 වැනි දා දී එල්ලා මරණ ලදී. මොහු බේබද්දෙකි. බොරු කියන්නෙකි. එබැවින් ඉතා පහසුවෙන් ඔහුව වැරදිකරු කළ හැකි විය. ඊට අවුරුදු 15 කට පසු 1965 දී, ඔහුගේ අසල්වැසියෙකු වූ ක‍්‍රිස්ටි වෙනත් මිනිමැරුම් ගණනාවක් කළ බව ඔප්පු වීමෙන් පසු එල්ලූම් ගස් යාමට කලින් එක් වැදගත් පාපොච්චාරණයක් කෙළේය. එනම්, තිමොති එවන්ස්ගේ බිරිඳ සහ අතදරු දියණිය ඝාතනය කළේත් තමා බව ය. ඒ ගැන පොලිස් දෙපාර්තමේන්තුව අනතුරුව කළ දීර්ඝ පරික්ෂණයකින් පසුව, 1950 දී එල්ලා මරණ ලද තිමොති එවන්ස් අහිංසකයෙකු බවට තීරණය කෙළේය. ඒ, 1965 දී ය. එහෙත්, ඒ වන විට ඔහුගේ ජීවිතය යළි ලබා දීමේ හැකියාවක් නොවුණි.

(ඉතිරිය ඊළඟ සතියට)

සටහන -  ගාමිණී වියන්ගොඩ

සබැඳි පුවත්

එල්ලුම් ගහේ දේශපාලනය 

0 comments: