Hot!

පොදු විපක්ෂයට ඊජිප්තුවෙන් පාඩමක්: කාලය එලඹ තිබේ

| සුනන්ද දේශප්‍රිය විසිනි

රාජපක්ෂ මැදමූලනට වී ජාතිවාදය ඇවිස්සීමට විඩියෝ පිට විඩියෝ නිකුත් කරමින් සිටී. රාජපක්ෂ කියන්නේ තමා පැරදුනේ ඊළමේ ජන්ද වලින් කියා ය. වතු දෙමළ ජනයාගේ ජන්ද වලින් කියා ය. මුස්ලිම් ජනයාගේ ජන්ද වලින් කියා ය. තමා සිංහල ජනයාගේ ජනාධිපති බව රාජපක්ෂ කියයි. එවිට ඔහුගේ අතවැස්සන් කියන්නේ උන් ( එනම් දෙමළ සහ මුස්ලිම් ජනයා) මරා හෝ බලය නොගත්තේ ඇයි ද කියා ය. එම ප්‍රශ්ණය අසන විට රාජපක්ෂ අනුගාමිකයෝ සතුටින් හඩ තලති. ඒ ඇසෙන්නේ 1983 දී කොලඹ පාරවල ගානේ දෙමළ ජනයා මරා පුලුස්සන විට  ඒ වටා නැටූම් නටමන් දේශප්‍රේමය ගායනා කළ  ම්ලේච්චයින්ගේ සිනහව ය. තමා යළි දේශපාලනයේ දිගටම රුදී සිටින බව කියමින් රාජපක්ෂ ඒ ලේ පිපාසිතයින් සතුටට පත් කරයි.

මේ වනාහී ජනාධීපතිවරණයෙන් පරාජය වී පැය 48ක් යෑමට මත්තෙන් මිනීමරු ජාතිවාදය පාදක කොට ගෙන යළි බලයට ඒමට කැස කවන රාජපක්ෂගේ දේශපාලන ව්‍යාපෘතිය යි.

මෙහිලා ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවෙන්  යුතුව පොදු විපක්ෂය බලයට ගෙන ආ හැට ලක්ෂයකට අධික ලාංකික ජනතාවගේ අයිතිය රැක ගැනීමට ඉගෙන ගතයුතු මා හැඟි පාඩමක් තිබේ.

නිර්ධන පංතිය විප්ලවයකින් රාජය බලය අල්ලා ගත් පසු ධනපති පංතියේ රාජ්‍ය තන්ත්‍රය කුඩුපට්ටම් කොට නිර්ධන පංතියේ රාජ්‍ය තන්ත්‍රයක් පිහිටුවිය යුතු යැයි 1917 රුසියානු විප්ලවයේ නායකයා වූ වැලැඩිමිර් ලෙනින් ලීවේ ය. ඔහු විප්ලවයෙන් පසු එය ක්‍රියාවට ද නැගුවේ ය. වචනයේ පරි සමාප්ත අර්තයෙන්ම අඥාදායකත්වයක් ගොඩ නැගුවේ ය. නමුත් අවසානයේ දි එම අඥාදායකත්වය නිරිධන පංතියේ එකක් වනවා වෙනුවට පාලක (කොමියුනිස්ට්) පක්ෂයේ අඥාදායකත්වයක් බවට පත් විය. අඥාදායකකත්වයේ හැටි කොහොමත් එහෙමය. කොතරම් යහපත් අරමුණකින් ආරම්භවව ද  අවසානයේ දී ඕනෑම අඥාදායකත්වයක් කුඩා කල්ලියක දරුණූ සහ කුරිරැ පාලනයක් බවට පත් වෙයි. ප්‍රජාතන්ත්‍රවාදය සහ අඥාදායකත්වය අතර ඇති වෙනස එයයි.

එසේ නමුත් ලෙනින්ගේ උක්ත කියමන - එනම් පවතින අඥාදායක රාජ්‍ය  තන්ත්‍රයකින් වන පාලනයකට එල්ල විය හැකි අනතුර පිලිබඳ සත්‍යය - යළි යළිත් ඉතිහාසයේ රඟ දෙයි. එහි මෑතම උදාහරණය දක්නට ලැබුණේ ඊජිප්තුවෙනි. අරාබි වසන්තයේ  දැවැනතතම ජන සහයෝගයක් භුක්ති විදි විප්ලවය එයයි. එහි නායකත්වය හෙබවූ තරුණ ව්‍යාපාරය ගාන්ධිගේ අවිහිංසාවාදය ද නූතන සංනිවේදනයේ තෝතැන්න වන අන්තර් ජාල සමාජ මාධ්‍යන්ද එකට කළතා විස්මය ජනක විප්ලවයක් සිදු කලහ. අඥාදායකයා හිර ගෙට යැවූහ.

එසේ නමුත් වැඩි කල් නොයා ඒ අඥාදායකයා විසින් තනන ලද ලේ රසින් පෝෂණය වූ මිනීමරු තන්ත්‍රය ආපසු හැරී  පහර ගැසුවෙ ය. රට ලෙයින් නහවා ඉතිහාසය ආපසු හැරවූහ. දැන් ඊජිප්තුව විප්ලවවාදීන්ගේ සිපිරි ගෙයයි. දහස් ගනන් සමාජ ක්‍රියාධරයින් සිර ගෙවල ය. සියල්ලටමත් වඩා මහජන ජන්දයෙන් බලයට පත් පශ්චාත් විප්ලව නායකයා වූ මොර්සි ද සිර ගෙදරය.

කිසිම උපමාවක් සියයට සියයක් ගැලපෙන්නේ නැතැයි කියනු ලැබේ. එනමුත් අපට ඉගෙන ගත යුතු පාඩමත් මෙම ඊජිප්තු ඉතිහාසයෙහි ලියැවී තිබේ. එනම් අඥාදායකයකු පරදවා ජයග්‍රාහීවන බලවේගයක විසින් කල් නොයා  රාජ්‍යතන්ත්‍රය ප්‍රජාතන්ත්‍රවාදී පදනමක පිහිටුවීමට පියවර ගත යුතු බවයි.

ශ්‍රී ලංකාවෙහි දී ඉන් කියැවෙන්නේ රාජපක්ෂ විසින් දේශපාලනීයකරණය කරන ලද රාජ්‍ය සේවය, ත්‍රිවිධ හමුදා, රාජ්‍ය බුද්ධි සේවාවන්, රාජ්‍ය පාලිත ජනමාධ්‍ය යනාදිය වහාම පිරිසිදු කළ යුතු බවය. (රාජපක්ෂ වරදාන වළදා අවසාන මොහෙතෙහි පොදු විපක්ෂයට එක් වූ සෝමරත්න බාලසූරියට ජාතික රූපවාහිනිය බාර දීමෙන් එය සිදු වන්නේ නැත).

රාජපක්ෂ විසින් පිහිටුවන ලද දේශපාලන ඔත්තු සේවා තවමත් එහෙම ය  ජනාධිපතිවරණය පුරාම සිය නිලධාරින් සහ සෙබළුන් රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරයට යෙදවූ හමුදාපති වරයා දැන් සුදු පිරුවට හැදි බබෙක් වීමට වළිකයි. යුද හමුදා අරමුදල් ලක්ෂ 50ක වියදමින් රාජපක්ෂට ජන්දය දෙන්නැයි පොත් පිංච ලක්ෂ දෙකක් යුද හමුදා සෙබළුන්ට තැපැල් කරන්නට ගියේ මේ හමුදාපතිවරයා ය. පොදු දේපල සුරැකීමේ ව්‍යාපාරය විසින් එය පෙන්වා දෙනු ලැබීමෙන් පසු මැතිවරණ කොමසාරිස්වරයා විසින් එය තහනම් නොකරන්නට එම ලිපි තැපැල් වන්නට නියමිතව තිබුණි. වත්මන් හමුදාපතිවරයා ඇතුළු බොහෝ දෙනෙකු හොරගල් අහු‍‍ලුනු ඇත්තේ රාජපක්ෂ අමු ජාතිවාදයෙන් හෝ යළි පාදූර්භූත වනු ඇතැයි විශ්වාසයෙනි.

මැතිවරණය පුරාම රාජපක්ෂ මැරයින්ගේ නිල ලත් ආරක්ෂකයින් වූයේ පොලීසිය යි. එම මැරයින්ට ගුවන් රටින් බැහැර විමට ඉඩ දුන්නේ ත් විපක්ෂ දේශපලන කාර්යාල කුඩුපට්ටම් කරන තුරු බලා සිටියේත් පොලීසි යයි. මැතිවරණ දෙපාර්තමේන්තුවෙන් ලක්ෂ 500ක් ලබා දී තිබියදීත් රාජපක්ෂ කටවුට් ගලවනු වෙනුවට ආරක්ෂා කළේ ද පොලීසිය යි. පොලිස් දෙපාර්ථමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරු රොත්තක්ම ක්‍රියාකළේ රාජපක්ෂගේ ප්‍රසිද්ධ මැතිවරණ නියෝජිතයින් ලෙස ය. රාජපක්ෂගේ දේශපාලන බුද්ධිසේවා ප්‍රධානින් කළේ විපක්ෂයේ තොරතුරු සොයන සුදුවැන් රාජකාරියය.

ඔවුන් ගෙදර යවන්නේ නැති පාලනය ඔවුන් විසින් ගිල ගන්නට ඉඩ තිබේ. (රාජපක්ෂ සරත් පොන්සේකාවාදි යැයි කියා යුද හමුදාවේ ස්වාධීන ජෙනරල්වරු කී දෙනෙක් එක රොත්තට ගෙදර යැවුවේදැයි මතක් කර ගන්න)

කොරේ පිට මරේ කිවා සේ මෛත්‍රී පාලනයේ ප්‍රථම ලේකම්වරු දෙදෙනාද අයත් වන්නේ ඉහත කී වර්ගයට ය. ජනාධිපති ලේකම් සහ ආරක්ෂක ලේකම් ලෙස පත් කර ඇති නිලධාරීන් දෙදෙනාම මැතිවරණ නීති අමු අමුවේ කෙළෙසමින් ජනාධිපති කාර්යාලය හා එක්ව ජන්ද අල්ලස් බෙදිමේ මුලිකත්වය ගෙන ක්‍රියා කළ බවට ඇති තරම් සාක්ෂි තිබේ. සිය දිවි නොබා පොදු විපක්ෂය බලයට ගෙන ඒමට ක්‍රියා කළ ලක්ෂ සංඛ්‍යාත ජනයාගේ නාමයෙන් දැන් නව ජනාධිපති තනතුරු දෙමින් සිටින්නේ රාජපක්ෂ බලයට ගෙන ඒමට අවසාන පැය දක්වාම කූටෝපායන්හි යෙදුණූ නිලධාරින්ට ය.
කොතරම් නින්දාවක් ද ? 

මෙලෙස පක්ෂග්‍රාහි නිලධාරින් හුරතල් කරන්නට පටන් ගත් හොත් මෛත්‍රී පාලනයට සිදුවනු ඇත්තේ දේවදත්තයාට ඉඩ දීමට පසු බැසීමට ය.

ජාතික රූපවාහිනයට සෝමරත්න බාලසූරිය නම යෝජනා කරන ලද්දේ හෙළ උරුමය විසින් යැයි කියනු ලැබේ. එසේ නම් එය ඉතා කණගාටුදායක ය. යහ පාලනය වෙනුවෙන් රාජපක්ෂ ආන්ඩුවෙන් එළියට පැමිණි යහ පාලන පොත් ලියන පක්ෂයක් සිය දේශපාලන සගයකු වන බාලසූරියට වරදාන දීමට මෙතරම් ඉක්මනින් පොරකනු ඇතැයි සිතීම පවා දුෂ්කරය.

සිරිසේන සිය ලේකම්වරුන් පත් කරන ලද්දේ පොදු විපක්ෂයේ ප්‍රධානින් සමඟ සාකච්ජා කිරීමෙන් පසුව නොව් යැයි කියනු ලැබේ.

මේ වනහි වහාම නිවැරදි කර ගත යුතු මරණීය වැරදි ය.

‘හදිසි ගමනක් නම් තනිව යන්න; දිගු ගමනක් නම් එක්ව යන්න’ යැයි අප්‍රිකානු කියමනක් තිබේ. පොදු විපක්ෂය සිය ආදර්ශ පාඨය ලෙස ලියා ගත යුතු වටිනාකමක් එම කියමනෙහි තිබේ.  තනිව මේ ගමන යා නොහැක. අඥාදායකත්වයේ උපාංග සැම තැනකම මුල් බැසගෙන තිබේ. ජාතිවාදය ද ඉන් එකකි. යුද කරණය තවත් එකකි. වරදාන මගින් ඩැහැ ගැනීම තවත් එකකි. පක්ෂග්‍රාහී නිලධර තන්ත්‍රය තවත් එකකි යනාදී වශයෙනි.

එම සියල්ල පරදවා සිංහල දෙමළ මුස්ලිම් යන සියළු ජනයාට ප්‍රජාතන්ත්‍රවාදී නිදහස තහවුරු කරන පාලනයක් පිහිටවීම දුර ගමනකි. එක්ව යා යුතු ගමනකි. රාජපක්ෂට මෙරට යළි ලේ විලක් බවට පත් කිරිමට ඉඩ නොදීමට නම් පොදු විපක්ෂය සියළු බලවේග ඒකරාශි කර ගනිමින් ජන්ද බලය මහජන බලයක් බවට පෙරළිය යුතු ය.

රාජපක්ෂ මැද මූලනට වී  මරා හෝ බලය ගත යුතු බව කියන  අනුගාමිකයින් පිරිවරා ගන්නා විට පොදු විපක්ෂය ලක්ෂ සංඛ්‍යාත ජනබලයක් ගොඩ නඟා ඊට අභියෝග කළ යුතු ය.

එවැනි ජන බලයක හඬ රාව ප්‍රතිරාව දෙවන සහ විශ්වසනීය මහජන ප්‍රචාරක ව්‍යාපාරයක් ද වහ වහා දියත් කළ යුතු ය.

රාජපක්ෂගේ ජාතිවාදී කයිවාරුවලට ජනබලයෙන් පිළිතුරු දිය යුතු අවස්ථාව එළඹ තිබේ. ඊට සැරසෙමු.
කාලය පැමිණ තිබේ.

පලි: පොඩි පොඩි  සිල්ලර උද්ඝෝෂණවලින්  මේ අවස්ථාව කුරෝලු කරගන්න එපා!