Hot!

රාජපක්ෂගේ "කුමන්ත්‍රණයට" එරෙහි පැමිණිල්ලට නීතිපති අවසරය!

ජනාධිපතිවරණ පරාජයෙන් පසුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුදා බලය යොදා බලයේ රැඳී සිටීමට කළ කුමන්ත්‍රණය සම්බන්ධයෙන් මොහාන් පීරිස්, ලුතිනන් ජෙනරාල් දයා රත්නායක, මහාචාර්ය ජී.එල්. පීරිස්, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ,ආරක්ෂක මණ්ඩල ප්‍රධානී ජෙනරාල් ජගත් ජයසූරිය, හිටපු පළාත් සභා අමාත්‍ය උදය ගම්මන්පිල යන මහත්වරුන්ගෙන් ප්‍රශ්න කොට ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස නීතිපතිවරයා ඊයේ (16) සවස රහස් පොලිසිය භාර නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතාට ලිඛිතව උපදෙස් ලබාදී ඇත.

නීතිපතිවරයා මෙසේ නියෝග කර ඇත්තේ විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා සිදුවීමට ගිය හමුදා කුමන්ත්‍රණය පිලිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ල සම්බන්ධව එම දෙපාර්තමේන්තුව විසින් නීතිපතිවරයාගේ උපදෙස් පැතීමේදීය.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශය වෙත නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා ඊයේ රාත්‍රියේ නියෝග කර ඇත්තේ අදාල පුද්ගලයන්ගෙන් ඉදිරි සතිය තුල ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙසය.

සේවයේ යෙදී සිටින අගවිනිසුරුවරයෙකුගෙන් අපරාධ නීතිය යටතේ රහස් පොලීසිය ප්‍රශ්න කරනු ලබන්නේ ශ්‍රී ලංකා ඉතිහාසයේ පලමු වතාවට බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කර සිටී. මංගල සමරවීර ඇමතිවරයා කළ පැමිණිල්ල සම්බන්ධයෙන් නීතිපතිවරයා පැය 8 ක් තුල තම උපදෙස් ලබාදීම සුවිශේෂී කරුණක් බව එකී ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටී. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශය මෙම හමුදා කුමන්ත්‍රණය සම්බන්ධයෙන් නීතිපති ඒ.යූ. විජේතිලක මහතාගෙන්ද ප්‍රකාශය සටහන් කර ගනු ඇත.