Hot!

පරාජිතයාට තඩිබෑම නොහොත් ශ්‍රී ලංකාවේ “මාධ්‍ය නිදහස”

හිටපු ජනාධිපතිවරයා තම පෞද්ගලික ඉල්ලීම් සහ ඩග්ලස් දේවානන්ද මෙන්ම කේ.පී. ආරක්ෂාකර දෙන ලෙස ඉල්ලා සිටි අවස්ථාවේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වැදගත් කාරණයක් ඉස්මතු කොට ඇත. එනම් අදාළ කාරණා සම්බන්ධයෙන් සිදුවන පරීක්ෂණ ස්වාධීන ඒවා මිස ඊට තමන්ගේ පෞද්ගලික ඇඟිලි ගැසීමක් සිදු නොකරන බවය. එය ඉතා හරවත් ප්‍රකාශයකි. එමඟින් රාජ්‍යක ආයතන ව්‍යුහය සතුව ඇති මූලික වගකීම පෙන්වාදී ඇත. එම ස්වාධීන සහ වැදගත් මතයේ කෙතරම් කාලයක් තම කොන්ද කෙලින් තබාගෙන සිටීමට වත්මන් ජනාධිපතිවරයාට හැකි වේදැයි නොදනිමි.
| නිලන්ත ඉලංගමුව

මහින්ද රාජපක්ෂ මහතා තම රාජ්‍ය බලය යොදාගෙන මෙරට පරිපාලන ව්‍යුහය ව්‍යාකූල කරන විට ඊට එරෙහිව කතා කිරීම සඳහා තම කශේරුකාව කෙලින් තබා ගත්තේ කිහිප දෙනෙකු පමණි. ඔවුහුද ඉතා කෙටි කාලයක් තුළදී දේශද්‍රෝහීන් බවට පත් කරනු ලැබීය. යමෙක් රාජ්‍ය බලය අනිසිලෙස යොදා එමඟින් මුළු රටක් මුලාවට ඇදදමන විට ඊට එරෙහිව කටයුතු කිරීමට රටේ පුළුල් එකමුතුවක් නොතීබීම මඟින් හිටපු ජනාධිපති රාජපක්ෂ මහතාට වසර 10ක කාලයක් පුරා කිසිඳු අවහිරයකින් තොරව තම මෙහෙයුම කරගෙන යාමට හැකිවිය. මෙවරද, ඔහු විසින් සිදු කරනු ලැබූ අත්වරැද්ද නොවන්නට තවත් වසර දෙකක් ඔහු ධූරයේ සිටීම වැලැක්විය නොහැකි වනු ඇත. 

ඔහුගේ ධූර කාලය තුළදී බොහෝ දෙනෙකුට සිදු වූයේ වරද දැක දැකත් ඉන් තමන්ට ඇතිවන වාසිය සලකා නිහඩ වීම නමැති තමන් විසින් තමන්ව රවටාගැනීමේ ක්‍රියාවලීයට මුහුණ දීමය. ඇතැමෙකුට හිටපු ජනාධිපතිවරයා තම පෞද්ගලික ආර්ථිකය ගැන සොයා බලා කටයුතු කිරීම නිසා ඔහු රැක ගැනීමේ කැපවීම තිබුණි. තවකෙකුට රටේ ජනාධිපතිට “අයියා” යැයි ඇමතීමට හැකි නිදහස තිබු නිසා ඔහු ඉතා සාදාරණ මිනිසෙක් ලෙස පෙනුණි. මේ ආකාරයෙන් විවෘත අසාදාරණය සැඟවීම සඳහා බොහෝ දෙනෙකුට බොහෝ සංවෘත පෞද්ගලික හේතු තිබුණි. 

කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ මහතා තම හාස්‍යජනක මෙන්ම ඛේදනීය අත්වැරැද්ද සිදුකර ගෙන මැතිවරණයෙන් පරාජය විය. ඔහු මේ වන විට පරාජිතයෙකි. ඔහු වටා සිටි සේනාද පරාජිතයින් වී සිටිති. ඔහුගේ පරාජය හමුවේ ඔහුව විවේචනය කිරීමේ පහසු ඉඩක් මෙන්ම නිදහසක් සියලුම දෙනාටම ලැබී  තිබේ. තමන්ගේ මානසික වියෝව සමනය කිරීමට සහ බලයට පත් වූ නව ආණ්ඩුව සතුටු කිරීම සඳහා හැකි උපරිමයෙන් රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට සහ ඔහුගේ පරිවාර සේනාවට තඩිබෑම කළ හැකිය.

මෙවැනි අවස්ථාවක නිදහස ලෙස බොහෝ දෙනෙකු සිතන්නේ මෙයයි. එමඟින් ඇතිකරන වින්දනය තමන්ගේ කැපවීම සහ සහයෝගය ලබාදීම ලෙස තේරුම් ගැනීම ස්වභාවික වේ. නමුත් මෙය නිදහස ලෙස තේරුම් ගැනීම අතිශය බියජනක මෙන්ම කණගාටුදායක කාරණයකි. ඉන් සමස්ථ රටට අත්වන සුගතියක් නොමැත. සිදුවන්නේ තාවකාලීක වින්දනයක් ලැබීම සහ රටේ සැබෑ ගැටලු යටපත් වීම පමණි.

අවාසනාවට මෙන්, රාජ්‍ය මාධ්‍ය මෙන්ම බොහොමයක් පෞද්ගලික නාලිකා මෙම ක්‍රමෝපාය භාවිතා කරමින් පරාජිතයාගේ “සතුරා” සහ ජයග්‍රාහකයාගේ අතවැසියා බවට පත්වෙමින් සිටිති. මෙය අතිශය කණගාටුදායක ප්‍රවණතාවයකි. සැබවින්ම මෙහිදී පැහැදිලි කරගත යුතු මූලික  කාරණයක් තිබේ. එනම් ලංකාවේ රාජ්‍ය මාධ්‍ය කියා යමක් නැති බවයි. රාජ්‍ය මාධ්‍ය වූ කලී රාජ්‍ය වෙනුවෙන් තම ස්වාධීනත්වය මත පිහිටා කටයුතු කරන මාධ්‍යන් මිස ආණ්ඩුවේ හොරනෑවල්  නොවේ. එවැන්නක් ලංකාවේ නැත. ලංකාවේ රාජ්‍ය මාධ්‍ය වෙනුවට දැක ගත හැක්කේ ආණ්ඩුවේ මාධ්‍යයන්ය. එමඟින් සමස්ථ ජනතාවට බලවත් අසාදාරණයක් මෙන්ම හානියක් සිදු කොට ඇත.

මෙවර මැතිවරණයෙන් පෙන්වා ඇති මූලික කාරණයක් තිබේ. එනම් දේශීය මාධ්‍යයන්ට ආණ්ඩු තැනීමට හෝ රැක ගැනීමට හැකියාවක් නැති බවයි. මෙමඟින් සෑම මාධ්‍යකටම ස්වභාවිකව උගන්වන පාඩමක් තිබේ. ඒ වූ කලී රටේ ජනතාව වෙනුවෙන් තම මාධ්‍ය කලාව භාවිතා කිරීම සඳහා ඔවුහු හමුවේ ඇති මූලික අභියෝගයේ පරාමිතීන්ය. මේ හමුවේ රටේ මාධ්‍යයන්ට,  සැබෑ ජනමාධ්‍යවේදය අරමුණු කොට ගෙන කටයුතු කිරීමේ   හැකියාව සහ ඊට ඇති මානව සම්පත්වල ප්‍රමාණය ගැන කල්පනා කිරීමට අවස්ථාවක් ලැබී තිබේ.

වර්තමානයේදී අනුගමනය කරන ඕපාදූප පුවත් පත් කලාව වෙනුවට දයාසේන ගුණසිංහ වැනි මෙරට මාධ්‍ය ඉතිහාසය තුළ තේරුමක් ඇති දෙයක් කළ වීරයින් දායාද කළ කලාවන් යළිත් මෙරට ඇති කිරීමේ උදාර වගකීමක් සියලුම දෙනාට පැවරේ. එමඟින් තම රැකියාවේ ගරුත්වය පමණක් නොව තම ජීවිතයට ඇති වටිනාකම සහ ආදර්ශය රට හමුවේ ස්ථීර වනු ඇත.

මෙම මූලික අභියෝගය ජයගැනීම; පරාජිතයාට තඩි බෑමෙන් හෝ ජයග්‍රාහකයා සතුටු කිරීම සඳහා නොයෙක් මාදිලියේ ප්‍රසස්ති ගී ගැයීමෙන් කළ නොහැකිය. එවැනි දෑ අර්ථ ශූන්‍ය බව ඔප්පු කොට ඇත. හිටපු ජනාධිපතිවරයාගේ පරාජය වූ කලී ඔහු දේශපාලනික වශයෙන් පරාජය වීම පමණක් නොව ඔහු නිදහස ලෙස අරුත් ගැන්වූ මංමුලාව තේරුම් ගෙන එවැනිම ආකාරයේ මංමුලාවකට රට තවදුරටත් නතු නොවන බව පෙන්වීමය. මෙය වඩාත් මැනවින් තේරුම් ගත යුතු කාරණයක් වන අතර එහි මුලික වගකීමක් මාධ්‍යට නොහොත් පණිවිඩකරුවාට තිබේ.  

ඒ වෙනුවට රිසි පරිදි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහ ඔහුගේ පවුලේ අවභාවිතය මූලික කොට ගනිමින් පහරදීම් මඟින්ලැබී ඇති අවස්ථාව පිරවීම මඟින් මූලික වශයෙන් අහිමිවන දෑ තිබේ.

පළමුවැන්න වූ කලී, විස්තාරණය වී ඇති ඉඩ මෙවැනි දෑ මඟින් පිරවීම මඟින් රටට අත්‍යවශය දේශපාලන මෙන්ම සමාජීය සහ ආර්ථික විවාදයට ඇති ඉඩ අහිමි වී යා හැකිය. එමඟින් විසඳිය යුතු සැබෑ ගැටලු යටපත් වීමේ ප්‍රභල අවදානමක් ඇති වේ. එසේම තම වෘත්තිය ගරුත්වය ආරක්ෂාකර ගැනීම සඳහාලැබී ඇති අවස්ථාව ඉතා කෙටි කාලයක් තුළදී යළිත් අහිමි වී යා හැකිය. ඉන් පසු උදා වන්නේ යළිත් එකිනෙකාට වෛරකිරීමේ සහ අනෙකාගේ අතකොළුවක් බවට පත් වී කටයුතු කිරීමේ දීන තත්වයට නිරායාසයෙන්ම පත්වීමය.

හිටපු ජනාධිපති රාජපක්ෂ සහ ඔහුගේ ඥාතීන් මෙන්ම හිත මිතුරන් මෙරට රාජ්‍ය සම්පත් අවභාවිතා කිරීම මෙන්ම විවිධාකාරයෙන් සිදු කොට ඇති අකටයුතුකම් විසඳා ගැනීම කළ යුත්තේ නීතිමය මාර්ගයෙනි. ඊට රටේ අධිකරණ පද්ධිතිය ශක්තිමත් වීම සහ ඒ වෙනුවෙන් කටයුතු කිරීම තීරණාත්මක වේ. එසේ නොවුනහොත් හිටපු ජනාධිපතිවරයා සහ ඔහුගේ කණ්ඩායම සිදුකළ වැරදි හුදු පුවත් බවට පමණක් පත් වනු ඇත. එමඟින් රටේ මාධ්‍ය අවකාශය පමණක් පිරවිය හැකිය. එය එසේ නොකිරීමට මෙරට මාධ්‍යට ඇත්තේ සුවිශාල වගකීමකි.  

හිටපු ජනාධිපතිවරයා තම පෞද්ගලික ඉල්ලීම් සහ ඩග්ලස් දේවානන්ද මෙන්ම කේ.පී. ආරක්ෂාකර දෙන ලෙස ඉල්ලා සිටි අවස්ථාවේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වැදගත් කාරණයක් ඉස්මතු කොට ඇත. එනම් අදාළ කාරණා සම්බන්ධයෙන් සිදුවන පරීක්ෂණ ස්වාධීන ඒවා මිස ඊට තමන්ගේ පෞද්ගලික ඇඟිලි ගැසීමක් සිදු නොකරන බවය. එය ඉතා හරවත් ප්‍රකාශයකි. එමඟින් රාජ්‍යක ආයතන ව්‍යුහය සතුව ඇති මූලික වගකීම පෙන්වාදී ඇත. එම ස්වාධීන සහ වැදගත් මතයේ කෙතරම් කාලයක් තම කොන්ද කෙලින් තබාගෙන සිටීමට වත්මන් ජනාධිපතිවරයාට හැකි වේදැයි නොදනිමි.

රටේ ජනමාධ්‍යද කටයුතු කළ යුතුව ඇත්තේ ඊට අනුව මිස,  පූර්ව විනිශ්ච කරුවෙකුගේ භූමිකාව රඟපෑම නොවේ. ඒ වෙනුවට අනෙකාගේ වැසිකිළිය, එහි ඇති වායු සමීකරණය, රූපවාහිනී යන්ත්‍රය මෙන්ම හුදු අනුමානය පදනම් කර ගනිමින් නිර්මාණය කළ පුවත් මත පදනම් වෙමින් වර්තමානය කා දැමීම මඟින් ඇතිවන්නේ අවාසියක් පමණි.

පරාජිතයා දුටුතැන උඩ පැන පැන තඩිබෑමේ අවුල් සහගත සහ ව්‍යාකූල පුරුද්ද වෙනුවට රටට අවශ්‍ය වන වැඩපිළිවෙලට රට යොමු කිරීම මේ අවස්ථාවේ ඇති මූලික වගකීම වේ.

පාලකයින් අතින් සිදු වූ බරපතල වැරදි ඔවුහු භාවිතා කළ  දෑ වලට පමණක් ලඝු කළ නොහැකි අතර එහි වගකීම දැරීමට හැකි වටපිටාවකට ඔවුහු යටත් කිරීම සැබෑ අභියෝගය වේ.

ස්වාධීන අධිකරණ පද්ධතියක විමසා බැලෙන නීතියෙන් යමෙකු වරදකරුවෙකු කරන තෙක් ඕනෑම අයෙකු නිවැරදි අහිංසකයෙකු යැයි පිළිගැනෙන මූලික නීතී රාමුවට යටත්ව කටයුතු කිරීම මෙහිදී අතිශය වැදගත් බව දැඩිව අවධාරණය කළ යුතු වේ. මෛත්‍රී පාලනයට , රාජපක්ෂ පරිපාලනයෙන් වෙනස් විය හැක්කේ සහ වෙනස් බව ඔප්පු කළ හැක්කේ එමඟින් මිස, පැවති රටාවම නව මුහුණුවරකින් රැගෙන යෑමෙන් නොවේ.

පරාජිතයාට තඩිබෑම නිදහස ලෙස දැකීම ව්‍යාකූල සංස්කෘතියක ඇති ගරාවැටුණු රාජ්‍ය සංස්ථාවල ප්‍රකාශනයක් පමණක් නොව අපි මනුෂ්‍යයින් ලෙස මූලික වශයෙන් දායාද කොට ගත් මූලිකාංගයන් වලට පිටුපෑමකි.