Hot!

ජනපති මෛත්‍රීට එරෙහි පළමු ප්‍රහාරය චීනයෙන්?

“සිරිසේනට බලය දුන්නේ පාලනයට, නමුත් ඔහු ඔහුගේ අරමුණු ගැන යථාර්ථවාදී විය යුතුයි”, ශියන්වෙයි තම කතුවැකිය අවසන් කරන්නේ එලෙසය.
| නිලන්ත ඉලංගමුව

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ විදේශ ප්‍රතිපත්තියට එරෙහිව පළමු ප්‍රහාරය චීනය විසින් වක්‍රාකාරයෙන් ලබා දී ඇත. මෙය අන්තර්වාර ආණ්ඩුව මෙන්ම නව ජනාධිපතිවරයා වඩාත් මැනවින් තේරුම් ගත යුතුව ඇත්තේය. මන්ද දෙරට අතර පවත්නා ද්විපාර්ශවීය සම්බන්ධතා ඉතාම ගැඹුරට විහිදීගිය ඒවා වන අතර බොහෝ දෙනෙකුට තවමත් තේරුම් ගැනීමට බොහෝ දෙයක් ඉතුරු වී ඇති හෙයිනි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අදාළ ද්විපාර්ශවීය සම්බන්ධතාවය ඉතා සංකීර්ණ මට්ටමකට රැගෙන ආවේය. එය දැක කලාපයේ අනෙක් රටවල් පවා වික්ෂිප්ත වූ බව බොහෝ දෙනෙක් දන්නා කාරණයකි.

අද දින “සවුත් චයිනා මෝර්නින් පොස්ට්” පුවත්පතේ කතු වැකිය මාර්ගයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට තම රතු එළිය ලබා දීමට චීනය කටයුතු කොට ඇත. හොං කොං සිට පළ කරණ ප්‍රධාන පෙළේ පුවත්පතක් වන මෙම පුවත්පත කාලාන්තරයක් තිස්සේ මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් වඩාත් වැදගත් මෙහෙයක් කළ පුවත්පතක් විය. චීන මධ්‍යම ආණ්ඩුවෙන් එල්ල වූ අනවරත මැදිහත්වීම් මධ්‍යයේ ඊට එරෙහිව ස්වාධීන මාධ්‍ය කලාවක් පවත්වාගෙන යෑමට මෙම පුවත්පත සමත් විය.

විශේෂයෙන් 1997 දී බ්‍රිතාන්‍ය විසින් හොං කොං විශේෂ පරිපාලන ඒකකය චීනය බාරයට දීමෙන් පසුද එම තත්වය වසර කිහිපයක් තිස්සේ එලෙසම පැවැත්වුණි. මේ නිසා චීන පරිපාලන ශෛල්‍යට එරෙහිව කටයුතු කරණ බොහොමයක් ක්‍රියාධරයින් තම සුරැකුම් ස්ථානය ලෙස තෝරා ගත්තේ හොං කොං විශේෂ පරිපාලන ඒකකයයි. මෙම පුවත්පතද ඔවුහු වෙනුවෙන් ඍජුව පෙනී සිටියේය. 

නමුත් 2000 වසර මුල්භාගය වන විට මෙම තත්වය ක්‍රමයෙන් වෙනස් වීමට පටන් ගත්තේය. චීන මධ්‍යම ආණ්ඩුව හොං කොංහී පරිපාලනය ගැන සැක සංකා ඇතිකර ගැනීම උග්‍ර කරනු ලබන්නේ මෙම කාලය තුළදී බව ඉතිහාසය දෙස බැලීමේදී පැහැදිලිව දක්නට ලැබෙන කාරණයකි. ඒ අනුව බොහොමයක් ව්‍යාපාර , මෙන්ම පරිපාලන ව්‍යුහය තුළ ක්‍රියාත්මක වන බොහොමයක් තැන් සම්බන්ධයෙන් සිදුකරන නිරීක්ෂණය පුළුල් කිරීමට චීන මධ්‍යම ආණ්ඩුව කටයුතු කරන ආකාරය දැක ගත හැකි විය.

හොං කොං සිට මුද්‍රණය කොට බෙදා හරින “සවුත් චයිනා මෝර්නින් පොස්ට්” පුවත්පතේ ජනමාධ්‍ය කලාව වෙනස් වන්නේද මේ අනුවය. වසර ගණනාවක් තිස්සේ ප්‍රධාන කතෘ ධූරය සඳහා ඉංග්‍රීසී ජාතිකයෙකු පත් වූ අතර එය පසුව වෙනස් කිරීමට පාලනාධිකාරිය කටයුතු කරනු ලැබීය. එහි සරල ඉතිහාසය මෙයයි.

පුවත්පත ආරම්භ වන්නේ 1903 දී එස්.සී.එම්.පී. ග්රූප් සමාගම විසිනි . ඉන් පසු 1971 දී එහි කොටස් විකුණනු ලැබීය. ප්‍රකට ඕස්ට්‍රේලියානු ඇමෙරිකානු  ව්‍යාපාරිකයකු වන කීත් රපර්ට් මඩොක් විසින් එය පෞද්ගලීකරණය කරනු ලබන්නේ 1987 දීය. 1990දී යලිත් එහි කොටස් විකුණා දමන අතර ආසියාවේ සීනී රජා ලෙස හැදින්වෙන කුඔක් පවුල අදාළ පුවත්පතට තම අවධානය යොමුකරන්නේ මේ කාලයේදීය. ඒ අනුව 1993 දී එහි කොටස් සීයට 34.9 ක අයිතිකරු වන්නේ මෙම කෙරී ග්රූප් හී හිමිකරු වූ රොබර්ට් කුඔක්ය. එහි ප්‍රතිපලය ලෙස රොබර්ට් කුඔක්ගේ  පුත්‍රයා වන කුඔක් ඊන් එහි ප්‍රධානීයා බවට පත් වේ.    2008 දී ඉතිරි වී තිබු කොටස් වලින් සීයට 30ක් තමන්ට එකතු කර ගැනීමට කුඔක් සමත් විය. ඉන් පසු පුවත්පතේ සම්පූර්ණ බලය හිමි කර ගැනීමට කුඔක් පවුල සමත් විය.

සිරිසේන කන්න දුන්න අත හපා නොකෑ යුතුය - කතුවැකිය ( SCMP )
රොබර්ට් කුඔක් යනු මැලේසියානු - චීන සම්භවයක් ඇති ධන කුවේරයෙකි. අමෙරිකානු ඩොලර් බිලියන 10.5 ක වත්කමකට හිමිකම් කියන මොහු, මැලේසියාවේ සිටින පළමු ධනවතා මෙන්ම ගිනිකොණදිග ආසියාවේ සිටින දෙවැනි ධනවත්ම පුද්ගලයා වේ. මැලේසියාවේ සීනී වෙළඳපොලේ බලය ඔහු සතුවන අතර  එහි 80%ක බලය ඔහුට හිමි බව සැලකේ. ටොන් මිලියන 1.5 ක් වන ඔහුගේ සීනී නිෂ්පාදනය ලෝක සීනී වෙළඳපොළේ සීයට10ක් යැයි කියනු ලැබේ.

තම ව්‍යාපාරික කටයුතු වල ප්‍රධාන සංදිස්ථානයක් ලෙස ඔහු, 1971 දී සිංගපූරුවේදී  ශාන්ග්‍රී-ලා හෝටල් සමූහය ආරම්භ කරනු ලබයි. ඉන්පසු 1977 දී පළමුවරට හොං කොං වෙත පැමිණීමේ මුලික අරමුණ ලෙස සඳහන් වන්නේද තම  ශාන්ග්‍රී-ලා හෝටලයේ ශාඛාවක් ඉදිකිරීමටය. ඒ අනුව කවුලූන් ශාන්ග්‍රී-ලා ආරම්භ වේ. 1993දී එස්.සී.එම්.පී. ග්රූප් සතු කොටස් මිලදී ගන්නේ ඉන් පසුවය.

ගිනිකොණ දිග ආසියාවේ රටවල් රැසක් මොහුට අයත් ව්‍යාපාර රැසක් පවතින අතර චීනය තුළද සමාගම් රාශියක් ඇත. බීජින් හී පිහිටි බීජින් ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ හිමිකරු වන්නේ ඔහුය. එබැවින් චීන ආණ්ඩුව සමඟ ඇති සම්බන්ධය තේරුම් ගැනීම කිසිවෙකුට අපහසු නැත. 



වැන් ශියන්වෙයි

මේ අතර  “සවුත් චයිනා මෝර්නින් පොස්ට්” පුවත්පතේ කතුවරයා ලෙස වැන් ශියන්වෙයි පත්වන්නේය. ඒ 2012 පෙබරවාරී මාසයේදීය. මෙම කතුවරයා වසර 20 ක් චයිනා ඩේලි හෙවත් චීන ආණ්ඩුවේ ප්‍රධාන පුවත්පතේ සේවය කොට ඇත.  ඉන් පසු 1993  හොං කොං ප්‍රදේශයට පැමිණීමට පෙර ඔහු එක්සත් රාජධානියට යන අතර එහිදී ඉතා කෙටි කාලයක් බී. බී. සී. චීන සේවයේ කටයුතු කළ බව පැවසේ. ඉන් පසු 1996 දී “සවුත් චයිනා මෝර්නින් පොස්ට්” පුවත්පතේ ව්‍යාපාරික වාර්තාකරුවෙකු ලෙස තම කටයුතු ආරම්භ කරයි. කතුවරයෙකු සහ නයෝජය කතුවරයෙකු ලෙස සේවය කළ හෙතම 2012 දී පුවත්පතේ ප්‍රධාන කතුවරයා බවට පත්වන්නේය.  චීනයේ ( මේන් ලෑන්ඩ් චයිනා) හී උපත ලැබූ අයෙකු මෙම තනතුරට පත් වූයේ ප්‍රථම වතාවට වේ. වඩාත් වැදගත කාරණය වන්නේ  ශියන්වෙයි චීනයේ මහජන දේශපාලන උපදේශක කොංග්‍රසයේ සාමාජිකයෙකු වීමය.

ඔහු චීන මධ්‍යම ආණ්ඩුවට ඉතා කුළුපඟ අයෙකු ලෙස කටයුතු කරණ බව හොං කොං හී වෙසෙන බොහොමයක්  දෙනෙකු පමණක් නොව එම පුවත්පතේ සේවය කරණ ඇතැම් කතුවරුන් පවා එල්ල කරණ චෝදනාවකි. චීනය විවේචනය කෙරන කිසිඳු පුවතක් පළකිරීමෙන් ඔහු වැළකී සිටීම සහ චීන ආණ්ඩුව විවේචනය කළ තීරු ලිපි රචකයින් ගෙදර යැවීම ඔහු යටතේ සිදුවිය.

මොහුගේ චීන පක්ෂපාතීත්වය 2012 ජුනි මාසයේදී ඇති වූ ආන්දෝලනාත්මක සිදුවීමකින් වඩාත් ප්‍රචලිත විය. 1989 දී තින්නමන් චතුරශ්‍රයේ සිදුවූයේ යැයි කියන සංහාරයට එරහිව කටයුතු කළ ලී වැන්ග්යන්ග්, ප්‍රතිකාර ලබමින් සිටි හුනාන්  රෝහලේදී හදිසියේ ගෙල වැලලාගෙන මිය ගියේය. එය බොහෝ දෙනකුගේ සැක සංකාවට හේතු විය. බොහෝ  දෙනෙකු විශ්වාස කරනු ලැබුවේ ඔහුට ගෙල වැළලාගැනීමට බල කරනු ලැබූ බව හෝ මරා දැමීමෙන් පසු ඔහු එල්ලා දැමූ බවයි. 

අදාළ පුවතට වැඩි ප්‍රචාරයක් ලබා දිය යුතු බව පුවත්පතේ පුවත් කතුවරයා තීරණය කොට මුද්‍රණයට නිර්දේශ කරනු ලැබීය. නමුත් පුවතට නිර්දේශ කළ ඉඩ ලැබී නොතිබුණි. එය ප්‍රශ්න කළ අවස්ථාවේදී, ප්‍රධාන කතුවරයා කියා සිටියේ, එය තමන් තීරණය කළ බවත් තමන් පළ කරන්නේ තමන්ට අවශ්‍ය දෑ යැයි කියාය. එසේම ඔබ ඊට අකමැතිනම් හෝ පිළිගැනීමට සූදානම් නැත්නම් කළ යුත්තේ කුමද යන්න ඔබ දන්නේය, යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

වසර 112 ක් පැරණි පුවත්පතේ කතුවරයා ලෙස කටයුතු කරන ශියන්වෙයි, මේ ආකාරයෙන් හැසිරීම ගැන බොහොමයක් සංවිධානවල කනසල්ලට හේතු වී ඇත. නමුත් එක් දෙයක් පැහැදිලිය. ඔහු වක්‍රව සඳහන් කරනු ලබන්නේ චීන මධ්‍යම ආණ්ඩුවට අවශ්‍ය දෙයයි.

ජනාධිපති මෛත්‍රිපාල පත්වීම චීන ආණ්ඩුවේ පුදුමයට හේතු බව පැහැදිලිය. එසේම හිටපු ජනාධිපතිවරයා යටතේ සිදු වූ බොහොමයක් දෑ වල අනාගතය ගැන චීන ආණ්ඩුවට විශාල ප්‍රහේළිකාවක් තිබේ. මේ නිසා, “සිරිසේන කන්න දුන්න අත හපා නොකෑ යුතුය,” යැයි බරපතළ මාතෘකාවක් ලබාදෙමින් ශියන්වෙයි ලියා ඇති කතුවැකියේ ඇති දේශපාලන සහා ආරථික වැදගත්කම තේරුම් ගැනීම අපහසු නැත.

කතුවැකියට අනුව චීනය විශාල ලෙස ලංකාවට උදව් කොට ඇත. වරායන්, ගුවන් තොටුපළවල් ආදීය මෙන්ම ලංකාවේ ආර්ථිකය දියුණු කිරීම සඳහා විශේෂ දායකත්වයක් ලබා දී ඇත. එසේම, ජනාධිපති මෛත්‍රී ඒවාට කැමැත්තෙන් නොසිටිබවත්, එමඟින් එක පවුලක් පොහොසත් වූ බව ඔහු සිතන බවත් අදාළ කතු වැකිය කියන්නේය. ඒ ගැන පරීක්ෂණ පවත්වන බව නවරජය කියන බව සඳහන් කරණ කතුවරයා, අත්සන් කරනු ලැබූ අදාළ ගිවිසුම් පූජනීය ලෙස සැලකිය යුතු බව අවධාරණය කරනු ලබයි.

“සිරිසේනට බලය දුන්නේ පාලනයට, නමුත් ඔහු ඔහුගේ අරමුණු ගැන යථාර්ථවාදී විය යුතුයි”, ශියන්වෙයි තම කතුවැකිය අවසන් කරන්නේ එලෙසය.

මීට ප්‍රතිචාරයක් ලංකා ආණ්ඩුවෙන් පළවීමට නියමිත දැයි නොදනිමි. නමුත් මින් ලංකා ආණ්ඩුවට මෙන්ම නායකයාට සිදු කොට ඇති වක්‍රාකාර ආයාචනය මෙන්ම රෞද්‍ර බලපෑම සුළුපටු නොවේ. එය යමක් අහිමි වී යැයි පසුවන බිය නිසා ලිය වූ දෙයක් යැයි සරලව තේරුම් ගැනීමට නොහැකිය.