Hot!

චන්ද්‍රිකාගේ සැබෑ සටන ඇරඹේ

චන්ද්‍රිකාගේ මෙම සටන හරියට වැඩ කළොත් රාජපක්ෂලාට මීළඟ මැතිවරණය සඳහා එක්කෝ  සාටකය ඡන්ද ලකුණ ලෙස ගනිමින් “ඥාති සංග්‍රහය සහ කල්ලිවාදය සඳහා වූ මැදමුලන පෙරමුණ” බිහි කර ගත හැකිය.  උතුරේ සංවිධායකයා ලෙස කේ. පී. මෙන්ම නැගෙනහිර සංවිධායක කරුණා නම් කර ගත හැකිය.

එසේ නොවුණ හොත්, විමල් වීරවංශගේ පක්ෂයට හෝ හෙළ උරුමයේ මුසිලයා විසින් තනාගත් “පිවිතුරු” පක්ෂයට සම්බන්ධ වී නව චිනත්නයක් තනා ගැනීමට අවශ්‍ය වටපිටාව සකස් කළ හැකිය
.
| නිලන්ත ඉලංගමුව

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය තමන්ගේ පියාගේ ජනම දිනයේදී තම සැබෑ ශක්තිය පෙන්නුවාය. ඇය නිවැරදි පුද්ගලයා සහ කණ්ඩායම තෝරා ගෙන තම හැකියාව යළිත් පෙන්නුවේය. නමුත් සැබෑ සටන ආරම්භ වූවා පමණි. ඒ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගලවා ගැනීම පිළිබඳව වූ සටනයි. එය මීළඟ මහා මැතිවරණයට පෙර එනම් ඊට දින යෝජනා වීමටත් පෙර සිදු විය යුතුව ඇත. හිටපු ජනධිපතිවරයා තාවකාලිකව විදෙස් ගත වීමේ සම්භාවිතාවක් තිබුණද, ඔහු රට හැර නොයනු ඇත. එවැනි මුලාවන් ඇති කරගත නොහේ.

මීළඟ මහා මැතිවරණය මෙවර ජනාධිපතිවරණය මෙන්ම ඉතා තීරණාත්මක බව සැබෑය. හිටපු ජනාධිපතිවරයා බැරිම තැන පල්ලම් බසිනු ලැබුවේ එම කාරණය අරමුණු කරගෙනය. දැන් ඇත්තේ ඔහුගේ මීළඟ වෑයම පරාජය කිරීම සඳහා අවශ්‍ය දේශපාලන ඥානය තාර්කිකව, බුද්ධිමත්ව මෙන්ම නීත්‍යානූකූලව භාවිතා කිරීමය. එහි යහපත සිදුවන්නේ චන්ද්‍රිකාට පමණක් නොවේ. රටේ දේශපාලන බලතුලනය සඳහා මෙන්ම නව දේශපාලන සංස්කෘතියක් ඇති කිරීම සඳහා එය අතිශය වැදගත් වේ.

මීළඟ මහමැතිවරණයට මුහුණ දීම සඳහා දකුණේ සැදිය යුතු දේශපාලන බලඇණි වල නිශ්චිත අරමුණක් සෑම දෙනෙකුටම තිබිය යුතුව ඇත.ඒ සියල්ලටම පෙර වඩාත් වැදගත්වන්නේ  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලයයි. එහි වත්මන් සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපතිවරයා තවමත් කටයුතු කරණ බව සැබෑය. ඊට අවේණික ව්‍යවස්ථාවක් තිබේ. එසේම සභාපතිවරයාටඑම ව්‍යවස්ථාව උල්ලංඝනය කළ නොහැකිය. මුල්‍යමය හෝ වෙනත් කාරණයක් කරණකොට ගෙන එසේ සිදුවී ඇත්තේ නම් අරගලය ආරම්භ විය හැක්කේ එතැනිනි.

විශේෂයෙන් රටේ අපරාධ රැසකට ඍජුව වගකිව යුතු ත්‍රස්තවාදියෙකු වූ කරුණා, පුනරුත්ථාපනය කොට වෛද්‍යවරයෙකුගෙන් සහතිකයක් ගැනීම නොසලකා හරිමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපසභාපතිවරයෙක් ලෙස පත් කිරීමට හැකියාවක් තිබේද? මතු කළ හැකි කාරණා රාශියක් ඇති බව සියල්ලෝම දනිති.

එසේම පක්ෂය තුළ සහ පක්ෂයෙන් පිටත අදාළ සභාපතිවරයාට එරෙහිව විශාල බල මුළුවක් තිබේ. ඇමෙරිකානු පුරවැසියෙකු වන එහි භාණ්ඩාගාරික ලෙස කටයුතු කරණ චරිතය සම්බන්ධයෙන් සලකා බැලීම මෙන්ම පක්ෂය තුළ වසර දහයක් පුරා සිදු වූ අත්තනෝමතික කටයුතු, ආදී රටේ සැබෑ දේශපාලන පෙරමුණක් නිර්මාණය කිරීම මෙම අවස්ථාවේදී රට හමුවේ ඇති සැබෑ අභියෝගය වේ.

මෙය සැබවින්ම සටනකි. අද දින සන්ධානයේ මන්ත්‍රීවරුන් පවත්වනු ලැබූ මාධ්‍ය හමුවේදී පැහැදිලි වූ ඉතා  වැදගත් කාරණයක් වන්නේ, ඔවුහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ වෙනසක් වීමට දක්වන කැමැත්තය. නමුත් පක්ෂ තුළ වෙනසක් සිදු කිරීමටනම්, එය චන්ද්‍රිකාට පමණක් කළ නොහැකිය. එය සිදු කිරීම සඳහා ඇය සමඟ සිට ගත යුතු විශාල පිරිසක් සිටිය යුත්තේය. එසේම පක්ෂයේ තරුණ බලවේග රාජපක්ෂ පවුල වටා ගෙතුණු ගූඪ කඳවුරක් පමණක් වී ඇත. එයද ඉන් ගලවාගත යුතුව ඇත. ඉන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දේශපාලන පක්ෂයක් ලෙස මීළඟ මහා මැතිවරණයට මුහුණ දිය හැකිය. එසේ සිදු නොවුණ හොත් පල්ලම් බැස ගිය යකුන් යළිත් තම වන්නම නැටීම ආරම්භ කරනු ඇත. එය පෙරදාට වඩා දරුණු කටයුත්තක් වනු නියතය.

මෙහිදී වඩාත් වැදගත් වන්නේ පැන යෑමට සැරසෙන හොරුන් සහ මේ වන විටත් වෙස්මාරු කරගෙන සිටින හොරුන් පිළිබඳව කටයුතු කිරීමට තම කශේරුකාව ශක්තිමත් කර ගැනීමය. ඔවුහු රටේ ගරුත්වය කෙළසමින් උපයාගත් ධනය රාජ්‍ය සතු විය යුතු ධනයයි. එය සතුවිය යුත්තේ ලෝකයට ණයකාර වී සිටින මෙම රටේ මිනිසුන්ටය.

දේශපාලන පක්ෂ ගොඩ නැගීමට පමණක් නොව රටේ සියලුම ගැටලු විසඳා ගැනීමට අපට අවශ්‍ය මානව සම්පත් තිබේ. එම සම්පත් සොයා ගැනීම ඔවුන්ගේ දායකත්වය ලබා ගැනීම පාලකයාගේ අව්‍යාජ වුමනාවන් මත රඳා පවතින දෙයකි. වරක් ඇමරිකානු ජනාධිපති රූස්වෙල්ට් කියා සිටියේ,. තමන්ගේ පාලනයේ ඇති දක්ෂ කමට හේතුව තමන් සතු අසාමාන්‍ය බලයක් හෝ වෙන කිසිවක් නොව, මන්ද එවැන්නක් නැති හෙයිනි. තමන්ගේ පාලනයේ සාර්ථකත්වයට හේතුව විෂය දන්නා මිනිසුන් සහ ජාතියේ අව්‍යාජ අරමුණු මුදුන් පමුණුවා ගැනීමට ගැනීමට වුවමනාවක් ඇති මිනිසුන් නිවැරදිව හඳුනා ගැනීමට තමන්ට තිබු දක්‍ෂකම බවයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිදු කරනු ලැබුවේ තමන්ගේ පෞද්ගලික ආශාවන් මුදුන් පමුණුවා  ගැනීමට හැකි එහෙයි කියන අනුගාමිකයින් පිරිසක් තමන් වටා ඒක රාශි කර ගැනීමය. ඔවුන්ට මහින්ද රාජපක්ෂ මහතා අවශ්‍ය වූයේ රට හැදීමට නොව, මහින්ද රාජපක්ෂ මහතාගේ දුර්වලතා වලින් ප්‍රයෝජනය ගනිමින් තම මඩිය දේශපාලනික හෝ මූල්‍යමය වශයෙන් තරකර ගැනීමය. රාජපක්‍ෂට රට ඉල්ලමක් විය. ඔවුහුට රාජපක්ෂ ඉල්ලමක් විය. මෙය ඊට සම්බන්ධ වූ අයවලුන්ට යළි අවශ්‍ය කර තිබේ. 

හිටපු ඇමතිවරයෙකු වූ විමල් වීරවංශ වැනි අයවලුන් මැතිවරණ පරාජයෙන් පසුත් මතුකරන කාරණය මෙයයි. ඔවුන්ට අවශ්‍ය වන්නේ රාජපක්ෂ යළි ගෙන ඒම සහ රටේ නීත්‍යානූකූලව බහුතරයේ කැමැත්තෙන් පත් වූ නායකයා හෑල්ලුවට ලක් කිරීමය. සැබවින්ම විමල් වීරවංශ වැනි අයවලුන් රටේ අමාත්‍යාංශ භාරව කළ කටයුතු යළිත් පූර්ණ නිරීක්ෂණයකට බදුන් කළ යුතුව ඇත. එම නිරීක්ෂණයන් වල ප්‍රථිපල මත ඉදිරි ක්‍රියාමාර්ග දින සීයට පෙරාතුව ගෙන යුතුව ඇත. එවැනි දෑ වඩාත් කඩිනම් කළ යුතුව ඇත.

මේවන විටත් ඇතැම් කල්ලි රටේ සමඟිය නැතිවන ප්‍රචාර දියත් කරමින් සිටිති. රටේ ජාතිවාදය යළිත් ඇවිස්සීමට මාන බලමින් සිටිති. ආරක්ෂක අංශ අතර අභ්‍යන්තර ගැටුම් ඇති කිරීමට අර දරමින් සිටිති. එවැනි අමූලික බොරුවක් ඊයේ දිනයේදීම  මුදා හැරියේය. එනම් යාපනයේ පිහිටි හමුදා කඳවුරුවලට දෙමළ ජනතාව විසින් ගල් ගැසූ බවයි. එය අමූලික බොරුවක් වන අතර ඉන් සිංහල මිනිසුන් අතර අවිශ්වාසයක් ඇති කිරීමට උත්සහ දරණු ලැබීය. මෙවැනි දෑ සැබවින්ම ආරම්භයන් පමණි. ගතවන සෑම මොහොතකම එවැනි කටයුතු විවිධ පාර්ශවයන් විසින් මුදා හරිනු ඇත. එම නිසා රටේ කශේරුකාව එනම් අධිකරණ පද්ධිතියේ ශක්තිය වැඩි කිරීම සහ එය සාමන්‍ය ජනතාවට ලැදි ආයතනික ව්‍යුහයක් බවට පත් කිරීම දේශපාලන සංස්කෘතිය සමඟ බැඳී පවතින හරයාත්මක කරුණු වේ.

එය අපට කළ හැකිය, රාජ්‍ය සේවය ස්වාධීන සේවාවක් කළ හැකි බව සහ ඊට අවශ්‍ය සැබෑ මිනිසුන් අපට සිටින බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා මෙන්ම පොලිස්පති ඉලන්කොන් මහතා ඔප්පු කරනු ලැබුවෝය.

සැබෑය, ජයග්‍රහණයට පීතෘ වාරුන් රාශියක් සිටිති. නමුත් එහි සැබෑ ගාමික බලවේග වූ කලී ඉතා සීමිතය. නමුත් ජයගත් පසු ඊට අයිතිවාසිකම් කියන රාශියක් බිහිවීම් සාමන්‍ය පුරුද්දකි. රජයේ මාධ්‍ය මෙන්ම රටේ අනෙකුත් මාධ්‍ය පැය හයක් ඇතුළත වෙනස් වූ ආකාරයෙන්ම එය පෙනේ. ඉන් පෙනී යන්නේ මෙම රටේ ක්ෂේත්‍ර වල පවතින ගැතිකම් කිරීමට ඇති ලැදි බාවයයි.

වත්මන් වටපිටාව තුළ වෘත්තීය ගරුත්වයට වඩා ගැතිකම තම හොරකම සහ අදක්ෂකම සඟවා තබා ගැනීම සඳහා වැදගත් වේ. සංස්කෘතික වශයෙන් මතු වී ඇති මෙම ඛේදජනක ඉරණමට වහා කටයුතු කළ යුතුව ඇත්තෙමු.

මීළඟ මහා මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙන්ම එක්සත් ජාතික පක්ෂය සැබෑ දේශපලාන පක්ෂ ලෙස දකුණේ දේශපාලනයට මෙන්ම උතුරේ දේශපාලනයට කතා කළ යුතුව ඇත.

මන්ද රටේ නියම දේශපාලන ව්‍යුහය නීතිගත වන්නේ වත්මන් අන්තර්කාලීන ආණ්ඩුව මඟින් නොවේ. මෙම කාලය තුළ වඩාත් බලවත් වගකීම ඇත්තේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙතය. නමුත් රටේ සැබෑ වෙනස නීතිගත වන්නේ මීළඟ පාර්ලිමේන්තු මහමැතිවරණය මඟිනි. දෙමළ ජාතික සන්ධානය මේ වන විටත් තම පදනම සකස් කරගෙන අවසානය. එය මීළඟ මහා මැතිවරණයේදී කඳුරටටත් විහිදී ගියහොත් පුදුමයක් නොවේ.

නමුත් එකස්ටැහැ ජාතික පක්ෂය තුළ මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සතුව එම කෞශල්‍ය ඇති නමුත් එය අඩපණ වී තිබේ. තම ශක්තිය යළි ලබා ගැනීමටනම්, මහින්ද රාජපක්ෂ මහතාගේ මීළඟ උපායන් නිවැරදිව හඳුනා ගැනීම වැදගත් වේ.  එහි වගකීම ඇත්තේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය වෙත සහ සැබෑ දේශපලන බල තුලනයක් වෙනුවෙන් කටයුතු කිරීමට බලාපොරොත්තුවන අයවලුන් වෙතය.

මහින්ද රාජපක්ෂ දුමින්ද සිල්වා සහ අනෙකුත් ඔහුගේ අනුගාමික අයවලූන් සමඟ නව දේශපාලන පක්ෂයක් තනාගැනීමට අවශ්‍ය වටපිටාව සකස් කරන්නේද? යල් පැනගිය මහින්ද චින්තනයට යළිත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සැබෑ දේශපාලනය හපා කෑමට ඉඩදෙන්නේද? යන්න රඳා පවතින්නේ චන්ද්‍රිකාගේ මොළය තීරණ ගන්න ආකාරය අනුවය. ඊය ඇයට උදව්වන අව්‍යාජ මිනිසුන්ගේ හැකියාව මතය.

චන්ද්‍රිකාගේ මෙම සටන හරියට වැඩ කළොත් රාජපක්ෂලාට මීළඟ මැතිවරණය සඳහා එක්කෝ  සාටකය ඡන්ද ලකුණ ලෙස ගනිමින් “ඥාති සංග්‍රහය සහ කල්ලිවාදය සඳහා වූ මැදමුලන පෙරමුණ” බිහි කර ගත හැකිය.  උතුරේ සංවිධායකයා ලෙස කේ. පී. මෙන්ම නැගෙනහිර සංවිධායක කරුණා නම් කර ගත හැකිය.

එසේ නොවුණ හොත්, විමල් වීරවංශගේ පක්ෂයට හෝ හෙළ උරුමයේ මුසිලයා විසින් තනාගත් “පිවිතුරු” පක්ෂයට සම්බන්ධ වී නව චිනත්නයක් තනා ගැනීමට අවශ්‍ය වටපිටාව සකස් කළ හැකිය.

සියල්ල තීරණය වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටින දේශපාලන සංස්කෘතිය ගැන සැබෑ වුවමනාවක් ඇති මෙන්ම වගකීමක් කරට ගෙන අවංකව කටයුතු කළ හැකි අයවලුන් ඒක රාශි වී කටයුතු කරණ වේගය අනුවය. එලෙස ඒක රාශි කිරීමට හිටපු ජනාධිපතිවරයාට සහ වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට පැවරෙන වගකීම අති විශාලය.