Hot!

අපේ කාලයේ වීරවරියක්: ඉරෝම් චනු ශර්මිලා

| සුනන්ද දේශප්‍රිය

ඉරෝම් චනු ශර්මිලා සාමන්‍ය පවුලක ඉපදුනේ මෙයට හතලිස් දෙවසරකට පෙර ඉන්දියාවේ මනිපූර් ප්‍රාන්තයේ ග්‍රාමයක ය. සිය තරුණ වියෙහි දී ම මනිපූර්හි සිය ජනයාට  සාධාරණත්වය සහ යුක්තිය ඉල්ලා නිලලත් තුවක්කුකරුවන්ට එරෙහිව දියත් කළ සිය උපවාසය නිසා දහතුන් වසරක් සිරගතව සිටි ඇය (වෙනත් නඩු නැතොත්) නිදහස් කළ යුතු බවට පසුගිය 18වන දින අධිකරණය තීරණය කළා ය.  ඇයගේ සහෝදරයා කියන්නේ නිදහස් වූ වහාම ඇය යළි සිය උපවාස අරගලය  පටන් ගැනීමට ඉඩ ඇති බවයි.

මනිපූර් වනාහී ඉන්දීය හමුදාවන්ගේ අණසකට යටත් කරන ලද වාර්ගික සුළුතරයන් ජීවත් වන ප්‍රාන්තයකි.

සිරගතව සිටි කාලය පුරා එනම්  සති 500ක් ම ඇය  ආහාර සහ වතුර ප්‍රතික්ෂේප කළා ය.මේ අතරවාරයෙහි බන්ධනාගාර රොහල්හි තබා  ඇයට ආහාර සපයන ලද්දේ ඇයගේ නාසයෙන් ඇතුල් කළ බටයකින් බලහත්කාරයෙනි. 

එවැනි දිරිමත් ගැහැනියකගේ වේවා පිරිමියකුගේ වේවා කතාවක් අසන්නට ලැබීම වාසනාවකි. මන්ද යත් නිදහස සහ සමානාත්මතාවය සඳහා කැරෙන මානව වර්ගයාගේ අනවරත අරගලය පණ පෙවෙන්නේ එවැනි ගැහැණුන්ගේ සහ මිනිසුන්ගේ අදම්‍ය අධ්‍යාත්මික ශක්තියෙන් නිසා ය.

බලහත්කාරය මගින් බිද හෙළිය නොහැකි වූ ඉරෝම් චනු ශර්මිලා නම් මේ ගැහැණියගේ අධිශ්ධානය මනිපූර් ප්‍රාන්තයේ පමණක් නොව ඉන්දියාවෙහිම රැව් දුන්නේ ය.  මනිපූර් හි යකඩ ගැහැණිය ලෙස විරුදාවලි ලත් ඇය පසුගිය මාර්තු 08 දින යෙදුනු  ජගත් ස්ත්‍රී දිනය අවස්ථාවෙහි ඉන්දියාවෙහි ප්‍රමුඛතම ස්ත්‍රී ප්‍රතිරූපය ලෙස තේරී පත්වූවා ය.

තරුණ  ක්‍රියාකාරිනියක වූ ඇය 2000 වසරේ සැප්තැම්බර් මාසයෙහි දී මානව හිමිකම් පුහුණුවට සහභාගි වී ආපසු පැමිණ ගත වුයේ සතියකි. ඇයගේ ජීවිත ඉරණම වෙනස් කළ දරුණූ මානව හිමිකම් කෙළෙසීමක් ඇගේ ඇස් ඉදිරිපිට දී ම වාගේ සිදු විය.

ඒ ඉරනම් සහගත නොවැම්බර් 05 දා මනිපූර්හි මෙලොම් නම් සුලු නගරයෙහි බස් රථයක් බලාපොරොත්තුවෙන් සිටි වැසියන් දස දෙනෙකු 'ඇසෑම් රයිපල්කරුවෝ' නම් ඉන්දීය උප හමුදා බලකායක් විසින් එක තැන මරා දැමුණි. මෙම ඝාතනය සිදු වූයේ කිසිදු හේතුවක් නැතිව ය.

'' මළ සිරුරු දැක්කහම කම්පනයක් ඇති වුණා. සන්නද්ධ හමුදාවවලින්  කෙරෙන ප්‍රචන්ඩ ක්‍රියා වළක්වන්න ක්‍රමයක් තිබුණේ නැහැ. උපවාසය අධ්‍යාත්මික අරගලයක් නිසා එය තමයි තෝරා ගැනීමට තිබූ හොඳම මාවත. මගේ උපවාසය  මනිපූර් ජනයා වෙනුවෙන් කෙරෙන්නේ. මේ පුද්ගලික අරගලයක් නොවෙයි. මේත සංකේතයක්. එය සත්‍යයේ, ආදරයේ සහ සාමයේ සංකේතයක්'' ශර්මිලා කීවා ය.

ඝාතනය සිදු වූ දිනය බ්‍රහස්පතින්දාවක් ද විය. ශර්මිලා පුරුද්දක් වශයෙන් සෑම බ්‍රහස්පතින්දාවක්ම ගත කළේ  උපවාසයෙනි. මෙවැනි ඝාතන වැළැක්විය හැකි  පියවරක් වෙනුවෙන් 'මා අද සිට දිගට ම උපවාසයෙහි යෙදෙන්නමි' යැයි අදිටන් කර ගත් ඇය ස්වකීය විරෝධතාවය දියත් කළා ය. ඇය ඒ  වන විට විසි අට හැවිරිදි තරුණියකි.
 'ඇසෑම් රයිපල්කරුවෝ' වැනි උප හමුදාවන්ට හිතුමතයේ ඝාතනයේ යෙදීමට බලය පැවැරෙන සන්නද්ධ හමුදා ( වි‍ශේෂ බලතල) පණත ඉවත් කරනු යන්න ඇයගේ ඉල්ලීම බවට පත් විය.

ගතවූයේ  දින තුනකි. උපවාසය මගින් සිය දිවි නසා ගන්නට තැත් කරන්නේ ය යන චෝදනාව මත ඇය අත් අඩංඟුවට ගැනුණි.  ඉක්මනින් ම ඇගේ සෞඛ්‍ය තත්ත්වය නරක් විය. සිර ‍භාරයේ තබා ගනිමින් නාසය හරහා බලහත්කාරයෙන් ආහාර ලබා දීම ඇරඹුණි. 

ඉන්දීය අපරාධ නීතිය අනුව සියදිවි නසා ගැනීමට තැත් කිරීම වෙනුවෙන් ලබා දිය හැකි උපරිම දඩුවම එක් වසරකි. මේ නිසා සැම වසරකම ඇය නාමිකව නිදහස් කළ යුතු විය. ගත වූ වසර 13 පුරාම එළෙස නිදහස් කළ සෑම දිනයකට ම පසු දා  ඇය සිය උපවාසය යළි ආරම්භ කළා ය. ඇය යළි අත් අඩංඟුවට ගැනීමත් බලහත්කාර ආහාර පෙවීමත් එනයින් වාර්ශික සිදුවීමක් බවට පත් විය.  ඇයගේ දිරිය බිද හෙළනු වස් ඇය රඳවා තැබුණේ ද හුදකලා සිර මැදිරියක ය.

සය වසරක් අත් අඩංඟුවෙහි ගත කළ ඇය  වරද පිළි ගන්නේ නම් නිදහස් කළ හැකි  යැයි බලධාරිහු යෝජනාවක් ගෙන ආවෝ ය.  එය එක එල්ලේ ම ප්‍රතික්ෂේප කළ ඇය කියා සිටියේ පිළිගැනීමට තමන් වරදක් කර නැති බවත් සාමකාමී උපවාසය සිය අයිතියක් බවත් ය. 'නිදහසේ' ඇම ගිල අරගලය අක හැරීමට ඉරෝම් චනු ශර්මිලා එකඟ වූයේ නැත.

ඒ වන විටත් ඇය ඉන්දියාවෙහි ''මහජන විරුද්ධකම් පෑමේ ප්‍රතිරූපයක්'' බවට  පත්ව තිබුණි. 2006 ඔක්තෝබර් 02 දා ඇයට සුපුරුදු  'වාර්ශික නිදහස' ලැබුණි. ඒ අවසරයෙන් 'සිය අධ්‍යාත්මික නායකයා වන මහත්මා ගාන්ධි සමාධිය වෙත මල් පූජා කිරීම පිනිස' නව දිල්ලි අගනුවර  බලා ගිය ශර්මිලා යළි විරෝධතා ව්‍යාපාරයකින් පසු සිය උපවාසය එහි ඇරඹුවා ය.

තමා යළි සිර ගත කරනු ඇති බවටත් වේදනාකර නාසයෙන් ආහාර පෙවීම යළි විඳ ගැනීමට වනු ඇති බවත් ඇය  හොඳාකාරව ම දැන සිටියා ය. එසේ නමුත් සිය ජනයා වෙනුවෙන් සිය අරගලය නොනවත්වන බවට වූ ස්වයං ශපථ කිරීම එම වේදනාවන්ට වඩා බලවත් විය.

මේ තනි  ගැහැණියගේ අරගලය මේ වන විටත් කම්පන තරංග ඇති කරන්නට පටන් ගෙන තිබුණි.  ඉන්දියාවෙහි මෙන්ම  ද අනෙක් ආසියානු  රටවල සංවිධානය ඇයට වීරත්ව සම්මාන පුද කෙරුණි. රවීන්ද්‍රනාත් තාගෝර් සාම ත්‍යගය ද ඒ අතර වෙයි. ඇය මානව හිමිකම් ව්‍යාපාරයන්ට දිරියක් ද අභියෝගයක් ද බවට පත් වූවා ය‍.
'සන්නද්ධ හමුදා ( වි‍ශේෂ බලතල) පණත ඉවත් කරනු' යන ඇයගේ ඉල්ලීමට සහාය දීමට ඉන්දීය මාක්ස් ලෙනින්වාදී කොමියුනිස්ට් පක්ෂය ද තීරණය කළේ 'යකඩ ගැහැණිය'ට නැගී එන මහාජන සහාය උඩ ය. තවත් ප්‍රබල ප්‍රාදේශීය පක්ෂයක් වන සමස්ත ඉන්දීය තිනමූලර් කොන්ග්‍රසය හමුවෙහි ශර්මිලාගේ ඉල්ලීම අනුමත කළ යුතු බවට යෝජනා ඉදිරිපත් විය‍. දූෂන විරෝධී ආම් ආද්මි පක්ෂය ඇයට සිය පක්ෂයෙන් මැතිවරණයට තරඟ කරන සේ ආරධනා කළා ය. ' මං විරෝධතාකාරියක් මිසක් දේශපාලනඥයෙක් නොවෙයි, ඒ නිසා මැතිවරණ තරඟ කිරීමට මගේ කැමැත්තක් නෑ' යැයි ඇය ඒ ඇරයුම් ප්‍රතික්ෂේප කළා ය.  ඇයට තිස්නම විය සැපිරුණූ 2011 වර්ශයේ දී ඉරෝම් චනු ශර්මිලාට ගරු කරනු වස්  පූනා විශ්ව විද්‍යාලය ශිෂ්‍යාවන් 39 දෙනෙකුට ශිෂ්‍යත්ව  උපාධි පාඨමාලාවක් දියත් කළා ය.

ඉරෝම් චනු ශර්මිලා නම් මේ අයෝමය ගැහැණියගේ අරගලය සිනමාවට ද වේදිකාවට ද නැගී තිබේ. එහෙත් ඇය ඒ කිසිවකින් මෝහනයට පත් නොවන්නියකි. ' මා ගැන ස්ත්‍රෝත්‍ර ගායනා කරළ වැඩක් නැහැ. අවශ්‍ය දේ තමයි අරගලය ඉස්සරහට ගෙනි යන එක'' යැයි සිය නිදහස පිලිබඳ ආරංචිය ලද ඇය කීවා ය.

'' කොහොම උනත් නැවුම් වාතය උරා ගන්නට ලැබීම නම් සතුටක්" ඇය ඒ අතරවාරයේ ම කීවා ය.

සතුට අරගලයේ කොටසකි. අරගලය සතුටෙහි කොටසකි.  ජයග්‍රහණය දුර විය හැකි ය. අරගලය තුළම ලබන සතුට විසින් දුරුති ජය ජීවමාන කරයි.

අපේ කාලයේ වීරවරියක් වන ඉරෝම් චනු ශර්මිලා නම් ගැහැණියට ජය වේවා!