Hot!

රාජපක්ෂ ආණ්ඩුව පලස්තීනයට එරෙහි ඊශ්‍රායෙල් ප‍්‍රහාර ආරක්ෂා කරයි

ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි

අගමැති බෙන්ජමින් නෙතන්යාහු ගේ ඊස්රායල් ආන්ඩුව විසින් පලස්තීන ජනයාට එරෙහි මෘග හමුදා ප‍්‍රහාරය ආරම්භ කිරීමෙන් සති දෙකකට පසුව ශ‍්‍රී ලංකා ආන්ඩුව විසින් නිකුත් කර ඇති ප‍්‍රකාශයන් මගින් එලිදරව් කෙරෙන්නේ ඊස්රායලයේ ප‍්‍රකෝපකාරී යුද මෙහෙයුම ආරක්ෂා කරන ගමන් ම එරට සහ මැද පෙරදිග අරාබි රටවල් සමග සමතුලන සම්බන්ධයක් පවත්වාගෙන යාමේ රාජපක්ෂ ආන්ඩුවේ මංමුලාසහගත ප‍්‍රයත්නය යි.

ශ‍්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය මගින් ජුලි 15 නිකුත් කල ප‍්‍රකාශය තුල පලස්තීනයේ ගාසා ප‍්‍රදේශයේ තීව‍්‍ර වන ප‍්‍රචන්ඩත්වයේ ප‍්‍රතිපලයක් ලෙස සිවිල් ජනයාගේ ජීවිත ඛේදජනකව අහිමිවීම හා දේපලවලට බරපතල හානි සිදුවීම ගැන “ගැඹුරින් ම කනස්සල්ලට” පත්වන බව ප‍්‍රකාස කර ඇති නමුත් ජීවිත හානියට හා දේපල හානියට ඍජුව වගකිවයුතු නෙතන්යාහු ආන්ඩුව එම වග කීමෙන් මුලුමනින් ම නිදහස් කර ඇත. ඒ වෙනුවට පලස්තීනයේ හමාස් සංවිධානය මත වරද පටවමින් “ඊස්රායල් දේශසීමා හරහා කෙරෙන ප‍්‍රකෝපකාරී ක‍්‍රියාවන් නතර කරන” ලෙස ඉල්ලා ඇත. “ප‍්‍රචන්ඩ ක‍්‍රියා නතර කිරීමේ උත්සාහයක් සහ ගැටුමට දිගුකාලීන විසඳුමක් සඳහා සාකච්චා යලි ආරම්භ කිරීමට හිතකර වටපිටාවක් සහතික කිරීම සඳහා අදාල පාර්ශව ඉමහත් සංයමයෙන් ක‍්‍රියා කලයුතු” යයි ප‍්‍රකාශය තව දුරටත් කියා සිටී. “හිතකර වටපිටාවක් සහතික කිරීම” යනුවෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ ආන්ඩුව අදහස් කරන්නේ ඊස්රායලයේ දක්ෂිනාංශික සියොන්වාදී තන්ත‍්‍රයේ කොන්දේසිවලට පලස්තීනය යටත් විය යුතු බව මිස අන්කිසිවක් නො වේ.

ඊට සතියකට පසු ජුලි 23 පැවති එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ විශේෂ සැසිවාරයේ දී ශ‍්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාත් ආරියසිංහ කල ප‍්‍රකාශය ආන්ඩුවේ මෙම පිලිවෙත පෙරට ගෙන යාමකි.

විනාසයට තුඩු දෙන හා ජීවිත අහිමි කරන “හිතාමතා කරන සියලුම ක‍්‍රියාවන්” හෙලා දකින ආරියසිංහගේ ප‍්‍රකාශය “කලාපය මුහුන දෙන ගැටලු සාර්ථකව ආමන්ත‍්‍රනය කලහැකි සහ සාමකාමී විසඳුමකට අපගේ කැපවීම යලි තහවුරු කරන එක ම වලංගු තෝරා ගැනීම ලෙස පවතින්නේ සාකච්චාව බව අපි ඒත්තු ගෙන සිටිමු” යයි කියයි. හිතාමතා කරන “සියලුම” ක‍්‍රියාවන් යන ප‍්‍රකාශයෙන් හිතාමතා ප‍්‍රකෝපකරනයක් නිර්මානය කල ඊස්රායල් ප‍්‍රහාරකයා සහ ඊට ගොදුරු වූ පලස්තීන ජනතාව එක ම ගොඩට දමා තිබේ. ශ‍්‍රී ලංකා ආන්ඩුවේ “මධ්‍යස්ථභාවය” අමු වංචාවකි. එමෙන් ම සාකච්චාව “එකම” විසඳුම් මාවත ලෙස හුවා දැක්වීමෙන් ඊස්රායලයේ ප‍්‍රතිගාමී ඓතිහාසික ක‍්‍රියා කලාපය දැනුවත්ව ම වහංගු කිරීමකි.

පලස්තීනයට කිසියම් සීමිත ස්වයං පාලනයකට ඉඩ සලසන 1993 සහ 1995 ඔස්ලෝ ගිවිසුම් ඇතුලුව සෑම ගිවිසුමක් ම උල්ලංඝනය කලේත් ඊනියා සාම සාකච්චා කඩාකප්පල් කෙරුනේත් මූලිකව ඊස්රායලය විසිනි. කලාපයේ තවත් ඇමරිකානු රූකඩයක් සහ ප‍්‍රතිගාමී පාලන තන්ත‍්‍රයක් වන ඊජිප්තුව විසින් යෝජිත සටන් විරාමය සාමකාමී විසඳුමක් සඳහා වැදගත් “ආරම්භක ලක්ෂ්‍යයක්” වනු ඇතැයි ද ආරියසිංහ ප‍්‍රකාශ කර ඇත. මිසයිල් ප‍්‍රහාර තීව‍්‍ර කිරීම මගින් හා දහස් ගනනක ගොඩබිම් හමුදා පලස්තීනයට යැවීමෙන් එම “සටන් විරාමය” දැනටමත් ඊස්රායලය විසින් උල්ලංඝනය කර තිබේ.

ඊස්රායල් හමුදා ප‍්‍රහාර නිසා මේ වන විට කාන්තාවන් ලමුන් ඇතුලු පලස්තීනුවන් 1200 වඩා මියගොස් තවත් දහස් ගනනක් තුවාල ලබා ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහන සහ වැඩ ඒජන්සියේ වාර්තාවලට අනුව අවතැන් වී එහි කඳවුරුවල නවාතැන් ගෙන සිටින සංඛ්‍යාව 167,269 කි. තවත් දහස් ගනනක් ගසා තීරයේ වෙනත් ප‍්‍රදේශවල තම ඥාතීන්ගේ නිවෙස්වල වෙසෙති. රෝහල්, පාසල් හා සෙසු යටිතල පහසුකම් බරපතල ලෙස විනාස වී ඇත.

නෙතන්යාහු තන්ත‍්‍රය විසින් කවර නිමිත්තක් යොදා ගත්ත ද පලස්තීනයට එරෙහි හමුදා මෙහෙයුමේ සැබෑ අරමුන ඊස්රායලය විසින් අල්ලාගෙන ඇති පලස්තීන ප‍්‍රදේශවල බලය තහවුරු කර ගැනීමයි. පලස්තීනයට එරෙහිව ඊස්රායලය සිදුකරන මෙම ප‍්‍රකෝපකාරී ප‍්‍රහාරය හුදෙක් හමාස් සංවිධානයේ ක‍්‍රියාවන් ට ප‍්‍රතිචාර දැක්වීමක් නො වේ. එය ගනන් බලා දියත් කල සාපරාධී යුද්ධයකි.

ජුලි 18 ලෝක ට්‍රොස්ට්කිවාදී ව්‍යාපාරය වන හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව නිකුත් කල ප‍්‍රකාශයේ මෙසේ සඳහන් විය:

“ගාසාව තුලට දියත් කර ඇති ඊස්රායල් හමුදා ආක‍්‍රමනය, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් හෙලා දකියි. උතුරෙන් හා නැගෙනහිරෙන් සියොන්වාදී රාජ්‍යය ද දකුනෙන් ඊජිප්තු තන්ත‍්‍රය ද විසින් පනවන ලද සීමාවන් හමුවේ, හතරැස් සැතපුම් 200කටත් අඩු බිම් තීරුවක සිරවී සිටින මිලියන 1.8ක අනාරක්ෂිත පලස්තීන ජනතාවකට එරෙහිව ගනන් බලා සිදුකරන යුද අපරාධයක් දිග හැරෙමින් තිබේ.

හමාස් යන ඉස්ලාමීය පලස්තීන ව්‍යාපාරය ඊස්රායලයට එල්ල කරන මොට්ට රොකට් ප‍්‍රහාරයන්ට යුක්තිසහගත ප‍්‍රතිචාරයක් ලෙස මෙම සංහාරය හඳුන්වා දෙන සියලුම පාලක කවයන් හෙලා දැකිය යුතු ය.”

අරාබි රටවලින් ලැබෙන නය සහ මූල්‍ය ආධාර නිසා රාජපක්ෂ ආන්ඩුව සිය කුහක ප‍්‍රකාශ මගින් ඊස්රායලය සහ මැදපෙරදිග රටවල් සමග සමතුලිත පිලිවෙතක් අනුගමනය කරන බව පෙන්වීමට දරන උත්සාහය ප්‍රෝඩාවකි.

ශීතල යුද්ධ කාල පරිච්චේදය තුල අධිරාජ්‍යවාදය හා සෝවියට් සමාජවාදී සමූහාන්ඩු සංගමය අතර කේවලයේ කොටසක් ලෙස “නොබැඳි පිලිවෙතක්” අනුගමනය කිරීම හා කම්කරු පන්තියේ විරුද්ධත්වය නිසා එක්සත් ජනපදයේ මූලෝපායාත්මක සහකරුවකු වන ඊස්රායලය සමග ඍජු සම්බන්ධතා පවත්වාගෙන යාමෙන් ශ‍්‍රී ලංකාව වැලකී සිටියේය.

අගමැති සිරිමාවෝ බංඩාරනායක විසින් ශ‍්‍රී ලංකාවේ සිටි ඊස්රායල් නියෝජිතයා 1970 පිටටුවහල් කිරීමෙන් පසුව 1983 මුදා හැරුන දෙමල ජනයාට එරෙහි යුද්ධයත් සමග දෙරට අතර සම්බන්ධතා වර්ධනය වීම යලි ආරම්භ කෙරුනි. ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන යුද්ධය සඳහා අවි ආයුධ හා හමුදාව පුහුනු කිරීම සඳහා ඊස්රායලය සමග සම්බන්ධතා ගොඩ නගා ගැනීමත් සමග ශ‍්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය තුල ඊස්රායල් උත්සුකතා අංශයක් ඊස්රායලය විසින් පිහිටුවා ගත් අතර පසුව වෙනම තානාපති කාර්යාලයක් පිහිටුවනු ලැබීය.

ශ‍්‍රී ලංකාව සහ ඊස්රායලය අතර වඩාත් සමීප රාජ්‍යතාන්ත‍්‍රික සහ මිලිටරි සම්බන්ධතා වර්ධනය වූයේ වර්තමාන ජනාධිපති රාජපක්ෂ ගේ පාලන කාලය තුලයි. රාජපක්ෂ බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානය (එල්ටීටීඊ) ට එරෙහි යුද්ධය 2006 යලි ආරම්භ කිරීමෙන් පසුව ආයුධ සහ ශ‍්‍රී ලංකා හමුදාවට මිලිටරි පුහුනුව ලබා ගැනීම සඳහා වඩා සමීප සම්බන්ධතා ගොඩා නගා ගත් රටවල් අතර ඊස්රායලයට ප‍්‍රමුඛස්ථානයක් ලැබුනි. රාඩාර් උපකරන, ප‍්‍රහාරක කෆීර් ගුවන් යානා සහ ඩෝරා ප‍්‍රහාරක බෝට්ටු ශ‍්‍රී ලංකා හමුදාවන්ට සම්පාදනය කෙරුනේ ඊස්රායලයෙනි.

රාජපක්ෂ ආන්ඩුව අනුගමනය කරන කුහක පිලිවෙත එය වඩ වඩා දකුනට තල්ලු වීමේ හා අධිරාජ්‍යවාදී බලයන් සමග, විශේෂයෙන් ම එක්සත් ජනපදයේ ඔබාමා පාලන තන්ත‍්‍රය සමග පෙල ගැසීමේ නැඹුරුව පිලිබඳ සලකුනකි.

හිටපු රැඩිකලෙකු හා රාජපක්ෂ ආන්ඩුවේ රාජ්‍යතාන්ත‍්‍රික නිලධාරියෙකු ලෙස කටයුතු කල දයාන් ජයතිලකට අනුව ශ‍්‍රී ලංකා ආන්ඩුවේ පිලිවෙත ඊස්රායලයේ “උගුලක” ට එය හසුවීමේ ප‍්‍රතිපලයකි. එහෙත් සත්‍යය එය නො වේ. දෙමල විරෝධී වාර්ගික යුද්ධයේ අවසන් දින වල ආන්ඩුවේ හමුදා සිදුකල යුද අපරාධ හා මානව හිමිකම් උල්ලංඝනය කිරීම නිමිති කරගෙන රාජපක්ෂ තන්ත‍්‍රය මත එක්සත් ජනපදය යොදන පීඩනය වඩ වඩා තීව‍්‍ර කිරීම එය එක්සත් ජනපදය හා ඊට ගැති පාලන තන්ත‍්‍රයන් සමග පෙල ගැසීමේ දිසාවට තල්ලූ කිරීමේ ප‍්‍රධාන ලීවරය යි.

මාර්තු මාසයේ යුද අපරාධ හා මානව හිමිකම් උල්ලංඝනය කිරීම පිලිබඳව ශ‍්‍රී ලංකාවට එරෙහි ජාත්‍යන්තර පරීක්ෂනයක් ඉල්ලා එක්සත් ජනපදය, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට යෝජනාවක් ගෙන ඒමට සැරසෙන තතු තුල ජනාධිපති රාජපක්ෂ ජනවාරි මාසයේ ඊස්රායලයට ගියේ ය. එය ශ‍්‍රී ලංකාවේ ජනාධිපතිවරයෙකු ඊස්රායලයට ගිය ප‍්‍රථම අවස්ථාව විය. ඔහුගේ සංචාරයේ මූලික අරමුන වූයේ ඇමරිකානු රූකඩ තන්ත‍්‍රයක් වන ඊස්රායලය මගින් ඔබාමා පාලන තන්ත‍්‍රයේ අනුකම්පාව දිනාගෙන යෝජනාව ඉදිරිපත් වීම වලක්වා ගැනීමයි. කෙසේවූ ද යෝජනාව ඉදිරිපත් කර සම්මත කර ගැනීමට ඔබාමා පාලන තන්ත‍්‍රය පෙරට ගියේ ය. ශ‍්‍රී ලංකා-පලස්තීන මිත‍්‍ර සංගමයේ ආරම්භක සභාපති වූ හා වසර ගනනාවක් ම එහි ප‍්‍රධාන නිලතල දැරූ මහින්ද රාජපක්ෂ එක්සත් ජනපදය හා ඊස්රායලය සමග පෙල ගැසීමට දරන වෑයම ඔහු සහ ඔහුගේ ආන්ඩුවේ ප‍්‍රතිගාමී දක්ෂිනාංශික නැඹුරුවේ තවත් අර්ථභාරී ප‍්‍රකාශනයකි.

එල්ටීටීඊයට එරෙහි වාර්ගික යුද්ධයට හැම අතින් ම සහයෝගය දුන් එක්සත් ජනපදයට මානව හිමිකම් පිලිබඳ මොන ම තැකීමක්වත් නැත. ඔබාමා පාලන තන්ත‍්‍රයට අවශ්‍ය වන්නේ “ආසියාවට හැරීමේ” එහි නව මූලෝපාය යටතේ චීනය මිලිටරිමය වසයෙන් වැටලීමේ සැලසුම් වලට අනුව රාජපක්ෂ ආන්ඩුව චීනය සමග පවත්වාගෙන යන සමීප රාජ්‍ය තාන්ත‍්‍රික සහ ආර්ථික සම්බන්ධතාවලින් දුරස්ථ කර ගැනීමයි. දැන් යෝජනාවට අනුව ජාත්‍යන්තර පරීක්ෂනයක් ආරම්භ වී ඇත. එක්සත් ජනපදයේ මූලෝපායාත්මක අවශ්‍යතාවයන් සමග පෙල ගැසීමේ දිසාවට රාජපක්ෂ ආන්ඩුවේ නැඹුරුව තීව‍්‍ර කෙරී ඇත්තේ එම තතු තුලය.

ශ‍්‍රී ලංකාවේ කම්කරු පන්තිය පලස්තීනයට එරෙහි ඊස්රායල් ප‍්‍රහාර හෙලා දැකිය යුතු ය. රාජපක්ෂ ආන්ඩුවේ පිලිවෙත පෙන්නුම් කෙරෙන්නේ ජාත්‍යන්තර ප‍්‍රතිගාමිත්වය සමග පෙල ගැසෙමින් කම්කරු පන්තියට එරෙහි ප‍්‍රහාර තවතවත් දැඩි කරන බවයි.