Hot!

එන්.ජී.ඕ. සහ අනෙකාගේ සෙවනැළි අතගෑම


| නිලන්ත ඉලංගමුව

රාජ්‍ය නොවන සංවිධාන මර්ධනය කිරීම සඳහා ලංකා ආණ්ඩුව පමණක් නොව ලෝකයේ සෑම ආණ්ඩුවක්ම පාහේ කටයුතු කරනු ලැබීය. මෙය පුදුමයක් නොව දේශපාලනික පැවැත්ම පිළිබඳ කාරණයකි. මේ වන විටත් එය ඒ ආකාරයෙන්ම පවතී. චීනය සහ රුසියාව අදාළ සංවිධාන වලට එරෙහිව බරපතළ බලපෑම් එල්ල කළ සහ කරණ ආණ්ඩු වන අතර ඒ සඳහා එකී ආණ්ඩු පාලනය කරන්නන් සතුව පිළිගත හැකි දේශපාලන වුවමනා එපාකම් තිබිණි. විශේෂයෙන් ක්‍රමෝපායික භූ-දේශපාලනික තත්වයන් ඒ සඳහා බලපෑවේය.

කෙසේ වෙතත් සෑම මර්ධනයක් හමුවේ තම කටයුතු නොකඩවා පවත්වා ගැනීමට එම සංවිධාන වලට හැකි විය. ඇතැමෙකුට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු විය. තවකෙකුට ජීවිත කාලය පුරාම සිර දඬුවම් නියම විය. ඇතැම් ආණ්ඩු මීට මුහුණ දීමට නොහැකිව විවිධ ක්‍රමෝපායන් සකස් කළහ. එහි එක් ප්‍රතිඵලයක් ලෙස රාජ්‍ය අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක වන “රාජ්‍ය නොවන සංවිධාන” හෙවත් ගොන්ගෝ බිහි විය.

කෙසේ වෙතත්, රාජ්‍ය නොවන සංවිධාන වූ කලී ආකර්ශනීය වෑයමක ප්‍රතිඵලයක් ලෙස තේරුම් ගත හැක්කේ වර්තමානයේදී ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන විසිදහසකට වැඩි ප්‍රමාණයක් ක්‍රියාත්මක වන ආකාරය දෙස බැලීමෙනි. ඊට අමතරව එක් එක් රටවල් වල ක්‍රියාත්මක වන සංවිධාන අති විශාල ප්‍රමාණයක් තිබේ.

පළමු ලෝක යුද්ධය සිදුවන අවධියේදී නිල වශයෙන් ක්‍රියත්මක වීමට පටන් ගත් රාජ්‍ය නොවන සංවිධාන වලට ඉතා දීර්ඝ ඉතිහාසයක් තිබේ. එසේම මෙම සංවිධාන දේශපාලනික වශයෙන් විශාල බලපෑමක් සහ මැදිහත්වීමක්  කොට ඇත. එහි යහපත් මෙන්ම අයහපත් දෑ සිදු වූ බව රහසක් නොව, නමුත් දූෂිත සහ මිනීමරු ආණ්ඩුවලට එරෙහිව ප්‍රසංශනීය මැදිහත්වීම් කළ රාජ්‍ය නොවන සංවිධාන විශාල ප්‍රමාණයක් ඇත.

මේ වන විට ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් නන්දසේන රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව යමින් ලංකාවේ ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධාන මර්ධනය කිරීම සඳහා ඍජු මෙන්ම දරුණු නමුත් පුළුල් වශයෙන් ගත්කළ අමන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙමින් තිබේ. මෙය ඍජු මෙන්ම දරුණු කාරණයක් බවට පත් වන්නේ දේශපාලනික වශයෙන් රට තුළ  භාවිතා කරණ ආකාරය අනුවය. එසේම මෙය මෝහයෙන් පිරුණු කටයුත්තක් බවට පත් වන්නේ මෙම කාරණය, ජාත්‍යන්තර දේශපාලනය සමඟ ගනුදෙනු කරණ කල්හීය.

කෙසේ වෙතත් ලංකාවේ පමණක් නොව  ඉන්දියාව, පකිස්තානය සහ බංගලාදේශය මේ හා සමාන රෙගුලාසි සකස් කොට ඇත.

මෝදී බලයට පත් වී සති කිහිපයක් ඇතුළත එරට දේශීය බුද්ධි සේවය ( සී. බී. අයි.)  විසින් රාජ්‍ය නොවන සංවිධාන වල ක්‍රියාධරයින්ට එරෙහිව දීර්ඝ ලිපි ගොනුවක් අගමැති මෝදීට ඉදිරිපත් කළේය. එසේම ඔහු අගමැති ධූරයට පත්වීමේ සිට මීට දින කිහිපයකදී ගුජරාට් ප්‍රනන්තයේ මෝදී සමඟ කටයුතු කළ මිනීමරුවෙකු තම පක්ෂයේ සභාපතිවරයා වශයෙන් පත් කිරීම දක්වා වූ සියලුම කටයුතු වලදී මෝදී  රාජ්‍ය නොවන සංවිධාන වලට සහ ස්වාධීන මාධ්‍ය වලට එරෙහිව සූක්ෂමව කටයුතු කරණ ආකාරය ඉතා පැහැදිලිය. අගමැති කාර්යාලයේ නිල අවසරයකින් තොරව කිසිම ආණ්ඩු සාමාජිකයෙකුට මාධ්‍ය සමඟ කතා කළ නොහැකි බව ඔහු කිව්වේය. එසේම තම නිල සංචාර ආවරණය කිරීම සඳහා කිසිඳු පෞද්ගලික මාධ්‍යක් සහභාගී කර නොගන්නා බව හෙතම දැනුම් දුන්නේය. ඊට අමතරව තම විපක්ෂක සාමාජිකයින්ගේ පමණක් නොව ආණ්ඩු පක්ෂය නියෝජනය කරණ අයවලුන්ද තම චරපුරුෂ සේවයේ අඛණ්ඩ නිරීක්ෂණයකට යටත් කොට තිබේ. ඉදිරි කාලය තුළදී අගමැති මෝදීගේ, ගුජරාට මහඇමති පාට කලාපයට පමණක් නොව ජාත්‍යන්තර වශයෙන් පෙනෙනු ඇත.  මෝදී නිර්මාණය කරමින් සිටින්නේ නව ආකාරයක චීනයකි. නමුත් බරපතළ බෙදීම් ඇති රටක එය කෙතරම් දුරට සාර්ථක වේදැයි කිව නොහැකිය.

එසේම බංගලාදේශය එරට ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධාන වලට සැපයෙන විදෙස් ආධාර මුළුමනින්ම නවතා දැමීමේ වැඩපිළිවෙලකට යොමු වී සිටියි. අදාළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී අති බව එරට පුවත් පත් වාර්තා කොට ඇත.

 මේ ආකාරයෙන් කලාපයේ බොහෝමයක් රටවල් තම දුෂීත වැඩපිළිවෙල පවත්වා ගැනීම සඳහා එම රටවල ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධාන වලට එරෙහිව පුළුල් වැඩපිළිවෙලක් ආරම්භ කොට තිබේ. නමුත් මෙය අලුත් දෙයක් නොවේ. එසේම මෙම කාරණය මුලික කොට ගනිමින් අදාළ ආණ්ඩු වලට එරෙහිව පටු විවේචන ඉදිරිපත් කිරීමෙන් පළක් වන්නේ නැත.

ඇතැමෙකුට අනුව රටේ ලොකුම ගැටලුව නන්දසේන රාජපක්ෂය. එහි යම් කිසි අරුතක් තිබේ. ඒ වූ කලී මතුපිටින් දකින තලය තුළ නිතරම මුණ ගැසෙන චරිතය බවට ඔහු පත් වී තිබීමය.  නමුත් කාසියේ තවත් පැත්තක් තිබේ. එය බැලූ බැල්මට සැඟවී පවතින පැත්ත වන අතර සැබෑ කෛරාටක දේශපාලනය ක්‍රියාත්මක වන්නේ  ඒ වටාය.

එනම් නන්දසේන සහ ඔහුගේ හෙවනැල්ල ගැටලුව ලෙස දකින බොහෝ දෙනෙක් ඔහු එම ධූරයට පත්කළ ඔහුගේ සහෝදරයාට වක්‍රාකාර අනුකම්පාවක් ලබා දෙනු ලබයි. ඉන් කෛරාටක ලෙස මහින්ද රාජපක්ෂ දේශපාලනික වශයෙන් තව දුරටත් පවත්වා ගෙන යාමට කටයුතු කරයි.

එකිනෙකාගේ හෙවනැලි ගැන කතා කොට තම බුද්ධිමය ස්වයංවින්දනයෙන් මෝචනය ලබා ගැනීම ඔබට කළ හැකිය. මන්ද එය ඔබේ නිදහස සහ අධිකාරීත්වයයයි. නමුත් ගැටලුව ඇත්තේ එමඟින් ඔබ පොදු සතුරාට ලබා දෙන නීච සාදාරණත්වයයි. මෙය මෙම හෙවනැලි ගැන කතා කරණ බොහෝ දෙනෙකු පසුගිය කාලය පුරාම සිදු කළේය. එම රචනා මැජික් ලෙස ගෙන හෙණ වැදී ඇති හිස් ඔලු කුහර වල‍ට දමා එම රචනා ලියූ  රූකඩ වලට වීරත්වය ලබා දෙනු ලැබීය. මෙය ඛේදජනක මුලාවකි.  රටකට සැබෑ හානීය සිදු කරන්නේ මෙම වෙස්වලාගත් යක්ෂයින්ය.

රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධයෙන් මතු වී ඇති තත්වය ගැන කතා කිරීමද එම ගූඪ දේශපාලන විචාරයේම තවත් දිගුවක් බවට පත්වීම පුදුමයක් නොවේ. මන්ද මෙම විචාරයට මැදිහත් වී සිටින සියලු දෙනාම පාහේ පැවති කුහක සමාජ පරිණාමයේම කොටස්ය. ඒ නිසා මොවුන්ගෙන් වැදගත් විචාරයක් බලාපොරොත්තු විය නොහැකිය.

කෙසේ වෙතත්, රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධයෙන් රට තුළ වැදගත් විචාර මෙන්ම රචනා ඉදිරිපත් විය යුතුව ඇත. නමුත් මෙම සංවිධානවල පවතින සීමා සහිත වැඩපිළිවෙල මඟින් එවැනි තත්වයක් රටේ අති වූයේ නැත. මේ නිසා රාජ්‍ය නොවන සංවිධාන එක්තරා සීමාවකින් ඔබ්බට ගිය පසු පොදු සතුරෙක් බවට නොහොත් රට පාවාදෙන්නෙක් බවට  පත් කර ගැනීමට සහ එය දේශපාලනික වශයෙන් පාවිච්චි කිරීමට ඒ ඒ ආණ්ඩු වලට හැකි විය.

ඒ සඳහා හේතු කිහිපයක් තිබේ. එනම් බොහෝමයක් රාජ්‍ය නොවන සංවිධාන විදෙස් ආධාර මත පමණක් යැපෙන තත්වයකට තල්ලු වීමය. ඕනෑම රාජ්‍ය නොවන සංවිධානයක පැවැත්ම සඳහා විදෙස් ආධාර අත්‍යවශ්‍ය බව අමුතුවෙන් කිව යුතු නොවේ, මන්ද රාජ්‍යට මෙන් ඒවාට ජනතාවගෙන් බදු අය කර ගත නොහැකිය. එසේම රට තුළ ආධාර එකතු කිරීමේ වැඩපිළිවෙලකට යාමට තරම් හැකියාවක් එම සංවිධාන පෙන් වූයේ නැත. එය ඇතැම් අවස්ථාවලදී සිදු වුවද එම උත්සාහයන් ඉතා සීමිත ඒවා බවට පත් විය.

ජනතාවගෙන් ආධාර එකතු කිරීම දුෂ්කර කාර්යක් බව සැබෑය. එසේම වර්තමානය වන විට ලක්ෂ තුනකට එහා ගිය ඒක පුද්ගල ණය බරකින් පෙළෙන රටක එය අතිශය අපහසු කටයුත්තකි. නමුත් එමඟින් රාජ්‍ය නොවන සංවිධාන සම්බන්ධයෙන් දීප ව්‍යාප්ත කොට ඇති වැරදි චිත්‍රය නිවැරදි කළ හැකිය. තම කටයුතු සාමාන්‍ය ජනතාව අතර ප්‍රචලිත වන ප්‍රමාණය අනුව ඒ සම්බන්ධයෙන් මතුවන ප්‍රතිරූපයද වෙනස් වේ. මේ සඳහා හොඳම උදාහාරණය දකුණු කොරියාවය. එරට පවතින බොහොමයක් රාජ්‍ය නොවන සංවිධාන වලට අවශ්‍ය මුදල් ලබා දෙනු ලබන්නේ එරට සාමාන්‍ය පුරවැසියන් විසිනි.

එවැනි මට්ටමකට අපට යෑමට දීර්ඝ කාලයක් අවශ්‍ය බව සැබෑය. නමුත් එය පරෙස්සමින් කළ යුතු අතිශය වැදගත් කටයුත්තක් වේ. රාජ්‍ය නොවන සංවිධානයක කටයුතු කිරීම වූ කලී තම අභිමානයට හේතුවක් බවට පත් වන්නේ එවිටය. එවැන්නක් සිදු නොවන තාක් දුරට මෙම සංවිධාන වල කටයුතු කරණ අයවලුන් රාජ්‍ය පාලකයාගේ සිට ඔහුගේ සපත්තු පිස දමන්නා දක්වා අයවලුන්ට දේශ ද්‍රෝහියෙක් ලෙස හංවඩු ගැසීමට හැකිය. එම වැරදි ප්‍රතිරූපය  පොදු ජනතාවට එන්නත් කොට රාජ්‍ය නොවන සංවිධාන වූ කලී පොදු සතුරෙක් බවට පත් කළ හැකිය.

නන්දසේන රාජපක්ෂ අර අදින පූර්ණ මර්ධනය ඔහුට භූමරංගයක් වන බව සැබෑය. නමුත් ඔහු සහ ඔහුගේ බලය වූ කලී පවතින බරපතළ අවුලක රෝග ලක්ෂණයක් පමණි. ඒ නිසා වැදගත් වන්නේ මෙහි පවතින යථාර්තය තේරුම් ගැනීම සහ එය පොදු ජනතාවට තේරුම් කරදීම සඳහා කැලා පත්තර ව්‍යාපාරයකින් හෝ තම කටයුතු ආරම්භ කිරීමය. ඒ සඳහා වැදගත්ම මොහොත උදා වී ඇත.

මෙහිදී තේරුම් ගත යුතු මුලික සත්‍යයක් තිබේ.

රටේ ඒක පුද්ගල ණය බර ලක්ෂ තුනකට වැඩි කොට, නන්දසේන රාජපක්ෂ පාලනය කළ සංවර්ධන අධිකාරිය බංකොලොත් ආයතනයක් බවට පත් වූයේ රාජ්‍ය නොවන සංවිධාන නිසා නොව. රටේ පවතින සැබෑ ගරා වැටීම එයයි.

නමුත් මෙම සැබෑ බංකොලොත් දේශපාලනය සඟවා රාජපක්ෂ ආණ්ඩුව මැතිවරණ ජයගැනීම සඳහා තම බොරුව භාවිතා කරන්නේ කෙසේද? එසේම තමන්ට ආධාර දෙන සංවිධාන සහ රාජ්‍යයන් වල වගකීමට බැඳී ඇති විශේෂයෙන් මුල්‍යමය වගකීමට බැඳී ඇති බොහෝමයක් රාජ්‍ය නොවන සංවිධාන රටේ “ දේශ ද්‍රෝහීන්” බවට පත් වන්නේ කෙසේද? මෙය ඉතා පරෙස්සමින් විමසිය යුතු සහ රටේ සෑම අයෙකුම දැනුවත් කළ යුතු කාරණයකි.

එම මුලික වගකීම පසෙක තබා එකිනෙකාගේ සෙවනැළි වලට බැන වැදීම මාධ්‍යට වැදගත් නමුත් කිසිඳු යහපතක් උදාකරණ වැඩපිළිවෙලක් නොවේ. මන්ද නන්දසේන තව අවුරුදු සීයක් සිටියද එකසීය එක් වැනි අවුරුද්ද උදාවෙන්නේ ඔහු චුත වී ගිය වටපිටාවකය. එවිට එම තත්වය කළමනාකරණය කළ නොහැකි වුවහොත් යළිත් බිහිවන්නේ ඔහු වැනිම භයානක සතුරන් මුල් පුටුවලට පත් කරණ ක්‍රෑර පාලකයෙකි. එවිටත් කොතැනක හෝ මුල්ලක වී අනෙකාගේ සෙවනැළි අතපත ගෑමට පුරුරු වූ එම ක්‍රෑර පාලකයාද තොත්ත බබෙකු කොට ඔහුට මැතිවරණ ජය සඳහා මුක්කු ගසන නිවටයින් බිහිවනු ඇත.