Hot!

අද අප රට බේරා ගැනීම සඳහා මේ රජය තුළ නායකයෙකු නැහැ

| මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුව අමතා කළ කතාව

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් පත් කළ කමිටුවට ලංකාවේ සංචාරය කිරීම සදහා අවසර ලබාදීම පිළිබද පාර්ලිමේන්තුවේදී ඊයේ (17) පැවති  විවාදයට එක්වෙමින් මංගල සමරවීර මහතා  කල කතාව පහත පළවේ.

ගරු කතානායක තුමනි,

දාහත් වැනි ශතවර්ෂයේ දී තිස් අවුරුද්දක් පුරා මුලූ යුරෝපයම විනාශයේ මුඛයට ඇද දැමූ මහා යුද්ධය 1648 දී ,"Peace of Westphalia", නැමැති සම්මුතියක් අත්සන් කරමින් අවසන් වුනා.

ඒ අනුව යුද වැදුණ සෑම රටකම ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාවය පිළිගත් මෙම සම්මුතියෙන් කියා සිටියේ, ඒ ඒ රටවල්වල අභ්‍යන්තර කටයුතුවලට බාහිර බලවේගයන් මැදිහත් නොවිය යුතු බවයි.    'The sovereignty and territorial integrity of each nation state was recognized with no role for external forces.'

නූතන ලෝකයේ බිහි වූ බොහෝ යුරෝපීය රටවල් මේ මූලධර්මය අනුව බාහිර සබඳතා පවත්වාගෙන ගිය අතර විසිවෙනි සියවසේ බිහිවූ ලෝකයේ අනෙකුත් රටවල් ද බොහෝ දුරට ජාත්‍යන්තර සබඳතා පවත්වා ගෙන ගියේ මෙම Westphalian මූලධර්මය අනුවයි.

කෙසේ වෙතත් විසිවෙනි ශතවර්ෂයේ දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව ෆැසිස්ට්වාදයේ පරාජයත් ලෝකයේ විවිධ රටවල්වල ඇති වූ ඒකාධිපතිත්වයේ වර්ධනය තුළත් එම රටවල නායකයන් විසින් තම ජනතාව මහා පරිමානයෙන් මර්දනය කිරීමේ ප්‍රවණතාවය විසිවැනි ශතවර්ෂයේ දකින්නට ලැබුණු විශේෂ ලක්ෂණයක්.

ගෝලීයකරණය තුළ මුලූ ලෝකයම විශ්ව ගම්මානයක් බවට පත්වෙමින් තිඛෙන මොහොතක ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව අයිතීන් යනු බටහිර සංකල්ප නොව විශ්ව සංකල්ප විය යුතු බවට මතයක් ලොව පුරාම ඇතිවුණා.

මේ අනුව ලංකාව ඇතුළු ලෝක ප්‍රජාවේ සෑම රටක්ම යම් යම් විශ්ව නීතින් අනුව කටයුතු කරන්නට ඒ ඒ රටවල් ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වුනා.

ජාත්‍යන්තර සම්මුති හතකට බැඳී සිටිනවා :

නිදහසින් පසුව මේ වන විට අපිත් ජාත්‍යන්තර සම්මුති හතකට බැඳී සිටිනවා. ජනාධිපතිතුමා විසින්ම පත්කරන ලද උගත් කොමිසන් වාර්තාවේ 5:2 සහ 5:3 වගන්තිවලින් මෙසේ කියනවා. මෙම සම්මුතිනීන් ක්‍රියාත්මක කිරීමට සාමයේ දී පමණක් නොව යුද්ධයේදීත් අප බැඳී සිටින බවට මෙහි සඳහන් වෙනවා.
(වාර්තාව සභාගත කරයි. )

කෙසේ වෙතත් එම ජාත්‍යන්තර සම්මුතීන් අප රටේ ස්වෛරීභාවයට බරපතළ ලෙස බලපෑම් එල්ල වන්නේ නම්, ඒවා ගෞරවාන්විතව ප්‍රතික්ෂේප  කිරීමට ද අප නායකයන්ට ශක්තිය තිබුනා.

2001 දී ජාත්‍යන්තර අපරාධ උසාවිය ඇති කිරීම සඳහා රෝම සම්මුතිය අත්සන් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය කළ ඉල්ලීම ප්‍රතික්ෂේප  කිරීමට රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාට ශක්තිය තිබුනා.

ඇමරිකා එක්සත් ජනපදය, ඉන්දියාව වැනි මෙම ගිවිසුමට අත්සන් කිරීම ප්‍රතික්ෂේප  කළ රටවල් මෙන් ම වික්‍රමසිංහ අගමැතිවරයා ද කියා සිටියේ බරපතළ මානව අයිතීන් උල්ලංඝනය කිරීමක් අප රටේ සිදු වුවහොත්, එසේ නැතිනම් යුද අපරාධ ඇති වුවහොත් ඒවාට එරෙහිව කටයුතු කළ හැකි ශක්තිමත් හා ස්වාධීන අධිකරණ පද්ධතියක් අප රට තුළ ඇති බවයි.

ස්වාධීන අධිකරණයක් තිබුණු නිසා !!

ඇමරිකා එක්සත් ජනපදය මෙන් අපට ද ස්වාධීන අධිකරණයක් ඒ වන විට හිමිව තිබුණු නිසා හබයකින් තොරව රෝම සම්මුතියට අත්සන් නොකර සිටීමට අපට හැකියාවක් තිබුනා.

1995 දී පවා චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිතුමියගේ රජය සමයේදී ද බරපතළ මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ තත්ත්වයන් ඇතිවුනා.  බොල්ගොඩ වැවේ ද්‍රවිඩ තරුණයන්ගේ මල මිනී මතුවීම, 16 හැවිරිදි ක්‍රිෂාන්ති කුමාරස්වාමි දැරිය දූෂණය කර ඝාතනය කළ අවස්ථාවල දී අප අධිකරණය ඒවාට විරුද්ධව කටයුතු කිරීම නිසාම අප අධිකරණය සම්බන්ධයෙන් එවැනි විශ්වාසයක් ගොඩනැගී තිබුනා.

ජාතික ස්වෛරීභාවයේ නාමයෙන් කිසිම රජයකට තමන්ගේ රටතුළ මතුවන දේශපාලන විරුද්ධවාදීන් මර්දනය කිරීමට ඉඩ නොදිය යුතු බව පිළිගන්නා වර්තමාන යුගය පශ්චාත් Westphalian යුගය හැටියට ජාත්‍යන්තර සබඳතා විශේෂඥයින් අද හඳුන්වා දෙනවා.

ප්‍රජාතන්ත්‍රවාදී නිරුවත :

සරලව මෙම අදහස කියනවා නම්, වර්තමාන ලෝකය තුළ කිසිම රටකට තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී නිරුවත තම රටේ ජාතික කොඩියෙන් වසාගෙන තමන්ගේම ජනතාවගේ මානව අයිතීන් කඩ කරන්නට ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මයන් පාගා දැමීමට අයිතියක් නැති බවයි.

උදාහරණයක් හැටියට, සමාජයක නීතිරීති අනුව අපිට අපේම ගෙදර තුළ වුවද අප සහෝදරයෙකුට, අපේ දරුවෙකුට පහර දෙන්නට එසේ නැතිනම් මරා දමන්නට කිසිම අයිතියක් නැහැ. එවැනි අවස්ථාවකදී පොලීසිට අපි සොයා පැමිණි විට ''මේ මගේ දරුවා, මේ මගේ ගෙදර, ඒ නිසා තමුසෙලාට අයිතියක් නැහැ මගෙ ගේ ඇතුළෙ වෙන දේවල්වලට ඇ`ගිලිගහන්න''යැයි කියමින් නීතියෙන් පැන යාමට බැරි වගේම, ගෝලීය ගම්මානයක ජීවත්වන අපි ජාත්‍යන්තර ගිවිසුම් හා නීතිරීතිවලට අනුකූලව කටයුතු කරන්න, අපි විවිධ ගිවිසුම් හා එක`ගතාවයන්ට බැඳී සිටිනවා.

විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයට එවැනි බලතල ලබාදීමට අප රටත් දිගින් දිගටම වගකිව යුතු රටක් හැටියට කටයුතු කර තිඛෙනවා.

ජාතික ස්වෛරීභාවයේ නාමයෙන් රජයකට තමන්ගේ රටතුළ මතුවන දේශපාලන විරුද්ධවාදීන් මර්දනය කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉඩ නොදිය යුතු බවත්, ශ්‍රී ලංකා රජය, ත්‍රස්තවාදය හා ඛෙදුම්වාදය ගැන කතා කරමින් මානව අයිතීන් තත්ත්වය මග හැරීමට ඉඩ දෙන්න එපා කියමින්, එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාවේ ප්‍රශ්නයට මැදිහත්වන ලෙස 1987 දී එල්ටීටීඊ සංවිධානය වෙනුවෙන් එදා කරුණු ඉදිරිපත් කලේ, ලෝක ක්‍රිස්තියානි සම්මේලනයේ නියෝජිතයෙක් වූ ද, මහින්ද රාජපක‍ෂ මන්ත්‍රිවරයාගේ සමීප මිතුරියක ලෙස ජිනීවා  නුවර දී මන්ත්‍රිවරයාට නවාතැන් සැපයූ, එමෙන්ම මානව අයිතීන් කොමිසමට ඇතුළුවීමට අවශ්‍ය බලපත්‍රය තම සංවිධානය හරහා මන්ත්‍රිවරයාට ලබා දුන් තමාරා කුලනායගම් මහත්මියයි.

ඇය 2009 දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිතවරිය හැටියට කටයුතු කළා.  1987 දී එල්ටීටීඊ සංවිධානය සම්බන්ධයෙන්  එංගලන්තයේ Tamil times පුවත්පතේ පළවූ එතුමියගේ කතාව සභාගත කරන්න කැමතියි.

මුලින්ම ආරාධනා කලේ මහින්ද :

මෙම එක්සත් ජාතීන්ගේ සංවිධානයට අප රටේ අභ්‍යන්තර ප්‍රශ්නයකට මැදිහත්වන ලෙස මුලින්ම ආරාධනාවක් ඉදිරිපත් කරන ලද්දේ ද මහින්ද රාජපක‍ෂ මන්ත්‍රිවරයා වන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයටත් ඇම්නෙස්ටි ඉන්ටනැෂනල් සංවිධානයටත් මෙරටට එම සඳහා අවසර ලබා දෙන ලෙස ප්‍රේමදාස රජයෙන් ඉල්ලා සිටියේ ද මහින්ද රාජපක්ෂ මන්ත්‍රිවරයායි.
(1989 දෙසැම්බර් 04 හැන්සාඩ් වාර්තාව 941 වැනි පිටුව)

එපමණක් නොව ප්‍රේමදාස රජයට කොන්දේසි පනවන ලෙසත් ආධාර කපන ලෙස ඉල්ලා සිටි බවට මේ සභා ගර්භයේදීම ඔහු ප්‍රකාශ කරල තිඛෙනවා. ඔහු එදා කිවේ මෙහෙම...

'' අපි ආධාර දෙන රටවලින් ඇහුවා.... ඇයි බැරි ආධාර දෙන ගමන් මේ රටේ මානව අයිිතිය පිළිබඳ කොන්දේසියක් පනවන්න කියා, අන්න ඒ ඉල්ලීම තමයි අපි කළේ. ඒක තමයි අද ඉටු කර තිඛෙන්නේ.˜    
(1990 ඔක්තෝබර් 25 හැන්සාඩ් වාර්තාව - පිටු අංක 365)

''ආධාර දෙන රටවල්වලට අපි ගිහින් කිව්වෙ තමුන්නාන්සේලාට පුළුවන් නම් මේ මේ ඒවා කපන්න කියා කියන්න. මේ රටේ මිනිසුන්ගේ මානව අයිතිය රකින්නැයි කියන එකත් මේ ආණ්ඩුවට කියන්නය කියන එකයි. එසේ නම් ආධාර දීමේදී එය කොන්දේසියක් වශයෙන් දාන්නය කියන එක වැරදිද කියා මම තමුන්නාන්සේලාගෙන් අහනවා.˜   
(1990 ඔක්තෝබර් 25 හැන්සාඩ් වාර්තාව - පිටු අංක 424)

එපමණක් නොව ආණ්ඩුව මානව අයිතිය නැති කරන්න යනවා නම් ජිනීවා වලට නෙමෙයි ලෝකේ ඕන තැනකට, එහෙම නැත්නම් නරකාදියට හෝ ගොස් ක්‍රියාකළ යුතු බවට ඔහු මෙහිදී ප්‍රකාශ කළා.
(1990-10-25 හැන්සාඩ් වාර්තාව - පිටු අංක 424)

'කළ කළ දේ පළ පළ දේ'යැයි කියමනක් තිඛෙනවා. එදා රණසිංහ ප්‍රේමදාස රජය අපහසුතාවයට පත්කරන්න එතුමා මේ රටට හඳුන්වා දුන් එම ක්‍රියාවලිය අද එතුමාගේ රජය පසුපස හමන පරාවළල්ලක් වී තිඛෙනවා. මෙය දෛවයේ සරදමක්.

පොරොන්දු දුන්නේ ආණ්ඩුවමයි :

අද මෙම රජයට එරෙහිව ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වන තත්ත්වය ඇද දමා ඇත්තේ රාජපක්ෂ රෙජිමය දිගින් දිගටම ජාත්‍යන්තර සම්මුතීන් උල්ලංඝනය කිරීම නිසා පමණක් නොව, මෙම රජය විසින්ම ජාත්‍යන්තරයට ලබා දුන් පොරොන්දු දිගින් දිගටම කඩ කරපු නිසායි.

2009 යුද්ධය අවසන් වූ විගස ලංකාවට පැමිණි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා ලේකම් බැන් කී මූන් මහතා සමග 2009-05-23 ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් 'ජාත්‍යන්තර මානව අයිතීන් පිළිබඳ නීති උල්ලංඝනය වී ඇත්නම් ඒවා සොයා බැලීම සඳහා පරීක්ෂයක් පැවැත්වීමට'  රජය එකග වුනා.

එපමණක් නොව එම වසරේම ජිනීවා  නුවර පැවැත්වූ මානව අයිතීන්ගේ කවුන්සිලයේ සැසිවාරයේදී ද එම පොරොන්දුව නැවතත් ප්‍රකාශ කළා..

රාජපක්ෂ රෙජිමයේ බොරු කීමේ ප්‍රවණතාවය වේළාසනින්ම හඳුනාගෙන ඇති නව ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි මැතිතුමා අප ජනාධිපතිතුමා හමුවූ මුල් අවස්ථාවේදී ම බලකර සිටියේ හිටපු අගමැති මන්මෝහන් සිං මහතාට ලබාදුන් පොරොන්දු ඉටු කරන ලෙසයි ..

රජිව් මන්ත්‍රීතුමා කියපු දේ :

බැන් කී මූන් සමග මැයි 23 දා කරන ලද ප්‍රකාශය ගැන තමාද විශ්මයට පත් වූ බවට එදා ජනාධිපතිවරයාගේ විශේෂ උපදේශකයෙක් වූ මහාචාර්ය රජීව විජේසිංහ මහතා මෑතක දී පළකළ ලිපියක සඳහන් කර තිබුනා. එහි මෙසේ සඳහන් වෙනවා..

''එම ප්‍රකාශය කියවා බැලු මම විශ්මයට පත් වූයේ යුද සමයේ සිදුකළ ක්‍රියාකාරකම් පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමට අවසරයක් එය ඔස්සේ පළකර තිබුණු බැවිනි...

...මෙම අනතුරුදායක වගන්තිය නොපිළිගන්නා ලෙස ජනාධිපතිවරයා වෙත උපදෙස් දෙනු ලැබූවත්, අවසානයේ දී නොඉවසිලිමත් වූ ජනාධිපතිවරයා කඩිනමින් මේ අයුරින්ම ලේඛනය සකස් කරන ලෙස තදින් කියා සිටි බව එකල අපගේ විදේශ ලේකම්වරයා වූ පාලිත කොහොන මහතා විසින් මා හට ප්‍රකාශ කරන ලදී.''

එපමණක් නොව ඔහු මෙම ලිපියේ කියා සිටින්නේ ජනාධිපතිවරයා ඔහුගේ පොරොන්දුවට අනුව කටයුතු කළේ නම් ඉන් පසු බරපතළ හානියක් සිදු නොවිය හැකි බවයි.
(මුල් ඉංග්‍රිසි ලිපියත් එහි පරිවර්තනයත් සභාගත කරන ලදී )

ගරු කතානායකතුමනි,

 අපට ජාත්‍යන්තර පරීක‍ෂණයක් ප්‍රතිෙක්ෂ්ප කළ හැක්කේ පිළිගත් ජාතික පරීක්ෂණයක් සඳහා යාන්ත්‍රණයක් ඇතිනම් පමණක් බව ද ඔහු මෙහිදී කියා තියනවා... .

එක්සත් ජාතික පක්ෂයේ අපිත්  දිගින් දිගටම මේ රජයෙන් ඉල්ලා සිටියේ ජාත්‍යන්තර පරීක්ෂණයක් වැළැක්වීම සඳහා, පිළිගත් ජාතික පරීක්ෂණයක් නිර්මාණය කරන ලෙසයි.
(යුඑන්පී නිවේදන සභාගත කරයි )

අද මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ගෙනවිත් ඇත්තේ බැරෑරුම් ප්‍රශ්නයකට විසඳුම් සොයනවා වෙනුවට මෙම යෝජනාවෙන් දේශපාලන වාසි ගැනීමේ අරමුණෙනි.

'ද්‍රෝහියා සහ වීරයා' චිත්‍රපටිය :

රාජපක්ෂ රෙජිමයේ 'ද්‍රෝහියා සහ වීරයා' යන චිත්‍රපටියේ අලූත්ම ජවනිකාව අද පාර්ලිමේන්තුවෙන් ආරම්භ කරලා තිඛෙනවා. නමුත් සැබෑ ද්‍රෝහියෝ කවුද සෑබෑ වීරයෝ කවුද කියා හඳුනා ගන්නට රටේ ජනතාවට ශක්තිය තියෙනවා.

මුලූ රටම බරපතළ සන්ධිස්ථානයකට යොමු වී තිඛෙන මොහොතක මෙයින්ද පටු දේශපාලන වාසි ගැනීම මේ රජයේ එකම අරමුණ වී තියනවා.

අද අප රට බේරා ගැනීම සඳහා මේ රජය තුළ නායකයෙකු නැහැ

ඒ නිසා වෙන්න ඇති සන්ධානයේ මන්ත්‍රී රජීව්  මන්ත්‍රීතුමා ලියන ලද ලිපියේ මාතෘකාව ලෙස, රොබට් බ්‍රව්නින් කවියා 19 වැනි ශතවර්ෂයේ ලියන ලද  කවි පද පෙළක් යොදා ඇත්තේ.    

"Never Glad Confident Morning Again" ,  යනු රොබට් බ්‍රව්නින්ගේ ,"Lost Leader" නැමැති කවි පන්තියෙනි.

1843 දී විලියම් වර්ඩ්ස්වර්ත් නැමැති ලිබරල්වාදී ප්‍රගතිශීලී කවියා ප්‍රතිගාමී දේශපාලනයට එක් වූ අවස්ථාවේ දී එය මහා පාවාදීමක් ලෙස රැඩිකල් මත ඇති තරුණ බ්‍රව්නින් දුටුවා. ඒ අනුව අහිමි වූ නායකයා යන මේ කවි පන්තිය බ්‍රව්නින් නිර්මාණය කළේ වර්ඩ්ස්වර්ත්ට පහර ගැසීම සඳහායි..

නායකත්වයේ මේ පාවාදීම නිසා බිඳුණු විශ්වාසය යලි තහවුරු කරන්නට කිසිවිට නොහැකි බව මෙම කවියෙන් කියවෙනවා. ."Never Glad Confident Morning Again" යන්නෙන් අදහස් කරන්නේ එයයි.

Let him never come back to us!
There should be doubt hesitation and pain;
Forced praise on our part-the glimmer of twilight,
Never glad confident morning again!

මිතුරු සොඳුරු උදෑසනක් යළිත් නොඑනු ඇත අප හට, ඒ නිසා මා හිතන්නේ වැඩි දුර නොගොස් වෙනසක් සිදුවිය යුතු බවයි.''

සම්පුර්ණ කතාවට සවන්දෙන්න

https://soundcloud.com/srilankamirror/mangala-unedited-01

https://soundcloud.com/srilankamirror/mangala-unedited-02

https://soundcloud.com/srilankamirror/mangala-unedited-03