Hot!

තායිලන්තයේ අගමැතිනියට අධිකරණ නියෝගයකින් ඉල්ලා අස්වීමට සිදුවෙයි

කැබිනට් ඇමැතිවරු නවදෙනෙකුත් ඒ අතර
| ප්‍රණීතා අබේවික්‍රම

තාත්තා කළ දේ නොකරන පුතා ‘නොට්ටිගේ පුතා’ නම් අයියා කළ දේ නොකරන නංගී කව්දැයි සිතෙන්නේ මේ දිනවල තායිලන්තය දෙස බලද්දීය. තායිලන්ත ඉතිහාසයේ පළමු කාන්තා අගමැතිනිය ලෙස 2011 ජුලි මස දී ජනතා පරමාධිපත්‍යයෙන්්ම තේරී පත් වූ 46 හැවිරිදි සුරූපී යින්ග්ලක් ෂිනවත්‍රාට බලය අයථා ලෙස පරිහරණය කළ වරදට ගෙදර යාමට සිදුවීම බොහෝ දෙනාට පුදුමයක් නොවේ. මාස හයක් පමණ තිස්සේ දික්ගැස්සෙමින් තිබුණු තායිලන්ත දේශපාලන අස්ථාවරභාවයේ සංධිස්ථානයක් ලෙස ද මෙම අවස්ථාව දැක්විය හැකිය.හිටපු අගමැතිවරිය බලය අයුතු ලෙස පාවිච්චි කර ඇති බවට තීරණය කරනු ලැබුවේ තායිලන්තයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය විසිනි. ඇය බලයට පැමිණි සැණින් එවක හිටපු ආරක්ෂක ප්‍රධානියා ඉවත් කර ඇගේ මස්සිනා ‍පොලිස් ප්‍රධානියා ලෙස පත් කර ගැනීම ඇයට එරෙහිව එල්ල වූ ප්‍රබලතම චෝදනාවයි. විනිසුරුවරුන් නව දෙනාම ඒකමතිකව මෙම තීන්දුව ලබා දී ඇත. අගමැතිනිය විසින් හිටපු ආරක්ෂක ප්‍රධානියා ඉවත් කරන අවස්ථාවේ බලයේ සිටි කැබිනට් ඇමැතිවරුන් නව දෙනාද ඉල්ලා අස්විය යුතු බවට අධිකරණ තීන්දුවේ දැක්වේ.

මීට අමතරව මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ද අගමැතිනියට එරෙහිව චෝදනා ගොනු කරනු ලැබිණි. සහල් සහන වැඩසටහනක් නිසි අයුරින් අධීක්ෂණය නොකිරීමෙන් යුතුකම් පැහැර හැර ඇති බව මෙම චෝදනාවයි. දූෂණ වැළැක්වීමේ ජාතික කොමිසම විසින් මෙම චෝදනා ගොනු කර ඇත. චෝදනාවට අදාළ සහල් සහන වැඩසටහන යින්ග්ලක්ගේ රජය විසින් ගොවීන්ගේ ඡන්දය දිනා ගැනීම සඳහා විශාල වශයෙන් පාඩු ලබමින් දියත් කළ වැඩසටහනක් බව පැවසේ.

අධිකරණ තීරණයට තමන් හිස නවන බව හිටපු අගමැතිනිය මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කර සිටියේ ඉතා හැඟුම්බරවයි. ඇයට එරෙහිව විශ්වාසභංග චෝදනාවක් සෙනේට් සභාව වෙත ඉදිරිපත් කිරීමට ද නිමිතය. ඉන් පරාජය වුවහොත් ඇයට වසර පහක් ගතවන තෙක් දේශපාලන කටයුතුවල නිරත වීම තහනම් වේ.

කෙසේ වුවද, හිටපු අගමැතිනිය අයත් පියු තායි පක්ෂය පවසන්නේ මෙය අගමැතිනිය නෙරපීම සඳහා සිදු කරන ලද ‘දේශපාලන කුමන්ත්‍රණයක්’ බවයි. අධිකරණය දේශපාලනීකරණය වී ඇති බවට චෝදනා කරන එම පිරිස පවසන්නේ නිලධාරීන් මාරු කිරීමට රජයකට ඇති අයිතියවත් අධිකරණයෙන් පිළිගෙන නොමැති බවයි. ඇගේ ආධාරකරුවන් මෙම තීන්දුවට එරෙහිව රැළියක් පැවැත්වීමට ද සැලසුම් කරන බව වාර්තා වේ.
මේ වසරේ ජුලි මස 20 වනදා තායිලන්ත මහ මැතිවරණය පැවැත්වෙන තෙක් තාවකාලිකව අගමැති ධුරයේ වැඩ බැලීම සඳහා වාණිජ ඇමැති නිවත්තම්රොන්ග් බූසොන්ග්පායිසන් නම් කරනු ලැබ තිබේ. කෙසේ වුවද, රජයට එරෙහිව විරෝධතා දක්වන ආයුධ සන්නද්ධ කණ්ඩායම් මෙම මැතිවරණය පැවැත්වීමට ඉඩ දේවිද යන්නත් ගැටලු සහගතය. පෙබරවාරි මස පැවැත්වීමට තිබූ මැතිවරණයක් ද ඔවුන් විසින් කඩාකප්පල් කරන ලදී. කුමන අන්දමේ දූෂණ සිදු කළද, පියු තායි පක්ෂය 2001 වසරේ සිට මේ දක්වා පැවති සියලුම මැතිවරණ ජයගෙන තිබිම විරෝධතාකරුවන්ගේ බියට හේතුවයි. නව සංශෝධන හඳුන්වා දී තායිලන්ත දේශපාලනය පිරිසිදු කරන තෙක් මැතිවරණය කල් දමා ගැනීම විරුද්ධ පක්ෂයේ අපේක්ෂාව බව පැවසේ.

අගමැතිනිය බලයෙන් පහ කිරීමේ තීන්දුවත් සමග තායිලන්තයේ මතෛක් පැවති දේශපාලන අර්බුදකාරී තත්ත්වය තවත් උග්‍ර වනු ඇතැයි විශේෂඥයෝ පවසති. අගමැතිනිය පැන්නීමෙන් නොනැවතී රජයට ද අභියෝග කිරීම විරුද්ධ පාක්ෂියන්ගේ අරමුණ වී ඇති බව පැවසේ. කෙසේ වුවද, ‍ලේ සෙළවීමකින් තොරව නීත්‍යානුකූල අයුරින් තායිලන්ත දේශපාලනය ප්‍රතිශෝධනය කිරීමට දරන උත්සාහය දේශපාලන විද්‍යා විශාරදයන්ගේ පැසසුමට ලක් වී තිබේ.

හිටපු අගමැතිනිය යින්ග්ලක් කාන්තාවක ලෙස සියලු බාධක මැඩගෙන දේශපාලන ගමනේ ඉදිරියට පැමිණි තැනැත්තියක නොව තායිලන්තයේ හිටපු අගමැතිවරයෙකු වූ සිය සොහොයුරාගේ කර පිටින් අගමැති පුටුවට පැමිණි අයෙකි. ෂිනවත් පවුල තායිලන්තයේ ප්‍රධාන ව්‍යාපාරික සහ දේශපාලන පවුලකි. ඇගේ වැඩිමහලු සොහොයුරා වන හිටපු අගමැති තක්ෂින් ෂිනවත්ගේ දූෂිත පාලනය හේතුවෙන් 2006 දී ඔහු කුමණ්ත්‍රණයකින් බලයෙන් පහ කරනු ලැබූ අතර මේ වන විට ඔහු අධිකරණයෙන් ලබා දුන් දඬුවමක් විඳීම මගහැරීම සඳහා තායිලන්තයෙන් පිට වී ඩුබායි හි ජීවත් වේ.

සිය වැඩිමහලු සොහොයුරා දේශපාලනයට පිවිසීමත් සමග ඔහු නිසා හිස් වූ තැන පුරවමින් පවු‍ලේ ව්‍යාපාර ජාලය තුළ වැඩි බර කරට ගැනීම යින්ග්ලක්ගේ පළමු කාර්යය විය. ඇය පැරචුට් ක්‍රමයට දේශපාලන කරළියට පිළිපන්නේ සොහොයුරාගේ පසුබෑමෙන් පසුවය. බොහෝ දෙනා චෝදනා කරන්නේ අගමැතිනිය සහ ඇගේ පියු තායි පක්ෂය නටවන අදිසි හස්තය හිටපු අගමැති තක්ෂින් බවය. හිටපු අගමැති තක්ෂින්ගේ පීපල්ස් පවර් පක්ෂය 2008 දී තහනමට ලක් වීමෙන් පසු එහි මන්ත්‍රීවරුන් එක්ව පිහිටුවා ගත් පක්ෂය පියු තායි පක්ෂයයි. සිය සොහොයුරාට ආපසු සිය රටට පැමිණීමට අවශ්‍ය ෙනෙතික ප්‍රතිපාදන සලසා දෙන ක්ෂමා පනතක් සම්මත කරගැනීමට ද යින්ග්ලක්ගේ රජය පසුගිය කාලයේ උත්සාහ ගත්තේය. විරුද්ධ පාක්ෂිකයන්ගේ තදබල විරෝධය හමුවේ එම පනත අකුළා ගැනීමට රජයට සිදු විය.

මෙතරම් හැළහැප්පිලිවලට මුහුණ දී අවසානයේ ගෙදර යාමට සිදු වූයේ තායිලන්ත වැසියන් විසින් ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක දී ආදරයෙන් වැළඳගත් නායිකාවකට වීම ද විශේෂත්වයකි. 2011 මැතිවරණය අවස්ථාවේ ඇය කොතරම් ජනප්‍රියත්වයක් ලැබුවේ ද යත්, මූලික මැතිවරණවලට අනුව ඇය ජයග්‍රහණය ලැබුවේ තායිලන්ත ඉතිහාසයේ තනි දේශපාලන පක්ෂයක් විසින් පාර්ලිමේන්තුවේ බහුතරය ලබා ගත් දෙවන අවස්ථාව ලෙස වාර්තාවක් ද තබමිනි.

මැතිවරණයට පෙර වසර කිහිපය තුළ තායිලන්තයේ පැවැති දේශපාලන අස්ථාවරත්වය, විරෝධතාවල දී සිය ගණනක් මිය ගොස් තවත් දහස් ගණනකට තුවාල සිදු වීම,  ජනතාවගේ ‍පොකැට්ටුවට සෙත සැලසෙන ‍පොරොන්දු සහිත ඡන්ද ව්‍යාපාරය, ඉතා ප්‍රවේශමෙන් සැලසුම් කරන ලද යින්ග්ලක්ගේ මැතිවරණ උපාය මාර්ග සහ ප්‍රචාරණ කටයුතු මෙන්ම යින්ග්ලක්ගේ සුන්දර රූ සපුව ද මෙම වාර්තාගත ජයග්‍රහණයට හේතු වූ බව පැවසේ.