Hot!

මෝදි අගමැති වීම හෙවත් “ඉන්දීය ප්‍රජාතන්ත්‍රවාදයේ” අවසානය?

| නිලන්ත ඉලංගමුව
තවත් පැය කිහිපයකි. කොංග්‍රස් පක්ෂයේ රාහුල් ගාන්ධි අගමැති වීම පිළිබඳ ගැටලුවක් නොව මෝදි දිනන්නේද පරදින්නේද යන ගැටලුවට නිල පිළිතුර ලැබීමට නිමිතය. ඒ මැයි 16 වැනිදාය. ඉන්දීය දේශපාලනයේ වත්මන් චරිතය බවට පත් කොට ඇති මෙම අන්තවාදී නායකයා වන නරේන්ද්‍ර මෝදි ඉන්දියාවේ මීළඟ අගමැති වරයා වනු ඇතැයි බොහෝ දෙනෙකු අනාවැකි ඉදිරිපත් කරමින් සිටිති. දැනටමත් ඉන්දීය මාධ්‍ය විසින් මෝදි අගමැති බවට පත් කොට අවසානය. නමුත් ඝෝෂාකාරී ඉන්දීය මාධ්‍ය මෙවැනි දෑ සිදු කළ පළමු අවස්ථාව මෙය නොවේ. දේශපාලනයේදී මෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවේදී පමණක් නොව රටේ වැදගත් අවස්ථා සහ හදිසි අවස්ථා රැසකදීම ඉන්දීය මාධ්‍ය පූර්ව නිගමන වල පිහිටා කටයුතු කිරීමට යොමුවිය. විශේෂයෙන් 2008 දී මුම්බායි හී පිහිටි මර්මස්ථාන ඉලක්ක කරගනිමින් දින හතරක් පුරා අඛණ්ඩව සිදුකළ ත්‍රස්තවාදී ප්‍රහාරයේදී ඉන්දීය මාධ්‍ය සිදුකළ ඇතැම් කටයුතු නිසා එරට ආරක්ෂාව ගැන පමණක් නොව අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් සම්පූර්ණ වැරදි චිත්‍රයක් මවනු ලැබීය.
කෙසේ වෙතත්, මාධ්‍ය නිදහස උපරිමයෙන් සහ ජනමාධ්‍යවේදය කලාවක් ලෙස පවත්වාගෙන යාමට තවමත් ඉඩක් ඇති ඉන්දියාවේ මාධ්‍ය හැසිරීම මැතිවරණයේදී තීරණාත්මක ලෙස බලපෑ ආකාරය ඉතා පැහැදිලිව දැක ගත හැකිවිය. මාධ්‍ය අවධානය දිනා ගැනීම සඳහා නරේන්ද්‍ර මෝදි නියෝජනය කළ භාරතීය ජනතා පක්ෂය මහත් ක්‍රමෝපායිකව කටයුතු කළේය. නමුත් කොංග්‍රස් පක්ෂය තම ප්‍රචාරණ ව්‍යාපෘතියේදී අසමත් වූ බව සහ රටේ සිදුකළ සංවර්ධනය මැතිවරණ වේදිකාවට ගෙන ඒමට අපොහොසත් වීම මෝදිට තම ව්‍යාපෘතිය වඩාත් පහසු කරනු ලැබීය.
අවසන් ප්‍රතිඵලය ගැන තවමත් පවතින්නේ අවිනිශ්චිත තාවයකි. අවසන් ප්‍රතිඵලය ලැබෙන තෙක් කිසිවෙකුටත් ජයග්‍රාහකයා ගැන ස්ථීරවම ප්‍රකශ කළ නොහැකිය. විශේෂයෙන් ඉන්දීය මැතිවරණ ක්‍රමය තුළ කැමැත්ත ප්‍රකාශ කිරීම, මනාප ගණන් කිරීම මෙන්ම නිල ප්‍රතිඵලය ප්‍රකාශ කිරීම ආදී වශයෙන් වන සම්පූර්ණ ක්‍රියාවලීය නිදහස් සහ සාදාරණ එකකි. එබැවින් මාධ්‍ය මෙන්ම ඇතැම් සංවිධාන කෙතරම් අනාවැකි පල කළද ජයග්‍රහණය ගැන නිල ප්‍රතිඵලය නිකුත්වන තෙක් අදාළ අනාවැකි ගැන විස්වාශය තැබීම නොකළ යුතුය.
ඉන්දීය දේශපාලනයේ මෑත ඉතිහාසයේ ඉතාම තියුණු සහ තරගකාරී මැතිවරණයක් ලෙස දක්නට ලැබුණු අදාළ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කළ පිරිසෙහි වැඩිවීමක් සිදු වූ බව වාර්තා වේ. ඒ අනුව භාරතීය ජනතා පක්ෂය තමන්ට ඉතිහාසයේ ලැබුණු විශාලතම ජනවරම ලබා ගනු ඇතැයි විශ්වාශය පල කොට ඇත. ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අවශ්‍ය වන ලොක් සභාවේ ආසන 273 ක් අදාළ පක්ෂය හිමි කරගත යුතුය. ලොක් සභාවේ ඇති මුළු ආසන 545 න් දෙකක් පත්කරනු ලබන අතර අනෙක් සියල්ලම ඡන්දයෙන් පත්වන නියෝජිතයින්ගෙන් සමන්විත වේ.
භාරතීය ජනතා පක්ෂය තම දේශපාලන ඉතිහාසය තුළ ආසන 200ට ඉහළින් මෙතෙක් ලාබගෙන නැත. 2009 දී පක්ෂට ලබා ගත හැකි වූයේ ආසන 116 කි. තම පක්ෂ ඉතිහාසය තුළ පක්ෂය ලබාගත් ඉහලම ජයග්‍රහණය වාර්තා වූයේ 1999 දීය. එහිදී ආසන 182 ක් භාරතීය ජනතා පක්ෂය දිනා ගත්තේය. නමුත් මෙවර නරේන්ද්‍ර මෝදිගේ නැගීම සහ ඔහු සඳහන් කරන ගුජරාට් ක්‍රමය මැතිවරණයේදී මනාප වැඩිකර ගැනීම සඳහා යෝදා ගත්තේය. මෝදිට අනුව මෙවර කොංග්‍රස් පක්ෂය ආසන 100 කට වඩා අඩු වනු ඇත. එය සත්‍ය වුවහොත් භාරතීය ජනතා පක්ෂය ඇතුලත් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයට ආසන 210 ක් හිමි වනු ඇත. ඊට අමතරව ශිව සේනා සහ ශිරෝමනි අකාලි දහල් පකෂවලට අයත් ආසන සමඟින් භාරතීය ජනතා පක්ෂයට ආණ්ඩුවක් බිහිකර ගැනීමට අවශ්‍ය බහුතර බලය ලැබෙනු ඇත. මෙය අතිශය තීරණාත්මක වන්නේ නරේන්ද්‍ර මෝදිගේ භූමිකාව ඉන්දීය මධ්‍යම දේශපාලනය තුළ සෙල්ලම් කිරීම ආරම්භ කළ පසුය.
නරේන්ද්‍ර මෝදි යනු ආර්ථිකමය වශයෙන් හෝ දේශපාලනික වශයෙන් බුද්ධිමත් නායකයෙකු නොවේ. ඔහු වචනේ පරිසමාප්ත අර්ථයෙන් ගත් කළ ජාතින් සහ ආගම් අතර ගැටුම් ඇති කොට එම ගැටුම් වලින් වාසි ලබාගෙන තම දේශපාලන ගමන ගිය අයෙකි. විශේෂයෙන් ඔහු මහ ඇමති ධූරය හෙබවූ ගුජරාට් ප්‍රාන්තය යනු වාර්ගික කෝලාහලවල මර්මස්ථානයක් වූ අතර සම්පූර්ණ ඉන්දියාවේම ප්‍රතිරූපය අදාළ ප්‍රාන්තයේ මහ ඇමතිවරයා ලෙස කටයුතු කරමින් කෙළසුවේය.
නමුත් නරේන්ද්‍ර මෝදි පිටුපස අතිවිශාල වශයෙන් බහුජාතික සමාගම් පෙළ ගැසුනහ. නරේන්ද්‍ර මෝදි ඉන්දියාවේ අගමැති වුවහොත් රාජ්‍ය පාලනය සිදුවන්නේ මෙම ආන්ත දෙක මඟිනි. නරේන්ද්‍ර මෝදි ඍජුව මැදිහත් වූ ගුජරාට් ජන සංහාරය මඟින් ඔහුගේ සැබෑ චරිතය ඔප්පු කළේ 2002 දීය. ඔහු මේ වනතෙක් අදාළ අපරාධ සඳහා සමාව ගෙන නොමැති අතර අගතියට පත් පර්ශවයන්ට යුක්තිය පසිඳලීම හිතා මතාම මඟ හරිමින් සිටින්නේය. ඔහු, සංහාරයේදී සිදු වූ අපරාධවලට යුක්තිය ඉටුකිරීම වෙනුවට ප්‍රකාශ කරන්නේ යළිත් එවැන්නක් නොවීමට වග බලා ගන්නා බවයි.
එසේම ගුජරාට් ක්‍රමය යනු අසාර්ථක ක්‍රමයකට වඩා සමස්ථ ඉන්දියාවට ගැලපීම ගැන කිසිඳු විස්වාශයක් පළල් වශයෙන් ගොඩනැගී නැත. වරක් තම ප්‍රාන්තයේ සාගතය පැතිරී ඇති බවට හේතුව විමසූ විට ඔහු කියා සිටියේ , ප්‍රාන්තයේ වෙසෙන ගැහැණු දරවන් තම රූ සපුව පවත්වා ගැනීම සඳහා නොකා නොබී සිටින බවයි. එය සාගතය යැයි මිනිසුන් කියා තමන්ගේ ප්‍රතිරූපයට හානි කිරීමට උත්සහ ගන්නා බව ඔහු කිව්වේය. නරේන්ද්‍ර මෝදිගේ ටිකිරි මොළය වැඩ කරන්නේ එලෙසය. ඔහු ගැටලු වලදී පැනයාම පළමුව තෝරා ගන්නා අතර වෙස්වලා ගැනීමට ඇලුම් කරන දේශපාලඥයකි. ගුජරාට් ඇතුළු ප්‍රාන්තවල තවමත් සාගතයෙන් ළමුන් මෙන්ම වැඩිහිටියන්ද මිය යන බව නොරහසකි. කෙසේ වෙතත් ආර්ථිකය සම්බන්ධයෙන් වඩාත් වැදගත් මැදිහත්වීමක් කිරීමට කොංග්‍රස් පක්ෂය සමත් වූ බවට විවධයක් නැත. එය ආචාර්ය අමර්ත්‍යා සෙන් පවා ප්‍රසිද්ධියේ පිළිගෙන ඇති කාරණයකි.
කෙසේ වෙතත් තවත් පැය කිහිපයකින්. ඉන්දියාව නව අගමති වරයෙකු තෝරාගනු ඇත. ජනතාවගේ තීරණය නරේන්ද්‍ර මෝදි වුවහොත් ඉන්දියාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්ම පිළිබඳව වන බරපතළ ප්‍රශ්ණය ඇති කරනු ඇත. දෙස සීමාවල අර්බුද වෙනම හැඩයක් ගනු ඇත. එමඟින් කලාපයේ බොහෝ දෑ වෙනස් වීම නොවැලක්විය හැකි කාරණයක් වනු ඇත. සෑම දෙනෙකුටම ඇති බරපතළ ගැටලුව හෙවත් නරේන්ද්‍ර මෝදි හිතා මතාම උත්තර දීම මඟහරිමින් සිටින ගැටලුව නම්, ඉන්දියාවේ මීළඟ අගමැතිවරයා ලෙස වාර්ගික කෝලාහල ඇති කොට වාර්ගික සංහාරයක නිරත වූ අයෙකු, ඔහුගේ එම ඇත්ත අතීතයෙන් ඉවත් කොට, දේශපාලඥයෙකු ලෙස පිළිගන්නේ කෙසේද යන්නය? මෙය ලෝකයේ විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රටෙහි ප්‍රජාතන්ත්‍රවාදයෙහි පැවැත්ම පිළිබඳ වන ගැටලුවක් බවට පත්වීම වීම වැළක්විය නොහැකිය.