Hot!

අදේශපාලනික රාජපක්ෂගේ දේශපාලනය සෙවීම

| නිලන්ත ඉලංගමුව

චම්පික රණවක සහ විමල් වීරවංශ අනාගත දේශපාලනය තුළ  සිදුකිරීමට නියමිත යැයි සැලකෙන මැජික් සම්බන්ධයෙන් සිහින මැවීම සහ රනිල්, සුමන්තිරන් වැනි දේශපාලනඥයින් සමඟ ඔවුහු ගැලපීම විහිළුවකට එහා ගිය දෙයකි. සැබවින්ම එහි විනෝදජනක ආස්වාදයක් ඇත. නමුත් අප විසින් නිර්මාණය කරණ එවැනි කල්පිත වූ කලී පද්ධතිය තුළ දිය වී ඇති බුද්ධිමය නැමියාව සහ ඒ වෙනුවට ආදේශ වී ඇති සිහින මත පදනම් වූ න්‍යායික ඛේදවාචකය තුළ විසඳුම් ඇහිඳීම අපි එකිනෙකා පැටලී සිටින අවුලේ ප්‍රකාශනයකි. මෙය රාජපක්ෂට අතිශය වාසි ගෙන දෙනවා පමණක් නොව, රාජපක්ෂ තව දුරටත් තමන් දීන ලෙස පරාජය කිරීමට හැකි බලවේගයක් ජනතාව විසින් ඇති කිරීම බැරෑරුම් කිරීමට මෙය පිටිවහලක් කරගනු ඇත.

අදාළ අන්තවාදී බලවේග ද්විත්වයට,  ක්‍රමෝපායික ට්‍රෝජන් වීරත්වයක් ආදේශ කිරීමට යන්ත දරමින් ඔවුහු රාජපක්ෂගෙන් ව්‍යුක්ත වී සිටින චරිත බව හුවා  දැක්වීම අප අපට කරගන්නා ස්‌වයං අපහාසයකි. එනමුත් එම ද්විත්වය  අනුර කුමාර සමඟ ගැලපීමේ වරදක් නැත. මන්ද අනුර යනු ඔවුන් හා සමාන ගතිගුණ ඇති කාසියක අනෙක් පැත්ත නියෝජනය කරණ අයෙකි. ඔහු ඔහුගේ ලෝකය තුළ ප්‍රභල ආකර්ෂණයක් දිනා ගැනීමට හැකි මට්ටමට තල්ලු වීම් වූ කලී කිසිවක් නැති තැනට යමක් ලැබීමකි. එය කිසිවක් නැති තැනක් බවට පත් කරනු ලැබුවේද අනුර වැනි අයවලුන් විසින්මය. මෙය දීර්ඝ වශයෙන් කතා කළ යුතු පුළුල් මාතෘකාවකි. නමුත් ලංකාවේ දේශපාලනය තුළ කිසිවක් නැති තැනට යමක් ලබාගත් අයවලුන් ඉතා කෙටි දුරක් ගිය අතර ඔවුහු විවිධාකාරයේ නෂ්ඨ වීම් වලට බඳුන් විය. ධර්මරාජ්‍යය මෙන්ම පංච මහා බලවේගය අවසානයේදී නිරුවතින්ම නැටීමට සිදුවූයේ මැදමුලනේ තාලයටය.

ඔවුන්ගේ වත්මන් හැසිරීම, රැගෙන ඔවුන්ගේ වීර කතා නවාකාරයක සචේතනික මෙන්ම ආවේණික අවංක උපායක් ලෙස හුවා දැක්වීම  සහ රාජපක්ෂ සමඟ එක්ව ඔවුහු රටේ හානියට සිදුකළ කටයුත්ත දශමයකට මායිම් නොකර ඔවුහු රට වටේ එක වටයක් ගිය පසු මහජන මතය වෙනස් වන්නේය, නමැති ඔවුන්ගේ අඥාන වීරත්වයට අත්පොලසන් දීම සැබවින්ම එක පැත්තකින් ඔබ වෙලී සිටින මෝඩ කමකි. අනෙක් අතින් එය විසින් ඔබ තැටමීමට උත්සහ කරනු ලබන්නේ  ගතික බලය සහ සංස්කෘතික අවුල හමුවේ තම අපල දුරුවීම සඳහා අතේ බැඳගත් පිරිත් නූල තබාගෙන ඇමෙරිකානු ඩෙනිම ඇඳ කොණ්ඩයට ජෙල් ගෑම පිළිබඳව වූ  පැරණි අභියෝගයට මුහුණ දීම පිළිබඳවය.  මෙම පැරණි අභියෝගය, උතුරේ ප්‍රභාකරන් විසින් සේම දකුණට පැමිණි නිල් චිත්‍රපට වලින් මුළුමනින්ම අතුගා දමනු ලැබූ මෝහය වන අතර, එය තේරුම් ගැනීමේදී  කාලය  පමණක් වෙනස් විය. එම තේරුම් ගැනීමට ගත කළ කාලය තුළ විමල් මෙන්ම චම්පිකද චරිත බවට පත් වූහ.

වෙනස සිදු වී ඇත. එම වෙනස තේරුම් ගැනීමට සහ අනෙකාට තේරුම් ගැනීමට ඉඩ සැලසීම සඳහා ගත වන කාලය තුළ කක්කුට්ටන්ද ඍජුව ගමන් කරන බව ඕනෑම අයෙකුට කිව හැකිය. රටේ පවතින්නේ කක්කුට්ටන් විසින් කක්කුට්ටන් තේරුම් ගැනීම පිළිබඳව වන ප්‍රශ්නයක් නොවේ. රටේ පවතින්නේ මිනිසා පිළිබඳව කක්කුට්ටන්ගේ කියවීමක්ද නොවේ. එනම් රටේ පවතින්නේ කක්කුට්ටා පිළිබඳව වන මිනිස් කියවීමකි. ඒක රාශි විය යුත්තේ එයටය. ඔබ ඊට අනුගත නොවන්නේනම්, ඔබද  පුරාණ ග්‍රීක ඛේදවාචකයට නව ශ්‍රී ලාංකික සිදුවීම් එකතු කරන්නෙක් පමණි.  කල්පිත සකස් කොට එම කල්පිත සැබෑ ලෝකයේ  සිදු වුවහොත් තමන්ගේ මෝඩ උජාරුව පෙන්විය හැකිය. “ඕකනේ මම කිව්වේ,” වූ කලී මෙම බුද්ධිමය ස්‌වයං-වින්දනයේ සංස්කෘතිකගත කුහක විනිශ්චයේ ප්‍රකාශනයයි.

“ලාංකික මාක්ස්වාදීන්”, තම මාක්ස් සිදුරු සහිත සාක්කුවෙන් එළියට ගෙන විමල්ට තඩිබාන ලෙස අණ කළ පසු වැලහින්නක මෙන් හඬා වැටුණු විමල්ට හමු වූ වඩාත් පහසු සහ තිබු බලයට වඩා තම බලය වැඩි කරගත හැකි ක්‍රමය වූයේ, පෙර දිනයේ චම්පික සහ අතුරලියේ රතන හිමි විසින්, මහාචාර්ය නලින්ද සිල්වාගෙන් “උදුරාගනු” ලැබූ නෛතිකයම නොවන සහ එය නොවන්නේත් නොවන්නක් සමඟ පණුවෙකු මෙන් එල්ලීමය. මේ ආකාරයේ දේශපාලන උපායන්  කිසිවෙකු හෝ කියන්නේ නම්  ක්‍රමෝපායික වැඩක් සහ එමඟින් රටේ එක් වටයක් ගොස් ඉන් තම සෙල්ලම දැමිය හැකි යැයි, ඊට දිය හැකි සරලම පිළිතුර වූ කලී වෙන කිසිවක් නොව, ඔබ රෑ වැටුණු වලේ දවල් යළි යළිත් වැටීමට නොව ඔලුවෙන් හිටගෙන පැනීමට උත්සහ කරන්නක් බවයි.

විමල් වීරවංශ හෝ චම්පික රණවක අවංක චේතනාවෙන් රාජපක්ෂට එරෙහිව එක අඩියක් හෝ තැබුවහොත්, එක්සත් ජාතික පක්ෂය මෑතකදී හම්බන්තොටදී ඉගෙන ගත් පාඩමට වඩා ගුණාකාර කිහිපයකින් වැඩි පාඩමක් ඉගෙන ගනු ඇත. එහි ස්වභාවය සහ හැඩරුව වෙනස් විය හැකිය නමුත් රාජපක්ෂගේ අපේක්ෂණය එක සමානය.  දේශාපාලනය නාමයෙන් අදේශපාලනය සෙල්ලම් කරන්නේ එලෙසය. මෙය අවැසි කළ අවැසි ලෙස වඩා හොඳින් සිදු කිරීමට රාජපක්ෂ දන්නේය.

ඔවුහු කලකෝලාහල කළ හැකි අයවලුන් වෙති. නමුත් රටේ පවතින බරපතල ගැටලුවට ඔවුන් සතුව විසඳුම් නැත. එම විසඳුම් පැතිර පවතින්නේ චම්පික මෙන්ම විමල්ලා පසුගිය කාලය පුරාම සිදුකරනු ලැබූ දේශාපලන වංචාවට ඉඩක් නැති තැනය. එය නැති වීම වූකලී විමල් මෙන්ම චම්පිකද දේශපාලනික නැති වීමකි. මෙම යථාර්ථය පසෙක තබා නිවටයින් සේ රටේ බරපතල හානියක් කළ බලවේග වලට වීරත්වයක් ආදේශ කිරීම සහ ඔවුන් මාර්ගයෙන් රාජපක්ෂ හිරිවැටී බිමට පතිත වන්නේය, යන්න අපේක්ෂා කිරීම දෙවැනි වන්නේ පිටසක්වලින් පැමිණ රටේ විපක්ෂයක් තැනීමේ භාරදූර කටයුත්ත කරනු  ඇතැයි සිහින මැවීමටය.

අමතක නොකළ යුතු කරණය වන්නේ, බිරිඳ සමඟ පවතින තම සුළු ආරවුල ලිහා ගැනීම සඳහා, පෑළ දොරෙන් පැන යන ස්වාමිපුරුෂයා වෙනුවෙන් හඬා වැළපූ ස්ත්‍රීය නැමති දේශපාලනය වත්මන් ලංකාවේ වලංගු භූමිකාවක් නොවේ. මන්ද නිවසේ ඉදිරි දොර අභියස පෝලිම් ගැසී සිටින පිරිමින් ගැන අදාළ ස්ත්‍රීය වඩාත් හොඳින් දන්නා හෙයිනි. 

අදේශපාලනික රාජපක්ෂගෙන් දේශපාලනය බලාපොරොත්තු වීම නැමති අවුල තුළ චම්පික මෙන්ම විමල්ද දේශපාලනික වශයෙන් මහා මොළකාරයින්ය. එය එසේ නොවන බව සමස්ථ රට, තවත් එක්  නරි නාඩකමක් නැටීමට පෙර තේරුම් නොගතහොත් විමල් මෙන්ම චම්පික ඇතුළු “ දේශ හිතෛෂී” කඳවුර එක්ව, සම්මත කරගනු ලැබූ 18 වන ව්‍යවස්ථා සංශෝධනයට පෘථුල සදාරණත්වය ලැබෙනු ඇත. එය කාගේ ආශිර්වාදයද යන්න සිතා බැලිය යුතු අත්‍යවශය කාරණයකි. අපි තවදුරටත්, කක්කුට්ටන්ට මිනිසුන් කියවීමට ඉඩදෙනේද? මිනිසා විසින් කක්කුට්ටා කියවන්නේද යන්න තීරණය කලයුතු කාලය යළිත් පැමිණ තිබේ.