Hot!

ජත්‍යන්තර විමර්ශණයකට සහයෝගය නොදක්වන බවට රජය නිළ වශයෙන් මෙතෙක් ප‍්‍රකාශ කර නැහැ

ජාත්‍යන්තර විමර්ශණයකට විරුද්ධව රජය විසින් රට අභ්‍යන්තරයේ විවිධ අදහස් දැක්වුවත් එ් සම්බන්ධව නිල වශයෙන් මෙතෙක් කිසිදු ප‍්‍රකාශයක් සිදු කර නොමැති බව පසුගිය සතියේ දී එක්සත් ජාතීන් විසින් නිකුත් කළ නිවේදනයක සදහන්ව ඇති බව ආසියානු මානව හිමිකම් කොමිසමේ නීතිඥ බැසිල් ප‍්‍රනාන්දු මහතා ප‍්‍රකාශ කර සිටී.

ඔහු එම අදහස් පළ කලේ අයිතිය වෙබ් අඩවිය මගින් ආරම්භ කළ රට ගොඩනැගීමට නම් සංවාදය සදහා සංවාදයට එකතුවෙමිනි. ඔහු සමග පැවැත් වූ සම්පුර්ණ දුරකතන සංවාදය පහත දැක් වේ.

රට ගොඩගැනීමට නම්....

ඉහත මාතෘකාව යටතේ ‘අයිතිය’ වෙබ් අඩවිය විසින් ආරම්භ කළ සංවාදය සදහා ආසියානු මානව හිමිකම් කොමිසමේ නීතිඥ බැසිල් ප‍්‍රනාන්දු මහතා දැක් වු අදහස්....

පසුගිය කාලය තුළදි ජාත්‍යන්තර සංවිධාන විසින් විශේෂයෙන් එක්සත් ජාතින්ගේ සංවිධානය මගින් ලංකාවේ නීතිය බිඳ වැටීම පිළිබදව සහ මානව හිමිකම් උල්ලංඝණය වීම පිළිබඳව ප‍්‍රබල චෝදනා රැසක් එල්ල කළා. මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර විමර්ශනයකටත් යෝජනා සම්මත වුණා. යෝජනා සම්මත වෙලා දැනට මාස දෙක තුනක් ගත වෙනවා. මේ සම්බන්ධයෙන් දැනට ගෙන ඇති ක‍්‍රියා මාර්ග මොනවද ?

ලංකාවේ නීතිය කඩා වැටිල තියෙනවා කියන්නේ කුමක්ද කියලා මුලින්ම තේරුම් කර ගත යුතුයි. මොකද, හුඟ දෙනෙක් ඔය වචනය ඔහේ කියනවා. නමුත් මේකේ අර්ථය මොකක්ද? ඒ ප‍්‍රශ්නය පැහැදිළිකර ගන්න යනකොට අපිට පෙනෙනවා වැඩි වශයෙන්ම ඒ ප‍්‍රශ්ණේ ගැන කැක්කුමක් තිබෙන මිනිස්සු ඉන්නේ රටින් පිට නෙවෙයි, මේ රට ඇතුලේ කියලා. රට ඇතුලේ අද ඉන්න ජනගහනයෙන් බහුතරයකගේ හිතට වද දෙන ලොකු ප‍්‍රශ්නයක් විධියට තමයි මේ නීතියේ ප‍්‍රශ්නය තිබෙන්නෙ. 

මොකක්ද මේ නීතියේ ප‍්‍රශ්නය? අපි සමාජයේ ජීවත්වෙන කොට මිනිස්සු මිනිස්සු අතරම ගැටුම් ඇතිවෙනවා, ඒක ස්වභාවිකයි. අපි පාරේ වාහනයක් පදවගෙන යන කොට තවත් වාහන රාශියකට මුහුණ දෙන්න  ඕනෙ. යන එන මිනිස්සුන්ට මුහුණ දෙන්න  ඕනෙ. මේ හැම එකක්ම පොඞ්ඩක් වැරදුනොත් ගැටළුවක් බවට පත්වෙනවා. මොකද එතැනදී එක පැත්තක නැති නම් තව කෙනෙකුගේ ජීවිතයක් පවා නැති වෙන්න පුළුවන්. ඒ වගේ තමයි හැම දෙයක්ම. ව්‍යාපාරයක් කරන්න ගියත්, ජීවිතයේ මොනම කාරණාවකදිත් ස්වභාවයෙන්ම සමාජ ජිවිතයේ ගැටළු තිබෙනවා. ඒ නිසා සමාජය විශාල කාලයක් තිස්සේ, ශතවර්ශ ගණන් තිස්සේ හදාගෙන තිබෙනවා එකිනෙකා අතර එකඟ වෙච්ච යම් විධි ක‍්‍රම. මේවාට තමා කියන්නෙ රටක සදාචාර පද්ධතිය කියලා. මුලික වශයෙන් රටක සදාචාරය කියන්නේ මේ කලා කෘතීන්, භාෂාව වගේ දේවල් නෙවෙයි. එදිනෙදා ජීවිතයේ කාටත් කරදරයක් නැති විධියට සමහර වෙලාවට කාටත් හොඳක් වෙන්න පුළුවන් විධියට එකිනෙකා අතර ජීවිතය ගෙනිය ගන්නේ කොහොමද කියන එක, මේ පද්ධතියත් මුලිකවම ඇතිවෙන්නේ මානසීකව හා සමාජීකව සිතලා මිනිස්සු අතරින්මයි. 

ලෝකය දියුණු වෙනකොට, ආණ්ඩු ඇතිවෙන කොට ඒ ආණ්ඩු ඇවිල්ල ඒ සාදාචාර පද්ධතින් නීති බවට හරවනවා. එතකොට නිකම් එකඟතාවයක් විතරක් නොවෙයි, රටේ නීතියෙනුත් තියෙනවා අසවල් අසවල් දේවල් මේ විධියටයි කරන්නේ කියන එක. සියලූම දෙනා ඒ නීතිය අනුගමනය කළොත් කරදරයක් නැතිව කාටත් ඉන්න පුළුවන් බව හැමෝටම පේනවා. අන්න ඒ විධියට තමයි මේ නීතිවල පැණනැගීම සිදුවන්නේ. විශේෂයෙන්ම අපරාධ නීතියේ පැනනැගීම සිදුවෙන්නේ. ආණ්ඩුව තිබෙනවා මිනිසුන්ගෙ අනුමැති උඩ. එ් හදාගත්තු නීතිය උඩ ආණ්ඩුව කියනවා මිනිහෙක් මරන්න බැහැ. මැරුවොත් මෙන්න මේකයි අපි කරන්නෙ. අල්ල ගන්නවා, නඩු අහලා ඔප්පු උනොත් එල්ලූම්ගස් යවනවා. එහෙම නැත්නම් ජීවිතාන්තය තෙක් හිරේට යවනවා කියලා. ඒ අනුව කියනවා අසවල් දේවල් මේ සමාජයෙ කරන්න බැහැ. කෙරුවොත් ඒවට දඬුවම් තිබෙනවා. 

මෙන්න මේ පද්ධතිය මත තමයි රටේ නීතිය හැදෙන්නෙ. විශේෂයෙන් ම ඉංග‍්‍රිසින් මෙරටට ආවාට පස්සේ මිනිසුන්ගේ් ජීවිත සාමකාමිව ගතවුණේ මේවා මත. කවුරුවත් ඇවිත් කාටවත් පිහියෙන් අනින්නෙ නැහැ කියලා, සැනසීමෙන් පාරට බහින්න පුළුවන්, සැනසීමෙන් ගෙදර නිදාගන්න පුළුවන්, ඒ වගේම කාන්තාවකට බියක් සැකක් නැතිව පාරේ බැහැල යන්න පුළුවන් කියලා මිනිස්සු හිතන්න ගත්තේ මේ විධියේ නීති පද්ධතියක් තිබුණු නිසයි. 

දැන් මේ නීති පද්ධතිය ක‍්‍රියාත්මක කරවා ගන්න හදනවා තවත් සංස්ථාවක් නැතුව. ඒකට තමයි අපි කියන්නේ පොලීසිය කියලා! මේ පොලීසියට ලබා දෙනවා බරපතල වගකීමක්, ඒ තමයි තමන්ට අපරාධයක් වුනා කියා මිනිස්සු පැමිණෙන විට කරුණාකර එය නිවරැුදිව වාර්තා කරගන්න. ඔබලා රජය වෙනුවෙන් ඉන්නේ. ඒ නිසා මෙය නිවරැුදිවම වාර්තා කරගත යුතුයි. ඊට පසුව ඒ සම්බන්ධව පරීක්‍ෂණ පවත්වන්න. ඒ සඳහා අවශ්‍යකරන වාහන දුරකථන, බලතල යනාදි පහසුකම් සළසා දෙනවා. ඒ වගේම අත්අඩංගුවට ගැනීමේ බලතල ලබා දෙනවා. මේ කාර්යය හරියට කරන්න කියලා ඉල්ලා සිටිනවා ,මොකද අපට අවශ්‍යයි මේ රටේ අපරාධ නැති කරන්න. ඒ නිසා ඔබට විශාල වගකීමක් පැවරෙනවා මේ කියන පැමිණිළි භාර අරගෙන, පරික්‍ෂා කරලා වැරදිකරුවන් ඉන්නවානම් ඒ අය අත්අඩංගුවට අරගෙන උසාවියට ඉදිරිපත්කරලා, මේ මාර්ගයෙන් අපරාධ නැතිකරගන්න මිනිස්සු ගෙනයන උත්සාහයට සහාය දෙන්න. රජය ගෙනයන ක‍්‍රියාමාර්ගවලට සහයෝගය දෙන්න කියලා. නීතිය කඩා වැටුණා කියලා අපි කියන්නේ අන්න ඒ ක‍්‍රියාමාර්ගය කරගන්න පොලීසියට බැරි වුණාම. ඒකයි නීතිය කඩාවැටීම කියන්නෙ.  

මෙතනැදි තවත් ප‍්‍රශ්නයක් තිබෙනවා නේද මහේස්ත‍්‍රාත්වරයාගේ වගකීම සම්බන්ධයෙන්?

ඔව් ඊට සම්බන්ධ මහේස්ත‍්‍රාත්වරයාගේ වගකීමකුත් තිබෙනවා. උසාවියේ වගකීම තිබෙනවා. කිහිප දෙනෙක්ගෙම වගකීම් තිබෙනවා. නමුත් ඒ එක වගකීමක්වත් හරියට කරන්න බැහැ මග වැරදුනොත්. මොකද මහේස්ත‍්‍රාත්වරයාට බැහැ ප‍්‍රශ්න විසඳන්න. මහේස්ත‍්‍රාත්වරයාත් කථා කරල කියන්න  ඕනේ පොලීසියට. පොලීසියේ රාජකාරිය හරි හැටි කරගන්න බැරිවුනාම තමයි නීතිය කඩා වැටීම තියන්නෙ. ඔය රාජකාරිය හරියට ඉටුනොවී රටක ජනතාවට සාමකාමිව ජිවත්වීමේ පදනම නැතිව යනවා. අපි මුලින් කියපු ගැඹුරු සදාචාරාත්මක පදනමට පහර වදින්න පටන්ගන්නවා. සාමාන්‍ය ජන ජීවිතයට අදාලව මතුවන ගැටළු වලදී මැදිහත්වීමට ස්ථාපිතව ඇති ආයතනය තමයි පොලීසිය. නමුත් අද පොලීසිය එ් සම්බන්ධව කි‍්‍රයාත්මක වෙන්නේ නැහැ හෝ එසේ කි‍්‍රයාත්මක වීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා. අන්න ඒකට තමයි අපි කියන්නෙ ප‍්‍රධාන වශයෙන්ම නීතිය කඩා වැටෙනවා කියලා. 

පොලීසියෙ පොඞ්ඩක් වැරදි තිබෙනවා නම් එතන හදන්න පුළුවන්. ඒක අහන්න තැනක් තිබෙනවා. ඒ තමයි අධිකරණය. මහේස්ත‍්‍රාත්තුමා තමයි මිනිස්සුන්ට කිට්ටුවෙන්ම ඉන්න නීති නිළධාරිතුමා. සෑම ප‍්‍රදේශයකම තිබෙනවා මහේස්ත‍්‍රාත් උසාවියක්. එයාලඟට තමා මිනිහෙක්ව අත්්ඩංගුවට ගත්තම ගෙනියන්නෙ. සුළු සුළු හැම කාරණාවකදීම එයා තමා වැදගත් සාධකයක් වෙන්නෙ. එතැනදීත් මේක හදන්න බැරි තත්ත්වයක් තිබෙනවා නම්, පොලීසියෙන් කළ යුතු මැදිහත්කම නොකිරීම හදන්න බැරි තත්ත්වයට මහේස්ත‍්‍රාත්වරු පත්වෙලා තියෙනවා නම් හරි, මහේස්ත‍්‍රාත්වරුන්ගේ රාජකාරිය කරන්නෙ නැත්නම් හරි, කියන්නේ නීතියේ කඩාවැටීම තව උග‍්‍රවෙනවා. ඒ ගොල්ල අතින් කරන්නෙ ඒකයි. නීතියේ කඩාවැටීම තවදුරටත් උග‍්‍ර කිරීම.  ඕනෙම වර්ගයක අපරාධයක් සිදු වුවහොත්, එම අපරාධය සම්බන්ධව පරික්‍ෂණ පවත්වලා එය අධිකරණයට ඉදිරිපත් කරන්න සිටින එකම සංස්ථාවයි පොලීසිය, නමුත් අද එ් සංස්ථාව සම්පුර්ණයෙන් කඩා වැටිලා. 

අපි දැන් ඔය කතා කරන ජාත්‍යන්තර පරික්‍ෂණය එන්නෙ කොතැනින්ද? ලෝකය කියනවා, මිනිස්සු පැමිණ අපිට කියනවා, අනේ අපේ මිනිමැරුමක් සිද්ධ වුණා, ස්ත‍්‍රී දුෂණ සිද්ධ වුණා, නොයෙක් නොයෙක් ආකාරයෙන් අතවර අපරාධ සිද්ධ වුණා, මේ කිසිම දෙයක් ගැන හොයන්න බලන්න කිසිම කෙනෙක් නැහැ, අපිට යුක්තියක් ලබා දෙන්න කියලා. යම් රටක් එ් රටේ සිදුවුනු අපරාධ සම්බන්ධව කි‍්‍රයාත්මක නොවන කොට කි‍්‍රයාත්මක වීම සදහායි මේ ජාත්‍යන්තර සම්මුතීන් හැදුනේ. එවැනි සම්මුතීන් නැතිවුණොත් ඒ රටවල මිනිස්සුන්ට ජීවත් වෙන්නට නොහැකි තත්ත්වයක් ගොඩනැගෙනවා. අද අපිට ජාත්‍යන්තර පරික්‍ෂණයක් ගැන කථා කරන්න සිදු වෙලා තිබෙන්නෙ, අපේ අභ්‍යන්තර යාන්ත‍්‍රණය බරපතල ලෙස බිඳ වැටිලා එ් සම්න්ධව ඇති ප‍්‍රශ්ණ විස`ද ගන්න බැරි තත්ත්වයක් උදා වී ඇති නිසයි. 

නීතියේ මේ කඩාවැටීම් සම්බන්ධයෙන් පොලීසියෙන් ඇසුවොත් ඇයි ඔයගොල්ලන්නට මේ රාජකාරි කරන්න බැරි? ඇයි මේවා නොකර ඉන්නේ ? ඇයි මේ වගේ අපරාධ මේ රටේ මිනිස්සුන්ට කරන්නේ? කියා විමසුවාම ඒ අය කියන්නේ ”අනේ අපිට අපේ රාජකාරිය කරන්න දෙන්නෙ නැහැ.” මේ රාජකාරි කරගෙන යන්න දෙන්නෙ නැත්තෙ කවුද?, අපේම ආණ්ඩුව. අපේම බලවත් දේශපාලඥයෝ. අනේ ඒ ගොල්ලන්ව හදන්න අපිට බැහැ. අපි ඒගොල්ලන්ගේ සේවකයෝ. ඒ නිසා අපි ඒගොල්ල කියන විධියට නොකොළොත් අපේ රස්සාව නැතුව යනවා. අපි පොලිස්කාරයෝ වෙලා ඉපදුණේ නැහැනේ. අපි රස්සාවකට තමයි පොලීසියට ආවේ. ඉතිං මෙතන තියෙන්නෙ, අපි රාජකාරි කරන්න ගිහිල්ලා, අපේ ආණ්ඩුව අපේ රස්සාව නැති කරනවා නම්, අපි රාජකාරිය නොකර ඉන්නම්. ආණ්ඩුව හැර තිබෙන්නට පුළුවන් තවත් හේතු මොනවාද ? තමන්ගෙ තත්ත්වය ප‍්‍රයෝජනයට ගන්න පොලිස් නිළධාරීන් ඉන්නවා, පගා ගන්න අය ඉන්නවා, මැරවරයින් එක්ක සම්බන්ධකම් තිබෙන අය ඉන්නවා, නමුත් මේ එකක්වත් ඇතිවෙන්න ඉඩක් නැහැ ආණ්ඩුව හරියට මැදිහත්වෙලා තිබුණා නම්. මෙවැනි තත්ත්වයන් ඇතිවීමට පවා වග කියන්න  ඕනෙ ආණ්ඩුව. ආණ්ඩුවක් විසින් නීතිය කඩකරලා රට අරාජික තත්ත්වයකට යන්න රටට ඉඩ හරිනවා නම් ඒ රටේ මිනිස්සු ඒක විඳගෙන ඒකෙ නහින්න  ඕනෙද? 

ඔය අවුරුදු ගණන් හදාගත්ත සදාචාරයක් අවශ්‍යත් නැහැ. කාන්තාවන්ට කොහොම සැළකුවත් අපිට ප‍්‍රශ්නයක් නැහැ. මොන යකාව කවුරු මැරුවත් අපිට කමක් නැහැ. කොයි විධියට පාරේදි හොරකම් කළත් කමක් නැහැ.....එහෙම කියන්න පුළුවන් ද? නමුත් එහෙම කියන තත්ත්වයක් අද ලංකාවේ තියෙනවා. ඒ නිසාවට ඇති වුණු එක් උත්සාහයක් හැටියට තමයි අද මේ ප‍්‍රශ්ණ ජාත්‍යන්තරයට ගියේ. ජාත්‍යන්තර පරික්‍ෂණයක් කරනවා කියන්නේ, ජාත්‍යන්තරය ඇවිත් ලංකාවේ පොලීසි භාරගන්නවා කියන එක නෙවෙයි. ඒ ගොල්ලන්ට යම් උත්සාහයක් ගන්න පුළුවන් නැවතත් රට තිබිය යුතු ක‍්‍රමයේ තබන්නට යම් ආධාරයක් වෙන්නට. බලාපොරොත්තුවෙන අවසාන ප‍්‍රතිඵලය ඒකයි. ආණ්ඩුවේ මැදිහත්වීම් නිසා පොලීසිය නොකරන සමහර පරීක්‍ෂණ සිදුකරලා එනම් වැදගත් විශාල කාරණා ඒ වගේම මිනිමැරුම් වැනි දේ පිළිබඳ පරීක්‍ෂණ කරලා තිබිය යුතු නීති පද්ධතිය නැවත හදා දෙන්න කරන උත්සාහයක්. මේකට තමයි ජාත්‍යන්තර මැදිහත්කමක් කියන්නේ. 

සමහර අයට මෙහෙම කියන්නත් පුළුවන්, ඔය කොච්චර කිව්වත්  ඕවා වටේට ලොකු ලොකු දේශපාලන වැඩකරන්න තමයි මිනිස්සු එන්නෙ කියලා.  ඕනැ දෙයෙක්  ඕන කෙනෙකුය කියන්න පුළුවන්. සමහර වෙලාවට එහෙම වෙන්න සුළු සුළු ඉඩකඩකුත් තිබෙනවා. නමුත් අපි මේ කථා කරන්නේ දෙවන ලෝක යුද්ධයෙන් පසුව සෑම රටක්ම මැදිහත්්වෙලා හදාගත්ත සංස්ථාවක් ගැන. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂම කියලා කියන්නේ, ලංකාවත් ඇතුළුව, හැම රටක්ම මැදිහත්වෙලා හදාගත්ත සංස්ථාවක්. ඉතිං ඒ සංස්ථාව කියනවා ඔයගොල්ල කරන්නෙ නැත්නම් අපි මැදිහත්වෙලා කරනවා. මොකද අපිටත් තියෙනවා වගකීමක් කියලා. මුළු ලෝකෙම හැරිල අපෙන් අහනවා අහවල් රටේ මෙහෙම වෙනවා, ඔයාලට පැමිණිළි කරලත් තියෙනවා, ඔයගොල්ල මොකද කළේ ? එතකොට කිව්වොත් මුකුත් කරන්න  ඕනෙ නැහැ කියලා, ඒ කියන්නේ අපේ සංස්ථාව වහල දාන්න  ඕනෙ කියලද ? ඒ කියන්නෙ එක්සත් ජාතින්ගේ මණ්ඩලය වහල දාන්න  ඕනෙ කියලද ? ලංකාවේ පොලීසි වහලා දාලා තියෙනවා වගේ මානව හිමිකම් කොමිෂම වහල දාන්න  ඕනෙ කියන එකද?  

අනාගතයෙදි මේ විමර්ශන කටයුත්තට රජය සහයෝගය ලබා නොදුන්නොත් තත්ත්වය කුමක් වේවිද ?

මේ රටේ මිනිස්සුන්ගේ අතේ ඒක තියෙන්නේ. මිනිස්සු මැදිහත් වෙන්න අවශ්‍යයි ඒ අවස්ථාවදි. රජයට සම්පුර්ණයෙන්ම මීට සහයෝ්ගය නොදී ඉන්න බැහැ. එ්කට හේතු තිබෙනවා. මොකද, මේක එන්නේ ලෝකේ තිබෙන ඉහළම මානව හිමිකම් මණ්ඩලයෙන්. ඒක සම්පුර්ණයෙන්ම එක්සත් ජාතින්ගේ බලය යටතේ පවතින දෙයක්. අද වෙනතුරු ලංකාව නිල වශයෙන් කියලා නැහැ සහයෝගය දෙන්නෙ නැහැ කියලා. අද එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලයෙන් නිවේදනයක් නිකුත් කරලා තියෙනවා ඒකෙ කියා තිබෙනවා ලංකාව නිල වශයෙන් අපට දැනුම් දීලා නැහැ අපේ පරීක්‍ෂණයට එගොල්ල ඒ වගකීමෙන් ඉවත් වෙනවාය, සහයෝගය දෙන්නෙ නැහැ කියා නිල වශයෙන් කියා නැහැ. ඔය ලංකාවේ පත්තරවලයි , රැුස්වීම්වලයි ඒ ගැන එක එක දේ කියන එක වෙනම දෙයක්. නමුත් නිල වශයෙන් ජාත්‍යන්තරයට එහෙම දැනුම් දීමක් කර නැහැ. නමුත් එසේ දැනුම්දෙන තත්ත්වයක් ආවොත් ලංකාවට විශාල වශයෙන් අවාසිදායක තත්ත්වයන් ඇතිවෙනවා. එකක් තමයි නොයෙක් සම්භාධක පැනවීමේ ඉඩක් මෙහි තිබෙනවා. 

මොනව කිව්වත් ලංකාවේ භාණ්ඩ ඇමරිකාවට යැවීම තුළින් තමයි යම් තරමක ආදායමක් රටට ඇතුලට එන්නේ. මේ යෝජනාවේදි වෙන කාගෙවත් අවසරයක් නැතිව හරි මේක කරන්න පුළුවන් ඇමරිකාවට තනියමත්,  අනික් රටවලටත් පුළුවන් ! අවසාන වශයෙන් නිල වශයෙන් එක්සත් ජාතින්ගේ මණ්ඩලයටත් මේ පියවර ගන්න පුළුවන්. මේකෙන් මොකද වෙන්නේ ? රජයේ මේ ක‍්‍රියා මාර්ගයෙන් අමාරුවේ වැටිල ඉන්න මිනිස්සුන්ව තවත් අමාරුවෙ දාන එකනේ කරන්නේ. ! මිනිස්සුන්ට හෙණ ගැහුව්වත් කමක් නැහැ, බඩු මිළ ඉහළ ගිහිං ආර්ථික ප‍්‍රශ්න ඇතිවුනොත්, තවත් ආර්ථීක භාධක ආවොත් ඒත් කමක් නැහැ කියයි! ඒක වගකීමක් ඇති රාජ්‍යයක් කිය යුතු දෙයක් නෙවෙයි. ජාත්‍යන්තර මැදිහත්වීමක් අවශ්‍ය නැත්නම් ලංකාවේ නීතිය කඩාවැටීම ගැන ආණ්ඩුව මොනව ද කියන්නේ ?  විසදුමක් නැතිව ජීවත්වෙන්න කියලද කියන්නේ ? මේ ගැටළුව ගැන ඇත්තටම රටේ තවම සාකච්ඡුාවක් නැහැ. රටේ නීතිය කඩාදැමීමේ වාතාවරණය ආණ්ඩුවමනේ නිර්මාණය කරල තියෙන්නේ. ආණ්ඩුව මේ කරදරය විසඳන්න  ඕනේ, එක්කෝ නැත්නම් විසඳන්න එන කෙනෙකුට අවසර දෙන්න  ඕනේ. එහෙම නැති උනොත් රටේ මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරිවෙන තත්ත්වයක් උදා වෙනවා. එහෙම වෙච්ච රටවල් තියෙනවා.      

මේ විමර්ශනය සඳහා ජාත්‍යන්තර වශයෙන් මොන වගේ ක‍්‍රියා මාර්ගයක් ද දැනට අරගෙන තියෙන්නේ ?

පළමුවෙනිම ක‍්‍රියා මාර්ගය හැටියට ඒ ගොල්ල කරන්නේ, ලෝකයටම කැඳවිම් කරලා ඊට අදාළ වන වගිකීම දැරීමට හැකි කණ්ඩායමක් තෝරා ගැනිමයි. පරණ අත්දැකීම් මත පරීක්‍ෂණයක් කරන්නට හැකියාව තිබෙන මණ්ඩලයක් සකස් කරගැනීමයි. ඊට පස්සේ මුදල් සකස්කර ගැනීම. ඒ සඳහා අවශ්‍ය මුදල් ඩොලර් මිලියන එකකුත් දශම හතරක් වැය වෙනවා කියලා කියනවා, ඒවා සොයාගැනීම දැන් සිද්ධ වෙනවා. ඒ වගේ යම් පරීක්‍ෂණයක් කිරීමට අවශ්‍ය සියලූම දේ සුදානම් කරගැනීම මේ වනට විට ආරම්භ වෙලා තිබෙනවා. ඒ අතරේ ලංකාවේ ආණ්ඩුව එක්කත් මේ ගැන සාකච්ඡුා කරන්න  ඕනෙ. 

මේ විමර්ශන කමිටුවට වර්තමානයේ කඩවන මානව හිමිකම් පිළිබඳවත් ඉදිරියේදි පැමිණිළි කරන්න පුළුවන් වෙයි ද ? 

උසාවියකට බැහැනේ අනාගතයේ දෙයක් ගැන තීන්දු දෙන්න. ඒ වගේ පත්වෙන මණ්ඩලයට තිබෙන්නේ වෙච්ච දේවල් පිළිබඳව ඒ අයට ලබාදෙන නිල බලයට අදාළව කටයුතු කිරීමයි. ඒකෙන් යම් තත්ත්වයක් ඇති වුනොත් රටේ නීතිය නැවත ගොඩ නැගෙන, ඒකට පුළුවන් ලංකාවේ දැන් සිදු වන දේවල් ගැන බලන්න. එහෙම නැතිවුනොත් මිනිස්සු ඉල්ලා සිටියිි. අනෙක් ප‍්‍රශ්න විසදුවා වගේ දැන් සිදුවෙන දේවල් පිළිබඳවත් මැදිහත්වෙලා යම් තත්ත්වයකට ගේන්න කියලා. නමුත් අපි බලාපොරොත්තු වෙන්න  ඕනේ ඒක නෙවෙයි. සාදාකාලේටම පටින් මිනිස්සු ඇවිත් අපේ ප‍්‍රශ්න විසඳන්න නෙවෙයි අපිට ඔිනේ, ඒ අයගේ මැදිහත්වීම පාවිච්චි කරගෙන රටේ ඇති වෙලා තිබෙන මූලික කේන්ද්‍රීය ප‍්‍රශ්නයට මුහුණ දෙන්න. පොලීසියට නැවත බලය ලබා දෙන්න, ඒ අයගේ රාජකාරිය විධිමත් කරන්න, ඒ මාර්ගයෙන් මහජනතාව තමන්ටම තමන්ගෙ ප‍්‍රශ්ණ විසඳගන්න පුළුවන් සංස්ථාව නැවත ගොඩනඟා ගන්න. ඒ සඳහා යට් දේශපාලන කි‍්‍රයාමාර්ග ගන්න  ඕනෙ නට් ඒකත් ගන්න  ඕනේ.

මේ විමර්ශනය සඳහා නිළධාරීන්ගේ නම් යෝජනා වෙලා තිබෙනවාද ?

නැහැ. එක එක්කෙනා වෙන වෙනම නම් කරන්නේ නැහැ. දැන් කණ්ඩායමක් හදාගෙන යනවා, කණ්ඩායම සම්පුර්ණ වුනාම ඒ ගැන ප‍්‍රසිද්ධ කරාවි. 

මෙම විමර්ශනය අවසානයේ මොන ආකාරයේ දෙයක් ද සිදු විය හැක්කේ ? 

ඒක බොහෝ දුරට සිදුවන්නේ මේ ක‍්‍රියා මාර්ගයන් සම්බන්ධව ලංකාව ඇතුලේම සිදු වන නොයෙක් ප‍්‍රතික‍්‍රියාවන් මතයි. අපි හිතමු මෙම විමර්ශණ කටයුතු නරක පැත්තට හැරෙමින් තිබෙනවා කියලා, එහෙම උනොත් ඒගොල්ල දෙන වාර්තාව මත, ඒකේ හේතු සාධක ඉදිරිපත් කරලා තියෙනවා නම්, මේ වගේ අපරාධ වෙලා තිබෙනවා ඒවාට ක‍්‍රියාමාර්ග අරගෙන නැහැ, ඒ දත්තයන් විශාල වශයෙන් එකතු කරළ ඒවා බලමණ්ඩලයට ඉදිරිපත් කළාම ඒගොල්ලො ඒක ක‍්‍රියාත්මක කරගන්න උචිත ක‍්‍රියාමාර්ගයක් යෝජනා කරගන්නවා. ලංකාවේ මිනිස්සුන්ව මැදිහත් කරවා ගන්න ලංකාවේ අපරාධ නැතිකර ගැනීම සඳහා ක‍්‍රියාමාර්ගයකට නීතිය යටතේ ක‍්‍රියාත්මක වෙන බලවත් පොලීසියක් හදා ගන්න තිබෙන බාධක නැතිකරගන්නට, දේශපාලන බාධක නැතිකර ගන්නට, විශේෂයෙන්ම ව්‍යවස්ථාවෙන් පැන නැගී තිබෙන බාධක නැතිකර ගන්න මහජන සම්බන්ධතාවය, මහජන මැදිහත්විම වර්ධනය කරගන්න, රටම අභ්‍යන්තරයෙන් තවත් ශක්තිමත් කරන්න යනාදිය තමයි ඉන් බලාපොරොත්තු වෙන අවසාන අපේක්‍ෂාවන් වෙන්නෙ.

සංවාදය - පිලිප් දිසානායක, සංවාද සටහන් මෙලනි මානෙල් පෙරේරා