Hot!

තුර්කි ව්‍යසනය හා ගෝලීය ආකර කැනීම් ඝාතනාගාරය

මරන සංඛ්‍යාව ආසන්න වශයෙන් 300ක් හෝ ඊට වඩා ඉහල නගින තුර්කියේ පතලක සිදුවූ බිහිසුනු පිපිරීම, එරට පතල් කැනීම් ඉතිහාසයේ නරකිනුත් නරක ම ව්‍යසනය යි. පවුල් සාමාජිකයන් හා මිතුරන් කෙරේ ඇති කල විනාසය මුලුමනින් ම වැලකිය හැකිව තිබුනි. එය පැහිදිලි කල නො හැකි අනතුරක් නො ව පුද්ගලීකරනයේ, ආන්ඩුව විසින් සොසලකා හැරීමේ හා සෑම වසරක ම ලොව පුරා කාර්මික කම්කරුවන් මිලියන ගනනකගේ ජීවිත හා අවයව කැපකරන ධනේශ්වර ලාභ පද්ධතියේ නො වැලක්විය හැකි ප්‍රතිඵලය යි.

සෝමා පතල මෑතදී කල ආරක්ෂක පරීක්ෂනයෙන් සමත් ව තිබුනා යැයි සමාගම් අයිතිකරු, බලශක්ති ඇමති ඇතුලු ආන්ඩුවේ නිලධාරීන් විසින් කරනු ලැබූ ප්‍රකාශ, මුසාවාද ලෙස දිවි ගලවා ගනිමින් සිටින පතල් කම්කරුවන් හා ඔවුන්ගේ ඥාතීන් විසින් ප්‍රත්කෂේප කරනු ලැබ ඇත. එක් පතල් කම්කරුවෙකුගේ සහෝදරයෙකු ප්‍රදේශීය මාධ්‍ය සේවයකට පැවසුවේ ආරක්ෂක පරීක්ෂාව කඩදාසිවලට පමනක් සීමා වූ හුදු චාරිත්‍ර පමනක් බවය. තවත් පතල් කම්කරුවෙකු වන ඔක්ටාර් බෙරින් ඒඑෆ්පී සේවයට පැවසුවේ “මෙම පතලේ ආරක්ෂාවක් නෑ .වෘත්තීය සමිති නිකම් ම රූකඩ පමන යි, අපගේ පාලකයන් උනන්දු වන්නේ මුදල්වලට පමන යි” යනුවෙනි.

ආරක්ෂක ගැටලු හොඳින් දන්නා දේය. අනතුරුදායක සේවා තත්වයන් පිලිබඳව පතල් කම්කරුවන්ගේ පැමිනිලි නාසා අපහසුතාවයට පත් ප්‍රාදේශීය විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරුන් සතියකට පෙර පරීක්ෂනයක් ඉල්ලා සිටියත් අගමැති අර්ඩෝගන්ගේ පාලක සාධාරනත්වය හා සංවර්ධන පක්ෂය (ඒකේපී) එය ප්‍රතික්ෂේප කලේය. අප්‍රේල් 29වැනිදා ප්‍රාදේශීය ඒකේපී නියෝජ්‍ය නායකයෙකු සොමා දිස්ත්‍රික්කයේ පතල්, එරට ඇති ආරක්ෂාව අතින් ඉහලම ඒවා යයි ප්‍රකාශ කලේ, ඕනෑ ම හදිසි අනතුරක් තනිකර ම “වෘත්තියේ ස්වභාවය” නිසා ඇතිවන්නේ යයි පවසමිනි.

මෙම සතිය මුල විනාසයට ලක් වූ වැඩබිමේ දී කල ප්‍රසිද්ධ ප්‍රකාශයක දී අර්ඩෝගන් ද මෙම පිලිකුල් සහගත බොරුව පුනුරුච්ඡාරනය කලේ ය. “හදිසි අනතුරුවලින් තොර රැකියා ඇත්තේ නැතැ” යි ඔහු ප්‍රකාශ කලේ ය. 1860, 1890 හා 1900 ගනන්වල මෙවැනි පතල් ව්‍යසනයන් එංගලන්තයේ හා එක්සත් ජනපදයේ සිදු ඇතැ යි අගමැති තවදුරටත් පැවසී ය. “මෙම දේවල් සිද්ධවෙනවා. වැඩ කරන අතරතුර අනතුරු ඇතිවෙනවා.”

අර්ඩෝගන්ගේ ප්‍රකෝපකාරී අදහස්, ඔහු අදහස් කලාට වඩා වැඩි දේවල් ය. 21වැනි සියවසේ ගෝලීය පතල් කර්මාන්තයේ “නව සාමාන්‍යය” යනු වික්ටොරියානු එංගලන්තයේ පැවති තත්වයන්ට හා රොකෆෙලර් වැනි දුෂ්ට ධනපතීන් යටතේ එක්සත් ජනපදයේ පැවති තත්වයන්ට, එනම් පතල් කම්කරුවන්ගේ මරන අනුපාතය පලමු ලෝක යුද්ධයේ දි මියගිය ඇමරිකානු සොල්දාදුවන්ට වඩා වැඩි මට්ටමක පැවති තත්වය කරා ආපසු යෑමකි.

රටේ ගල්අඟරු සම්පත්වල හිමිකම් පුද්ගලික සමාගම්වලට පවරන ලද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුග්‍රහය ලත් අර්ඩොගන්ගේ 2005 හා 2010 ආර්ථික “ප්‍රතිසංස්කරනවල” සිට, මුලින් රජයට අයත් සමාගම් විසින් කරන ලද ගල් අඟුරු හෑරීමේ කටයුතු වලින් තුනෙන් එකකට වඩා පුද්ගලික උප කොන්ත්‍රාත්කරුවන් අයිති කර ගෙන ඇත. ගෝලීය භාන්ඩ වෙලඳපොල හා කොටස් වෙලඳපොලවල ඉල්ලීම් යටතේ නව අයිතිකරුවන් ලාභ ඉහල දැමීම හා ආයෝජකයින් ආපසු ගෙන්නා ගැනීම සඳහා ආරක්ෂාව ඇතුලු වියදම් දරුනු ලෙස කප්පාදු කර ඇත.

වසර දෙකකට පෙර හූරියෙට් නම් දිනපතා පත්‍රය සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවක දී, සොමා පතල අයිති සොමා කොමූර් ඉස්ලෙට්මෙලෙරි සමාගමේ ප්‍රධාන විධායක අලප් ගූර්කන් ඔහුගේ සමාගම, 2005දී රජයට අයත් තුර්කි ගල් අඟරු ව්‍යාපාරයෙන් බදු ගත්තාට පසු ගල් අඟුරු ටොන් එකක් හෑරීමේ වියදම ඩොලර් 130 සිට යන්තම් ඩොලර් 23.80 දක්වා අඩු කල බවට කයිවාරු ගැසුවේ ය.

දිනකට ඇමරිකානු ඩොලර් 19ක් උපයන සොමා කම්කරුවෝ, පුද්ගලීකරනයෙන් පසු ආරක්ෂක තත්වයන් නරකිනුත් නරක අතට හැරී ඇති බව හා සේවා තත්වයන් හෝ රැකියාව කරන අතර තුවාලවීම ගැන හෝ පැමිනිලි කල හොත් ඔවුන් වහා ම සේවයෙන් අස්කිරීමට යටත් වන බව මාධ්‍ය වෙත ප්‍රකාශ කලහ. පතලේ දී මියගියවුන් අතර අවුරුදු 15ක ලමයෙකුගේ මල සිරුරක් ද තිබීම පවතින්නා වූ ම්ලේච්ඡ කොන්දේසි පිලිබඳ වැඩිදුරු ඇඟවුමකි, ඔහු නිමක් නැති ලමා ශ්‍රමිකයන්ගෙන් අයෙකු පමනී.

ඒකේපී යේ නිදහස් වෙලඳපොල ප්‍රතිපත්ති, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉල්ලීම් ඉටු කිරීමට හා යුරෝපා සංගමයට බැඳීමේ තුර්කි උත්සාහය ජයගැනීමට පියවර ගැනීමත් සමග ආරම්භ විය. මෙම පියවර ඇමරිකානු ජනාධිපති බරක් ඔබාමාගේ ප්‍රශංසාව දිනා ගත් අතර, මූල්‍ය ප්‍රාග්ධනය වෙනුවෙන් කතා කරමින් ඔහුගේ පාලනාධිකාරය, මැද පෙරදිගට හා අනෙකුත් සංවර්ධනය වන රටවලට තුර්කිය ආර්ථික ආදර්ශයක් බව පෙන්වාදුන්නේ ය.

ඉන්ජිනියරිං ඇන්ඩ් මයිනින් ජර්නල් නම් කාර්මික වෙබ් අඩවියකට අදහස් දක්වමින්, බටහිර තුර්කියේ පතල් කැනීමට උත්සුක වන ලන්ඩනයේ පිහිටි ඇරිඅනා රිසෝසස් සමාගමේ කෙරීම් සෙනෙර්, “තුර්කියේ ශඛ්‍යතාව අදහාගන්නත් බෑ. එහි පර්යන්තයේ ඇති බොහෝ රටවලට වඩා වැඩි වාසි සහගත තත්වයක් එරටට ඇත්තේ, ස්ථාවර හා වැඩිපුර බටහිරට/ධනවාදයට නැඹුරු ලක්ෂන සහිත හොඳ ගනුදෙනුවකට සුදුසු තත්වයක් පැවතීම නිසාය. මෙය ගෝලීය පතල් අංශයේ උත්සුකය තවතවත් වැඩිකර ඇත, රට විවෘත කෙරී ඇති අතර මෙහි බොහෝ දේවල් වඩා පහසු ආකාරයකට සිදුවන්නේ” යයි පැවසීය.

2000 සිට ඇස්තමේන්තු ගත බිහිසුනු පතල් අනතුරු සංඛ්‍යාව 1,308කි. සොමා විනාසය මෙයට ඇතුලත් නැත. මෙය ලෝක‍යේ නරකම පතල් කැනීමේ ආරක්ෂක වාර්තාවකි. තුර්කියේ ආර්ථික පර්යේෂන පදනමේ (ටීඊචීඒවී) වාර්තාවකට අනුව, සාමාන්‍යයෙන් තුර්කියේ කනිනු ලබන ගල් අඟරු ටොන් මිලියනයකට කම්කරුවෝ හත් දෙනෙකුට වඩා මියයති.


තුර්කිය තුල සිදුවන පරිවර්තනය, “දියුනු වෙමින් පවතින” හා දියුනු රටවලට ද එක සේ බලපාන ගෝලීය ක්‍රියාදාමයක කොටසකි. සොමා පිපිරීම සිදු වූ දිනයේ දී ම එක්සත් ජනපදයේ බටහිර වර්ජීනියා ප්‍රාන්තයේ පතලක වහලය හා බිත්ති ඇදවැටීමෙන් කම්කරුවෝ දෙදෙනෙක් මියගියහ. දීර්ග කාලයක් ආරක්ෂාව උල්ලංඝනය කිරීමේ වාර්තාවක් මෙම පතලට තිබුන අතර ෆෙඩරල් පතල් ආරක්ෂක නිලධාරීන්ගේ දැඩි සුපරීක්ෂාව යටතේ පවතිනු ඇතැ යි අපේක්ෂා කෙරුනි. ඛේදවාචකය සිදු වූයේ, 2010 අප්‍රේල් වලදී ගල් අඟුරු දූවිලි පිපිරුමකින් පතල් කම්කරුවන් 29දෙනෙකු මියගිය අපර් බිග් බ්‍රාන්ච් පතලට කෙටි දුරකිනි.

ඇස්තමේන්තු කර ඇති පරිදි ලෝකය පුරා වසරකට පතල් කම්කරුවන් 12,000ක් මියයන්නේ වහල කඩාවැටීම්, පිපිරීම්, ගිනි ගැනීම්, ගංවතුර ගැලීම් සහ වෙනත් භූගත හා මතුපිට අනතුරුවලිනි. ගනන් නැති සංඛ්‍යාවක් කලු පෙනහලු රෝගය හෝ පතල් කම්කරුවන්ට වැලඳෙන නිව්මෝකොනියෝසියාව නිසා මන්දගාමී හා හුස්ම හිරකරවන මරනයන්ට ගොදරු වෙති. ආන්ඩුවේ වාර්තාවන්ට අනුව, පසු ගිය වසරේ දී චීනයේ පතල් අනතුරුවලින් 1,049ක් මිය ගියහ.

ශ්‍රම වියදම අඩු කිරීමේ ම්ලේච්ඡ තරඟකාරිත්වය 2012 අගෝස්තු 16වැනිදා දකුනු අප්‍රිකාවේ මරිකානා සංහාරය පිටුපසින් ද පැවතුනි. පතල් කම්කරුවන්ගේ ජාතික වෘත්තීය සමිතියේ ආධාර හා අනුබලය ලත් අප්‍රිකානු ජාතික කොන්ග්‍රස් ආන්ඩුව, වැඩවර්ජනය කර සිටි කම්කරුවන් 34දෙනෙකු ඝාතනය කලේ, ගෝලීය පතල් කැනීමේ සමාගම් සඳහා ලාභදායි වේදිකාවක් ලෙස දකුනු අප්‍රිකාවේ ජනප්‍රියත්වය පවත්වා ගැනීම සඳහා ය.

සොමා විනාසය ධනේශ්වර ක්‍රමය පිලිබඳ අධිචෝදනාවකි. 2008 ගෝලීය ආර්ථික අර්බුදයෙන් පසු තීව්‍රවුනු ලාභය හා පුද්ගලික සෞභාග්‍යය සඳහා වන කෑදර කමේ තල්ලුව හමුවේ ලෝකය පුරා පාලක පන්තිය, ඔර්ලෝසුව ආපසු කරකැවීමට සහ සියවසකට පෙර කාර්මික රටවල පැවති ම්ලේච්ඡ සූරාකෑමේ, ලමා ශ්‍රමයේ හා කාර්මික ඝාතනයේ කොන්දේසිවලට ආපසු පැමිනීමට අධිෂ්ඨාන සහගතව සිටියි.

මෙයට පවතින එක ම උත්තරය වන්නේ, ලාභ පද්ධතියට කම්කරුවන්ගේ ජීවිත යට කිරීම අවසන් කිරීම සඳහා කම්කරු පන්තිය කාර්මික වශයෙන් ද දේශපාලනිකව ද බලමුලු ගැන්වීම යි. ගෝලීය සංගතවල ලාභ හඹායාමට වඩා පතල් කම්කරුවන්ගේ ආරක්ෂාව හා යහපැවත්ම මුල් තැනට ගැනීමට නම්, පතල් කැනීම, බැංකු හා අනෙකුත් ප්‍රධාන කර්මාන්ත ධනේශ්වර හිමිකරුවන් අතින් ඉවතට ගෙන ලෝකයේ නිෂ්පාදකයන්ගේ, එනම් කම්කරුවන්ගේ පාලනය යටතේ තැබිය යුතු ය.

ගෝලීය පතල් කැනීමේ කර්මාන්තය, සැලැසුම්ගත සමාජවාදී ලෝක ආර්ථිකයක් ස්ථාපිත කිරීමේ කොටසක් ලෙස මහජනයාට අයිති ව්‍යවසායක් බවට පරිවර්තනය කල යුතුය. කම්කරු පන්තියේ ආරක්ෂාව ඇතුලු සමස්තයක් වශයෙන් සමාජයේ අවශ්‍යතාවන් සහතික කල හැකි එක ම මග එය යි.
ජෙරී වයිට්