Hot!

ලේ පෙරාගෙන කූඩුවේ හිටියත් පොලිසිය වතුර පොදක්‌වත් දුන්නේ නෑ

 මෙයාලා අපිට අට පාස්‌ බල්ලො කියා බැන්නා - රාළහාමි කියයි 

| නිලන්ත මදුරාවල
උපුටා ගැනීම :- දිවයින ඉරිදා සංග්‍රහය


කිහිප දෙනකුගේම දරුණු ප්‍රහාරය නිසා මගේ වම් ඇහැ අරින්න බැරි තරමට ගෙඩිගැහිලා ඉදිමිලා තිබුණේ. තොල් පැලිලා ලේ ගලන්න ගත්තා. පොලිස්‌ කූඩුවට දැම්මෙ එහෙම අඩපණවෙලා ඉන්න විටයි. මට කෙළින් හිටගන්නවත් බැරි වුණා. පැනඩෝල් පෙත්තක්‌ ඉල්ලුවත් පොලිසියෙන් ලැබුණෙ නැහැ."


මේ...... පාතාලයේ දරුණු අපරාධකාරයකු පොලිස්‌ කූඩුවක පැය කිහිපයක්‌ ගාල්කරනු ලැබීමෙන් පසු නැගුණ මැසිවිල්ලක්‌ නොව අසරණභාවයේ පත්ලටම වැටුණු මොහොතක විශ්වවිද්‍යාල ශිෂ්‍යයකුගේ හදවතින්ම නැගුණු ශෝකී රාවයකි. නීතිය වල්වැදී ඇති කලෙක සාධාරණය පරයමින් පුද්ගලාභිවන්දනය වෙනුවෙන්ම පමණක්‌ සියල්ල කේන්ද්‍රගතව ඇති මොහොතක සුජාත අයිතීන් වෙනුවෙන් නැඟෙන හඬට ද කිසිදු ඉඩක්‌ නොමැති වග අත්දකිමින් සිටිමු. පා ගෙවෙන තෙක්‌ පැවැත්වූ පා ගමන් අවසනල උගුර ලේ රහ වන තෙක්‌ පැවැත්වූ උද්ඝෝෂණ, විරෝධතා අවසන ඔවුන්ට ලැබුණේ තර්ජන, ගර්ජන, පහරදීම් විනා අන් කවරක්‌ නොවේ.

සම සෞඛ්‍ය විද්‍යා උපාධි පාඨමාලාවේ ගැටලු සහගත තත්ත්වය මෙන්ම බලධාරීන් ඒ කෙරෙහි දක්‌වන ප්‍රතිචාරය පිළිබඳව ද නොදන්නා කෙනෙක්‌ නැත. එය එතරම්ම සමාජය විනිවිද ගොස්‌ තිබේ. ඒ විනිවිදීම සිදු කරනු ලබන්නේ සම සෞඛ්‍ය සිසුන්ගේ අඛණ්‌ඩ අරගලයේ ප්‍රතිඵල විසිනි. එම පාඨමාලාවේ සිව්වසරක්‌ව පැවති කාලය වසර තුන දක්‌වා කප්පාදු කිරීමට එරෙහිව හඬ නඟන සිසුහු ඉල්ලා සිටින්නේ පෙර පැවති අයුරින්ම සිව් වසරක පාඨමාලාව තමන්ට ලබා දෙන ලෙසය. ඒ වෙනුවෙන් වරින් වර ශිෂ්‍ය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වූ සහ වෙමින් සිටින මේ මොහොත වන විටත් පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිටත් ගාල්ල බස්‌ නැවතුම්පළ අසල මෙන්ම කොළඹ කොටුව දුම්රිය ස්‌ථානය ඉදිරිපිට ද වෝඩ් පෙදෙසේ පිහිටි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිටද සිසුහු අඛණ්‌ඩ සත්‍යග්‍රහ ව්‍යාපාරයන්හි යෙදී සිටිති. සත්‍යග්‍රහ ව්‍යාපාර ආරම්භ කර මේ වන විට දින එකසිය පනහ ඉක්‌මවා ඇත. වරින් වර සංවිධානය කරන ලද ශිෂ්‍ය ක්‍රියාමාර්ග මාලාවක්‌ හමුවේ වුවද නිසි විසඳුමක්‌ නොලද කල්හි තවත් එවැනිම ක්‍රියාදාමයන්හි නියෑළීම හැර සිසුන්ට වෙනත් විකල්පයක්‌ නැත. පසුගිය 7 වැනිදා ද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අසල සිට අරලියගහ මන්දිරය දක්‌වා ඔවුහු පා ගමනක්‌ සංවිධානය කළහ. සාමාන්‍යයෙන් සිදුවන පරිද්දෙන්ම පොලිසිය අධිකරණය ඉදිරියට ගියේය. ඒ සිසුන්ගේ පා ගමන නිසා මහජන "නිදහස"ට බාධා එල්ල වන්නේ යෑයි කියමින් විය යුතුය. අධිකරණය පා ගමනට වාරණ නියෝගයක්‌ ලබා දුන් අතර සිසුහු එම නියෝගය නොතැකූහ. විරෝධතා පා ගමන පැවැත්විණි. ඉන් පසුව සිදු වූයේ වාරණ නියෝගය කඩ කළ බව කියමින් ශිෂ්‍ය ක්‍රියාකාරීන් කිහිපදෙනකුට වරෙන්තු නිකුත් කිරීමය.

තත්ත්වය එසේ තිබියදී පසුගිය 16 වැනිදා සිසුහු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට තවත් උද්ඝෝෂණයක්‌ සංවිධානය කළහ. එදින සවස පැවති එම උද්ඝෝෂණයට සිසුහු විශාල පිරිසක්‌ එක්‌ව සිටියහ. කැරලි මර්දන ඒකකය ද ඇතුළුව පොලිසියේ විශාල පිරිසක්‌ ද ප්‍රදේශයට කැඳවා තිබිණි. උද්ඝෝෂණය අවසන් වූයේ පොලිසිය හා සිසුන් අතර උද්ගත වූ දැඩි උණුසුම්කාරී වාතාවරණයකිනි. අවසන ලිප්ටන් වටරවුම අසලදී සිසුන් සිව්දෙනකු අත්අඩංගුවට ගැනිණි.

නදීශ් රණතුංග ද ඒ උද්ඝෝෂණයට සම්බන්ධ වූ ශිෂ්‍යයෙකි. හෙතෙම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා උපාධිය හදාරයි. උද්ඝෝෂණය නිමා වී මොහොතකින් නදීශ් ඇතුළු සිසුහු පහළොස්‌ දෙනෙක්‌ පමණ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අසලින්ම පිටකොටුව බලා ගමන් කරන බස්‌ රථයකට ගොඩ වූයේ නිවෙස්‌වලට යැම සඳහා ය. වේලාව සවස 4.30 පමණ වන්නට ඇත. තමන් ඇතුළු මිතුරන්ට අත්විඳින්නට සිදු වූ ෙ€දජනක සිදුවීම් පෙළ නදීශ් දිගහැරියේ කොළඹ ජාතික රෝහලේ ඇඳක්‌ මත දිගා වී සිටිමිනි.

"අපි බස්‌රථයට ගොඩවෙලා විනාඩි කිහිපයයි ගියේ. මගෙ පසුපසින් වාඩිවෙලා සිටි දිනුක මධුශාන්තගෙ අතින් පුද්ගලයන් දෙදෙනෙක්‌ අදිනව දැක්‌කා. හෙල්මට්‌ දෙකක්‌ අතැතිව සිටි දෙදෙනාම සිවිල් ඇඳගත් අය. අපි ඇහැව්ව ඔයාලා කවුද මොකක්‌ද ප්‍රශ්නය කියලා. එතකොට ඒ අය කිව්වා මෙයාට වරෙන්තුවක්‌ තියෙනවා. ඒ නිසා අත්අඩංගුවට ගන්නව කියලා. ඊට පස්‌සෙ අපි ඉල්ලීමක්‌ කළා වරෙන්තුවක්‌ තියෙනවා නම් පෙන්වන්න කියා. එතකොට එක්‌ පුද්ගලයෙක්‌ සාක්‌කුවෙන් කඩදාසියක්‌ අරං පෙන්නුවා. ඒ කඩදාසියෙ භාගයයි තිබුණෙ. එහි තිබුණෙ දිනුකගෙ නම නෙවෙයි. වෙනත් නමක්‌. අපි ඒ බව දෙන්නටම කිව්වා. ඉන් පස්‌සෙ ඔවුන් දිනුකගෙ හැඳුනුම්පත ඉල්ලලා බලද්දි ඒ ලිපිනයයි කඩදාසියෙ ලිපිනයයි වෙනස්‌. අපි ඒකත් පැහැදිලි කළා. පස්‌සෙ දෙන්නගෙ අයි. ඩී. බලන්න ඉල්ලුවම දුන්නෙ නැහැ. ඒ අය පිළිගත්තා නම් හා ලිපිනයන් වෙනස්‌ කියන දේ. ඊට පස්‌සෙ බැහැල යන්න ගියා."

එම අවස්‌ථාවේ දිනුක තනිවම බස්‌ රියේ සිටියේ නම් අත්අඩංගුවට ගැනීම අනිවාර්ය ය.

බස්‌ රියට ඉදිරියට යැමට ලැබුණේ තවත් විනාඩි කිහිපයක්‌ පමණි. සිවිල් ඇඳගත් තවත් පිරිසක්‌ ඊට ගොඩවූහ. ඔවුන් කළේ එහි සිටි මගීන්ගේ දැඩි විරෝධය ද නොතකා බස්‌ රථය කොම්පඤ්ඤවීදිය පොලිසිය දෙසට ගෙන යැමය. පිටකොටුවට යැම සඳහා ගොඩ වී සිටි මගීන් බස්‌ රථයේ ගමන් මාර්ගය වෙනස්‌ වීම නිසා කලබලයට පත් වුවද සිවිල් ඇඳගත් පිරිස ඒ පිළිබඳ එතරම් තැකීමක්‌ නොකළහ. බස්‌රිය නතර වූයේ කොම්පඤ්ඤවීදිය පොලිසිය අසලය.

"හා... දැන් කැම්පස්‌ ළමයි බහින්න" සිවිල් ඇඳගත් එකෙක්‌ කෑගැසීය. දිනුක ශිෂ්‍යයා අත්අඩංගුවට ගැනීමට සූදානම් වී පසුව බස්‌ රියෙන් බැස ගිය දෙදෙනා ද ඒ අතර වූහ. දිනුක බස්‌ රියෙන් බසින විටම "ආ... එයා තමයි මෙයාව තමයි ගන්න ඕනෑ" කියමින් දිනුක ශිෂ්‍යයා අල්ලා ගැනිණි. නිල ඇඳුම් හැඳ සිටි කිහිපදෙනෙක්‌ ද බස්‌රිය අසලට පැමිණියහ. අවනත වීම හැර සිසුන්ට කළ හැකි යමක්‌ නොතිබිණි. උන් දිනුකගෙ හැඳුනුම්පත ගෙන වරෙන්තුව යළි පෙන්වන ලද කඩදාසියම ඔතා එක්‌ අයෙක්‌ සිය කලිසම් සාක්‌කුවට දමා ගත්තේය. වරෙන්තුවේ සඳහන් නොමැති ශිෂ්‍යයෙක්‌ පොලිස්‌ අත්අඩංගුවට පත්වූ අයුරු "කදිම"ය.

නදීශ් යළි හඬ අවදි කළේය.

"ළමයි ඇහැව්වා ඇයි හැඳුනුම්පත සාක්‌කුවට දමාගත්තෙ කියලා. දිනුකගෙ හැඳුනුම්පත ඉල්ලූ විට ඒ පුද්ගලයා එයාගෙ හැඳුනුම්පත දුන්නා. ළමයි දිගින් දිගටම කිව්ව දිනුකගෙ නම නෙවෙයි වරෙන්තුවෙ තියෙන්නෙ කියලා. නමුත් ඒ අය ඒක පිළිගත්තෙ නැහැ. දිනුක අත්අඩංගුවට ගත්ත එකට විරුද්ධව ළමයි විතරක්‌ නෙවෙයි මගීන් පවා විරුද්ධ වුණා. ඒ සිද්ධිය නිසා ළමයි හා ඒ පිරිස අතර වචන හුවමාරුවක්‌ ඇති වුණා."

අවම බලය කියන වචන දෙක පොලිසිය මැර බලයක්‌ බවට පරිවර්තනය කර ගන්නේ මේ අවස්‌ථාවේදීය.

"මම හිටියෙ බස්‌ එක ඇතුළෙ ඉස්‌සරහ දොර ළඟ. මාව එකපාරටම ඇදල එළියට අරං කට්‌ටියම වටවෙලා ගහන්න ගත්තා. ඒ පහරවල් මට දරාගන්න පුළුවන්කමක්‌ තිබුණෙ නැහැ. අතින් පයින් පහර දීම නිසා මාව බිම ඇදගෙන වැටුණා. ඊට පස්‌සෙත් ගැහැව්වා. ගහල ගහල මාවයි තව යාළුවෙකුවයි ඇදගෙන ගියා පොලිසියට. ඊට පස්‌සෙ පොලිසියෙ සිටි අයත් ගැහැව්වා."

නදීශ් ඒ අමිහිරි මතකයන් අවදි කළේ දැඩි ආයාසයකිනි.

"ගහල ගහල කූඩුවට තල්ලු කළා අපි දෙන්නව. එතකොට මගේ ඇහැ ගෙඩිගැහිලා. ඇහැ අරින්න බැරි තරමට පහර දීල තිබුණේ. තොල් පැලිල ලේ ගලන්න ගත්තා. මූණෙ පැත්තක්‌ම ලේ.

නදීශ් සිටි අයුරු සිහිපත් කරගත හැකිය. ගහලයන් රැලකගේ අමානුෂික පහරදීම් හමුවේ තොල් පැලී රුධිරය ගලා යන අයුරු සිහිපත් කරගත හැකිය. කලින් සඳහන් කළා සේම යළි සටහන් කරමි. මේ... පාතාල කල්ලි සාමාජිකයකු නොව විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලබන විද්‍යාර්ථියෙකි. දශම කිහිපයකින් ඉසඩ් ලකුණු අඩු වීම නිසා වෛද්‍ය පීඨයට ඇතුළත් වීමට තිබූ අවස්‌ථාව ශ්‍රී ලංකාවේ පවතින ක්‍රමය හමුවේ "ශිෂ්ට" ලෙස මඟහරවන ලද අසරණයෙකි.

නිරන්තරයෙන් ගලා ගිය රුධිරය නදීශ්ගෙ සිරුරේ ශක්‌තිය අඩපණ කර තිබිණි. ඔහුට කෙළින් සිටගැනීමට හෝ හැකියාවක්‌ නොතිබිණි. උද්ඝෝෂණය අවසානයේ සවස 4.30 ට පමණ බසයට නැඟුණු නදීශ්ට සවස 5.30 පමණ වන විට දැඩි පහර කෑමකට ලක්‌ව පොලිස්‌ කූඩුවක නතර වන්නට සිදු වී තිබිණි.

පොලිසිය අපි දෙන්නගෙ බෙල්ට්‌ ගලවා ගත්තා. මුලින්ම අපි දෙන්නව විතරයි කූඩුවට දැම්මේ. මම දිගින් දිගටම කිව්ව මට අමාරුයි මොනව හරි කරන්න කියලා. කෙළින් ඉන්න බැරි නිසා බිම ඉඳගෙනම කිව්ව පැනඩෝල් දෙකක්‌වත් දෙන්න කියලා. පොලිසිය ගණනකටවත් ගත්තෙ නැහැ."

මේ වන විට තවත් සිසුන් එකොළොස්‌ දෙනකු ද කූඩුවට දමා තිබිණි.

"මගේ මිතුරෙක්‌ ඇහැව්ව පොලිසියට ගෙනා පැනඩෝල් පෙත්තක්‌වත් නැද්ද කියලා. නෑ කිව්වා. අඩු තරමින් ලේ ගැලීම නතර කරන්න අයිස්‌ කැටයක්‌වත් තිබ්බෙ නැහැ. කිසිම ප්‍රතිකාරයක්‌ මට නොලැබුණු හින්ද මම කිව්ව මට අමාරුයි කියලා. එහෙම කියද්දි මාව එළියට ගත්තා. මම හිතුවා මොකක්‌ හරි ප්‍රතිකාරයක්‌ කරයි කියලා. නමුත් කිසිවක්‌ නොකර පුටුවක්‌ විතරක්‌ දුන්න වාඩිවෙලා ඉන්න එච්චරයි. පස්‌සෙ මගෙන් කටඋත්තරයක්‌ ලියාගෙන මහෙස්‌ත්‍රාත්තුමා ළඟට යොමු කළා.

නදීශ් මහෙස්‌ත්‍රාත්තුමා අභියසට යොමු කර ඇත්තේ රාත්‍රි 11.00 ට පමණ.

යන යන තැන මම බිම වාඩිවුණා. කෙළින් ඉන්න බැරි නිසා මහෙස්‌ත්‍රාත්තුමාගෙ ගෙදර මිදුලෙ ගලක්‌ උඩත් මම වාඩිවෙලා හිටියා.

නදීශ් මහේස්‌ත්‍රාත්වරයා වෙත යොමු කළ මොහොතේම නදීශ් සමග සිටි නිලධාරියාට දොaෂාරෝපණය කර තිබේ. බුද්ධිමත් සිසුන්ට මේ අයුරින් පහර දෙන්නේ ඇයි දැයි මහෙස්‌ත්‍රාත්වරයා විමසා ඇත. නිලධාරියා පෙරළා ලබාදී ඇත්තේ අපූරු පිළිතුරකි.

"අපිට මෙයාලා අට පාස්‌ බල්ලො කියලා බැන්නා." නිලධාරියාගේ පිළිතුර ය. මහෙස්‌ත්‍රාත්වරයා ද සිනහව නවතා ගැනීමට දැඩි ආයාසයක්‌ දරන්නට ඇතැයි අපි විශ්වාස කරමු. නිලධාරියාගේ එම පිළිතුර කොතරම් නිර්මාණශීලී ද යන සැකය ඇති වන්නේ පොලිසියක්‌ ඉදිරිපිට සිවිල් හා නිල ඇඳුමින් සිටි පිරිසක්‌ වටකොටගෙන සිටි මොහොතක "අට පාස්‌ බල්ලන්" වැනි වචන තබා වෙනත් වචනයක්‌ හෝ නිරවුල්ව ප්‍රකාශ කළ හැකි ද යන ප්‍රශ්නය නිසාය. පොලිසියේ අමානුෂික පහර දීම් නිසා නිරායුධ මිනිස්‌සු කීදෙනෙක්‌ නම් මේ වන විට ජීවිතය හැරගොස්‌ සිටිත්ද? පොලිසියේ පහර දීම්වලින් දරුවන් මිය යන හැටි ඡායා මාත්‍රයකින් හෝ නොදුටුවද එදුකින් උමතු වූ මවුවරු මේ රටේ නොසිටිත්ද? සිසුන් අට පාස්‌ බල්ලන් වැනි වචනවලින් පොලිසියට බැන වැදුණේ නම් සිදු විය හැකිව තිබූ දේ පිළිබඳ කිසිදු සැකයක්‌ නූපදී.

කෙසේ වුවද එතැනින් ඉවත් වන මොහොතේද පොලිසියට දොaෂාරෝපණය කළ මහේස්‌ත්‍රාත්වරයා බන්ධනාගාරය වෙත යන අතරතුර හෝ සිසුවා වෛද්‍යවරයකුට යොමු කරන ලෙසට දුන් උපදෙස්‌ ද පොලිසිය නොතකා හැර තිබේ.

"බන්ධනාගාරයට යද්දීත් මට හිටගන්නවත් පුළුවන්කමක්‌ තිබුණේ නැහැ. මම කිව්ව මට අමාරුයි ප්‍රතිකාර කරන්න කියලා. බන්ධනාගාරයට යද්දී පාන්දර 1.30 ට විතර ඇති. ඒ වෙලාවෙ වෛද්‍යවරු නැති නිසා උදේට දාන්නම් කිව්වා. ඊට පස්‌සෙ උදෙත් මම කිව්ව මට අමාරුයි කියලා. අධිකරණ වෛද්‍යවරයා ළඟට දාන්න තවත් පැයක්‌ දෙකක්‌ විතර ගතවුණා. එතුමට කිව්වත් වැඩක්‌ වුණේ නැහැ. මාව බන්ධනාගාර රෝහලට යොමු කළා. එතකොට දවල් 12 ට විතර ඇති. බන්ධනාගාර බස්‌ රථයෙන් මාව රෝහලට ගෙන ඒමට සූදානම් කර තිබුණා. බන්ධනාගාර රෝහලට ඇතුළත් කරන තවත් පිරිසක්‌ පැමිණෙන තෙක්‌ දිගු කාලයක්‌ ගියා. බන්ධනාගාර නිලධාරීන් මට උසුළු විසුළු කරමින් හිටියා. සවස පහට පමණ තමයි බන්ධනාගාර රෝහලේදී වෛද්‍යවරයෙක්‌ මගෙ ඇහැට "අයි ෙඩ්‍රාප්" එකක්‌ දැම්මෙ"

නදීශ්ගෙ ආවර්ජනය ශ්‍රවණය කිරීම පවා අසීරු කටයුත්තකි. විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නා දෙවැනි වසර ශිෂ්‍යයකුට එල්ල කරන ලද අමානුෂික පොලිස්‌ ප්‍රහාරයක වේදනාව පුරා විසිහතර පැයක්‌ උහුලාගෙන සිටීමේ හද කකියවන මේ කතාව අපට කියන්නේ ගහලයන් හැර හිත් පිත් ඇති උන් පොලිසියේ නොමැති බව නොවේද? සම සෞඛ්‍ය උපාධිය ගැන නන් දොඩවන උසස්‌ අධ්‍යාපන බලධාරීන්ට ඉදිරියටත් මේ අයුරින් ප්‍රහාරයට ලක්‌ව වේදනාවෙන් මිරිකෙන දරුවන් දෙස බලා සිනාසිය හැකිය