Hot!

ජනමතවිචාරණයක් !!!

| නිලන්ත ඉලංගමුව



ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට කිසිවෙකු විසින් වඩාත් වැදගත්ම සහ ඓතිහාසික උපදෙස ලබා දී ඇති සැටියෙකි. ලංකාවේ මේ වන විට තනහම් කොට ඇති ශ්‍රී ලංකා මිරර් වෙබ් අඩවිය අද ( මැයි 15)  වාර්තා කළ පරිදි රාජපක්ෂ ජනාධිපතිවරයාට, තම උපදේශකයින් විසින් ජනමතවිචාරණයකට යෑම සඳහා උපදෙස් දී ඇත. එළැබෙන ඌව පළාත් සභා මැතිවරණයද අමතක කොට අදාළ ජනමතවිචාරණයට යන ලෙස උපදෙස් දී ඇති බව අදාළ වාර්තා වැඩිදුරටත් සඳහන් කරනු ලබයි. එසේම අදාළ පුවත නිවැරදි එකක් බව මෙම ලේඛකයා සමඟ මීට ස්වල්ප මොහොතකට පෙර කතා කළ බොහෝ දෙනෙකු, ඇතැම් ආණ්ඩු පක්ෂයේ නියෝජිතයින් පවා ප්‍රකාශ කළෝය. නමුත් රාජපක්ෂ රාජපක්ෂට බියවීම ආරම්භ වූයේ මීට මාස කිහිපයකට පෙරය. එබැවින් එවැනි උපදෙසක් මත පිහිටා ඔහු කටයුතු කිරීම පිළිබඳ අවිස්වාශයක් මෙන්ම සැකයක් තිබේ. මන්ද ඔහු මෙහෙයවනු ලබන්නේ ආසාව සහ මායාව අතර ඇති ඇසට නොපනෙන හිඩැස තුළ හමන සුළඟ විසිනි. මෙම සුළඟට යතාර්ථය ස්පර්ශ කළ නොහැකිය.



කෙසේ වෙතත්, මෙය මෑත ඉතිහාසයේ දේශපාලනය තුළ නායකයෙකුට ලබා දී ඇති අතිශය වැදගත් සහ වටිනා උපදෙස බවට සැකයක් නැත. රටකට අත්විය හැකි අතිශය අවසානාවන්ත ඉරණමද මෙමඟින් ලියවී ඇත. රාජපක්ෂගේ බලය නැති කළ යුතු එකක් බව අමුතුවෙන් කිව යුතු නැත. එහි ඇති අතිශය අහිතකර බලපෑම පසුගිය කාලය පුරාම මා ඇතුළු බොහොමයක් ලේඛකයින් විසින් දැඩිව අවධාරණය කරනු ලැබුහ. එසේම රටේ දේශපාලනය තුළ ඔහු සිදු කළ මහා පරිමාණ අලුගුත්තේරු කටයුතු නිසා රට තවදුරටත් ජාත්‍යන්තර වශයෙන් අපකීර්තියට ලක්වූවාය.  එය නැති කිරීමේදී වැදගත් වන්නේ රාජපක්ෂගෙන් බලය උදුරාගැනීම පමණක් නොව ව්‍යාකූල සහ කුණු වී ඇති සමාජ ක්‍රමය සුවපත් කිරීමට සහ සෑම පුද්ගලයෙකුගේම විමුක්තිය සහ පෞද්ගලික නිදහස තහවුරු කළ හැකි පියවරකට තල්ලු වීමය. මෙය කළ හැකි ආසන්නතම ක්‍රමය සකස්වන්නේ එළඹෙන පෙබරවාරී මාසයේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී විපක්ෂය විසින් හඳුන්වා දෙන විස්වාශනීය නොපෙනෙන (ඉන්විසිබ්ල්) පොදු අපේක්ෂකයාගේ අවංක කැපවීම මඟිනි. ඔහුට හෝ ඇයට එනම් පොදු අපේක්‍ෂකයාට  හෝ අපේක්ෂිකාවට ලංකාවේ ගරුත්වය රැක ගැනීමෙහිලා බරපතළම අභියෝගය පැවරෙනු ඇත. එසේම එය ලංකාවේ ඉතිහාසය තුළ සිදුවන බරපතළම වෙනස්කම බවට පත්වනු නොඅනුමානය.  



බලාපොරොත්තුවේ සෙවනැළි මතුවෙමින් ඇති මොහොතක රාජපක්ෂ විසින්ද තම බලය රැක ගැනීම සඳහා හැකි උපරිමයෙන් කටයුතු කරන බවට කිසිඳු විවාදයක් නොමැත. ඉන් පළමුවැන්න ඔහු සතුව ඇති ප්‍රභල විස්වාශයයි. එනම් ඔහුට තවදුරටත් ජනාධිපතිධූරයේ සිටිය හැකි බව සහ තෙවැනි වරටත් ජනාධිපති වී ලංකාවේ දේශපාලන ඉතිහාසය වෙනස් කිරීම රාජපක්ෂගේ පළමු සිහිනය වේ. තවමත් ඔහු දකින මෙම සිහිනය යම් තරමකට බයාදු කොට ඇත්තේ පොදු අපේක්ෂකයා සහ ඔහු හෝ ඇය විසින් පෘථුල වශයෙන් ගෙන ඒමට යන්ත දරණ “විධායක ජනාධිපති” ධූරය අහෝසි කිරීමේ වැඩපිළිවෙලයි.



දැනට පුළුල් වශයෙන් කතාබහ වී ඇති සෝභිත හිමි පොදු අපේක්ෂකයා වුවහොත් උන්වහන්සේ මට්ටු කරගැනීමේ උපායක් රාජපක්ෂට ඇතිවාට සැක නැත. නමුත් ඔහුට ඔහු විසින්ම පාගා දමනු ලැබූ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා මෙල්ල්ල කිරීම පහසු කාර්යක් නොවේ.  ඇයට දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන් කළ හැකි වෙනස අතිශය ප්‍රභලය. එය බටහිර රටවලට පමණක් නොව රාජපක්ෂ ආණ්ඩුව මේ වනවිට අතිශය තීරණාත්මක තානාපති සම්බන්ධතා ගොඩ නගාගෙන ඇති චීනය සහ පකිස්ථානය වැනි රටවල් සමඟද නවමු වැඩපිළිවෙලකට යොමු වීමේ  ඇයට කෞශල්‍ය තිබේ. ඇය පොදු අපේක්ෂිකාව කොට ජනාධිපතිනිය බවට යළි පත්වුවහොත් ඇගේ ආණ්ඩුව යටතේ, උතුරු පළාතේ වත්මන් මහ ඇමති විග්නේශ්වරන් විදේශ කටයුතු ඇමතිවරයා වුවහොත් පුදුමයක් නොවේ.  රාජපක්ෂ වඩාත්ම බිය චන්ද්‍රිකාට මිස වෙන කිසිවෙකුට නොවේ.  



ස්වභාවික නීතිය හමුවේ රාජපක්ෂ වැනි පුද්ගලයෙකු පාරාජය විය යුත්තේද ඇය වැනි නායිකාවක් ඉදිරියේ වීම අරුමයක් නොවේ. මෙම අනගි අවස්ථාව කණපිට හැරලීම සඳහා රාජපක්ෂට විකල්ප දෙකක් තිබේ.



පළමුවැන්න නම්, තම ආණ්ඩු පක්ෂය තුළ සිටින සිංහල බෞද්ධ ජාතිකත්වය නමැති පෘථුල න්‍යාය පැහැරගනු ලැබූ අන්තවාදීන්ට තමන්ගේ සහයෝගයද ලබා දී තමන්ට එරෙහිව කටයුතු කිරීම සඳහා පෙළ ගැසීමෙන් රටේ නව ආකාරයට සංවාදයක් ඇති කිරීමේ වැඩපිළිවෙලට තල්ලු විය හැකිය. එය යම්තාක් දුරකට සාර්ථක විය හැකි යැයි ඔහුට උපල්කල්පනය කළ හැකිය. නමුත් රාජපක්ෂ මුහුණදිය යුතු යතාර්ථයක් තිබේ. එනම් ඔහු ආණ්ඩුකරණය සම්බන්ධයෙන් මුහුණ දී ඇති ඇත්ත සහ ඒ සඳහා ඔහුට ඇති බොල් වැඩපිළිවෙලයි. රාජ්‍ය නායකයෙකුට මැතිවරණ ජය ගැනීමේ කෞශල්‍ය සහ බන්ධනයෙන් මුක්ත වූ බලය අයුතු ලෙස භාවිතා කොට මිලිටරි බලයෙන් අනෙකාව මට්ටු කිරීම කල්පවතින විසඳුමක් නොවන බව කාටත් වැටහෙන කාරණයකි.  මේ නිසා රට තුළ ඔහුට තම පටු දේශපාලන අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා ගැඹුරු සමාජ ව්‍යාකූලභාවයක් ඇති කළ හැකිය. නමුත් ඔහු තේරුම් ගත යුත්තේ මේ වන විට ඔහුට මුහුණ දීමට සිදු වී ඇත්තේ ඔහුගේ දේශපාලනය ගැන බලාපොරොත්තු තබාගන්නා හෝ සිහින දකින සමාජයක් නොවේ. මේ වනවිට ඔහුට මුහුණ  දීමට සිදුවී තිබෙන්නේ ඔහුගේ දේශපාලනය ප්‍රශ්ණ කරණ සමාජයකි. ඔහුගේ යටි සිතම ඔහුව ප්‍රශ්ණ කරන තත්වයකට ඔහු ඇද දමා තිබේ. මෙම වටපිටාව හමුවේ ඔහුට ඊයේ දවසේ භාවිතා කළ දේශපාලන උපායන්, උගුල්, මුසාවන් සහ තම මිලිටරි බලය භාවිතා කොට බලය රැක ගැනීම ප්‍රායෝගික වන්නේ නැත.



රාජපක්ෂ මේ වන විට සිටින්නේ පිළිපීනයේ ෆර්ඩිනන්ඩ් මාර්කෝස් බලයේ සිටි අවසාන වසර කිහිපයේ පත් වූ තත්වය හා සමාන තත්වයකය. මාර්කෝස්ගේ තම දිනපොතෙහි වරක් මෙසේ සඳහන් කළේය. “ ඉතිහාසය විසින් මම කෙසේ මතකයට නගනු ඇත්දැයි මා හට බොහෝ විට විශ්මය දනවයි. බුද්ධිමතෙක්? යුධ වීරයෙක්? නිර්මාපකයෙක්? නව ව්‍යවස්ථාවක් හඳුන්වා දුන්නෙක්? ආණ්ඩුකරණය ස්ථීරය කළ අයෙක්? මාර්ග සහ පාසල් තැනූ අයෙක්?කොළ විප්ලවාදියෙක්? මිනිසුන් අතර සිටි විවිධ කණ්ඩායම් සහ සතුරු කඳවුරු එකතු කළ අයෙක්? අඳුරු රටකට ආලෝකය ගෙන දුන් අයෙක්? ආදී වූ ශක්තිමත් දෑ වලින්; එසේ නොමැතිනම් දුර්වල ක්‍රෑර පාලකයකු ලෙසද? ( උපුටා ගැනීමය - ඩිලුෂන් ඔෆ් අ  ඩික්ටෙර්ටර්).” රාජපක්ෂ තම බලය ඔහුට රිසි පරිදි භාවිතා කරමින් තමන්ගේ ආසාවන් සියල්ලම මුදුන් පමුණුවා ගත්තේය. එසේම, ඔහුගෙන් වාසි ගැනීම හැර අවංක චේතනාවෙන් ඔහුට එක් වූ පිරිස අතිශය සීමා සහිතය. ඔහු පිළිබඳව ස්වාධීන කෘතියක් හෝ මේ වන තෙක් පළ වී නොමැත. ඒ වෙනුවට ඔහුගෙන් රැකියා ලබාගැනීම සඳහා ඔහු වර්ණනා කිරීමේ හුදූ තාවකාලික දේශපාන ලියකියවිලි පලවිය.ඒ සියල්ලම ඔහු මායාවක් වෙතට තල්ලු කරනු ලැබීය. මේ නිසා ඔහු තෙවැනි වරටත් ජනාධිපති ලෙස පත්වීම නමැති සිහිනය තුළ සිටින බවට සැක නැත.  



දෙවැන්න නම්, ඔහු ජනමත විචාරණයකට යෑමය. බැලූ බැල්මට අතිශය තීරණාත්මක  ක්‍රමෝපායක් වන මෙමඟින් රාජපක්ෂට ඉතිහාස ගත විය හැකිය. විපක්ෂය මේවන විට පෙරට දමා ඇති සියලුම සටන් පාඨ තමන්ගේ අතට ගනිමින් නව ආර්ථික වැඩපිළිවෙලක් වෙනුවෙන් පෙනී සිටන බව කියමින් රටේ පවතින ආර්ථික අහේනිය සඳහා ඔහුට වැඩපිළිවලක් තිබෙන බව පෙන්වීම සහ රටම ගොනාට ඇන්දවීම මඟින් මහා පරිමාණ ප්‍රෝඩාවක් කළ හැකිය. එමඟින් ඔහුට එරෙහිව එල්ලවන චෝදානා බොහොමයක් ඉවත් කරගැනීමට හැකිවන අතර ලංකාවේ දේශපාලනය නව රටාවකට ලිවීමට අවකාශය සැලසේ.



ජනමතවිචාරණය මඟින් ප්‍රජාතන්ත්‍රවාදය නමැති සංකල්පයේ පුළුල් බව විනාශ කොට ඇති බව මේ වන විට පිළිගත් කාරණයකි. ඉංග්‍රීසි බාසාවේ රෙෆරන්ඩම් යනු ලතින් බසින් පැමිණි රෙෆෙරෝ  ක්‍රියපදයෙන් තැනුණු ක්‍රියා විශේෂණයකි. මෙහි අරුථ යළි කැඳවාගෙන ඒම හෙවත්  ගැටලුව මහජනතාවට ආපසු ලබාදීම, යන්නය. එක් නිශ්චිත ගැටලුවක් ගැන ජනතාවගේ කැමැත්ත විමසා එය මීට පෙර අදහස් සහ ප්‍රතිපත්ති ගණනාවක් හේතුවෙන් පත්කළ ආණ්ඩුව තවදුරටත් පවත්වා ගන්නේද නැද්ද යන්න තීරණය කරනු ලබයි. මෙය සැබවින්ම විගඩමක් වුවද එමඟින් බලයේ සිටින පාලකයාට අත්වන වාසිය අති විශාලය. මෙය දේශපාලනයේදී හඳුන්වන, ඍජු ප්‍රජාතන්ත්‍රවාදයයි. මේ පිළිබඳව මුල්ම මතවාදය 1978 දී ලෝකයට බිහි කළ ජේම්ස් මැඩිසන්, ඍජු ප්‍රජාතන්ත්‍ර වාදය වූකලී වෙන කිසිවක් නොව බහුතරයේ කෲරත්වයලෙස හැඳින්වූයේය. ( අ ඩිෆෙන්ස් ඔෆ් කොන්ස්ටිටියුෂන්ස් ඔෆ් ගවර්න්මන්ට් ඔෆ් ද යුනයිටඩ් ස්ටේට්ස් ඔෆ් අමෙරිකා , වෙළුම 03. පිටුව 291.)  විශේෂයෙන්ම ලංකාව මේ වන විට මුහුණ දී සිටින සංවේදී දේශපාලන අවකාශය හමුවේ රාජපක්ෂට මෙමඟින් ලබා ගතහැකි වාසිය වාසිය අති විශාලය.



එමඟින් පොදු අපේක්ෂිකාව ලෙස චන්ද්‍රිකා පැමිණියහොත් සැබෑවට සිදුවිය හැකි නව වැඩපිළිවෙල ක්‍රමෝපායිකව යටපත් වනු ඇත. එසේම රට යළිත් වසර ගණනාවකට පිටුපසට ඇද දමන වැඩපිළිවලක් එමඟින් සිදු වීම වළක්වනු නොහැකිය. වඩාත් අවාසනාවන්තම ඇත්ත වන්නේ ජනමතවිචාරණයකදී විපක්ෂයට කළහැකි දේශපාලනයක් නොතිබීමය. ජනමතවිචාරණක් පැවැත්වීම කෙරෙහි  රාජපක්ෂ යොමුවුවහොත් එය රටේ දේශපාලන ව්‍යුහය වසර 37 කට පසු යළි වෙනස් කිරීමකි. ඊට අවශ්‍ය සියලුම භාහිර සාධක මතු වී තිබේ. 1982 පැවති ජනමතවිචාරණයටත්  වඩා වෙනස් තත්වයක් රටේ බිහි වී ඇත.



නමුත් තමා කෙසේ හෝ තෙවැනි වරටත් ජනාධිපති වීම නමැති ෆැන්ටසිය විසින් ඔහු යථාර්තයෙන් අපගමනය කිරීමට ඇති ඉඩ වැඩිය.  එය සමස්ථ රටේ වාසනාවකි. එය එසේ වුවහොත් චනද්‍රිකා යනු කවුරුන්ද යන්න රාජපක්ෂට යළිත් බලාගත හැකිවනු නියතය. නීතියට කිසිඳු වගකීමක් නැති විධායක ජනාධිපතිධූරය නමැති අපකීර්තිමත් පිළිලය ගැන රාජපක්ෂට පෙර චන්ද්‍රකා ඉගෙනගත් බවත් එය භාවිතා කළ බවත් අමතක නොකළ යුතු කාරණයකි. පෙබරවාරී ජනාධිපතිවරණයක්ද? මේ වසර අවසානයට පෙර ජනමතවිචාරණයක්ද? යන්න මත රටේ  බරපතළ වෙනසක් බලාපොරොත්තු විය හැකිය.