Hot!

විමල් සහ චම්පික; ජාතිවාදය සහ කැසිනෝ - සංවාදයට එකතුවක්


| සුනන්ද දේශප්‍රිය

මහින්ද රාජපක්ෂගේ ජාතිකවාදී දේශපාලන ව්‍යාපෘතියේ මතවාදී අගසව්වන් වැනි වූ චම්පික රණවක සහ විමල් වීරවංශ රාජපක්ෂ ආන්ඩුව සම්බන්ධයෙන් මැතක සිට දක්වන විවේචනාත්මක ආකල්පය දේශපාලන ලියුම්කරුවන් ගණනාවකගේම මැයක් බවට පත් ව තිබේ.  

මේ වනාහී සංයමයෙන් කළ යුතුව ඇති වටිනා දේශපාලන හැදෑරීමකි.

එකී සාකච්ජාවෙහි හරි මැද ඇත්තේ මෙම දේශපාලනඥයන් දෙදෙනා සහ ඔවුන් නියෝජනය කරන ආන්තික සමාජ කණ්ඩායම් රාජපක්ෂ ව්‍යාපාතියෙන් ගැලවී යනු ඇත් ද සහ එසේ ගැලවී ගිය හොත් සමස්ත රාජපක්ෂ දේශපාලන ව්‍යාපෘතිය දුර්වල කිරීමට එය හේතු වනු ඇත් ද යන්නයි.

චම්පික සහ විමල් යනු කිසිම අයුරකින් සමානයින්  නොවේ. වම්පික සිංහල  බෞද්ධ මහ ජාතික දේශපාලන න්‍යායාචාර්‍යවරයකු මෙන්ම ඒ අරමුණින් දීර්ඝ කාලීනව කටයුතු කරන ශූර දේශපාලනඥයෙකි.  පරිසර ඇමැති වශයෙන් කටයුතු කළ කාලයෙහි ඔහු එම ක්ෂෙත්‍රයෙහි අන්තර් ජාතික වශයෙන් බලපෑමක් කළ හැකි දේශපාලඥයෙකු බවට ගොඩ නැගෙමින් ආවේ ය.  රාජපක්ෂවරුන් වහාම ඔහුගේ තටු කපා කූඩු කරන ලද්දේ එනිසා ය.

විමල් වීරවංශ කටකාර උන්නතිකාමී මතවාදී තියුණු බාවයක් නොපෙන්වන එහෙත් ජනතාවාදී දේශපාලනඥයෙකි. රාජ්‍ය බලය හෝ වෙනත් පුළුල් දේශපාලන වේදිකාවක් නොමැති විමල් වීරවංශ  දේශපාලන සෙවනැල්ලක් පමණක් බවට පත්වනු ඇත. මන්ද යත් තමන්ගේම වූ දේශපාලන ව්‍යාපාරයක් පවත්වා ගත හැකි ස්වකීයම වූ අනන්‍යතා සමාජ දේශපාලන මතවාදයක් ඔහුට නැති නිසා ය‍‍.

චම්පික රණවක අන්තවාදී සහ ප්‍රචන්ඩ චීවරධාරී පිරිස් විසින් මෙහෙයවනු ලබන සිංහල බෞද්ධ මහජාතිවාදී ප්‍රවණතාවයන් සමඟ උපායික සන්ධානයක් පවත්වා ගෙන යයි.  රාජපක්ෂ විසින් නායකත්වය දෙන සිංහල බෞද්ධ ජාතිකවාදයට අභියෝග කිරීමට නම් තමා ඊට එහා ගිය ජාතිකවාදියකු විය යුතු බව ඔහු දනී. ඔහුගේ කොටි විනිවිදීම පොත් පිංචෙහි එන දැක්ම දැන් ක්‍රියාවට නගමින් සිටින්නේ එකී රණකාමී සේනා විසිනි. 

විමල් වීරවංශට එවැනි පදනමක් නැත. ඔහු බොදු බල සේනා සහ ඒ හා සමාන ප්‍රවණතා සමඟ ඇයි ‍හොදයියක් පවත්වන්නේ නැත.  ඔහු එක්තරා විදිහක ජවිපෙ දේශපාලනයේ සහ ජාතිකවාදී යුදවාදයේ සංමිශ්‍රණයකි.

එනයින් ස්වාධීන දේශපාලන පැවැත්මකට වැඩි අවස්ථාවක් ඇත්තේ චම්පික රණවකට සහ හෙළ උරුමයට ය. අනෙත් අතට රාජපක්ෂ ව්‍යාපෘතියට වැඩි දේශපාලන අභියෝගයක් ඉදිරිපත් කළ හැක්කේ විමල් විරවංශයට ය. මන්ද යත් ඔහු ආන්ඩුවේ ප්‍රධාන පෙළේ ප්‍රචාරක උද්ඝෝෂකයකු වන නිසා ය.  දේශපාලන වශයෙන් මෙම අවස්ථාවෙහි රාජපක්ෂවරුන්ට වඩා අවශ්‍ය කරන්නේ චම්පික නොව විමල් ය.

නමුත් මෙම දෙදෙනාගේ ම දේශපාලන මතවාදන් තුළ ඇති ආකර්ශනය වන  වන සිංහල බෞද්ධ ජාතිකවාදයේ ධජය තවමත් ඇත්තේ රාජපක්ෂවරුන් අතය.  ඔවුන්  තවමත් යුද්ධ ජයග්‍රහණයේ සංකේතය යි. එමෙන්ම ජනාධිපති රාජපක්ෂ දෙමළ ජනයා කෙරෙහි විශ්වාසයක් නොතබන යුද්ධ යන්ත්‍රය මගින් ඔවුන්  පාලනය කළ යුතු යැයි සිතන සහ එසේ කරමින් සිටින පාලකයා ය. සිංහල බෞද්ධ ජාතිවාදය පිළිබද රාජපක්ෂවරුන්ට බැට දී ආන්ඩුවෙන් ඉවත් වීමට මෙම දෙදෙනාට ම සහ ඔවුන් නියෝජනය කරන සමාජ තිරූවලට අවශ්‍යතාවයක් තිබිය නොහැකි ය. 

ඔහු මුස්ලිම් විරෝධී අන්තවාදී ප්‍රහාරයන් ලුහු කොට තකන හැටිත් ඒවා සාධාරණ කරන හැටිත් බලන්න. ඉදින් ඔහු හැර යාමට සිතන්නේ  කවර සිංහල අන්ත ජාතිකවාදියා ද?

මෙම දෙපාර්ශයම ආන්ඩුව සමඟ විරසකයක් පෙන්වන්නේ  කැසිනෝ ජාවාරමට විරුද්ධ වෙමිනි. එනමුත් එවැනි ප්‍රශ්ණයක් උඩ රාජපක්ෂවරුන්ගෙන් වෙන් වීමෙන් ලබා ගත හැකි මහජන ප්‍රසාදයක් ද නැත.  මහජන ප්‍රසාදයක් ලබා ගැනීමට නම් කැසිනෝ ආරම්භක ස්ථානය වශයෙන් ගෙන ප්‍රජාතන්ත්‍රවාදී ආන්ඩුකරණය  සඳහා වූ දේශපාලනයක‍ට යා යුතු ය. මෙම දේශපාලනඥයින් දෙදෙනාම එවැනි ව්‍යාපාරයක් කරා ගමන් කරනු ඇතැයි සිතීම අතිශය දුෂ්කර ය.  වීරවංශට එවැනි කුඩා හෝ  විභවයක් තිබිය හැකි නමුත් රණවක විශ්වාස කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි නොව මතවාදී ආධිපත්‍ය කෙරෙහි ය.

ඔවුන්ගේ දේශපාලනයේ හරය වන ජාතිකවාදය නිසා ම වත්මන් එජාපය සමඟ දේශපාලන සංන්ධානයකට යැමට ද මෙම දෙදෙනාටම නොහැකි ය.

චම්පික රණවක සහ විමල් වීරවංශ යන දෙදෙනාටම පොදු පෙරමුණු ආන්ඩුව සහ දේශපාලනය තුළ තමන්ට නිසි තැන නොලැබීම ගැන මහත් කෝපයක් තිබෙන්නට ඉඩ තිබේ. ‍ නාමල් රාජපක්ෂ  යට‍ෙත් දේශපාලනය කිරීමට මේ දෙදෙනාට ම කැමැත්තක් නැති වීමට පුළුවන. නමුත් එවැනි ප්‍රශ්ණයක් උඩ රාජපක්ෂ පාලනයෙන් ඉවත් වීම මුහුද හත්ගව්වක් තියා අමුඩ ගැසීමකි.

වත්මන් දේශපාලන බල තුලනය යටතේ මෙම දෙදෙනාගෙන් කවරකු හෝ රාජපක්ෂවරුන්ගෙන් කැඩි යනු ඇතැයි විශ්වාශ කිරීම උගහට ය. දේශපාලන චලනයන් සෑම විටම සිදුවන්නේ තර්කානුකූලව නොවන නමුත් පවත්නා දේශපාලන බලතුලනයන් එවැනි පියවරයන්ට බලපායි.

1976 දී වාම පක්ෂ සමගි පෙරමුණූ ආන්ඩුවෙන් ඉවත්වීම පාර්ලිමේන්තු මැතිවරණයකට මගපාදා 1977 දී සමගි පෙරමුණට අන්ත පරාජයක් අත් කරදීමට ඉවහල් විය. 1992 දී ලලිත් - ගාමිණි දෝශාභියෝග ව්‍යායාමද එවැනි දාම ක්‍රියාදාමයකට මග පෑදීය. එම අවස්ථා දෙකෙහිදීම වෙනසක් ළකුණූ පහළ වෙන්නට පටන් ගෙන තිබුණි.  එම අවස්ථා දෙකෙහිදීම කැඩීමක් සිදු කළ බලවේග නියෝජනය කළේ ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂාවන් ය. නමුත් අද චම්පික - වීරවංශ නියෝජනය කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂා නොව උග්‍ර ජාතිකවාදී අපේක්ෂා ය.

අද රාජපක්ෂවරුන් පරාජය කළ හැකි අංක ගණිතමය තර්කයක් තිබේ. එය දේශපාලනික වීජ ගණිතමය සාධකයක් බවට පත්වීම තවම පෙනෙන්නට නැත.  එවැනි සාධනීය වර්ධනයන් ඇත් වුවත් චම්පික - වීරවංශ එවැනි වෙනසක කොටස්කරුවන් වෙනු ඇතැයි සිතීමට ඉඩක් නැත.

එසේ නම් මේ වනාහී හුදෙක් තේ කෝප්පයක කුණාටුවක් ද?  නැත්නම් සැබෑ කුණාටුවක පෙර නිමිති ද? යන සාකච්ජාව තව දුරටත් ඉදිරයට ගමන් කරවිම මේ කෙට් අදහස් දැක්වීමේ අරමුණ ය‍.