Hot!

ස්වාධීන කොමිෂන් සභා එක ලෙඩකට ගෙනා බෙහෙතක් විතරයි

ආසියානු මානව හිමිකම් කොමිසමේ නීතිඥ බැසිල් ප‍්‍රනාන්දු මහතා සමග  සිදු කළ සංවාදයේ දී ඒ මහතා ප‍්‍රකාශ කළේ 17 වෙනි සංශෝධනය මගින් ගෙනා ස්වාධීන කොමිසන් සභා එක ලෙඩකට ගෙනා බෙහෙතක් පමණක් බවයි.


ජනාධිපති ක‍්‍රමය ඇතිවෙලා ලොකු විනාශයක් සිදුවලා තිබුණා. ජනාධිපති ක‍්‍රමය නැතිකරන්න ඕනෙයි කියන අධිෂ්ඨානය තිබුණේ නැහැ. ඒ අතරමැද පොඩි බෙහෙතක් හෙව්වා. නමුත් ඒක කරන වෙලාවෙ කවුරුත් කල්පනා කළ යුතුව තිබුණේ, ජනාධිපති ඒ වෙලාවෙදි ඒකට එකඟ වුණාට, එයාට හයිය ආව හැටියේ මේක අයින් කරල දානවානේ එතකොට මොකද කරන්නෙ කියලා? ඒක නොතිබුණු නිසා අවසානෙට 17වෙනි සංශෝධනය නැතිව ගියා. ඇත්තටම කියනවා නම් ආයතනවල ඇති කළ යුතු ස්වාධීනත්වය ඇතිකරනවා මිසක් කොමිසන් සභාවලින් ඕක කරන්න බැහැ. පොලිසිය ඇතුලේ උඩ හිට යටට ඇතිවන පාලන ක‍්‍රමය හදනවා මිසක් කාට හෝ කෝටුව දීලා පොලීසිය හදන්න කිව්වට ඒක කරන්න බැහැ. අභ්‍යන්තර පාලනයක් තියෙන්න ඕනෙ. අභ්‍යන්තර පාලනයක් නැතිකොට තමයි කෝටුවක් දීල හදන්න ගියේ.

අධිකරණයෙත් කෝටු තියාගෙන ඉන්න බැහැනේ. ලංකාවේ ප‍්‍රධාන ප‍්‍රශ්නය මතින් එන්නේ විනය. අභ්‍යන්තර විනය නැතිවී තිබිම තමයි ප‍්‍රශ්නය. සියලූම සමාජයන් පවතින්නෙ විනය තිබෙනතාක් පමණයි. විනය කියන්නෙ බයට යටත්වෙලා ඉන්න එක නෙවෙයි. බොහොම සියුම් දෙයක්. යම් මූලධර්ම වලට යටත්වෙලා ඉන්නෙ. ප‍්‍රතිපත්තිවලට යටත්වෙලා ඉන්නෙ. ප‍්‍රතිපත්තිවලට යටත්වීම සැම සංස්ථාවක් ඇතුලෙම හදන්න වෙනවා. මේක නිතියට විතරක් නෙවෙයි පාසලේ ගුරුවරයටත් බලපානවා. මේක නැතිව ගියාට පස්සේ වැඩක් නැහැ. ලංකාව වැටී තිබෙන්නෙ නීතිය නැති එක විතරක් නෙවෙයි, සෑම අංශයක්ම වැටිල තියෙන්නෙ.
ප‍්‍ර: ලංකාවේ විශාල අපරාධ රැල්ලක් වර්ධනය වෙමින් පවතිනවා. සාමන්‍ය මිනිසුන් පමණක් නෙවෙයි මේ වන විට පොලිසීයේම නිළධාරීන් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ දක්වා තත්වය බරපතල වෙලා තිබෙනවා. මේකට හේතුව කුමක් ද?
පි: එ්ක බොහොම ස්වභාවික හේතුවක්. අපරාධ මර්ධනය කරන්නට නීතිය පාවිච්චිකරන කොට තමයි අපරාධ මර්ධනය වෙන්නෙ. පාලකයින් විසින් නීතිය අතහැර දැම්මට පස්සෙ හරියට නිකම් වැටක් අයින් කළා වගෙයි. එතකොට ඕනෑම කෙනෙකුට ඇතුළු වෙන්නත් ඕනෑම දෙයක් විනාශ කරන්නත් පුළුවනි. මනුෂ්‍ය සමාජය තුළ එ් තරගකාරිත්වය ස්වභාවිකවම පවතිනවා. එ් අතරේ හැකි සෑම ආකාරයකින්ම තමන්ගේ අවශ්‍යතාවයන් ඉටුකරගන්නට උත්සාහා ගන්නවා. නීතිය මගින් කරන්නේ, තමන්ගේ උවමනාවන් ඉෂ්ටකර ගනිද්දි අහවල් නීතිවලට යටත්වෙලා එ්ක කරන්න ඔනෙයි කියන එක මනුස්ස සමාජයට ගේන එක. මිනිස්සුන්ට නිදහස තිබෙනවා. නමුත් නිදහස පාචිච්චි කරන්න බැහැ අනෙක් අයට හිරිහැර කිරීමට හෝ අපරාධ කිරීමට. මේ සීමාව නීතියකින් තොරව පවත්වා ගෙන යන්න බැහැ. නීති හදාගැනීම කෙරුණේ, ශතවර්ශ ගණන් තිස්සේ කරපු අත්හදා බැලීම් මගින්. කොහොමද යම් බාධකයක් පුමුණුවන්නේ මිනිස්සු අනික් අයට හිරිහැර කරන එක වළක්වන්න. වෙනත් විධියකින් කිව්වොත් මනුෂ්‍ය සහයෝගීතාවය වර්ධනය කරන්නෙ කොහොමද ? මිනිස්සු මිනිස්සු සහයෝගයෙන් ක‍්‍රියාකරනවා නම්, ඕනෑම ප‍්‍රශ්නයක් විසදැගන්න පසුබිමක් තිබෙනවා. සහයෝගය ඇතිවෙන්න නම් ඊට බලපාන බාධා නැතිකරන්න ඕනෙ. ඒ පසුබිම ඇතිකිරීම තමයි නීතියකින් බලාපොරොත්තු වෙන්නෙ.
ලංකාවේ සිද්ධවී තිබෙන්නේ, විශේෂයෙන්ම 1972න් පටන් අරගෙන පසුව 1978 ව්‍යවස්ථාව මාර්ගයෙන් නීතිය බාධකයක් හැටියට නම් කෙරුවා. යම්කිසි වැඩක් කරන්නට නීතිය තිබෙනවාට වඩා නීතිය නොමැතිව කරන්න හැකි බව පෙන්නුවා. කාලයක් තිස්සේ විශේෂයෙන්ම බි‍්‍රතාන්‍ය පාලනය යටතේ වර්ධනය කරගත්ත නීතින් ඒ නිතිවලට අදාලව ඇතිකරගත් නොයෙක් සම්ප‍්‍රදායන් අතහැරදාන්න පටන් ගත්තා. මොකද මේ ආණ්ඩුව කරන්න හදන දේවලට ඒවා බාධකයක් කියලා. ඒකට 1978දි ව්‍යවස්ථාවෙන්ම මාර්ගය පාදාගත්තා. ජනාධිපතිව පත්කළා සියලූ දෙනාටම උඩින්, නීතියට යටත් නැති කෙනෙක් විධියට. නීතියට යටත් නොවන රාජ්‍ය පාලකයෙකු පිළිබදැ සම්ප‍්‍රදාය කියන්නේ වැඩවසම් යුගයට අයිති සම්ප‍්‍රදායක්. ඒක නැති කිරීමේ ඉතාම සංකේතාත්මක දිනය වන්නේ එංගලන්තයේ පළමු වන චාල්ස් රජ්ජුරුවන්ගේ බෙල්ල කපලා මැරුවා. මොකද පාර්ලිමේන්තුවේ අණට කීකරු වෙන්න එයා අකමැති වුණු නිසා.
අපි දකිනවා, එක කාලයකදි කවුරු හෝ රජ පෙළපතක් විසින් මිනිස්සුන්ව පාලනය කරනවා. මිනිස්සුන්ට ඒක හිරිහැරයක් වුණා. එ් හිරිහැරය නැතිකරල තමයි නීතියක් හදල පාර්ලිමේන්තුවක් හදල පාර්ලිමේන්තුවේ නීතියට අනුව රට පාලනය කරන්න ඕනෙයි කියන අදහස වර්ධනය වුණේ. ඒ ක‍්‍රමය ලංකාවට ගෙනාවේ වැඩිවශයෙන්ම බි‍්‍රතාන්‍යයන් විසින්. පසුව ඒක රටේ කොටසක් බවට පත්කෙරුවා. ඒක ඉවත්කර දැමීම තමයි 1978 දි ව්‍යවස්ථාව මාර්ගයෙන් කෙරුණේ. මීට ප‍්‍රධාන හේතුව වුණේ එවක හිටපු ජනාධිපතිට, ජේ ආර් ජයවර්ධනට වුවමනා වුනා මැරෙනකම් ම ජනාධිපති වෙන්නට. ඊට භාධාව තිබුණේ නීතියෙන්, මෙතැනදී ඔහු දුටුවා ඔවුන්ගේ පාලනය ගෙනියන්න නම්, එක පක්‍ෂයයි තියෙන්න ඕනෙ කියලා. ඔහු නායකයා වෙලා ඉන්න පක්‍ෂය පමණක් තියෙන්න ඕනෙ කියලා. මේ පක්‍ෂ ක‍්‍රමය නැතිකිරීමේ එක් විශාල පියවරක් හැටියට තමයි, නීතියට පහර දීම පටන් ගත්තේ.
එවකට ඔවුන් තුළ තිබුණා මේ රට සිංගප්පුරුව වගේ කරන්න ඕනේ කියන සිහිනය. ලී ක්වාන් යු සිංගප්පුරුවට කළ දේ තමයි අනෙක් පක්‍ෂ යටපත් කරල එක් පක්‍ෂයක් හදාගත්ත එක. රටේ ස්වභාවය නිසා, පුංචි රටක් නිසා ඒක පහසුවෙන් කරගන්න පුළුවන් වුණා මොකද දේශපාලන ව්‍යාපාර විශාල වශයෙන් ගොඩනැගිලා තිබුණේ නැහැ. පෙර මැලේෂියාවේ කොටසක් හැටියට තිබුණේ, ඒක බෙදිච්ච වෙලාවෙදි තිබුණු තත්ත්වයන් පාචිච්චිකර ගෙන ලී ක්වාන් යු බලයට පත්වෙලා හිටපු විරුද්ධ පක්‍ෂයේ මන්ත‍්‍රිවරුන්ව හිරේට දමලා බොහෝ දරදඩු නීති ගෙනල්ලා එක පක්‍ෂයක් විතරක් පවතින තත්ත්වයක් හදා ගත්තා. ඒ අනුව ඒ රටේ සැබෑ මැතිවරණයක් නැහැ.
1960 ගණන්වල ඉදැලා මේ වන තුරුම විරුද්ධ පක්‍ෂයට දෙතුන් දෙනෙකුට එහා පත්වන්නට ඉඩ දෙන්නෙ නැහැ. ඒ හදාගත්ත දර්ශනයේම ලංකාවට ගේන්න කරපු උත්සාහය තමයි 1978දි උච්චම ස්ථානයට ආවේ. එක නාකි මිනිහෙකුගේ උවමනාවකුත් එක්ක. ඒ තමයි තමුන්ට ඒ පාලනයේ මැරෙනකම්ම ඉන්න ඕනෙයි යන මතය. එක් අතෙකින් ඒ පුද්ගලයාගේ මානසීක තත්ත්වය බලපෑවා නමුත් ඒ හැර මධ්‍යම පන්තියෙයි ඉහළ වරප‍්‍රසාද තියෙන අයගෙයි මතයක් තිබුණා පාර්ලිමේන්තු ක‍්‍රමය මේ තිබෙන විධියට හොදැ නැතිය , තරමක බලවත් ආණ්ඩුවක් ඕනැය යන්න. ඔවුන් ඉන් අදහස් කළේ පක්‍ෂ මාරුවෙන්නෙ නැති එක පක්‍ෂයක් යටතට තිබෙන ආණ්ඩුවක්. ඒක ලංකාවේ මධ්‍යම පන්තිය ඇතුලේ ටික කාලයක් තුළ දරපු මතයක්. සියයට 80කට වඩා ඡුන්ද ප‍්‍රමාණයක් තිබුණු නිසා එහි සහයෝගයත් ලබාගන්න පුළුවන් වුණා. ඉතිං පුළුවන් තරම් ඉක්මනට තිබුණු ව්‍යවස්ථාව වෙනස් කළා.
ප‍්‍ර: හොදැයි, මේ තත්ත්වයෙන් මිදෙන්න නිශ්චිතව ඔබ යෝජනා කරන්නේ කුමක්ද?
පි: ලංකාවේ තවදුරටත් නීතිය මත පාලනය කියන සංකල්පය ඒ කියන්නේ, ඍමකැ දෙ ඛ්අ කියන එක නැහැ. එහෙමනම් ලංකාවට ගොඩ එන්න තියෙන එකම විධිය වෙන්නේ නීතියට පාලනය කියන එක නැවත ඇතිකර ගැනීමයි. මේ සදැහා ගන්න පියවරවල්වල ප‍්‍රධානම දේ වෙන්න ඕනේ, නීතිය තමයි ලංකාවේ කාටත් බලපාන දේ, නීතියට ඉහළ කවුරුත් නැහැ. නීතියට යටත් වෙච්ච පාලනයක් ලංකාවේ තිබෙන්නට ඕනෙ. එය ලෙහෙසියෙන් හදන්න පුළුවන් දෙයක් නෙවෙයි. අපට දැනෙනවා මේක නමුත් පහසුවෙන් හදන්න පුළුවන් දෙයක් නෙවෙයි. මොකද, පාලන ක‍්‍රමයක් නැතිකෙරුවට පස්සේ... මේක ලංකාවට එදා පිටින් ගෙනාවේ, නමුත් දැන් පිටින් ගේන්න කෙනෙක් නැහැ අභ්‍යන්තරයෙන්මයි ගොඩනගා ගන්න වෙන්නෙ.
අත්‍යවශ්‍යම පියවර තමයි, ලංකාවේ පාර්ලිමේන්තුව විනාශ වෙන්නට දීපු එක නැතිකරන එක. නීතිය හරියට ක‍්‍රියාත්මක කරන්න නම්, සර්ව සාධාරණ ලෙසට නීති ගේන්නත් පුළුවන් වෙන්න ඕනෙ. ඒ කියන්නේ මහජනතාවත් එක්ක සම්බන්ධවෙලා නීති ගේන්න. නීතිය මත පාලනය තිබෙන ප‍්‍රධානම කොන්දේසිය තමයි නීති පැනවීම ප‍්‍රසිද්ධියේ කරන්න ඕනෙ කියන එක. 1978 ව්‍යවස්ථාවෙන් ඒක කරන්නේ හොරෙන්. පාර්ලිමේන්තුවේ පනතක් හදන්න ගියාම ,ව්‍යවස්ථාව වෙනස්කිරිම තරම් බරපතල එකක් වුනත් දවස් දෙකක් තුනක් ඇතුලත ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දීලා එතැනින් අනුමැතිය ලබාගත්තට පස්සේ ප‍්‍රශ්නය ඉවරයි. ජනතාවට සාකච්ඡ කරන්න විධියක් නැහැ.
1950 ස් ගණන්වල 1960 ගණන්වල තිබුණේ මේක නෙවෙයි, මූලික හැම පනතක්ම කාලයක් තිස්සේ සාකච්ඡුා වෙලා මිනිස්සුන්ගේ දැනුවත්කම තුළ සිදුකෙරෙන දෙයක්. පවතින නීතිය කුමක්ද කියලා මිනිස්සු දන්නවා. නමුත් අද පවතින නීති පිළිබදැව බහුතරයක් දන්නේ නැහැ. ඔච්චර ප‍්‍රමාණයක් මිනිස්සුන්ව උස්සගෙන ගිහිං අතුරුදහන් කළේ කොහොමද ? ඒකට අවශ්‍ය රෙගුලාසි හදාගත්තා. ඉතිං මේ තත්ත්වය නැති කිරීම සදැහා ජනාධිපති ක‍්‍රමය නැතිකිරීමකින් තොරව ලංකාවේ නීතිය හදන්න බැහැ.
එක පාර්ශවයක් කියනවා මේ නිතිය නැතිව අපි පාලනය කරනවා කියලා. මේ නීතිය කඩන්න ඒ අයට කිට්ටු ටික දෙනෙකුට ඉඩ දෙනවා. එතකොට ඒ අය හිතන්නෙ අපි විතරයි මේ නීතිය කඩන්නෙ කියලා. රටේ සිටින හැම වර්ගයකම මිනිස්සු බලාගෙන ඉන්නවා මේක. තවත් කණ්ඩායමක් හිතනවා ඇයි නීතිය කඩලා මේ ලාභ ප‍්‍රයෝජන ගන්න ටික දෙනෙකුට විතරද පුළුවන්? මටත් පුළුවන්නේ ? සමාජයේ ඉන්නවා විශාල පිරිසක් නීති කඩන්න කැමති නැහැ. මධ්‍යස්ථ සාමාන්‍ය මිනිස්සු. නමුත් මේ මැද ඉන්න කිඹුලො බලනවා මොනවා හරි ඩැහැගන්න. එයා කරනවා නම් ඇයි මට කරන්න බැරි යැයි සිතමින් නීතියට ඇති භය නැතිව යනවා. නීතියක් තියෙනවා කියන්නෙ නීතිය කැඩුවොත් දඬුවම්කරනවා කියන එක. නමුත් මිනිස්සු දකිනවා නීතිය කඩලා ලාභ ප‍්‍රයෝජන ගන්න පුළුවන් බවත් දඬුවම් නොලබා නීතිය කඩන්න පුළුවන් බවත්. මේ තුළ නීතිය තියෙන්න ඕනෑ කියන අය නිෂ්ශබ්ද වෙන්න පටන් ගන්නවා, ඒ අය වෙනුවෙන් මැදිහත්කරුවන්වත් නැහැ. ඒ නිසා නීතියක් ඕනෙ නැහැ කියන අයගෙ මතය තමයි ක‍්‍රියාත්මක වෙන්නෙ.
ප‍්‍රඃ ජනාධිපති ක‍්‍රමය නැතිකිරීම තුළින් විශ්වාස කරන්න පුළුවන්ද නීතිය මත පාලනයක් ගොඩනැගෙයි කියලා ?
පිඃ ඒ දෙක එකට කෙරෙන්නට අවශ්‍යයි. එ්ක නැති කළ යුතු වන්නේ නීතිය මත පාලනයක් ගෙන ඒම ගැන ගත යුතු පියවර වහාම ගන්න කියන පොරොන්දුව මත. ජනාධිපති ක‍්‍රමය නැතිවෙනවා ඒ වෙනුවට පාලනය ගෙන යන වෙන ක‍්‍රමයක් එනවා. හිස්තැනක් හදන එකක් නොවෙයි. රටකට ආණ්ඩුවක් , පාලනයක් අවශ්‍යයි. ආණ්ඩුවක් තියෙන්න ඕනෙ නීතියට යටත් වෙච්ච ආණ්ඩුවක් දැන් තිබෙන්නෙ නීතියට යටත් නැති ආණ්ඩුවක්. නමුත් මීට පෙර ලංකාවේ තිබුණා එහෙම නීතියට යටත් වෙච්ච ආණ්ඩුවක්. ලංකාවේ මිනිස්සුන්ට තේරුම්ගන්න බැරි දෙයෙක් නෙවෙයි ඒක. මූලිකව මෙය ඇතිකරන අතරේ ප‍්‍රධාන වශයෙන්ම නීතිය රකින්න පුළුවන් සංස්ථාවන්ගේ බලය නැවත ඇති කරන්න ඕනෙ.
විශේෂයෙන්ම ලංකාව ඇතුලේ විශාල සාකච්ඡවක් තිබිය යුතු වෙනවා අධිකරණය විනාශ වී යාම ගැන. මොකද අවසාන වශයෙන් නීතිය රැකෙන්නෙ අධිකරණයක් තිබුණොත් පමණයි. නීතිය කඩන අධිකරණයක් තියෙනවා නම් නීතිය කඩනවාට උදව් කරන අධිකරණයක් තියෙනවා නම් නීතිය කඩන වෙලාවට අහක බලාගන්න අධිකරණයක් තියෙනවානම් නීතිය කැඩුවත් නැතත් ඒ ගොල්ලන්ගෙ බඩ පුරවා ගන්න සමහර අධිකරණ නිළධාරීන් සිටින තත්ත්වයක් තිබෙනවා නම් ඒක හරියට වෙද්දු ලෙඩ හැදිච්ච සමාජයක්. වෙද්දුන්ම ලෙඞ්ඩු වෙලා ඉන්නවානම් ඒකට කරන්න දෙයක් නැහැ.
පළමුවෙන්ම, අධිකරණයට වෙලා තිබෙන දේ පිළිබඳව විශාල සාකච්ඡාවක් කරන්න සිදුවෙනවා නැවත කොයි විධියටද අධිකරණයට එක්කො ඉන්න ඇතැම් මිනිස්සුන්ව අස්කර දමන්න ඕනෙද ? අලූතෙන් මිනිස්සුන්ව පත්කර ගන්නවාද ? දැනට සිටින අය ඉන්නවා නම් මොන ක‍්‍රමයක් යටතෙද මේ අයව තබා ගන්න ඕනේ ? මේ ප‍්‍රශ්න වැදගත් ! මේවා රටේ දැවෙන ප‍්‍රශ්න ! මේ පිළිබඳව සාකච්ඡවක් වර්ධනය වෙනවා. ලංකාවේ ඕන තරම් මිනිස්සු ඉන්නවා කොහොමද මේ නීතියක් මත පාලනයක් ගෙනයන්නෙ කියලා. ඒ ගැන අධ්‍යාපනයක් තියෙන අය ඉන්නවා.
ප‍්‍රඃ අද ලංකාවේ සාකච්ඡවක් ආරම්භවෙලා තිබෙනවා විධායක ජනාධිපති ක‍්‍රමය සංශෝධනයට ලක් කිරීම, විශේෂයෙන් ස්වාධීන කොමිෂන් සභා නැවත ඇති කිරීම, 18 වෙනි සංශෝධනය ඉවත් කිරීම සහ 35 වෙනි ව්‍යවස්ථාට තිබෙන බලය අහිමි කිරීම. අනෙක තමයි සම්පුර්ණ මෙම ව්‍යවස්ථාව වෙනස් කරල පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැවත ස්ථාපිත කරන්න ඕනෙ කියන කතිකාව, මේ දෙක ගැන ඔබගේ අදහස කුමක්ද? වඩා සුදුසු පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදයට යන එකද නැතිනම් විධායක ජනාධිපති ක‍්‍රමය සංශෝධනය කරන එකද ?
පිඃ ඇමරිකාවේ පවතිනවා කොංග‍්‍රස් ඒක පාර්ලිමේන්තු ක‍්‍රමයට සමාන ක‍්‍රමයක්. මෙතනදි මුලික තින්දු ගැනීමේදි ඒ අයගේ දැනුවත්කමෙන් තොරව ගන්න බැහැ. ඒ අතරතුර ජනාධිපතිටත් සීමා සහිත බලයක් තිබෙනවා. ඒක සීමා කරපු බලයක්. පාර්ලිමේන්තුව තමයි ශක්තිමත් ආයතනය. පාර්ලිමේන්තුවට යටත් වන අය, විධායකය ගෙනියන කෙනා ඉන්න ඕනෙයි කියන එක, එහෙම නැතිව ඒකාධිපතියෙක් ඕනෙයි කියන මට්ටමට ආවොත් මේ ක‍්‍රමයම තවදුරටත් පවත්වාගෙන යනවා කියනඑක ඒකෙ තමයි තේරුම.
ප‍්‍රඃ සංශෝධන සහිත ජනාධිපතිධුරයක් ගැන යම්කිසි එකඟත්වයකට එන්න පුළුවන් ?
පිඃ ඒකට ප‍්‍රශ්නයක් නැහැ. අගමැති කෙනෙක් වෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් දැන් යුද්ධයක් ප‍්‍රකාශ කළා, ඒ වගේ දෙවල්වලදි ලෝකය පිළිගත්ත බලතල තිබෙනවා, ජනාධිපතිවරුන්ට කරන්න පුළුවන්. නමුත් ජනාධිපතිවරයෙකුට කොහොමටවත් බැහැ පාර්ලිමේන්තුව නැති කරන්න. ලංකාවේ නොකියා නැතිකරලා තියෙන්නේ. ඒක සල්ලිවලට අරගෙන. දැන් සමහරදේවල් වෙනස්කරන්න වෙනවා, එය පක්‍ෂවලින් පැනීම... පක්‍ෂවල ස්ථාවරත්වය හදන්නෙ කොහොමද ? පක්‍ෂවල විනය පවත්වාගෙන යාම සඳහා ප‍්‍රජාතන්ත‍්‍රවාදි ක‍්‍රියාමාර්ග හැදෙන්නෙ කොහොමද ? යනාදිය අවශ්‍ය වෙනවා. නමුත් මූලිකව පටන් ගැනීමේදි යා යුතු ප‍්‍රධානම තැන වෙන්නෙ පාර්ලිමේන්තුවෙ බලය ඇතිකරන එකයි. පාර්ලිමේන්තුවට යටත් වෙච්ච රටේ ප‍්‍රධානියෙක් ඇති කරන එකයි.
ප‍්‍රඃ පොලිසිය අධිකරණය හා නීතිපති යන මේ තුනම යම් ආකාරයකින් එක්සත්ව කටයුතු කිරීමේ දි නේ අනාගතයේදි හෝ අපරාධ අඩුකරගන්න පුළුවන් වෙන්නෙ. මේ සඳහා ඇතිකරල තියෙන ස්වාධීන කොමිසන් සභා නැවත කි‍්‍රයාත්මක වීම ප‍්‍රමාණවත් ද නැතිනම් ඉන් එහාට ගිය ප‍්‍රතිසංස්කරණයක් සිදුවිය යුතුද ?
පිඃ ඔය තුන ඒකාබද්ධව වැඩකරනවා කියන එකත් එතරම් හරි අදහසක් නෙවෙයි. ඒ අය තුළ එක්තරා ස්වාධීනත්වයක් තියෙන්න ඕනෙ. එකම අරමුණුවලට වැඩකරන නමුත් වෙන් වෙන් ම ස්වාධිනව වැඩකරන ස්වභාවය තියෙන්න ඕනෙ. එක්කෙනෙක් අනෙක් කෙනාගේ සේවකයෙක් නෙවෙයි. නීතිපති නීතියට අනුව වැඬේ කරන්න ඕනෙ. ඒක තවකෙනෙකුගේ කිම මත හෝ වෙනත් කෙනෙකුගේ පාලනයක් මත හෝ ලාභ ප‍්‍රයෝජන ගැනීම මත හෝ කෙරෙන්නට බැරිවිය යුතුයි. එහෙම පරිසරයක් තිබුණා නේ. මේ එකක්වත් ලංකාවට අලූත් දේවල් නෙවෙයි.
ලංකාවේ සාමාන්‍යයෙන් පැවතිච්ච නීතිපති ක‍්‍රමය 1978 පෙර කාලපරිච්ඡ්දයේ බොහෝදුරට සාර්ථක ක‍්‍රමයක්. ඒක තුළ තිබුණා සම්ප‍්‍රදායක් කාටවත් යටත් නොවී තමන්ගේ කාර්යය හරියට ඉටු කළා. අධිකරණයට තිබෙනවා වෙනම කාර්යයක්. ඒ අයත් කිසිවෙකුටත් යටත් නැතිව ඒ කාර්යය කරන්න ඕනෙ. නමුත් දැන් වෙලා තිබෙන්නේ ජනාධිපතිටයි දේශපාලන පක්‍ෂවලටයි යටත්වෙලා කි‍්‍රයා කිරීමනේ. එහෙම වෙනකොට ඒ ගොල්ල අස්වෙලා ගෙදර ගියා නම් ඊට වැඩිය හොඳයි. 'ඔයගොල්ලො කියන විධියට අපි නඩු අහන්න ඔනෙ නම්, ඔයගොල්ලම අහගන්න' මේක පැහැදිළියි කාටත්! නඩු ඇසීමේ සම්ප‍්‍රදායක් තියෙනවා, ඒකට අනුව කෙරෙන්න ඕනෙ. එසේ නොකෙරනවා නම් ඒකට දඬුවම් පැමිණවිමේ ක‍්‍රමයක් තියෙන්න ඕනෙ. පැමිණිලි කළාම ඒවා ස්වාධිනව විභාග කිරීමේ ස්වාධිනත්වය තියෙන්න ඕනෙ.
දේශපාලනයේ වෙනසකට වඩා මහජන මතයේ වෙනසකුයි ඇතිවෙන්න ඕනෙ. රටේ මිනිස්සු නිදාගෙන ඉන්න එක තමයි තිබෙන ලොකුම ප‍්‍රශ්නය. පොලීසිවල වැරදි සිද්ධවෙනකොට මිනිස්සු ඒකට මැදිහත් වුණේ නැහැ. විශේෂයෙන්ම මධ්‍යම පන්තිය තමයි ලංකාව විනාශ කරගත්තේ. නීතියේ ආධිපත්‍ය, අධිකරණයේ ස්වාධිනත්වය වැනි ප‍්‍රධාන අදහස් ගැන කථාකරන පන්තිය තමයි මධ්‍යම පන්තිය. අභාග්‍යකට වගේ අධිරාජ්‍යවාධි කළේ ඇතිවුණු මධ්‍යම පන්තිය ලංකාවේ ඒ කාර්යය කෙරුවේ නැහැ. ඒ ගොල්ල එකෙන් ලාභ ප‍්‍රයෝජන ගත්තා. සුද්දන්ගෙ බලපෑම තිබෙන කාලයේදි සිදු කළා. සුද්දො ගිය හැටියෙම දම්වැල කඩාගත්ත බල්ලො ටිකක් වගෙ උනා. එතැන් පටන් ඒ අයට ඔනෙකමක් තිබුණේ නැහැ මේවා ආරක්‍ෂා කරගන්න ඕනෙ නැතිනම් අපිව විනාශ වෙනවා කියලා. සාකච්ඡව සඳහා ඒ මතය රට ඇතුලෙ ඇතිකර ගන්න ඕනේ, ඒ නිසාවටම පුවත්පත් වලට, ආයතනවලට තිබෙන නිදහස ආරක්‍ෂකර ගන්නෙ නැතිව නීතියේ ආධිපත්‍ය හදන්න බැහැ.
ප‍්‍රඃ අනාගතයේ ඇතිවෙන්නාවු වෙනසකදී 17 වෙනි සංශෝධනය මගින් ගෙනා ස්වාධීන කොමිසන් සභා ප‍්‍රමාණවත් ද? එහි දුර්වලතා තිබෙනාවාද?
පිඃ නැහැ ඒක ලෙඩකට තිබුණු බෙහෙතක් විතරයි. ජනාධිපති ක‍්‍රමය ඇතිවෙලා ලොකු විනාශයක් සිදුවලා තිබුණා. ජනාධිපති ක‍්‍රමය නැතිකරන්න ඕනෙයි කියන අධිෂ්ඨානය තිබුණේ නැහැ. ඒ අතරමැද පොඩි බෙහෙතක් හෙව්වානේ! නමුත් ඒක කරන වෙලාවෙ කවුරුත් කල්පනා කළ යුතුව තිබුණේ, ජනාධිපති ඒ වෙලාවෙදි ඒකට එකඟ වුණාට, එයාට හයිය ආව හැටියේ මේක අයින් කරල දානවානේ එතකොට මොකද කරන්නෙ කියලා? ඒක නොතිබුණු නිසා අවසානෙට 17වෙනි සංශෝධනය නැතිව ගියා.
ඇත්තටම කියනවා නම් ආයතනවල ඇති කළ යුතු ස්වාධීනත්වය ඇතිකරනවා මිසක් කොමිසන් සභාවලින් ඕක කරන්න බැහැ. පොලිසිය ඇතුලේ උඩ හිට යටට ඇතිවන පාලන ක‍්‍රමය හදනවා මිසක් කාට හෝ කෝටුව දීලා පොලීසිය හදන්න කිව්වට ඒක කරන්න බැහැ. අභ්‍යන්තර පාලනයක් තියෙන්න ඕනෙ. අභ්‍යන්තර පාලනයක් නැතිකොට තමයි කෝටුවක් දීල හදන්න ගියේ. අධිකරණයේත් කෝටු තියාගෙන ඉන්න බැහැනේ. ලංකාවේ ප‍්‍රධාන ප‍්‍රශ්නය මතින් එන්නේ විනය. අභ්‍යන්තර විනය නැතිවී තිබිම තමයි ප‍්‍රශ්නය. සියලූම සමාජයන් පවතින්නෙ විනය තිබෙනතාක් පමණයි. විනය කියන්නෙ බයට යටත්වෙලා ඉන්න එක නෙවෙයි. බොහොම සියුම් දෙයක්. යම් මූලධර්ම වලට යටත්වෙලා ඉන්නෙ. ප‍්‍රතිපත්තිවලට යටත්වෙලා ඉන්නෙ. ප‍්‍රතිපත්තිවලට යටත්වීම සැම සංස්ථාවක් ඇතුලෙම හදන්න වෙනවා. මේක නිතියට විතරක් නෙවෙයි පාසලේ ගුරුවරයටත් බලපානවා. මේක නැතිව ගියාට පස්සේ වැඩක් නැහැ. ලංකාව වැටී තිබෙන්නෙ නීතිය නැති එක විතරක් නෙවෙයි, සෑම අංශයක්ම වැටිල තියෙන්නෙ.
‘‘අයිතිය’’ වෙබ් අඩවිය විසින් ‘‘රට ගොඩනැගීමට නම්.....’’ මැයින් ආරම්භ කළ සංවාදය සදහා ආසියානු මානව හිමිකම් කොමිසමේ නීතිඥ බැසිල් ප‍්‍රනාන්දු මහතා සමග 2014 මැයි 08 වනදා දුරකතනය ඔස්සේ සිදු කළ සංවාදය සටහන් තැබුවෙ ‘අයිතිය’ වෙබ් අඩවියේ මෙලනි මානෙල් පෙරේරා මෙනවිය විසිනි.

(right2lifelanka.org)