Hot!

යුද්ධයේ ලිංගික අපරාධ : ඇත්ත ද බොරු ද?

සුනන්ද දේශප්‍රිය

ශ්‍රී ලංකාව යුද්ධාශ්‍රිත ලිංගික අපරාධ සිදුවූ සහ සිදුවන රටක් ලෙස එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන් කී මූන් විසින් ආරක්ෂක මන්ඩලයට යෝජනා කිරීම සම්බන්ධයෙන් ලංකාන්ඩුව මහත් උදහසට පත් විය. වාර්තාව ප්‍රතික්ෂේප කරන ලංකාන්ඩුව කියන්නේ ශ්‍රී ලංකාව එවැනි වාර්තාවකට ඇතුළත් කිරීම මහා වරදක් බවයි. එනයින් ලංකාන්ඩුව කියා සිටියේ මෙරට යුද්ධයට අදාලව ලිංගික අපරාධයන් සිදුව නැති බවත් සිදු වන්නේ නැති බවත් ය.

ඇත්ත වශයෙන්ම නම් මේ වනාහී හුදෙක් යුද්ධ අපරාධ පිළිබඳ ප්‍රශ්ණයක් නොව අපේ සමස්ත සමාජයම පිළිබඳ ප්‍රශ්ණයකි.

යුද්ධයෙහි ලිංගික අපරාධ සිදු නොවීමට නම් එම සමාජය  ද පොදු වශයෙන් ලිංගික අපරාධ සිදු නොවන එක්ක විය යුතු ය. මන් ද යත් යුද සෙබළුන් නිර්මානය වන්නේ පවත්නා සමාජයෙන් නිසා ය. යුද්ධයේ ලිංගික අපරාධ පිළිබඳ චෝදනා ඇත්දැයි විමසා බැලීම පිණිස එක් ආරම්භක ස්ථානයක් වන්නේ සමාජයෙහි එවැනි චර්යාවන් විමසා බැලීම ය.

පසුගිය සතියෙහි දිනක සවස් යාමයේ ඇවිදින්නට යමින් සිටි මා හා දන්නා හදුනන තරුණ ස්විස් පවුලක් කතාවට වැටුනි.  අ‍පේ පිළිසඳර අතරතුර ''මා පසුගිය සතියේ පුතා එක්ක මොරක්කෝවේ සංචාරයකට ගියා"  යැයි ජේන් කීවේ එම සතියේ යෙදුනු නිවාඩුව වෙනුවෙන් කොහි ගියේ දැයි මා විමසූමට ප්‍රතිචාරයක් ලෙස ය. ඇයගේ පුතා ගබ්රියෙල්ට වසය හතරකි. ''ඇවිල්ල ඉන්නේ අප දෙන්නා විතරක බව දැන ගත්ත එහේ මිනිස්සු පුදුම වුනා. ඒත් අපට කිසිම කරදරයක් වුනේ නෑ. හරි හොඳ රටක්. මං කැමැති නෑ යුරෝපෙ විතරක් ඉන්න...'' යැයි ඇය ඊට එක් කළා ය.

''ආසියාවට ගිහිල්ල නැත් ද " මම ඇසීමි. ''ඇයි නැත්තේ, මං ලංකාවටත් දෙපාරක් ගිහින් තියෙනව, අන්තිමට ගියේ සුනාමියට එන්න මාසෙකට කලින්". තමා දකුනු ආසියාවේ නේපාලයට සහ ඉන්දියාවට වඩා කැමති බව ඇය කී විට ''ආයේ ලංකාවට යන්න අදහසක් නැත් ද" යැ යි මම ඇසුවෙමි. ''මං ගියේ තනියම. බදින්න කලින්. මට ටිකක් කරදර වුණා'' යැයි ඇය නොකමැත්තෙන් මෙන් කීවා ය. වෙරළබඩ සෑම තැනක දී ම වාගේ අයුතු ලිංගික යෝජනාවන්ට මුහුණ දෙන්නට සිදු වූ බවත් බස් රථයක යන විට වෙනත් කාන්තාවක් අසළින් පමණක් සිට ගැනීමට තමා ඉගෙන් ගත් බවත් ඇය කීවේ ය. මෑත දී ලංකාවට ගොස් පැමිණී තමාගේ මිතුරියන් දෙදෙනෙකු ම එවැනි අත්දැකිම් වලට මුහුණ දී තිබූ බවත් ඇය කීවේ යළි ශ්‍රී ලංකාවට සංචාරයකට යාමට අදහසක් නැති බව කීමට ය.

මට ලැජ්ජාවක් ඇති විය. එනමුත් ඇය කී කිසිවක් බොරුයැයි ප්‍රතික්ෂේප කිරීමට මට පුළුවන් කමක් තිබුණේ නැත.  ශ්‍රී ලංකාවේ ඊනියා දේශප්‍රේමීන් නම් ඇය අප රටෙහි ප්‍රතිරෑපය විනාශ කිරීමට කැස කවන  ජාත්‍යාන්තර කුමන්ත්‍රණයක හවුල්කාරියක යැයි කියා බැණ වැදීමට ඉඩ තිබේ. නමුත් අප හැම මේ කතාන්තර ඇත්ත බව දනිමු. බස් රථවල ලිංගික හිරිහැර නතර කිරීමට ඒවායේ රෑපවාහිනී කැමරා සවිකල යුතු බවට මෑත දී යෝජනාවක් ගෙන ආවේ ඇමැතිවරියකි. බස් රථවල දී ගැහැණූ ළමයින්ට පමණක් නොව වැඩිහිටි කාන්තාවන්ට පවා ලිංගික අතවර වන බව අපි දන්නෙමු. සමහර විට මෙතරම් පුළුල්  දුරාචාරාත්මක හැසිරීමක් ඇති දකුණූ ආසියාවේ එකම රට අප විය හැකි ය.

දැනට පස් වසරකට ආසන්න කාලයක් මා ජිවත්වන ජීනීවා නගරයෙහි කිසිදු විටෙක මහ රැයෙහි හෝ දවාලෙහි වේවා ජනාකීර්ණ හෝ පාලු පෙදෙසෙක හෝ වේවා තරුණියකට විසිල් ගහන හෝ අනවශ්‍ය වචන පා කර හරින කිසිදු අවස්ථාවක් මා දැක නැත. එනමුත් අපේ ධර්මද්වීප‍යෙහි එවැනි අනිසි අවධානයකට ලක් නොවූ බාලිකාවක හෝ තරුණියක නැති තරම් විය  යුතු ය. ප්‍රසිද්ධියේ සිප වැළද ගන්නා ප්‍රේමවන්තයින් දෙස කෑදර බැල්ම හෙළන අයකු දකින්නට නැති තරම් ය‍. එකළ විහාර මහා දේවී උයනෙහි ප්‍රෙමා ලිංගනයෙන් පසුවන තරුණ පිරිස් දෙස බලා තෘප්තියට පත්වන කෙතෙක් දෙනෙක් අපි දැක ඇත්තෙමු ද?

බුදු රැව සහිත පච්චයක් සිය බාහුවේ තිබීම නිසා ටැක්සි රියදුරන් විසින් අල්ලා දෙන ලදුව අපරාධ සැකකාරියන් සමඟ රඳවා තබා පසුව පිටුවාහල් කළ නයෝමි කෝල්මන් බීබීසී සන්දේශයට කියා සිටියේ තමා සමඟ ලිංගිකව එක් වන මෙන් එක් බන්ධනාගාර නිලධාරියකු යෝජනා කළ බවය.  තමා යළි ශ්‍රී ලංකාවට නොයෑමට තීරණය කළ එක් හේතුවක් වශයෙන් ඇය දක්වා සිටියේ තමාට මුහුණ දීමට සිදු වූ ලිංගික බිය වැද්දවීම් ය.

වාචික ලිංගික ප්‍රචන්ඩත්වය අපේ සමාජයහි අටුවන් බැස ඇති ව්‍යාධියකි. එම ව්‍යාධිය බලය සමඟ හාමු වූ කළ සිදුවන්නේ කුමක්දැයි පසුගිය කාලය පුරා ලිංගික අපරාධයන්ට හසු වූ දේශපාලනඥයින්ගෙන් දැක ගත හැකි විය. ඊටත් වඩා එම ව්‍යාධිය ආයුධ සමඟ මුසු වූ කළ සිදු විය හැති විපත අප සමාජයක් වශයෙන් අඩුම වශයෙන් දශක හය හතක් තිස්සේ අත් දකිමින් සිටිමු.

අද ලිංගික යුද අපරාධ පිළිබද නැගෙන චෝදනා විමසා බැලිය යුත්තේ එම සමාජීය සහ ඉතිහාසීය පසුබිම මත ය. මන් ද යත් මේ වනාහී හුදෙක් යුද්ධයට සම්බන්ධ කාරණයක්   නොව අපේ සමාජයටම බලපාන ව්‍යාධියක් වන නිසා ය.

එවැනි එක් කඩඉම් වර්ශයක් නම් අප්‍රේල් කැරල්ල සිදුවූ 1971 වර්ශය යි. අත් අඩංඟුවට පත් තරුණ පිරිස් මුහුණ දුන් ලිංගික අපරාධයන්හි සංකේතය වූයේ ලිංගික ‍කෙළසා ඝාතනය කරන ලද කතරගම මනම්පේරී තරුණිය යි. අත් අඩංඟුවට පත් බොහෝ සහෝදරියන්ගේ යෝනි සහ අධෝ මුඛයන්ට සෝඩා බොතල් යැවූ බියකරැ වධහිංසා පිළිබඳ කතාබහ සිර ගෙවල් තුළ දෝංකාර දුන්නේ ය. මෙම ලිංගික අපරාධ සහෝදරියනට පමණක් සීම‍ා වූයේ නැත. අත් අඩංඟුවේ සිටි තරුණ පිරිස් ලවා විවිධ ලිංගික ක්‍රියාවන් සිදු කරවමින් තෘප්තිය ලැබූ පොලිස් නිලධාරීන් ගැන ද එවැනි ම ජුගුප්සා ජනක කතා සිර ගෙවල් හි නොමදව අසන්නට ලැබුණි.

2006-2009 ඊළාම් යුද්ධය යුද්ධය හා සසඳන විට 1971 යුද සමය තීව්රතාවයෙන් ඇත්තේ ඉතා පහළිනි. එමෙන්ම ආරක්ෂක හමුදාවන්  මුහණ දුන් එවැනි ප්‍රථම අත් දැකීම එය විය. එවැනි තත්ත්වයක් යටතේ සිදු වූ ලිංගික අපරාධ අනුසා‍රයෙන් ප්‍රස්ථාරයක් අදින්නේ නම් අවසන් යුද සමයේ සිදුවන්නට තිබූ ලිංගික ප්‍රචන්ඩත්වය තේරුම් ගැනීම අසීරු නැත.

1988 – 1990 වර්ශයන්හි පැවැති භිෂන සමයෙහි අත් අඩංඟුවට පත් තරුණ තරුණියනට මුහුණ දීමට සිදු වූ වධහිංසා අතර ලිංගික වධහිංසා ඉතා දරුණු මට්ටමක පැවැතුණි. යටත් කිරීමේ ලක්ෂණයක් ලෙස ලිංගික කෙළෙසීම සහ වධහිංසා පැමිණ වීම ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා විසින් සිංහල තරුණ තරුණියනට ම එරෙහිව  යොදවනු ලැබුවේ නම් යුද්ධයේ අවසන් සමයෙහි එවැනි අපරාධ සිදු නොවූ බවට තර්ක කළ හැක්කේ කෙසේ ද?

යුද සමයෙහි හමුදා ප්‍රවාහනයේ මර්මස්ථානය වූ අනුරාධපුරය යුද සෙබළුන් සඳහාම වූ ලිංගික ශ්‍රම වෙළද පොළක් බවට පත් වූ අයුරු වාර්තා ගතය‍. එකළ දහස් ගණනාවක් ලිංගික ශ්‍රමිකාවියන්ගෙන් අනුරාධපුරය පිරී තිබුණි. එමෙන්ම හමුදා සෙබළුනට දාව අඩුවයස් තරුණියන්  ගැබ් ගැනීම ද යුද සීමා ප්‍රදේශයන්හි සුළබ දෙයක් බවට පත්ව තිබුණි.

යුද්ධයේ අවසන් සමයෙහි මරා දමන ලද එල්ටීටීඊ සෙබලියන්ගේ සිරුරේ උණුසුම මැකී යාමට පෙර සංසර්ගයේ යෙදන්නැයි නරුම පුරුෂෝත්තමවාදි වාග්මාලාවන්ගෙන් සිය සෙබළ සගයනට උපදෙස් දෙන යුද බිමේ වීඩියෝ දර්ශන අද අන්තර් ජාලයේ සංසරණය වෙයි. සෙබලුන් විසින්ම සිය ජංගම දුරකථන මගින් පටිගත කරන ලද එවැනි සමහරක් වීඩියෝවන්හි එන කතා බහ මෙහි ලිවීමට බැරි තරම් ජුගුප්සා ජනක ය. එම වීඩියෝ දැකීමෙන් සංවේගයක් වෙනුවට ඇතිවන්නේ ප්‍රතික්ෂේප කිරීමක් නම් එවැනි සමාජයකට දිගටම සිදු වනු ඇත්තේ ලිංගික අපචාරයන් භුක්ති විදීමට ය.

අප බෑං කි මූන් ගේ වාර්තාව සළකා බැලිය යුතු පසුබිම එයයි.

යුද ගැටුම් ආශ්‍රිත ලිංගික ප්‍රචන්ඩත්වයන් පිළිබද එක්සත් ජාතින්ගේ මහ ලේකම් බැං කී මූන් විසින් ආරක්ෂක මන්ඩලයට ඉදිරිපත් කළ  2014 වාර්ශික වාර්තාවෙහි ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කරන නිර්දේශය මෙසේ ය‍.

'' සත්‍ය සෙවීම සහ සංහිදියාව වෙනුවෙන්  සර්ව සම්පූර්ණ කොමිසමක් පිහිටුවීම පිණිස කරගෙන යන සංවාදය සන්දර්භයෙහි සංක්‍රමණීය යුක්තිය සඳහා වන එවැනි යාන්ත්‍රණයක් විසින් නිරාකූලවම, ප්‍රචන්ඩ ලිංගික අපරාධයන් සම්බන්ධයෙන් වගවීම  නිශ්චය කැරෙන බවට ශ්‍රි ලංකා ආන්ඩුව සහතික විය යුතු යැයි මම ඉල්ලා සිටිමි. එමෙන්ම එම අපරාධයන්ට මුහුණ දී දිවි ගලවා ගත් අය වෙනුවෙන් අත්‍යවශය සේවාවන්, විසඳුම් සහ වන්දි ගෙවීම ජාතික බලධාරීන් විසින් ඉටු කළ යුතු යැයි මම ඉල්ලා සිටිමි. "

මෙම නිර්දේශයට විරුද්ධ වීමට ශ්‍රී ලංකාන්ඩුවට සාධාරණ හේතුවක් තිබිය නොහැකි ය. එවැනි විරුද්ධතාවයක එකම පදනම විය හැක්කේ එවැනි අපරාධ සාධාරණ කිරීම ය. ඇත්ත වශයෙන්ම නම් මේ වනාහී ශ්‍රී ලංකාවේ අත්‍යවශය සමාජ ශෝධන ව්‍යාපාරයක ආරම්භක ස්ථානය සඳහා මහඟු අවස්ථාවකි.