Hot!

මරු සිරා එල්ලා මැරූ අවස්ථාවේ බණ කී හාමුදුරුවෝ ‘ලක්බිම’ට කී කතාව


Dammananda-himiබෝගම්බර බන්ධනාගාරය පල්‍ලේකැ‍ලේ දුම්බර බන්ධනාගාරය වෙත ගෙන යාමත් සමගබෝගම්බර බන්ධනාගාරය නැරඹීමට මහජනතාවට අවස්ථාව උදා විය. දින 18ක් තුළ ලක්ෂ 18ක් පමණ මහජනයා වැල නොකැඩී බන්ධනාගාරය නැරඹීමට පැමිණි අතර මහජනතාවගේ දැඩි උනන්දුවක් තිබුණේ එකවර තිදෙනෙකු එල්ලා මැරිය හැකි එල්ලුම්ගස දැකගැනීමය. බන්ධනාගාරය නැරඹූ අයගේ අදහස් දැනගැනීමට සටහන් ‍පොතක්ද එහි විය. එහි බොහෝ දෙනා ලියා ඇත්තේ නැවත එල්ලුම්ගස ක්‍රියාත්මක කරන ලෙසය.
මල්වතු පාර්ශ්වයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික මහෝපාධ්‍යය අලුත්ගම ධම්මානන්ද හිමියන් බන්ධනාගාර රැඳවියන් සමග වසර හැටහතරක් කටයුතු කළ හිමිනමකි. මරණ දඬුවම හිමිවූවන් එල්ලා මරණ අවස්ථාවේදී ඔවුන්ට බණ කීමට අවස්ථාව හිමිවූයේද ධම්මානන්ද හිමියන්ටය. සිරකරුවන්ගේ අදහස් පිළිබඳව ඉතා හොඳින් දන්නා උන්වහන්සේගේ වසර හැටහතරක බන්ධනාගාර මතකය පිළිබඳව කළ කතාබහකි මේ.
අද බොහෝ දෙනා නැවත මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න කියනවා?
මහජනතාව තුළ ඉඩකඩම් හා වෙනත් භෞතික දේවල් සම්බන්ධව ඇතිතෘෂ්ණාව, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය. කාමාශාවන් ඇතිවීම් නිසා මිනීමැරීම සිදුවනවා. එයට වයස් භේදයක් නැහැ. මරණ දඬුවම දුන්නා කියලා සමාජයේ මිනීමැරුම් අඩුවෙන්නෙ නැහැ. එල්ලුම්ගස ක්‍රියාත්මක වූ කාලයෙදීත් මේ රටේ ඕනතරම් මිනීමැරුම් සිදුවුණා.
ආගමික කටයුතු සඳහා ඔබ වහන්සේ සිරගෙදර තෝරා ගත්තේ ඇයි?
දැනුවත්ව හෝ නොදැනුවත්ව වරදක් කරලා සිරගතවූවන්ට උපකාරයක් කරන්න ඇත්නම්, ඒ අයට හොඳ නරක කියාදෙන්න පුළුවන් නම් හොඳයි කියන අදහසක් මට ඒ කාලෙ තිබුණා. එලෙස සිරගතවූවන් නිදහස් වූ පසුව ඔවුන්ට දහම් දැනුම ලබාදුන්නෙ නැතිනම් නැවතත් ඔවුන් සමාජයේ වරදක් කරලා සිරගෙදරට එන නිසා මට ඒ අයට දහම් දැනුම දෙන්න අවශ්‍ය වුණා.
ඒ අවස්ථාව උදා වුණේ කොහොමද?
බෝගම්බර බන්ධනාගාරයේ 1950 වසරෙදී ආගමික කටයුතු කළේ කලගන්වත්තේ සුමන කියන ස්වාමීන් වහන්සේ නමක්. දවසක් උන්වහන්සේ මට පැවැසුවා උන්වහන්සේගේ සහයට ඇවිත් උදව් කරන්න කියලා. ඒ අනුව මම 1950 වසරේ වෙසක් ‍පොහොය දිනයේ බෝගම්බර බන්ධනාගාරයට ගියා. එදා මම ආගමික කටයුතු සිදුකළ පසුව ඒ අය ඉතා හොඳින් බුදු දහම ගැන අවබෝධයක් ලබාගත්තා. මම ඒ වසරේදීම සිරකරුවන් වෙනුවෙන් “සුචරිතෝදය” නමින් බෝගම්බර සිරගෙදර ඇතුළේ දහම් පාසලක් ආරම්භ කළා. පසුව මම ආගමට දහමට ලැදි සිරකරුවන් පිරිසක් බන්ධනාගාරය තුළින් තෝරාගෙන ඒ අය සෑම පසළොස්වක ‍පොහොය දිනයකදීම ශ්‍රී දළදා මාලිගාවට රැගෙන ගොස් ඒ අයට දළදා වහන්සේ වන්දනා මාන කරන්න අවස්ථාව ලබා දුන්නා. තවමත් ඒ දහම් පාසල ඒ ආකාරයටම පවත්වාගෙන යනවා.
වරදක් කර සිරගතවන පුද්ගලයින් ආගම දහමින් යහමගට පැමිණ තිබෙනවද?
ඇයි නැත්තෙ? තමන්ගෙ බිරිඳ මැරූ පුද්ගලයෙක් ඒ කාලයේ බන්ධනාගාර ගතව සිටියා. ඔහුගේ ගම අනුරාධපුරයේ. ඒ පුද්ගලයා එල්ලුම්ගහට නියම වී සිටි අයෙක්. එයා අපේ බන්ධනාගාර දහම් පාස‍ලේ ලොකුම ලොකු උපාසක මහතා ලෙස කටයුතු කළේ. පසුව ඇපිල් එකකින්ද කොහෙද එයාගේ මරණ දඬුවම ජීවිතාන්තය දක්වා ලිහිල් වුණා. එයා බන්ධනාගාරය තුළ බොහොම හොඳින් කාලය ගත කළා. ඒ නිසාමද කොහෙද එයාට ඉක්මනින් නිදහසත් ලැබුණා. සිරගෙදරින් නිදහස් වී ඔහු මිහිඳු ආරාමයේදී පැවිදි බව ලැබුවා.
එල්ලුම්ගහට නියම වූ කී දෙනෙකුට ඔබ වහන්සේ බණ කියා තිබෙනවාද?
මම 1950 සිට එල්ලුම් ගස නවත්වන තෙක්ම තවත් හිමි නමක් වන තෙරිපැහැ ධම්මානන්ද කියන හිමියන් සමග ඒ එල්ලුම්ගසට නියමවූවන්ට බණ Ellum-gahaකියා තිබෙනවා. මරණීය දණ්ඩනය නියමවූවන්ට එල්ලා මැරීමට පෙර දින හතක් බණ කියන්න ඕනෙ. ඔහු එල්ලා මරණ දිනයේදීත් අප ඔහුට බණ කියනවා.
මිනිසුන් එල්ලා මැරීම ගැන ඔබ වහන්සේට දුකක් වේදනාවක් දැනුණද?
මිනී මරලා සාක්ෂි සම්පූර්ණ වූ විට රටේ නීතියට අනුව එය සිදුකරන නිසා අපට එය වෙනස් කරන්න බැහැ. මරණ දණ්ඩනය නියමවීමට පෙර ඒ සිරකරුවන් සිරගෙදර වසර ගණනක් සිර දඬුවම් විඳින නිසා ඒ අය මාත් සමග හොඳින් ආශ්‍රය කරනවා. මම ඒ අය හොඳින් හඳුනන නිසා ඒ අය එල්ලා මරන දිනයේ ඒ අයට බණ කියන්න මට හිත දෙන්නෙ නැහැ. ඒ නිසා ඒ කටයුත්ත වෙන හිමි නමකට පවරා මම කරන්නෙ පූජාවක් හදා මරණ දඬුවමට පෙර ඔහුට ඒ පූජාවට අත ගස්වනවා. අප ඒ අයට පහදා දෙනවා ජීවිතය අනිත්‍යයයි මරණය නියතයි කියන එක. ලෙඩ දුකකින් මරණය සිදුවුණත්, අනතුරකින් මරණය සිදුවුණත්,  කුමන වයසකදී මරණය සිදුවුණත් එල්ලුම්ගහට නියම වුණත් ඒ මරණය අපට හිමියි කියන එක අප ඒ අයට පහදා දෙනවා. 
එල්ලුම්ගසට නියමවූවන් තමන් කළ වරද ගැන පසුතැවිලි වෙනවද?
සමහරු එදා වැරදි කළත් පසුව ඒ ගැන පසුතැවිලි වෙනවා. බෝගම්බර බන්ධනාගාරයේ හිටියා ගොඩගේ කියලා මහත්මයෙක්. එයා ගැහැනු ළමයෙකුට මෝල්ගහෙන් ගහලා මරා දමලා තිබුණා. ඒ වරදට ඔහුට එල්ලුම්ගහ නියම වුණා. එල්ලුම්ගසට යන්න පෙර එයාට අනෙක් හාමුදුරුවො බණ කියලා එයාගෙ හිත ටිකක් කලකිරිලා තිබුණා. එයා ඒ ටික දවසට වෙන ආගමකට යන්න සූදානම් වන බව මට ආරංචි වුණා. මම එතනට ගියා. ඒ කාලෙ එල්ලුම්ගහට නියමවූවන් හතළිස් ගණනක් සිරකුටිවල සිටියා. ඒ සෑම සිරකුටියකටම මම ගියා. ඒ අයට බණ කියා ඒ අයගේ සිත් සන්සුන් කර මම ගොඩගේ කියන පුද්ගලයාගේ සිරකුටිය ළඟටත් ගියා. මම එතනට යනවිට ගොඩගේ කියන පුද්ගලයා මට කිසිදු ගරුසරුවක් දැක්වූවේ නැහැ. ඒත් මම එයාට විනාඩි දහයක් පමණ බණ කියන විට එයා මා ඉදිරියේ දණ ගැසුවා. එයා මට වැඳලා කීවා “අන්න එහෙම බණ තමයි මට ඕනෙ” කියලා. “අනෙක් හාමුදුරුවො මම සිදුකළ වරද ගැන කියනවා. මම නැවත ඒවා අහන්න කැමති නැහැ. ඒවා මතක් කරනවටවත් මම කැමති නැහැ. මම ඒවා දන්න නිසා මට ඒ බණෙන් ඇති වැඩක් නැහැ” කියලා එයා කිව්වා. පසුව ඔහු මට වැඳලා පැවසුවා එයා එල්ලා මරන්න තව දින තුනයි තියෙන්නෙ. ඒ නිසා අනේ හාමුදුරුවනේ මට සාංඝික දානයක් දෙන්න ඕනෙ කියලා. එවකට මෙහි සිටි බන්ධනාගාර අධිකාරිවරයාට මේ පිළිබඳව දැන්වූ විට ඔහු එයට අවසර දෙන්න බැහැ කියා එකහෙළාම කීවා. පසුව මම තෙරිපැහැ ධම්මානන්ද හිමියන් සමග කොළඹ ගිහින් බන්ධනාගාර කොමසාරිස්වරයා මුණගැසී ඒ ගැන කරුණු කාරණා කියලා එතුමාගෙන් එයට අවසර අරගෙන ආවා. පසුව ඒ ගොඩගේ කියන සිරකරු සිටි සිරකුටිය ආසන්නයේම ඔහු එල්ලා මරන්න පෙර ඔහු ඉදිරියේ සංඝයා වහන්සේලා හත් නමකට සාංඝික දානයක් දුන්නා.
මරණ දඬුවම නියමවූවන් බේරා ගන්නටත් ඔබවහන්සේ ඉදිරිපත් වුණාද?
හිරගෙදර හිටියා ධර්මදාස කියලා විශ්‍රාමික ‍පොලිස් නිලධාරියෙක්. ඔහුට බොරු සාක්ෂි දාලා එල්ලුම්ගස් යවන්න තීරණය කර තිබුණලු. ඒ කාලෙ අග්‍රාණ්ඩුකාරවරයා එල්ලා මරන්න නියම කළේ පසළොස්වක ‍පොහොය දිනයේදී. මට ඒ බව ආරංචි වෙලා ඒ දිනයේ ඔහු එල්ලා මැරීමට මම ඉඩ දුන්නෙ නැහැ. කොහොම හරි එය නැවැත්වීමට කටයුතු කළා. නැවත ටික දිනකට පසුව ධර්මදාස  එල්ලා මරන්න නියම කළේ ශ්‍රී දළදා මාලිගාවේ 
පළමු කුඹල් පෙරහර වීදි සංචාරය කරන දවසේ. මම එදත් කොහොම හරි එයා එල්ලා  මැරීම නැවැත්වූවා. ආගම සම්බන්ධයෙන් දෙවතාවක් මරණ දඬුවම නැවැත්වූ මෙම පුද්ගලයා ගැන නඩු වාර්තා ගෙන මම බැලුවා ඇයි  දෙවතාවක් මේ ආකාරයට බේරුණේ  කියලා සාකච්ඡා කළා. පසුව තේරුම් ගියා එයා ‍පොලීසියෙ ඉන්න කාලෙදී කුකුල් හොරකමකට සම්බන්ධව ඇල්ලූ හොරෙකුගේ සාක්ෂියකට අනුවයි ධර්මදාස මිනීමැරුමක් සිදුකළා කියලා තීන්දු වෙලා තිබුණේ කියලා. මම එයට දැඩි ලෙස විරුද්ධ වුණා. මම එවකට සිටි අධිකරණ ඇමැතිට මෙය දැන්වූවා. එයා ඒක පිළිගත්තේ නැහැ. පසුව ධර්මදාසව එල්ලා මැරුවා. මම එදා ඇමැතිතුමාට කිව්වා මෙය දේශපාලන හේතු මත කළ මිනීමැරුමක්. මේක වස අපරාධයක් කියලා.
ඇතැම් සමාවන් යටතේ එල්ලුම්ගසෙන් බේරුණු අය නැවත යහපත් ජීවිත ගත කරනවද?
ඇයි නැත්තෙ. මොරටුවෙ පදිංචි ප්‍රනාන්දු කියලා අයෙක් එල්ලුම්ගසට නියම වෙලා හිටියා. එයා හොඳම හොඳ දක්ෂ වඩුවෙක්. ඔහුට සමාවක් ලැබිලා නිදහස් වුණා. නමුත් ඔහු ගමට යන්න මැලිකමක්  දැක්වූවා. මම එයා මේ පන්ස‍ලේ නතර කර ගත්තා. එයා පන්ස‍ලේ වඩු වැඩත් කළා. මේ පළාතෙ වඩු වැඩ කර ජීවත් වුණා. එයා මැරෙන්න කිට්ටු වෙලා තමයි නැවත ඔහුගේ ගමට ගියේ. එතෙක් ඔහු මගේ ළඟ හිටියේ. එයාගේ දරුවොත් මා මුණගැහෙන්න ආවා. 
එල්ලුම්ගහට යන්න පෙර ඔවුන් ඔබ වහන්සේලාගෙන් විශේෂ ඉල්ලීම් එහෙම කරනවද?
සමහරු යම් යම් ඉල්ලීම් කරනවා. මට මතකයි තමන්ගේ මව මැරූ  අයෙක් එල්ලුම්ගසට නියම වී සිටියා. එයා එල්ලන්න ළංවෙනකොට කීවා හාමුදුරුවනේ මට බෝධියක් ළඟ හත් දවසක් පහන් හතළිස් පහක් පත්තු කරන්න ඕනේ කියලා. එයා  එල්ලා මැරුවට පස්සෙ මම පළමු දිනයේ දී පන්ස‍ලේ පහන් හතළිස් පහ පත්තු කර එම ඉල්ලීම ඉටුකළා. ඊට පසුව තෙල් සහ පහන් බන්ධනාගාරයට දීලා කීවා බන්ධනාගාර බෝධිය අසල ඉතිරි දින හයේ පහන් පත්තු කරන්න කියලා.
එල්ලුම්ගහට යන අය යන්නෙ බියෙන්ද?
මොන මනුෂ්‍යාද තමන්ගේ පණට ආදරය නැත්තෙ කියලා එහිදී හිතෙනවා. එක් දිනක් එල්ලුම්ගසට නියම වූ අයෙකුට මම බණ කියමින් සිටියා.  එයා තුන් පාරක් මුත්‍රා කළා. මරණ බයට එයාගේ ඇඟේ රෝම කෙළින් වී තිබුණා. මට එවිට තේරුණා අනුන්ගේ ජීවිත නැති කළත් කවුරුත් තමන්ගේ ජීවිතයට කොපමණ ආදරෙයිද කියලා.
එල්ලා මරණ විට නොමැරී බේරුණු අය ඉන්නවද?
එහෙම දෙයක් නම් මම දැකලා අහලා නැහැ. නමුත් එක දවසක සිරකරුවෙක් එල්ලා මරන්න අරගෙන යන විට “එල්ලන්න එපා” “නිදහස තියෙනවා” “එල්ලන්න එපා” නිදහස තියෙනවා” කියමින් එක් අයෙක් මහ හඩින් කෑ ගහගෙන  ආවා. ඒ අන්තිම  මොහොතේ එයාට තාවකාලික නිදහසක් ලැබෙන්න ඇති. එයා එල්ලුම්ගහෙන් එදා අනූනවයෙන් බේරුණා. තව විනාඩි දෙකක් පරක්කු වුණා නම් එයා එල්ලා මරනවා. 
ඔබ වහන්සේ කිසියම් පුද්ගලයෙකු එල්ලා මරනවා දැක තිබෙනවාද?
එල්ලුම්ගස ක්‍රියාත්මක කරන විට ඒ අසල සිට එම පුද්ගලයාට  ඇහෙන්න යම් ආගමික කටයුත්තක් කරන්න ඕනෙ.  එවිට අප එතන  තිබෙන තිරයට මුවාවෙලා එම ආගමික කටයුත්ත සිදු කරන්නෙ. අලුගෝසුවා නියමිත වෙලාවට මරණ දඬුවම ක්‍රියාත්මක කරන විට දඩස් ගාලා ලෑලි දෙක පහළට වැටෙන ශබ්දය ඇසෙනවා. ඒත් එක්කම ලණුව ගැස්සෙනවා පේනවා. එපමණයි මම දකින්නෙ. මම තවම එල්ලා මරනවා දැකලා  නැහැ. ඒ  අය එල්ලන වෙලාවට කියනවා හිත හැදෙන්න මොනවා හරි කියන්න කියලා. එවිට අප කරන්නෙ ජීවිතයේ තියන අනියත ස්වභාවය වැටහෙන්න යමක්     කියනවා. නැතිනම් බොහෝ විට ඉතිපිසෝ ගාථාව කියනවා. 
මරුසිරා නමින් ප්‍රකට වූ සිරිපාලව එල්ලා මරණ විටත් ඔහුට බණ කීවෙ ඔබ වහන්සේද?
ඔව්. මරුසිරා හරි දඩබ්බර පුද්ගලයෙක්. එයා බණට ඇහුම් කන් දෙන අයෙකුත් නොවෙයි. එල්ලා මරන්න යන වෙලාවෙ මම එයාට බණ කිව්වා. එයා කීවා ඔය බණවලින් මට වැඩක් නැහැ කියලා. එයා නොසරුප් ආකාරයට මට කතා කළා. නමුත් ඔහු එල්ලා මැරුවා. 
මරු සිරා  මරලා එල්ලුවා. මැරුණු අයෙකුට බණ කියන්න බැහැ කියා හාමුදුරු කෙනෙක් කී බවට කතාවක් තියෙනවා?
ඒවා සම්පූර්ණ බොරු. ඒ කාලෙ නොයෙක් කතා පැතිර ගියා මරලා එල්ලුවා  කියලා. නමුත් එහෙම දෙයක් වුණේ නැහැ. එයාගේ කිසිදු අමුත්තක් තිබුණේ නැහැ. එයා මරණ දණ්ඩනයට ගෙන ගියා. මමත් පිටුපසින් ගියා. එයා අපටවත් ගරු සරු කළ අයෙක් නොවේ.
අපේ හාමුදුරුවනේ නැවත මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න කියා රටේ ජනතාවගේ විශාල ඉල්ලීමක් තිබෙනවා. 
මරණ දණ්ඩනය ක්‍රියාත්මක වන්නේ වත්මන් ජනාධිපතිවරයා හෝ අනාගතයේ පත්වන ඒ හා බලය ඇති අයෙක් අනුමත කර අත්සන් කළොත් පමණයි. එම අනුමැතියෙන් මරණීය දණ්ඩනය දීම නිසා ඔහුත් යම් පාපකර්මයකට ගොදුරු වනවා. එය ඔහුගේ සංසාරයේ උපනූපන් ආත්මයේදී ඒ පව ඵල දෙන්න පුළුවන්. ඒ නිසා එයට තවත් අයෙක් කොටස් කරුවෙකු වනවාට මම කොහෙත්ම කැමති නැහැ. 
එදා රජ දවස සිට මෙරට මරණ දණ්ඩනය ක්‍රියාත්මක වුණු බව ඉතිහාසයේ සඳහන් වෙනවා නේද?
කීර්ති ශ්‍රී රාජසිංහ රජු බෞද්ධාගම ආරක්ෂා කර දියුණු කිරීමට ඇප කැපවී  කටයුතු කළ ප්‍රධාන දායකයා. ඔහුට රාජ නීතිය අනුව මරණීය දණ්ඩනය සිදු කරන්න සිදුවුණා. ඒ අවස්ථාවේ දී සංඝරාජ හිමියන් දේශනා කළා මරණීය දණ්ඩනය ක්‍රියාත්මක නොකර කුමන ආකාරයට කටයුතු කළ යුතුද කියලා. අද මේ රට තුළ පවත්වන්නේ ඒ සඟරජ  හිමි ආරම්භ කළ ශාසනයයි. ඒ චාරිත්‍ර විදි අප දිගටම ගෙන යන්න ඕනෙ.  ඒ සඳහා මිනිසුන්ගේ සිත්සතන් අප හදන්න ඕනේ. රටේ භික්ෂූන් වහන්සේලා මෙන්ම රජයත් එක්ව අප  ඒ සඳහා කටයුතු කළ යුතුයි. අද බෞද්ධයන් සියයට දහයක්වත් බෞද්ධ පිළිවෙත් රකින්නෙ නැහැ. මරණයක් මඟුලක් වෙලාවට බිමත්කම ඉහ වහා ගිහින් තියෙන්නෙ. අද බණ දේශනා කිරීම නොව බණ අහන්න ජනතාව දැනුවත් කිරීමට රජයත් භික්ෂූන් වහන්සේලාත් එක්ව කළ යුත්තක්. 
ඒ නිසා සඟරාජ හිමියන්ට ගරු කිරීමක් වශයෙන් මෙරට මරණ දඬුවම ක්‍රියාත්මක නොකරනවා ඇතැයි  මම විශ්වාස කරනවා.
සටහන හා ඡායාරූප - ගයා වන්නිආරච්චි